Saturday, March 14, 2015

සිනා පිපෙනා මේ වසන්තය පිපුණු හැටි









සෙකන්ඩ් ඉයර් එක පටන්ගත්තට පස්සේ ගෙදර යන්නේ නැතුව බෝඩිමේ නැවතුනේ අද තමයි ඉස්සෙල්ලම . වයලීනොට ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තිබුණ නෙව . ඉතින් ගෙදර ගියේ නෑ . ලුණු මිරිස් තුනපහ එක්ක අම්මලා උයන බත් කන්න නැති එක තමා එපා වෙන්නේ . ඕන එකක් කියලා එක්සෑම් ඉවරවෙලා ඇවිත් රෙදි හෝදලා නාලා කාලා බීලා බ්ලොග් එක පැත්තට ආවේ මොනවා ලියන්නද කියලා හිතා ගන්න බැරුව . පස්ට පාලුයි ලයිෆ් එකම මෙයාලා .

ෂර්ලොක් හෝම්ස් කතාව ලියන්න තාම අයිඩියාවක් ආවේ නෑ . ඒ නිසා අද තවත් ගීතයක් ගැන ලියන්න ඕන කියලා හිතුනා . මම නැවතිලා ඉන්න බෝඩිම තට්ටු දෙකේ ගෙදරක් . ඒකෙ උඩ තට්ටුවේ ඉස්සරහම තියෙන කාමරේ තමයි වයලීනෝ නැවතිලා ඉන්නේ . බෝඩිම් සංකීර්ණයේ ඉඩ මදි නිසා මේ කාමරේ පස්සේ කාලෙක තමයි හදලා තියෙන්නේ . ඉස්සරහාම තියෙන කාමරේ නිසා අපේ කාමරේ හරියට රිසෙප්ෂන් එක වගේ . එන එන එකා තම තමන්ගේ කාමර වලට යන්නේ අපේ කාමරේට ඔලුව දාලා පොඩි සද්දයක් දාලා .

ආ කස්ටියට කියන්නත් බැරි උනා . දැන් සිංදු මල්ලිත් අපේ කැම්පස් එකේ නිසා සිංදු මල්ලිත් ඉන්නේ මම ඉන්න බෝඩිමේ . ඒ නිසා මල්ලිගේ දුක සැප බලන්න ඔය සිංදුවා කියන මහත්හොරා ඉඳලා හිටලා අපේ බෝඩිම පැත්තේ කැරකෙනවා . එහෙම කිව්වට ඉතින් මල්ලි නවත්තන්න ආව දවසෙයි තව එක දවසකුයි තමා ආවේ . දැන් උදාවෙලා තියෙන තත්ත්වේ හැටියට සිංදුවා බෝඩිමට ඒම වහාම නවත්වන්න තමා වයලීනෝ හිතාගෙන ඉන්නේ .

එනිවේ ඉතින් අපි අපේ කතාවට එමුකො . වයලීනෝ මේ නවාතැනට ආව හැටි කලින් කිව්වද නැත්ද කියලා මතක නැහැ . ලීඩර්ශිප් කෑම්ප් එකේ හම්බවෙච්ච නංගි කෙනෙක් තමා මේ නවාතැන හොයලා දුන්නේ . ඉතින් මේ නවාතැනට ආව දවසේ තමයි දැනගත්තේ මේකේ වැඩි හරියක් ඉන්නේ ගාල්ලේ අය කියලා . ගාල්ලේ අය ගැනවත් බෙන්තර ගඟෙන් එහා ඇස් ඇරපු නැති පූස් පැටවූ ගැනවත් මම නම් ඔන්න කටේ කෙල බිඳක් හලන්නේ නෑ . හරීම හොඳ ළමයි ටිකක් ඉන්නේ ඒ පැත්තෙන් ආව .





මේ අය එක්ක තව නුවර හම්බන්තොට කළුතර වගේ පැති කීපයකම අය අපේ නවාතැනේ ඉන්නවා . මේ අයගෙන් ගොඩක් දෙනෙක් ගමේ කෙල්ලව දාලා කැම්පස් ආපු අය . එහෙම කිව්වේ බොලල්ලා , උන් තමන්ගේ ලව නවත්තලා ආවා කියලා නෙවේ . උන් ලවු කරන ගමන් තමයි ඇවිත් ඉන්නේ . අපේ කාමරේ කිට්ටුව තියෙන පඩිපෙළ ගාව තියෙනවා පොඩි කොරිඩෝ කෑල්ලක් . මේකට රෑට රෑට හඳ පායාගෙන එනකොට එක එක්කෙනා එකතුවෙනවා මල් කඩන්න . 

