Monday, March 23, 2015

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා ( මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා )







සති දෙකකට පස්සේ සිකුරාදා ගෙදර ආවා . මේ දවස්ටිකෙම බෝඩිමේ ඉඳලා ඉඳලා එපාවෙලා හිටියේ . මගෙ ස්වීඊඊඊඊඊඊඊඊඊඊඊට් කාමරේ ඉඳගෙන තමා දැන් මේ කොටන්නේ හරිය . හැබැයි අදනම් වයලීනොගේ මූඩ් හොඳ නෑ . ඒ ඇයි කියලා පස්සේ ඔයාලට කියන්නම්කො .

වයලීනෝ පවුලේ එකා යකා කියලා දන්නෝ දනිති . බට් නොදන්නෝ ඔන්න දැනගන්න , වයලීනෝ කියන්නේ එකා යකා එකෙක් කියලා . හැබැයි මට මගේ නොවන මගේම අයියලා අක්කලා නංගිලා මල්ලිලා ගොඩක් ඉන්නවා . ඔය සිංදුවා කියන එකා හිතාගෙන ඉන්නේ මගේ ඒ ලිස්ට් එකේ මිනිහත් ඉන්නවා කියලා . සිංදුවතීත් හිතාගෙන ඉන්නේ එහෙම . පුහ්හ් වැඩේමයි . බොලාට වැරදිලා බොල වැරදිලා . එව්වා මොනවට පසක් කරනවා මෙන්න මේ ලිපිය  . එව්වා එහෙමයි කියමුකෝ . ඉතින් ඒ හැමෝම එක්ක එකට තිබ්බත් මට වැඩිපුරම ළඟ එක මල්ලි කෙනෙක් ඉන්නවා . ඒ තමයි අපේ මාමගේ පුතා . මිනිහා දැන් හය වසරේ ඉන්නේ . 

කොච්චර මිනිහා මට ළඟද කියනවනම් දවසේ වැඩි වෙලාවක් මෑන්ස් ඉන්නේ අපේ ගෙදර . මම ඉතින් කැම්පස් යනකල් මාත් එක්ක තමා වැඩි හරියක් හිටියේ . මිනිහා පොඩි කාලේ දැනට වඩා ආණ්ඩු මට්ටු කරන්න අමාරුයි . ඒ කාලේ කරපුවා ටිකක් මට අද මතක් උනා හවස . මට මතකයි මිනිහා මොන්ටිසෝරි යන්න අවුරුද්දකට විතර කලින් ගෙදරින් පැනලා පාරට ගිහින් මාමලාගේ ගෙදරට දිව්වා . එවෙලේ අපේ අම්මයි මමයි විතරයි අපේ ගෙදර හිටියේ . එයාගේ අම්මා වැඩට ගිහින් . එයාගේ තාත්තා ටවුන් එකට ගිහින් .

අම්මා මේ සීන්එක දැකලා තියෙන්නේ මිනිහා පාරට පැන්නට පස්සේ . අම්මා හයියෙන් කෑගැහුවා අන්න මල්ලි පාරේ දුවනවා කියලා . මම ගෙදර ඉස්සරහා දොරකඩට එනකොට මෑන්ස් දැක්කා මම එනවා . එතකොටම මිනිහා දිව්වා මාමලාගේ ගෙදරට . හම්මේ ෆන් එක . පාරේ ලොරි ත්‍රීවිල් මෝටර්සයිකල් හැමවෙලේම එනවා . මමත් මිනිහා පස්සෙන් දිව්වා දිවිල්ලක් සිවුර වෙලේ කියලා . ඒත් මිනිහා අල්ලගන්න පුළුවන් උනේ මාමලාගේ ගෙවල් ගාවදි තමයි. 






දෙවියන්ගේ පිහිටයි කියලා මිනිහා මගෙන් ගුටියක් කෑවේ ඉස්සෙල්ලම එදා තමයි . මම මිනිහව ඇදගෙන එනකොට අම්මා දැනගත්තා අදනම් පොඩි මෑන් කනවා කියලා . ඒ නිසා අම්මා මාව අල්ලන්න මම ගාවට එනකොට ඉතින් මම පාර දීලා ඉවරයි . ඊට පස්සේ ඉඳලා මම මිනිහට දීපු කෝටු පාරවල් ගණන මෙතකැයි කියන්න බැහැ පිංවතුනි . සාධු කියන්න පිංවතුනි . 

