Sunday, January 25, 2015

ධීවරී ගීතයෙන් ඔබ්බට ගිය මගෙ අමල්බිසෝ







මට මේ ළඟදී නිකමට වගේ ටවුන් ආව වෙලාවක අපිට උගන්නපු මිස් කෙනෙක් හම්බුණා . දැන් නම් ඒ මිස් හරියට වෙනස් වෙලා වයසට ගිහින් නිසා වෙන්නැති . අපිත් වෙනස් වෙලා මිස්ල සර්ලත් වෙනස් වෙලා ඉස්කෝලෙත් වෙනස් වෙලා ලෝකෙත් වෙනස් වෙලා .

ඔහොම තමයි ලෝකෙ හැටි කියලා හිතුවට ඒ මිස්ලා අපිට උගන්නපු දේවල් , ඒ උගන්නනකොට හිතේ මවපු දේවල් තාමත් චිත්‍රපටයක චිත්‍ර දාමයක් වගේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා . මේ මිස් ඉගැන්නුවේ අපිට සිංහල විෂය . හත වසරේදී තමයි මේ මිස් අපිට උගන්නන්න ආවේ . එතකොටත් ඉස්කෝලේ හිටපු ජේෂ්ඨ ගුරුවරියක් ඒ මිස් .

මේ මිස්ගේ පීරියඩ් එකට ඒ කාලේ මම හරිම අකමැතියි . ඒ පිටපත් ලියන්න ඕන නිසා . මගෙ අකුරු තුන වසරේදී විතර ඉඳලා හකුරු වගේ උනා . වෙද පොත් පුස්කොල පොත් එහෙම බලපු නිසා මගෙ අකුරුත් ටිකක් ඒ වගේ වෙලා කියලා අම්මලා ඉස්සර කතා උනා . ඒත් කොච්චර පිටපත් ලිවීම ලිව්වත් අකුරු තාමත් එදා වගේ තමයි . සිංහල විතරක් නෙවේ ඉංගිරිස් පවා එහෙමයි . ඉතින් මේ මිසුත් මගෙ අකුරු බලලා හැමදාම පිටපත් ලිවීම කරන්න ඕන කියල නියම කළා . කොහොමහරි පන්තියේ ගොඩක් අය පිටපත් ලිවීම ලියනවා අකුරු කැත නිසා .





ඒ මිස්ගේ පුරුද්දක් තමයි උගන්නන්න කලින් භාවනා කරවන එක . ඉතින් අපි ඒ මිස්ගේ පීරියඩ් එකේ හැමදාම භාවනා කරනවා . ඊට පස්සේ පිටපත් ලිව්ව ඒවා බලනවා . ලියලා නැති අයට ගුටි තමයි . මම හැමදාම ඒක ලියාගෙන ගියත් අකුරු කැත නිසා නොවරදවාම බැනුම් අහගන්නවා .

කොහොමහරි ඒ අවුරුද්දම බැණුම් ඇහුවා . හඃ හඃ හඃ . ඔය හේතුව නිසාම ඒ පීරියඩ් එකට හරිම අකමැතියි . බැණුම් අහගෙන මොන ඉගෙන ගැනිලිද . අනික ඉතින් පටන්ගන්නකොටම බැනුමක් අහගත්තට පස්සේ මමනම් ඒ පීරියඩ් එකේම ඉන්නේ යකා වැහුණ ගානට .

කොටින්ම කියනවනම් රිලීෆ් දාලා තියෙන පොත ගෙනියන අයියාගෙන් රිලීෆ් පොත පවා ඉල්ලගෙන බලනවා ඒ කාලේ , වැරදිලාවත් ඒ මිස්ට රිලීෆ් එකක් එහෙම දාලා තියෙනවද දන්නේ නෑ කියලා . දාලා තියෙනවනම් කොහොමහරි ඒක කට් කරගන්න විදියක් තමයි කල්පනා කලේ ඒ කාලේ .

