අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

ටොක් ටොක් ටොක් ............... දවල් දොළහ පසුවී විනාඩි තිහක් ගතවන්නට ඔන්න මෙන්න තිබියදී බේකර්වීදියේ හෝම්ස්ගේ නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කර...

ශ්‍රී පාදස්ථානයේ රහස් සොයා ෂර්ලොක් හෝම්ස් ලංකාවට



ටොක් ටොක් ටොක් ...............

දවල් දොළහ පසුවී විනාඩි තිහක් ගතවන්නට ඔන්න මෙන්න තිබියදී බේකර්වීදියේ හෝම්ස්ගේ නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කරන ලදී .

" හෝම්ස් , මහාචාර්යතුමා විය යුතුයි ඒ දොර අසල සිටින්නේ "

" එහෙනම් ඔබ ගිහින් ඔහුව පිළිගන්න වොට්සන් "

මම එසැනින් ප්‍රධාන දොර අසලට ගොස් දොර විවෘත කලෙමි .

" ආයුබෝවන් මහත්මයා , මේ ඉන්නේ වොට්සන් දත් දොස්තර මහත්තයා වෙන්න ඕන . මම හරිද ? "

" ඔව් , ඔබතුමා මහාචාර්ය වයලීනෝ ? මමත් හරිද "


ඔක්කොම කියවන්න එන්න කියවන්න රසවිඳින්න 

හස්තිනාපුරට මෙන්න ලින්ක් ඒක 

0 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

මට මේ ළඟදී නිකමට වගේ ටවුන් ආව වෙලාවක අපිට උගන්නපු මිස් කෙනෙක් හම්බුණා . දැන් නම් ඒ මිස් හරියට වෙනස් වෙලා වයසට ගිහින් නිසා වෙන්නැති . ...

ධීවරී ගීතයෙන් ඔබ්බට ගිය මගෙ අමල්බිසෝ






මට මේ ළඟදී නිකමට වගේ ටවුන් ආව වෙලාවක අපිට උගන්නපු මිස් කෙනෙක් හම්බුණා . දැන් නම් ඒ මිස් හරියට වෙනස් වෙලා වයසට ගිහින් නිසා වෙන්නැති . අපිත් වෙනස් වෙලා මිස්ල සර්ලත් වෙනස් වෙලා ඉස්කෝලෙත් වෙනස් වෙලා ලෝකෙත් වෙනස් වෙලා .

ඔහොම තමයි ලෝකෙ හැටි කියලා හිතුවට ඒ මිස්ලා අපිට උගන්නපු දේවල් , ඒ උගන්නනකොට හිතේ මවපු දේවල් තාමත් චිත්‍රපටයක චිත්‍ර දාමයක් වගේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා . මේ මිස් ඉගැන්නුවේ අපිට සිංහල විෂය . හත වසරේදී තමයි මේ මිස් අපිට උගන්නන්න ආවේ . එතකොටත් ඉස්කෝලේ හිටපු ජේෂ්ඨ ගුරුවරියක් ඒ මිස් .

මේ මිස්ගේ පීරියඩ් එකට ඒ කාලේ මම හරිම අකමැතියි . ඒ පිටපත් ලියන්න ඕන නිසා . මගෙ අකුරු තුන වසරේදී විතර ඉඳලා හකුරු වගේ උනා . වෙද පොත් පුස්කොල පොත් එහෙම බලපු නිසා මගෙ අකුරුත් ටිකක් ඒ වගේ වෙලා කියලා අම්මලා ඉස්සර කතා උනා . ඒත් කොච්චර පිටපත් ලිවීම ලිව්වත් අකුරු තාමත් එදා වගේ තමයි . සිංහල විතරක් නෙවේ ඉංගිරිස් පවා එහෙමයි . ඉතින් මේ මිසුත් මගෙ අකුරු බලලා හැමදාම පිටපත් ලිවීම කරන්න ඕන කියල නියම කළා . කොහොමහරි පන්තියේ ගොඩක් අය පිටපත් ලිවීම ලියනවා අකුරු කැත නිසා .





ඒ මිස්ගේ පුරුද්දක් තමයි උගන්නන්න කලින් භාවනා කරවන එක . ඉතින් අපි ඒ මිස්ගේ පීරියඩ් එකේ හැමදාම භාවනා කරනවා . ඊට පස්සේ පිටපත් ලිව්ව ඒවා බලනවා . ලියලා නැති අයට ගුටි තමයි . මම හැමදාම ඒක ලියාගෙන ගියත් අකුරු කැත නිසා නොවරදවාම බැනුම් අහගන්නවා .

කොහොමහරි ඒ අවුරුද්දම බැණුම් ඇහුවා . හඃ හඃ හඃ . ඔය හේතුව නිසාම ඒ පීරියඩ් එකට හරිම අකමැතියි . බැණුම් අහගෙන මොන ඉගෙන ගැනිලිද . අනික ඉතින් පටන්ගන්නකොටම බැනුමක් අහගත්තට පස්සේ මමනම් ඒ පීරියඩ් එකේම ඉන්නේ යකා වැහුණ ගානට .

කොටින්ම කියනවනම් රිලීෆ් දාලා තියෙන පොත ගෙනියන අයියාගෙන් රිලීෆ් පොත පවා ඉල්ලගෙන බලනවා ඒ කාලේ , වැරදිලාවත් ඒ මිස්ට රිලීෆ් එකක් එහෙම දාලා තියෙනවද දන්නේ නෑ කියලා . දාලා තියෙනවනම් කොහොමහරි ඒක කට් කරගන්න විදියක් තමයි කල්පනා කලේ ඒ කාලේ .

ඒත් ඒ මිස් උගන්නපු පාඩම් අදටත් මතකයි . දැන් නම් හිතෙනවා ඒ කාලේ ඉගෙනගත්ත දේවල් ආයෙත් ඉගෙනගන්න තිබ්බනම් කියලා . මට මතකයි මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ අපේ ගම පොතේ කොටසක් සිංහල පාඩමකට තිබුණා .

ඒකෙ තිබුණා කැළුම් නටන නිල්මිණි තලාවක් ගඟකට උපමා කරන  කතාවක් . ඒ කතාව මාර විදියට හිතට ගියා ඒ මිස් උගන්නපු විදියට . තව චුවාන් ගෙත්තම , අඹ යහළුවෝ , වගේ පාඩම් තාමත් මතකයි . ඔය අතරින් තිබුණ තවත් අමතක නොවන පාඩමක් තමයි ධීවරී ගීතය කියන කවි පංතිය .

වයලීනොගේ අම්මා උසස්පෙළට කරලා තියෙන්නේ කලා විෂය . ඉතින් අම්මා ඒ කාලේ පාඩම් කරපු පොතක තියෙනවා මේ ධීවරී ගීතය ලියපු සාගර පලන්සූරිය මහත්මයා ගැන මෙන්න මෙහෙම විස්තරයක් .






ඉතින් මෙන්න මේ සාගර පලන්සූරිය මහත්මයා තමයි ධීවරී ගීතය කියන කවි පංතිය රචනා කරලා තියෙන්නේ . මේ කවි පන්තියේ තියෙන්නේ මසුන් මරන්නෙක්ගේ බිරිඳක් වැල්ලේ තියෙන එයාලා පදිංචි වෙලා ඉන්න පොල් අතු පැලේ ඉඳගෙන මසුන් මරන්න ගිය තමන්ගේ ස්වාමියා ගැන හිතන සිතුවිලි දාමයක් ගැන .

අපිට සිංහල උගන්නපු මිස් මේ කවි පංතිය කියලා දෙනකොට මගෙ හිතේ මේ කියන විස්තරය චිත්‍රයක් වගේ මැවුනා . එදා මැවුන ඒ චිත්‍රය අදත් ඒ වගේම තියෙනවා . ඉතින් අද කියන්න යන්නේ මේ කවි පන්තියේ තේරුමට විරුද්ධ තේරුමක් තියෙන , ඒ කියන්නේ ස්වාමියා විසින් මුහුදු වැල්ලේ ගෙදරක ජීවත්වෙන බිරිඳ ගැන මවන සිතුවිලි දාමයක් වටා ගෙතිලා තියෙන ගීතයක් ගැන . මට හිතෙනවා ඇත්තටම මේ කියන්නේ මුහුදක් අයිනේ ඉන්න පවුලක් ගැනමද කියලා  .මුලින්ම ගීතය අහලා ඉන්නකෝ .





මගෙ අමල් බිසෝ
දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්



ගායනය - සුනිල් එදිරිසිංහ



පද - බණ්ඩාර ඇහැළියගොඩ



තනුව - රෝහණ වීරසිංහ 



පොඩිකාලේ මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නේ අමල්බිසෝ කතාවෙ ඉන්න රාක්ෂයව . ඒත් පස්සේ කාලෙකදී තමයි මේ ගීතයේ ඉන්නේ වෙනත් රාක්ෂයෙක් කියලා තේරුනේ . මම හිතන්නේ නම් ඒ රාක්ෂයා මුදල් කියන වෙන්න ඕන කියලා . ගීතයේ ස්ථායි අන්තරා කොටස් අරගෙන බැලුවම , මුදල් කියන රාක්ෂයා මිනිසුන් බිලිගන්න ආකාරයත් ඒ බිලිගැනීමට විරුද්ධව නැගී සිටින්න වෙරදරන මිනිස්සුන්ගේ ශක්තිය සහ හැගීම් ගැනත් මේ ගීතයේ පැහැදිලිවම අන්තර්ගත වෙලා තියෙනවා . 

මගෙ අමල් බිසෝ 
දොර හරින්නෙපා 
හොඳ පරිස්සමින් ඉඳපන් 
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ 
නුඹ මූදුකරේ තනියෙන් 

මූදුකරේ තනියෙන් කියල අවසාන පදෙන් කිව්වට , මමනම් හිතන්නේ මෙතනට මුහුදක් ගෑවෙන්නේ නෑ . මොකද මෙතන මම දීපංකරේ කියලා යෙදුමක් තියෙනවා . ගොඩක් වෙලාවට මුහුදු බඩ පරිසරවල ඉන්න පවුල්වල පිරිමි වෙන පළාත්වල රස්සාවල්වලට යන්න තියෙන ඉඩ හරිම අඩුයි . එයාලා කරන්නේ මාළු අල්ලන ඔරු වලට සම්බන්ධවෙලා මාළු අල්ලන්න යන එක . ඒත් මේ ගීතයේ ස්ථායි කොටසේ කියන්නේ රැකියාවක් කරන්න ගමෙන් හෝ රටෙන් පිටත් වෙච්ච සැමියෙක්ගේ සිතුවිලි කියලා තමයි මම නිගමනය කරන්නේ .

ඔහු කියනවා , මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා නුඹ පරිස්සමෙන් ඉඳපන් කියලා . මෙතන දොර හරින්නෙපා කියලා කියන්නේ විවාහය නමැති බන්ධනයෙන් වැසීගිය දොරටුව නැවත විවර කරලා වෙනත් පිරිමින් වෙත යන්න එපා කියලා වගේ අදහසක් . මොකද ස්වාමියා ඉන්නේ දුර ප්‍රදේශයක , නැත්නම් දුර රටක . පවුලේ ඕනා එපාකම් පිරිමහගන්න තමන් උපයන මුදල හොඳටම මදි කියලා ස්වාමියා දන්නවා . ඒ නිසා ස්වාමියාගේ හිතේ ඇතිවෙනවා පොඩි බයක් , තමන්ගේ බිරිඳ මුදල් වෙනුවෙන් වෙනත් පිරිමින් හොයාගෙන යයිද දන්නේ නෑ කියලා . ඉතින් ගෙදරින් ඈත්වෙලා ඉන්න මේ ස්වාමියා තමන්ගේ කුටුම්භය ගැන ලතවෙනවා වගේම දුක් වෙනවා . එහෙම වෙන්නේ බිරිඳ මූදුකරේ තනියෙන් ඉන්න නිසා .

මූදුකරේ කියන්නේ වෙරලක් කියලා මම හිතන්නේ නෑ . මෙතන පද බැඳුම යෙදීලා තියෙන විදියට මමනම් හිතන්නේ මූදුකරේ කියලා කියන්නේ විනාශ මුඛය කියලා . දැන් බලන්න , මුහුදක් අයිනේම ජීවත්වෙන අයට තමන්ගේ ජීවිතය ගැන ස්ථාවර බවක් හිතේ තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද ? බැහැ . ඒ මොකද මුහුද විශ්වාස කරන්න බෑ . කොයිවෙලේ ලොකු රැල්ලක් , සුනාමියක් වගේ එකක් නැත්නම් කුණාටුවක් ඇවිත් වෙරළේ තියෙන ගෙවල් බිලිගනියිද දන්නේ නෑ .

අන්න ඒවගේ තමයි මේ ස්ථායි කොටසේ කියන්නේ . තමන්ගේ බිරිඳ ඉන්නේ විනාශ මුඛය ඉදිරිපිට . ඒත් ඒ විනාශ මුඛයට පනින්න නම් එපා කියලා ස්වාමියා බිරිඳගෙන් ඉල්ලනවා වගේම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා . විනාශ මුඛය නමැති මුහුදුකරේ තනියම හිටියත් හිත දැඩි කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ .


යස ඉසුරු අරන් සුදු මහත්වරුන් 
ඒරොප්පෙ ඉඳන් ඇවිදින් 
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි 
නුඹ නොදැක්ක සේ ඉඳපන් 


දැන් අර මකර කටට පනින්න ඔන්න මෙන්න වගේ ඉන්නකොට මේ බිරිඳව , මකර කටට බලෙන්ම පන්නවන්න බලාගෙන ඉන්න සුදු මහත්තුරු ඒරොප්පේ ඉඳලා ඇවිත් මේ බිරිඳව මුලා කරගන්න බැල්ම හෙලයි , එහෙම බැල්ම දාලා ලං වෙන්න බලයිද දන්නේ නෑ කියලා ස්වාමියා තවදුරටත් හිතනවා . ඊට පස්සේ ස්වාමියා කියනවා එහෙම ලං වෙන්න ආවත් , උඹ ඒවා දැක්කේ නෑ වගේ ඉන්න කියලා .

යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පේ ඉඳලා එනවා කිව්වට , මේ සුදු මහත්වරු පිටරටවල්වල ඉඳලා එන පොත්ත සුදු මහත්වරුමද ? . නැහැ . මම නම් හිතන්නේ මේ සුදු මහත්වරු කියලා කියන්නේ ධනපති පංතියේ ඉන්න සෙල්ලක්කාර මහත්වරුන්ට කියලා . මොකද දුප්පත් මිනිස්සුන්ට ඒවගේ අය කළු වැඩ කරත් සුදු මහත්වරු , සුදු අයියලා , සුදු අප්පොලා .

ඉතින් පහල පංතියේ මිනිස්සු ඉහල පන්තියේ යට කියන්නේ සුදු මහත්තයා කියලා . අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කට්ට කළු මනුස්සයෙක් . හැබැයි සල්ලි නිසා මිනිහට සුදු අයියා , සුදු මල්ලි නැත්නම් සුදා කියලා තමයි ගමේ අය කියන්නේ . ඒ නිසා කළු අයට සුදු කියල අකියවාගන්න ඕන නම් ඔන්න චාන්ස් එකක් තියෙනවා , ටිකක් වැඩිපුර හම්බ කරානම් වැඩේ ගොඩ .

ඒරොප්පේ කියලා කියන්නේ පිටරටවල්ම කියලා කියන්න බැහැ . මොකද මම එහෙම කියන්නේ , දුප්පත් අය පිටරට වගේ කියලා මවාගන්නේ විශාල මන්දිර තියෙන සුඛෝපභෝගී පරිසරයක් . ඉතින් මේ ස්වාමියා තමන්ගේ බිරිඳට කියන්නේ ඒරොප්පේ ඉඳලා එන සුදු මහත්වරු කියලා , සල්ලිකාර ධනවත් මහත්වරු ගැන වෙන්න ඕන .

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන් 
ගෙට එබී බලයි හොරැහින් 
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් 
නුඹ හෝදිසියෙන් ඉඳපන් 


එක එක ජාතියේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන සමහර වෙලාවල් වලට ගෑණු අය එනවා ළමයි හොරකම්කරගෙන යන්න . සමහරවිට හොරකම් කරගෙනමත් නෙවෙයි , සල්ලි දීලා ළමයි හදාගන්න අරගෙන යන්න . ඉතින් මේ ස්වාමියා හිතනවා අතමන්ගේ බිරිඳ තමන්ගේ පවුලේ තියෙන අගහිඟකම් නිසා දරුන්වන් දන් දෙයිද දන්නේ නෑ කියලා .

ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන එහෙම හිතයි කියලා විශ්වාස කරන්න බැහැ කියලා දැන් ඔයාලා මට කියයි . ඒත් සමාජයේ වෙන දේවල් ඒක බැලුවම එහෙම වෙයි කියලා හිතන්න පුළුවන් නේද ? . මොකද ළමයින්ව ජීවත් කරවන්න අමාරු නිසාම එයාලා අකමත්තෙන්ම කැමතිවෙන්න පුළුවන් ළමයා හදාගන්න දෙන්න . ඉන්නවනම් තවත් ළමයෙක් , ඒ  ළමයා ජීවත් කරවන්න සල්ලි ඉල්ලන්නත් ඉඩ තියෙනවා .

ඉතින් මම කියන්නේ මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් කියන්නේ එහෙම දෙයක් කියලා . ස්වාමියා හිතුවට තමන්ගේ දරුවන් දෙයිද දන්නේ නෑ කියලා ස්වාමියා බිරිඳට පෙන්නන්නේ නෑ තමන් බිරිඳ ගැන එහෙම හිතුවා කියලා . ඒ නිසා ස්වාමියා කියනවා මෙහෙම සල්ලිකාර නෝනලා ආවට කමක් නෑ , ගෙදරට එබිකම් කලත් කමක් නෑ , අපේ දරුවන්ව ළඟට කරගෙන පරිස්සම් කරගෙන ඉන්න කියලා .

ඉතින් මේ ස්ථායි කොටසයි අන්තරා කොටස් දෙකයි අරගෙන බැලුවම මුදල් කියන්නේ අමල්බිසෝ හොයාගෙන ආපු රාක්ෂයාට වඩා භයානක රාක්ෂයෙක් කියලා පේනවා නේද ?

සංගීත සංයෝජනය ගැනත් කියන්න දේවල් ටිකක් තියෙනවා . මට මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිතෙන්නේ මේ ගීතය භීම්පලාසි කියන රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . සමහරවිට ඒක වැරදි වෙන්න පුළුවන් . ඒත් මේ ගීතයේ ස්වර රචනාව සමහර තැන් වලදී භීම්පලාසි රාගයත් එක්ක කෙලින්ම ගැළපෙනවා .

සිංදුවා ඉස්සර ලිව්වා පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය ගැන මෙන්න මේ පෝස්ට් එකේ . එතනදීත් මම කමෙන්ට් එකක කියලා තිබුණා ඒ ගීතයත් භීම්පලාසි රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . මෙතනදීත් මට මේ ගීතය ඇහෙන්නේ ඒ වගේ . මේ තියෙන්නේ භීම්පලාසි රාගයේ ගායනයක් . අහලා බලන්න පුළුවන් ඔයාලට කැමතිනම් .



මේ ගීතයේ ඉලෙක්ට්‍රික් ලීඩ් ගිටාර් එකකින් තමයි තේමා වාදනය ආරම්භ කරන්නේ . ඒත් එක්කම යටින් යනවා බේස් ගිටාර් වාදනය . මේ ගිටාර් වාදනයෙන් මට මැවිලා පේනවා නිකන් ක්ෂිතිජයක් වගේ පසුබිමක් . කවදාවත් ලං වෙන්නේ නැති , නැත්නම් දුරස් වීම කියන හැගීම ඇතිකරන්න ඒ ගිටාර් වාදනය හොඳට ගැළපෙනවා .





තේමා වාදනයේ තාල රහිත කොටස ඉවර උනාට පස්සේ තාල වාදනය කෙරෙන්නේ බොන්ගෝ ඩ්‍රම් එකකින් . ඒවගේම ඒ ප්‍රධාන තාලයට හයිහැට් ඒකත් බේස් ගිටාර් එකත් දායක වෙනවා . ඊට පස්සේ එනවා තේමා වාදනයේ තියෙන බටනලා වාදන කොටසට . එතනදී තාල වාදනය කෙරෙන්නේ රබානකින් . මෙතන බටනලා වාදනය කරන්නේ බටනලා දෙකකින් වීම විශේෂ දෙයක් . බේස් ගිටාර් එකෙන් මේ බටනලා වාදනය ඉස්මතු කරන්න දායකවෙන වාදන කණ්ඩයක් ඇහෙන්නේ නෑහෙන්නේ නැති ගානට වාදනය වෙනවා .









දැන් තේමා වාදනය ඉවරවෙලා ගායනය ආරම්භ වෙනවා . ඒ ආරම්භ වීම කරනකොට වාදනය සම්පූර්ණයෙන්ම නවතිනවා . ඊට පස්සේ මගෙ අමල් බිසෝ කියන කොටසේ බිසෝ කියන වචනය උඩදී තමයි ආයෙත් තාල වාද්‍ය භාණ්ඩයකින් තාලය වාදනය කරන්න පටන් ගන්නේ . මෙතන වාදනය කරන්නේ ඩොල්කිය කියන තාල වාද්‍ය භාණ්ඩය .





මේ ගීතයේ තියෙන මම කැමතිම කොටසක් තමයි ඔය ඩොල්කියෙන් ස්ථායි අන්තරා කොටස් ආරම්භ කරන විදිය . ඒ වගේම ඩොල්කිය වාදනය කරන විදියත් ආකර්ශනීයයි . මේ ගීතයේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ තුනක් හරි හරියට ගීතය පුරාවට වාදන වීම . ඒවා තමයි රබාන ඩොල්කිය සහ බොන්ගෝ ඩ්‍රම් එක .

ඔහොම දැන් ගීතය ගායනා වෙනකොට දීපංකරේ තනියෙන් කියන තැන තනියෙන් කියන වචනය එක්ක ඇහෙනවා බොන්ගෝ ඩ්‍රම් එකෙන් ටක ටක ටක ටක ගාලා වාදනයවෙන තාලයේ හතරගුණය දක්වන තාල කොටසක් වාදනය කරනවා . ඒ කොටසත් මේ ගීතයේ තියෙන මම කැමති කොටසක් . ඒ වගේ කොටසක් තව තිබුණ ඔයාලට මතකද දන්නේ නෑ , රෑ දොළොස් පැයේ ගීතය ගැන මම ලිව්ව මෙන්න මේ පෝස්ට් එකේ .





මේ ගීතයේ කෝඩ්ස් වාදනය කරන්නේ එකොස්ටික් ගිටාර් එකකින් . ඒ වාදනයවෙන කෝඩ්ස් වල ස්වර ග්ලොකන් ස්පීල් එකකිනුත් ගීතය පුරාවටම වාදනය කරනවා .

ආයෙත් කියන්න ඕන මේ ගීතයේ මම වැඩිපුරම සිත්ගත් තැන වෙන්නේ ස්ථායි අන්තරා කොටස් පටන් ගන්නකොටම ඩොල්කියෙන් වාදනය කෙරෙන වාදන කොටස . ඒකට අපි කියන්නේ සාමාන්යෙන් බීට් එක කඩලා ගන්නවා කියලා .

එහෙනම් තවත් ගීතයක්ගැන යක්කු ගැන එව්වා මෙව්වා ගැන පෝස්ට් එකක් අරගෙන ලබන සතියේ එන්නම්කෝ . දැන් වයලීනොට සති අන්තයේ නිවාඩුයි . ඒ නිසා සති අන්තයේ ලියන්න පුළුවන් ගින්නක් නැතුව . එහෙනම් අපි ගියා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


6 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගැන ලියන්න තියෙන අන්තිම ශාස්ත්‍රීය කරුණු ටිකත් ඕන්න ලියලා දැම්ම . එන්න කියවන්න රසවිඳින්න මේ ලින්ක් එකෙන්...

ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 3 )







ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගැන ලියන්න තියෙන අන්තිම ශාස්ත්‍රීය කරුණු ටිකත් ඕන්න ලියලා දැම්ම . එන්න කියවන්න රසවිඳින්න මේ ලින්ක් එකෙන් ගිහින් .............

0 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

සිංදුවාගේ යාලුවෙක් හිටියා ඉස්කෝලේ කාලේ ඉඳලා එකට උන්නු. හැබැයි කොල්ලා අපේ ඉස්කෝලේ නෙවෙයි. ඒත් අපි එකට සෙට් වුනු අවස්ථා ගොඩක් තිබුනා. ඌට ඒ දවස...

සිංදුවාගේ යාලුවාගේ සිංදුව - ලිහිණින් රෑන

සිංදුවාගේ යාලුවෙක් හිටියා ඉස්කෝලේ කාලේ ඉඳලා එකට උන්නු. හැබැයි කොල්ලා අපේ ඉස්කෝලේ නෙවෙයි. ඒත් අපි එකට සෙට් වුනු අවස්ථා ගොඩක් තිබුනා. ඌට ඒ දවස්වල ඉඳලා යාළුවෙලා හිටපු ගෑලු ළමයා දැන් මාස ගණනකට මුලින් බූට තියලා පස්සේ කෙල්ල ළඟදි වෙන පොරක් බැන්දා...
ඒ බූට තිබ්බෙත් අපේ එකාගේ තාත්තා කැන්සර් එකක් නිසා නැතිවෙලා ටික කාලයකට පස්සේ. කොල්ලට ඒ දෙකම ඒක ළඟ ආවා. ඒ කෙල්ලත් කොහොමත් කලින් ඉඳලාම මනමේ රඟපානවා කියලා ගොඩක් උන් දැනගෙන හිටියා. සිංදුවාගේ යාලුවා කොහොමවුනත් උගේ හිත සුවපත් කරගෙන දැන් ඌ හිටියට වඩා හොඳ මාර්ගයක යනවා.

ඉතින් අර කෙල්ල බැන්දා කියලා බුකිය පුරා ෆීලින්ග් මූන් කියා කියා කියනකොට අපේ උන් ටිකට නැග්ගා නැගිල්ලක් කරටියටම. ඉතින් දැන් හැමෝම අප්‍රසිද්ධියේ කෙල්ලට බනින කොට... සිංදුවාගේ යාලුවා හ්ම්ම් නෑ...
ඉතින් ඕක තමයි මුල්ම හේතුව...





පස්සේ ඒ වගේ සීන් එකක් සිංදුවා දන්නා කියන යෙහෙළියකට වුනා. හැබැයි ඔය තරම් සැර නෑ හැබැයි බූට් වැදිලා මෙයා තනිකඩ ඉද්දි කොල්ලා බැන්දා....

දැන් දැන් මේ බ්ලොග් එකේ හරබර ටෝක්ස් තවුසන් ගණන් දෙන, ප්‍රේම විශාරධ කියලා හිතාගෙන ඉන්න, ප්‍රේම විශාරධ විතරක් නෙවෙයි රති විශාරද කියලා හිතාගෙන ඉන්න, බැඳපු ජීවිතය ගැන පරමේශ්වර කියලා හිතාගෙන ඉන්න, මට හැමදාම මඩ ගහන ඒත් මගේ බෝට්ටුවටම පනින්න තටමන වයලත් සුද්දා වගේ ටෝක්ස් දැම්මට, මල් සරා පරාද වෙන මැසේජ් කෑලි තාම තාම වයලීනිට යවනවා කියලයි ආරංචිය.
වයලත් මට තීරණ ගන්න ටෝක්ස් දැම්මට මොකද මූත් තීරණ නොගත්තොත් මුටත් කියන්න වෙන්නේ මේ අද සිංදුවා කියන්න යන සින්දුව තමයි.