මම මිනිහට පාඩම් කියා දෙනකොට දවසක් ඔන්න වලි . ගණන් හදන්නේ නෑ මිනිහා වෙන වෙන වැඩ කර කර ඉන්නවා . මම හයියෙන් කෑගහලා කිව්වා හදපිය ගණන් ටික . හදලා අනිත් ඒවා කරපිය කියලා . ම්හ් ..... වැඩක් නෑ . පස්සේ දුන්නා ඉතින් තුන් හතර පාරක් . ඉස්සරනම් අපේ අම්මලා මම එයාට කෝටු පාරවල් දෙනකොට හරියට මට දොස් මුරේ දානවා . පොඩි එකාට ගහලා වැඩක් නෑ කියලා . එව්වා කොහෙද මාත් එක්ක .

මම ඉතින් ඒ වෙලාවට කියන්නෙම අම්මලා මුට මේ වයසේ ගහන්න දුන්නේ නෑ වගේ තමයි ලොකු උනාම කියයි දැන් ගහන වයසක්ද කියලා . ඒ නිසා මම දෙන වෙලාවට පාර දෙනවා කියලා . හිහ් හිහ් හිහ් හිහ් හිහ් . මට මතක හැටියට මිනිහා මගෙන් වැඩිපුරම ගුටි කෑවේ පොර අපේ ගෙදර අයට ගහන නිසා . මිනිහ ඉඳලා හිටලා ගෙදර අය එක්ක මල පැන්නම ඔන්න හයියෙන් පාරක් දෙනවා අතින් . නැත්නම් පයින් ගහනවා . ඉතින් මට නඩුව ඇහෙනකොට මම කාමරෙන් පැනලා ඇවිත් කෝටුපාර දෙනවා .

මේ මොනවා කලත් , කොච්චර ගුටි කෑවත් මිනිහට මාව නැතුව බෑ . මටත් මිනිහා නැතුව ටිකක් අවුල් වගේ තමයි . මිනිහයි මමයි නටපු පිස්සු විකාර වැඩ මෙතකැයි කියන්න බැහැ පිංවතුනි . අපේ ගෙදර තිබුණා පරණ වලං . ඒ වගේම කිරි හට්ටි . ඉතින් මෙයා ඒවා සෙල්ලම් කරන්න අරන් ගියාම මම ඒවාට ගල් ගහනවා ඒම් කරලා . ඒවා හිල් උනාම මිනිහා මාත් එක්ක ගේ වටේ දුවනවා මට ගහන්න . පස්සේ වළඳ බින්දා කියලා අපේ අම්මගෙන් පැමිණිලි . හිහ් හිහ් හිහ් . මිනිහයි මමයි රෙස්ලින් ඇක්ට් කරලා ඇඳන්වල පොලු ලෑලි කීපයක්ම කඩලා තියෙනවා . හැබැයි ඒවා කැඩුවේ අපි කියලා කියන්නේ නැතුව වැටෙන නොවැටෙන ගානට අටවලා තියලා වෙන කෙනෙක් අහු කරනවා ඇඳ පොලු කැඩුවා කියලා . හිහ් හිහ් හිහ් හිහ් .






මිනිහට එක කාලයක් හැදුනා මාළු පිස්සුවක් . ඉතින් මමයි පොරයි යනවා ගෙවල් පල්ලෙහා ඇලට . ගිහින් සාරිගප්පි අල්ලන් ඇවිත් හට්ටිවල බේසම්වල මුට්ටිවල එහෙම දාගෙන එක විකාරයක් කළා . පස්සේ මිනිහට මාළු ටැංකියක් හදලා දුන්නා . මම මාළු ටැංකිය අලවන දවසේ මිනිහට මාරම හැපියක් තිබුණා . හිහ් හිහ් හිහ් 
මිනිහගේ මාළුටැංකියේ වැඩිපුරම ඉන්නේ ගෝල්ඩ්ෆිෂ්ලා . මේ මාළුන්ට මිනිහා නම් දාලා තියෙන්නේ . " බතලි , සුද්දා " වගේ නම් ටිකක් තියෙනවා උන්ට . 