ඉතින් කාමරේ ඉන්න අපිට ඇහෙනවා මේ අය මල් කඩන්න විදිය . ගොඩක් අය තමන්ටවත් ඇහෙන්නේ නැති ගානට තමයි මල් කඩලා වට්ටියට අහුරලා පූජා කරන්නේ . ඉතින් ඒවා අපිට ඇහෙන්නෙත් නෑ උන්ට ඇහෙන්නෙත් නෑ කිසිම කරදරේකුත් නෑ . ඒත් ඔය ගාල්ල හම්බන්තොට පැතිවල සෙට් එකට වොලියුම් කන්ට්‍රොලින්ග් සිස්ටම්ස් උපතින්ම ලැබිලා නෑ . ඒ නිසා මල් කඩනකොටයි වට්ටියට ඒ මල් දානකොටයි මාර සද්දයක් එනවා .

අපිනම් වෙලාවකට පාඩම් කරන්න බැරි උනාම කෑගහනවා කඩන මලක් හෙමින් කඩපන් කියලා . ඒත් මුන් හැදෙන්නේ නෑ . ජම්ම ගතියනේ . ඔය මල් කඩන උන් අතරින් මල් කඩන එකයි ඉගෙනගන්න එකයි දෙකම සමබරව කරන උන් එක්කෙනයි මම තාම දැක්කේ . පොරත් ගාල්ලේ . මිනිහා මාර සිස්ටම් එකක් තමයි අනුගමනය කරන්නේ සමබර කරගන්න .

මිනිහා දවල්ට කැම්පස් යනවා . හවසට පාඩම් කරනවා . නැත්නම් අපිට පාඩම් කරගන්න දෙන්නේ නැතුව විකාර කර කර ඉන්නවා . රෑ 12ට නිදාගන්න ගියාම තමයි මල් කඩන්න පටන්ගන්නේ . ඉතින් මලත් එක්කම එහෙමම නින්ද යනවා . උදේට නැගිටලා ආයෙත් කැම්පස් යනවා . මම මිනිහා විතරයි තාම දැක්කේ බැලන්ස් කරන් මල් කඩන එකෙක්ට . හැබැයි මිනිහටත් ඒවා එහෙම උනාට ගෝල් දේසේ ගතිගුණ ටිකනම් අනේ දෙයියනේ කියලා පිහිටලා තියෙනවා . මම ඉතින් ඒවා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ .





මේ අතරින් තව එක මල්ලි කෙනෙක් ඉන්නවා . අද කතාවට පූර්විකාව ගන්නේ මම ඒ මල්ලිගෙන් . මිනිහත් ගාල්ලේ . හැබැයි ගාල්ලේ අයගේ ගතිගුණ වැඩිය පිහිටලා නැති බවක් තමයි මට මේ මල්ලිගෙන් පේන්නේ . බෝඩිමේ ඉන්න අයගෙන් ටිකක් පිරිසිදුවට ඉන්න ඕන කියලා හැගීමක් තියෙන කීපදෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ මල්ලි . ෆස්ට් ඉයර් එකේ මුලදී මේ මල්ලි කැම්පස් ආවට පස්සේ පස්සේ මෙයා කැම්පස් එන එක අඩු කළා . අපි අහලා බැලුවා මොකද එන්නේ නැත්තේ කියලා . ඒත් මිනිහා කියන්නේ අනේ වැඩක් නෑ කියලා . දවසේම බෝඩිමට වෙලා මැසේජ් කොට කොට කෝල් කර කර ඉන්නවා මිස ඉගෙනගන්න වැඩක් කරන්නේ නෑ . මැනේජ්මන්ට් ෆැකල්ටියේ කෙනෙක් නිසා අපිට වැඩිය මිනිහා කැම්පස් එකේ සෙට් වෙන්නේ නෑ . ඒත් බෝඩිමට ආවම අපිත් අහනවා ඇයි කැම්පස් යන්නේ නැත්තේ කියලා . 

මෙහෙම මෙහෙම කාලය ගතවුනා . දැන් අපි සෙකන්ඩ් ඉයර් එකේ . මේ මල්ලි ෆස්ට් ඉයර් එකේ සමහර සබ්ජෙක්ට් ලිව්වේ නෑ . ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ එක්සෑම් සම්පූර්ණෙන්ම ලිව්වේ නෑ . මිනිහා එතකොට ගෙදර ගිහින් හිටියේ . ඒ ඇයි කියලා මේ අවුරුද්දේ මුල මම අහනකොට තමයි පොර සීන් එක කිව්වේ .

