Monday, December 28, 2015

මරු විස කලාව






අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ පහුගිය පසළොස්වක පෝය දවසේ ඔය කැලෑවට බැහැලා මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා බලලා ටිකක් සුද්ද කරලා දන්න ඕන කියලා කල්පනා කරා . අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එපාය .

වැඩිපුරම උවමනාව තිබ්බේ බෙහෙත් පැළෑටි මොනවද තියෙන්නේ කියලා බලන්න . මේ පැත්තත් නිවර්තන තෙත් සදාහරිත පැත්තක් නිසා මේ වනාන්තරවල වැවෙන රාජකීය පැළෑටි මේ වත්තෙත් තියෙනවද කියලා බලන්න තමයි වැඩිපුරම උවමනාව තිබ්බේ . වේවැල් පුස් රසකිඳ හොර නැදුන් වගේ නිවර්තන තෙත් වනාතරවල දකින්න ලැබෙන ගස් වැල් කීපයක්ම ඒ වත්තේ තියෙනවා . රාජකීය පැළෑටිනම් පේන්න නැහැ . ඒ නිසා මම හිතාගෙන ඉන්නේ රාජකීය පැළෑටි ඇතුළුව මොනවා මොනවාහරි වවලා තියන්න .

ඉතින් සුද්ද කර කර ඉන්නකොට අම්මා ඉස්සෙල්ලම කියන්න ගත්තා මේ පෝය දවසේ කැලෑව ඇතුලේ රිංගන්න එපා , එන්න කියලා . ඊට පස්සේ පුංචිත් එලාම් එක නාද කළා . ඒ මදිවට කොහේදෝ ඉඳලා ආව අපේ මාමත් කියන්න ගත්තා මේ පසළොස්වක පෝය දවසේ මොන එහෙකට කැලේ රිංගනවද කියලා .





පස්සේ තමයි මට මතක් උනේ . පසළොස්වක දවසට සර්ප විෂ උග්‍ර වෙනවා කියලා ආච්චි අම්මා වෙදකමේදි ඉගැන්නුවා නේද කියලා . හඳේ ගමනත් එක්ක සර්ප විෂ අඩු වැඩි වෙනවා . පසළොස්වක වෙනකොට වැඩිවෙන විෂ අමාවක වෙනකොට අඩුවෙලා අමාවක ඉඳලා ආයෙත් වැඩිවෙන්න පටන් ගන්නවා . ගොඩක් දේවල් ඒ වගේ තමයි . සෙත් කවි උනත් කියන්න හොඳ අමාවක දවසට පටන් අරගෙන . එතකොට හඳ පිරෙනවා වගේ ජීව ගුණයත් වැඩි වෙනවා . පසළොස්වක දවසට පටන් ගත්තම වෙන්නේ හඳ බහින කාලේ එන නිසා හඳ අඩුවෙනවා වගේම ජීව ගුණයත් අඩුවෙන එක . එකනේ හඳ මෝරනකොට පිස්සන්ට පිස්සු වැඩි වෙන්නේ . සිංදුවා අයියා නම් මේ හඳ ගමන වැඩි වෙනකොට පිස්සන්ට පිස්සු වැඩි වෙන එක ගැන හොඳට දන්නවා . හැක හැක හැක ...... :p

ඉතින් අද කියන්න යන්නේ විස වෙදකමේ කියන මේ මරු විස කලාව කියන එක සතියේ දවස් හතට කොහොමද බලපාන්නේ කියලා . ඉස්සෙල්ලම කියන්න ඕන මේ මරු විස කලාව ගැන මම හිතන දේ . මෙතන මමනම් හිතන්නේ මරු ඉන්නවා කියලා කියන්නේ වසවර්ති මාරයා ඉන්නවා කියන එක නෙවෙයි . මෙතන කියන්නේ මරු ඉන්නවා කියල , ඒ දවසේ ඒ වෙලාවට ශරීරයේ මේ කියන තැන ක්‍රියා කාරීත්වයේ වෙනසක් තියෙනවා කියන එක .





සඳුදා අයිති සඳුට
අඟහරුවාදා අයිති අඟහරුට
බදාදා අයිති බුධට
බ්‍රහස්පතින්දා අයිති ගුරුට
සිකුරාදා අයිති සිකුරුට
සෙනසුරාදා අයිති සෙනසුරුට
ඉරිදා අයිති රවිට

මෙහෙම අයිතියි කියලා කියන්නේ ඒ දවසට ඒ ග්‍රහයාගේ බලපෑම වැඩි නිසා . මේ දවසට මේ ග්‍රහයාගේ බලපෑම වැඩියි කියලා කියන්නේ ඒ ග්‍රහයාගේ ඉඳලා පොළවට එන කිරණ වල යම් කිසි අසමතුලිත බවක් තියෙන එක . ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අනුව මේ කිරණවල යම් විශේෂිත සංඛ්‍යාතයකට අයත් ශක්තියක් ගබඩා වෙලා තියෙනවා .මේ ශක්තිය ශරීරයේ ඒ ඒ තැන්වලට බලපාන ආකාරය අනුව මේ මරු කලාව ඇතිවෙලා තියෙනවා කියලා තමයි මමනම් හිතන්නේ . ග්‍රහයින්ගේ ගමන අපිට නොදැනුවත්වම උනත් අපේ ඇඟට බලපානවා . සූර්යයාගේ කිරණ , සූර්යයාගේ ගමන අනුව ප්‍රභාසංශ්ලේෂණය , ශාක ආවර්තී චලන වගේ දේවල් ක්‍රියාත්මකවෙන යාන්ත්‍රණ සිද්ද වෙනවා වගේම තමයි මනුෂ්‍ය ශරීරයටත් මේ ග්‍රහයින්ගේ ගමන බලපවත්වන්නේ .

විස වෙදකමේ මේ මරු විස කලාව අනිවාර්යෙන්ම බලනවා . වෙදකම් කරනකොට මන්තර මතුරලා , නැත්නම් බෙහෙත් ඖෂධවලින් ඇඟේ තියෙන විස එහා මෙහා කරලා තමයි විස බස්සන්නේ . මේ විස බස්සන ශිල්පයේදී ඒ ඒ වෙලාවට මරු විස කලාව නැගලා තියෙන තැනට විෂ සාන්ද්‍රගත වෙන්නේ නැතිවෙන්න වෙදකම කරන අය වගබලා ගන්නවා . එහෙම වගබලාගත්තත් ස්වාභාවික නැඹුරුතාවය තියෙන්නේ මේ තැන් වලට විෂ සාන්ද්‍රගත වෙන්න .





ඒනිසාම විෂ වෙදකමේදී මේ අදාළ වෙලාවේ අදාළ තැන් වලට විෂ එන්න දෙන්නේ නැහැ . බෙහෙත් වලට වඩා මන්තර තමයි විෂ එහා මෙහා කරන්න දායක වෙන්නේ . දෙහි කොළ අත්ත , අහු කොළ අත්ත , කොහොඹ කොළ අත්ත , ගුරුල්ල  කොළ  අත්ත වගේ එක එක අතු වලින් මතුරලා විෂ බස්සනවා . ඊට වඩා භයානක දේ තමයි ඒ වෙලාවට විස තියෙන සතෙක් ඔය මරු කලාව පිහිටලා තියෙන තැනට දෂ්ට කිරීම .

එහෙම දෂ්ට කිරීමක් උනොත් එතන විෂ සාන්ද්‍රණය එකපාරටම ඉහල යන නිසා අනිවාර්යෙන්ම මරණයට පත්වෙනවා කියල පුරාණ වෛද්‍ය ග්‍රන්ථ වල සඳහන් වෙලා තියෙනවා . මේ විස මරු කලාව විස වෙදකමට විතරක් නෙවෙයි . නිල වෙදකමටත් ඉතාම දායක වෙන දෙයක් . මොකද ඇඟේ වැදගත් මරමස්ථාන වල තියෙන නිල වලටත් මේ විස මරු කලාව පිහිටන නිසා . ඒවගේම තමයි මේ තැන් වල මේ වෙලාවට තුවාල වීම් තැලීම් එහෙම උනත් ඒවා සුවපත් වෙන්න ටිකක් කල් ගන්නවා කියලා අත්දැකීම් අනුව කියලා තියෙනවා . මෙන්න මෙහෙමයි මරු විස කලාව දවස් හතේ පිහිටන්නේ .

ඉරිදා උදයට නෙත් පිට සිටියා
ඉරමුදුනට මරු තන කිහ සිටියා
එමදා සවසට හිස පිට සිටියා
ඉරිදා දින මරු මේ ලෙස සිටියා

සඳුදා උදයට වළලු කරේයා
ඉර මුදුනට මරු දකුණු දනේයා
සවසට ඉන්නේ හිස් මුදුනේයා
සඳු දින මරු එයි මේ සැටියේයා

කුජ දින උදයට පිටි පතුලේයා
ඉර මුදුනට දනහිස් පිට සිටියා
සවස දිනට ගොස් තන කිහ සිටියා
කුජ දින තුන් වරුවට මෙලෙසේයා 

බුද දින උදයට දකුණු උරේයා
ඉර මුදුනේ සංදිය වැලමිටෙයා
සවසට මරුයෙයි මැණික් කටුවෙයා
බුද දින මරු යෙයි දැන මෙලෙසේයා

ගුරු දින උදයට දකුණු දනේයා
ඉර මුදුනට උරයට එන්නේයා
සවසට මරු ගොස් හිස්මුදුනේයා
ගුරු දින මරු එයි මේ විලසේයා

කිවි දින උදයට සඳුන් පොතේයා
ඉර මුදුනට වෙයි දකුණු උරේයා
සවසට මරු එයි හිස්මුදුනේයා
කිවි දින විස මරු එයි මෙලෙසේයා

සැනි දින උදයට හිස් මුදුනේයා
ඉර මුදුනට වම් උරපිට සිටියා
සවසට තන මඩලේ මරු සිටියා
සැනි දින විස මරු එයි මෙලෙසේයා 

කවිවල තේරුම් ඉතින් අමුතුවෙන් ලියන්න උවමනා නැහැනේ . ඒ නිසා මරු විස කලාව මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා දැනගෙන කටයුතු කරන්න කියලා කියමින් අද ලිපිය අවසන් කරනවා . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Thursday, December 24, 2015

සූර්ය ග්‍රී පර්වතේ දෙදරවා වඩින කඩවර සෙනෙවිරත්න අධිකාරම් දේවතාවුන් වහන්සේ






වකුටු සිරස හැඩ ගවසා වකුටු නියන් මෙන් වැරසැර
වකුටු මූණ කට ඇද කර කාලා මස් බඩ ලොකු කර
වකුටු එනිය බොල්ලෑ දත් යකඩ කිලිය ගෙන අඬ හැර
වකුටු දෙදළකින් ඇනලා රීරි උරා බොන කඩවර

රන් අවුපත සුරතින් ගෙන සලති පවන් සිසිල් වෙන්ඩ
රන් චාමර සුරත දරා සිටිති සබෙන් තෙද වඩින්ඩ
හංස කිකිණි මිහිරි හඬින් සිට සබයට සෙත් පතන්ඩ
වංස තෙදැති කඩවර දෙවි සැනෙකින් පේනට වඩින්ඩ

දැනට අවුරුදු කීපයකට ඉස්සර මට අහන්න දකින්න ලැබුණු අත්දැකීමක් තමයි මේ ලිපිය ලියන්න නිධාන කතාව වෙන්නේ . මම ඉන්න පැත්ත සාම්ප්‍රදායික ගැමි ජීවිතයෙන් මිදිච්ච ගමක් .

දැන් ඉන්නේ ඔක්කොම නවීන ජීවන පන්නයකට හුරුපුරුදු වෙච්ච අය . ගෙවල් දොරවල ඇඳුම් පැළඳුම් පවා දැන් හැමෝගෙම වෙනස් . ඉස්සරනම් අවුරුදු චාරිත්‍ර වගේ දේවල් පවා හරියටම මේ පැත්තේ ගෙවල් වල සිද්ද කරා . ඒත් දැන් ඒවා වියැකිලා ගිහින් . අලුත් පරපුර හිස ඔසවාගෙන එනකොට ඊට කලින් පරපුරවල් ටිකෙන් ටික පැත්තකට වෙනවා කියලා තමයි පේන්නේ . ත්‍රීවිල් එකක් පදින්න පුරුදු උනාම කොල්ලෝ හිතන්නේ එරොප්ලේන් පදින්න ලයිසන් ගත්ත ගානට . කමක් නෑ ඉතින් . ආසාවනේ . අතපය නැතිව ආවම ගොන් කරත්ත එළවන ගානට වැටෙනවා කියලා උපේක්ෂාවෙන් ඒ අය දිහා බලන්න පුළුවන් .

මේ කොච්චර වෙනස්කම් වෙනවා උනත් මම ගමේ දැක්ක එක දෙයක් තමයි අන්ධ විශ්වාස මත පදනම් වෙලා සාම්ප්‍රදායික සමහර දේවල් තවමත් මේ මිනිස්සු අනුගමනය කරන එක . මේ ළඟදී අපේ ගෙදරට පහළ ගෙදරක ජයටම මන්තර මතුරනවා ඇහෙනවා . මන්තරේ සද්දෙයි අර අනිත් එකේ සද්දෙයි හොඳට දන්න කෙනා වෙච්චි එකේ මමත් මිදුලට බැහැලා පොඩ්ඩක් ඒ පැත්තට කණ හරවාගෙන අහගෙන හිටියා .

මන්තර වලට අනුව කළු කුමාර දිෂ්ටිය නවත්තන්න මන්තර මැතිරිල්ලක් තමයි කෙරුනේ . ඊට ටික දවසකට පස්සේ මට දැනගන්න ලැබුණා ඒ ගෙදර නංගි කළු කුමාරයා එක්ක පැනලා ගියා කියලා . පස්සේ ඉතින් ඒ කළු කුමාරයට සමාව දීලා කළු කුමාරයාවම බැඳලා දැන් සතුටින් සමාදානයෙන් ඉන්නවා . මේවගේ ඇහුවම දැක්කම ඒක වසංගතයක් වෙනවා . අල්ලපු ගෙදරට නූල් දැම්මම අනිත් ගෙදරටත් නූල් දාන්න වෙනවා . ඔහොම ඔහොම ඉතින් මේවා වසංගත වෙනවා .

ශිල්පයේ ඇත්ත නැත්ත ගැනවත් ඒ මිනිස්සුන්ගේ අන්ධ භක්තිය ගැනවත් මම මේ වෙලාවේ කතා කරන්න කැමති නෑ . ඒත් මේ කාලේ අහන දකින දේවල් අනුව මන්තර ශාස්ත්‍රය යක්කු දෙවිවරු සිල්ලර වෙලා කියලානම් කියන්න ඕන . හැමදාම කියනවා වගේ අදත් කියන්නේ ඒකම තමයි . ඒ නිසා තමයි මම ඉස්සර ඉඳලම කල්පනා කරේ යක්කු දෙවිවරු භූතයෝ හසුරුවන ශිල්පයේ ඇත්ත නැත්ත ගැන මෙහෙම ලියන්න ඕන කියන එක . ඒ නිසා මම මේ ලියන ලිපි කියවලා කරන්න ඕන මේවා අනුගමනය කිරීමවත් විශ්වාස කිරීමවත් නෙවෙයි . 

හරි දේවල් දැන හඳුනාගෙන කැස්සට උනට නූල් මතුරලා බෙල්ලේ දාගන්නේ නැතුව මේ ශිල්පයේ ගැඹුර අවබෝධ කරගෙන ඒ අනුව යමක් කරගන්න ඕන නම් අදාළ ගැළපෙන අයව හොයාගෙන ඒ දේවල් කරවා ගන්න එක . මට පණිවුඩ එවලා හිත් අමනාපකම් ඇතිකරගන්න එපා . වයලීනෝ සබැඳි කතා ලිපියේ අන්තිමටම මම පැහැදිළිවම කියලා තියෙනවා ඒ වගේ ප්‍රශ්න වලට මම දෙන ඩිරෙක්ට් උත්තර ගැන . කණගාටුවෙන් උනත් මට ඒ දේවල් එහෙම කියන්න වෙනවා . ඒ නිසා ආයෙත් ඉල්ලලා හිටින්නේ ගවේශකයා පර්යේෂකයා ලේඛකයා සහ ශිල්පියා කියන හතරදෙනා පටලව ගන්න එපා කියන එක . 

හීනියට වගේ පාරම්පරික උරුමයක් තියෙන බව හැබෑව . ඒත් මම ඒ උරුමයෙන් දැන් ගොඩක් ඈත් වෙච්ච කෙනෙක් නිසා ලිපියට වඩා වැඩි යමක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා කියමින් මම එන්නම් මගේ නිධාන කතාව කියන්න . ඒ කිව්වේ මෙයාලා මම තමා නිධාන කතාව කියන්න පටන් ගත්තේ නැහැ . හැක හැක හැක...





අපේ ගෙවල් වලට කීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊට්ටුවම කියන්නේ ටිකක් කිට්ටුව ගෙදරක රෑට රෑට කාලයක් තිස්සේ පහනක් තිබ්බා . දන්නේ නැහැ ඉතින් කාටද පහන පත්තු කරන්නේ කියලා . සිමෙන්ති වලින් හදපු පහන් පැලක තමයි මේ පහන පත්තු කලේ . ඕක කාලයක් පත්තු කළා . ඊට පස්සේ ඔය ගෙදරට ආවා වරමක් තියෙන ගෑණු කෙනෙක් . මේ ගෑණු කෙනා රෑට රෑට පහන තියලා කන්නලව් කරන්න පටන් ගත්තා . මේ කන්නලව්ව නිසා තමයි දැනගත්තේ මේ පහන රුහුණු කතරගම මහා දේවාලයේ අදෘශ්‍යමාන රන් තොරණේ දකුණේ මුර තේවයේ වැඩ ඉන්න කඩවර සෙනෙවිරත්න අධිකාරම් දේවතාවුන් වහන්සේට කැප වෙච්ච පහනක් කියලා . ටික්ස් කාලෙකින් පස්සේ මේ කන්නලව් කිරීමත් නැවතුනා . ඒත් පහන හැමදාම පත්තු කළා . 

අවුරුද්දක් විතර මෙහෙම පහන පත්තු කලාට පස්සේ මේ ගෙදරට නයෙක් එන්න ගත්තා . සුළු පටු නයෙක් නෙවෙයි . හෙන සයිස් නාග රාජයෙක් . පහන පත්තු කරන වෙලාවට පහන් පැල කිට්ටුව හැමදාම රෑට මේ නයා දරන ගහගෙන ඉන්න පටන් ගත්තා . අපේ වත්තේ මායිමේ තියෙන කළු ගල යට නාග භවනක් තිබුණට ඒ නයි අයියලා මෙහෙම දේවල් කවදාවත් කරේ නැහැ . ඒත් මේ විපරියාසය නිසා ගෙදර අය හොඳටම බය වෙලා හිටියේ .

පස්සේ මේ අය ගෙදර දානයක් දීලා පිං අනුමෝදන් කරා . පහන තියන එක නැවැත්තුවා . ඒත් නයාගේ ගමන නම් නැවතුනේ නෑ . පස්සේ මේ අය ඇදුරන් ගෙන්නවලා ලොකු ගුරුකමක් කරලා තමයි නයා එන ගමන නවත්ත ගත්තේ . නයාව අල්ලලා දෙන්නවත් නයාව මරන්නවත් ඒ අය බය උන නිසා තමයි අන්තිමට මෙහෙම විකල්පයක් ඔස්සේ ගිහිල්ලා මේ කරදරයෙන් මිදුනේ . කතරගම දෙවියන්ගේ දේව සමාගමේ කෙනෙක් හැටියට කඩවර දෙවියන් පවා නාගයින්ට මුවා වෙලා එන එක රහසක් නෙවෙයි කියලා දැනගත්තේ එදා තමයි ඔන්න .

රාත්‍රී කාලයේ ඇවිදින අයට මහසෝනා ගහන්නේ අතේ ඇඟිලි පහක පාර පිටේ හිටින්න . මහසෝනා ගැහුවා කියලා කවුරුහරි ආවොත් පිට හරවලා බලන්නේ මේ ඇඟිලි පාරවල් තියෙනවද කියලා බලන්න . ඉතින් අන්න ඒ වගේ කඩවර යකා ගහන්නේ ඇඟිලි හතරක් හිටින්න . මෙන්න මේ කතාව තමයි කඩවර ගැන මම අහලා තිබ්බ මුල්ම කතාව . ඒත් ඊට පස්සේ පත්තරවල සාත්තර පොට්වල සහ පොත්වල මේ වගේ කතා අහන්න දකින්න ලැබුණට මම ඒවා එච්චර විශ්වාස කලේ නෑ මොකද එයාලා එහෙම උනා කියලා කිව්වට සාක්කි මුකුත් තිබ්බේ නැති නිසා . ඒත් කඩවර දෙවියන් ගැන මම අහපු දැකපු හොඳම සාක්ෂිය තමයි මේ . ඉතින් එහෙව් කඩවර දෙවියන් ගැන කියන්න තමයි මේ ලක ලැස්ති වෙන්නේ .





