Thursday, January 8, 2015

දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා





ආයුබෝවන් මහත් හොරුනේ මහත් හොරියනේ . ඔයාලට මතක ඇති වයලීනෝ මහතා විසින් මීට දශක කීපයකට පෙර ලිව්වා ගීත විචාරයක් වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ කියන ගීතය අලලා . අද කියන්න යන්නේ එතන ඉඳලා සිංදුවා ප්‍රේම පුරාණයේ ඊළඟ පියවර ගැන සහ ඒ එක්ක බැඳිලා තියෙන ගීතයක් ගැන . සිංදුවා මට කොච්චර තර්ජන කරත් මම දන්නවා ඕකා ලියන්නේ නෑ . මිනිහ දැන් වැඩිහරියක් කරන්නේ වතී එක්ක මල් කඩ කඩ ඉන්න එක . මේ ළගදී සිංදුවයි මමයි සිංදුමල්ලියි ගියා ගෝල් දේසෙට .

ඒ යන අතරමග දිගටම විනාඩි පහෙන් පහට වතී ගන්නවා සිංදුවට කෝල් . සිංදුවා කියනවා ඉතින් අපි දැන් ඉන්නේ කහතුඩුවේ , හා දැන් අපි ඉන්නේ වැලිපැන්නේ , දැන් ගෝල් දේසෙට ළඟයි කියලා . කන්න ගත්තම එක ව්‍යංජනයක් බෙදනවා ඔන්න කෝල් කරලා කියනවා වතී මම පරිප්පු බෙදාගත්තා කියලා . පස්සේ වතී එහෙන් කියනවා බටු කන්නෙපා වාතෙට අගුනයි කියලා . ඉතින් සිංදුවා කරන්නේ බෙදාගත්තා බටු ටික විසි කරනවා . අන්තිමට අයිස්ක්‍රීම් කෑවෙත් නෑ වතී එපා කිව්වා කියලා . හම්මේ පති පතිනි භක්තිය . ශාන්තී ශාන්තී ශාන්තී.........





ඔන්න ඉතින් ඔයාලා දන්නවනේ සිංදුවා වතීගේ ගමට ගියා කියලා . අර මම කිව්වේ අපේ වතී අක්කගේ පියාණන්ගේ අවසන් කටයුතු වලට සිංදුවා ඒ ගමට ගියා කියලා . ඔය අවසන් කටයුතු වලදී බුදු අම්මේ බලන්න එපාය අපේ සිංදුවා කරපු වැඩ කන්දරාව . මුළුමහත් දඹදිවට අගරජ වෙච්ච කුස රජ්ජුරුවෝ ඇත් හලේ අලි බෙටි ඇද්දේ කා වෙනුවෙන්ද පින්වතුනී , වලං හැදුවේ කා වෙනුවෙන්ද පින්වතුනී , සිංදුවතී වෙනුවෙන් පින්වතුනී . ඈ ආ නෑ නෑ පබාවතී වෙනුවෙන් පින්වතුනී . ඉතින් අපේ සිංදුවත් ඒ අඩිපාරේ යමින් වතී අක්කගේ පියාණන්ට අවසන් ගෞරව දක්වන්න කියලා හිතාගෙන මාර වැඩ කන්දරාවක් කලේ .

මරණෙට එන අයට කන්න උයන්න ඕනනේ . එහෙම උයන තැනට ගිහින් හාල් හෝදනවා , හාල් ගරනවා , එළවලු කපනවා පොල් මිරිකනවා පිරිස් අම්බරනවා . වැඩ කෝටියයි . එහෙම කරා විතරක්නම් බැරිය . මිදුලේ ටෙන්ට් හදන්න දෙන්නා දෙන්නා උස්සාගෙන එන යකඩ බාර් තනි අතෙන් උස්සාගෙන එනවා . ඇතුන් දස දෙනෙකුටවත් තනියම උස්සන්න බැරි තරමේ ප්ලාස්ටික් පුටු ගොඩවල් තනියම උස්සාගෙන එනවා . ඒ විතරක් නෙවේ උයන්න ගේන හාල් කිලෝ පනහේ මිටි තනි අතෙන් උස්සාගෙන යනවා . ගෝටයිම්බර යෝධයා පරාදයි . හනේ මුන් ඉතින් අම්මටත් එහෙම වැඩ කරලා දෙනවනම් කියලා මට හිතුණා පින්වතුනී . සාධු කියන්න පින්වතුනී ......