ඒත් ඒ මිස් උගන්නපු පාඩම් අදටත් මතකයි . දැන් නම් හිතෙනවා ඒ කාලේ ඉගෙනගත්ත දේවල් ආයෙත් ඉගෙනගන්න තිබ්බනම් කියලා . මට මතකයි මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ අපේ ගම පොතේ කොටසක් සිංහල පාඩමකට තිබුණා .

ඒකෙ තිබුණා කැළුම් නටන නිල්මිණි තලාවක් ගඟකට උපමා කරන  කතාවක් . ඒ කතාව මාර විදියට හිතට ගියා ඒ මිස් උගන්නපු විදියට . තව චුවාන් ගෙත්තම , අඹ යහළුවෝ , වගේ පාඩම් තාමත් මතකයි . ඔය අතරින් තිබුණ තවත් අමතක නොවන පාඩමක් තමයි ධීවරී ගීතය කියන කවි පංතිය .

වයලීනොගේ අම්මා උසස්පෙළට කරලා තියෙන්නේ කලා විෂය . ඉතින් අම්මා ඒ කාලේ පාඩම් කරපු පොතක තියෙනවා මේ ධීවරී ගීතය ලියපු සාගර පලන්සූරිය මහත්මයා ගැන මෙන්න මෙහෙම විස්තරයක් .






ඉතින් මෙන්න මේ සාගර පලන්සූරිය මහත්මයා තමයි ධීවරී ගීතය කියන කවි පංතිය රචනා කරලා තියෙන්නේ . මේ කවි පන්තියේ තියෙන්නේ මසුන් මරන්නෙක්ගේ බිරිඳක් වැල්ලේ තියෙන එයාලා පදිංචි වෙලා ඉන්න පොල් අතු පැලේ ඉඳගෙන මසුන් මරන්න ගිය තමන්ගේ ස්වාමියා ගැන හිතන සිතුවිලි දාමයක් ගැන .

අපිට සිංහල උගන්නපු මිස් මේ කවි පංතිය කියලා දෙනකොට මගෙ හිතේ මේ කියන විස්තරය චිත්‍රයක් වගේ මැවුනා . එදා මැවුන ඒ චිත්‍රය අදත් ඒ වගේම තියෙනවා . ඉතින් අද කියන්න යන්නේ මේ කවි පන්තියේ තේරුමට විරුද්ධ තේරුමක් තියෙන , ඒ කියන්නේ ස්වාමියා විසින් මුහුදු වැල්ලේ ගෙදරක ජීවත්වෙන බිරිඳ ගැන මවන සිතුවිලි දාමයක් වටා ගෙතිලා තියෙන ගීතයක් ගැන . මට හිතෙනවා ඇත්තටම මේ කියන්නේ මුහුදක් අයිනේ ඉන්න පවුලක් ගැනමද කියලා  .මුලින්ම ගීතය අහලා ඉන්නකෝ .





මගෙ අමල් බිසෝ
දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්



ගායනය - සුනිල් එදිරිසිංහ



පද - බණ්ඩාර ඇහැළියගොඩ



තනුව - රෝහණ වීරසිංහ 



පොඩිකාලේ මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නේ අමල්බිසෝ කතාවෙ ඉන්න රාක්ෂයව . ඒත් පස්සේ කාලෙකදී තමයි මේ ගීතයේ ඉන්නේ වෙනත් රාක්ෂයෙක් කියලා තේරුනේ . මම හිතන්නේ නම් ඒ රාක්ෂයා මුදල් කියන වෙන්න ඕන කියලා . ගීතයේ ස්ථායි අන්තරා කොටස් අරගෙන බැලුවම , මුදල් කියන රාක්ෂයා මිනිසුන් බිලිගන්න ආකාරයත් ඒ බිලිගැනීමට විරුද්ධව නැගී සිටින්න වෙරදරන මිනිස්සුන්ගේ ශක්තිය සහ හැගීම් ගැනත් මේ ගීතයේ පැහැදිලිවම අන්තර්ගත වෙලා තියෙනවා . 