කඩවර දෙවියන්ගේ උත්පත්ති කතාව ගැන කියනකොට . එක එක දේවල් තියෙනවා . මොකද කාලෙන් කාලෙට මේවා වෙනස් වෙවී එක එක ශිල්පීන් තම තමන්ට ඕන ඕන විදියට මේවා වෙනස් කරගෙන ආව නිසා . කඩවර කෝල් මුර කවි වලින් තමයි අවසාන වතාවට කඩවර උත්පත්තිය ගැන විස්තරයක් සඳහන් වෙන්නේ . ඒ කතාව එක අතකට පිළිගන්න පුළුවන් කියලත් හිතෙනවා . ඒත් ආයෙත් කල්පනා කරලා බලනකොට පිළිගන්න බෑ බෑ වගේ කියලත් හිතෙනවා . ඉන්දියාවේ ඉඳලා ආව ස්කන්ධ සහ ලංකාවේ හිටපු කතරගම දෙවියෝ කියන සංකල්ප කලවම් වෙලා නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ .  කොහොමහරි මෙන්න මෙහෙමයි මේ කඩවර උත්පත්ති කතාව ගැන සඳහන් වෙන්නේ .

අනුරාධපුරය පැත්තේ ගමක ඉතාම ඈත අතීතයේ ජීවත් උනා එක්තරා මනුස්සයෙක් . මේ මනුස්සයා ඇඟේ පතේ හයිය හත්තිය තියෙන හොඳ ඇඟ පත තියෙන මනුස්සයෙක් . ඉතින් මෙයා ගොවිතැන් කරන කාලෙට ගොවිතැන් කරනවා . කුඹුරු කොටන්න , නියර බඳින්න ඇලවල් කපන්න වගේ වැඩවලට මෙයා හරිම දක්ෂ කෙනෙක් . ඉතින් මේ නිසා මෙයාගේ කුඹුරු වල වී වලින් නම් අඩුවක් උනේ නැහැ . ගොවිතැන් කරන කාලෙට ගොවිතැන් කරාට ඊට පස්සේ මෙයා වැඩි හරියක් කරන්නේ නිදාගන්න එක . ඒත් නිකන්ම නෙවෙයි නිදා ගන්නේ කණපැලෙන්න රා බීලා තමයි නිදා ගන්නේ . ඒ වගේම හොඳට බඩ කට පිරෙන්න කන්නත් ඕන මෙයාට .

දවසක් මෙයාගේ බිරිඳ මෙයාට ගෙදර වැඩ රාජකාරි වගයක් කරන්න කියලා එයාගේ රාජකාරි වගයකට ගෙදරින් බැහැරට යනවා . ඒත් ඉතින් මේ මනුස්සයා කිව්ව වැඩ කරන්නේ නෑ . උයලා තිබ්බ කෑම බීම බඩ කට පිරෙන්න කාලා , රා බීලා ගොරව ගොරව නිදාගත්තා . මෙහෙම නිදාගෙන ඉන්නකොට බිරිඳ එනවා ගෙදර . ඒ එනකොට දකිනවා තමන් කරන්න කිව්ව දේවල් මොකවත් කරන්නේ නැතුව මනුස්සයා කාලා බීලා හොඳට නිදාගෙන ඉන්න හැටි . මේකට මේ බිරිඳට හොඳටම කේන්ති යනවා . ඒ නිසා කරන්නේ උයලා තිබ්බ බත් මුට්ටිය අරගෙන ඇවිත් මේ මනුස්සයට හොඳටම බැනලා බත් මුට්ටිය ඔලුවේ ගහපු එක .

බිරිඳ මෙහෙම කරාට පස්සේ මනුස්සයා හොඳටම කලකිරෙනවා . මොකද කාලා බීලා නිදාගන්නේ කන්න බොන්න ඕන දේවල් හම්බ කරලා තියලා . ඒත් සැනසිල්ලේ ඉන්න නැති නිසා මේ මනුස්සයා බිරිඳට කියන්නෙම නැතුව ගෙදරින් යන්න යනවා . මේ විදියට යන්න ගියාට මෙයට යන්න කියලා තැනක් තිබුණේ නෑ . ඉතින් එයා ජීවත් වෙන්න කල්පනා කරේ වනාන්තරයේ . වනාන්තරයේ ඉන්නකොට මෙයා කෑවේ බිව්වේ ගස්වල කොළ ගෙඩි වගේ දේවල් . කැලේ ඉන්න සත්තුත් එක්ක මෙයා හරිම සමගියෙන් ජීවත් උනා . සමහරවිට ඒ අය මෙල්ල කරගන්න විදියක් මෙයා දැනගෙන ඉන්න ඇති . එහෙමත් නැත්නම් සත්තුන් තේරුම් ගන්න ඇති මේ මනුස්සයාගෙන් තමන්ට කරදරයක් නැහැ කියල . ඒ නිසා සත්තුයි මේ මනුස්සයයි කැලයේ කිසිම් කරදරයක් නැතුව ජීවත් උනා .






දවසක් රජතුමාගේ සේනාව මේ මනුස්සයා හිටපු කැලයේ දඩයමේ ආවා . මුවෝ ගෝන්නු වගේ සත්තු මසට මරාගෙන යන්න තමයි ආවේ . සමහරවිට රජතුමාගේ රාජ භෝජනයට වෙන්න ඇති . එහෙමත් නැත්නම් සෙල්ලමට දඩයමට යන්න වෙන්න ඇති . ඉතින් මෙහෙම දඩයමේ ආවට මේ අයට මොකෙක්වත් අල්ල ගන්න ලැබුණේ නෑ . මොකද මේ කලින් කිව්ව අර ගෙදරින් පැනලා ආව මනුස්සයා රාජ පුර්ෂයින් අලාගෙන ඒ අයට පොලු මුගුරු වලින් ගහලා එළවන නිසා .

දැන් ඉතින් අහන්න එපා රාජ පුර්ශයෝ ගාව දුනු ඊතල කඩු තියෙනවනේ , මේ එක්කෙනා ගාව ඒවා නැහැනේ කියලා . එක කඩුවක් විතරක් තියාගෙන මිනිස්සු 999ක් මරන්න අංගුලි මාලට පුළුවන් උනේ කොසොල් රජතුමාගේ රාජපුර්ෂයින් එක්ක පවා තනියම සටන් කරමින් . ඒ නිසා මෙයාටත් ඒ වගේ හැකියාවක් තියෙන්න ඇති මොකක් හරි . මොකද මම කලින් කිව්වනේ මෙයා හොඳට කන බොන කෙනෙක් කියලා . අනික කැලයේ හිටපු සත්තුන් ගෙන් පවා මෙයාට උදව් ලැබෙන්න ඇති සටන් කරන්න .

ඉතින් අන්තිමට රාජ පුර්ෂයින් හිස් අතින්ම ආයෙත් මාලිගාවට ගියා . මෙහෙම දවස් කීපයක් හිස් අතින් ගියාට පස්සේ දැන් රජ තුමාටත් මස් නැහැ . ඉතින් අන්තිමට කරේ මොකක්ද රජතුමාට පැමිණිලි කරා මෙන්න මෙහෙම යකෙක් වගේ කෙනෙක් ඇවිත් අපිට කරදර කරලා සත්තුන්ව බේරා ගන්නවා . ඒ නිසා අපිට දඩයම් කරන්න විදියක් නැහැ කියලා . පස්සේ රජතුමා විශේෂ සේනාවක් සූදානම් කරවලා ඒ අයව පිටත් කරලා යැව්වා කොහොම හරි මේ කෙනාව අල්ලාගෙන එන්න කියලා .

පස්සේ ඒ සේනාව ගිහින් මේ කෙනාව ල්ලගෙන එනවා . ඒ ආවට ඉතින් වැඩක් නැහැ . මොකද මේ මනුස්සයා කතා කරන්නේ නැහැ . ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා . ඉතින් රජතුමා එක එක උපයවල් යොදවලා බැලුවා මේ මනුස්සයා කතා කරවන්න . ඒත් කතා කරේ නෑ . පස්සේ නගරය පුරා අඬබෙර ගහන්න සූදානම් කෙරෙව්වා මේ කෙනාව කතා කරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට වටිනා තෑගී ලබා දෙනවා කියලා .






මේ කතාව ආරංචි වෙනවා අර කෙනාගේ බිරිඳට . ඊට පස්සේ මේ බිරිඳ මාලිගාවට ඇවිල්ලා කියනවා මේ ඉන්නේ තමන්ගේ ස්වාමි පුර්ශයා . මේ මනුස්සයා ගෙදර ඉන්න කාලේ හොඳට බඩ කට පිරෙන්න කාපු කෙනෙක් . දැන් මේ සද්ද නැතුව ඉන්නේ කන්න නැති නිසා . හොඳ රහට කෑම කන්න දුන්නොත් මෙයා කතා කරයි කියලා . පස්සේ රජතුමා ඒ වෙනුවෙන් කටයුතු කරා . ටික දවසක් හොඳට කාපු මේ මනුස්සයා අන්තිමටම කතා කරා .

පස්සේ රජතුමා වෙච්ච දේවල් හිටියේ කොහෙද කෑවේ බිව්වේ කොහොමද වගේ හැම විස්තරයක්ම අහලා දැනගෙන පස්සේ ඇහුවා මේ යන්නේ නියං කාලය වෙච්චි එකේ කැලේ ඇතුලේ ඉන්නකොට කොහොමද වතුර හොයාගත්තේ කියලා . පස්සේ මේ මනුස්සයා කියනවා කැලේ මැද ථියෙනවෙආ දිය බුබුලකින් පෝෂණය වෙන වතුර නොසිඳෙන කඩ වලක් . ඒ කියන්නේ වතුර පිරිලා තියෙන පොකුණක් වගේ තැනක් . මෙතනින් වතුර පාරක් ගලාගෙන යනවා . අන්න එතනින් තමයි වතුර හොයා ගත්තේ කියලා . පස්සේ රජතුමා එතන කලා වැව හදවලා තියෙනවා .

මීට අසමාන වෙනත් කතාවකුත් මම අහලා තියෙනවා . ඒ තමයි මේ මනුස්සයා කතා කරන්නේ නැතුව ඉන්න නිසා අන්තිමට රජතුමා මේ මනුස්සයට මරණ දඬුවම දෙන්න කියලා නියම කරනවා . ඒ වෙලාවේ මේ මනුස්සයා කතා කරා . පස්සේ එයා කිව්වා මම හිටපු කලය ඇතුලේ කවදාවත් නොසිඳෙන දිය බුබුලක් තියෙනවා . එතනට වතුර බොන්න හැමදාම සුදු ඇතෙක් එනවා . මට අභය දානය දෙනවනම් මම ඒ ඇතාව රජතුමාට අල්ලලා දෙන්නම් කියලා . පස්සේ රජතුමා කැලයේ තියෙන මේ තැන බලන්න යනවා . සුදු ඇතාවත් අල්ල ගන්නවා . පස්සේ මේ තැන වට කරලා බැමි බන්දවලා කලාවැව කියන විශාල වැව හදවනවා . මේ වැවේ වැඩ කරවන්නෙත් මේ මනුස්සයාම තමයි .

ඉතින් මේ මනුස්සයාට අන්තිමට ඇමති කමක් ලැබෙනවා . කලා වැවේ සොරොව් බිසෝකොටුවල ක්‍රියාකාරීත්වය , මඩ ඉවත් කරවීම , රැක බලා ගැනීම වගේ හැම දෙයක්ම බලාගන්න දුන්නේ මේ ඇමතිට . කාලයක් යනකොට මේ ඇමතිට අනෙත් ඇමතිවරු ඉරිසියා කරන්න පටන් ගත්තා . මොකද මේ ඇමති ඒක පාරටම ඇමති කෙනෙක් වෙච්ච කෙනෙක් . අනිත් ඇමතිලා වගේ කිසිම වෙනත් සුදුසුකම් නැතිවයි මේ ඇමති පත් වුනේ . ඒ මදිවට වැව් කර්මාන්තය කරවන පිරිසට අධිපති සෙනෙවිරත්න පදවියත් මේ ඇමතිට ලැබුණා . ඉතින් අනිත් ඇමතිලා තවත් ඉරිසියා කළා .

ඔහොම කාලයක් යනකොට එක නියං කාලයක් ආවා . මේ නිසා කලා වැවත් හිඳිලා ගියා . හිඳුනා කියන්නේ ඉතින් වතුර නැත්තටම නැති වුනා කියන එක නෙවෙයි . කුඹුරු වැඩ වලටත් වතුර මදි උනා කියන එක . මේකට ඒ කාලේ තිබ්බ හොඳම බෙහෙත් තමයි දවස් හතක් වැසි පිරිත් සහිතව පිරිත් දේශනා කිරීම . සාම්ප්‍රදායානුකූලව වැසි පිරිත් දේශනා කරන්නේ වැවේ වැව් බැම්මේ සාදවන ලද පිරිත් මණ්ඩපයක . මේ පිරිත් මණ්ඩපය සාදවලා හාමුදුරුවරු වැඩම කරවලා පිරිත් දේශනා කරවලා ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න සියලුම වගකීම් පැවරිලා තිබුණේ මේ ඇමති තුමාට .





ඉතින් ඔන්න පිරිත් දේශනා කරනන සියලුම දේවල් සම්පූර්ණ කරලා හාමුදුරුවරු පිරිතට වඩිනවා . මේ වැවේ වැව් බැම්මේ තියලා තියෙනවා විශාල මැටි කොතලයක් . වහිනකොට මේකට වතුර පිරෙන තරම අනුව වැවේ වතුර පිරෙන ප්‍රමාණයත් මැනගන්න  පුළුවන් . ඉතින් මේ කොතලය හිල් කරන්න කියලා මේ ඇමති තුමාට ඉරිසියා කරන අනිත් අමතිලාගෙන් කෙනෙක් හාමුදුරු කෙනෙක්ට කිව්වා . මේ හාමුදුරුවෝ වයසයි . ඒ නිසා අතේ අරගෙන ආව හැරමිටියෙන් කාටවත් පේන්නේ නැති වෙන්න අර කොතලයේ අඩියට ඇනලා ඒක හිල් කරා . ඊට පස්සේ සුපුරුදු පරිදි පිරිත් දේශනාව ආරම්භකලා .

දවස් හත පිරීගෙන එනකොට ඔන්න වහින්න පටන් ගත්තා . වහිනවා වහිනවා දැන් නවතින්නෙම නෑ . වැවත් ටික ටික පිරෙන්න පටන් ගත්තා . ඇමති තුමාත් සන්තෝසෙන් බලාගෙන හිටියා කොතලය පිරෙනකල් . ඒත් කොතලය පිරෙන්නේ නෑ . වැවේ වතුර වැඩි උනාට පස්සේ ඇමති තුමා කොතලය පරීක්ෂා කරලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා . එතකොට තමයි ඇමති තුමා දැනගත්තේ කොතලය හිල් කරලා කියලා . හාමුදුරුවරුන්ට ඇරෙන්න වෙන කෙනෙක්ට කොතලය තියෙන තැනට යන්න උනෙත් නැති නිසා කොතලය හිල් වෙන්න හාමුදුරුවරුන්ගේ සම්බන්ධයක් තියෙන්න ඕන කියලා ඇමති තුමා කල්පනා කරා .

මේ කල්පනාව අතරේ තමයි දැනගන්න ලැබුණේ වැවේ වතුර වැඩිවෙලා එක පැත්තක වැව් බැම්ම කඩාගෙන ගමක් යට කරගෙන මහා ජාල කඳක් පල්ලම් බහින්න අරගෙන කියලා . ඇමති තුමාට තරහක් වගේම භයක් ඇති උනා . මොකද දැන් රජතුමාගෙන් තමන්ට මරණ දඬුවම ලැබෙන නිසා .  පස්සේ තමන්ගේ කඩුවෙන් අර පිරිත් කිව්ව හාමුදුරුවරු සියලු දෙනාම මරලා දාලා කලා වැවට පැනලා තමනුත් ජීවිතය නැති කරගත්තා . මෙහෙම ජීවිතය නැති කරගත්තට පස්සේ මෙයා යක්ෂයෙක් වෙලා ඉපදුනා . කඩවලට පැනලා ජීවිතය නැති කරගත්ත යකා කඩවර කියලා නම් උනා . ඔන්න ඔහොම තමයි කඩවර යකා ඉපදුනා කියලා කියන්නේ .

කඩවර යකා වෙලා ඉපදුනාට පස්සේ මේ යක්ෂ රූපය විටින් විට ගමේ මිනිස්සුන්ට පේන්න වැවේ ඉඳලා මතුවෙලා නැතිවෙලා තියෙනවා . කළා වැව හැදෙව්වේ තමන් නිසා . මෙන්න මේ නිසා කලා වැව තමන්ගේ වාසස්ථානය කරගන්නත් කඩවර යක්ෂයා අමතක කලේ නෑ . කඩවර මනුස්සයෙක් වෙලා ඉන්න කාලෙත් හොඳට කාපු බීපු කෙනෙක් . ඒ නිසාම යක්ෂ ආත්මය ලැබුණත් මෙයාට හොඳට කන්න බොන්න නම් ඕන උනා . ඒ නිසා මේ යක්ෂයා තැනින් තැන ඇවිද ඇවිද කන්න පුළුවන් දේවල් කෑවා . රා බිව්වා . හැබැයි සත්තු මරාගෙන කෑවේ නෑ . වැඩිපුරම කෑවේ තොවිල් වගේ දේවල් වලදී පූජා කරන පුළුටු ද්‍රව්‍ය .






කාලයක් යනකොට මෙයාට හොඳ කෑමක් ලැබෙන්න පටන් ගත්තා . මෙයා ඒ වෙනකොට හිටියේ කතරගම දෙවියන්ගේ දකුණු ආසනය පිහිටලා තියෙන ප්‍රදේශයේ . මේ පැත්තෙන් තමයි කතරගම දෙවියන්ට දේවාලයේ කපු මහත්වරු මුරුතැන අරගෙන යන්නේ . දෙවියන්ට තියන මුරුතැන අඩුම තරමේ හදන කෙනාටවත් රස බලන්න වරම් නැහැ . ඒත් මේ කඩවර යක්ෂයා ඒකට බය උනේ නෑ . කපු මහත්වරුන්ගේ ගමන භාදා කරලා කඩවර යක්ෂයා කතරගම දෙවියන් වෙනුවෙන් හදපු මුරුතැන කන්න පටන් ගත්තා . පස්සේ දවසේ කපු මහත්තයා මේ ගැන කතරගම දේවාලයේ දෙවියන් ඉදිරියේ කන්නලව් කරා . එදා රෑ කතරගම දේවාලයේ කපු මහත්තයට කතරගම දෙවියන් දෘශ්‍ය මාන උනා .

පස්සේ කතරගම දෙවියෝ ඇහුවා කවුද මේ මුරුතැන ගන්න කෙනා කියලා . පස්සේ කපු මහත්තයා කිව්වා ඔබ වහන්සේගේ දකුණු ආසනය කිට්ටුව ඉන්න යක්ෂයෙක් මුරුතැන කනවා කියලා . පස්සේ කතරගම දෙවියෝ යනවා දකුණු ආසනය පිහිටලා තිබුණු ප්‍රදේශයට . එහෙදී කතරගම දෙවියන්ය ඈත ඉඳලාම කඩවර යක්ෂයා දකින්න ලැබුණා . පස්සේ කතරගම දෙවියෝ කඩවර එක්ක කතා කරලා අන්තිමට කඩුවකුත් දීලා කිව්වා අසුරයින් එක්ක යුද්ධ කරලා එන්න . දිනුවොත් තමන්ගේ සේනාවට එකතුකරගන්නවා කියලා . පස්සේ කඩවර අසුරයින් එක්ක යුද්ධ කරලා ජය ගන්නවා . මේ ජයග්‍රහණය පත්තිනි දේවිය දකිනවා.

පත්තිනි දේවිය තමයි කඩවර යක්ෂයා අර්ධ දේව තත්ත්වයට පත් කරන්නේ . පස්සේ කඩවර දේවත්වයට පත්වෙලා තමයි කඩවර කතරගම දෙවියන් හමුවෙන්න එන්නේ . කතරගම දෙවියන් කඩවර දෙවියන්ට තමන්ගේ දකුණු ආසනයේ වැඩ ඉන්න වරම් දෙනවා . ඒ වගේම තමන්ගේ යක්ෂ සේනාවට අධිපති සෙනෙවිරත්න අධිකාරම් තනුතුර ලබා දෙනවා . ඒ වගේම තමයි රුහුණු කතමගම මහා දේවාලයේ ඉදිරියේ පිහිටලා තියෙනවා කියලා කියන සාමාන්‍ය මනුෂ්‍යයින්ට නොපෙනෙන අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ දකුණු පැත්තේ මුර තේවය දිනකට වරක් කරන්නත් කඩවර දෙවියන්ට නියම කරනවා .