මරණේ වැඩ ඉවර වෙලා හත් දවසේ දානේ එනකල් දවස් ටිකෙත් සිංදුවා ඒ පැත්තේ කැරකුනා . වතීට තනි රකින්න වෙන්නැති . හිහ් හිහ් හිහ් හිහ් හිහ් .... ඒ එක දවසක මාර වැඩක් උනා . එක පාරටම ගෙදර හිටපු අයට ලොකු සද්දයක් ඇහුනා . ගෙදර බිත්ති දෙදරුවා . මේස වල තිබ්බ මල්පෝච්චි බිම පෙරලුනා . වහලේ උළු උඩ ගියා . ගෙදර අය කියන්න ගත්තා මී හරක් ගඳක් එනවා කියලා . ඒත් එක්කම කස්ටිය ගියා මිදුලට . ඔන්න එතකොට ඈතින් පේනවා වල්මත් වෙච්ච බයිසන් කුළු මී හරකෙක් සිංදුවතීගේ ගෙදර පැත්තට දුවගෙන එනවා . මල සීන් එක . සිංදුවා බය උනා වතීට අනතුරක් වෙයි කියලා . සිංදුවා එකපාරටම ඇඳගෙන හිටපු කමිසේ ගලවලා ඉනේ ගැටගහගත්තා . එක පාරටම සිංදුවා ඒ බයිසන් කුළු මී හරකාගේ පැත්තට දුවන්න ගත්තා .

හයියෝ මේක දැකලා පොලව මහී කාන්තාව බුර බුරා නැග්ගා . දෙරණත කම්පා උනා . අවට රැස්ව සිටි අය බියෙන් මිරිකිලා පෙරිලා ගියා . වයසක අය පොළව හිසේ ගහ ගත්තා . වතුර ගෙනන ලඳුන් වතුර කල උකුලෙන් බිමට දාලා දිව්වා . බීපු අයගේ වෙරි හිඳුනා . වෙරි නැති අයට වෙරි උනා . වතී අක්කා අඬන්න ගත්තා හීඊඊඊඊඊඊඊඉ හීඊඊඊඊඊඊඊඊඉහ් ඊඊඊඊඊඊඊඊඊඊඊ කියලා . අනේ මල සමයං . ඕකට ඔච්චර නහින්න ඕනද මම ආහන්නේ . love is blind කියනවනේ . ඒක වෙන්නැති අඬන්න ඇත්තේ . හෙන රොමන්ටික්නේ අඬනකොට . හනේ මගෙ කට .





ඔන්න දැන් පින්වතුනී බයිසන් කුළු මී හරකා  සහ අපේ හරකා . ඈ ආ නෑ නෑ අපේ සිංදුවා ටික ටික ලං වෙනවා . බයිසන් දමනය මෙන්න මෙහෙමයි ඒ කාලේ පොත්වල වර්ණනා කරලා තිබුනේ .

ඈත දූලියෙන් වැසී ගිය සිංදුවය , මෑත සුදු රෙදි වලින් වැසී ගිය බයිසන් ගවයාය
ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස සහිත සිංදුවය , මෑත දිව්‍යමය ලීලාවෙන් එන බයිසන්ය
ඈත පස්සෙන් දුන් දමමින් දිවයන සිංදුවය , මෑත නිල මහනෙල් මල් සුවඳ විසිරුවන බයිසන්ය
ඈත බැලූ බැලූ අය අනේ අනේ කියන සිංදුවය , මෑත බැලූ බැලූ අය කමෝන් කමෝන් කියන බයිසන්ය
ඈත පොලව හාරමින් දිවයන සිංදුවය , මෑත පොළවේ සනහමින් යන බයිසන්ය

පේනවනේ කොහොමද තත්ත්වේ කියලා . සිංදුවා දුවගෙන දුවගෙන ගිහින් බයිසන් ඉස්සරහට පැන්නා . ඊට පස්සේ බයිසන් කුළු මී හරකත් ආවා සිංදුවා ගාවට . ඇවිත් එක පාටරම සිංදුවා ගාවට පැන්නා . සිංදුවා මොකද කලේ . බයිසන් ගවයාගේ අං දෙකෙන් අල්ලලා හිස වටේ කරකවන්න ගත්තා . මහත් වූ ලීලාවෙන් ගවයා කරකවපු සිංදුවා බයිසන් ගවයා විසි කරනවා පිටසක්වලින් එහා තියෙන පරසක්වල කියන ගමට .