පොර පොඩිකාලේ බත් කන්න හොරයි . තාමත් එහෙමම තමයි . ඉතින් මම තමයි මිනිහට බත් කැව්වේ . මම බත් එක ගත්තම අකමැත්තෙන් හරි මිනිහා ඔක්කොම කනවා . මොකද මම බත් එපා කියන්නවත් ඉඩක් තියන්නේ නෑ . ලොකු කටවල් අන අන කට පුරෝනකොට ඇස් ලොකු කරගෙන මගෙ දිහා බල බල බත් ටික ඔක්කොම කනවා . පස්සේ පස්සේ මිනිහා මට සද්දේ දානවා පොඩි කටවල් කවනවකෝ කියලා . ඒත් මම ලොකු කටවල්ම තමයි කවන්නේ .

ඊටපස්සේ රෑට නිදාගන්නකොට ඉතින් කතා කියන්නත් ඕන . මමනම් පටන්ගන්නෙම හොල්මන් කතාවලින් . ඒවා කියනකොට අහගෙන ඉඳලා අන්තිමට මම හයියෙන් කියනවා ඔන්න යකා.............. කියලා . එතකොට මෑන් බයවෙලා මාව බදාගන්නවා . හිහ් හිහ් හිහ් . නැත්නම් අඬ අඬ මට ගහනවා මිනිහව බය කරා කියලා . සමහර දවසට රෑට අපේ ගෙදර ඉඳලා එයාලගේ ගෙදරට එක්ක යනකොට අතරමගදී කළුවර වෙලාවටත් මම කියනවා ඔන්න යකා.................... කියලා . ඒ වෙලාවටත් එහෙමම තමා . හිහ් හිහ් හිහ් හිහ් 





ඉතින් එහෙම එහෙම කාලේ ගතවෙලා දැන් මල්ලි බබා ඉන්නේ හය වසරේ . ගිය සතියේ මම ගෙදර ආවේ නැති නිසා පොර විස්සෝපෙන් ඉඳලා තියෙන්නේ . ඒ සතියේ දවසක් එයාට එයාගේ අම්මා ෆ්‍රයිඩ් රයිස් එකක් කඩෙන් ගෙනත් දීලා ගෙදර බත් කන්නේ නැති නිසා . ඉතින් එහෙම උනාම හැමදාම මිනිහා ඒ බත් එක අපේ ගෙදර අරන් දුවගෙන එනවා අයියත් එක්ක කන්න කියලා . අපේ ගෙදර අයත් එයාට එහෙම බත් ගෙනත් දෙනවා කන්නේ නැතුව කටු ගැහෙන නිසා . එහෙම බත් ගෙනාවම මම කරන්නේ මේසෙ උඩම ඒක දිගෑරලා දෙන්නා එක්ක දෙපැත්තෙන් ඉඳගෙන බත් එක කන එක . 

මමනම් කන්නේ නැති තරම් . මොකද වයලීනෝ ෆ්‍රයිඩ් රයිස් වලට කැමති නෑ . වයලීනෝ කැමති රතුපාට බත් වලට . හිහ් හිහ් හිහ් හිහ් . හැබැයි පොරට පෙන්නනවා මමත් කනවා වගේ . එහෙම කරේ නැත්නම් පොඩි අය දීලා කන්න පුරුදු වෙන්නේ නෑ කියලා අපේ අම්මා කියනවා . ඇත්ත වෙන්න පුළුවන් ඒ කතාව .

ඉතින් මෙයා එදා බත් එක අරගෙන අපේ ගෙදර දුවගෙන ඇවිත් අපේ අම්මට කියනවලු " ලොකු නැන්දේ , අයියා නැතිව මට මේ බත් එක කන්න දුකයි වගේ . අයියට ආවම කන්න මේකෙන් ටිකක් අයින් කරලා තියන්න කියලා . පස්සේ අපේ අම්මා හිනාවෙලා කිව්වලු ඔලුවත් අතගාලා අයියා එන්නේ තව දවස් දෙකතුනකින් . ඒ නිසා ඔයා ඕක ඔක්කොම කන්න කියලා . ඒත් මිනිහා අයියගේ පංගුව වෙන්කරනකල්ම කාලා නෑ . පස්සේ අම්මා බත් ටිකක් පිඟානකට අරගෙන කන්න කිව්වම තමයි කාලා තියෙන්නේ . 