ඔන්න ඔහොමයි කඩවර දෙවියෝ ඇතිවෙන්නේ . යක්ෂයෙක් උනත් කඩවර කියන්නේ අර්ධ දේව තත්ත්වයේ ඉන්න කෙනෙක් . ඒ නිසා කඩවර දෙවියන් හා යක්ෂයා කියන තත්ත්ව දෙකේම ඉන්නවා කියලා තමයි කියන්නේ . හැම දවසකම රෑ වූ හත් පැය හමාරට කඩවර දෙවියන් යක්ෂ තත්ත්වයට පත් වෙනවා . පහු වෙනිදා හිරු නැග හත් පැය හමාරට ආයෙත් දේවත්වයට පත් වෙනවා . ඒ කියන්නේ මේ හතහාමාරට නෙවෙයි . මේ කියන්නේ දවස පැය හැටකට බෙදලා තියෙනකොට ගන්න වෙලාව අනුව . ඒ කියන්නේ සිංහල පැයකට තියෙනවා විනාඩි 24ක් . එහෙම බැලුවම ඉර උදාවෙන වෙලාව අනුවත් ඉර බසින වෙලාව අනුවත් මේ වෙලාව වෙනස් වෙනවා . ඒ අනුව තමයි අදාළ වෙලාව ගණනය කරලා ගන්න වෙන්නේ . මොකද අපිට ඔරලෝසු තිබුණට අමනුස්සයින්ට ඔරලෝසු නැහැනේ .



                                        



ඉතින් කඩවර දෙවියන් ඉතාම බලසම්පන්න දෙවි කෙනෙක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . කඩවර කියන්නේ ලංකේශ්වර උතුම් මහ රාවණා මහරජතුමාගේ කාලේ ඉඳලා පැවත එන කෙනෙක් කියලා සමහර අය සාක්ෂි සහිතව කරුණු ගෙනහැර දක්වනවා . ඒකත් වෙන්න පුළුවන් . ඒත් ඒ කතාම මම මෙතන ගාවන්න කැමති නැහැ . කඩවර කංකාරිය ගැන යමක් ලියන්න හිතුනු දවසට ඒක ලියන්න කියලා පසුවට කල් තියනවා .

කඩවර දෙවියෝ දේවත්වයට පත් උනාට පස්සේ ලංකාවේ කරදිය වළල්ල වටේ එක වතාවක් ඇවිදලා බලනවා කියලා මතයක් තියෙනවා . මේ වෙලාවට මේ පාර කිසිම කෙනෙක්ට අවහිර කරන්න දෙන්නේ නැහැ කියලත් කියනවා . කඩවර කට්ටුවේ සේනාව කඩවර දෙවියෝ වඩින පාර පැහැදිලි කරලා තියනවා කියලා කියනවා . ඒත් දවසක් ජයරත්න කලුකම්බිලි දේවතාවා මේ පාර අමතක වීමකින් අවහිර කරපු නිසා කඩවර දෙවියෝ කම්බිලි දේවතාවාට දඬුවම් දුන්නා කියලාත් කතාවක් තියෙනවා . ඒ දඬුවම තමයි කිල්ලෝටෙකින් වැලි ඇදලා බිංගිරිය රාජමහා විහාරයේ මළුව පුරවන්න කියපු එක .

කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ සහ වල්ලිඅම්මාගේ විවාහය වෙනුවෙන් පත්තිනි දේවතාවිය නියෝජනය කරන්න වැඩියා කියලා කතාවකුත් තියෙනවා . තව දවසක කතරගම දෙවියෝ වඩිනවා කඩවර දෙවියන්ගේ විමානයට . ඒවෙලාවේ කතරගම දෙවියෝ දකිනවා කඩවර දෙවියන්ගේ මුරුතැන් ගොටුව . මේ මුරුතැනෙන් ටිකක් කන්න කතරගම දෙවියන්ට ආසා හිතිලා මුරුතැන් ගොටුව අරගෙන යනකොට කඩවර දැකලා තියෙනවා ඒක . පස්සේ කඩවර කරලා තියෙන්නේ කතරගම දෙවියන්ගේ අතින් ඒක උදුරාගෙන කාපු එක . ඔන්න ඔය වගේ කඩවර ගැන රසවත් කතා තියෙනවා . කඩවරට කැපවෙච්ච ප්‍රධාන දේවාලය තියෙන්නේ කලාවැවේ වැව් ඉස්මත්තේ . ඒවගේ තවත් දේවාල ගණනාවක් තියෙනවා .

කඩවර වෙනුවෙන් පහන් දල්වන අයට මම දෙයක් කියන්න කැමතියි . සූනියම් දෙවියන්ට වගේම කඩවර දෙවියන්ටත් පහන් දල්වනකොට අමතක කිරීම් නම් කරන්න එපා . කරනවානම් ඒ වෙනුවෙන් කැප වෙලා කරන්න . නැත්නම් කරන්නේ නැතුව ඉන්න . කඩවර සම්බන්ධව මම අහලා තියෙන කතා අනුව බැලුවම මේවා අතපසු කරන්න නම් එපා කියලා තමයි මම කියන්නේ .






මම දන්න හැටියට කතරගම දෙවියන්ගේ වමත් මුර තේවය හිමි වෙන්නේ සූනියම් දෙවියන්ට . දකුණත් මුර තේවය හිමි වෙන්නේ කඩවර දෙවියන්ට . ඒ නිසා දෙන්නම එක වගේ තමයි දඬුවම් දෙන්න ගත්තම දෙන්න පටන් ගන්නේ . නයි එනවනම් තමන් තියන පහනට , එතන මොඅක්ක් හරි වැරද්දක් තියෙනවා . ඒ නිසා මම කියන්නේ මේ වගේ දේවල් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා .

කඩවර දෙවියන් පුද ලබන ප්‍රධානම ශාන්ති කර්ම දෙක තමයි කඩවර කංකාරිය සහ කොහොඹා කංකාරිය . මේ කංකාරි වලදී කඩවර ගොටුව කියන එක හරිම වැදගත් දෙයක් . මේ කදවෙඅර ගොටුවට ගොඩක් වෙලාවට දෙවියන්ට අදාළ කෑම වර්ග වගේම යක්ෂයින්ට අදාළ මස් පුළුටු අරක්කු රා වගේ දේවල් පවා තියනවා . ඒක කඩවරගේ හැටියට සම්මත කරගත්ත දෙයක් . ඒවගේ දේවල් තියලා තමයි කඩවර දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්නේ .

කඩවර යක්ෂ කට්ටුව ගත්තම එක එක නම් තියෙන කඩවරලා ඉන්නවා .

අඳුන් කඩවර
සඳුන් කඩවර
මල් කඩවර
පුළුටු කඩවර
කළු කඩවර
දළ කඩවර
කුමාර කඩවර
අලුයම් කඩවර
සැන්දෑ කඩවර
මැදියම් කඩවර
රීරි කඩවර

මේ ඔක්කොම අර කලින් කිව්ව මුල් කඩවරගේ පරිවාර යක්ෂ කට්ටුවේ කඩවර යකුන් මිස මුල් කඩවර දෙවියන් නෙවෙයි . මුල් කඩවර දෙවියන් ගුරුකම් හැම එකකටම වඩින්නේ නැති එක කවුරුත් දන්නා අත්තක් . ඒ වෙනුවෙන් එන්නේ මේ වගේ පරිවාර සේනාවේ කෙනෙක් තමයි . මුල් කඩවරට තියන පූජාව කැප ගන්න මේ අය අදාළ කාරණාව ඉෂ්ට සිද්ධ කරලා දෙනවා .

කඩවර යක්ෂයාගේ මල් පැන්නිල්ල වගේ ගුරුකම් වල ඉඳලා සංකීර්ණ ගුරුකම් කොඩිවින වගේ දේවල් කඩවර එක්ක බැඳිලා තියෙනවා . කඩවර පෙරළුම කියන මහානුභාව සම්පන්න මන්ත්‍රයේ ඉඳලා කඩවර කට්ටුවේ වින කපන්න විවිධ මන්තරත් ගොඩ නැගිලා තියෙනවා . කඩවර කංකාරියට ලියන්නත් විස්තර ඉතුරු කරගෙන මෙතනින් ලිපිය අවසන් කරන්නම් .

ගොඩක් අය කියනවා බොරු මන්තර දාන්නේ නැතුව ඇත්ත මන්තර දාන්න කියලා . ඒක කියන්නේ මේවා ලියන්න ගත්ත කාලේ ඉඳලා . අද එහෙනම් දාන්නම් ඇත්ත මන්තරයක් . කියවලා බලන්නකෝ . කටින් කියන්නේ නැතුව හිතෙන් විතරක් කියවලා බලන්න .

මේ තියෙන්නේ කඩවර යක්ෂයා ගෙන්නන මන්තරයක්

ඕන්නමෝ සූර්යග්‍රී නුවර වේතාල නම් හිමයේ සීතාපතී බිසවුන් වහන්සේගේ ලයපලා උඩගිය ලේ ගොබයෙන් උපන් රීරි කඩවරයා දිෂ්ටි බන්ධ වර වර ලමැද පපු කැවුතු මොලින් උපන් මිනී කඩවරයා දිෂ්ටී බන්ධ වර වර රාජ කඩවරයා දිෂ්ටී බන්ධ වර වර වැදී කඩවරයා දිෂ්ටී බන්ධ වර වර සොහොන් කඩවරයා දිෂ්ටී බන්ධ වර වර වැදී කුමාරී දිෂ්ටී බන්ධ වර වර සොහොන් කුමාරී දිෂ්ටී බන්ධ වර වර සීතා පතී දේවතාවී දිෂ්ටී බන්ධ වර වර ගොබර අම්මා දිෂ්ටී බන්ධ වර වර පත්තිනි අම්මා දිෂ්ටී බන්ධ වර වර සූර්ය ග්‍රී පර්වතේ දෙදරවා වර වර අකනිට්ටා බ්‍රහ්ම ලෝකේ ඉඩ හරවා වර වර රාම ග්‍රී කූට පර්වතේ වෙව්ලවා වර වර කියා මල රජ්ජුරුවෝ සූර්ය ග්‍රී පර්වතේදී ඊතන කෙන්දෙන් බැඳ මැණික් කරඬුවට දමා තනිපල බන්ධනේට හිර තඩුත්තු කල මිනී කඩවර යක්ෂයා දිෂ්ටී බන්ධ වර වර එස්වාහඃ...........

මෙන්න මේක තමයි වින කපන්න ගන්න මහානුභාව සම්පන්න කඩවර පෙරළුම මන්ත්‍රය කියන්නේ

ඕන් පත්‍රාඩි ශර ගිනි කඩවර පෙරලුම් ආපිට හැරී වින කල අයගේ හිස ලේ පපු මස් බිලි ගං ඕඩු පලයන් අප්පොච්චි එලේන්ද්‍රි ඕඩු..............

ඕන් කන්දප්පා ශර ගිනි විසි ලේ කඩවර පෙරලුම් වර වර බන්ධන සුං සුං නමඃ ...........................

ඕන් රාම රාම කන්ධ කුමාර කළු කම්බිලි තොට කඩවර පෙරළුම් වින බන්ධන පිපිරී ආපිට හැරී පයලන් තෝස්වාහඃ.................

ඕන් ඊශ්වර කාඩේරියුම් දළ කඩවර පෙරලුම් කට්ටු බන්ධන ඉනා බන්ධන හැට හතරක් බන්ධන කැපී පලයන් තෝස්වාහඃ...............

ඕන් ඊශ්වර ගිනි මාලාව පැළඳි කඩවර පෙරළුම් තොටයක් දෙමල පිල්ලි බන්ධන කැපී ඉඩහැරී එලාගන් දේවතාවා එලාගන් ........................

ඕන් කමල ගිනි විෂ්ණු නාරායනේ රන් දුනු පුපුරුවා වැදි කඩවර පෙරලුම් එකසිය අටක් අංගං නවසියයක් සූනියම් වඩාපු ඇදුරාගේ හදවත පපු මස් කැපකර එලාගන් පලයන් තෝස්වාහඃ....................

ඕන් විෂ්ණු ශර භෛරව තෝංගු මල් කඩවර පෙරලුම් බන්ධන කැපී ආපිට පෙරලීයන් තෝස්වාහඃ..................

එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Tuesday, December 22, 2015

සඳකඩ පහනට තවත් කැටයමක්









යක්ස කතා දේවකතා කැටගරිය වෙනුවෙන් යමක් ලිය ලිය ඉඳලා එක පාරටම මියැසිය වෙනුවෙන් යමක් ලියන්න ඕන කියලා කල්පනා කරා . තවම නිවාඩු කාලය ගෙවෙන නිසා කරන්න වෙන වැඩකුත් නැති නිසා නොපිට ගිය සොහොන් කාලි පූජාව කතා මාලාව ඉවර කරාට පස්සේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සඳකඩ පහන සංගීත ප්‍රසංගයේ වීඩියෝ එකක් බැලුවා . මේ වීඩියෝ එක ලැබිලා කාලයක් වෙනවා . ඒත් සිංදු ටික ඔක්කොම අහලා තියෙන ඒවා නිසා ෆෝවර්ඩ් කර කර තමයි මුල්ම වතාවේ බැලුවේ . ඒත් මේ ඊයේ පෙරේදා දවසක වෙන බලන්න දේකුත් නැති නිසා නිවීහැනහිල්ලේ ෂෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා .

තවමත් කටින් හරි හිතෙන් හරි මුමුණ මුමුණ ඉන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ සන්තාප මාවතේ කියන ගීතය . මුල් ගායනයට වඩා මට එතුමාගේ මේ සඳකඩපහන ප්‍රසංගයේ මම බලපු වීඩියෝ එකේ තිබුණු ගායනය හිතට අල්ලලා ගියා . සන්තාප මාවතේ , සංවේදනා මැදුරේ කියන පද පේලියේ සංවේදනා කියන වචනයේ " නා " කියන අකුර සුනිල් එදිරිසිංහයන් හරිම අපූරු විදියට ගායනා කරනවා වෙනදා නැති ස්වර අලංකාර එකතු කරලා . ගීතය කොච්චර ඇහුවත් ඒ තැන එනකල් තමයි අහගෙන ඉන්නේ . ශිල්පියෙකුගේ අත්දැකීම් වැඩිවෙන්න වැඩිවෙන්න ගීතවල තියෙන වඩාත් සියුම් තැන් ස්පර්ශ කරන්න ඒ ශිල්පීන් නැඹුරු වෙනවා . ගීතවල තියෙන ඒ සියුම් තැන් තමයි අවසානයේ ශ්‍රාවකයාගේ හදවත ස්පර්ශ කරන්නේ . 

ඉතින් අද කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි . සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ලද විශිෂ්ටතම ගීතයක්වන සඳකඩ පහන ගීතය ගැන ලියන්න . ඒකත් ලියන්න ඕන කියලා මතක් උනේ අද ඊයෙක නෙවෙයි . හැමදාම මුහුණු පොතේ ශෙයා වෙන්නේ මේ ගීතයේ වැරදි තේරුම . අපේ පරම්පරාවෙන් පස්සේ උදවිය මේ ගීතය ඔලුවට දාගෙන තියෙන්නේ හරිම වැරදි විදියට . ආයේ ආයෙත් ඒකම ශෙයා කර කර මේ වැරදි තේරුම තව තවත් ප්‍රචාරය කරනවා . 

අහම්බෙන් වගේ දවසක ටීවී එකේ යනකොට මාතර ආච්චි චිත්‍රපටිය බලාගන්න වාසනාව ලැබුණා . මේ චිත්‍රපටි හංගගෙන තියාගෙන ඉන්නවා අඩුගානේ කොපි කරන්නවත් විකුණන්නවත් කිසිම දේකට අවසර දෙන්නේ නැතුව . එක්කෝ හෝල්වල පෙන්නන්න ඕන . නැත්නම් අන්තර්ජාලයට මුදාහරින්න ඕන කැමති අයට බලන්න . අම්මටසිරි ලංකාවේ ඔක්කොම ඒවා ඔහොම තමයි . යන යන තැන තියෙන්නේ මෙම ස්ථානයේ ඡායා රූප ගැනීම සපුරා තහනම් , මෙම වීඩියෝ පටයේ පිටපත් වංචනික ලෙස ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි වගේ දේවල් . ඒ නිසා ඒ වගේ වටිනා දේවල් මිනිස්සු අතරට එන එක වැළකිලා තියෙනවා . අඩුම තරමේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක තුමාටවත් ළඟ තියාගන්න පුලුවන්ද දන්නේ නෑ . 

වැඩක් නෑ මේවා ගැන කතා කරලා . ඒ නිසා මට පෙනෙන විදියට සඳකඩ පහන ගීතය ගැන ලියන්නම් . මේ තේරුම කලිනුත් මේ බ්ලොග් එකේම ලියවිලා තියෙනවා සිංදුවා අයියා අතින් . මමත් තව ලුණු ඇඹුල් දාලා ලියන්න හිතුවේ සංගීතය ගැන යමක් සඳහන් වෙලා නැති නිසා . 

මුලින්ම එහෙනම් ගීතය අහලා ඉන්නකෝ .




සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා
පොපියන හදවත සිටී බලා

ගායනය : සුනිල් එදිරිසිංහ




තනුව : වික්ටර් රත්නායක




ගී පද : වොලී නානායක්කාර





( ලිපිය ලියන වෙලාවේ හොයාගන්න බැරි උනාට අන්තිමට හොයලා හොයලා හොයාගත්තා . මේ තියෙන්නේ සඳකඩ පහන ගීතයේ මුල් ගායනය . ඔය සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා තමයි ගායනා කරනවා වගේ රඟපාන්නේ . බලන්න සුනිල් එදිරිසිංහයන්ගේ එදා කටහඬ සහ අද තියෙන කටහඬ අතර තියෙන වෙනස . )




මේ ගීතයට ගණිකාවක් ආරෝපණය වෙන්න ප්‍රධානම හේතුව විදියට මමනම් දකින්නේ සියුමැලි කැකුළක් මැලවෙත්දී සහ පාවෙන දේදුනු ලැගුම් ගනී කියන පද පේලි දෙක නිසා වෙන්න ඕන . ඒත් ෆිල්ම් එකේ මෙහෙම කතාවක් නැහැ . ගණිකාවක් , එහෙමත් නැත්නම් ළමයෙක් එක්ක තනි වෙච්ච අම්මා කෙනෙක් ගැන ෆිල්ම් එකේ කියවෙන්නේ නෑ .







සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී


සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී

සඳකඩ පහන කියන්නේ කළා ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය . මනුෂ්‍ය ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය තමයි ගැහැණිය . ජීවිතය කියන්නේ කලාවක් . ඒ නිසා කාන්තාව සඳකඩ පහනට උපමා කරන එකේ වරදක් නැහැ . සඳකඩ පහනේ විවිධ ආකාරයේ කැටයම් නිර්මාණය කරලා තියෙනවා . ඒ වගේම තමයි කාන්තාව කියනෙත් පංච කල්‍යාණයෙන් පිරි රූප ශෝභාව උතුරා යන රූපයකට හිමිකම් කියන කෙනෙක් . ඔය කියන දේවල් නිසා මේ ගීතයේ සඳකඩ පහන කාන්තාවකට උපමා කරන්න අරගෙන තියෙනවා .

ඒවගේම තමයි සඳකඩ පහන නිර්මාණය කරලා තියෙන්නේ පයට පෑගෙන්න . ඒත් සඳකඩ පහන කාගේත් අවධානය දිනාගන්නවා . ඒ සඳකඩ පහනේ තියෙන විශේෂතා නිසා . ඒ වගේ තමයි කාන්තාවත් . නිසි තැන නිසි පරිසරයේ නෙවෙයිනම් ඉන්නේ කාන්තාවත් පයට පෑගෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන් . ඒත් එහෙම උනාට හැම කෙනෙක්ගෙම අවධානයට පාත්‍ර වෙන්නත් කාන්තාවට හැකියාව තියෙනවා .

දේදුන්න පායන්නේ අව්වයි වැස්සයි දෙකම එකට තියෙන වෙලාවට . ඒවගේම තමයි දෙදුන්නත් අර්ධ කවාකාරයි , විවිධ වර්ණයන්ගේ සංයෝජනයක් තමයි දේදුන්නට තියෙන්නේ . පිරිමියාත් මේ දේදුන්න වගේ . පිරිමියෙක් ආදරය ප්‍රේමය කරුණාව දයාව වගේ ගුණාංග කැටිකරගෙන ඉන්නවා වගේම ආක්‍රමණශීලී බව , තද ගතිගුණ , ශක්තිමත් බව , කාමය , රාගය වගේ දේවලුත් ඒ එක්කම කැටිකරගෙන ඉන්නවා . එහෙමයි කියලා කාන්තාවකට මේවා නැහැ කියලා කියනවා නෙවෙයි . කාන්තාවකට වඩා පිරිමියෙක් මේ දේවල් ඔය ගීතයේ පසුබිමේ හැටියට කැටිකරගෙන ඉන්නවා කියලා තමයි මම කියන්නේ . පාවෙන දේදුනු කියලා කියන්නේ අරමුණක් නැතිව නන්නත්තාරේ යන පිරිමියෙක් නෙවෙයි . ජීවන සහකාරියක් නැතිව තනිව ඉන්න පිරිමින්ට .