සින්දුව තමයි ප්‍රියා සූරියසේන මහත්මයා ගයන ලිහිණින් රෑන පියා සලන්නේ.
මේ සින්දුව ඇහෙන හැමපාරම සිංදුවාට හිතෙන්නේ...අර සිංදුවාගේ යාලුවා තමන් අවුරුදු ගානක් ආශ්‍රය කරපු ගෑලු ළමයා වෙන කෙනෙක් බැඳලා යනකොට හිතින් කියන්න ඇත්තෙත් මේ සින්දුවම තමයි කියලා.
කවදාවත් අනිත් උන් බැන්නට හ්ම්ම් කියපු නැති යාලුවා. 








ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා මහදේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්

මට හිමි මනාලී පිට ගම් ගියාවේ
විරසක නොවෙමු කියාලා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්


පද රචනය - ධර්මරත්න පෙරේරා
සංගීතය - සරත් දසනායක
ගායනය - ප්‍රියා සූරියසේන



මේ සිංදුව ධර්මරත්න පෙරේරා මහත්මයා එතුමාගේ ප්‍රථම ප්‍රේමයේ අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගීතයක්. මේකට මුලින්ම දාලා තිබුනේ මෙලඩි එකලු. පස්සේ තමයි මෙලඩියට අනුව සින්දුව ලියලා තියෙන්නේ.


ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

වැහිළිහිණියෝ අහසේ පියාඹන්නේ වැස්සකට කලින් කියනවනේ. වැස්ස වහින්න ඔන්න මෙන්න තියෙද්දී වැහිලිහිණියො අහසේ පියාඹනවායි මද වැස්සේත් උන් පියාඹනවා දැකලා තියෙනවා නොවැ. ලිහිණියා කිව්වම මතක්වුනේ ඔය ලිහිණින්ගේ වර්ග ගොඩක් ඉන්නවානේ. ඕකේ එක වර්ගයක් ඉන්නවා අටු වැහිලිහිණියා කියලා. ඔන්න ඔය සෙට් එක සංචාරය කරනවා රටෙන් රටට. කාලයක් තියෙයි එහේ රස්නේ කාලෙට වැහිලිහිනියෝ රෑන් පිටින් එනවා රත්නපුරේට. 


ඇවිල්ලා වහන්නේ ඔන්න ඔය පින්තුරේ තියෙනවා වගේ කරන්ට් වයර් වල. රත්නපුර ටවුන් එකේම කම්බි වල කුරුල්ලෝ සෙට් එක වහලා ඉන්න දවස්වලට පව් නෑ කියලා කුඩනම් විකිනෙනවා.
ට්‍රැක් පැන්නනේ. දැන් ඉතින් ඔන්න වැහිලිනියෝ අහසේ පියඹනවා , මන්දාරම් වැහිපොද වැටෙන්නේ...
අඳුර එක්ක වැහිපොදත් වැටෙනවා. සමහරවිට අහසත් අඬනවා වගේ වෙන්න පුළුවන්නේ..
ඒ වගේම ගෑලු ළමයා ඉන්න කාලේ මන්දාරමේ පොද වැස්සේ කරපුවා ගියපුවා මතක් වෙලා වෙන්නත් පුලුවන්... දෙකම වෙන්නත් පුළුවන්.




රුක් මල් කියන්නේ රුක් අත්තන මල් වලට. රුක් අත්තන මල් වල පස්ට සුවඳක්නේ තියෙන්නේ. සමහරවිට ඒ සුවඳ නිසා ගෑලු ළමයාගේ සුවඳ මතක් වෙන්නත් පුළුවන්. ඔය රුක් අත්තන මල් පිපෙන්නේ හවසටනේ . ඒ නිසා මුල ඉඳලම අරන් ආපු හවස තවත් තහවුරු කරන්න යොදාගත්තා වෙන්නත් පුලුවන්. ඔය හවසෙන් ගෑලු ළමයා නැති දුක පෙන්වනවා කියලා හිතෙනවා. ඔය රුක් අත්තන ගස් වැඩිපුරම හැදෙන්නේ පාලු තැන්වල ඒ කිව්වේ සොහොන් පිට්ටනි වගේ ඒවායේලුනේ. ඒ අදහසින් රුක් මල් ගැන කිව්වද දන්නෙත් නෑ. ඔය පතිවතට අධිපති පත්තිනි දේවියගෙත් පා සලඹද කොහෙද හංගලා තිබුනේ රුක් අත්තන ගහේ කියනවනේ.
සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ.... ඒ තරමට දුරස් වීමක්. 


ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා මහදේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්


දැන් නම් වීඩියෝවල කොල්ලෝ අඬන ඇඩිල්ලට එන කඳුළු වලින් ගඟක් හදලා ඒ වතුරෙන් විදුලි බලාගාරයක් හදලා ජාතික විදුලි අවශ්‍යතාවයට සැලකිය යුතු වොට් ගානක් ගන්න පුළුවන් වුනාට කලින් සිංදු වලනම් එහෙම ලෝල්ලෝ නෑ. චඃ ට්‍රැක් පිට පනිනවා. 
ගඟ ගලන හඬ දැන් ඇහෙන්නේ ගෑලු ළමයා නැති දුකට අඬනවා වගේ. කලින් ගී කියපු කුරුල්ලෝ දැන් අහනවා කෝ මල්ලි උඹේ කෑල්ල ? කෝ ඉස්සර ගෑලු ළමයා කියලා. මහදේ ගිනි නිවාලා... මෙන්න කියනවා මොකක්හරි හේතුවක් නිසා කොල්ලා ඉන්නේ හිතේ ගින්දරෙන්.ඇයි ගින්දර ? ගමට එන්න ඇවිත් යන්න රත්තරං. ගෑලු ළමයා ගමේ නැති නිසා. 


මට හිමි මනාලී පිට ගම් ගියාවේ
විරසක නොවෙමු කියාලා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

සිංදුවේ කතාවයි ආදරේ නියම අර්ථයයි කියන්නේ මේ වර්ස් එකෙන් කියලයි සිංදුවාටනම් හිතෙන්නේ. 
මේ ගෑලු ළමයා පිට ගමකට බැඳලා ගිහින්. හැබැයි හිමි වෙන්න තිබුනේ මට. කෙල්ල යන්න කලින් විරසක නොවෙමු තරහා නොවී ඉමු කියලා ගිහින් තියෙන්නේ. සමහරවිට ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති. සමහරවිට වෙන නොගැලපීමක් වෙන්න ඇති. සමහරවිට ගෑලු ළමයත් අකමැත්තෙන් වෙන්න ඇති. කොහොමහරි දැන් මේ ළමයා නෑනේ. ඒ දෙන්නගේ අතර සිද්ධිය දන්නේ ඒ දෙන්නා.
ඒත් ඒ කොල්ලා තාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්
දැන් ඉන්න ගොඩක් කොල්ලන්ට ප්‍රාර්ථනා කරන්න බැරි දෙයක්. සමහරවිට සිංදුවාගේ යාලුවත් ප්‍රාර්ථනා කරන්න ඇත්තේ මේකම වෙන්න ඇති.

දැන් මේ සිංදුව අහලා ඇතිනේ ඒත් බිස්කට් කුඩු බීට් එකටනේ. අර හිරමන දිගා අර අර මොට්ටපාල වයලා කොච්චර දෙහි කැපුවත් Dell Studio එකට මේ සිංදුවට අද වෙනකම් මියුසික් වලින් කරපු ඉහලම සාධාරණය කලේ Dell Studio එකේ ටීම් එක කියලයි සිංදුවාගෙ අදහස.
ඔය මැන්ටලේ ගිය පරණ වයලා වගේ මයිනහම් කාරයන්ට ඉතින් ඔව්වා දිරෙව්වෙ නැති වුනාට :D (කෝමද ඒ ටෝක) අහලා බලන්න මේ මියුසික් එක්ක සිංදුව අද.

මුලින්ම මියුසික් වලින් අපි අර කියපු මන්දාරම් වැස්ස එක්ක පාලු ගැමි පරිසරය මවනවා. ඒකට එකතුවෙන තව තම්ද නානේ කියන කොටසින් ග්‍රාමීය බව තව තීව්ර කරනවා කියලයි සිංදුවාට හිතෙන්නේ.
ඊට පස්සේ එන ප්‍රියාගේ වයසට යන්නේ නැති කටහඬ.
අර ඩිස්කෝ බුබුන් ටින් ටින් ගගා ටින් වලට ටකරන් වලට ගහනවට වඩා මියුසික් කියන්නේ මේකට තමා වයලෝ. ඔන්න අහලා බලපන්.
එන්වයරමන්ට් එක මවන්නේ මියුසික් වලින්. වචනෙන් නෙවෙයි.
පලවෙනි වර්ස් එකට පස්සේ තියෙන මියුසික් වලින් ඒ දෙන්නගේ අතීතය මතක් කරනවා වගේ හැඟීමක් එන්නේ සිංදුවාටනම්.
පලවෙනිපාර අහනවනම් අහන්න වීඩියෝ එක බලන්නේ නැතුව. හෙඩ් ෆෝන් එකෙන් අහන්න. දෙවෙනි පාර බලන ගමන් අහන්න කොහොමද එච්චර මියුසික් ටිකක් ලයිව් ගහන්නේ බලාගන්න. 





එහෙනම් සිංදුවා මාරු ඔන්න. ආයේ සිංදුවක් එක්ක සෙට් වෙමු. 




15 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ගෞරවණීය සංඝරත්නයෙන්ද  අන්‍යාගමික පූජක තුමන්ලාගෙන්ද  කැබිනට් මණ්ඩලයෙන්ද  කෑමමේස මණ්ඩලයෙන්ද  අල්මාරි මණ්ඩලයෙන්ද  සම්භාවනීය අමුත්...

හුදකලා වූ පෙම්වතාණෙනි , ඔබ ඔතැනමද මම මෙතැනමද හැමදාම ?






ගෞරවණීය සංඝරත්නයෙන්ද 
අන්‍යාගමික පූජක තුමන්ලාගෙන්ද 
කැබිනට් මණ්ඩලයෙන්ද 
කෑමමේස මණ්ඩලයෙන්ද 
අල්මාරි මණ්ඩලයෙන්ද 
සම්භාවනීය අමුත්තන්ගෙන්ද අවසරයි .

ආදරණීය අම්මේ තාත්තේ මාමේ නැන්දේ ලොකුඅම්මේ ලොකුතාත්තේ පොඩිඅම්මේ පොඩිතාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ .

දරුවනි අත දරුවනි බඩ දරුවනි භ්රූණයණි කලලයනි යුක්තානුවනි ඩිම්බයනි ශුක්‍රාණුවනි . 

මා මෙතනට පැමිණියේ ග්‍රීක ජනකතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කරනලද ලාංකික ජනකතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද නූතන යුගයේ ජනකතාවක් ඉදිරිපත් කිරීමටයි .

ඔන්න ඉතින් බොහොම දුර ඈත අතීතයේ ඉතාම සුන්දර මනස්කාන්ත පස්ට ගමක් තිබුණා . මේ ගම හරිම ලස්සනයි . ගමේ කෙළවරකින් තිබුණේ මහා ඝන වනාන්තරයකින් වැහුණු උස් වූ කඳු ගැටය . ඒ කඳු ගැටයේ තියෙන පිරිසිදු දිය උල්පත් වලින් ආරම්භවන නිල් කැටේට වතුර ගලන ගංගාව ගලාගෙන ගියේ මේ ගම හරහා . මේ ගඟ දෙපැත්තේ තියෙනවා අතුපතර විහිදී ගිය රූස්ස ගස් . 

මේ ගස්වල කුරුල්ලෝ ගී ගයනවා , මී මැස්සෝ ගුම් ගුම් නද දෙනවා , රැහයියෝ කෑ ගහනවා . එව්වද මෙව්වද ඔක්කොම ඒවා තියෙනවා . ඒ ගමේ ලස්සන වගේම තමයි ගමේ ඉන්න අයත් . එයාලත් හරිම හොඳයි . උදේට රෑට නොවරදවාම දත් මදින , කෑමට පසුව අත් සෝදන , මූණ හේදුවට පස්සේ මතක ඇතුව පවුඩර් ගාන හරිම ගුණයහපත් පිරිසක් තමයි හිටියේ . 






ඔය අතරේ හිටියා අහිංසක පිරිමි ළමයෙක් . අපි කියමු ඒ ළමයට සිරිමල් කියලා . සිරිමල්ගේ අම්මයි තාත්තයි ගොවිතැන් කලේ . එයාලට ලොකූ................................... කුඹුරක් තිබුණා . මෙන්න සයිස් කුඹුර . ඒ කුඹුරෙන් එක කන්නයකට වී ගෝනි විස්සක් තිහක් ගන්නවා . තව එයාලට එළවලු කොරටුද තේ වතුද පොල් වතුද රබර් වතුද අරවද මේවද ඒවාද ඔක්කොම තිබුණා . කාලයක් යනකොට සිරිමල්ගේ හිතේ ගැහැණු ළමයෙක් සක්මන් කරන්න ගත්තා . එයාගේ නම සිරිමලී .

සිරිමලී හරිම අහිංසකයි . හතර පෝයටම සිරිමලී සිල් ගන්නවා . ගේ දොර වැඩපල ඔක්කොම පුළුවන් . කන්න උයන්නද , පිහන්නද , මහන්න්ද , ගොතන්නද , වියන්නද , ගැට ගහන්නද ඔක්කොම පුළුවන් . සිරිමලී තමන්ගේ අතින් හදන පොල්සම්බෝලය , බිලින් තෙම්පරාදුව , බටු මෝජුව , කරවල බැදුම හරිම රසයි . ඉතින් මේ දෙන්නා පුංචිකාලේ ඉඳලා දැන හැඳින ගත්තට මොකද කාලයත් එක්ක සිරිමලී යෞවුන් තරුණියක් බවට පත් වුණාට පස්සේ සිරිමල්ගේ හිතේ සිරිමලී ගැන අදහසක් පහල වුණා . 

සිරිමලී තනියම යන එන වෙලාවක් බලලා සිරිමල් මේ ගැන සිරිමලී එක්ක කතා කරා . එකපාරටම කැමති උනේ නැති උනාට පස්සේ කැමති උනා . ඊට පස්සේ ඉතින් දෙන්නා ගෙවල් වල අයගේ ඇස් වලට වැලි ගගහා මල් නෙළුවා , වල් ඉදිරුවා , පොහොර දැම්මා , මල් පිප්පුවා . ඒත් දවසක් සිරිමල්ට උදේ මූණ හෝදන්න අමතක උනා . එහෙමම සිරිමලී හම්බෙන්න ගියා . 