මම රෑට අම්මට කෝල් කරනකොට අම්මා මේ කතාව කිව්වා . එක කියලා කිව්වා දැන් මල්ලි හොඳයි නේද කියලා . ඇත්තටම දැන් මිනිහා හොඳ වෙලා තමයි . ඒක මටත් තේරෙනවා . එයාව මට්ටු කරන්නම බැරි නිසා මම ටික කාලෙකට කලින් වේවැලක් ගෙනාවා . ඒකෙන් එයා එකයි කෑවේ . ඊට පස්සේ කිසිම වරදක් නෑ . ඉස්කෝලේ වැඩත් දැන් වෙනදට වඩා හොඳට කරනවලු කියලා අපේ අම්මා කිව්වා . අයියට දෙන්නේ නැතුව බත් කන්න බැහැ කියලා කිව්වම මට මිනිහා ගැන පස්ටෙටම දුක හිතුනා . ඉතින් මම හිතාගත්තා මේ සතියේ ගෙදර එනකොට වෙනදා මිනිහට ගේන ඒවට වඩා වෙනස් මිනිහා කැමති මොනවා හරි ගන්න ඕන කියලා . 

ඉතින් මම ඒවත් අරන් ගෙදර ආවම තමයි දැනගත්තේ එයාගේ අම්මා එයාව ගමේ එක්ක ගිහින් කියලා . කලින් දවසේ රෑ මම කතා කරනකොට මිනිහා උඩ පැන පැන කිව්වා  " මේ සතියේ ගමේ යන්නේ නෑ , ඒ නිසා අයියා ගෙදර ආවම ඇලේ නාන්න යමු " කියලා . ඒත් මම එනකොට මිනිහාව ගමේ එක්ක ගිහින් . වෙනදත් සෙනසුරාදා එයාගේ අම්මයි තාත්තයි ගමේ යනකොට මෙයාව එක්ක යනවා . ඒත් අද මට වෙනදට වඩා පාළුවක් දැනෙනවා මිනිහා ගෙදර නැතුව . ඒ පාළුවත් එක්කම මට මේ ගීතය මතක් උනා .







මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව




පද රචනය - කුලරත්න ආරියවංශ




තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ






ගීතය අහන්නකො මෙතනින්



මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නේ කුඹුරක් මැද තියෙන මැටි ගහපු පොල් අතු හෙවිලි කරපු ගෙයක් . හැබැයි ඒ ගෙදර එහෙම කිව්වට මැටි ගාලා තියෙන්නේ ලස්සනට පිළිවෙලට . ඒ වගේම ඒ ගෙදර වහළට දාලා තියෙන පොල් අතු පිළිවෙලට ගැටගහලා තියෙනවා . ජනේල වලට තියලා තියෙන්නේ ලී රාමුවක් . ඒ රාමුවේ හරහට තවත් ලී තියලා තියෙනවා . ගේ ඉස්සරහා තියෙනවා ගොම මැටි ගාපු පිලක් . මේ ගෙදර ඉස්සරහා මිදුලේ තියෙනවා දෙතුන් දෙනෙක්ට වාඩිවෙලා ඉන්න පුළුවන් ගල් තලාවක් . මීදුම වැටෙන උදෑසනක මේ ගල්තලාව උඩ , සරමක් ඇඳගත්ත අයියා කෙනෙක් ඇණ තියාගෙන වාඩිවෙලා කල්පනා කරන සිතුවිලි පෙළක් තමයි මේ ගීතයෙන් කියවෙන්නේ කියලා මම හිතන්නේ .

මේ අයියා ඉන්න ගෙදර හිටියේ අයියයි මල්ලියි විතරයි . කාලයක් යනකොට මල්ලිට අසනීපයක් හැදිලා මල්ලි මිය යනවා . මල්ලි ඉන්න කාලේ අයියයි මල්ලියි බොහොම එකමුතුයි . ඒ එකමුතුකම නිසාම මල්ලි මියගියාට පස්සේ අයියට ඒ පාළුව හොඳට දැනෙනවා . මල්ලි මියගිහින් නිසා මෙහෙම හිතනවා කියලා කියන්න මට තියෙන හේතු තමයි මෙන්න මේවා . මේ ගීතයේ අයියා ගමනේ ගිහින් කියලා කියන්න බෑ . මොකද බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ කියන නිසා .