සඳකඩ පහනක කැටයම් වැනි කාන්තාවකගේ ජීවිතයේ තිබෙන විශේෂතා ඔප් නංවමින් පාවෙන දේදුනු විදියට හඳුන්වන තවමත් තනිවම ඉන්නේ , ජීවන සහකාරියක් නොලැබුණු පිරිමි ඒ කාන්තාවට ලං වෙන්න උත්සහ කරනවා . ලැගුම් ගන්නවා කියන්නේ පදිංචි වෙනවා කියන එක නෙවෙයි . තාවකාලිකව නවතිනවා කියන එක . මේ ගීතයේදී තාවකාලිකව නවතිනවා කියන වචනය දැම්ම පලියට මේ කාන්තාව ගණිකාවක් කරන්න බැහැ . මමනම් දකින්නේ තාවකාලිකව නවතින අදහස දීලා ගීතයෙන් පෙන්නන්න හදන්නේ ඒ කාන්තාවගේ ජීවිතයට ලං වෙලා පදිංචි වෙන්න උත්සාහ කරනවා කියන එක . ඒ කියන්නේ නිකං කැමැත්ත ගන්න උත්සාහ කරනවා වගේ තේරුමක් .

කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී

ඒ විදියට සඳකඩ පහනකුයි දෙදුන්නකුයි අවසානයේ ප්‍රේමයෙන් බැඳෙනවා . ඊට පස්සේ තියෙන්නේ සඳකඩ පහනේ තියෙන කලාත්මක බව වත් දේදුන්නේ තියෙන කලාත්මක බවවත් නෙවෙයි . මේ දෙකේම එකතුවක් . ඒ වගේ තමයි කාන්තාවක් සහ පිරිමියෙක් ආදරය කරන්න ගත්තට පස්සේ ඒ දෙන්නාගේ චරිත ලක්ෂණ යම් යම් විදියට වෙනස් වෙනවා . පිරිමියා කාන්තාවගේ ආශාවන් අභිමතාර්ථයන් අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා . කාන්තාව පිරිමියාගේ ආශාවන් අභිමතාර්ථයන් අනුව ජීවත් වෙන්න පටන් ගන්නවා . අන්තිමට මේවා එකිනෙක මිශ්‍ර වෙලා තමයි පෙම්වතුන් යුවලකගේ තියෙන ගති ලක්ෂණ පහල වෙන්නේ .

අන්න ඒ අදහස තමයි කැලතුනු රසයක පැන ආ බුබුලක් කියලා කියන්නේ . පෙම්වතාගේ සහ පෙම්වතියගේ ආශාවන් , අරමුණු , බලාපොරොත්තු , හැගීම් , ආදරය , ප්‍රේමය , දැඩි බව , ස්ථීරසාර බව , වගේ හැම දෙයක්ම එකට එකතුවෙලා කැලතිලා දෙදෙනාගේ ආදරයෙන් බැඳුනු ජීවිතය , අර කැලතුනු රසයන්ගෙන් යුක්ත වූ මිශ්‍රණයෙන් ඉහලට පැන එන බුබුලක් වගේ ප්‍රමුඛ වෙලා එනවා කියලා ඒ පද පේලියෙන් කියවෙන්නේ . මේ විදියට තමයි ආදරය කියන අකුරුවැල දෙදෙනෙකුගේ හදවත්වල රචනාවෙලා සටහන් වෙන්නේ . කාලයත් එක්ක මේ රචනා වීම තව තවත් සිදුවෙනවා වගේම ඒ අකුරුවල තියෙන අර්ථාන්විත ගැඹුරු බවත් වැඩිවෙනවා .

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී

මහාභාරතයේ ඒක තැනක ක්‍රිෂ්ණා විසින් අර්ජුනට කියනවා " ................. යුගයක් යුගයක් පාසා පහල වෙමි " කියලා . ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත යුගයක් යුගයක් පාසා ඉපදෙනවා කියන එක . ඒ වගේ තමයි මෙතනත් මේ ප්‍රේමවන්තයා කියන්නේ . පවිත්‍ර ආදරය කියන්නේ අදහන්න පුළුවන් ධර්මයක් . බැන්දට පස්සේ බිරිඳ තමයි හැමවෙලේම මේ ධර්මය දේශනා කරන්න පටන් ගන්නේ . ධර්මය ශ්‍රවනය කරනවට වඩා හිතෙන් අදහන එක තමයි විවාහයට කලියෙන් ආදරය කරන කාලයේ කෙරෙන්නේ . මේ පෙම්වතාත් යුගයක් යුගයක් පාසා රැකගෙන ආව තමාගේ ආත්මගත ආදරය නැමැති කිසිදිනෙක නොමියෙන දහම තුල ජීවිතයේ පදනමක් දකිනවා .

විවාහය , පවුල් ජීවිතය , දරුවන් , පවුලක් විදියට දරුවන් සහ බිරිඳ සමග ගත කරන ජීවිතය ගැන මේ පෙම්වතා හීන දකිනවා . ඒ හීන අන්තිමට මාලිගාවල් හදන්න ශක්තිමත් පදනමක් ඇති කරනවා . මේ පදනම් ඇතිවේගෙන එනකොට මේ පෙම්වතාට වෙන්නේ හරිම අකරතැබ්බයකට මුහුණ පාන්න .

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

ඒ තමයි වෙනත් පෙම්වතෙක් බලෙන් හෝ පෙම්වතියගේ පාර්ශවයෙන් පෙම්වතියට කෙරෙන බල කිරීම නිසා විවාහ වෙලා යන්න යෑම . නොපෙනෙන ඈතකටම ඈ ගෙන යනවා . ඒ කියන්නේ තමන්ගේ ප්‍රේම මන්දිරයට ආයෙත් ගොඩවෙන්න බැරිවෙන විදියටම යන්න යනවා කියන එක . මේ ගීතයට ගණිකාවක් සම්බන්ධ කරන්න ඒ සම්බන්ධ කරපු අය ඒක සාධාරණය කරන තැනක් තමයි මේ සියුමැලි කැකුළක් මැළවෙත්දී කියන පද පේලිය . 

මෙතන මමනම් දකින විදියට සියුමැලි කැකුළක් කියලා කියන්නේ ළමයෙක් නෙවෙයි . දෙන්නගේ හිත්වල ඇතිවෙච්ච ආදර මල් කකුල . සියුමැලි කැකුළක් විදියට ඒක හඳුන්වලා තියෙන්නේ පෙම්වතියගේ පැත්තෙන් හිතලා වෙන්න ඕන . මොකද පෙම්වතියගේ හිතේ ඇතිවෙන ආදරය පෙම්වතෙකුගේ හිතේ ඇතිවෙන ආදරයට වඩා සියුමැලි මටසිලිටු එකක් . ඒ නිසා පෙම්වතියගේ ආදරය ගැන හිතන්නෙවත් නැතිව ඇයව බන්දලා දෙන නිසා මේ සියුමැලි කැකුළක් මැළවෙත්දී කියල ගීතයේ සඳහන් කරන්න ඇති කියලා මම හිතනවා . 







දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු


දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු

මී මැස්සෝ මී වද බඳින්නේ හරිම අපූරු විදියකට . තමන්ගේ මී වදයට රොන් එකතු කරන මී මැස්සෝ මල් පිපිලා තියෙන උදේ කාලයේ තමයි වැඩිපුරම රොන් එකතු කරන්න මී වදයෙන් එලියට එන්නේ . මෙහෙම එන මී මැස්සන් පිපිලා තියෙන මල් කිට්ටුවට ඇවිත් තමන්ගේ ගුමු ගුමු නාදයෙන් මොකක්දෝ රහසක් මලට කොඳුරලා තමයි රොන් ගන්නේ . මේ රොන් තුඩින් තුඩට තවරාගෙන අරගෙන ගිහින් මී වදයට පුරවනවා . 

ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු

රොන් අරගෙන යන්නේ පොඩි දුරකට නෙවෙයි . ගව්වක් ඉහලට . ඒ කියන්නේ ඉතාමත්ම ඉහල තියෙන මී වද වලට . මේ මී වද වල මී පැණි පිරුනට පස්සේ මී පැණිවල රසයට වහවැටෙන අය ඒ මී වද වෙත හඹා එනවා මී වද කඩලා මී පැණි ගන්න . කොච්චර ඉහළක , ඒ කියන්නේ ගව්වක් ඉහළක මී වාදය පිහිටලා තිබුණත් මී පැණි ගන්න ඕන කෙනා ඒ දුර ගෙවලා හරි මී වදය හොයාගෙන එනවා . පොපියන දෙතොලක් එහි කැන්දූ කියලා කියන්නේ අන්න ඒකට .

අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු

අහස ගුගුරමින් වැහි කළුවර පතුරුවමින් කඩා හැලෙන වැහි වතුර මේ මී පැණි වලට එකතු උනාට පස්සේ මී පැණිවල තියෙන රසය අඩුවෙලා හෝ නැතිවෙලා යනවා . සාන්ද්‍ර මී පැණි තනුක වෙනවා . අන්තිමට මී පැණිවල තියෙන වටිනාකමත් නැතිවෙනවා හෝ අඩුවෙනවා .

මේ පෙම්වතාට වෙන්නෙත් මෙන්න මේ මී පැණි වලට උනා වගේ දෙයක් කියලයි ගීතයෙන් නොකියා කියන්නේ . පෙම්වතා පෙම්වතියට තමන්ගේ මිහිරි මීපැණි හා සමාන සාන්ද්‍රගත ආදරය ලබා දෙනවා . මේ ආදරය මී වදයට මී පැණි එකතු කරනවා වගේ තමයි එකතුවෙන්නේ . එහෙම එකතු වෙන ආදරය ගව්වක් ඉහළ තියෙන මී වදයේ මී පැණි තැම්පත් කරනවා වගේ ඉතාමත් ආරක්ෂා සහිතව තමයි තැම්පත් කලේ . ඒ ආදරය වෙනුවෙන් තමයි පෙම්වතියත් පේ වෙලා හිටියේ . පොපියන දෙතොලක් එහි කැන්දූ කියන්නේ අන්න ඒ අදහස වෙන්න ඕන .

අවසානයේ තමාට පෙම්වතිය නැතිවෙන්න හේතු කාරණා සිද්ද වෙනවා . අහස ගුගුරලා කළුව වපුරාගෙන තමන්ගේ සාන්ද්‍රගත මී පැණි හා සමාන ආදරය තනුක කරවන්න පුළුවන් තරමේ වැහි බින්දු එකතු වෙනවා . ඒ කියන්නේ වෙනත් ප්‍රේමවන්තයෙක් තමන්ගේ ආදර කතාවට සම්බන්ධ වෙලා පෙම්වතිය ඔහු වෙත පොළඹවා ගන්නවා කියන එක . මේ ගීතය සටහන් වෙලා තියෙන මාතර ආච්චි චිත්‍ර පටයේත් වෙන්නේ අන්න එහෙම දෙයක් . පෙම්වතා පෙම්වතිය ජවනිකාවට වෙනත් මනමාලයෙක් ඇවිත් පෙම්වතිය විවාහ කරගන්නවා .

ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

පෙම්වතා හිතනවා තමන්ගේ ප්‍රේම කතාවේ අතීතය මත , ඒ කියන්නේ නටඹුන් මත ජීවත්වෙමින් සිටිය පෙම්වතිය වෙනුවෙන් තව කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා කියලා . ඒ කියන්නේ අර දෙවෙනි පෙම්වතා වෙන්න ඇති . කොහොම නමුත් අවසානයේ වෙන්නේ පළමු පෙම්වතාට පෙම්වතිය අහිමි වෙන එක .






හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා
පොපියන හදවත සිටී බලා


හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා

දැන් ඇවිත් තියෙන්නේ ගීතයේ තියෙන අවසාන සෝතැවුල් සහ බලාපොරොත්තුව සහිත කොටසට . පෙම්වතා මෙහෙම හිතනවා . තමන්ගේ හදවත නමැති විලේ පිපුණු ආදරය නමැති පියුම් කැකුල පූදින්න මත්තෙන්ම ඒ කියන්නේ නොකලක . එහෙමත් නැත්නම් අකාලයේ , නටුවෙන් ගලවා දාලා තමන් ඉන්න තැනින් ඉතාමත් ඈත දුරකට යවලා දැන් තියෙන්නේ කියලා . ඉතින් පෙම්වතා තව දුරටත් කරන්නේ දුක් වෙන එක . 

මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා

මිහිලිය තෙත් කරන්න තරම් කඳුළු ප්‍රවාහයක් තමන්ගේ ඇස්වලින් ගලා හැලෙනවා . ඒ කඳුළු හරියට ගංගාවක් වගේ . ගලාගෙන ගලාගෙන ගිහින් අවසානයේ එකතු වෙන්නේ මුහුදට . ඒ වගේම තමන්ගේ දුකත් ක්‍රම ක්‍රමයෙන් ඇතිවෙමින් එකතුවෙලා මුහුදක් තරමටම විශාල වෙලා කියලා පෙම්වතා හිතනවා . 

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා

මේ තියෙන්නේ පෙම්වතාගේ අවසාන බලාපොරොත්තුව . පෙම්වතියට උරුම උනේ රිදුනු තැවුණු හදවතක් . ඒ පෙම්වතිය විවාහ වෙන්නේ කැමැත්තෙන්මත් නොවෙන නිසා . ඒ නිසා පෙම්වතිය ඉන්නේ තමන් කරගත්ත විවාහයේ රසය විඳිමින් නෙවෙයි . තවත් එක පිරිමියෙකුට බිලි වෙච්ච ගානට . ඉතින් සෝතැවුල් තමයි පෙම්වතියට උරුම වෙන්නේ . ඒවගේම තමයි පෙම්වතාට තියෙන්නෙත් රිදුනු තැවුණු හදවතක් . මේ රිදුනු තැවුණු හදවත තමයි ඊළඟට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ . එක්ටැම් මැදුරක කවුළු අරා කියලා කියන්නේ පෙම්වතාගේ ඊළඟ බලාපොරොත්තුව . 

පෙම්වතා හිතනවා පෙම්වතිය විවාහයේ බැම්මෙන් මිදිලා තමා වෙත එයි කියලා . නැත්නම් තමා වෙත එන්න කියලා පෙම්වතා ආයාචනාත්මක ස්වරූපයෙන් ගීතය ඇතුලේ පෙම්වතියට කතා කරනවා . එහෙම ආවොත් බැරිවෙලාවත් පෙම්වතා පෙම්වතියව ආයෙත් වෙනත් පෙම්වතෙක් අතට පත් වෙන්නේ නැතිවෙන්න පරෙස්සම් කරගන්න ඕන . ඒ වෙනුවෙන් තමන් හදන්නේ එක්ටැම් මැදුරක් . අවසානයේ මේ එක්ටැම් මැදුරේ කවුළු වලින් දැකගන්නේ වෙන්නේ පෙම්වතියගේ මුහුණ . ඉතින් පෙම්වතා කියනවා මේ එක්ටැම් මැදුරට ආයෙත් එන්න කියලා . 

රුවන් විමානෙන් පියඹා
පොපියන හදවත සිටී බලා

රුවන් විමානය . මෙතන රුවන් විමානය විදියට හඳුන්වන්නේ සමහරවිට විවාහ ජීවිතය වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් පෙම්වතිය ඉන්නේ සැපපහසු පරිසරයක වෙන්න පුළුවන් . ඒ මොනවා ලැබුණත් තමන්ට හිමි ප්‍රේමය වෙනුවෙන් ඒ ඔක්කොම අතාරලා දාලා පෙම්වතිය එයි කියලා පෙම්වතා බලාපොරොත්තු වෙනවා . පෙම්වතාගේ හදවත පොපියනවා කියලා කියනවා . ඒ පොපියන්නේ තමන්ගේ හදවතේ මේ දේවල් මෙහෙම වෙයි කියලා හිතලා සීමාන්තික බලාපොරොත්තුවක් ඇතිකරගෙන ඉන්නවා කියලා කියන නිසා වෙන්න ඇති . 
චිත්‍රපටයේ මේ ගීතය ගායනා වෙන්නේ පෙම්වතිය විවාහ වෙලා දෙන්නා එක්ක වාඩිවෙලා ඉන්නකොට . සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා තමයි චිත්‍රපටයේ ගීතය ගායනා කරන්නේ . මට හරියටම මතක නැහැ පෙම්වතාගේ චරිතය රඟපෑවේ සතිස්චන්ද්‍ර මහත්මයාද කියලා . කොහොමහරි ආයෙත් මාතර ආච්චි චිත්‍රපටය බලන්න ලැබුණොත් මේ කතාව ඇත්තද කියලා බලන්න පුළුවන් . 

වැඩි හරියක්ම මේ ගීතය ගැන මම ලියන්න පෙළඹුනේ ගීතයේ වචනවල තේරුම නිසාමත් නෙවෙයි . ගීතයේ සංගීත සංයෝජනය ගැන කොහෙවත්ම ලියවිලා තියෙනවා දැක්කේ නැති නිසා . මෙන්න මෙහෙමයි මී ගීතයේ සංගීතය මට දැනුනේ . 







ගීතයේ ආරම්භය හරිම සරළයි .  වෙන ගීතවල වගේ දීර්ඝ සංකීර්ණ පෙර වාදනයක් මේ ගීතයේ නැහැ . ඒ සරළ ආරම්භය පාළුව තනිකම වගේ හැගීමක් අරගෙන එනවා . මුලින්ම වාදනය වෙන්නේ වයලීන් , කීබෝඩ් වාදන කණ්ඩයක් . මේ වාදනය අතරේ චෙලෝ එකකින් අර වාදන වලට කවුන්ටර් එකක් වෙන විදියට ඇතුලෙන් හරිම බර මන්ද්‍ර ස්වරයෙන් වාදනයක් ඉදිරිපත් කරනවා . අන්න ඒ මන්ද්‍ර ස්වර වාදනය තමයි ගීතයේ රස භාව මුලින්ම අපේ කනට ඇතුල් කරන්න දායක වෙනවා කියලා මම හිතන්නේ . මොකද ගීතයේ අන්තර්ගතය තනිකරම තියෙන්නේ දුක ශෝකය විරහව වගේ වේදනාත්මක සිතුවිලි වලින් පිරිලා . ඒ නිසා මේ ගීතයට චෙලෝ එක තරම් සාධාරණයක් ඉෂ්ට කරන වෙනත් වාදය භාණ්ඩ ඇත්තෙම නැති තරම් කියලා හිතන්න පුළුවන් . 

ඊට පස්සේ මැන්ඩලීන් එකකින් ස්වර අටක කුඩා වාද්‍ය කොටසක් ඉදිරිපත් කරනවා . මේ වාද්‍ය කොටස සරළයි වගේම ගීතයට හොඳ ආරම්භයක් ලබා දෙනවා . මම කලින් දවසක ඒක ලිපියක කිව්වා මතකයි සිතාරයේ තියෙන සම්භාව්‍ය රසය ඉවත් කරන්න ඕන නිසා ගිටාරයත් එක්ක එකට වාදනය කරනවා කියලා . ඒ වගේ තමයි මෙතනත් වෙලා තියෙන්නේ . මෙතන තියෙන්නේ සිතාරයක් නෙවෙයි මැන්ඩලීනයක් . මන්ඩලීනයේ තියෙන්නේ ගොඩක් වෙලාවට වේදනාත්මක හඬක් නෙවෙයි . හරිම විනෝද කාමී හඬක් තමයි තියෙන්නේ . ඒ විනෝදකාමී බව නැති කරන්න මේ ගීතයේ භාවිතා කරලා තියෙන්නෙත් අර සිතාරයට භාවිතා කරපු බෙහෙතම තමයි . මේ ස්වර අට වාදනය කරන්න මැන්ඩලීනයට එකොස්ටික් ගිටාරයකුත් සම්මාදන් වෙනවා . ඊට පස්සේ ඇතිවෙන්නේ ඒ වාදන භාණ්ඩ දෙකටම අයත් නොවන නාදයක් . මේ සවට අට වාදනයවෙලා ඉවර උන ගමන්ම ඊළඟ මාත්‍රාව උඩ සයිලෆෝන් එකකින් " ක්ලින්ග් " ගාලා එක ස්වරයක් වාදනය වෙනවා . ඒ මේ ගීතය ගායනා කෙරෙන්නේ අවග්‍රහයෙන් නිසා පළවෙනි මාත්‍රාව නිහඬව ඉන්න නිසා . අවග්‍රහය තේරෙන්නේ නැත්නම් ඉතින් ඒක එහෙම තමයි කියලා හිතා ගන්නකො මෙයාලා . 

ගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය වෙන්නේ තබ්ලාව . තබ්ලාවෙන් හොඳ බරට ඇහෙන්නේ තබ්ලා බාර් එකේ හඬ . ඒ කියන්නේ තබ්ලා ගෙඩි දෙකෙන් ලොකු ගෙඩියේ හඬ . ඒ හඬ ගීතයේ අනිත් සංගීත භාණ්ඩ එක්ක මුසු වෙලා එන්නේ ගීතයේ ගැඹුරු බව පෙන්නන්න පුළුවන් හඬක් කියලා කියන්න පුළුවන් . ඒවගේම තබ්ලාවේ තාල වාදනයට උපකාරී වෙන්න හයිහැට් එකක් වාදනය කෙරෙනවා . මේ හයිහැට් ඒක වාදනය කරන්නේ නිකං ස්ටික් එකකින් නෙවෙයි . බ්‍රෂ් එකකින් . බ්‍රෂ් එකක් කියන්නේ සිහින් කම්බි මිටියක් එකතුකරලා හදාගත්ත එකකට . මේ හම්බි මිටියෙන් හයිහැට් එකට තට්ටු කරාම චීස් චීස් ගානවා වගේ හඬක් ඇති වෙනවා . මේ චීස් චීස් ඒක ඇහෙන්නේ






වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ චීස් චීස් 
වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ චීස් චීස් 

කියන පිළිවෙලට . තබ්ලාවෙන් ඇතිකරන ප්‍රධාන තාලය පවත්වාගෙන යන්න මේ හයිහට් එකේ චීස් චීස් එකත් හොඳට දායක වෙලා තියෙනවා . 