මගෙ අමල් බිසෝ 
දොර හරින්නෙපා 
හොඳ පරිස්සමින් ඉඳපන් 
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ 
නුඹ මූදුකරේ තනියෙන් 

මූදුකරේ තනියෙන් කියල අවසාන පදෙන් කිව්වට , මමනම් හිතන්නේ මෙතනට මුහුදක් ගෑවෙන්නේ නෑ . මොකද මෙතන මම දීපංකරේ කියලා යෙදුමක් තියෙනවා . ගොඩක් වෙලාවට මුහුදු බඩ පරිසරවල ඉන්න පවුල්වල පිරිමි වෙන පළාත්වල රස්සාවල්වලට යන්න තියෙන ඉඩ හරිම අඩුයි . එයාලා කරන්නේ මාළු අල්ලන ඔරු වලට සම්බන්ධවෙලා මාළු අල්ලන්න යන එක . ඒත් මේ ගීතයේ ස්ථායි කොටසේ කියන්නේ රැකියාවක් කරන්න ගමෙන් හෝ රටෙන් පිටත් වෙච්ච සැමියෙක්ගේ සිතුවිලි කියලා තමයි මම නිගමනය කරන්නේ .

ඔහු කියනවා , මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා නුඹ පරිස්සමෙන් ඉඳපන් කියලා . මෙතන දොර හරින්නෙපා කියලා කියන්නේ විවාහය නමැති බන්ධනයෙන් වැසීගිය දොරටුව නැවත විවර කරලා වෙනත් පිරිමින් වෙත යන්න එපා කියලා වගේ අදහසක් . මොකද ස්වාමියා ඉන්නේ දුර ප්‍රදේශයක , නැත්නම් දුර රටක . පවුලේ ඕනා එපාකම් පිරිමහගන්න තමන් උපයන මුදල හොඳටම මදි කියලා ස්වාමියා දන්නවා . ඒ නිසා ස්වාමියාගේ හිතේ ඇතිවෙනවා පොඩි බයක් , තමන්ගේ බිරිඳ මුදල් වෙනුවෙන් වෙනත් පිරිමින් හොයාගෙන යයිද දන්නේ නෑ කියලා . ඉතින් ගෙදරින් ඈත්වෙලා ඉන්න මේ ස්වාමියා තමන්ගේ කුටුම්භය ගැන ලතවෙනවා වගේම දුක් වෙනවා . එහෙම වෙන්නේ බිරිඳ මූදුකරේ තනියෙන් ඉන්න නිසා .

මූදුකරේ කියන්නේ වෙරලක් කියලා මම හිතන්නේ නෑ . මෙතන පද බැඳුම යෙදීලා තියෙන විදියට මමනම් හිතන්නේ මූදුකරේ කියලා කියන්නේ විනාශ මුඛය කියලා . දැන් බලන්න , මුහුදක් අයිනේම ජීවත්වෙන අයට තමන්ගේ ජීවිතය ගැන ස්ථාවර බවක් හිතේ තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද ? බැහැ . ඒ මොකද මුහුද විශ්වාස කරන්න බෑ . කොයිවෙලේ ලොකු රැල්ලක් , සුනාමියක් වගේ එකක් නැත්නම් කුණාටුවක් ඇවිත් වෙරළේ තියෙන ගෙවල් බිලිගනියිද දන්නේ නෑ .

අන්න ඒවගේ තමයි මේ ස්ථායි කොටසේ කියන්නේ . තමන්ගේ බිරිඳ ඉන්නේ විනාශ මුඛය ඉදිරිපිට . ඒත් ඒ විනාශ මුඛයට පනින්න නම් එපා කියලා ස්වාමියා බිරිඳගෙන් ඉල්ලනවා වගේම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා . විනාශ මුඛය නමැති මුහුදුකරේ තනියම හිටියත් හිත දැඩි කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ .


යස ඉසුරු අරන් සුදු මහත්වරුන් 
ඒරොප්පෙ ඉඳන් ඇවිදින් 
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි 
නුඹ නොදැක්ක සේ ඉඳපන් 


දැන් අර මකර කටට පනින්න ඔන්න මෙන්න වගේ ඉන්නකොට මේ බිරිඳව , මකර කටට බලෙන්ම පන්නවන්න බලාගෙන ඉන්න සුදු මහත්තුරු ඒරොප්පේ ඉඳලා ඇවිත් මේ බිරිඳව මුලා කරගන්න බැල්ම හෙලයි , එහෙම බැල්ම දාලා ලං වෙන්න බලයිද දන්නේ නෑ කියලා ස්වාමියා තවදුරටත් හිතනවා . ඊට පස්සේ ස්වාමියා කියනවා එහෙම ලං වෙන්න ආවත් , උඹ ඒවා දැක්කේ නෑ වගේ ඉන්න කියලා .

යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පේ ඉඳලා එනවා කිව්වට , මේ සුදු මහත්වරු පිටරටවල්වල ඉඳලා එන පොත්ත සුදු මහත්වරුමද ? . නැහැ . මම නම් හිතන්නේ මේ සුදු මහත්වරු කියලා කියන්නේ ධනපති පංතියේ ඉන්න සෙල්ලක්කාර මහත්වරුන්ට කියලා . මොකද දුප්පත් මිනිස්සුන්ට ඒවගේ අය කළු වැඩ කරත් සුදු මහත්වරු , සුදු අයියලා , සුදු අප්පොලා .

ඉතින් පහල පංතියේ මිනිස්සු ඉහල පන්තියේ යට කියන්නේ සුදු මහත්තයා කියලා . අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කට්ට කළු මනුස්සයෙක් . හැබැයි සල්ලි නිසා මිනිහට සුදු අයියා , සුදු මල්ලි නැත්නම් සුදා කියලා තමයි ගමේ අය කියන්නේ . ඒ නිසා කළු අයට සුදු කියල අකියවාගන්න ඕන නම් ඔන්න චාන්ස් එකක් තියෙනවා , ටිකක් වැඩිපුර හම්බ කරානම් වැඩේ ගොඩ .

ඒරොප්පේ කියලා කියන්නේ පිටරටවල්ම කියලා කියන්න බැහැ . මොකද මම එහෙම කියන්නේ , දුප්පත් අය පිටරට වගේ කියලා මවාගන්නේ විශාල මන්දිර තියෙන සුඛෝපභෝගී පරිසරයක් . ඉතින් මේ ස්වාමියා තමන්ගේ බිරිඳට කියන්නේ ඒරොප්පේ ඉඳලා එන සුදු මහත්වරු කියලා , සල්ලිකාර ධනවත් මහත්වරු ගැන වෙන්න ඕන .

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන් 
ගෙට එබී බලයි හොරැහින් 
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් 
නුඹ හෝදිසියෙන් ඉඳපන් 


එක එක ජාතියේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන සමහර වෙලාවල් වලට ගෑණු අය එනවා ළමයි හොරකම්කරගෙන යන්න . සමහරවිට හොරකම් කරගෙනමත් නෙවෙයි , සල්ලි දීලා ළමයි හදාගන්න අරගෙන යන්න . ඉතින් මේ ස්වාමියා හිතනවා අතමන්ගේ බිරිඳ තමන්ගේ පවුලේ තියෙන අගහිඟකම් නිසා දරුන්වන් දන් දෙයිද දන්නේ නෑ කියලා .

ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන එහෙම හිතයි කියලා විශ්වාස කරන්න බැහැ කියලා දැන් ඔයාලා මට කියයි . ඒත් සමාජයේ වෙන දේවල් ඒක බැලුවම එහෙම වෙයි කියලා හිතන්න පුළුවන් නේද ? . මොකද ළමයින්ව ජීවත් කරවන්න අමාරු නිසාම එයාලා අකමත්තෙන්ම කැමතිවෙන්න පුළුවන් ළමයා හදාගන්න දෙන්න . ඉන්නවනම් තවත් ළමයෙක් , ඒ  ළමයා ජීවත් කරවන්න සල්ලි ඉල්ලන්නත් ඉඩ තියෙනවා .

ඉතින් මම කියන්නේ මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් කියන්නේ එහෙම දෙයක් කියලා . ස්වාමියා හිතුවට තමන්ගේ දරුවන් දෙයිද දන්නේ නෑ කියලා ස්වාමියා බිරිඳට පෙන්නන්නේ නෑ තමන් බිරිඳ ගැන එහෙම හිතුවා කියලා . ඒ නිසා ස්වාමියා කියනවා මෙහෙම සල්ලිකාර නෝනලා ආවට කමක් නෑ , ගෙදරට එබිකම් කලත් කමක් නෑ , අපේ දරුවන්ව ළඟට කරගෙන පරිස්සම් කරගෙන ඉන්න කියලා .

ඉතින් මේ ස්ථායි කොටසයි අන්තරා කොටස් දෙකයි අරගෙන බැලුවම මුදල් කියන්නේ අමල්බිසෝ හොයාගෙන ආපු රාක්ෂයාට වඩා භයානක රාක්ෂයෙක් කියලා පේනවා නේද ?

සංගීත සංයෝජනය ගැනත් කියන්න දේවල් ටිකක් තියෙනවා . මට මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිතෙන්නේ මේ ගීතය භීම්පලාසි කියන රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . සමහරවිට ඒක වැරදි වෙන්න පුළුවන් . ඒත් මේ ගීතයේ ස්වර රචනාව සමහර තැන් වලදී භීම්පලාසි රාගයත් එක්ක කෙලින්ම ගැළපෙනවා .

සිංදුවා ඉස්සර ලිව්වා පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය ගැන මෙන්න මේ පෝස්ට් එකේ . එතනදීත් මම කමෙන්ට් එකක කියලා තිබුණා ඒ ගීතයත් භීම්පලාසි රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . මෙතනදීත් මට මේ ගීතය ඇහෙන්නේ ඒ වගේ . මේ තියෙන්නේ භීම්පලාසි රාගයේ ගායනයක් . අහලා බලන්න පුළුවන් ඔයාලට කැමතිනම් .



මේ ගීතයේ ඉලෙක්ට්‍රික් ලීඩ් ගිටාර් එකකින් තමයි තේමා වාදනය ආරම්භ කරන්නේ . ඒත් එක්කම යටින් යනවා බේස් ගිටාර් වාදනය . මේ ගිටාර් වාදනයෙන් මට මැවිලා පේනවා නිකන් ක්ෂිතිජයක් වගේ පසුබිමක් . කවදාවත් ලං වෙන්නේ නැති , නැත්නම් දුරස් වීම කියන හැගීම ඇතිකරන්න ඒ ගිටාර් වාදනය හොඳට ගැළපෙනවා .





තේමා වාදනයේ තාල රහිත කොටස ඉවර උනාට පස්සේ තාල වාදනය කෙරෙන්නේ බොන්ගෝ ඩ්‍රම් එකකින් . ඒවගේම ඒ ප්‍රධාන තාලයට හයිහැට් ඒකත් බේස් ගිටාර් එකත් දායක වෙනවා . ඊට පස්සේ එනවා තේමා වාදනයේ තියෙන බටනලා වාදන කොටසට . එතනදී තාල වාදනය කෙරෙන්නේ රබානකින් . මෙතන බටනලා වාදනය කරන්නේ බටනලා දෙකකින් වීම විශේෂ දෙයක් . බේස් ගිටාර් එකෙන් මේ බටනලා වාදනය ඉස්මතු කරන්න දායකවෙන වාදන කණ්ඩයක් ඇහෙන්නේ නෑහෙන්නේ නැති ගානට වාදනය වෙනවා .