පොරගේ කෙල්ල ඉන්න පැත්ත එච්චර කොල්ටි නැහැලු . ඒත් ගාල්ලේම තමා . කෙල්ල චාටඩ් එක්සෑම් කරන නිසා රෑ ජාමෙට එහෙන් එන්න ඕනලු ක්ලාස් යන්න . ඉතින් රෑ පාන්දර තනියට එන්න කවුරුවත් නැති නිසා මේ බූරුවා කැම්පස් ලෙක්චර්ස් එක්සෑම් ඔක්කොම කට් කරගෙන බෝඩිම් ෆීස් ගෙව ගෙව කෙල්ල පරිස්සම් කරන්න ගෙදරට වෙලා ඉන්නවා . නැත්නම් කෙල්ල එක්ක ක්ලාස් යනවා . ඉතින් මම ඇහුවා ඇයි කෙල්ලට අම්මෙක් අප්පෙක් නැද්ද උඹ බාප්පා වගේ ඒවා කර කර ඉන්නේ කියලා . එතකොට මු කියපි , කෙල්ලගේ අම්මට තාත්තට ඒවා ගැන වගක්වත් නැහැ කියලා . මමනම් හිතන්නේ මූ හරකා වගේ ඔක්කොම බර අදින නිසා ඒ මිනිස්සු සද්ද නැතුව ඉන්නවා ඇති . ගාල්ලෙනෙ දෙයියනේ මොනවා උනත් .





මේ ළඟදී ඒ නංගි මල්ලි දෙන්නා ලොකු රණ්ඩුවක් උනා ඇහුනා . දැන් ඒ කෙල්ලත් ඉන්නේ අපේ කැම්පස් එකේ . ඉතින් කොල්ලා දැන් කරන්නේ ලෙක්චර්ස් වලට යන්නේ නැතුව කෙල්ල එක්කන් එනවා එක්කන් යනවා . රැග සෙට් වෙයි කියලා වෙන්නැති එහෙම කරන්නේ . මන්දා ඉතින් ඒ මොනා කරත් කෙල්ල කොල්ලා එක්ක ලොකුවට රණ්ඩු වෙනවා ඇහුණාම අපිට ඒ ගොන්වහන්සේ ගැන නෙවෙයි දුක හිතුනේ උගේ අම්මා තාත්තා ගැන . ඒ මිනිස්සු හම්බ කර කර මුන්ට වියදම් කරනවා . ඒත් මුන් ඉගෙන ගන්නේ නෑ . ඒ මොනවා උනත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඉගෙන ගන්නෙත් නැති එකේ අඩුම තරමේ කෙල්ලවත් උට ඉතුරු වේවා කියලා .

ඒත් වෙනවට නෙවේ මට මෙහෙම ෂුවර් එකක් තියෙනවා . කෙල්ල ඉගෙනගත්තට පස්සේ කෙල්ලගේ අම්ම තාත්තා කෙල්ලව වෙන එකෙක්ට කසාද බන්දලා දෙනවා . ඇයි මූ ඒකිගේ වැඩ කර කර ඉන්නවා මිස ඉගෙන ගන්නේ නැහැනේ . ඒකා කෙල්ල පරිස්සම් කරන්න ගමට වෙලා ඉන්නවා කියලා දැනගත්තම මට මේ සිංදුව මතක් උනා . ( මොකද අපිත් ඉස්සර ඕක ඇහුවනේ ) . මෙහෙම කියනකොට කොල්ලා ලෝකෙම අමතක කරලා කෙල්ල එක්ක ඉන්න බලනවා ඇති . ඇති නෙවෙයි තමයි තමයි . මුලින්ම ගීතය අහලා ඉන්නකෝ .





සිනා පිපෙනා මේ වසන්තය 
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

සිනා පිපෙනා...

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා...//

ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර 
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි









මේ ගීතය ගායනා වුණේ ටෙලිනාට්‍යකට . මම පොඩීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ කාලේ මේ ටෙලි නාට්‍යය බැලුවා ලාවට මතකයි . හැබැයි ඒ මුල් විකාශනය නෙවෙයි . නැවත විකාශනයක් වෙන්න ඕන මගෙ හිතේ .ගංගා සහ නිශ්ශංක කියන ටෙලි නාට්‍ය වෙනුවෙන් තමයි මේ ගීතය ගායනා කෙරුනේ . ඒ වගේම කියන්න ඕන විශේෂ දෙයක් තමයි මේ ගීතය සමිතා එරන්දතී මහත්මියගේ පළවෙනි ගීතය ලු . මාරයි නේද මෙයාලා . එහෙනම් අපි බලමුකෝ ගීතයේ තේරුම කොහොමද කියලා .





සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

කාලයක් තිස්සේ අම්මා තාත්තාගේ හෙවනැල්ලේ හැදෙන වැඩෙන නිසාදෝ මන්දා කූඩුවෙන් නිදහස් වෙන්න වරම ලැබුනට පස්සේ තරුණ කාලේ ලැබෙන සුන්දර අත්දැකීමක් තමයි ආදරය කරනවා කියන එක . අම්මලා තාත්තලාගෙන මිදිලා සමාජෙට වැටෙනකොට අපිට වැඩිපුර ඇහැට සංවේදී වෙන චරිතයකට අපි ප්‍රේම කරන්න පටන් ගන්නවා . ඒක ජීවවිද්‍යාත්මකව වගේම මනෝ විද්‍යානුකූලවත් සාමාන්‍ය දෙයක් . නවයොවුන් වයසේ අතිවෙන් ප්‍රේමය තදබලවිදියට අන්ධයි කියන්නෙත් එහෙම අන්ධ ආදරයක් වෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති . මොකද මේ ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ අත්දැකීම මත පදනම් වෙලාවත් , ජීවන අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතලාවත් නෙවෙයි නිසා . මේ ගීතයේ ගීතයේ ස්ථායි කොටස ගැන බැලුවම මට පේනවා එහෙම අදහසක් .

මේ ගෑණුළමයත් ගෙදරක අම්මා තාත්තාගේ හෙවනැල්ලේ හැදිච්ච වැඩිච්ච ළමයෙක් වගේ . ඉතින් ප්‍රේම කරන්න පටන් ගත්තට පස්සේ ඔන්න ප්‍රේමවන්තයාව මේ ගෑණුළමයාට පෙන්නේ වසන්තය තමා වෙත අරගෙන එන සුර දූතයෙක් වගේ . සිනහව නමැති මල් පිපෙන මේ වසන්ත කාලය , මලක් නෙලාගෙන ඇවිත් තමන්ට තෑගී කරනවා වගේ තමන්ගේ ඒකාකාරී ලෝකයට ගෙනැත් දෙන්නේ තමන්ගේම ප්‍රේමවන්තයා කියලා මේ තරුණිය විශ්වාස කරනවා .

අම්මලා තාත්තලාගේ හෙවනල්ලේම හැදිච්ච කෙනෙක් කියලා මම කියන්නේ අන්න ඒ නිසා . මොකද කාලයත් එක්ක තමන්ට අත්දකින්න ලැබෙන මේ වෙනස වසන්තයක් කියලා මේ ගෑණු ළමයාට හිතෙන්නේ ගෙදර රැකවල් වලින් මිදුනට පස්සේ තවත් සුන්දර ලෝකයක් තමන්ට තියෙනවා කියලා දැනුනට පස්සේ නිසා .





නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

මේ තමයි මේ ගීතයේ මම කැමතිම කොටස . ඒ සංගීත සංයෝජනය නිසාද , ගීතයේ වචන නිසාද  , සමිතාගේ කටහඬ නිසාද නැත්නම් තනුව නිසාද කියලා කියන්න අමාරුයි . මමනම් හිතන්නේ සංගීතය නිසා කියන හේතුව පැත්තට වැඩිපුර බර වෙන්න ඕන . ඒක මම කියන්නම්කො සංගීතය ගැන කියනකොට .

ගෑණුළමයා ප්‍රේමවන්තයා නිසා පරිසරයේ කවදාවත් දැක්කේ නැති සුන්දරත්වයක් දකිනවා . ඒ සුන්දරත්වය වචනවලින් කියන්න එයාට තේරෙන්නේ නෑ . ඒ නිසා එයා කියනවා ගම මැදින් හමන සිහිලැල් මද පවන හැමවෙලේම සුවඳ වෙන්නේ එයාගේ ප්‍රේමවන්තයා නිසා කියලා .