දැන් ගීතය පටන් ගන්නවා . වෙන ගීතවල සාමාන්‍ය සම්ප්‍රදාය තමයි කවුන්ටර් පාට්ස් . ඒ කියන්නේ ගීතයේ යටින් වාදනයවෙන සංගීත කණ්ඩ වාදනය කෙරෙන්නේ දෙවෙනිවර ගායනා කරනකොට . ඒත් මේ ගීතයේ පටන්ගත්ත වෙලාවේ ඉඳලම කවුන්ටර් පාට්ස් වාදනය කරනවා . මේ කවුන්ටර් පාට්ස් හදලා තියෙන්නේ ගීතයේ වචනවලට සමගාමීව කියලා ඒවා මේ පිළිවලට සංයමයෙන් අහලා බැලුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි .

සඳකඩ පහණක කැටයම් ඔපලා
ඔන්න ඔය වචන ටික ගායනා වෙනකොට යටින් ඇහෙන්නේ සිතාර් වාදනයක් . සිතාරයෙන් ඒ වාදන කාණ්ඩය ඔස්සේ අපේ හිත්වල ඇතිකරන්නේ සඳකඩ පහන ගැන හැගීමක් . ඒ කියන්නේ සඳකඩ පහන වටා බැඳිලා තියෙන සංස්කෘතිකමය සමාජීය වටපිටාවක් .

පාවෙන දේදුනු ලැඟුම් ගනී
දේදුනු කියන තැන ඉඳලා වාදනය වෙන්නේ වයලීන් වාදනයක් . මේ වාදනය වාදනය කරන්නේ ස්වර ඇදිලා යන විදියට . පාවෙන බවක් ඒ වාදනයෙන් ඇතිකරලා තියෙනවා . දේදුන්නක් පාවෙනවා . වලාකුළු පාවෙනවා වගේ අදහසක් අහන අයගේ හිතේ ඇති කරන්න මේ කෙටි වයලීන් වාදනය උදවු වෙනවා .

කැලතුනු රසයක පැන ආ බුබුලක්
රසයක කියන වචනය යටින් වාදනය වෙන්නේත් වයලීන් වාදනයක් . ටරටට ටරටට ගාලා වාදනය වෙන ඒ වාදනය අහනකොට දැනෙන්නේ හරියට වතුර භාජනයක් කලතනවා වගේ . ස්වර කැලතීම උපයෝගී කරගෙන කැලතුනු රසය වයලීනයෙන් උත්පාදනය කරනවා .

පැන ආ බුබුලක් කියන තැන වයලීනය තමන්ගේ වාදනය වෙනස් කරනවා . ඒකෙ ස්වර වාදනය වෙන්නේ ගලාගෙන යනවා වගේ නෙවෙයි . ස්වර එකින් එක පැන පැන යනවා වගේ තමයි වාදනය කරන්නේ . බුබුල පැන එන්නේ කොහොමද අන්න ඒ පැන ඒම පෙන්නන්න වයලීනය තමන්ගේ හඬ ඒ විදියට වෙනස් කරගෙන තියෙනවා .








අකුරු වැලක් දෙහදක ලියවී
මේ පදය යටින් වාදනය කරන්නෙත් වයලීන් වාදනයක් . දෙන්නගේ හිතේ ඇතිවෙන ආදරය ගැන ඒ වාදනය අදහස් දක්වනවා . ඊට පස්සේ සිතාරයෙන් වාදනය වෙන්නේ බිට් පාට් එකක් . ඒ සිතාර් වාදනයෙන් ආයෙත් ස්ථායි කොටසේ මුල් ස්වර සංගතියට ගමන් කරනවා .

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
මේ වචන ටික ආරම්භ වෙන්න කලින්ම වයලීන් වාදනය ඉස්සර වෙනවා . වයලීන් රන් එකක් එතන වාදනය කරනවා . ස්වර තුනෙන් තුනට යන වාදනයක් පහල ස්වර වල ඉඳලා ඉහල ස්වර වලට ගමන් කරනවා . හරියට ඈතින් ඈතට ගමන් කරනවා වගේ . ඈතක ඈ ගෙන යනවා කියන හරියට එනකොට වයලීන් ආයෙත් සංසුන් වෙලා ගලාගෙන යන ස්වර වාදනය කරනවා . ඒ ස්වර වලින් ඈ ගෙන යනවා කියන වචනවල තියෙන දුක ශෝකය උද්දීපනය කරන්න උදවු වෙනවා .

සියුමැලි කැකුළක් මැලවෙද්දී
මේ වචන පේලිය යටින් මුලින් වාදනය වෙන්නේ සිතාර් වාදනයක් . ඊට පස්සේ වාදනය වෙන්නේ කීබෝඩ් , සැක්සෆෝන් එකතුවෙන් වාදනය කෙරෙන වාදනයක් . ඒ වාදන දෙකම ඇති කරන්නේ සියුමැලි කැකුළක් මැළවෙනකොට ඇතිවෙන ශෝකය .

දැන් ගීතයේ අතුරු වාදනය ආරම්භ වෙනවා . මුලින්ම වාදනය කරන්නේ වයලීන . ඒ වාදනය ආරම්භ වෙනවත් එක්කම තබ්ලාවේ වාදනය නවතිනවා . තාලය වාදනය අරගෙන යන්නේ හයිහට් එකයි ගිටාර් පන්ච් එකයි එකතුවෙලා . සමහර තැන්වල සයිලෆෝන් එකෙන් එක ස්වරයක් දෙකක් වාදනය වෙනවා ඇහෙනවා . ඒ ඔක්කොම යටකරගෙන චෙලෝ එකේ මන්ද්‍ර ස්වර වාදනය කරන නිසා ගීතයේ තියෙන පරිසරය අහන කෙනාට මවාගන්න උදව් වෙනවා . මේ අතරේ ඇහෙන නෑහෙන ගානට බේස් ගිටාර් එකුත් වාදනය වෙනවා . ගීතයේ තාලය රැකගන්නයි මන්ද්‍ර ස්වර වලින් ගීතයට කෙරෙන දායකත්ත්වයයි බේස් ගිටාර් එකෙන් ලබා දෙනවා .





ඊට පස්සේ බටනලා වාදනයක් ඇහෙනවා . මේක වාදනය කරන්නේ බටනලා දෙකකින් . බේස් ගතිය වැඩි බටනලාවකුයි බේස් ගතිය අඩු බටනලාවකුයි භාවිතා කරගෙන එකම ස්වර ටිකක් තමයි මේ වාදනය කරන්නේ . පාළුව දුක කොහෙද බටනලාවත් එතන කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ . මේ ගීතයටත් බටනලාව එහෙම තමයි එන්න ඇත්තේ . ඊට පස්සේ සිතාරයෙන් ස්වර කීපයක් වාදනය උනාට පස්සේ අයෙත් වයලීන් වලින් ඊළඟ අන්තරා කොටස ආරම්භ කරන්න ආරම්භය ලබා දෙනවා . ඒ අතරෙත් චෙලෝ එක තමන්ගේ මන්ද්‍ර ස්වර වාදනය හොඳින් ඉදිරිපත් කරලා තියෙනවා . ගීතයේ අන්තරා කොටසේ මුල ස්වර වලට ආරම්භය අරන් දෙන්න ආයෙත් දායක වෙන්නේ සිතාර් වාදනයක් .

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු

මේ වචන ටික යටින් ඇහෙන්නේ මණ්ඩලීනයේ අර මම කිව්ව සරළ සුගම වාදනය . ඒ වාදනය හරියට මී මැස්සෙක් පියාඹලා ඇවිත් රොන් ගන්නවා වගේ දෙයක් නේද ඇති කරන්නේ . මෙතන මී මැස්සෝ කතාවක් තියෙන නිසා මැන්ඬලීනය තමයි වඩාත්ම ගැළපෙන්නේ .

ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
ඉහළට කියන වචනයේ ඉහ කියනකොටම වයලීන් වලින් ආයෙත් රන් එකක් වාදනය කරගෙන පහල ස්වර වල ඉඳලා ඉහල ස්වර වලට ගමන් කරනවා . ඒ ඉහලට ගමන් කිරීම ඇති කරවන්නේ ගව්වක් ඉහලට ගොනුකර රඳවා කියන තේරුම .

පොපියන දෙතොලක් එහි කැන්දු
මේ වචන ඇතුලේ වාදනය වෙන්නේ බටනලා දෙකක් . ඒ වාදනය ටිකක් සරාගී හැගීමක් ඇතිකරනවා වගේ . ඒ සරාගී බව නිසා පොපියන දෙතොලක් කියන වචන ගායනා කරනකොට අහන අයට ඒ වචන වල තියෙන අර්ථය වඩාත් පැහැදිලි වෙන්න පුළුවන් .

අහසක් ගුගුරා කලුවක් වපුරා
මේ තමයි මම කැමතිම කොටස . අහස ගුගුරන හැටි හරිම අපූරුවට වයලීන් වලින් පෙන්නලා තියෙනවා . කළුව වපුරන හැටි පෙන්නන්නේ චෙලෝ වාදනයකින් . ඒ අවස්ථා දෙක එකලඟ පෙන්නන්න හරිම ආකර්ශනීය විදියට සංගීතය හසුරුවලා තියෙනවා .

ඒ හා මුසුවුණු වැහි බිංඳු
වැහි බිංදු , ඒ වචන ටික ගායනා කල ගමන්ම සිතාර් එකේ තියෙන අනුනාදී තත් පිළිවෙලින් හඬවලා වතුර වැටෙනවා වගේ අහන්න සලස්වනවා . මේකත් ගීතයේ භාවිතා කරලා තියෙන හොඳ සංගීත උපක්‍රමයක් .

තවකෙක් ඈ වෙත හද රැන්දු
මේ වචන යටිනුත් ආයෙත් වාදනය වෙන්නේ කීබෝඩ් සැක්සෆෝන් වාදනයක් .





ආයෙත් සඳකඩ පහනක කැටයම් ඔපලා ගායනය කරාට පස්සේ ගීතයේ දෙවෙනි අතුරු වාදනය ආරම්භ වෙනවා . මේකනම් තනිකරම ශෝකය ඇතිකරවන අතුරු වාදනයක් . අතුරු වාදනය පටන් ගන්නකොටම තබ්ලාව තමන්ගේ වාදනය නවත්වනවා . ඒත් එක්කම වයලීන් සහ චෙලෝ එක තමන්ගේ වාදනය ඉදිරිපත් කරනවා . ඉහල ස්වර වල ඉඳලා පහල ස්වර වලට තමයි වාදනය කරගෙන එන්නේ . ඒකෙන් හදවතේ කඩා වැටීමේ සලකුණු පෙන්නුම් කරනවා . වයලීන් වලට පස්සේ වාදනය වෙන්නේ බටනලා වාදනයක් . වයලීන් තමන්ගේ ස්වර නවත්තපු තැන ඉඳලා බටනලා වලින් තවත් පහල ස්වර වලට වාදනය අරගෙන එනවා .

ඊට පස්සේ සිතාර් වාදනය කරාට පස්සේ ආයෙත් වාදනය කරන්නේ වයලීන් චෙලෝ සහ බටනලා වාදන එකතුවක් . මේ වාදනය අතරේ සයිලෆෝන් ඒක තමන්ගේ හඬ ඉඳලා හිටලා අවධි කරනවා . ඒ හඬ හරියට වතුර වැටෙනවා වගේ , නැත්නම් කඳුළු වැටෙනවා වගේ අදහසක් ඇති කරනවා .

ගීතයේ දෙවෙනි අන්තරා කොටසේත් මුල පද දෙක යටින් මැන්ඩලීන් වාදනය ඉදිරිපත් කෙරෙනවා කලින් වතාවේ විදියටම . එතනත් විලක , මල් පිපිලා තියෙනවා , මල් කැකුල කඩලා ගෙනියන බව වගේ දේවල් ඉස්මතු කරලා පෙන්නන්න ඒ මැන්ඩලීන් වාදනය දායක වෙනවා .

මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
මේ වචන ටික ගායනා වෙනකොට යටින් වාදනය වෙන්නේ බටනලාවක් . ඒ වාදනය කරන්නේ කොට බටනලාවක් . කොට බටනලාවකින් ඇති වෙන්නේ ඉහල හඬක් . ඒ ඉහල හඬ නිසා ඇතිවෙන්නේ පාළුව දුක වගේ අදහසක් .






සත්සමුදුරකට මුහුවගියා
මුහුව ගියා කියන තැනත් වයලීන් එකෙන් පොඩි වාදන කොටසක් වාදනය කරලා පෙන්නන්නේ අත්හැර දැමීම වගේ දෙයක් .

රුවන් විමානෙන් පියඹා එනතුරු
වයලීන් වලින් ස්වර දෙක දෙක වාදනය කරන්නේ හරියට කුරුල්ලෙක් පියාඹලා එනවා වගේ රූපයක් අපේ හිතේ මවන්න පුළුවන් වෙන විදියට .

පොපියන හදවත සිටී බලා
මේ පද පේලිය දෙවතාවක් ගායනා වෙන නිසා පලවෙනි වතාවේ සිතාරයත් දෙවෙනි වතාවේ කීබෝඩ් සැක්සෆෝන් එකතුවත් වාදනය ඉදිරිපත් කරනවා .

ගීතය අවසාන වෙන්නේ සයිලෆෝන් වාදනයකින් . ඔන්න ඔහොම ඉතින් සඳකඩපහනත් අවසන් වෙනවා . ඔන්න ඔහොමයි සඳකඩ පහනට මම දෙන කැටයම . එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Monday, December 7, 2015

අහසින් පොළවට කඩා වැටීලද අම්මා තාත්තා නෑ දන්නේ







අද ලිපියෙන් ගීතයක තේරුමක් කියන්නම නෙවෙයි ලැස්ති වෙන්නේ . වැඩිය ඇහෙන්නේ නැති ගීතයක් ඔබ හමුවේ තබන්න . මේ ගීතය ගැන ලියන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ . ඒත් දැනට දවස් දෙකකට විතර කලින් අපේ ඥාතිවරයෙකුගේ ගෙදරින් කරපු දානමය පුණ්‍යකර්මයකට සහභාගී වෙලා දකින්න ලැබුණු දේවල් නිසා මේ ගීතය මියැසියේ රසකතාවට ගෙනාවනම් හොඳයි කියලා හිතුනා .

මම ජීවත් වෙන ප්‍රදේශයේ තියෙනවා ළමා නිවාසයක් . ගෙදරට එන්න කාටහරි පාර කියනවනම් මේ ළමානිවාසය අනිවාර්යයෙන්ම කියවෙනවා . මොකද ඒ ළමා නිවාසය අද්දරින් තමයි වයලීනොගේ නිවෙස්නයට එන්න පාර වැටිලා තියෙන්නේ . ගොඩක් වෙලාවට අපිට හැමදාම වගේ මේ ළමා නිවාසය දකින්න ලැබෙනවා . ඉස්කෝලේ යනකාලේ උදේ හවස හැමදාම දකිනවා . ඒ නැතත් දැන් උනත් ටවුන් එකට එනකොට උනත් මේ ළමානිවාසය අපිට පේනවා .

මේ ළමානිවාසය ගැන මට පරණම මතකය තියෙන්නේ මොන්ටිසෝරි යන්න ටිකකට කලින් කාලේ වගේ . මේ ළමා නිවාසයේ පාර අයිනට වෙන්න ලොකුවට තියෙන වත්තක් තියෙනවා . මේ වත්තේ ඉස්සර අලියෙක් ගැටගහලා ඉන්නවා සමහර දවස් වලට . අපේ පැත්තේ වලව්වක ඉන්න අලියෙක් කොස් අතු පොල් අතු මිටියක් අරගෙන මේ වත්තට එක්ක ඇවිත් ගැටගහලා ඉන්නවා ; සමහරවිට කෑම කාලා ඉවර උනාම එක්ක යන්න වෙන්නැති . ඒ දවස්වලට ඔතනින් මම ලේසියෙන් එහාට මෙහාට වෙන්නේ නෑ . මාත් එක්ක යන ගෙදර කාට හරි කරදර කරලා ඔතන ටිකක් වෙලා බලාගෙන ඉන්නවා අලියගේ වැඩ කිඩ .

ඉතින් ඔහොම ගිහින් ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ තමයි ළමා නිවාසයේ ළමයින් කොහොමද කියලා දැනගත්තේ . මොකද අපේ පන්තියෙත් හිටියා ළමා නිවාසෙන් ඉස්කෝලේ ආව ළමයෙක් . ඒ කාලේ ප්‍රයිමරියේ තියෙන්නේ ළමයි කණ්ඩායම් විදියට ඉඳගන්න සිරිතක්නේ . මේ ළමයාත් හිටියේ මම හිටපු කණ්ඩායමේම තමයි . ඉතින් මේ ළමයාගේ කතාව , අම්මා තාත්තා ගැන විස්තර එහෙමත් මට කියලා තියෙනවා . නොකිව්වත් අහගන්න හැටිත් මම දන්නවා .

මේ ළමයාගේ අම්මා තාත්තා දෙන්නම ඉඳලා තියෙනවා . අම්මයි තාත්තයි දෙන්නම කසිප්පු වෙළඳාම් කරලා පොලිසියට මාට්ටු වෙලා තමයි මේ ළමයා උසාවියෙන් ළමා නිවාසෙට දාලා තියෙන්නේ . ඒ ළමයට එකවසරේ උන්නට ඒ දේවල් කියන්න තරම් දැනුවත් කමක් තිබුණා . සමහරවිට හැදිච්ච පරිසරය නිසා වෙන්න ඇති . මොකද ඒ කාලේ අපිනම් කසිප්පු කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැනේ.

ඉතින් මේ ළමයාගෙන් සමහර දවස්වලට මම අහනවා කොහොමද ළමානිවාසේ විස්තර කියලා . වැඩිපුරම කියන්නේ එයාලට පොත් පත් එහෙම ලැබුණට ඒවා ළමානිවාසේ පාලක වරයා පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා . කොච්චර උනත් ඒ ළමයින්ට ඒ වගේ භෞතික සම්පත් දානමාන විදියට ඇතිවෙන්න ලැබිලා තිබුණා . ඒත් පාලක වරයා ඒවා ළමයින්ට දෙන්නේ නැහැලු . ඒවා දන්නෙම නැතුව අඩුවෙනවලු . එක වසරේ හිටපු ළමයෙක් ඉතින් මේවා අඩුවෙන්නේ කොහොමද කියලා දන්නේ නැතුව ඇති . ඒ උනාට පස්සේ කලෙකදී මම තේරුම් ගත්තා ඒවා අඩුවෙන්නේ කොහොමද කියලා .

මම පහවසරේ ඉගෙනගන්න කාලේ තවත් වෙන ළමයෙක් මුණගැහුනා . මේ ළමයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් . ඒත් අපේ පන්තියට තමයි දාලා තිබුණේ . නම් ගම් පවා මට තාමත් මතකයි . ඒ ළමයා ළමා නිවාසේ ඉන්න කාලේ ඉලෙක්ට්‍රික් වැඩ ටිකක් හොඳට ඉගෙනගෙන තිබුණ . සමහර දවස් වලට මේ ළමයා බලබ් සෙට් එක එක විදියට පත්තුවෙන  සර්කිට් වගේ දේවල් හදාගෙන ඉස්කෝලේ අරගෙන එනවා මිස්ට පෙන්නන්න . ඒවා හදන්න ඕන දේවල් එයාට කොහොම ලැබුනද කියන්න දන්නේ නැහැ . සමහරවිට ඒවා ගැන එයාලට ළමානිවාසේ ඉන්නකොට උගන්නන්න ඇති .

මේ ළමයා සපත්තු දාන්නේ නෑ . රබර් සෙරෙප්පු දාගෙන තමයි ඉස්කෝලේ ආවේ . ඇඳුම් හොඳටම කිළුටු වෙලා . අපි සමහර වෙලාවට අහනවා ඔයාට සපත්තු අරන් දෙන්නද කියලා . ඒත් ඒ ළමයා කියන්නෙම සපත්තු අපිට හම්බෙනවා . ඒත් මහත්තයා දෙන්නේ නෑ කියලා . ඒ කියන්නේ පාලක වරයා ඒවා ළමයින්ට දෙන්නේ නෑ කියලා . ඒවටත් මොකද වෙන්නේ කියලා පස්සේ කාලෙක තමයි තේරුනේ . ඒ ළමයාගේ නම් අම්මා හිටියා . මොන හේතුවක් මත ළමා නිවාසෙට ආවද කියලා දන්නේ නෑ .