මොකද එහෙම කියන්න අයියා ගමේ ඉන්න ඕන මී ගසුත් ගමේ තියෙන නිසා . මල්ලි රස්සාවකට ගමෙන් පිටවෙලා කියන්නත් බෑ . මොකද තාමත් මී ඇට අහුලන්න අයියයි මල්ලියි එකට යන්න නම් මේ අයියයි මල්ලියි වැඩිවියේ ඒත් රස්සාවක් නොකරන වයසේ ඉන්න අය වෙන්න ඕන නිසා . අනික තමයි මේ තියෙන පසුබිමත් එක්ක මල්ලි වැඩිදුර අධ්‍යාපනයට ගමනේ පිටවෙලා කියන්නත් බෑ . මොකද මේවගේ පවුලකට එහෙම කරන්න තරම වත්කමක් තියෙන්න විදියක් නෑ . ඒ නිසා මම හිතන්නෙම මේ ගෙදර මල්ලි මියගිහින් නිසා අයියට තනිකම දැනෙනවා කියලා .

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

ගම්වල තාමත් මී තෙල් හිඳින කර්මාන්තය කරනවා . මී තෙල් හිඳින්නේ මී ගස්යට වැටෙන මී ඇට එකතු කරලා . මේ මී ගෙඩි කන්න රෑට වවුලෝ එනවා . මේ මා වවුලන් මී ගෙඩි කාලා මී ඇට දානවා . ඒ වගේම සමහර මී ගෙඩි වවුලෝ නොකාම වැටෙනවා . මේවා එකතුකරලා පිරිසිදු කරලා තමයි මී තෙල් හිඳින්නේ . ඉතින් මේ ගෙදරත් අයියයි මල්ලියි යනවා හැමදාම පාන්දර මී ඇට ඇහිඳින්න . ඒත් අයියා කියනවා බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බැහැ කියලා . ඒ කියන්නේ ඉස්සර වගේ මල්ලි නැති නිසා මී ඇට ඇහිඳින්න යන්න බැහැ , මල්ලි නැතිව තනිකම දැනෙන නිසා කියලා .

දැන් ඔයාලට කියන්න පුළුවන් මෙතන අයියා වැඩි වියට ඇවිත් විවාහ වෙලා ඉන්න නිසා මල්ලිත් එක්ක මී ඇට ඇහිඳින්න යන්න බැහැ කියලා කියනවා කියලා . ඒත් ගීතයේ අනිත් අන්තරා කොටස් එක්ක මෙතන අයියා එහෙම දෙයක් කියනවා කියලා සාධාරණව කියන්න බැහැ නේද . මට කලින් හිතුනා අයියා විවාහ වෙලා නැති නිසා මෙහෙම කියනවා වෙන්න පුළුවන් නේද කියලා . හැබැයි පින්වතුනී එහෙම කියන්නත් පුළුවන් නේද .

අයියා විවාහ වෙලා නෑ . මල්ලි ඒත් විවාහ වෙලා . අයියා ගෙදර තනියම . මල්ලි නෝනත් එක්ක වෙන ගෙදරක . ඒ නිසා අයියට මතක් වෙනවා මල්ලිත් එක්ක ඉස්සර කාලේ මී ඇහිඳින්න ගියපු හැටි . ඒ නිසා අයියා මේ ගීතය සිහිපත් කළා කියලත් ඕනනම් කියන්න පුළුවන් .

දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

දැන් අයියා තමන්ගෙයි මල්ලිගෙයි බාල කාලේ වෙච්ච දේවල් මතක් කරනවා . අයියයි මල්ලියි ඔන්න දර කඩන්න කුරුඳු කැලේකට යනවා . ඉතින් දර හොයා හොයා ඉන්නකොට අයියයි මල්ලියි මග ඇරිලා දෙන්නට දෙන්නව ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බැරිවෙනවා . මේ නිසා මල්ලි හයියෙන් අඬන්න ගන්නවා අයියා නැති නිසා පාළුවටයි බයටයි . අයියා අද කියනවා එදා මල්ලියේ උඹට දැනුන පාළුව දුක අද දැනෙන්නේ මටයි . නුඹ නැති නිසා මට තනිකම දැනෙනවා කියලා .

පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා



අයියයි මල්ලියි පොඩිකාලේ හවස් වෙලාවට පැදුරටවෙලා පොඩි හාන්සියක් දාගෙන කතා කියා කියා ඉන්නවා . ඉතින් මේ කතා කියන අතරේ අයියා ඉඳලා හිටලා හොල්මන් ගැන කතාත් කියනවා . මේ කතාවල ටිකක් බය දැනෙන දේවල් තියෙන නිසා මල්ලි අයියට තුරුළු වෙලා තමයි අහගෙන ඉන්නේ . තව බය වැඩිවෙන්න වැඩිවෙන්න මල්ලි අයියගේ ඇඟේ දැවටිලා තමයි මේ කතා අහගෙන ඉන්නේ . ඉතින් එච්චර ලෙන්ගතුකමින් හිටපු මල්ලි අද තමන් ළඟ නැති නිසා තමන්ට වාවගන්න බැරි තරම් දුකක් දැනෙනවා කියලා අයියා මේ සිතුවිලි මාලාවේ සිහිපත් කරනවා . සමහරවිට සිංදුමල්ලි දැන් කැම්පස් නිසා සිංදුවත් මේ ගීතය මේ දවස්වල ගායනා කරනවද කියලා මට නිකමට හිතෙනවා . වෙලාවට ඒක නිකමට වගේ හිතුනේ .
මේ ගීතයේ සංගීතය ගැන යමක් කියන්න ඕන . මේ ගීතයේ සංගීත සංයෝජනය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහයන් . එතුමා මේ ගීතයේ සංගීත සංයෝජනයේදී ගීතයේ තියෙන රස භාවයන් දෙකක් ප්‍රධානවම ඉස්මතු කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා මට හිතෙනවා . ඒවා තමයි ගැමි රසය සහ ශෝකී රසය . මේ ගීතයේ වචනවල ගැමිකම සම්පූර්ණවම ගැබ් වෙලා තියෙනවා . ඒවගේම අයියාගේ හිතේ ඇතිවෙන මල්ලි නැති දුකත් සංගීතය මගින් උලුප්පලා දක්වලා තියෙනවා .

ගීතයේ පෙරවාදනය ආරම්භ වෙන්නේ සිතාර් වාදනයකින් . ඒ සිතාර් වාදනයෙන් නම් මට ඇතිවෙන්නේ අයියයි මල්ලියි සෙල්ලම් කරනකොට තියෙන කෙළිලොල් පසුබිමක් . තබ්ලාවෙනුත් ඒ සිතාර් වාදනය අතරේ ඇති කරන්නේ කෙළිලොල් හැගීමක් . හැබැයි ඊට පස්සේ වයලීන් වලින් ඉහල ස්වර වල ඉඳලා ක්‍රමානුකූලව පහල ස්වර වලට ඇවිත් ශෝකී රසයක් ඉස්මතු කරනවා . මෙතනදී තබ්ලාවේ වාදනය කරන්නේ තබ්ලාවේ ලොකු ගෙඩිය . ඒ කියන්නෙ බාර් එක විතරයි .





ඊට පස්සේ බටනලා වාදනයක් ඇහෙනවා . මේ බටනලා වාදනය බටනලා දෙකකින් තමයි කරන්නේ . එකක් ඉහල ස්වර . අනික පහල ස්වර .හැබැයි හාමනී ස්වර නෙවෙයි වාදනය වෙන්නේ . එකම ස්වර ටිකක් තමයි වාදනය වෙන්නේ . මේ තේමා වාදනයේ ප්‍රධාන කොටස් කීපය වෙන් වෙන ස්ථානවල තබ්ලාවෙන් තබ්ලා බීට් එක කඩලා ගන්න විදිය හරිම ආකර්ෂණීයයි . මම හිතන්නේ මේ වාදනය කරන්නේ අප අතරින් සමුගත්ත දර්ශනපති විජේරත්න රණතුංගයන් වෙන්න ඕන කියලා . මොකද එතුමන්ගේ වාදන ශෛලීය මේ වාදනයේ හොඳට පෙන්නුම් කෙරෙනවා .