සිරිමලී දැනගත්තා සිරිමල් එන්නෙ මූණ හෝදන්නෙත් නැතුවයි කියලා . පස්සේ සිරිමලී සිරිමල්ව අත්හැරියා . එහෙම අත් හැරලා හැමදාම නොවරදවාම මුහුණ හෝදන කෙනෙක් එක්ක යාලු උනා . අනේ සිරිමල් තනි උනා . සිරිමල් තවමත් තනියම . සීතල දුරුතු මාසය විදියට හඳුන්වන ජනවාරි මාසයේ අද වගේ දවසක තමයි සිරිමල් සිරිමලී යාලු උනා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ .






========================================================================


" හෙලෝ සිරිමල් "

" ආ සිරිමලී .................... කොහොමද ඉතින්  "

" ඔයාට මගෙ කට හඬ තවම මතකයි නේද ? "

" නැතුව නතුව . ඒවා එහෙම අමතක වෙනවද . මල්සිරි මහත්තයා සනීපෙන් ඉන්නවද ? "

" මල්සිරියි මමයි හොඳින් ඉන්නවා . ඔයාට කොහොමද සිරිමල් ? "

" මට ඉතින් එදත් හොඳයි අදත් හොඳයි හෙටත් හොඳයි සිරිමලී " 

" තාම තනියමද ඉන්නේ ? " 

" දෙගුණ වෙනවට වඩා තනිකම හොඳයි සිරිමලී "

" එහෙම කියන්න එපා . මල්සිරිත් ඔයාව මතක් කරා මේ ළඟදි . වෙන කෙනෙක් ගැන හිතන්න දැන් , මම ගැන හිත හිත ඉන්නේ නැතුව " 

" හිහ් කවුද ඔයා ගැන හිත හිත ඉන්නේ ? "

" මම දන්නවනේ ඔයාගේ හැටි . දැන් තනියම හිටියා ඇති . වෙන කෙනෙක් ගැන හිතන්න . මාව අමතක කරන්න . අපි ඔක්කොම දැන් යාළුවො වගේ ඉමු "

" හ්ම්ම්ම්ම් ඔය ටික කියන්නද කතා කළේ ? "

" නැහැ මට ඔයාව මතක් උනා . ඒකයි කතා කලේ " 

" හ්ම්ම්ම්ම් එහෙනම් දැන් ෆෝන් එක තියන්න . වැඩි හොඳ දබරෙටයි කියනවනේ " 

" බුදුසරණයි " 

" බුදුසරණයි "

=======================================================================

මේ ඒ වගේ සිරිමලීලා  සිරිමල්ලට කියන ගීතය .






හුදකලා වූ
පෙම්වතාණෙනි කියන්න
තාරුන්‍යයේ කඩඉමත් පසුවී යතත් 
ඔබ ඔතැනමද
මම මෙතැනමද
හැමදාම.....

දියරළ පෙළකි ඇස
කඳුළු හිත දවනා
මහා සමුදුරක කිමිදී
සෙනෙහෙ පුරනා
‍රැයක් දවාලක් නොබලා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනේ...

සඳු හිරු මැදට
සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි
හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනේ...


ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්



ගී පද : සුනිල් ආර් ගමගේ




තනුව : රෝහණ වීරසිංහ






ඔන්න පෙම්වතෙකුයි පෙම්වතියකුයි ඉන්නවා . දෙන්නා හරිම ආදරෙන් ඉන්නේ . කොච්චර ආදරෙන්ද කියනවනම් දෙන්නට දෙන්නා තම තමන්ගේ දේවල් වලට වඩා හිතන්නේ තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියගේ දේවල් ගැන . එයාලා කොයිවෙලෙත් දුරකථයෙන් හරි , ලියුම් ලියලා හරි , හමුවෙලා හරි , මොකක් හරි විදියකින් අනිත් කෙනාගේ ඕනා එපාකම් ගැන වද වෙනවා .

මෙච්චර ආදරෙන් හිටපු දෙන්නෙක් වෙන් වෙන්න හේතු උනා කියලා හිතන්න කාරණා කීපයක් තියෙන්න පුළුවන් . ආරවුලක් වෙලා දෙන්නා වෙන් උනා කියලා හිතන්න අමාරුයි . මමනම් හිතන්නේ මේ ගීතයේ හැටියට පෙම්වතියගේ ගෙදරින් අකමැති වෙනවා පෙම්වතාට . ආර්ථික සමාජීය හෝ සංස්කෘතික ප්‍රශ්නයක් නිසා පෙම්වතියට ගෙදරින් ඒ කාරණා සියල්ල සපුරන පෙම්වතෙක් හොයලා දෙනවා .

ඉතින් අවසානයේ ඒ ආදරයට නැවතීමේ තිත සලකුණු වෙනවා . ගතින් බැඳුණේ නැති උනාට දෙන්නා හිතෙන් ඉන්නේ තාමත් එකට . මොකද කිසිම විදියකින් ප්‍රථම ප්‍රේමය හදවතෙන් මුලින් උපුටා දමන්න කිසිම ජගතෙකුට බැහැ . ඒ නිසාම මේ දෙන්නා අතරේ සුළු සුළු ගණුදෙණු පවතිනවා . ඒ නිසාම ඉඳලා හිටලා දෙන්නා කතා බහ කරනවා .

පෙම්වතිය දැන් වෙනත් කෙනෙකුගේ බිරිඳක් වෙලා . ඒත් පෙම්වතා තාමත් තනියම . පෙම්වතියට දුකයි පෙම්වතාට මෙහෙම දෙයක් වෙච්ච එක ගැන . සමහරවිට දෙන්නට පැනලා යන්න හයියක් තියෙන්න නැතුව ඇති . ඒ නිසාම පෙම්වතියට අකමැත්තෙන් හරි ගෙදර අයගේ බලකිරීම මත ඒ යෝජනාවට කැමතිවෙන්න වෙන්නැති . පිරිමියෙක්ට තනියම ජීවත් වෙන්න පුළුවන් කමක් තිබුණත් සමාජයේ තියෙන නම්‍යතාවයේ හැටියට කාන්තාවකට තනියම ජීවත් වෙන්න අමාරුයි . ඒ නිසාම මේ පෙම්වතිය විවාහ වෙන්න ඇති .

මේ ඔක්කොම නෙවෙයිනම් මම හිතන්නේ දෙන්නගේ සුළු අමනාපකමක් දුරදිග ගිහින් දෙන්නා වෙන් වෙන්න ඇති කියලා . පෙම්වතුන් පෙම්වතියන් අතරේ ඉඳලා හිටලා නොහොඳ නෝක්කඩුකම් ඇතිවෙනවානේ . ඒවා ඉතින් බත් කටක් කනකල් විතරයි . ආයෙත් නිවිලා ගිහින් පරණ සුන්දර ලෝකයට දෙන්නා ගමන් කරනවා . ඒත් බරපතල මාතෘකාවක් සම්බන්ධව යම් කතාවක් ඇතිවෙලා තරහ උනොත් ඒක ටිකක් කල් පවතින්න පුළුවන් . මෙතනත් එහෙම උනා වෙන්න බැරි නැහැ . ඒත් ගීතයේ අන්තරා කොටස්වලට ගියාම මටනම් හිතෙන්නේ කලින් කිව්වා වගේ ගෙදරින් අකමැති වෙලා නිසා පෙම්වතිය වෙනත් කසාදයක් කරගන්න ඇති කියලා .

කොහොමහරි දැන් පෙම්වතිය තමන්ගේ පරණ තනිකඩ පෙම්වතාට අමතනවා .





හුදකලා වූ
පෙම්වතාණෙනි කියන්න
තාරුන්‍යයේ කඩඉමත් පසුවී යතත්
ඔබ ඔතැනමද
මම මෙතැනමද
හැමදාම.....

පෙම්වතිය දැන් පෙම්වතාගෙන් අහනවා . පෙම්වත , ඔබගේ තරුණ කාලය දැන් කෙමෙන් කෙමෙන් ඉක්ම යනවා . ඒත් ඔබ විවාහයක් වෙන්නේ නැතුව ඔහොමම ඉන්නද කල්පනා කරන්නේ කියලා . ඔබ ඔතැනමද මම මෙතැනමද හැමදාම කියලා කියන පද පේලි දෙකෙන් අපිට හිතෙන්නේ මේ දෙන්නා තාම බැඳපු නැති දෙන්නෙක් , වයස ඉක්මයන නිසා පෙම්වතිය පෙම්වතාට විවාහය ඉක්මන් කරන්න කියලා බල කරනවා වෙන්නැති කියලා වගේ . 

ඒත් මෙතන පොඩ්ඩක් නැවතිලා හිතලා බැලුවම තේරෙනවා පෙම්වතිය තමන්ගේ ගමන ගිහින් ගමනාන්තය හොයාගෙන ආයෙත් ආපස්සට ඇවිත් මේ ඉන්නේ . එහෙම ඇවිත් නතර වෙලා තියෙන්නේ පෙම්වතා තවමත් නැවතිලා ඉන්න තැන . දැන් ඇයට උවමනා කරන්නේ පෙම්වතාවත් තමා හොයාගත්ත ගමනාන්තයට එක්ක යන්න . ඒත් පෙම්වතියට තමා විවාහ වෙලා ඉන්න නිසා පෙම්වතාව තමන් විසින් එක්ක යන්න පුළුවන් කමක් නැහැ . ඇය දැන් මේ කරන්නේ පෙම්වතාව ඒ ගමනාන්තයට එක්ක යන්න කරන පෙළඹවීමක් .

දියරළ පෙළකි ඇස
කඳුළු හිත දවනා
මහා සමුදුරක කිමිදී
සෙනෙහෙ පුරනා
‍රැයක් දවාලක් නොබලා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනේ...

පෙම්වතිය කියනවා පරණ පෙම්වතාට , මම විවාහ වෙලා ගියත් ඔබ නැතුව මම කොච්චර දුක් වුනාද කියනවනම් ඒ දුකට මම අඬපු තරම කියලා නිම කරන්න බැහැ කියලා . මුහුදේ රළ කොයිවෙලෙත් වෙරළ හොයාගෙන එනවා වාගේ හදවද රිදුම් දෙන වේදනාව නිසා ඇතිවන කඳුළු කොයිවෙලෙත් කම්මුල් හොයාගෙන ඇහෙන් රූරා වැටුණා කියලා .

පෙම්වතිය තවදුරටත් කියනවා මම ඔබට කොච්චර සෙනෙහසක් දැක්වූවාද කියනවනම් ඒ සෙනෙහස මහා මුහුදක් වගේ . මම ඒ සෙනෙහස නැමැති මුහුදේ කිමිදෙමින් තමයි ඔබට පෙම් කළේ කියලා . ඉස්සර අපි කොච්චර ප්‍රේම කලාද කියලා කියනවනම් රැයක් දවාලක් බලන්නේ නැතුව ඔබ ගැන සොයමින් තමයි මම උන්නේ කියලා පෙම්වතිය කියනවා .






සඳු හිරු මැදට
සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි
හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනේ...

සඳු හිරු මැදට සිරවී තැවුල් විඳිනා කියලා කියන දෙයින් අදහස් කරන්නේ ස්වාමියා සහ පරණ පෙම්වතා කියන දෙන්නා අතරමැද ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ පෙම්වතිය හිරවෙලා ඉන්නවා කියලා . මොකද දැන් පරණ පෙම්වතා ගැන හොයනවා කියලා දැනගත්තම ස්වාමියාට කේන්ති ගිහින් දොස් කියන්න ඉඩ තියෙනවා . ඒත් එහෙමයි කියලා හිතේ තියෙන ආදරය නිසා පරණ පෙම්වතාව අමතක කරලාම දාලා අහක බලාගෙන ඉන්නත් මේ පෙම්වතියට හිත දෙන්නේ නැහැ .

ඔබ අද එතැයි හෙට එතැයි දින ගණිනා කියලා කියන්නේ තමන් ඉන්න තත්ත්වයට පෙම්වතාත් එයි කියලා දින ගනිමින් තමයි මේ පෙම්වතිය කාලය ගත කරන්නේ කියලා . ඒ කියන්නේ පෙම්වතත් විවාහ වෙයි කියලා බලාපොරොත්තුවෙන් මේ පෙම්වතිය ඉන්නවා කියලා . තැනක් නිනව්වක් නැතුවා කියන්නේ එහෙම තත්ත්වයකට මේ පෙම්වතා එයි කියලා කිසිම විශ්වාසයක් නැහැ කියලා තමයි මගෙ අදහස . සමහරවිට මේ දේවල් එකපාරටම නොගළපෙනවා කියලා හිතෙන්නත් පුළුවන් . ඒත් මටනම් මේවා ගැළපෙනවා කියලා ඇසින් දුටු සාක්ෂි සහිතවම පේනවා .

ආ මට කියන්න බැරි උනා . මේ ගීතයේ මම වඩාත්ම කැමති තැන් හතරක් තියෙනවා . ඒක හිතට තදින්ම කාවද්දන්නේ සංගීතය මගින් . ඒ තැන් හතර තමයි

පළමු අන්තරා කොටසේ තියෙන
" දවනා " කියන තැනයි " පුරනා " කියන තැනයි

ඒවගේමයි දෙවෙනි අන්තරා කොටසේ තියෙන
" විඳිනා " කියන තැනයි " ගණිනා : කියන තැනයි .

මේවා හිතට කාවද්දන්න ඒ ඒ තැන්වල වාදනය කරන බේස් ගිටාර් ස්වර කීපය තදින්ම දායක වෙනවා .

ආයෙත් මේ වගේ සිංදුවක් අරගෙන එන්නම් . එතකල් 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


මීට සංවේගයට පත්
වයලීනෝ 

8 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

එක සතියයි තියෙන්නෙ කැම්පස් යන්න ඒ සතියත් ගෙදරට වී බැහැ ඉන්න ජීවිතයම අතහැර මකබෑවෙන්න හිතලා මම දින දෙකකට පෙර ඔන්න ඩවුන් ලෝඩ් කෙරුව...