කොහොමහරි අවුරුදු 16 වෙනකල් මෙතන ඉන්න පුළුවන් . ඊට පස්සේ එයාලා මෙතනින් අයින් වෙලා යන්න ඕන . සමහර අය රස්සාවල් හොයාගෙන යනවා . තවත් සමහර අය ගමට යනවලු . ඒත් ගිහින් මොකද කරන්නේ කියලා දන්නේ නෑ . ටිකක් කල් යනකොට මේ ළමා නිවාසයේ පාලක වරයා මාරු උනා . වෙන කෙනෙක් පත්වෙලා ආවා . ඒ කෙනා ගැන කිසිම කෙනෙක්ගේ පැහැදීමක් තිබුණේ නෑ . කොටින්ම කියනවනම් ළමා නිවාසෙට ලැබුණු දාන පවා අඩු උනා . අන්තිමට මේ කෙනා ළමා නිවාසයේ ළමයෙක් සමලිංගික සම්බන්ධයක් වෙනුවෙන් වෙනත් පිරිමි කෙනෙක්ට ලබා දීලා මාට්ටු වෙලා පොලිසියෙන් අල්ලලා ටික දවසකට ළමා නිවාසය වහලා දැම්මා . ඒ කාලේ ඇතුලත ළමයි ටික වෙනත් ළමා නිවාසයකට මාරු කරලා තිබුණා .

පස්සේ ආවේ ටිකක් වයසක කාන්තා පාලිකාවක් . එයා මුල කාලේ හොඳට පාලනය කරගෙන ගියා . පස්සේ එයාට කේස් ඒක වැටුණේ ළමයින්ට ලැබෙන දේවල් , ඒ කියන්නේ කිරි පිටි සීනි හාල් පොල් වගේ වියලි ආහාර සහ වත්තේ පොල් එයාගේ කඩයකට අරගෙන ගිහිල්ලා විකුණලා මාට්ටු වෙලා . ඔහොම වෙලා ඉතින් අස්ථාවර තත්ත්වයට පත් උනාට ළමා නිවාසය හොඳ තත්ත්වයකට ඇවිත් තාමත් කරගෙන යනවා .

අපි ඒ ගමේ අය උනාට , එයාලා අසරණ ළමයි උනාට , ගමේ අය වැඩිය මේ ළමයි එක්ක කතා කරේ එහෙම නෑ . කොටින්ම කියනවනම් ළමා නිවාසයේ ඉන්න වෙලාවට අපි පවා මේ ළමයි එක්ක කතා කරන්නේ නෑ . ඉස්කෝලෙදි කතා කරොත් විතරයි . ඒ කෙසේ වෙතත් ළමා නිවාසෙට වයලීනොගේ උපන් දිනයට දානයක් නම් දෙනවා . එදාට තමයි ඕක ඇතුලේ කොහොමද තත්ත්වය කියලා සහසුද්දෙන්ම දැනගන්න ලැබෙන්නේ .

ඉතින් මේ ළඟදී දවසක දානයක් දෙන්න දානය අරගෙන ළමානිවාසයට ගියාම වෙනදා දකින ළමයි කීප දෙනෙක් දැක්කේ නෑ . පස්සේ දැන් ළමානිවාසය භාරව ඉන්න පාලිකාව ගෙන් ඇහුවම එයා කිව්වේ ඒ ළමයි හමුදාවට බැඳිලා කියලා . වයස සම්පූර්ණ උනාට පස්සේ ඒ අය ඒ ඒ විදියට එක එක දේවල් වලට සම්බන්ධ වෙනවලු . ඒත් පොඩි ළමයි කීප දෙනක් අඩු නිසා ඇහුවම කිව්වේ ඒ ළමයි සමහර පවුල් වලින් නීතිමය පදනම යටතේ හදාගන්න අරගෙන කියලා . එක ළමයෙක් ඉතාලියේ ජීවත්වෙන සිංහල පවුලක් හදාගන්න අරගෙන ගිහින් .

ඉතින් එදා දානේ බෙදන වෙලාවේ ළමා නිවාසේ හිටපු ලාබාලම ළමයා ගැන අපේ ගෙදර හැමෝම අවධානය යොමුකලා . හරිම හුරතල් පොඩි එකෙක් . අහිංසක හිනාවක් එක්ක පැත්තකට වෙලා බිම වාඩිවෙලා සෙල්ලම් කරනවා . මම ගිහින් අතින් අල්ලගෙන කතා කරලා එන්න අපි ෆොටෝ එකක් ගමු කිව්වම ඒ ළමයත් නැගිටලා ආවා . පස්සේ අපි ගෙදර කට්ටියත් එක්ක ෆොටෝ ගත්තා .

ඒ ළමයා දැක්කම හරිම අනුකම්පාවක් ඇති උනා ළමා නිවාසයේ ඉන්න ඔක්කොම ළමයි ගැන . කොහොමහරි ගෙදර හැමෝම වගේ මේ ළමයට තමයි වැඩිපුර දානේ බෙදුවේ . අනිත් ළමයින්ට බෙදුවට එපා කිව්වත් කොච්චර දැම්මත් මේ ළමයා සද්ද නැතුව ඉන්නවා . පස්සේ කාලා ඇති උනාම නැගිටලා මේසෙට වැටිලා තියෙන ඉඳුල් පිහදාල අත හෝදන්න පිඟානත් අරගෙන ගියා . පොඩි උනාට ළමා නිවාසයේ පාලිකාව මේ දේවල් ළමයින්ට උගන්නලා තියෙනවා කියලා එදා හැමෝම කතා උනා . ඇත්තම කියනවනම් ළමා නිවාසේදී ළමයින්ට ගුණධර්ම ගැන නම් කියලා දෙනවා මදි . අම්මා තාත්තා දෙන්නගෙන් වෙන්න ඕන දේවල් ඉතින් වෙන කෙනෙක්ගෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැනේ .

ඒ ළමයි ඉන්න හැටි දැක්කම හිතට මහ අමුතුම දුකක් දැනුනා . මොකද අම්මා තාත්තා නැතුව ඒ ළමයි තනියමම ගෙවන මේ ජීවිතය කොච්චර කටුක එකක්ද ? . අඩුම තරමේ යන එන තැන නොතැන ගැනවත් හරියට හෙවෙන්නේ නැතිතරම් . ඉස්කෝලේ යනවා කියලා උදේට ගියාම , දවල්ට එනකල් මේ ළමයි කොහෙද ගියේ කියලවත් හොයන්න කෙනෙක් නෑ . සමහර දවසට ළමයි රොත්ත පිටින් එනවා පේනවා . පොඩි ළමයි සමහර වෙලාවට බාටා සෙරෙප්පු දාගෙන ඉන්නේ . සමහර ළමයින්ට සෙරෙප්පු වත් නැහැ . මේ ළමයි දුකට ඇඩුවත් නලවන්න කවුරුවත් නෑ . අම්මා තාත්තා කවුද කියලවත් දන්නේ නැති ළමයි මෙතන ජීවත් වෙනවා . කාලයක් හරි අම්මා තාත්තා එක්ක ජීවත් වෙච්ච අයට වඩා ඒ අය වෙනුවෙන් හැමෝගෙම අවධානය යොමුවෙන්න ඕන කියලා තමයි මමනම් හිතන්නේ . මොකද මොනවා නැතත් අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැතුව ජීවත් වෙන්න අමාරු නිසා .

මේ හැමදේම එක්ක තමයි මේ ගීතය මතක් උනේ . වැඩිය රේඩියෝ ටීවී වල ඇහෙන්නේ නැති ගීතයක් . ඒත් රචනා කරලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා . තනුව රෝහණ වීරසිංහ මහත්මයාගේ . ගායනය කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා .

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාථ නිවසයි පට බැඳුණේ

ගෙනත් දෙතිය රස මසවුළු මව්වරු
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ

ගී පද - ප්‍රේම කීර්ති ද අල්විස්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ








Friday, December 4, 2015

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට මට පෙනිච්ච මූණ








මේ ළඟදී සිංදුවගේ ගෙදර ගිහින් කියෝ කියෝ ඉන්නවෙලාවේ සිංදුවක් ගැන කතාවක් ඇදිලා ආවා . ඕක ගැන කතා කර කර ඉනකොට අන්තිමට මතකය ඇදීලා ඇදී..................ලා ඇදී...............................................ලා ගියා දැනට අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්දියකට . ඒ වෙලාවේ ඒකෙන් ටිකක් සිංදුවත් එක්ක කිව්වට මොකද පස්සේ හිතුනා ඔක්කොම කතාව ලිව්වනම් හොඳයි කියලා මේ සිංදුවත් එක්ක .

ඉස්කෝලෙන් අවුට් වෙලත් අවුරුදු තුනක් වෙනකල්ම වයලීනෝ ඉස්කෝලේ වයලීන් වාදනය කරන්න ඉස්කෝලේ ගියා . සමහර වෙලාවට නිල ඇඳුම ඇඳගෙන ගියා . ඊට පස්සේ නිල ඇඳුම් අඳින්න බැරි කාලේ ඒත් වයලීන් වාදනය කළා . මේ කාලේදීත් ඉස්කෝලෙට අලුතෙන් ආව ළමයි ගොඩක් දෙනෙක් වයලීනෝට අඳුරගන්න පුළුවන් උනා . වැඩි හරියක්ම අඳුරගන්න පුළුවන් උනේ උසස්පෙළට සංගීතය විෂය කරන්න එන ළමයි . 

මෙයාලා උසස්පෙළට සංගීතය කරන නිසා සංගීත වැඩ වලට හැමෝම වගේ සහභාගී වෙනවා . ඉතින් මමත් වයලීන් ගහන්න ඉන්න නිසා ඔය හැමෝම වගේ තරඟ වලට යන්නෙත් පුරුදු වෙන්නෙත් එකට . කොච්චර එහෙම එකට ආශ්‍රය කරගෙන හිටියත් ඉස්කෝලෙන් අවුට් වෙච්ච මමයි බටනලා වාදනය කරන්න හිටපු මල්ලියි අපි දෙන්නා පාසල් සිසු සිසුවියන් විදියට තවමත් ඉගෙනගනිමින් හිටපු ඒ ළමයින් එක්ක තිබුණේ ටිකක් විතර දුරස් සම්බන්ධයක් . සමහරවිට ඒ ළමයි අපිත් එක්ක වැඩිය ෆිට් වෙන්න නැහැ මොකද අපි එතකොට ඉස්කෝලෙන් අවුට් වෙච්ච අය නිසා . 

මේ කාලේ වෙනකොට වයලීනොට උසස්පෙළ විභාගය ලියලා අවසන් උනා විතරයි . මේ කාලේ ඉතින් වයලීනොගේ කුටියට පාළුව තනිකම ඇවිත් හදවත සසල කරන කාලයක් . ඒ නිසාමද දන්නේ නෑ ඉස්කෝලේ හිටපු සංගීතය කරපු ගෑණු ළමයෙක් පැත්තට වයලීනොගේ ඇහැ කැරකුනා . හැබැයි දැන් අවුල් තියෙන්නේ ඉස්කෝලේ නිසා . ඒ නිසා කතා කරන්න ගියෙත් නෑ මුකුත් නෑ ටික දවසක් ඔහොමම හිටියා . 

හැබැයි ඉන්නේ කොහෙද අරව මේවා මොකවත් දන්නේ නෑ . ඉතින් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කතා කරන්න තමයි මුලින් හිතුවේ . ඒත් ඉස්කෝලේ නිසා ඒකටත් එච්චර හිතක් තිබුණේ නෑ . ඉස්කෝලෙන් අයින් වෙලා ඉන්න නිසා ඉස්කෝලේ ඇතුළේදී අවුරුදු දෙකක තුනක වගේ වයස් පරතරයක් තියෙන ළමයෙක්ගෙන් මෙහෙම දෙයක් සම්බන්ධව කතා කරන කරන්න හොඳද නරකද කියලා හිත හිත හිටියා ටික දවසක් .








මේ ළමයාගේ යාළුවෙක් හිටියා අපිත් එක්ක ටිකක් විතර ෆිට් . ඒත් මහලොකු ෆිටක් නෑ . ඒත් දැන් මේ වැඩේ කෙරෙන්නත් ඕන නිසා ඒ යාළුවගෙන් විදේශාධාර ඉල්ලුවා . ඒ ළමයා ගාව අර ගෑණු ළමයාගේ නම්බර් එක තිබුණා . ඊට පස්සේ ඒ ළමයා මට නම්බර් එක දීලා කිව්වා අයියේ මම දුන්නා කියලනම් කියන්න එපා , අයිය හොයාගත්ත විදියට කතා කරන්න කියලා . නම්බර් එක ලැබුණු වෙලාවේ ඉස්කෝලේ ඇරිලා . එහෙමම ආවේ සිංදුවගේ ගෙදර . ඇවිත් සිංදු මල්ලිට කිව්වා මෙන්න මෙහෙම වැඩක් වේගෙන වේගෙන යනවා කියලා . පස්සේ එහෙ ඉන්නගමන්ම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා . ඒත් ආන්ස්වර් කරන්නේ නෑ . පස්සේ මැසේජ් එකක් දැම්මා මේ ______ නංගි ද ? කියලා . රිප්ලයි වෙනුවට ආයෙත් ආවේ කෝල් එකක් . ඔන්න ඒකට ආන්ස්වර් කරා . කවුද කතා කරන්නේ කියලා ඇහුවම මම අනික් පැත්තට ඇහුවා ඔය කවුද කතා කරන්නේ කියලා .

එතකොට ඒ ළමයා කිව්වා මේ වයලීනෝ අයියා නේද කතා කරන්නේ කියලා . දවස් දෙක තුනක් මුණ බල බල ඉඳලා අතටම චා වෙච්ච නිසා ඒ ළමයත් මගේ පොඩි ලයින් එකක් තියෙනවා කියලා දැනගෙන ඉඳල තියෙන්නේ . කොහොමහරි වෙලාවේ හැටියට කතා කර කර ඉන්නත් බැරි නිසා කෝල් එක එහෙමම කට් කරලා පහුවෙනිදට ඉස්කෝලේදීම කතා කරනවා කියලා හිතාගෙන සිංදුවගේ ගෙදරින් අවසන් බෝජන සංග්‍රහයත් භුක්ති විඳලා හවස් වෙලා ගෙදර යන්න ගියා . පහුවෙනිදා තමයි දවස . වෙනදා වගේම ඉස්කෝලේ ගියා . ගිහින් මියුසික් රූම් එකේ දොර කිට්ටුවට යනකොටම අර මම කෝල් කරපු ගෑණු ළමයයි තවත් එයාගේ යාළුවෙකුයි ඉන්නවා දොර කිට්ටුව .

ඉඳලා එකපාරටම කෝල් එකක් ගත්තා . හප්පට සිරි ගජ කියන්නේ මම ෆෝන් ඒක සයිලන්ට් දාලා නෑ . මේක කෑගහන්න ගත්තා . විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා . ඒත් විලි ලැජ්ජා නෑ වගේ හිටියා . ඉඳලා එදා කොහොම හරි පොඩ්ඩක් කතා කරා . පස්සේ ඉඳලා හිටලා පොඩි පොඩි කතා ගියා . හැබැයි අන්තිමට මේ ළමයා මගේ යෝජනාවට රෙඩ් ලයිට් දාලා බැහැ කියලම කිව්වා . හයියෝ සංසාරේ කියන්නේ වයලීනොට නෝ චාන්ස් . හැබැයි ඒක ලොකු අප්සට් එකක් උනේ නෑ . මමත් ඉට්ස් ඕකේ බේබි කියලා නිකා හිටියා .

හේතුවට කිව්වේ ඒ පවුල සහ මේ පවුල අතර තියෙන ආර්ථික වෙනස . අනික මම කැම්පස් යන්න බලාගෙන හිටපු එක සහ ඒ ළමයාට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැති එක . කැම්පස් ආවත් මුදල් ප්‍රශ්න නිසා යන්නේ නෑ කියලා තමයි කියලා තිබුණේ . ඊට පස්සේ කිව්වේ එක්සෑම් ලියලා ගාමන්ට් එකක මහන්න යනවා කියන එක . මහන කෙනෙක් අයියට ගැළපෙන්නේ නෑ කියලා තමයි ඒ ළමයා කතාව නැවැත්තුවේ . සිංදුවා ඒ දවස්වල කිව්වේ ඒ ළමයට උඹට වඩා ජීවිතේ ගැන අවබෝධයක් තියනවා කියලා . ඇත්ත වෙන්නැති .







පස්සේ ඒත් කාලයක් යනකල් මමත් ඉඳලා හිටලා මැසේජ් කරා එක්සෑම් කරගන්න උනන්දු කරවන්නයි අධ්‍යාපන තත්ත්වය ගොඩදාන්න උදවු කරන්නයි . ඔහොම ඉඳලා දවසක් මේ ළමයා මට මැසේජ් එකක් එවලා තිබුණා ඒ ළමයාගේ අයියා ගෙදර ඇවිල්ලා ෆෝන් එකයි සිම් එකයි ගන්නවා කියලා ආයේ ඒ නම්බර් එකට මැසේජ් කරන්න එපා කියලා . මමත් හා කියලා කරබාගෙන . ඊට පස්සේ සැලකියයුතු කාලයක් යනකල්ම මේ ළමයාගේ විස්තර මුකුත්ම දන්නේ නැතුව කාලය ගෙවිලා ගියා . දවසක් මම දන්න ඒ ගෑණු ළමයාගේ වයසේ මල්ලි කෙනෙක්ගෙන් මේ ළමයාගේ විස්තර ඇහුවා . මම ඇහුවේ නම්බර් එකක් දන්නේ නැද්ද ? එක්සෑම් එහෙම කොහොම උනාද දන්නේ නෑ නේද කියලා .

ඒ වෙලාවේ ඒ මල්ලි කිව්වේ නම්බර් එකක් නම් හොයලා දෙන්න පුළුවන් අයියේ , ඒත් අයියට වැඩක් වෙන්නේ නම් නෑ කියලා . පස්සේ ඉතින් මම ඇහුවා ඇයි බං වැඩක් වෙන්නේ නැත්තේ කියලා . එතකොට තමයි කතාව කිව්වේ . ඒ ළමයා දැන් ගාමන්ට් යනවා . ගාමන්ට් යන කෙල්ලෝ ගැන අයියා දන්නවා ඇතිනේ . අයියා ඒ ළමයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා අපි දන්නවා , ඒත් ගැළපෙන්නේ නැහැනේ . ඒ නිසා අයියා ඒ අදහස අතෑරලා නිකා ඉන්න කියලා . කොහොම හරි අන්තිමට නම්බර් එක හම්බුනෙත් නෑ . කොහොමත් නම්බර් එක ලැබුණත් එක වතාවක් බැහැ කිව්ව නිසා ඒ ළමයාගේ පස්සෙන් ගිහින් වනයක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ . ඒ කාලෙම ලීඩර්ශිප් ආවා . පස්සේ මේ කතාව එහෙමම යට ගියා . යට ගියා කියන්නේ යන්නම යන්න ගියා .

මේ වැඩේ නිසා ගාමන්ට් චරිත ගැන වැඩි දුරට අවධානයක් යොමු කරලා බැලුවා මොකද මේ ගාමන්ට් කෙල්ලන්ට වෙන්නේ කියලා . වැඩිය දුර යන්න ඕන නෑ . මම ඉන්න අවටම මේවාට හොඳ උදාහරණ තියෙනවා . ගොඩක් වෙලාවට අධ්‍යාපනය මගදී නවත්තපු අය තමයි ගාමන්ට් වල මහන්න යොමුවෙලා තියෙන්නේ . ඒ කතාව සර්වසාධාරණ නැතත් බහුතරය එහෙම තමයි . ඒ නිසා ගොඩක් වෙලාවට ගාමන්ට් වලට යන අය අවසානයේ නන්නාදුනන පිරිමින්ගේ ගොදුරු බවට පත් වෙනවා මේ අඩු අධ්‍යාපන තත්ත්වය නිසා . සමහර වෙලාවල් වලට නොදැනුවත්ව හෝ දැනුවත්ව මේ අය තනිවෙන්නේ ළමයෙකුත් එක්ක . ඊට පස්සේ ජීවිතේම ගාමන්ට් වල තැම්බි තැම්බී මහනවා ගෙදර එනවා ආයෙත් වැඩට යනවා මහනවා ගෙදර එනවා .







මේ අයගෙන් සමහර අය ජීවිතය ගැටගහගන්න බැරුව තමන්ගේ ඇඟ මුදලට විකුණන තත්ත්වයට පවා පත් වෙනවා . අන්තිමට ගෙදරවත් නිදහසේ ඉන්න නැහැ . නිවාඩු දවසටත් මේ අය තමන්ගේ දෙවෙනි රැකියාව වෙන ගණිකා වෘත්තීය සඳහා පෙළඹෙනවා . හැබැයි මෙහෙමයි කියලා ගාමන්ට් යන හැම කෙල්ල දිහාම වපර ඇහෙන් බලන්න එපා . මොකද හැමෝම එක වගේ නැහැ . තමන්ගේ තත්ත්වය තියාගෙන හොඳට ඉන්න අයත් ඉන්නවා . ඒත් ඒ ටික දෙනෙක් විතරයි . මේ කාගේ වැරැද්ද නිසාද ?

මේවට පවුල් පසුබිම නොවැළක්විය හැකි විදියටහේතු වෙනවා . ඊට අමතරව අධ්‍යාපනය , පාසල , ගුරුවරු පවා වගකියන්න ඕන කියලා මම හිතනවා . මොකද මේ අය සමාජය ගැන තියා ලිංගික හැසිරීම ගැනවත් හරි හැටි දන්නෙවත් නැතුව තමයි මේ වගේ සමාජයකදී ගොදුරු බවට පත් වෙන්නේ . අඩුම තරමේ උපත් පාලනය ගැනවත් මේ අයගේ අවබෝධයක් නැහැ . ඒ නිසා අන්තිමට එක ජීවිතයක් මදිවට දරුවෙක් ලැබුණොත් ජීවිත දෙකක් අනාථ වෙනවා .