දැන් ඔන්න ගීතය ගායනා කෙරෙනවා . මේ ගීතය ශාස්ත්‍රීය සංගීත පසුබිම තදින්ම ඇසුරු කරගෙන පෙරදිග
ආරකට නිර්මාණය වෙච්ච නිසාද මන්දා මේකේ තනුව වයලීන් එකකින් වාදනය කරනවා . මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට එහෙම වාදනය කරන වෙලාවල් . ගීතයේ යටින් දිගටම ඇහෙනවා පන්තේරුවක සිලින් බිලින් එකක් චං චං චං චං ගාලා තාලය උඩ වාදනය වෙනවා . ඔන්න දැන් ගීතය ගායනා කරගෙන ඇවිත් මීගස් යට මී වැහි වැහැලා ...... කියලා කිව්වට පස්සේ සිතාර් එකෙන් බොහොම සරල ස්වර කීපයක බිට්ස් පාට් එකක් වාදනය කෙරෙනවා .

බාලේ මෙන් පාන්දරින් කියන කොටස ගායනා වෙන්න පටන් ගන්නකොටම පෙරදිග ශෛලියට බටහිර ශෛලිය එකතු වෙනවා . ඒ කවුන්ටර් පාට් එකකින් . බාලේ මෙන් පාන්දරින් ඇවිදින්නට යන්නට බැහැ කියනකල්ම මේ කවුන්ටර් පාට් එක වයලීන් වලින් වාදනය කෙරෙනවා . ඒ කවුන්ටර් එකත් හාමනී වෙන විදියට ස්වර ගලපලා වයලීන් කීපයකින් වාදනය කරන නිසා ගී පදවල ශෝකී රසය වඩාත් ඉස්මතු කරලා පෙන්නන්න කවුන්ටර් පාට් එක දායක වෙනවා කියලා මට හිතෙනවා . හැබැයි ඊට වඩා පාළුවක් දැනෙනවා මේ ගීතයේ මට තනියක් දැනෙනවා කියන කොටසෙන් . මොකද ඒ වෙලාවට ඔක්කොම වාදන භාණ්ඩ වාදනය නවත්තලා අමරදේවයන්ගේ හඬ විතරක් නිකුත් වෙන නිසා .

ඊට පස්සේ අතුරු වාදනයට එනවා . එතනදී තබ්ලාවෙන් මුලින්ම ටටක් ටටක් ගාලා කඩලා බීට් එකට එන විදියත් මම ටිකක් කැමති කොටසක් මේ ගීතයේ . ඊට පස්සේ අපිට ඇහෙනවා හොරණාවක් වගේ හඬක් . ඒ ඇහෙන්නේ ඕබෝ කියන වාදන භාණ්ඩය .







එකෙන් ඇතිවෙන්නේ මහා මූසල ගතියක් තියෙන හඬක් . නැත්නම් දුක පාළුව වගේ හැගීමක් ඇතිවෙනවා . මේ වාදනය යන අතරේ වයලීන් වල කම්බි අතින් පෙලලා ඇති කරනවා ටික් ටික් ටික් කියලා වාදනය කෙරෙන වාදන කණ්ඩ කීපයක් . මටනම් ඒ වාදනය නිසා ඇතිවෙන්නේ අවිනිශ්චිත බවක් .

ඒ නිසා මේ අතුරු වාදනයේ දුක හා අවිනිශ්චිත බව එකට මිශ්‍ර වෙලා වගේ තියෙනවා . මේ වයලීන් වලින් ටික් ටික් ටික් කියන ස්වර ටිකම චෙලෝ එකකින් බේස් හඬක් ඇති කරමින් වාදනය කෙරෙනවා . ඊට පස්සේ මේ අතුරු වාදනයේ නලාවෙන් වාදනය වෙච්ච ස්වර ටිකම වයලීන් වලින් වාදනය කරන අතරේ ටික් ටික් ටික් කියන ස්වර ටික ඕබෝ එකෙන් වාදනය කරනවා . මේවා අහලා විශ්ලේෂණය කරනකොට තමයි හිතෙන්නේ වීරසිංහයන් කොච්චර දැනුමක් එක ගීතයක තනුවක් තුල හසුරවලා තියෙනවද කියලා .