මගේ පෙම් සිහිනේ






එක සතියයි තියෙන්නෙ කැම්පස් යන්න
ඒ සතියත් ගෙදරට වී බැහැ ඉන්න
ජීවිතයම අතහැර මකබෑවෙන්න
හිතලා මම දින දෙකකට පෙර ඔන්න

ඩවුන් ලෝඩ් කෙරුවා ගී පෙම් සිහිනේ
ගිලෙන ගමන් එය ඇහුවා මගෙ සිහිනේ
ඇහැරෙන්නට පෙර එළි වී ඒ සිහිනේ
මමත් ටිකක් සැරිසැරුවා ඒ සිහිනේ

සෙක්සි කෑල්ලක් සමගින් ටික දවසක්
ගෙවන්නට ලැබේනම් හරි එක මොහොතක්
කුඩු වෙන්නට කෑවත් ඇඟපත පොඩ්ඩක්
තව වෙන නම් ඕනා නැහැ මට කිසිවක්

ලබන සතියෙ විජේරාමෙ මම යනවා
යනකොට මම වයලීනය ගෙන යනවා
සිංදු දෙක තුනක් ගහන්න සෙට් වෙනවා
කෑලි කොටු කරන්නට පසු අරඹනවා

කොටුවෙ පහන් ගෙය නම් එළ පොට් එකකී
සුන්දරියන් යන එන බව නොරහසකී
තුන හතරක් ඉන් කොටුකර ගන්න හැකී
රවුම් කිරීමට කොටු කල පසුව හැකී

හොරට ගහන්නට වයලින් හැකිය මුට
සිරා ගහන්නට වයලින් හැකි මට
පස්ට කැබැල්ලකි වැටුනේ එදා උට
කොටු කරනව ඊට වඩා එකක් මට

සඳුදා ලබන මේ ගේමට මම බසිමී
වැටෙනා කෙල්ල දෙතුන් මසක් රන් කරමී
ඇසෙනා නෑසෙනා ගානට පෙම් කරමී
පෙම් සිහිනේ ඔබ මොබ මා සැරිසරමී

සුවර්ය මට ඒ කෙල්ලගෙ තාත්ත හෝ
මිනිහා හෝ නෙලනව ඇට තැලෙන්න හෝ
ඒත් හිත කියන්නෙම මට වයලිනෝ
කොටු කරපන් කෙල්ලන් කිසි ලෙසකින් හෝ

එබැවින් මිතුරනි මම ගේමට යනවා
සෙට්වෙන එක අරගෙන මගුලක යනවා
මගුලක ගොස් (*@#$&$^#)(#% යනවා
අවසානේ මම වල පල්ලට යනවා



14 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

මේ දවස් ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වේ නැහැ . දිගටම කරේ කොටපු එකම තමයි . කියෙව්වේ නැත්තේ මොකද ගොඩක් බ්ලොග් වල දේශපාලනය ගැන කතා වෙනවා දැක්...

මහින්ද මහත්තයෝ ඔබ තුමාට දීර්ඝායුෂ වේවා !






මේ දවස් ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වේ නැහැ . දිගටම කරේ කොටපු එකම තමයි . කියෙව්වේ නැත්තේ මොකද ගොඩක් බ්ලොග් වල දේශපාලනය ගැන කතා වෙනවා දැක්ක නිසා . මුහුණුපොතෙත් දේශපාලනය , ටීවී එකෙත් එහෙමයි , රේඩියෝ එකෙත් එහෙමයි පත්තරේ කඩේ පොලේ ෆුඩ් සිටියේ හැම තැනකම දේශපාලනය .

ඒකාකාරී උනාම එපා වෙනෙවා . ඒ නිසා මම බ්ලොග් වල දේශපාලනය කරේ නැතුව හිටියා . අද මේ ලිපිය කොටා මිරිකා පෙරා සයිබර්ගත කරන්න හිතුනේ උදේ මයිත්‍රී මහත්තයා දිනනවා කියලා දැනගත්තට පස්සේ ඉඳලා මුහුණු පොතේ ගිය ෆොටෝ ස්ටේටස් ඒවා මේවා දැකලා හිතට ආව දේවල් නිසා .

ආයේ ඉතින් බොරු කියන්නේ මක්කටෙයි . වයලීනොත් මේ පාර ජලජ පක්ෂියාට තමයි කතිරේ ගැහුවේ . ඒත් අපේ ගෙදර ඔක්කොම මහින්ද මහත්තයට තමයි කතිර ගැහුවේ . වයලීනෝ ගෙදර චන්ද සටන තනියමම රන් කරේ . මහින්ද පැරදෙන්න කලින් හිතුනේ නැති උනාට දැන් හිතෙන්නෙම පවු කියලා තමයි . බලය අතට ලැබුනම මිනිස්සු මාර විදියට වෙනස් වෙනවා . ඒක ස්වභාවයක් .







මුහුණු පොතේ ගොඩක් අය කියලා තියෙනවා දැක්කා බොරුවට මහින්ද ගීයාට අඬන්න එපා . එයා මේ පාරත් ආවනම් ෆොන්සේකාට කරපු ටිකම තමයි මයිත්‍රී මහත්තයටත් කරන්නේ කියලා . ඇත්ත ඒක වෙන්න පුළුවන් . ඔයාලට මතකද දන්නේ නෑ ධාතුසේන රජතුමාගේ කාලෙත් හිටියා දෙමල සෙට් එකක් ලංකාව අල්ලාගෙන . අපිට ඉතිහාසය උගන්නන කාලේ මේවා පාඩම් කරේ මෙහෙම .

අසේල - එළ
ධාතු - පන්ඩු
සේන - වල්ල
වල - පුල

අසේල රජතුමාගේ කාලේ එළාර ලංකාව අල්ලගත්තා . ධාතුසේන රජතුමාගේ කාලේ පන්ඩු හා පාරින්ද කියන අය ලංකාව යටත් කරගත්තා . සේන රජතුමාගේ කාලේ ශ්‍රීමාර ශ්‍රී වල්ලභ ලංකාව අල්ලගත්තා . වළගම්භා රජතුමාගේ කාලේ පුලහත්ත කියන කෙනා ලංකාව අල්ලගත්තා .








අන්න ඒවගේ තමයි කවදාහරි ලංකාව අවසන් වරට එක්සේසත් කරපු රජතුමා විදියට මහින්ද රාජපක්ෂගේ නමත් මහාවංශයට එකතු වෙන්නේ . ඒකෙ යම් තරමක අසාධාරණත්වයක් තියෙනවා . ඇත්ත . ඒත් වෙන්නේ ඒක තමයි . සමහරවිට ෆොන්සේකාව හිරේ දැම්මා කියලා කතා වෙයි . ඒත් මේවා ගැන අහපු දැකපු අපි තරම් අනාගත පරපුරවල් වල අය මේ ගැන හිතන එකක් නෑ . එයාලා කියයි ලංකාව අවසන් වතාවට එක්සේසත් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කියලා .

අද කාලේ අපි මහාවංශය කියවනකොට , නැත්නම් වෙනත් පරණ ඉතිහාස පොත් කියවනකොට රචකයාගේ අභිප්‍රාය අනුව ලියවෙච්ච දේවල් ටිකක් විතරයි අපි දන්නේ . ඒත් ඒ කාලේ රජවරුත් අද කාලේ වගේම මාටියා ගහන්න ඇති , තව තව ඒවා ගහන්න ඇති . එයාලගේ ළමයිත් ඒවා ගහන්න ඇති . ඒත් ලංකාවේ අපේ ඉතිහාසය අද්විතීයයි . ඒ නිසා අපි ඉතිහාසයට ගරු කරන්න ඕන . මහින්ද මහත්තයත් දැන් ඉතිහාසයට එකතුවෙලා ඉවරයි . මොනවා කලත් උන්නැහේගේ නමත් මහාවංශයේ ලියවෙයි රන් අකුරෙන් . ඒකත් විශ්වාසයි . අපිට දැන් ලැබිලා තියෙන්නේ අලුත් නායකයෙක් . අපි බලමු මෙයාගේ නම මොන පාට අකුරෙන් මහාවංසයට යයිද කියලා .

මහින්ද මහත්තයට මම හැර අපේ ගෙදර අය හැමෝම චන්දෙ දුන්නා . ඒකට වැඩිම හේතුව උනේ ගමේකම . රත්නපුරේ උන්නට අපි මාතර . අපේ ඇඟේ දුවන්නේ තාමත් මාතර උණුහුම තියෙන ලේ . දකුණේ මිනිහා මොනවා උනත් දකුණේ මිනිහට තමයි සලකන්නේ කියලා මම අත්දැකීමෙන්ම දැකලා තියෙනවා . ඒ නිසා වෙන්නැති අපේ ගෙදර අයත් මහින්ද මහත්තයටම චන්දෙ දෙන්න ඇත්තේ .























මහින්ද පාලනය ගැන මගෙ කැමැත්ත අඩුවෙන්න පටන්ගත්තේ ශ්‍රී පාදස්ථානයට සලකන විදිය දැකලා . ඊට පස්සේ දළදා මාළිගාව , අපේ හදවතේ වැඩි තැනක් ගන්න දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය . සමන් දේවාලය කතරගම දේවාලය . මේ හැම එකකටම පත් වුනේ රාජපක්ෂ නම ගෑවුන අය . නැත්නම් රාජපක්ෂ ගොට්ටන් . එයාලා දේවාල සංස්කෘතිය වෙනස් කළා . ඒ නිසාම තමා වයලීනොට මේ රජාව එපා උනේ .

පස්සේ ඉතින් මාටියා ගැහිලි , හයිවේ කේස් , දූෂිත පවුල් දේශපාලනය අරවා මේවා ඔක්කොම දැනගත්තට පස්සේ තව එපා උනා . අන්තිමටම එපවෙලාම ගියේ ශ්‍රී පාදස්ථානයේ නායක හාමුදුරුවෝ සබරගමුව මහා සමන් දේවාලයේ සිරිත් විරිත් වෙනස් කරපු නිසා . ඒවා මම ලියයි ඉස්සරහට ටික ටික . ඒ එක්කම ශ්‍රී පාදස්ථානයේ දොළොස්මහේ පහන සහ ඝන්ටාරය මාරු කරපු එකත් මගේ හිතට හරිම අවුල් . මේ ඔක්කොම නිසා වයලීනෝ ගමේකම අමතක කළා ඔන්න .

චන්දෙට කලින් දවසේ මහින්ද මහත්තයා රත්නපුරේ ආවා . ඒ ආවේ අපේ සමන් දේවාලෙට . ඇවිත් තියෙන්නේ ශ්‍රී පාදස්ථානයේ දොළොස්මහේ පහන මාරු කරපු එකට සමාව ගන්න කියලා තමයි රත්නපුරයම වාගේ කතා වුණේ . මමත් එදා අහම්බෙන් දේවාලේ ගියා . ඒ ගියේ ගෙදර ඉන්න කම්මැලි කම නිසා . පස්සේ තමයි දැනගත්තේ රජතුමා දේවාලෙට එනවා කියලා . අවසන් මොහොතේ හරි , පළවෙනි වතාවට මම රාජපක්ෂ මූණ දැක බලා ගත්තේ එදා තමයි .







මහින්ද මහත්තයෝ ඔබතුමාට මොනවා නැතත් දේව ශාපයෙන් මිදෙන්න බැරි විත්තිය කවුරුත් එදා කතා උනා . මොනවා කොරන්නද ඉතින් . ඔබතුමාට දැන් බලය නැති නිසා අපිට ගමේ කමට සලකන්න පුළුවන් ඔන්න . වයලීනෝ අද මියැසියේ රසකතා ලියන්නේ ඔබ තුමා වෙනුවෙන් .

රජෙකු උනත්  ගිලන් වෙලා 
එක් තැන් උන දා
කියනවාට සැකයක් නෑ 
සැකයක් නෑ  
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා 

ඉසුරු සමඟ හාද වෙලා 
නොසතුට ආ දා 
දැනෙනවාට සැකයක් නෑ 
සැකයක් නෑ 
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

බැරි උන දා නෑදෑයන් 
අත හැරගිය දා
හිතෙනවාට සැකයක් නෑ 
සැකයක් නෑ 
විශ්වාසය හැර  නෑයෙක් ලොවේ කොයින්දා

ගායනය  සුනිල් එදිරිසිංහ
සංගීතය  රෝහණ වීරසිංහ
රචනය  මහින්ද චන්ද්‍රසේකර







රජෙකු උනත්  ගිලන් වෙලා
එක් තැන් උන දා
කියනවාට සැකයක් නෑ
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා

මහින්ද මහත්තයෝ . ඔබතුමාට කවදාහරි තේරෙයි රජෙක් වෙලා හිටියට සනීප නැතුව එක්තැන් උනාම නිරෝගී සැප තරම් රජ සැප වටින්නේ නැහැ කියලා . ඔබතුමාට කවදාවත් මාරයා වළක්වන්න බැහැ . ඒත් ඒ වෙනකල් ජීවිතයේ වටිනාම දේ වෙන්නේ නිරෝගීකම . මේක ඔබතුමා මැරෙන්න කලින් මතක ඇතුව නාමල් මහත්තයටත් උගන්නල තියන්න . නැත්නම් පස්සේ කාලෙකදී එයාටත් කරදර වෙයි .

ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආ දා
දැනෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

ඔබතුමා කොච්චර දේවල් හම්බකරගත්තත් , ඔබතුමාගේ පවුලේ අය කොච්චර හම්බකරගත්තත් ඕවා නෙවෙයි . කවදා හරි වටිනාම ධනය වෙන්නේ සතුට . තමන්ට පුළුවන් නම් තමන් ආපු පාර දිහා බලලා සතුටු වෙන්න . අන්න ඒක තමයි ලෝකයේ තියෙන ලොකුම ධනය වෙන්නේ .