මේ ළඟදී ලිංගික අධ්‍යාපනය ගැන කැම්පස් එකේ සමීක්ෂණයකට පුරවන්න දීපු ෆෝම් එකක මම ලුණු ඇඹුල් ඇතුවම ලියලා දුන්නා කැම්පස් ආවම නෙවෙයි මේක උගන්නන්න පටන් ගන්න ඕන ඉස්කෝලේ යන කාලේ ඉඳලා කියලා . කියන්නේ දැන් විෂය නිර්දේශයට මේවා ඇතුලත් කරලා කියලා . ඒත් මමනම් හිතන්නේ නෑ අද කාලේ හැටියට ඒ සීමාව ප්‍රමාණවත් කියලා . පද්ධති දෙක ගැන විස්තර කරාට ඊට එහා දෙයක් ගැන මුකුත්ම කතාකෙරෙන්නේ නෑ . මේ නිසාම ලිංගික කුතුහලය වැඩි වෙනවා ඇරෙන්න ඒක සාමාන්‍ය දෙයක් වෙන්නේ නෑ .

ඉතින් ගෑණු ළමයි කිසි කෙනෙක් ගාමන්ට් යන්න නම් හිතන්න එපා . සමහර අය ඕලෙවල් ලියන්නත් කලින් ඉඳලා හිත හදා ගන්නවා ඕලෙවල් කරලා ගාමන්ට් යනවා කියලා . ඒක නම් කරන්න එපා . අමාරුවෙන් හරි කොහොමහරි ඉගෙන ගන්න බලන්න . දවසක් මට මතකයි අපිට ගණන් උගන්නපු ගණන් සර් කෙනෙක් ඉස්කෝලේදී , ගෑණු ළමයි ගෙදර වැඩ කරගෙන ඇවිත් නැතුව හොඳටම බැන්නා . තමුසෙලා අද ඔහොම ඉඳියි , පස්සේ ඉස්කෝලෙන් එලියට ගිහින් ගාමන්ට් වල මහන්න යයි . අන්තිමට තමුසෙලට ඇඳුමක් හෝදගන්නවත් වෙලාවක් ලැබෙන්නේ නෑ . පෝයටවත් ගෙදර ඉන්න ලැබෙන්නේ නෑ , තමුසෙලට එතකොට තේරෙයි එදා අර සර් කිව්වේ ඇත්ත නේද කියලා කියලා .

ගාමන්ට් වල මහන්න යන සමහර අය ගැන බැලුවම ඒ කතා ඇත්ත කියලා ඇත්තටම හිතෙනවා . ගාමන්ට් වල කළමනාකරණය බලන්නේ කොහොමහරි නිෂ්පාදනය වැඩි කරගන්න . වැඩ කරන අය බලන්නේ වැඩිපුර වැඩ කරලා කොහොමහරි වැඩි පඩියක් ගන්න . ඊට පස්සේ ජීවිතේම ගෙවෙන්නේ ගාමන්ට් එක ඇතුලේ . මේ විස්තර කරන ගාමන්ට් සමාජයේ ඇත්තටම හදවතින්ම පිහිට වෙන්න කිසිම හවුහරණක් නෑ .

බැරිවෙලාවත් ටිකක් ලස්සන ගෑණු ළමයෙක් එහෙම ගාමන්ට් එකකට ගියොත් කළමනාකරණයේ ඉඳලා සුළු සේවකයා දක්වා බලන්නේ ඒ ළමයා තමන්ගේ ගොදුරක් බවට පත් කරගන්න . ඒක ඒ පරිසරයේදී ඇතිවෙන දෙයක් වෙන්න ඇති . මේ සාමන්‍යය නිසා සමාජය ගාමන්ට් කෙල්ලෝ දිහා බලන්නේ වපර ඇහෙන් කියන එක ඇත්තක් . මේ හැම දෙයක් ගැනම හිතලා වෙන්න ඇති එදා ඒ ගෑණු ළමයා සහ අර මල්ලි මට එහෙම කතාවක් කියන්න ඇත්තේ . ඔය ඔක්කොම කතා එක්ක ගාමන්ට් ජීවිත ගැන වැරදියට බලන්න එපා කියලා මම ආයෙත් කියනවා . පුළුවන් නම් කරන්න ඕන ඒ අයගේ සුරක්ෂිත භාවය තහවුරු කරන එක .

වැරැද්ද වගේම මේ ගාමන්ට්වල හොඳත් කියන්නෙපාය . කිසිම දෙයක් කරගන්න විදියක් නැතුව ඉන්නේ නැතුව මේ වගේ රැකියා අවස්ථාවක් හරි තියෙන එක , එක අතකට සතුටු වෙන්න පුළුවන් දෙයක් . මොකද කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැටගහ ගන්න මේ අයට වෙන විකල්පයක් ඇත්තෙම නැති නිසා . අපි දන්න අක්කා කෙනෙක් ඉන්නවා බඳිනකල් ගාමන්ට් එකක රස්සාව කරලා සල්ලි හොයාගෙන ඉතුරු කරලා දෑවැද්දට ඕන දේවලුත් හදාගෙන කසාද බැඳලා දැන් හොඳට ජීවත් වෙන කෙනෙක් . ඉතින් ඒවගේ අවස්ථාවන් මේ ගාමන්ට් රැකියාවෙන් තියෙනවා . සමහර වෙලාවට මේ ගාමන්ට් වල ඉවත දාන දේවල් වලින් මේ අය ස්වයං රැකියා පටන් ගන්නවා .







විසි කරන රෙදි කෑලි වගේ දේවල් අරගෙන පාපිසි මහලා විකුණනවා . රෙදි කෑලි පුරවලා බෝනික්කෝ මහලා විකුණනවා . ඉතින් ඒකත් වැදගත් දෙයක් . ගාමන්ට් වල යම් තරමකට හරි සුභ සාධන වැඩ කෙරෙනවා . සිරස නාලිකාවේ ඉස්සර දවල්ට පෙන්නුවා මේ වගේ වැඩ කරන ස්ථාන වල අයට දවසේ නිවාඩුවක් දීලා ගායන නර්තන ඉදිරිපත් කරන්න අවස්තාව ලබාදෙන විශේෂ වැඩසටහනක් . මේවටත් ඉතින් ගාමන්ට් වල පාලන අධිකාරිය අවසර දෙන නිසා ඒ මිනිස්සු නරුමයින් ගානට දාලා කතා කරන්නත් බෑ . ඒත් වැඩි ප්‍රවනතාවයක් තියෙන්නේ නම් පාලන අධිකාරිය හිතක් පපුවක් නැතුව තරුණ ශ්‍රමය හූරා කන පැත්තට තමයි .

මගේ පරණ ලවු කතාව සිංදුඅයියා එක්ක කතා කරන්න මාතෘකා උනේ















සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන බන්දුල නානායක්කාරවසම් මහතා රචනා කරපු රෝහණ වීරසිංහ මහත්මයා සංගීතවත් කරපු මෙන්න මේ ගීතය නිසා . එදා ඒ ගීතයේ වචන ගැන කතාවෙලා අපි ගීතයත් අහලා තමයි කතාව අවසන් කරලා අසා සිටි සැමට ස්තූති කලේ . එහෙනම් ඉස්සෙල්ලම ගීතය අහන්න .


රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ






මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියක් , ඇයගේ ජීවිතය කොහොමද රෙදි මහන මැෂිමට යට කරලා තියෙන්නේ කියන එක . මේ අයට ඉතින් හොඳට නරකට දෙකටම ඉන්නේ මේ මැෂින් එක තමයි . උදේ ඉඳලා රැවෙනකල්ම මහනවා . අපිට මැනේජ්මන්ට් ලෙක්චර්ස් වලට ජොබ් ස්පෙසිෆිකේෂන් and මොටිවේෂන්  කියන කොටසට උදාහරණ විදියට මේ ඇඟලුම් කර්මාන්තශාලා වල ඉන්න සේවක සේවිකාවන් අවස්ථා කීපයකදී ගත්තා . මේ අය සමහර වෙලාවට කරන්නේ සාක්කු අල්ලන එක විතරයි . තවත් කෙනෙක් කරන්නේ කොලර් අල්ලන එක විතරයි . කාලයක් යනකොට මේ දේවල් වලට එයාලා තදින්ම අනුවර්තනය වීම නිසා නිෂ්පාදනය කරන සීග්‍රතාවය වැඩි වෙනවා . ඒ වගේම් තමයි ඒ අයගේ පෆෝමන්ස්  ඉහල තත්ත්වයකට පත් වෙනවා .

ඒ නිසා කළමනාකරණයට ඒක ඒ පැත්තෙන් වාසි උනත් සේවකයාගේ පැත්තෙන් මේක අවාසියක් වෙන්න පුළුවන් . මොකද කාලයක් යනකොට එකම දේ එපාවීම නිසා උපරිම අගයක තියෙන පෆෝමන්ස් ටික ටික අඩුවෙන්න පුළුවන් නිසා . මේ නිසා අලුත්ම විදිය තමයි පෆෝමන්ස් බහින්න පටන්ගන්නකොටම ඒ කෙනාව වෙනත් රාජකාරියකට මාරුකරන එක . ඒ කියන්නේ කොලර් අල්ලපු කෙනා දානවා බොත්තම් අල්ලන්න බොත්තම් අල්ලපු කෙනා දානවා සාක්කු මහන්න . මේවගේ ජොබ් රෝටෙෂන් පිළිවෙලකට ගියාම සේවක තෘප්තිමත් භාවයත් එක්ක උපරිම ඵලයක් නෙලාගන්න පුළුවන් . හැබැයි මේ ගීතය ලියවෙන කාලේ මම හිතන්නේ මේ රෝටෙෂන් සීන් එක තිබිලා නෑ .

අපි එහෙනම් ගීතය කියවලා බලමු කොහොමද කියලා .








රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන මේ තරුණිය තමන්ට සේවය නියම වෙලා තියෙන නියමිත කාලයේ වැඩ කරලා රාත්‍රී කාලයේත් නැවතිලා අතිකාල දීමනා වෙනුවෙන් තවත් වැඩ කරනවා . උදේට පිපිච්ච මලක් වගේ ගෙදරින් එන මේ තරුණ කුසුම හවස් වෙනකොට ඉන්නේ පරවෙන්න ඔන්න මෙන්න වගේ තත්ත්වයක . රෑ වැඩ කරාට පස්සේ හොඳටම මහන්සියි , ඒවගේම දවසෙම ඇහෙන්නේ මැෂින් වල ඒකාකාරී සද්දේ . ඒ නිසා තියෙන මානසික පීඩනයයි ඔක්කොම කලවම් වෙලා මේ වෙනකොට මේ තරුණිය මලානික වෙලා .

අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

මේ මලානික තරුණිය දැන් කර්මාන්තශාලාවෙන් පිටත් වෙනවා නිවස බලා එන්න . සමහරවිට කර්මාන්තශාලාවේ බස් එකෙන්ම ඇවිත් ගෙදර එනවා වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් රෑ වෙලා බස් නැතුව පාරේ තනියමම ඇවිදගෙන එනවා වෙන්නත් පුළුවන් . මෙතන ගීතයේ හැටියට මමනම් හිතන්නේ මේ තරුණිය කර්මාන්තශාලාවේ වාහනයක එනවා කියලා . මොකද ඔයවගේ තැන්වල ලොකු ලොකු බස් තියෙනවනේ කට්ටිය ගිහින් දාන්නයි උදේට එක්ක එන්නයි .

ඉතින් දැන් වැඩ ඉවරවෙලා මෙයා බස් එකට ආවා කියමුකෝ දැන් හොඳටම රෑ වෙලා . ඒත් මෙයාට රෑ උනා කියලා මෙයාව විතරක් ගිහින් දාන්නෙ නැහැ . ඒ බස් එකේ ඒ පාරේ යන හැමෝම එනකල් බස් ඒක නවත්තගෙන ඉන්නවා . ඒ කියන්නේ තවත් රෑ වෙනවා . දැන් රෑවෙලා ඇවිත් බස් එකෙන් බහිනවා . බැහැලා ගෙදරට තවත් ටිකක් දුර යන්න ඕන .

ඒ ටික යනකොට සමහරවිට මදියමට කිට්ටු වෙලා . නැත්නම් මැදියමත් පහුවෙලා . ගෙදර ගිහින් ඇඳුම් මාරු කරලා නාලා කාලා බීලා ඉවරවෙනකොට තවත් වෙලාවක් ගිහින් . හදිස්සියේ ඉස්කෝලේ යන ළමයි ඉන්නවනම් හෙට ඒ අයට ගෙනියන දේවල් හදන්නත් ඕන . මේ ඔක්කොම කරලා හොයලා බලලා නිදාගන්නකොට පහුවෙනිදා පාන්දරත් වෙලා .

අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට කියන පදය මේ විස්තරය ඔක්කොම එකට කැටි කරලා ගීතයේ ඉදිරිපත් කරලා තියෙනවා . මේ ගෙවන්නේ ඇත්තටම පවක් . මේ තරුණියට රෑ වෙන්නේ පාන්දර . ඒ කියන්නේ මේ තරුණිය නිදාගන්නේ ඉර එලිය වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවේ නිසා . ඒ නිසා කියනවා එළිවෙන්න ඕන වෙලාවේ  නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට කියලා .







තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ

ගාමන්ට් රස්සාවට සාමාන්‍යයෙන් නිවාඩුවක් ලැබෙන්නේ නැති තරම් . උදේ යනවා මහනවා රෑ එනවා නිදාගන්නවා . ආයෙත් උදේ යනවා මහනවා රෑ එනවා නිදාගන්නවා . ඔය චක්‍රය තමයි ජීවිතය පුරාවටම . ලොකු ටාගට් එකක් වෙනුවෙන් වැඩකරනවනම් ගාමන්ට් එක පෝයටත් වැඩ . නොගියොත් පඩි කපනවා . ඒවගේ එක එක හේතු නිසා ගාමන්ට් සේවකයින්ට තමන්ගේ ජීවිතයම මහන්න යොමු කරන්න වෙලා තියෙනවා .

මෙතන දැඟිලි නිදි වරනවා කියලා කියනවා . වක්‍රාකාරව ඒ කියන්නේ වම් අතේ මහපටගිල්ලයි දබරගිල්ලයි ගැන කියලා තමයි මමනම් හිතන්නේ . මහන වෙලාවට ඕන වෙන්නේ ඒ ඇඟිලි දෙක . ඔලුව නිදා වැටුනත් මේ ඇඟිලි දෙකට නම් නින්දක් ලේසියෙන් ලැබෙන්නේ නෑ . හදිස්සියෙවත් ඇඟිලි දෙකත් නින්දක් ගත්තොත් මැෂින් එකේ ඉඳිකටුව මේ ඇඟිලි පවා මහලා දානවා . ඊට හපන් සුපවයිසර්ලාගේ තර්ජන ගර්ජන . ඒ නිසා තුන්තිස් පැයේම ඇඟිලි වලටනම් නින්දක් නෑ . ඒ කියන්නේ කිසිම විවේකයක් නෑ .

උදේ පාන්දරම යන්නේ ගාමන්ට් එකට . රෑවෙලා තමයි ගෙදර එන්නේ . ඒ කියන්නේ ඇඟට ඉර එළියක් වැටෙන්නෙම නෑ . හුළං පොදක් වදින්නේත් නෑ . දවසේම ඉන්නේ විදුලි බුබුළු යට . මේ විදුලි බුබුළු වලින් නිකුත් වෙන ආලෝකය නිසා මේ තරුණියන්ගේ පෙති ගෝමර දැවෙනවා . ඒ කියන්නේ ගාමන්ට් ඒක ඇතුලේම මේ තරුණියන්ගේ ලස්සන නැති වෙනවා කියන එක නේද ? . හරිනම් විවාහ පත්වෙන වයසේ ඉන්න මේ විදියට තමන්ගේ ලස්සන ගාමන්ට් වල ජීවිතයට යට කරලා නැත්තටම නැති කරගන්නවා . ඒ නිසාම විවාහයත් ඈතට යනවා .

මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

කාලයත් එක්ක මේ මහන තරුණියගේ ජීවිතය ගතවෙලා යනවා . විවාහ වෙන්නවත් විවාහයක් ගැන හිතන්නවත් ආදරය කරන්නවත් ආදරය ලබන්නවත් මේ අයට ලැබෙන්නේ නෑ . ලැබුණොත් ලැබෙන්නේ කාමාතුරයින්ගේ ආශාවන් සංසිඳවන්න අවස්ථාවක් විතරයි . ඒ නිසා ගීතයේ කියවෙනවා මල් විය නේද මේ ගාමන්ට් එකක් ඇතුලේ දිය කරලා හරින්නේ කියලා . මේ ඔක්කොම ඇත්ත . ඒ ඇත්ත අපිට පේනවා වගේම තමයි මේ මහන යුවතියගේ හදවතේ තියෙන්නෙත් .

මේ අය කොච්චර හිනාවෙලා සරළව හිටියත් මේ කෙනෙක් එක්ක සංවේදීව කතා කලොත් අපිට දැනගන්න පුළුවන් මේ අය කොච්චර වේදනාවක් මේ මැෂින් අතරේ විඳිනවද කියලා . මහන අතරේ උනත් මේ අය හිතෙන් අඩනවා වෙන්න පුළුවන් . ඒත් හදවතේ ඇතිවෙන ඒ වේදනාවේ ශබ්ධයට වඩා මේ අයට ඇහෙන මැෂින් එකේ සද්දේ වැඩියි . ඒ නිසා හදවතේ වේදනාව එහෙමම ලොප් වෙලා මැෂින් එකේ වේදනාවට අවධානය යොමු කරන්න වෙලා තියෙනවා . ඒත් මැෂින් එක පිටකරන්නේ මේ මහන යුවතියගේ වේදනාව නේද කියල ගීතයේ කියවෙනවා .







නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ


නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ

දුක වේදනාව කියන එක අපිට වගේම ඒ යටත් තියෙනවා . මේ අයගෙන් වැඩ ගන්න අය සමහරවිට ඒක ගැන එච්චර හිතන්නේ නැතුව ඇති . ජීවිතේ විඳින්න තියෙන වයසේ මේ අය ජීවන අරගලය එක්ක හැප්පිලා තමන්ගේ ජීවිතය පොඩිපට්ටම් වෙලා යන්න ඉඩදීලා බලාගෙන ඉන්නේ නිකන්ම නෙවෙයි . එයාලගේ ඇහෙන් එලියට ආවේ නැතත් මේ ගාමන්ට් වල මහන රෙද්දක් රෙද්දක් ගානේ ඒ අයගේ වේදනාව කැටි වෙලා තියෙනවා .

ඒක ඇත්තටම හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ සමාජ මට්ටමේ ඉඳලා හිතනවානම් විතරයි . එහෙම හිතලා බැලුවොත් මේ අයගේ හදවතෙන් නැගෙන කඳුළු එකතුකරොත් මහා මුහුදට සමාන කරන්න පුළුවන් කඳුලක් ඒ අයගේ හිත්වල එකතුවෙලා තියෙනවා . ඒ කඳුළු සාගරය දෙන වේදනාවල් වගේ තමයි ඇත්තටම සාගරයේ රැලි නගන්නෙත් .

මේ වේදනාව ඔක්කොම මේ අය ඇහෙන් පිට නොකලට නහයෙන් නම් කොයිවෙලෙත් පිට කරනවා . ඒ දුක වේදනාව එකතු වෙච්ච සුසුම් වලින් . මේ තරුණියන්ගේ හීල්ලීම් එකතු කරොත් ඒක සුළඟක් තරමටම සෑහෙනවා . ඒ සුළඟ මද පවනක් වගේ මේ අයගේ විඩාව නිවනවා . ඒ කියන්නේ තමන්ගේ සුසුමම තමන්ගේ විඩාව නිවන්න හමනවා කියන එක . ඒ කියන්නේ තමන්ට තමන් විතරයි කියන එක .

තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

මේ මහන තරුණියන් ගාමන්ට් එකට ඇතුළු උනාට පස්සේ මැෂින් ඒක ගාව ඉඳගත්තටත් පස්සේ කතා කරන්නවත් ඉඩක් ලැබෙන්නේ නෑ . ඒ කියන්නේ හිතේ තියෙන හැමදේම හිතේම ඇතිවෙලා හිතේම නැතිවෙලා යනවා . ඒ නිසා තමයි කියන්නේ තනි නොතනියට හෙවනල්ලද සිටින්නේ කියලා . සමහර වෙලාවට තනි නොතනියට සුපවයිසර්ලා ඉන්නවා .

ඒත් ඉතින් තමන්ගේ හෙවනැල්ල තරම් සෞම්‍ය මිතුරෙක් වෙන්නේ නෑ ඒ අය . මේ ඔක්කොම එක්ක ගත්තම මේ තරුණිය නූලෙන් නූල අමුණමින් මහගෙන යන්නේ ඇඳුමද නැත්නම් මෙච්චර දුක් විඳගෙන පියවරෙන් පියවර තියාගෙන ගොඩනගාගෙන යන්නේ තමන්ගේ ජීවිතයද ? . ගීතයේ අවසානය ප්‍රශ්නාර්ථයක් එක්ක අවසාන වෙනවා . ඒකට උත්තරය දන්නේත් ඒ අත්දැකීම විඳින එයාලම විතරයි .