හ්ම්ම්ම්ම්ම් ගමේ අය ප්‍රීති ගෝෂා පවත්වනවා ජයවේවා සිංදුවා ජයවේවා කියලා . පස්සේ සිංදුවා එනවා හෙන පොර ලයින් එකක් දීගෙන වතීලගේ ගෙවල් පැත්තට . වතී අක්කා සින්දුවගේ මේ වීර ක්‍රියාව දැකලා පහන් සංවේගයට පත්වෙලා සිංදුවට ලොකූඌඌඌඌඌඌ බත් එකක් බෙදලා දෙනවා තව තවත් වෙර වීරිය ලැබෙන්න කන්න කියලා . ඔන්න ඕක දැක්කා සිංදුවතී අක්කගේ අයියා .

ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ . වතී අක්කගේ අයියට නිකමටවත් හිතුණේ නෑ වතී අක්කා අහුවෙලා ඉන්නේ මෙයාට වෙන්නැති කියලා . මේක වෙලා කාලයක් ගියාට පස්සේ අයියා හිතනවා කලවයසත් හරියාගෙන එන්නෙ නිසා වතී අක්කගෙන් අහන්න බොට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා . ඒත් ඒ වෙනකොට වතී අක්කගේ අයියට සිංදුවව අමතක වෙලා තිබ්බේ . බයිසන් කුළු මී හරකගෙන් වතී අක්කලගේ ගම බේරාගත්තා වීරයාව අමතක වෙලා තිබුණේ . වතීඅක්කට ලවු පිස්සුව ගහලා තිබුණ නිසා වතී අක්කගේ අයියා ශුවර්පිට තමා ඇහුවේ කොල්ලෙක් ඉන්නවද කියලා . හිහ් හිහ් හිහ් හිහ් හිහ් .......

අයියලා කවදත් නංගිලට ආදරෙයි . නංගිලට බැල්ම දාන ලාබ රත්තරන් බැඳගෙන පාලු වීදිවල එන මාල ගිරවු ගැන අයියලා සැලකිල්ලෙන් ඉන්නේ . තමන්ගේ නංගිලට සෙතක් වෙනවනම් අයියලා මස්සිනාලට හරිම ආදරේ වෙනවා . ඒත් එහෙම නෙවෙයිනම් අයියලා දරුණු වෙනවා බයිසන් කුළු මී හරක් වගේ . ඒ වගේ තමන්ගේ නංගිට ගොඩක් ආදරේ කරන අයියා කෙනෙක්ගේ සිතුවිල්ලක් ලූෂන් බුලත්සිංහල මහත්මයා ලිව්වා මෙන්න මෙහෙම .






දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
නංගිගේ පාමුල ඉර හද තියල
ආදර හිත ලග කවුරුද මුවා උනේ...

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

බාල බොලදියේ ඉස්සර සුරතල් වූ
කවට සිනා කෙලි සගවා තබුවාදෝ
වසන්තයට පෙර කකුලට ලංවී
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...






ගීතය ගායන කරන්නේ ගුණදාස කපුගේ මහත්මයා . ගීතයේ ගී පද හරිම සරළයි . හැබැයි ලොකු කතාවක් කියවෙනවා . අපි බලමු එක එක පද පේලි අරගෙන කොහොමද තේරුම කියලා .







දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
නංගිගේ පාමුල ඉර හද තියල
ආදර හිත ලග කවුරුද මුවා උනේ...

ගෙදරක අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා . දෙන්නම හරිම ආදරෙන් ඉන්නේ . ආදරේ වැඩිකමටම දෙන්නා ඉන්නේ යාළුවො වගේ . ඒත් කාලේ හරියනකොට මෝල් ගහෙත් මල් පිපෙනවා කියන කතාව මොනවට පසක් කරමින් මේ නංගිටත් මලක් පිපෙනවා . අයියා තමන්ට යන කලක් ගැන වැඩිය හිතන්නේ නෑ නංගි ගෙදර ඉන්න නිසා . ඒත් නංගි , කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවා . මේ නිසාම නංගිට දවසේ එදා මෙදා වැඩ ටික ටිකක් අවුල් වෙනවා .