ඊට පස්සේ එයාට හිතෙනවා කවදාහරි තමන්ට මේ ප්‍රේමවන්තයාගෙන් ඈත් වෙන්න වෙයිද දන්නේ නෑ කියලා . ඒ නිසා මේ ගෑණුළමයා ප්‍රාර්ථනයක් කරනවා තමන්ට මේ ලැබුණු නැවුම් සුහුඹුල් යෞවනයේ සිනා හසරැල් ගම් දොරෙන් පිට නොවේවා කියලා . ගීතයේ අදහස සරලව පෙනුනට යොවුන් ආදරය ගැන වැඩිපුර විස්තර කරන්න මේ පළවෙනි අන්තරා කොටස දායක වෙනවා කියලා කියන්න පුළුවන් .





නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

දැන් ඔන්න කොල්ලා එනවා කතාවට . කොල්ලත් කෙල්ලගේ මේ ආදරණීය වචනවලට හිත හදාගෙන ඉන්නේ . කොල්ලා කියනවා තමන්ගේ නොසෙල්වෙන සිතුවිලි නමැති ගස් අතර ඒ දෙන්නට තනිවෙන්න පුළුවන් උනේ තමන්ගේ ප්‍රේමවන්තිය නිසා , ප්‍රේමවන්තියගේ ආදරය නිසා කියලා . අහස සමුදුර වැළඳ සැනසෙන තැන කියන්නේ ක්ෂිතිජය . කොල්ලා කියනවා එයාගේ සෙනෙහස ක්ෂිතිජයේ හංගන්නම් කාටවත් ගන්න බැරිවෙන්න කියලා .

දෙන්නා ආදරේ කරනකොට ඉතින් අහස පොළව උනත් ගැටලන්න පුළුවන් තත්ත්වෙක නෙව තියෙන්නේ . ඉහි ඉහි ඉහි ඉහි .

මේ ගීතයේ සංගීතය ලක්ෂමන් විජේසේකර මහත්මයාගේ . ලක්ෂ්මන් විජේසේකර මහත්මයා වැඩිය ගීතවලට සංගීත නිර්මාණයෙන් දායක වෙලා නැහැ . මේ ගීතය ලක්ෂමන මහත්මයාගේ සංගීත නිර්මාණවලින් ඉහලින්ම තියෙන එකක් කියලා කියන්න පුළුවන් .

ගීතයේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම වතුර පාරක් ගලනවා වගේ තමයි තියෙන්නේ . එහෙම වෙලා තියෙන්නේ මමනම් හිතන විදියට මේ ගීතය පුරාවටම ගිටාර් වාදනය කරන ආකාරයට වගේම තාලය අනුව ටින් ටින් ගාලා වාදනය කරන ට්‍රෑන්ගල් කියන සංගීත භාණ්ඩය නිසා වෙන්න ඕන . ගීතයේ පෙර වාදනය පටන් ගන්නේ වයලීන් වලින් . ඊට පස්සේ බටනලාවක් වාදනය කරනවා . මේක උන බට බටනලාවක් නෙවෙයි . මටනම් ඇහෙන විදියට මේ වෙස්ටන් ෆ්ලුට් එකක් වාදනය කරන්නේ .





 ඒවගේම ගීතයේ බේස් ගිටාර් වාදනය ගීතය පුරාවටම විහිදිලා යනවා . ඒත් මට සැකයි මේ වාදනය කරන්නේ බේස් ගිටාර් එකක්මද කියලා .






සමහර ගීතවල බේස් පාට් වාදනය කරන්නේ වයලීන් පවුලේ වැඩිමලා විදියට සලකන ඩබල් බේස් කියන සංගීත භාණ්ඩයෙන් . මෙතනත් මට ඇහෙන්නේ ඩබල් බේස් එකකින් බේස් පාට් වාදනය කරනවා වගේ .

ගීතයේ තාල වාදනය කරන්නේ තබ්ලාවකින් මූලිකවම . මේ තාල වාදනය කරන්නේ තබ්ලාවක පොඩි කොටස , ඒ කියන්නේ ජිල් කීපයක් අදාළ ස්වර වලට සුෂර කරලා ඒවාට පිළිවෙලට තාලයට තට්ටු කිරීමෙන් . ජාල තරංගය වගේ තබ්ලා තරංගය කියලත් මෙහෙම වාදනය කරනවට කියනවා . ඒත් මෙතන නම් වාදනය කරන්නේ තබ්ලා ජිල් තුනක් .






දැන් ගීතයේ පෙර වාදනය ඉවරවෙලා ගීතය ආරම්භ වෙනවා . ගායනය වෙන වචනත් එක්කම ගිටාර් එකෙන් කෝඩ් පන්ච් එකක් දෙන්නේ නැතුව ස්වර වාදනය කරමින් අදාළ කෝඩ්ස් වාදනය කරනවා . ඒ ඇතුලින් ඇහෙනවා දිගටම වාදනය කරන ට්‍රෑන්ගල් සංගීත භාණ්ඩයේ හඬ . ඒ එක්කම ගීතයේ බිට්ස් පාට් සහ කවුන්ටර් වයලීන් එකෙන් වාදනය කරනවා .