බැරි උන දා නෑදෑයන්
අත හැරගිය දා
හිතෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
විශ්වාසය හැර  නෑයෙක් ලොවේ කොයින්දා

අතපය වාරු නැති දවසට නෑයොත් නැතිවෙයි . කොටින්ම මුරකාරයාවත් තමන් දිහා හැරිලා බලන එකක් නෑ . ඒ නිසා තමන්ගේ ජීවිතය ගැන තියෙන විශ්වාසය තමයි තමන්ට බැරි දවසක තමන්ට හයියට හිටින්නේ . ආයෙත් ඔබතුමා දේශපාලනයට ඇවිත් තවත් අවමාන විඳිනවට වඩා හොඳයි මෙහෙමම පැත්තකටවෙලා ඉන්න එක . සිංහලයා කියන්නේ හරිම ඉක්මනට අමතක වෙන ජාතියක් . තමුන්නැහේ මේ කරපු දේවල් සිංහලයාට ඉක්මනටම අමතක වෙලා යයි . ඒ නිසා ඉක්මනටම සරස්වතී තෙල හිඳින හැටි කියලා දෙන්න ඕන සිංහලයට .

එහෙනම් යාළුවනේ අපි තරහා මරහා අමතක කරලා අපේ රට එක්සේසත් කරපු අවසන් රජතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු .





මහින්ද මහත්තයෝ ඔබ තුමාට දීර්ඝායුෂ වේවා !

භවතු සබ්බ මංගලම්
රක්කන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානු භාවෙන
සබ්බ ධම්මානු භාවෙන
සබ්බ සංඝානු භාවෙන
සදා සොත්ති භවන්තුතේ 

14 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ආයුබෝවන් මහත් හොරුනේ මහත් හොරියනේ . ඔයාලට මතක ඇති වයලීනෝ මහතා විසින් මීට දශක කීපයකට පෙර ලිව්වා ගීත විචාරයක් වස්සානේ සිනා සලයි සිහිනයක් ...

දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා




ආයුබෝවන් මහත් හොරුනේ මහත් හොරියනේ . ඔයාලට මතක ඇති වයලීනෝ මහතා විසින් මීට දශක කීපයකට පෙර ලිව්වා ගීත විචාරයක් වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ කියන ගීතය අලලා . අද කියන්න යන්නේ එතන ඉඳලා සිංදුවා ප්‍රේම පුරාණයේ ඊළඟ පියවර ගැන සහ ඒ එක්ක බැඳිලා තියෙන ගීතයක් ගැන . සිංදුවා මට කොච්චර තර්ජන කරත් මම දන්නවා ඕකා ලියන්නේ නෑ . මිනිහ දැන් වැඩිහරියක් කරන්නේ වතී එක්ක මල් කඩ කඩ ඉන්න එක . මේ ළගදී සිංදුවයි මමයි සිංදුමල්ලියි ගියා ගෝල් දේසෙට .

ඒ යන අතරමග දිගටම විනාඩි පහෙන් පහට වතී ගන්නවා සිංදුවට කෝල් . සිංදුවා කියනවා ඉතින් අපි දැන් ඉන්නේ කහතුඩුවේ , හා දැන් අපි ඉන්නේ වැලිපැන්නේ , දැන් ගෝල් දේසෙට ළඟයි කියලා . කන්න ගත්තම එක ව්‍යංජනයක් බෙදනවා ඔන්න කෝල් කරලා කියනවා වතී මම පරිප්පු බෙදාගත්තා කියලා . පස්සේ වතී එහෙන් කියනවා බටු කන්නෙපා වාතෙට අගුනයි කියලා . ඉතින් සිංදුවා කරන්නේ බෙදාගත්තා බටු ටික විසි කරනවා . අන්තිමට අයිස්ක්‍රීම් කෑවෙත් නෑ වතී එපා කිව්වා කියලා . හම්මේ පති පතිනි භක්තිය . ශාන්තී ශාන්තී ශාන්තී.........





ඔන්න ඉතින් ඔයාලා දන්නවනේ සිංදුවා වතීගේ ගමට ගියා කියලා . අර මම කිව්වේ අපේ වතී අක්කගේ පියාණන්ගේ අවසන් කටයුතු වලට සිංදුවා ඒ ගමට ගියා කියලා . ඔය අවසන් කටයුතු වලදී බුදු අම්මේ බලන්න එපාය අපේ සිංදුවා කරපු වැඩ කන්දරාව . මුළුමහත් දඹදිවට අගරජ වෙච්ච කුස රජ්ජුරුවෝ ඇත් හලේ අලි බෙටි ඇද්දේ කා වෙනුවෙන්ද පින්වතුනී , වලං හැදුවේ කා වෙනුවෙන්ද පින්වතුනී , සිංදුවතී වෙනුවෙන් පින්වතුනී . ඈ ආ නෑ නෑ පබාවතී වෙනුවෙන් පින්වතුනී . ඉතින් අපේ සිංදුවත් ඒ අඩිපාරේ යමින් වතී අක්කගේ පියාණන්ට අවසන් ගෞරව දක්වන්න කියලා හිතාගෙන මාර වැඩ කන්දරාවක් කලේ .

මරණෙට එන අයට කන්න උයන්න ඕනනේ . එහෙම උයන තැනට ගිහින් හාල් හෝදනවා , හාල් ගරනවා , එළවලු කපනවා පොල් මිරිකනවා පිරිස් අම්බරනවා . වැඩ කෝටියයි . එහෙම කරා විතරක්නම් බැරිය . මිදුලේ ටෙන්ට් හදන්න දෙන්නා දෙන්නා උස්සාගෙන එන යකඩ බාර් තනි අතෙන් උස්සාගෙන එනවා . ඇතුන් දස දෙනෙකුටවත් තනියම උස්සන්න බැරි තරමේ ප්ලාස්ටික් පුටු ගොඩවල් තනියම උස්සාගෙන එනවා . ඒ විතරක් නෙවේ උයන්න ගේන හාල් කිලෝ පනහේ මිටි තනි අතෙන් උස්සාගෙන යනවා . ගෝටයිම්බර යෝධයා පරාදයි . හනේ මුන් ඉතින් අම්මටත් එහෙම වැඩ කරලා දෙනවනම් කියලා මට හිතුණා පින්වතුනී . සාධු කියන්න පින්වතුනී ......






මරණේ වැඩ ඉවර වෙලා හත් දවසේ දානේ එනකල් දවස් ටිකෙත් සිංදුවා ඒ පැත්තේ කැරකුනා . වතීට තනි රකින්න වෙන්නැති . හිහ් හිහ් හිහ් හිහ් හිහ් .... ඒ එක දවසක මාර වැඩක් උනා . එක පාරටම ගෙදර හිටපු අයට ලොකු සද්දයක් ඇහුනා . ගෙදර බිත්ති දෙදරුවා . මේස වල තිබ්බ මල්පෝච්චි බිම පෙරලුනා . වහලේ උළු උඩ ගියා . ගෙදර අය කියන්න ගත්තා මී හරක් ගඳක් එනවා කියලා . ඒත් එක්කම කස්ටිය ගියා මිදුලට . ඔන්න එතකොට ඈතින් පේනවා වල්මත් වෙච්ච බයිසන් කුළු මී හරකෙක් සිංදුවතීගේ ගෙදර පැත්තට දුවගෙන එනවා . මල සීන් එක . සිංදුවා බය උනා වතීට අනතුරක් වෙයි කියලා . සිංදුවා එකපාරටම ඇඳගෙන හිටපු කමිසේ ගලවලා ඉනේ ගැටගහගත්තා . එක පාරටම සිංදුවා ඒ බයිසන් කුළු මී හරකාගේ පැත්තට දුවන්න ගත්තා .

හයියෝ මේක දැකලා පොලව මහී කාන්තාව බුර බුරා නැග්ගා . දෙරණත කම්පා උනා . අවට රැස්ව සිටි අය බියෙන් මිරිකිලා පෙරිලා ගියා . වයසක අය පොළව හිසේ ගහ ගත්තා . වතුර ගෙනන ලඳුන් වතුර කල උකුලෙන් බිමට දාලා දිව්වා . බීපු අයගේ වෙරි හිඳුනා . වෙරි නැති අයට වෙරි උනා . වතී අක්කා අඬන්න ගත්තා හීඊඊඊඊඊඊඊඉ හීඊඊඊඊඊඊඊඊඉහ් ඊඊඊඊඊඊඊඊඊඊඊ කියලා . අනේ මල සමයං . ඕකට ඔච්චර නහින්න ඕනද මම ආහන්නේ . love is blind කියනවනේ . ඒක වෙන්නැති අඬන්න ඇත්තේ . හෙන රොමන්ටික්නේ අඬනකොට . හනේ මගෙ කට .





ඔන්න දැන් පින්වතුනී බයිසන් කුළු මී හරකා  සහ අපේ හරකා . ඈ ආ නෑ නෑ අපේ සිංදුවා ටික ටික ලං වෙනවා . බයිසන් දමනය මෙන්න මෙහෙමයි ඒ කාලේ පොත්වල වර්ණනා කරලා තිබුනේ .

ඈත දූලියෙන් වැසී ගිය සිංදුවය , මෑත සුදු රෙදි වලින් වැසී ගිය බයිසන් ගවයාය
ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස සහිත සිංදුවය , මෑත දිව්‍යමය ලීලාවෙන් එන බයිසන්ය
ඈත පස්සෙන් දුන් දමමින් දිවයන සිංදුවය , මෑත නිල මහනෙල් මල් සුවඳ විසිරුවන බයිසන්ය
ඈත බැලූ බැලූ අය අනේ අනේ කියන සිංදුවය , මෑත බැලූ බැලූ අය කමෝන් කමෝන් කියන බයිසන්ය
ඈත පොලව හාරමින් දිවයන සිංදුවය , මෑත පොළවේ සනහමින් යන බයිසන්ය

පේනවනේ කොහොමද තත්ත්වේ කියලා . සිංදුවා දුවගෙන දුවගෙන ගිහින් බයිසන් ඉස්සරහට පැන්නා . ඊට පස්සේ බයිසන් කුළු මී හරකත් ආවා සිංදුවා ගාවට . ඇවිත් එක පාටරම සිංදුවා ගාවට පැන්නා . සිංදුවා මොකද කලේ . බයිසන් ගවයාගේ අං දෙකෙන් අල්ලලා හිස වටේ කරකවන්න ගත්තා . මහත් වූ ලීලාවෙන් ගවයා කරකවපු සිංදුවා බයිසන් ගවයා විසි කරනවා පිටසක්වලින් එහා තියෙන පරසක්වල කියන ගමට .







හ්ම්ම්ම්ම්ම් ගමේ අය ප්‍රීති ගෝෂා පවත්වනවා ජයවේවා සිංදුවා ජයවේවා කියලා . පස්සේ සිංදුවා එනවා හෙන පොර ලයින් එකක් දීගෙන වතීලගේ ගෙවල් පැත්තට . වතී අක්කා සින්දුවගේ මේ වීර ක්‍රියාව දැකලා පහන් සංවේගයට පත්වෙලා සිංදුවට ලොකූඌඌඌඌඌඌ බත් එකක් බෙදලා දෙනවා තව තවත් වෙර වීරිය ලැබෙන්න කන්න කියලා . ඔන්න ඕක දැක්කා සිංදුවතී අක්කගේ අයියා .

ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ . වතී අක්කගේ අයියට නිකමටවත් හිතුණේ නෑ වතී අක්කා අහුවෙලා ඉන්නේ මෙයාට වෙන්නැති කියලා . මේක වෙලා කාලයක් ගියාට පස්සේ අයියා හිතනවා කලවයසත් හරියාගෙන එන්නෙ නිසා වතී අක්කගෙන් අහන්න බොට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා . ඒත් ඒ වෙනකොට වතී අක්කගේ අයියට සිංදුවව අමතක වෙලා තිබ්බේ . බයිසන් කුළු මී හරකගෙන් වතී අක්කලගේ ගම බේරාගත්තා වීරයාව අමතක වෙලා තිබුණේ . වතීඅක්කට ලවු පිස්සුව ගහලා තිබුණ නිසා වතී අක්කගේ අයියා ශුවර්පිට තමා ඇහුවේ කොල්ලෙක් ඉන්නවද කියලා . හිහ් හිහ් හිහ් හිහ් හිහ් .......

අයියලා කවදත් නංගිලට ආදරෙයි . නංගිලට බැල්ම දාන ලාබ රත්තරන් බැඳගෙන පාලු වීදිවල එන මාල ගිරවු ගැන අයියලා සැලකිල්ලෙන් ඉන්නේ . තමන්ගේ නංගිලට සෙතක් වෙනවනම් අයියලා මස්සිනාලට හරිම ආදරේ වෙනවා . ඒත් එහෙම නෙවෙයිනම් අයියලා දරුණු වෙනවා බයිසන් කුළු මී හරක් වගේ . ඒ වගේ තමන්ගේ නංගිට ගොඩක් ආදරේ කරන අයියා කෙනෙක්ගේ සිතුවිල්ලක් ලූෂන් බුලත්සිංහල මහත්මයා ලිව්වා මෙන්න මෙහෙම .






දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
නංගිගේ පාමුල ඉර හද තියල
ආදර හිත ලග කවුරුද මුවා උනේ...

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

බාල බොලදියේ ඉස්සර සුරතල් වූ
කවට සිනා කෙලි සගවා තබුවාදෝ
වසන්තයට පෙර කකුලට ලංවී
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...






ගීතය ගායන කරන්නේ ගුණදාස කපුගේ මහත්මයා . ගීතයේ ගී පද හරිම සරළයි . හැබැයි ලොකු කතාවක් කියවෙනවා . අපි බලමු එක එක පද පේලි අරගෙන කොහොමද තේරුම කියලා .







දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
නංගිගේ පාමුල ඉර හද තියල
ආදර හිත ලග කවුරුද මුවා උනේ...

ගෙදරක අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා . දෙන්නම හරිම ආදරෙන් ඉන්නේ . ආදරේ වැඩිකමටම දෙන්නා ඉන්නේ යාළුවො වගේ . ඒත් කාලේ හරියනකොට මෝල් ගහෙත් මල් පිපෙනවා කියන කතාව මොනවට පසක් කරමින් මේ නංගිටත් මලක් පිපෙනවා . අයියා තමන්ට යන කලක් ගැන වැඩිය හිතන්නේ නෑ නංගි ගෙදර ඉන්න නිසා . ඒත් නංගි , කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවා . මේ නිසාම නංගිට දවසේ එදා මෙදා වැඩ ටික ටිකක් අවුල් වෙනවා .