ඒ කියන්නේ කල්පනාව ටිකක් අඩුවෙනවා . කොහොමත් ඒක සාමාන්‍ය දෙයක්නේ . දෙන්නෙක් ආදරේ කරන්න ගත්තට පස්සේ එයාලා ජීවත් වෙන්නේ එයාලගේ වෙනම ලෝකෙක . ඕකෙන් ආයෙත් මේ ලෝකෙට එන්නෙ බැන්දට පස්සේ තමයි . ඒකෙ වැරද්දක් නෑ . මිනිස්සුන්ගේ හැම හැගීමකටම අවස්ථාවක් තියෙන්න එපාය නේද

ඉතින් මේ නංගිත් අවසිහියෙන් වගේ තනියම හිනාවෙනවා , වැඩිපුර කණ්නාඩිය වටේ කැරකෙනවා , කියන දේ මතක නෑ වගේ වෙනස්කම් ගෙදරට පෙන්නනවා . ඉතින් අයියාට තේරෙනවා නංගිට දැන් ප්‍රේමවන්තයෙක් ලං වෙලා වෙන්නැති ඉන්නේ කියලා . අයියා හිතනවා මේක තමන්ට නංගි කියයි කියලා . ඒත් නංගි අයියට ඒක කියන්නේ නෑ . කොහොමත් කියන්න බැහැනේ . ඉතින් අයියා මේ ගැන නංගිගෙන් අහන්නෙ කොහොමද කියලා හිතනවා .

දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා කියන්නේ කටින් කිව්වේ නැත්නම් මම කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නේ කියලා ඇස්වලින් අයියට පේනවා නංගිගේ හිතේ කොල්ලෙක් ඉන්නවා කියලා . වසන් කරන හිත මුහුණේ ලියවෙනවා කියන්නේ ප්‍රේමවන්ත හිතක් තියෙනවා කියලා ගෙදරට හංගන්න හැදුවට හදවතේ කැඩපත කියන මුහුණෙන් ඒ ප්‍රේමවන්ත බව හොඳට පේනවා කියලා .

අපේ සිංදුවා වගේ ප්‍රේමවන්තයෝ කෙල්ලට කියන්නේ මම ඉර ගේන්නම් හඳ ගේන්නම් කියලනේ . ඉතින් අන්න ඒවගේ මේ ගීතයේ ඉන්න අයියත් අහනවා නංගිගෙන් නංගිගේ කකුල් දෙක ගාවට ඉර හඳ ගේන්නම් කියලා බලාපොරොත්තු ඇති කරලා නංගිගේ ප්‍රේමවන්ත ආදරණීය හිතට මුවා උනේ කවුද කියලා .







හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

මේ නංගි දැන් කණ්නාඩිය ඉස්සරහට ආවම ඉක්මනට බලන එකක් බලලා යන්නේ නෑ . ටිකක් වෙලාව අරගෙන කණ්නාඩිය ඉස්සරහා කැරකී කැරකී ඉඳලා තමයි යන්නේ . හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ කියන්නේ අන්න ඒකයි . කැඩපතට මහන්සියි කියලා කියනකල් නංගි කැඩපත ඉස්සරහා ඉන්නවලු . මොනවා කලත් මේ අයියට නංගි තාමත් පොඩියි වගේ පේන්නේ .

ඒ නිසා අයියා හිතනවා නංගිගේ පුංචි හිතේ ආදරය කියන මදුමල් පිපිලා එනවා වාගෙයි කියලා . ගෙදර බුදුන් මුව උදානයක් වූ කියලා කියන්නේ නංගිට අම්මා බණිනවා කියලා හිතන්නත් පුළුවන් මොන යකෙක් වැහිලද මේ දවස්වල කියලා . නැත්නම් හිතන්න පුළුවන් නංගි ගෙදර වැඩ කරන නිසා අම්මා නංගිට හොඳ කියනවා කියලා . කොහොම හරි එතනත් අවසානයේ අහන්නේ නංගිගේ හිතට මුවා උනේ කවුද කියලා .