මේ ගීතය මම අහන්න ගත්තේ සුනිල් එදිරිසිංහයන්ගේ ගීත තියෙන කැසට් පටයකින් . වයලීන් එක ගත්ත කාලේ මේ වගේ ගීත අහ අහ ඒවා ස්වර වලට පෙරලන එක හරිම ජොලි වැඩක් . මේ වගේ ස්වර වලට පෙරලපු ගීත ගොන්නෙන් මම හරිම කැමති ගීතයක් උනා මේ ගීතය . මොකද මේ ගීතය පටන් ගන්නේ වයලීන් පවුලේ සාමාජිකයෙක්ගේ වාදනයකින් නිසා .

ඒවගේම තනුව ගොඩනැගිලා තියෙන්නේ වයලීන් එකෙන් වාදනය කරන්න පුළුවන් ලේසි ස්වර ගැළපීමකින් නිසා තවත් මේ ගීතයට කැමති උනා .  ඒ කාලේ දවසේ එක එක වෙලාවට වයලීන් එකෙන් ප්ලේ කරන සිංදු සෙට් තිබුණා . මේ ගීතය වැඩිපුරම ප්ලේ කරේ රෑට . තනුවේ තියෙන ශෝකාකූල හුදෙකලා මූසල ගතිය නිසා මේ ගීතය මම වැඩිපුරම වාදනය කලේ සද්ද බද්ද නැති රෑ ජාමෙට .







මේ ගීතයේ ආරම්භක වාදනය ආරම්භ වෙන්නේ චෙලෝ එකකින් . චෙලෝ එකේ තියෙන්නේ වයලීන් එකට වඩා ඉතාමත්ම පහත මන්ද්‍ර ස්වර . ඒ ස්වර වලින් මේ වාදනය ආරම්භයේදීම හදවතට කතා කරනවා . ඒ වාදනයට පස්සේ ලීඩ් ගිටාර් වාදනයක් වාදනය වෙනවා . මේ වාදන ශෛලීය තියෙන්නේ වීණාවේ . වීනා වාදනයෙන් තමයි මේ ලීඩ් ගිටාර් වාදන ශෛලීය ඉපදිලා තියෙන්නේ . වියෝ වූ පසුවයි දැනෙන්නේ කියන ගීතයේත් තියෙන්නේ මෙන්න මේ වගේ ගිටාර් වාදනයක්මයි .

ගීතයේ පෙර වාදනය අතුරු වාදන කියන දෙකම වාදනය වෙන්නේ මේ වාදන භාණ්ඩ දෙකෙන් එකම ස්වර රචනාවක් . ගීතයේ තාල වාදනය නිර්මාණය කරලා තියෙන්නේ රාත්‍රීය පාළුව වගේ හැගීමක් ඇතිවෙන විදියට . හයිහැටි එකක් වගේම තබ්ලාවකුත් වාදනය වෙනවා . ඒ එක්කම ගිටාර් වලින් කෝඩ්ස් වාදනය වෙන්නෙත් ඒ සංයමය ආරක්ෂා වෙන විදියට .

ඔය ඔක්කොමත් හරි මේ ගීතයට සුනිල් එදිරිසිංහයන් යොදන ස්වර වර්ණ නිසා වැඩි ආලෝකයල් ලැබිලා තියෙනවා . සුනිල් එදිරිසිංහයන්ගේ ගායනාවේ විශේෂ තැන් විදියට

රෑ වැඩ මුරය කියන තැන “ රෑ “
අරුණලු කැරලි වැටෙනා කියන තැන  “අරුණලු “
පෙති ගෝමර කියන තැන “ ගෝ “
නුඹේ ලොවට රෑ වෙයි කියන තැන “ නුඹේ “
මහා හයියෙන් හඬන්නේ කියන තැන “ මහා “

කියන තැන් මම දකිනවා . පොදුවේ මුළු ගීතයම සංවේදී උනත් මේ තැන්වල තියෙන ස්වර වලට වඩා සුනිල් එදිරිසිංහයන්ගේ කටහඬේ තියෙන වර්ණ නිසා ගීතය වැඩියෙන් හදවතට දැනෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා . මේ ලිපියට ලිව්ව කතාවේ සමහර තැන් නොලියා ඉන්න හිටියේ . ඒත් වයලීනිගේ බලවත් ඉල්ලීම පරිදි ඒවත් ලිව්වා කෑලි හලන්නේ නැතුව . සිංදුවටයි වයලීනිටයි ස්තූති කරමින් මේ ලිපිය මෙතනින් අවසන් කරනවා . එහෙනම් අයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Tuesday, December 1, 2015

සෙත් කවි ලිවීම ( 2 )







සෙත් කවි ලිවීම (1)



අන්තිමටම දෙවුන්දර දේවාලේ ගියේ මේ අවුරුද්දේ ඇසල මහා මංගල්‍යය තිබුණ දවසේ උදේ පාන්දර . එදා දේවාලෙට ගොඩ වෙනකොටම දේවාලේ උදේ තේවාව ආරම්භ වෙලා . ඒ නිසා මම දේවාලේ පිටිපස්සට වෙලා බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා . මොකද දෙවුන්දර දේවාලේ තේවාව ගැන මට වැඩිය බලන්න අවස්ථාවක් ලැබිලත් නැති නිසා .

ඉතින් පූජාව තියලා ඉවරවෙලා යාතිකා කරලත් ඉවර උනාට පස්සේ දේවාලේ ඇතුලේ සෙනග ඉන්න හරියේ පිටිපස්සෙන් සුදු සරමක් කමිසයක් ඇඳගත්ත කෙනෙක් හයියෙන් කවියක් කියන්න ගත්තා . මැදිවිය පහු කරපු කෙනෙක් . සෙත් කවියක් තමයි කිව්වේ . මම ඉතින් ඔයවගේ ඒවා අහගෙන බලාගෙන ඉන්න නිසා පොඩ්ඩක් විමසිල්ලෙන් අහගෙන හිටියා . ඒ කවිය නම් නියමෙට හදලා තිබුණා . මම හිතන්නේ ඉතින් නියම ප්‍රතිඵල ලැබෙන්න ඇති . අන්න ඒවගේ කවි ලියවා ගන්න පුළුවන් නම් හරිම වටිනවා .

ඒ කවියේ ඔක්කොම වචන දේව ගණයට වැටෙන විදියට රචනා කරලා තිබුණා . එහෙම කරන එකහරිම අමාරු වැඩක් . මොකද එහෙම කියන්නේ , මේ වචන වල ශබ්ධ රසය අර්ථ රසය ගණ පිහිටවීම ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕන නිසා . මෙහෙමෙ කවි හදන කෙනෙක් සිංහල භාෂාව ගැන හොඳ පුළුල් දැනුමකින් සමන්විත කෙනෙක් වෙන්න ඕන කියන්නේ අන්න ඒ නිසයි . කලින් ලිපිය අවසාන කලේ ගණ පිහිටවීම ගැන විස්තර කරලා . ගණ පිහිටවීම ගැන මොනවාහරි ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් කරලා අහලා දැනගන්න පුළුවන් .

අද ලිපියෙන් ඉස්සෙල්ලම කියන්න යන්නේ කවියක තියෙන්න පුළුවන් කාව්‍ය ශෛලීන් ගැන . මේ ශෛලීන් විවිධාකාර විදියට ගොඩනගලා තියෙනවා . මේ ඒවායින් එක විදියක් .

භාව පූර්ණ
කවිය ලියන කෙනාගේ හිතේ ඇතිවෙන සිතුවිලි කවිය කියවන කෙනාගේ හිතේත් ඇතිවෙන විදියට කවි රචනා කිරීමේ ශෛලියට තමයි භාව පූර්ණ ශෛලිය කියලා කියන්නේ .


දීර්ඝ
මේක සංකීර්ණ ශෛලියක් . එකම අකුරු , එකම වචන , එකම මාත්‍රා වගේ දේවල් නැවත නැවත එකතු කරමින් මාත්‍රා 32 36 48 64 වගේ ඉතා අධික මාත්‍රා සංඛ්‍යාවක් ඇතිවෙන විදියක කවි රචනා කිරීම තමයි දීර්ඝ ශෛලිය විදයට හඳුන්වන්නේ .

හෙළු
හෙළුව කියන්නේ ශුද්ධ සිංහල භාෂාව . ඔයාලා අහලා ඇතිනේ හෙළුවෙන් වනලා ලියනවා කියලා දෙයක් . ඒ කියන්නේ ශුද්ධ සිංහල භාෂාවෙන් වර්ණනා කරලා ලියනවා කියන එකට . ඉතින් මේ ශුද්ධ සිංහල භාෂාව භාවිත කරලා කවි ලියන ශෛලියට තමයි කියන්නේ හෙළු ශෛලිය කියලා .


වේගවත්
චිත්ත වේග නිකුත් කිරීම හෝ නිදහස් කිරීම වෙනුවෙන් රචනා කරන කවි වලට කියන්නේ වේගවත් ශෛලියේ කවි කියලා . දුක සතුට තරහව නින්දා කිරීම ගර්හාවට ලක් කිරීම වගේ දේවල් කරන්නේ මේ ශෛලිය භාවිතා කරලා ලියන කවි වලින් .

උද්දීපන 
කවියක් ලියන්නේ මොකක් හරි කාරණාව උද්දීපනය කරන්න නම් ඒ කවිය ලියලා තියෙන්නේ උද්දීපන ශෛලිය භාවිත කරලා කියලා කියන්න පුළුවන් . ඒ කියන්නේ ඒ කවියෙන් යම් නිශ්චිත ඒක කරුණක් ගැන විතරයි අදහස් කරන්නේ කියන එක .

ගාඨ
අහන කෙනාට හරි කියන කෙනාට හරි අහන්න හෝ කියන්න අමාරු වෙන විදියට කනට අමිහිරි වචන යොදාගෙන රචනා කරලා තියෙන කවි ශෛලියට කියන්නේ ගාඨ ශෛලිය කියලා .

කෙටි
මාත්‍රා 5 6 7 8 9 10  වගේ ඉතාම කෙටි විරිත් අනුගමනය කරමින් රචනා කරලා තියෙන කවි රචනා වෙලා තියෙන්නේ කෙටි ශෛලියෙන් .

ආක්‍රමණ
කාටහරි පහර ගහන්න කියන කවි වලට කියන්නේ ආක්‍රමණ ශෛලියෙන් රචනා වෙලා තියෙන කවි . ගොඩක් වෙලාවට වස් කවි රචනා වෙන්නේ මේ ශෛලිය අනුගමනය කරමින් .

උපහාස
කවුරු හරි කෙනෙකුට නැත්නම් මොනවාහරි දෙයකට උපහාසාත්මක විදියට ලියන කවි උපහාස කවි ශෛලියට අයත් කවි කියලා කියනවා .

වර්ණන
කවුරු හරි කෙනෙක් නැත්නම් මොනවා හරි දෙයක් වර්ණනා කරලා කවි ලියවිලා තියෙනවා නම් ඒ කවි වර්ණන ශෛලියෙන් රචනා වෙලා තියෙනවා .


විවේචන
යම් කෙනෙක් හෝ යම් දෙයක් විවේචනය කරලා කවි රචනා වෙලා තියෙනවා නම් ඒ කවි විවේචන ශෛලියෙන් රචනා වෙලා තියෙන කවි කියලා කියනවා . 

සරළ
සරළ අදහසක් සරළ වචන වලින් සරළ විරිත් වලින් ඉදිරිපත් කරලා ලියන කවි සරළ ශෛලියට අයත් කවි වෙනවා .

අනුප්‍රාස
අනුප්‍රාස කියන්නේ එක සමාන වචන නැත්නම් ඒක සමාන අකුරු එක ළඟ ළඟ කියවෙන විදියට රචනා කරන කවි වලට . මේ අනුප්‍රාස රසය ගැබ් වෙලා තියෙන කවි අනුප්‍රාස ශෛලියෙන් රචනා වෙලා තියෙන කවි විදියට හඳුන්වන්න පුළුවන් .

ඇකාර
ශුද්ධ සිංහලේ ගොඩක් වෙලාවට මේ ඇකාරය භාවිතා වීම වෙනවා . මේ ඇකාරය වැඩි වශයෙන් යොදලා රචනා කරලා තියෙන කවි වලට කියන්නේ ඇකාර ශෛලියේ කවි කියලා .


මේ ලිපියෙන් මම සෙත් කවි ලිවීම සම්බන්ධව කියන්න යන්නේ අක්ෂර තොරාගනීමේදී යෝනි ගැලපීම සහ නොගැළපීම වෙන්නේ කොහොමද කියන එක ගැන . ඊට කලින් අපි බලමු මොනවද සිංහල භාෂාවේ ඉෂ්ටානිෂ්ට අක්ෂර වෙන්නේ කියලා . මේ ඉෂ්ටානිෂ්ට අක්ෂර ගැන සිදත් සඟරාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා .

එ ක ය ම ර ජ අ ණ න ළ අං අවාකර
උ ප බ ග හා නර නමිතිරි වේ අමර
සුර'කර පෙරැ පසැ වැඩ දේ අවාකර
නසා සුභ සියල් නර'කුරුමැදුම් සර

මේ කවියේ කියවෙන හැටියට අක්ෂර වර්ග තුනක් සඳහන් වෙනවා . ඒ අක්ෂර වර්ග තුන තමයි

දිව්‍ය අක්ෂර
මනුෂ්‍ය අක්ෂර
අපාය අක්ෂර කියලා කියන්නේ .

ඉතින් මේ කවියේ සිදත් සඟරා කතුවරයා දක්වලා තියෙනවා මේ මේ කාණ්ඩ තුනට තියෙන අකුරු මොනවාද කියලා .

මනුෂ්‍ය අක්ෂර => උ ප බ ග හ
අපාය අක්ෂර => එ ක ය ම ර ජ අ ණ න ළ අං
දිව්‍ය අක්ෂර => මනුෂ්‍ය අක්ෂර සහ අපාය අක්ෂර හැර අනිත් සියලුම අකුරු දිවය අක්ෂර විදයට සලකනවා 

මේ අකුරු වලින් සෙත් කවි හදනකොට දිව්‍ය අක්ෂර වැඩිපුර එකතුවෙන විදියට කවි හදනවනම් තමයි කවියේ තියෙන අක්ෂර සිද්ධියේ බලවත් භාවය වැඩි වෙන්නේ . දිව්‍ය අක්ෂරයකින්ම පටන් ගන්න පුළුවන් නම් ඉතාම ශුභයි .

එහෙම බැරිනම් මනුෂ්‍ය අක්ෂර භාවිතා කරන්න පුළුවන් . යොදාගන්නේම නැතුව ඉන්න බැරිනම් අපයාක්ෂර යොදාගන්න පුළුවන් . ඒත් අපයාක්ෂර එකතු වෙනකොට අනිත් අක්ෂර වලින් තියෙන ශුභ තත්ත්වය අඩුවෙන්න පුළුවන් . ඒ නිසා අපයාක්ෂර අඩුවෙන්න යොදාගන්න පුළුවන් නම් තමයි හොඳ .

කවියක් ආරම්භ කරනකොට හොඳ අක්ෂරයක් භාවිතා කරනවා වගේම සෙත් කවියක් නම් ඒ කවියට අදාලා කෙනාගේ නම යොදලා තියෙනවනම් ඒ නම දෙපැත්තටත් දිව්‍ය අක්ෂර එන විදියට වචන ගළපන්න පුළුවන් නම් ඒ කවියේ ප්‍රභාලතාවය වැඩි වෙනවා කියලා සිදත් සඟරාවේ වැඩි දුරටත් සඳහන් වෙනවා .

දැන් අපි බලන්න යන්නේ අක්ෂර යෝනි ගැළපුම කොහොමද කරන්නේ කියලා බලන්න . මේ යෝනි ගැළපීම සහ නොගැළපීම ගැන සිදත් සඟරාවේ මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා .

අ ඹ ත ල ඈ ව ගැ වණ සිටි පිළිවෙලි නා
යොදා නකුල් මියු මහවත් වග සපු නා
තුරඟා බිලිපුටු සරඟුන් දැනැ කෙමෙනා
පෙරැ පසැ යොන් බඳු නම යොනට සොබනා

මේ කවියේ තේරුම වෙන්නේ අ ඹ ත ල ආදී වර්ගයේ වර්ණ හෙවත් අකුරු පිහිටි පිළිවෙලින් මුගටි මියු බකමූණු ව්‍යාග්‍ර උරගනාග අශ්ව කපුටු මුව යන මොවුන් අයත් යෝනි වලට අදාළ අකුරු ගළපලා අදාළ නමට අදාළ අකුරට අදාළ යෝනිය ගළපලා කවි පබඳීම කරන්න කියලා .

මේ කවියේ කියවෙන හැටියට මෙන්න මේවා තමයි කාව්‍ය කරණයේ අක්ෂර බෙදීම දක්වලා තියෙන යෝනි අට

නකුල => මුගටි
මියු => මී හරකා
මහවත් => බකමූණා
වග => ව්‍යාඝ්‍ර
සපුනා => උරගනාග
තුරඟ => අශ්ව
බිලිපුටු => කපුටු
සරඟ => මුව

මේ යෝනි වලට අයිති අකුරු මෙන්න මේ විදියට තමයි සිදත් සඟරා කතුවරයා සඳහන් කරලා තියෙන්නේ .

නකුල => මුගටි => අ ඹ ත ල
මියු => මී හරකා => ආ ඕ ද ව
මහවත් => බකමූණා => ඉ ක න ස
වග => ව්‍යාඝ්‍ර => ඊ ග ප හ
සපුනා => උරගනාග => උ ජ බ ළ
තුරඟ => අශ්ව => ඌ ට ම අං
බිලිපුටු => කපුටු => එ ඩ ය 
සරඟ => මුව => ඒ ණ ර 

මේ යෝනි එකිනෙකාට විරුද්ධව සතුරු වෙන ආකාරය අනුව තමයි එක එක යෝනි වලට අශුභ වෙන අක්ෂර මොනවද කියලා හොයාගන්නේ . මේ සතුරු වීම මෙන්න මේ ආකාරයට තමයි සිදු වෙන්නේ .

නකුල => සපුනා 
මියු => තුරඟ
මහවත් => බිලිපුටු
වග => සාරංග

ඒ කියන්නේ මුගටියාට උරග නාගයාත් , මී හරකාට අශ්වයාත් , බකමූණාට කපුටාත් , ව්‍යාඝ්‍රයාට මුවාත් සතුරු යෝනි වෙනවා කියන එක . මේ සතුරු වීම මෙන්න මේ විදියට චක්‍ර ගර්භයක දක්වලා තියෙනවා . ඒ චක්‍රයේ එක එක ගර්භයට ඉස්සරහින් තියෙන්නේ ඊට සතුරු ගර්භය . ඒ කියන්නේ එක යෝනියකට ගැළපෙන්නේ නැති අකුරු කවි ලියන්න භාවිතා කරන්න එපා කියලා .



අපි උදාහරණයක් විදියට සිදත් සඟරා සන්නයේ රැපියෙල් තෙන්නකෝන් මහත්මයා දක්වලා තියෙන උදාහරණයම අරගෙන බලමු . දැන් ඔන්න කවිය ලියන්න ඕන කෙනාගේ නම සිරිපති . මේ නමේ මුල අකුර සි . ඒ කියන්නේ ස අකුර තමයි මේ නමේ මුලට තියෙන අකුර වෙන්නේ . ඒ කියන්නේ ස අකුර අයත් වෙන්නේ බකමූණු යෝනියට .

මේ යෝනියට අයත් සතුරු යෝනිය වෙන්නේ බිලිපුටු හෙවත් කපුටු යෝනිය . මේ කපුටු යෝනියට අයත් අකුරු වෙන්නේ එ ඩ ය කියන අකුරු . මේ අකුරු කවියේ මුලටත්  නමේ මුලටත් යෙදෙන්න හොඳ නෑ . ඒ වගේම නමේ අන්තිමට තියෙන්නේ ති අකුර . ඒ කියන්නේ ත යන්න . ත යන්න නකුල යෝනියට අයත් නිසා නමේ අන්තිමට යොදන පළවෙනි වචනයේ මුල අකුර සපුනා යෝනියට අයත් නොවෙන අකුරක් වෙන්න ඕන .

_ _ _ _ එ   සිරිපති
_ _ __ ඩ   සිරිපති
_ _ _ _ ය  සිරිපති

සිරිපති උ_ _ _
සිරිපති ජ _ _ _
සිරිපති බ _ _ _
සිරිපති ළ _ _ _

මෙන්න මේ විදියට අකුරු යෙදීම අශුභ තත්ත්වයන් උදා කරනවා කියලා තමයි මේ උදාහරණයේ විස්තර කරලා තියෙන්නේ . ඉතින් මේ විදයට ඉෂ්ටානිෂ්ට භාවයන් බලලා අකුරු ගළපලා සෙත් කවි ලියන්න තමයි තියෙන්නේ . සෙත් කවි ලියන හැටි ගැන බලන්න අපි එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් ආයෙත් හමුවෙමු .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !