Saturday, December 27, 2014

කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම ( 2 )








සිංදුවටයි මටයි මුහුණුපොතේ සුභපතලා මේ ළගදී මල්ලි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබුණා . ඒ මල්ලි කියලා තිබුණා අඩු වයසකින් මේ දේවල් ගැන අත්දැකීම් ලබන්න මම වාසනාවන්තයි කියලා  . ඉතින් ඒ වාසනාව එක්කම යන්තර මන්තර ගැන ලිව්වට මට තාම කියන්න බැරි උනානේ මේවා ගැන හොයන්න මට ආසාවක් ඇති උනේ ඇයි කියල .

 මම ඉපදුන වෙලාවේ කේන්දරේ හදපු කෙනා කේන්දරේ පලාපල කියනකොට ඒකෙ කියලා තිබුණා මම ඉපදෙනකොට මට ලබලා තිබුණ ග්‍රහයා එච්චර හොඳ නෑ කියලා . මම ඉපදිලා තිබුනේ අඟහරු ග්‍රහයාට අයිති වෙලා තිබ්බ කාලෙ ඉවර වෙන්න සති දෙකක් තියාගෙන .

සති දෙකෙන් එහෙමම අඟහරුගේ කාලේ ඉවර උනා . ඊට පස්සේ අවුරුදු 18ක්ම දෙයියනේ කියලා රාහු ග්‍රහයාගේ කාලේ ගෙව්වේ . සමහරවිට පොඩිකාලේ අත්දකින්න ලැබුන දේවල් , මම දැන් ජෝතිෂ දේවල් කියවලා බලලා දන්න දේවල් එක්ක ගළපලා බැලුවම ඒ කිව්ව දේවල්වල මහලොකු වැරැද්දකුත් නෑ කියලා හිතෙනවා . මොකද රාහු කියන්නේ ඔලුවක් නැති කඳ විතරක් තියෙන රූපයකින් පෙන්වන ග්‍රහයෙක් නිසා . ඒ කාලේ වැඩිපුර කරේ ඔලුවට මුල්තැන නොදී වෙන වෙන තැන් වලට මුල් තැන දීලා කරපු වැඩනේ . හිහ් හිහ්..







මේ මොනවා උනත් පොඩි කාලේ මට උන හැදුනම අපේ අම්මටත් වඩා ආච්චිඅම්මා හරියට බය වෙනවා . කේන්දරේ කතා නිසාද , නැත්නම් මට අමාරු වෙන නිසාද කියලා දන්නේ නෑ ඒ බය වීමට හේතුව . ඒ කාලේ උණක් හැදුනත් වයලීනෝ දුර්වල වෙලා ඇඳට වැටෙනවා හරි ඉක්මනට . දැන් තමයි ඒ ගතිය අඩු . ඒත් ඉඳලා ඉඳලා උණක් හැදුනොත් ටිකක් තදට ඒ උනේ හැදෙනවා . ඉතින් අපේ ආච්චිඅම්මා ඒ කාලේ මාසෙකට වතාවක් වත් මට වතුර කලයක් මතුරලා බොන්න දෙනවා . මට උන හැදුනම බෙහෙත් ගන්න යනකල් ගින්දර වගේ රත් වෙන නළලට අත තියාගෙන ඒ වතුර මතුරන මන්තර ටිකම කිය කිය ආච්චි අම්මා මට මතුරපු වාර ගණන මෙච්චරක් කියලා කියන්න බැහැ .

වැඩිපුරම මතුරන්න ඇත්තේ මට ඇපෙන්ඩිසයිටීස් හැදිච්ච දවස්වල . එතකොට මම හතර වසරේ . ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න බැරුව සමහර දවස් වලට චෙක් කරන්න ගියාම හතර පස් පලක්ම විද විද ලේ ගන්නකොට ගෙදර අය ගොඩක් බයෙන් හිටියේ . පස්සේ කාලෙකදී ආච්චි අම්මට වයස වැඩි වෙනකොට මතුරන එක නැවැත්තුවා . ආච්චි අම්මා අපිව දාලා ගියා . ඒත් තාමත් මට ඒ මන්තර සද්දේ ඇහෙනවා ඇහෙනවා වගේ .ඒ හඬ තමයි මට ආසාවක් ඇතිකරවන්න ඇත්තේ .