බාල බොලදියේ ඉස්සර සුරතල් වූ
කවට සිනා කෙලි සගවා තබුවාදෝ
වසන්තයට පෙර කැකුලට ලංවී
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

අයියට නංගිව තාමත් පේන්නේ නංගි පොඩි ළමයෙක් වගේ . බාල බොලදීයේ ඉස්සර හුරතල් වූ , කවට සිනා කෙලි සඟවා තැබුවාදෝ කියලා කියන්නේ පොඩිකාලේ ඉදලාමේ නංගිගේ හිතේ තිබුණ බොළඳ ගති නිසා ගෙදර හුරතලේට හැදුනට ඒ කෙලි කවටකම් ඔක්කොම ප්‍රේමවන්තියක් උනාට පස්සේ නැතිවෙලා ගියාද කියලා . ඒවා හැංගුවේ ප්‍රේමවන්තයා විසින් කියලා තමයි අයියා හිතන්නේ . වසන්තයට පෙර කැකුලට ලංවී කියලා කියන දෙයින් අපිට හිතන්න පුළුවන් මේ නංගි ප්‍රේමවන්තියක් උනාට තාම පෙම් කරන්න තරම් වයසක නෙවෙයි ඉන්නේ කියලා . නැත්නම් එහෙම වයසක හිටියත් අයියට පේන්නේ නංගි බබෙක් වගේ නිසා අයියා හිතනවා ඇති නංගි වේලාසනින්ම ප්‍රේමවන්තියක් වෙලා කියලා .

මේ ගීතයේ සංගීතය ගැන කියන්න වැඩි දෙයක් නෑ . ඒ නිසා සංගීතය ගැන ලියන්නේ නෑ . කියවලා බලලා කියන්නකෝ බලන්න ඔයාලගේ අදහස් යෝජනා චෝදනා .

ආයෙත් මන්දුට සිඩක් යටතේ හම්බෙමුකෝ තව ටික කාලෙකින් . ඒ ප්‍රේම වෘතාන්තය මේ විදියට ලෝකාන්තය දක්වාම ගෙනියන්න තමයි මම ඉන්නේ . හිහ් හිහ් හිහ් හිහ් ................

මේ පාර නම් සිංදුවා මාව මරනවා ෂුවර් .

12 comments :

  1. මඩ පාර වගේම සිරා විචාරෙත් ලෙසටම කියෙව්ව ඈ
    හිහි
    මේ දාස් වල සිංදුව නැත්තෙ එහෙනං මේකයි
    හිහි
    ඕයේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අන්න ඒකයි . හිහ් හිහ් හිහ් හිහ් .......... දැන් මාස ගානක් draaft එකේ පෝස්ට් එකක් තියාගෙන සිංදුවා ලියනවා . මට ෂුවර් ඔකාගේ ළමයි තමා කවදා හරි ඒ පෝස්ට් ඉවර කරලා පබ්ලිෂ් කරන්නේ . හිහිහිහි
      බොහොම ස්තූති මෙයා :) :) g-) g-)

      Delete
    2. යේකක් නෙවෙයි හප්පා මේ ටිකේ වැඩ කිඩ පවුල් සංස්ථා වගකීම් වැඩි වෙලා. ආයේ ලියනවා.
      ලියන්නේ වයලට මඩක් හිටහන්කෝ !

      Delete
    3. මහින්ද තමන් දිනනවා කිව්වෙත් ඔහොම තමයි අයියේ =)) =)) =)) =)) =))

      Delete
  2. පට්ට ම පට්ට!!!!
    නිකම් අහලා තිබ්බට කතාව දැන ගත්තේ අද!!

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O :-O
      සින්දුවගේ කතාවද . ගීතයේ කතාවද ?

      Delete
  3. චහ්...
    මෙච්චර කල් මම හිතාගෙන හිටියෙ මේක නංගිව රවට්ටපු කොල්ලෙක් ගැන තරහින් අයියා කියන සිංදුවක් කියල...
    අයියෝ සල්ලි... :(
    නියමෙට ලියල තියෙනවනෙ. සිංදුවයි, මඩයි, විචාරෙයි ඔක්කොම...

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් නෑ නෑ . මේක බොහොම කූල් ගීතයක් මෙයා :) :)
      බොහොම ස්තූති g-) g-)

      Delete
  4. සුපිරි........... මඩ පොඩ්ඩක් අඩු කරල තව හොද සින්දු විචාරකය කරන්න....

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති . g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.