දැන් තේමා වාදනය ඉවරවෙලා ගායනය ආරම්භ වෙනවා . ඒ ආරම්භ වීම කරනකොට වාදනය සම්පූර්ණයෙන්ම නවතිනවා . ඊට පස්සේ මගෙ අමල් බිසෝ කියන කොටසේ බිසෝ කියන වචනය උඩදී තමයි ආයෙත් තාල වාද්‍ය භාණ්ඩයකින් තාලය වාදනය කරන්න පටන් ගන්නේ . මෙතන වාදනය කරන්නේ ඩොල්කිය කියන තාල වාද්‍ය භාණ්ඩය .





මේ ගීතයේ තියෙන මම කැමතිම කොටසක් තමයි ඔය ඩොල්කියෙන් ස්ථායි අන්තරා කොටස් ආරම්භ කරන විදිය . ඒ වගේම ඩොල්කිය වාදනය කරන විදියත් ආකර්ශනීයයි . මේ ගීතයේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ තුනක් හරි හරියට ගීතය පුරාවට වාදන වීම . ඒවා තමයි රබාන ඩොල්කිය සහ බොන්ගෝ ඩ්‍රම් එක .

ඔහොම දැන් ගීතය ගායනා වෙනකොට දීපංකරේ තනියෙන් කියන තැන තනියෙන් කියන වචනය එක්ක ඇහෙනවා බොන්ගෝ ඩ්‍රම් එකෙන් ටක ටක ටක ටක ගාලා වාදනයවෙන තාලයේ හතරගුණය දක්වන තාල කොටසක් වාදනය කරනවා . ඒ කොටසත් මේ ගීතයේ තියෙන මම කැමති කොටසක් . ඒ වගේ කොටසක් තව තිබුණ ඔයාලට මතකද දන්නේ නෑ , රෑ දොළොස් පැයේ ගීතය ගැන මම ලිව්ව මෙන්න මේ පෝස්ට් එකේ .





මේ ගීතයේ කෝඩ්ස් වාදනය කරන්නේ එකොස්ටික් ගිටාර් එකකින් . ඒ වාදනයවෙන කෝඩ්ස් වල ස්වර ග්ලොකන් ස්පීල් එකකිනුත් ගීතය පුරාවටම වාදනය කරනවා .

ආයෙත් කියන්න ඕන මේ ගීතයේ මම වැඩිපුරම සිත්ගත් තැන වෙන්නේ ස්ථායි අන්තරා කොටස් පටන් ගන්නකොටම ඩොල්කියෙන් වාදනය කෙරෙන වාදන කොටස . ඒකට අපි කියන්නේ සාමාන්යෙන් බීට් එක කඩලා ගන්නවා කියලා .

එහෙනම් තවත් ගීතයක්ගැන යක්කු ගැන එව්වා මෙව්වා ගැන පෝස්ට් එකක් අරගෙන ලබන සතියේ එන්නම්කෝ . දැන් වයලීනොට සති අන්තයේ නිවාඩුයි . ඒ නිසා සති අන්තයේ ලියන්න පුළුවන් ගින්නක් නැතුව . එහෙනම් අපි ගියා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


6 comments :

  1. මං කැමති මෙකේ විචාරයට.මෙකද මට සංගීතය ගැන දැනුමක් නෑ.හොද විචාරයක් හොද පැහැදිලි කිරිමක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) :) g-) g-)

      Delete
  2. Replies
    1. :) බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  3. ගොඩක් හොද විචාරයක්,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) :) :) මමත් කැමති ගීතයක් මේක

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.