ඒ කියන්නේ කල්පනාව ටිකක් අඩුවෙනවා . කොහොමත් ඒක සාමාන්‍ය දෙයක්නේ . දෙන්නෙක් ආදරේ කරන්න ගත්තට පස්සේ එයාලා ජීවත් වෙන්නේ එයාලගේ වෙනම ලෝකෙක . ඕකෙන් ආයෙත් මේ ලෝකෙට එන්නෙ බැන්දට පස්සේ තමයි . ඒකෙ වැරද්දක් නෑ . මිනිස්සුන්ගේ හැම හැගීමකටම අවස්ථාවක් තියෙන්න එපාය නේද

ඉතින් මේ නංගිත් අවසිහියෙන් වගේ තනියම හිනාවෙනවා , වැඩිපුර කණ්නාඩිය වටේ කැරකෙනවා , කියන දේ මතක නෑ වගේ වෙනස්කම් ගෙදරට පෙන්නනවා . ඉතින් අයියාට තේරෙනවා නංගිට දැන් ප්‍රේමවන්තයෙක් ලං වෙලා වෙන්නැති ඉන්නේ කියලා . අයියා හිතනවා මේක තමන්ට නංගි කියයි කියලා . ඒත් නංගි අයියට ඒක කියන්නේ නෑ . කොහොමත් කියන්න බැහැනේ . ඉතින් අයියා මේ ගැන නංගිගෙන් අහන්නෙ කොහොමද කියලා හිතනවා .

දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා කියන්නේ කටින් කිව්වේ නැත්නම් මම කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නේ කියලා ඇස්වලින් අයියට පේනවා නංගිගේ හිතේ කොල්ලෙක් ඉන්නවා කියලා . වසන් කරන හිත මුහුණේ ලියවෙනවා කියන්නේ ප්‍රේමවන්ත හිතක් තියෙනවා කියලා ගෙදරට හංගන්න හැදුවට හදවතේ කැඩපත කියන මුහුණෙන් ඒ ප්‍රේමවන්ත බව හොඳට පේනවා කියලා .

අපේ සිංදුවා වගේ ප්‍රේමවන්තයෝ කෙල්ලට කියන්නේ මම ඉර ගේන්නම් හඳ ගේන්නම් කියලනේ . ඉතින් අන්න ඒවගේ මේ ගීතයේ ඉන්න අයියත් අහනවා නංගිගෙන් නංගිගේ කකුල් දෙක ගාවට ඉර හඳ ගේන්නම් කියලා බලාපොරොත්තු ඇති කරලා නංගිගේ ප්‍රේමවන්ත ආදරණීය හිතට මුවා උනේ කවුද කියලා .







හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

මේ නංගි දැන් කණ්නාඩිය ඉස්සරහට ආවම ඉක්මනට බලන එකක් බලලා යන්නේ නෑ . ටිකක් වෙලාව අරගෙන කණ්නාඩිය ඉස්සරහා කැරකී කැරකී ඉඳලා තමයි යන්නේ . හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ කියන්නේ අන්න ඒකයි . කැඩපතට මහන්සියි කියලා කියනකල් නංගි කැඩපත ඉස්සරහා ඉන්නවලු . මොනවා කලත් මේ අයියට නංගි තාමත් පොඩියි වගේ පේන්නේ .

ඒ නිසා අයියා හිතනවා නංගිගේ පුංචි හිතේ ආදරය කියන මදුමල් පිපිලා එනවා වාගෙයි කියලා . ගෙදර බුදුන් මුව උදානයක් වූ කියලා කියන්නේ නංගිට අම්මා බණිනවා කියලා හිතන්නත් පුළුවන් මොන යකෙක් වැහිලද මේ දවස්වල කියලා . නැත්නම් හිතන්න පුළුවන් නංගි ගෙදර වැඩ කරන නිසා අම්මා නංගිට හොඳ කියනවා කියලා . කොහොම හරි එතනත් අවසානයේ අහන්නේ නංගිගේ හිතට මුවා උනේ කවුද කියලා .






බාල බොලදියේ ඉස්සර සුරතල් වූ
කවට සිනා කෙලි සගවා තබුවාදෝ
වසන්තයට පෙර කැකුලට ලංවී
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

අයියට නංගිව තාමත් පේන්නේ නංගි පොඩි ළමයෙක් වගේ . බාල බොලදීයේ ඉස්සර හුරතල් වූ , කවට සිනා කෙලි සඟවා තැබුවාදෝ කියලා කියන්නේ පොඩිකාලේ ඉදලාමේ නංගිගේ හිතේ තිබුණ බොළඳ ගති නිසා ගෙදර හුරතලේට හැදුනට ඒ කෙලි කවටකම් ඔක්කොම ප්‍රේමවන්තියක් උනාට පස්සේ නැතිවෙලා ගියාද කියලා . ඒවා හැංගුවේ ප්‍රේමවන්තයා විසින් කියලා තමයි අයියා හිතන්නේ . වසන්තයට පෙර කැකුලට ලංවී කියලා කියන දෙයින් අපිට හිතන්න පුළුවන් මේ නංගි ප්‍රේමවන්තියක් උනාට තාම පෙම් කරන්න තරම් වයසක නෙවෙයි ඉන්නේ කියලා . නැත්නම් එහෙම වයසක හිටියත් අයියට පේන්නේ නංගි බබෙක් වගේ නිසා අයියා හිතනවා ඇති නංගි වේලාසනින්ම ප්‍රේමවන්තියක් වෙලා කියලා .

මේ ගීතයේ සංගීතය ගැන කියන්න වැඩි දෙයක් නෑ . ඒ නිසා සංගීතය ගැන ලියන්නේ නෑ . කියවලා බලලා කියන්නකෝ බලන්න ඔයාලගේ අදහස් යෝජනා චෝදනා .

ආයෙත් මන්දුට සිඩක් යටතේ හම්බෙමුකෝ තව ටික කාලෙකින් . ඒ ප්‍රේම වෘතාන්තය මේ විදියට ලෝකාන්තය දක්වාම ගෙනියන්න තමයි මම ඉන්නේ . හිහ් හිහ් හිහ් හිහ් ................

මේ පාර නම් සිංදුවා මාව මරනවා ෂුවර් .

12 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

දැන් ඉතින් අහයි කෝ හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාව කියල . එනවා එනවා ඒවත් එනවා . පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ . අද පෝස්ට් එකෙන් කියන්නේ කො...

කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම ( 3 )







දැන් ඉතින් අහයි කෝ හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාව කියල . එනවා එනවා ඒවත් එනවා . පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ . අද පෝස්ට් එකෙන් කියන්නේ කොඩිවින කියන්නේ මොනවද කොඩිවින කරන්නේ කොහොමද සහ කොඩිවින කරන මන්තරවල තියෙන්නේ මොනවද කියලා . මන්තර කෑලි ටිකක් දානවා .

එව්වා ඉතින් කියවන්න බය වෙන්න ඕන නෑ . මොකද ඒවායින් නරකක් වෙන්නේ නැහැ කියලා මට ෂුවර් . ඔව්වා වැඩ කරන්න නම් සම්පූර්ණ මන්තරේම තියෙන්න ඕන . මන්තරයක තියෙනවනේ කොටස් කීපයක් . ඒවායින් මම මේ පෝස්ට් එකේ ලියලා තියෙන්නේ කොටස් කීපයක් විතරයි . ඒ නිසා ඒවා වැඩ කරන්නේ නෑ හරියා......

කොඩිවින කියලා කියන්නේ සරළව විග්‍රහ කරනවානම් ශබ්ධ තරංග වලින් ඒ ශබ්ධ තරංග භාවිතා කරලා යම් කෙනෙකුට යම්තැනකට නරකක් නපුරක් කරන්න පුළුවන් ක්‍රියාදාමයකට . අපි නොහිතන දේවල් වලින් පවා සමහරවිට අපිට නරකක් වෙන්න පුළුවන් . මේකට සරළම උදාහරණයක් ගන්නවානම් , ඔයාලට මතක ඇති බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු රජ කෙනෙක්ගේ මගුල් ඇතා කුලප්පු වීම ගැන කියවෙන කථාවක් .

මේ ඇතා ඉන්න ගාල කිට්ටුව රෑට හොරු සෙට් එකක් ඇවිත් තමන්ගේ කතාවල් කරනවා . ඒ අය භාවිතා කරන වචන කැතයි , නරකයි . ඉතින් ඒ අනුව යමින් මේ ඇතත් නරක් උනා . පස්සේ ඒ හොරු කස්ටිය ඉවත් කරලා ඇතාට බමුණු පඬි වරුන්ගේ යහපත් වචන අහන්න සැලැස්වුවාට පස්සේ තමයි ඇතා මෙල්ල උනා කියලා කියන්නේ .







කොඩිවින හදි හූනියං වලත් තියෙන්නේ මෙන්න මේ වගේ අභව්‍ය අක්ෂර වචන මාලාවක් එක්ක ගොඩ නැගිලා තියෙන ශක්තියක් එක තැනක ඉඳලා තවත් තැනකට යවන්න පුළුවන් ක්‍රමවේදයක් . ඒවා යක්කු භූතයෝ පෙරේතයෝ වගේ අය එක්ක බැඳිලා තියෙනවා . කොඩිවින කරනකොට මිනිස්සු කරන්නේ වැඩි හරියක්ම මරන්න කරන ඒවා නෙවෙයි . පවුල් අවුල් කරන්න , ලෙඩ කරන්න , ව්‍යාපාර බිඳ වට්ටන්න වගේ දේවල් .

කෙනෙක් මරන්න විනයක් කරනවනම් ඒක ටිකක් වගකීමෙන් වගේම නිරවුල් මනසකින් කෙරෙන්න ඕන . මොකද මාරණ කර්මය තමයි ගුප්ත විජ්ජාවේ අවදානම්ම ක්‍රියාව විදියට සලකන්නේ . පොඩ්ඩ වැරදුනු ගමන් මාරයා එන්නේ විනය කරපු එකාගේ පැත්තට හැරිලා . අනික තමයි වින කරන කෙනෙක් නම් තමන්ට අනිවාර්යෙන්ම බලගතු ආරක්ෂාවක් තියාගන්න ඕන .

මම එහෙම කියන්නේ මොකද දන්නවද . ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති . අපේ සමාජයේ තියෙනවනේ

" මට මාරයා නග්ගන්න එපා "

" මට මාරයා ආවේස උනා "

" මට මාරයා ආවේස කරන්න එපා "







කියලා වගේ යෙදුම් . ඔන්න ඔය යෙදුම් එන්නේ මේ මන්තර සාත්තරේ හරහා තමයි . කෙනෙක්ට විනයක් කරනකොට වගේම විනයක් කපනකොටත් " මරු නැංවීම " කියලා දෙයක් කරනවා . එහෙම කරනවානම් අනිවාර්යෙන්ම ප්‍රථිපලය මරණයක් තමයි . ඉතින් මේ මරු නැංවීම කරන්නේ විනය කරන්න පටන් ගන්නකොටමයි . එහෙම කරනකොට තමන්ව මරු වසඟයට පත් කරලා වෙන කෙනෙක් තමාට මොනවා හරි කරලා තියෙනවානම් හරි , තමන් කරපු වැරදි තියෙනවානම් හරි ඉස්සෙල්ලම කෙලවෙන්නේ තමන්ට .

ඒ නිසා මාරණ කර්මය කරන්න කලින් තමන්ට ආරක්ෂාවක් තියාගන්න ඕන . එහෙම නැතුව ඔය පොඩි පොඩි වින බන්ධන අංගම් කාලම් වගේ ඒවා කරන්න නම් ඉතින් වැඩිය අවදානමක් නැහැ . ඒත් වින කරන කෙනෙක් නම් තමන් අනිවාර්යෙන්ම ආරක්ෂාවක් තියාගන්න එක හොඳයි .

ඒ මොකද , කවදා හරි දක්ෂ ඇදුරෙක් ආයෙත් මරු නංවලා මේ විනය ආපිට යන්න කැපුවොත් ඉස්සෙල්ලාම මරු දිෂ්ටිය හරි නැත්නම් යක්ෂ දිෂ්ටිය එන්නේ විනය කරපු ඇදුරා හොයාගෙන . වින කපන මන්තර මතුරනකොට පැහැදිළිවම අදාළ අමනුස්සයාට නියම කරලා කියනවා ඇදුරා හොයාගෙන ඇදුරා පාරේ එළවලා ඇදුරා මරන්න කියලා .

සමහර වෙලාවල් වලට ඇදුරාගේ පවුලේ ඔක්කොම උනත් මරු වසඟයට පත් කරලා වින කපන්න පුළුවන් . ඒ නිසා ඇදුරා ආරක්ෂාවක් කරගෙන තමයි වින කරන්නේ . එහෙම උනාම විනයක් කැපුවට පස්සේ කරපු ඇදුරා ගාවට එන්න බැරිනම් ඊට පස්සේ දිෂ්ටිය යන්නේ විනය කරවපු කෙනා හොයාගෙන . ඒ නිසා වින කිරීමත් වින කරවීමත් ජීවිතය අවදානමට තැබීමක් කියලා මතක තියාගන්න ඕන .







මම බ්ලොග් ලියන්න පටන් ගත්ත මුල්ම කාලේ වැඩිපුර කරේ ලිව්ව එක නෙවෙයි , කියවපු එක . වැඩිපුර කියෙව්වේ බ්ලොග් කියන්නේ මොනවද කියලාවත් හරියට දාන්නේ නැති නිසා . මම මුලින්ම ලිව්ව මෙන්න මේ බ්ලොග් එකේ මුල් පෝස්ට් කියවලා බැලුවනම් ඔයාලට තේරෙයි මම ලියන්න පටන් ගත්තේ කොහොමද කියලා . බාසාව ලොවෙත් අවුල් . හඃ හඃ හඃ

ඉතින් එහෙම කියවන කාලේ මම එක බ්ලොග් එකකට කමෙන්ට් කළා මේ වින කැපීම සම්භන්ධව ලියලා තිබ්බ ලිපියකට . පස්සේ ඒ බ්ලොග් එකේ ඇඩ්මින් මට දොස් කියලා කමෙන්ට් එකක් දාලා තිබුණා මැරෙන්න ඉන්න කෙනෙක් කොහොමද සනීප කරන්නේ , කළකම් පළදෙනවා , මාරයා බන්ධනය කරලා මැරෙන්න ඉන්න කෙනෙක් බෙරනවානම් මිනිස්සුන්ට අමරණීය වෙන්න පුළුවන් කියලා .

එයාට තේරුනේ නැහැ මම කිව්වේ මොකද්ද කියලා . එයාගේ ආවේගශීලී බව නිසා මම ඊට පස්සේ ඒවාට උත්තර දෙන්න ගියේ නැහැ . මම කියන්නේ විනයක් කරලා මැරෙන්න ඉන්න කෙනෙක්ව විනය කපලා මරු බන්ධනය කරලා බේරගන්න පුළුවන් භූත විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා කියලා . කළකම් පල දීමක් නම් ඉතින් මැරෙන්නත් පුළුවන් . ඒත් බුදුහාමුදුරුවෝ තමන්ගේ ධර්මයේ ත්‍රිලක්ෂණයට අනුව අනාත්ම බව කියන සංකල්පයෙන් ඉදිරිපත් කලේ හැමදේම ආත්මීය වශයෙන් බැඳිලා නැහැ කියලා .

ඒ කියන්නේ මේ ලෝකේ සමහර දේවල් උතු බීජ කම්ම ධම්ම චිත්ත කියන පංච නියාම ධර්ම වලට අනුව වෙන්නත් පුළුවන් කියලා . ඉතින් මේ වගේ වෙලාවට කළකම් පලදීම කියලා බලාගෙන ඉන්නේ නැතුව ඒවාට අදාළ ප්‍රතිකාර කරලා බලන්න ඕන විනය වැදුණු කෙනාව බේරාගන්න පුළුවන්ද කියලා . වින කැපීම ගැන මම වෙනමම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ .







ඒ නිසා අපි බලමු මොනවද තියෙන වින වර්ග සහ කොච්චර වින වර්ග තියෙනවද කියලා . ඒත් ගණන් කරලා කියන්න බැහැ වින කොච්චරක් මේ ලෝකේ ඉපදිලා තියෙනවද කියලා . බුදුහාමුදුරුවෝ ජලනන්දන පිරිතේදි දේශනා කරනවා " දස කෝටි සහස්සානී සර්ව බන්ධන චේදනං " කියලා . ඒ කියන්නේ කෝටි දහදාහක් තියෙන සියලුම බන්ධන විනාශ වෙනවා චේදනය වෙනවා කැපෙනවා කියලා . ඉතින් උඩින් පල්ලෙන් අතගානවා වගේ තමයි වින ගැන කියන්නේ හරියා...........

හිර කිරීම් කරනවා කියලා කරන වින වර්ග වලින් කරන්නේ යම් කෙනෙක්ගේ නමට විනයක් කරලා ඒක යම් තැනක හිර කරලා තියන එක .මෙහෙම කරන වින හිර කරනවා ඔරු යට , පාරු යට , පහුරු යට , නැවු යට , දිය යට , මඩ යට , වැලි යට , ඔයක , විලක , අමුණක , ඇලක , දොලක , ගංගාවක , කළයක , කොතලයක වගේ තැනක . එහෙම හිර කරපු වින කපනකොට සමහර ඒවා නම් තියෙන තැන හොයාගෙන ගොඩ ගන්නම ඕන . නැත්නම් තවත් සමහර ඒවා බලගතු මන්තර වලින් මතුරලා ඒවා ගොඩ ගන්නේ නැතුව කපන්නත් පුළුවන් .

තවත් වින වර්ග තියෙනවා ඉර හඳ තරු වල තියෙන ශක්තිය බන්ධනය කරලා , ඒ කියන්නේ ග්‍රහයෝ නවදෙනා බන්ධනය කරලා කරන වින වර්ග . මේවා සමහරවිට අදාළ පුද්ගලයාට මරණය අරගෙන ඒවා වෙන්න පුළුවන් .

ගස් පාවිච්චි කරලා කරන වින බන්ධන ගැන කියනවානම් , නූල් මතුරලා ගස්වල ඒ නූල් ගැටගහලා වින කරන්න පුළුවන් . මේ වින නිසා සමහරවිට ඒ ගහේ ගෙඩි කන කෙනාට අමනුස්ස දිෂ්ටිය වැටෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් ගහ යටින් යන කෙනාට දිෂ්ටිය වැටෙන්න පුළුවන් . නැත්නම් ඒ ගහ තියෙන ගෙදර අයට වත්තේ ඉන්න බැරි වෙන්න පුළුවන් .

එහෙමත් නැත්නම් ගහ තියෙන ගම පාළු වෙලා යන්න පුළුවන් . එකියන්නේ ගමේ ඉන්න බැරුව මිනිස්සු ගම අතැරල යන තත්වෙට පත් වෙන්න පුළුවන් . සමහර වින වර්ග තියෙනවා එක ළඟ තියෙන ගස් දෙකකට මතුරනවා . එකක් මතුරන්නේ ගැහැණු කෙනාගේ නමට භාර කරලා . අනික මතුරන්නේ පිරිමි කෙනාගේ නමට භාර කරලා . පස්සේ මේ ගස් දෙකේ අතු හුළඟට ගෑවෙනකොට ගෑණුකෙනයි පිරිමි කෙනයි දෙන්නම රණ්ඩු වෙනවා . පවුල් අවුල් කරන්න තමයි මේවා හදලා තියෙන්නේ .







ගස්වල කොළ භාවිතා කරලා කරන වින වර්ග ගැන කියනවනම් දෙහි දොඩම් නාරං පබුරු වගේ ගස්වල කොළ වල රූප ඇඳලා නමට සිද්දි කරලා වින කරන්න පුළුවන් . නමට සිද්දි කරනවා කියන්නේ අදාළ පුද්ගලයාගේ සම්පූර්ණ නම ලියලා එයා වෙතට දිෂ්ටිය යන එක කන්ෆර්ම් කරන එක .

තවත් වින වර්ග තියෙනවා ඇණ වලට මතුරලා වහලවල් හදනකොට මුදුන් යටලීයට වගේ වැදගත් ස්ථාන වලට ශේප් එකේ ගහලා දානවා . ඒවායින් සමහර වෙලාවට ගෘහමූලිකයා ගේ පදිංචි වෙන්න කලින්ම පරලොව යවන්න පුළුවන් .

උතුර නැගෙනහිර වගේ දිශා අට අල්ලලා කරන වින බන්ධන වර්ග තියෙනවා . ඒවා කරන්නේ අටදික් පාලනය කරන බහිරවයින් අල්ලලා බහිරව බන්ධනය කරගෙන . මේ වින වලින් වැඩි හරියක්ම වෙන්නේ ගෙවල් වල සල්ලි ධනය විනාස කරලා දාන එක .

ඔයාලා දන්නේ නැතුවත් ඇති . සමහර පිරිත්වල අකුරු වෙනස් කරලා වැරදියට කියලා පිරිත් වලින් වින කරන්නත් පුළුවන් . සබ්බ පාපස්ස අකරනං කියන ගාථාවේ අකුරු වෙනස් කරලා වින කරන හැටි ගැන මම කියවලා තියෙනවා . ඒවා එච්චර භයානක දේවල් නෙවෙයි . ඒත් සැලකියයුතු දෙයක් ඒවායින් කරන්න පුළුවන් .

තව ඉතින් බන්ධන වර්ග තියෙනවා ගමකට .

වඩිග බන්ධන 
කල්ලු  බන්ධන  
පිල්ලූ  බන්ධන 
සන්නාසි බන්ධන 
ආඬි  බන්ධන 
පට්ටාඩි බන්ධන 
කණ්නාඩි බන්ධන 
තෙලිඟු  බන්ධන 
වීසි බන්ධන 
කාබේරි  බන්ධන 
වල්ලව බන්ධන 
මලයාල බන්ධන 
පරංගි බන්ධන
කාශ්මීර බන්ධන 
කාම්බෝජ බන්ධන 
නේපාල බන්ධන 
දෙමල බන්ධන 
සිංහල බන්ධන 
නවගුණ ගාථා බන්ධන 
යන්ත්‍ර බන්ධන 
මන්ත්‍ර බන්ධන 
යක්ෂ බන්ධන 
යක්ෂනී බන්ධන 
දේව බන්ධන 
දේවතා බන්ධන 
ප්‍රේත බන්ධන 
ආදර බන්ධන 
ඊනා බන්ධන 
කටහඬ බන්ධන 

කියලා බන්ධන වර්ග විශාල ගණනක් තියෙනවා .

හිර කියලා වින වර්ගයක් තියෙනවා .

වැලි හිර 
නූල් හිර 
දුනු හිර 
අඩි හිර 
ඇට හිර 
මස් හිර 
කටු හිර 
යන්ත්‍ර හිර 
මන්ත්‍ර හිර 
ගාථා හිර 

කියලා තමයි මේ හිර වර්ග නම් වෙන්නේ . මේ වින වර්ග ඔක්කොම වගේ කියවලා බැලුවම පේන්නේ මේ හැම එකක්ම යක්ෂයින් භූතයින් එක්ක බැඳිලා තියෙන ඒවා කියලා . ඒත් ඊට වඩා බලගතු දේවල් තමයි අංගම් කාලම් සහ පිල්ලූ නොහොත් පිල්ලි කියන්නේ .

අංගම් තියෙනවා ගොඩක් .

දුවන අංගම් 
පිඹින අංගම් 
පනින අංගම් 
පෙරලන අංගම් 
ගහන අංගම් 
අනින අංගම් 

කියලා තමයි ඒවා නම් කෙරෙන්නේ .

කාලම් තියෙනවා කීපයක්ම . ඒවා වෙන් වෙන්නේ

යක්ෂ කාලම් 
දේව කාලම් කියලා .






පිල්ලි කියන්නේ ආත්මයක් මගින් වින කිරීම . මේ පිල්ලි වලින් කරන්නේ සතෙක්ගේ ආත්මයක් බන්ධනය කරලා ඒ සතාව හරි සතාගේ ආත්මය හරි යවලා මනුස්සයෙක් විනාශ කරන එක . මනුස්ස පිල්ලි වලට වඩා බලගතුම පිල්ලිය තමයි නාග පිල්ලිය . නයෙක් නොමරා අල්ලාගෙන මන්තරවලින් මතුරලා දිෂ්ටි කරලා හතුරාගේ නමට සිද්ධි කරලා නාග පිල්ලියක් යැව්වම නයා ගිහින් දෂ්ට කරනවා .


මෙහෙම් දෂ්ට කරාම කොච්චර නයි නටවන දොස්තරලා වෙද්දු හිටියත් මැරෙනවා සත්තයි කියලා මන්තර පොත්වල ලියවිලා තියෙනවා . ඒවගේ තියෙනවා කටුසු බඹර දෙබර මැසි පිලවු බලු බළල් නාග ගැරඬි පොළොන් තෙලිස් කරවල් පත්තෑ කුරුමිණි පිල්ලි කියලා පිල්ලි ගොඩක් . මේවායේ බලගතුබව වෙනස් වෙන්නේ අදාළ සතාගේ ශක්තිය මත තමයි .





රන් රිදී තඹ පිත්තල වානේ කියන ලෝහ වර්ගවලින් රූපයක් හදලා නම ලියලා නමට සිද්දි කරලා වින කරන්න පුළුවන් . මැටිවලින් රූපය අඹලා වින කරන්න පුළුවන් . දෙහි ගෙඩි පුහුල් ගෙඩි හොඬල අල හබරල අල වගේ ඒවායේ රූපය ඇඳලා නම ලියලා වින කරන්න පුළුවන් . ඔය මොකවත් ඕන නෑ . කාලයක් යක්ෂ දිෂ්ටි එක්ක වැඩ කරපු කෙනෙක් කේන්තියෙන් පිට කරන හුස්ම පොද වැදෙන වැලි අහුර උනත් ඇති විනයක් වෙන්න . වින කරන මන්තර කියනකොට සමහර වෙලාවල් වලට කෙළවත් ගිලින්න බෑ . එහෙම උනොත් විනේ වෙන්නේ මතුරන කෙනාට . ඒ නිසා වින නොකර ඉන්න එක තමා හොඳ .

හ්ම්ම්ම්ම්ම් මහා සාගරයක් වගේ තියෙන වින බන්ධන වලින් මේ කිව්වේ ටිකයි . ඉස්සර කාලේ මන්තර හදපු අය සම සම ප්‍රමාන වලින් වින සහ වින කපන මන්තර හදලා තියෙනවා . ඒත් ඒවා පිටපත් කරපු අය වැඩිපුර අරගෙන තියෙන්නේ වින කරන මන්තර ක්‍රම . ඒ නිසා ශිල්පයේ හැටියට වින කරන ආකාර ගණන වැඩියි . වින කපන්න තියෙන මන්තර අඩුයි .

එක කතුරකින් රෙදි කඩදාසි පොලිතීන් ඔක්කොම කපනවා වගේ කීපයකට සීමා වෙලා තියෙන මන්තර වලින් තමයි වින කපන්නේ . වින කරනහැටි ගැන ලිව්වේ අඩුවෙන් . මොකද මමත් කැමති නෑ වින කරන හැටි ගැන කල්පනා කරන්න . වින කරන ඇදුරන්ගේ මුහුණේ තියෙන රෞද්‍ර පෙනුම එයාලට ලැබිලා තියෙන්නේ ඒ මන්තරවලට අරක්ගන්න නපුරු දිෂ්ටි නිසා තමයි .

ඉතින් වින මන්තර කෑලි ටිකක් දාන්න ඕන කියලා මුලින් හිතාගෙන හිටියට දැන් හිතෙනවා ඕන නෑ කියලා . ඒ නිසා වින කපනහැටි අරගෙන ආයෙත් එන්නම් . ඒක කියෙව්වම කවුරු උනත් වින කරන්න තියා වින අහන්නව හිතන එකක් නෑ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

9 අදහස් උදහස්:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.