ගීතයේ විශේෂ සංගීත කොටස් කියලා මට ක්ලික් වෙන්නේ මේ සංගීත කොටස් තමයි . මේවා අතරේ තවත් මට නෑහුන සංගීත කොටස් ඔයාලට ඇහෙනවනම් අපිත් එක්ක බෙදාගන්න කියලා මම ආරාධනා කරනවා . එහෙනම් ගීතය ආයෙත් අහන්න . තවත් ලිපියකින් නැවතත් හමුවෙමු .






ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

17 comments :

  1. උඹේ කතාවත් එක්ක සිංදුව නියමෙටම ගැලපෙනවා බං.. මොන හේතුවක් හන්දද මන්දා මේක වැඩිය අහපු නැති සිංදුවක්..

    ReplyDelete
    Replies
    1. මේක රේඩියෝ එකේනම් වැඩිය ඇහෙන්නේ නැහැ වගේ තමයි . අවුරුදු කාලෙට ඇහෙනවා වැඩියි කියලා මට පොඩ්ඩක් මීටර් . මොකද සින්දුවේ තේරුම කෙසේ වෙතත් මේ ගීතයේ සංගීතය ගැමි පරිසරයක් මවන නිසා . අවුරුද්දත් ගමට සීමා කරලා තියෙන නිසා ඒ කාලෙට මේක ඇහෙනවා වැඩි ඇති . :) :)
      බොහොම ස්තූති g-) g-)

      Delete
  2. මං පට්ටම ආස සිංදුවක් මචෝ !! රෙෂ්පට්

    ReplyDelete
    Replies
    1. :) :) :) බොහොම ස්තූති g-) g-)

      Delete
  3. Me sinduwa ahanakota podi kale aye matak wenawa.aye a kaleta yanna tiyanawa nam....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත . දැන් මටත් හිතිලා තියෙන්නේ හැමදාම පොඩි කාලේ හිටියනම් ප්‍රොජෙක්ට් නෑ , අසයිමන්ට් නෑ , පාඩම් කරන්න නෑ , එක්සෑම් නෑ හඃ හඃ හඃ හඃ .
      බොහොම ස්තූති :) g-) g-)

      Delete
  4. කතාව සින්දුව හැම දේම අගෙයි... ලස්සනයි... නියමයි...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) g-) g-)

      Delete
  5. සින්දුව අහලා තිබුනත් ඒක ඇතුලෙ මේ වගේ කතාවක් තියෙනවා කියලා දැනුනේ අදයි... නියමයි....

    ReplyDelete
    Replies
    1. :) :) :) බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  6. සිංදුව වගේම අපූරු යාළුකමකුත් තියෙනවානෙ...

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  7. හරිම ලස්සන සින්දුවක්.
    මගේ ඇස් වලට කඳුළු එනවා ඇහෙනකොට..මගේ පුද්ගලික අත්දැකීමක්.
    පොඩි ඇඩ් එකක් දා ගත්ත මගේ පොස්ටුවකට....තරහ නෑනේ ...
    ජය
    http://awasankawiya.blogspot.com/2014/07/blog-post_5610.html

    ReplyDelete
    Replies
    1. අහ්හ් එල එල . මමත් ආවා ඔන්න ඒ පැත්තට .
      බොහොම ස්තූති :) g-) g-)

      Delete
  8. http://1.bp.blogspot.com/-8C5UH12mxf0/UTIzmsxczDI/AAAAAAAABDA/2seHdqLVQ6Q/s1600/suicide.gif

    ReplyDelete
    Replies
    1. http://2.bp.blogspot.com/-JOgaMRI61Jk/UTItsGc5KdI/AAAAAAAABBY/6UDCabfZQbg/s1600/hi+2.gif

      Delete
  9. මේකෙ මල්ලි මියගිහින් කියන තර්කය පිළිගන්න නම් අමාරුයි. අනිත් කොටස් ටික ගැන නම් විවාදයක් නෑ.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.