ඊට පස්සේ ඔන්න එනවා ගීතයේ අතුරු වාදනයට . අතුරු වාදනය , වාදනය කරන්න තනි වයලීන් එකකින් . ඊට පස්සේ වයලීන් කොටස ඉවර වෙනවත් එක්කම බේස් ෆ්ලූට් එකෙන් තවත් කොටසක් වාදනය කරනවා . ඊට පස්සේ ඉතාම සුළු සංඛ්‍යාවකට සීමා වෙච්ච ස්වර ගණනක් වාදනය කරන්න සිතාර් එකක් භාවිතා වෙනවා . මේ සිතාර් එක හොඳට සුෂර කරලා තියෙනවා . මොකද සිතාර් වල තියෙනවා අනුනාද තත් කියලා තත් විශාල ගණනක් . ඒවා එක එක ස්වර වලට සුෂර කරලා සිතාර් එකේ ප්‍රධාන තත් වාදනය කරනකොට අනුනාද තත් වලින් ඉතාම මිහිරි හඬක් ඇති කරනවා . මේ සිතාර් වාදනයේත් මම දකිනවා ඒ අනුනාද වීම හොඳට වෙනවා කියලා .





ඊට පස්සේ ගීතයේ අන්තරා කොටස ගායනාවෙනවා . සාමාන්‍ය විදියට ගීතයේ අන්තරා කොටස ආරම්භ වෙලා ගම මැදින් හමනා පවන සිහිලැල් කියන වචන ටික ගායනා වෙනකොට ඒ අතරින් ඇහෙනවා බේස් ෆ්ලුට් එකෙන් කවුන්ටර් පාට් එකක් වාදනය කරනවා . මම හිතන්නේ මම ඔය ගීතයේ ඔය තැනට වැඩිපුර කැමති ඒ කවුන්ටර් පාට් එක නිසා වෙන්න ඇති . මොකද මම හැමවෙලේම ගීතය ප්ලේ කරාට පස්සේ මේ අන්තරා කොටස එනකල් බග බලාගෙන ඉන්නවා .

ඊට පස්සේ මම වඩාත් කැමතිම සංගීත කොටස තමයි ගම් දොරින් පිටමං උනේ මා කියන කොටසේ " රින් පිට " කියන තැන ගිටාර් කෝඩ්ස් මාරුවෙන තැන . එතන කෝඩ්ස් දෙකක් එකලඟ මාරුවෙන්න සංගීතය නිර්මාණය කරලා තියෙන විදිය හරිම ආකර්ෂණීයයි .

මේ ගීතයේ තවත් වැදගත් වාදන භාණ්ඩයක් තමයි චෙලෝව . වයලීන් පාට්ස් අතරේ චෙලෝවත් වාදනය කරනවා ඇහෙනවා සමහර තන්වල . ඔයාලටත් තේරේවි ඒ කොහෙද කියලා ගීතය අහනකොට .

අවසාන වශයෙන් මේකත් කියලාම මේ පෝස්ට් එක ඉවර කරන්න ඕන . ඒ ඩෙල් ස්ටූඩියෝ සංගීත සංයෝජනය . සිංදුවා කියන නිසාම ඩෙල් ස්ටූඩියෝව අහලා බැලුවා ගොඩක් ගීත . සමහර ගීතවල සංගීත සංයෝජනය නිසාම අහන එක නවත්තගන්න බැරි තත්ත්වයටම පත්වෙලා තියෙනවා . ඒත් සිනා පිපෙනා ගීතය ගැන තියෙන මගෙ පෞද්ගලික අදහසනම් ඩෙල් ස්ටූඩියෝවේ මේ ගීතය අසාර්ථකයි .




බොල සිංදුවො , මම කියන්නේ වාදනය ක‍රන ශිල්පීන් දෙන්නගේ හැකියාවට වත් , උන් දෙන්නටවත් අකමැතියි කියලා නෙවේ . සංගීත සංයෝජනය අසාර්ථකයි කියලා . ( බොට ඕන එකක් හිතාගනින් )

ආයෙත් එන්නම් තවත් ගීතයක් අරගෙන එහෙනම් .

මේ ලිපිය මේ ලිපියත් එක්ක තදින්ම සම්බන්ධයි 


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

14 comments :

  1. මාත් ආස සින්දුවක්... අනේ තේරුම් ගැන වත් ඔය වෙන අරවා මේවා ගැනවත් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ... ඒත් අර සිනා පිපෙනා මේ වසන්තේ.. නෙලා දෝතින් මලක් සේ.... කියන කෑල්ලට මාර ආසයි... එච්චරයි... හි හි....

    ඔය වැඩේ ඉස්සර අපෙ මහත්තයත් කළා අප්ප... හැබැයි එතකොට එයා ඉගෙනගෙන ඉවරයි... මට එක ක්ලාස් එකක් කට් කරන්න දුන්නෙ නෑ... මං කැම්පස් යන්නෙ නෑ කියලම පොලෙවෙ හැපි හැපි ඉන්න අතරෙ කැම්පස් ලියුම ආවම මං ඒක කාටත් හොරෙන් අල්මාරිය අස්සට විසි කරල කැම්පස් තේරුනේ නැති ගානට ඉඳලා තමයි බේරුනෙ... හි හි....

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ් හිහ් . අපරාදේ කැම්පස් ගියේ නැත්තේ හැබැයි . කමක් නෑ . එහෙම උනේ ඊටවඩා හොඳ දෙයක් ලැබෙන්න කියනවනේ . ඔය දැන් ලැබිලා තියෙන්නේ එක්කෙනෙක් . හිහ් හිහ් හිහ් හිහ් ........
      මමනම් මේ ගීතයට කැමති ඇයි කියලා අන්තිමටම දාලා තියෙන ලින්ක් එකෙන් ගියාම දැනගන්න පුළුවන් :p
      එනිවේ බොහොම ස්තූති :) :) g-) g-) g-)

      Delete
    2. පරණ පෝස්ට් එක දැනුයි කියෙව්වෙ.... ඒක කියෙව්වම මතක් උනේ මේක ...

      මගේ පුංචි මුද්ද....

      පෝස්ට් එක වැඩක් නෑ.. කමෙන්ට් ටික කියවන්නකො....

      Delete
    3. මම ඒකාලේම ඔය පෝස්ට් එක කියෙව්වා . ඒත් කමෙන්ට් කරේ නෑ . ඒ කාලේ බ්ලොග් කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑනේ :p

      ඒ පෝස්ට් එකේ තියෙන මෙන්න මේ කමෙන්ට් එක මරු

      //මතකය කොච්චර සොදුරුද කිව්වොත් ඒ වගේ මතකයන් ආයෙත් මතක් කරන්නවත් කැමති නැත.

      මුදු ගැන කිව්වොත් මෙසේය.

      1. පළමු මුද්ද - නැන්දගේ දුව බැදපු එකාගේ කකුල හෝදල (දැනට සෝමක්කා ගාව )
      2. දෙවන මුද්ද - ලොකු අම්මගේ දුව බැදපු එකාගේ කකුල හෝදල (ආගිය අතක් නැත )
      3. තුනවන මුද්ද අපේ මස්සිනාගේ කකුල හොදල (අප්පට සිරි කෝ ඇත්තට ඒක, අම්ම ගාව වත්ද )
      4. ඒ කාලේ ඉස්ටයිල් එකට දාපු රු.10 පෙන්ත කොස්ත සුදු යකඩ මුද්ද (ඉස්කෝලෙ ඩී.ඇච්.පී අයියා කෙනෙක් ගලෝ ගත්තා )
      5. අපලෙට දාපු සුදු යකඩ මුද්ද (තාමත් මේ ඇගිල්ලේ තියේ)
      6. මගුලෙ මුද්ද (දැනට මහජන බැංකුවේ දේපලකි, අපලෙට දාපු මුද්ද හරියට වැඩ කලානම් ඒ මුද්දත් නෑනේ)

      මුද්ද කිව්වහම ආස හිතෙන්නේ 'රන්මුද්ද' ට විතරයි. නාන්න නියම පොට් එක.//

      :-bd :-bd :-bd :-bd

      Delete
  2. palamu wathawatai sinduwa rasa winde.....sinduwata wagema bolaage geya wicharayath rasawath

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ...... :) g-) g-) g-)

      Delete
  3. මුලින් පාවිච්චි තරපු භාණ්ඩ වලට වෙනත් එ්වා අාදේශ කරලා සිංදුවේ තනුව වැයුවට සින්දුවට සාධාරණයක් වෙන් නෑ කියලා මේ ගොන් වහන්සේලා දන්නේ නෑ. උන්ට හිතන්න උවමනාවකුත් නෑ. එ්ත් මුලු අැඟේම හයිය දාලා සින්දුව වයන්න දඟලනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒකනම් එක එක්කෙනාගේ හැටියට සාපේක්ෂයි නේද ? . මමනම් හිතන්නේ මෙහෙම ඒවා කරනකොට ඒ මාධ්‍ය වලින් අනුග්‍රහය දක්වලා පරණ මුල් ගීතත් ප්‍රචාරය කරන්න වැඩ කරන්න ඕන . එතකොට අලුත් පරපුරට ඔක්කොම දේවල් අහලා ඉගෙන ගන්න පුළුවන් . දැන් කාලේ හැමෝම හොයන්නේ වෙනසක් . ඒ වෙනස වෙනුවෙන් ඩෙල් ස්ටූඩියෝ එක ඉහල දායකත්වයක් දෙනවා . ඒ වගේම පරණ මුල් කොපීස් ආයෙත් කරලියට ඒවත් එක්කම ගේනවනම් මේක සමබර වෙලා යයි මම හිතන්නේ .

      බොහොම ස්තූති අදහස් දැක්වුවාට :)
      g-) g-) g-)

      Delete
  4. අඩේ මාත් සිරාවටම ආස සිංදුවක්.. උඹේ ලිවිල්ලේ මම දැන් වැඩියෙන්ම බලන්නේ සංගීත භාන්ඬ ගැන ලියෙවෙන ටික..

    ReplyDelete
    Replies
    1. හිහ් . මමත් ඉතින් කස්ටිය වැඩිපුර කැමති නිසා එව්වාත් ලියලා දානවා මෙයා .
      බොහොම ස්තූති :) g-) g-) g-)

      Delete
  5. තෝ මල් කඩන හැටි ගැන පොඩි සින්දුවගෙන් අහගන්නම්කො

    ReplyDelete
    Replies
    1. හිහ් . අංක එක මොකක්ද කියලා අමතක වෙලා වගේ :p :p :p

      Delete
  6. කාලෙකට පස්සේ සිංදුවක් ගැන ලියලා... සාමාන්‍යයෙන් සිංදුවල මගේ වැඩිම අවධානය යන්නේ පද රචනය ගැනයි. සංගීතය ගැන පොදු අදහසක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හැබැ‍යි මම අහන් ඉන්න, කියවන්න කැමතියි, ගීතයක පද වගේම සංගීතය විචාරය කරන හැටිත්. ඒ කියන්නේ මම මේ වගේ පෝස්ට් වලට කැමතියි.

    මේ ගීතයේ පද වලත් සංගීතයේත් පුදුම සෞම්‍ය, හිත නිවෙන බවක් තියනවා. ඒ නිසා වෙන්න ඕනේ මේක මෙච්චර ජනප්‍රිය. කුමරදාස සපුතන්ත්‍රී ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. හැබැ‍යි ලක්ෂ්මන් විජේසේකර ගැන නම් මට හිතෙන්නේ තමන්ගේ උපරිම හැකියාවෙන් වැඩ නොගත්ත අති දක්ෂයෙක් කියන එකයි. ඔහු කරලා තියන ටික අරගෙන බැලුවහම ඒක පැහැදිලියි. සමිතාගේ මුල් ගීතය මට මතක හැටියට "ඉර පායා" ගීතය. ලාදුරු සම්බන්ධ උපදේශාත්මක නාට්‍යයක් විදිහට තමයි ඒක හැදුනේ. ඒකෙ ගීත ගායනා කරමින්, ප්‍රධාන කාන්තා චරිතය රඟපාමින් තමයි සමිතා කරලියට ආවේ.

    දැන් උඹේ සංගීත විචාරයත් එක්ක මේ සිංදුව ආයෙත් අහන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා ගැන කිව්ව කතාවනම් ඇත්ත . හරිම අඩුවෙන් තමයි වැඩ කරලා නිර්මාණ කරලා තියෙන්නේ . එකට හේතුව මොකක්ද කියලා හිතාගන්න බැහැ . මේ ගීතයේ සංගීතය බැලුවම එතුමාගේ දක්ෂතාවය කොච්චරද කියලා හිතාගන්න පුළුවන් . :)
      කමෙන්ට් එක දැක්කට ඒක කියවලා කමෙන්ට් එකක් දාන්න නිදහසක් ලැබුණේ අද තමයි ඔන්න :) g-)
      බොහොම ස්තූති අයියා g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.