එක මන්තරයක් තියෙනවා ......ත්‍රී භුවන ග්‍රහණ දිෂ්ටි ගං....... කියලා පටන් ගන්න එකක් . ඕකත් අපේ ආච්චිඅම්මා ඉස්සර කියනවා . ඒක බඩේ අමාරු වලට උනට වගේ ඒවාට මතුරන එකක් . ඒකෙ ඔය තියෙන දිෂ්ටි ගං කියන කෑල්ල මට හෙනට වැදිලා තිබ්බේ . පොඩි කාලේ මම ආතල් එකට වගේ

දිෂ්ටි ගං දිෂ්ටි ගම්මිරිස් දිෂ්ටි

කියලා කිය කිය ගෙදර කෑගහනවා . ආච්චි අම්මටත් හිනා ඉතින් මම බට්ටා වගේ ඕක කිය කිය කෑගහනකොට .

මම අපේ පවුලේ අයට වෙද නමක් ගෑවිලා තියෙන නිසා ඒ ඇඳුනුම්කම් නිසාම පරපුරවල් කීපයකටම අයිති මන්තර ගුරුකම් ගැන ලියවිච්ච පොත්පත් ගොඩක් කියෙව්වා . සාපෙළ කරලා ගෙදර ඉන්න කාලේ වගේ තමා වැඩිපුරම මේවා ගැන හෙව්වේ . ඒ පරපුරවල් වලින් සමහර පරපුරවල් දැන් නැවතිලා . ඒ කියන්නේ මුකුත් ඒ දේවල් කරන්නේ නෑ . ඒත් සමහර පරපුරවල් තාම වැඩ .

වැඩිපුරම කියවන්න ලැබුනේ පහතරට ගුරුකම් . ඒත් උඩරට පළාතේ ගුරුකම් වගේම නුවරකලාවිය පැත්තේ කෙරෙන මේ වගේ ගුරුකම් වලට අදාළ දේවල් ගැනත් කියවන්න ලැබුණා . අඩුවෙන්ම අත්දකින්න ලැබුණේ මලයාලම් ගුරුකම් ගැන . ඒත් ඒ ගැන සාමාන්‍ය දුරකට හොයාගන්න ලැබුණා . ඒ ඔක්කොම ගැන සලකලා බලලා තමයි මෙයින් පස්සේ මේ කොඩිවින ගැන ලියවෙන පෝස්ට් ටික ලියන්නේ .







කොඩිවින උපත ගැන කියනකොට මට ඉස්සෙල්ලම මතක් වෙනවා හත් අඩියේ ගුරුකම කියලා තියෙන කොඩි වින කැපීමේ මහා ශාන්තිකර්මයේ කියවෙන වින උපත ගැන කියන කවි කීපයක් . කීපයක් කිව්වට කීපයක්ම නෙවේ . ටිකක් වැඩිපුර කවි එකතු කරන්නම් . මොකද මේකෙ විස්තර හලන එක අපරාදේ නිසා .

පළමු කප නැසුණි මේ කුළු වසින ජල ගලා
දෙවැනි බඹ උපත සම්මත නිරිඳු රජ කළා
එවෙනි දෙව් ලොවට ගිය කල ගන්න බැරි වෙලා
පෙනුනි රජ හැඳින වසවතු බිසව සිහි වෙලා

පැළඳ ආභරණ සම්මත රජුසෙ සැරසිලා
බොලඳ කල කථා මාලිග ජනෙල අත හෙලා
පැළඳ බිසවු යහනෙන් නැගී එදෙස එන කළා
රළුද ගුණ ඇඳින දාසිය පුවත ඒ බලා

කරන ලද වෛර වසවතු පුවත කල එලී
දෙරණ පිට එලා නාරජ අසා මැසිවිලී
සරණ නොවැ බිසව නැසුමට සොයා වින බැලී
මරණ ලෙස නපුරු පොළගෙකු මවා බිම හෙළී

විස්වාසෙට උන්නු බිසවු සෙනෙහෙ වඩාලා
රොස්ව එවසවතු කල වින වැදුනි ලැබ ඉඩා
අස්ව බිසවු සිටිති බොජුන් නොලැබ මේ වඩා
රැස්ව එපුර සියලු දෙවියො සිටිති අඬ අඬා

එවිට එනාරද නම් මුනි වඩින කාරනු
ඇසට ඇස රවා යකු බැලු කලට බිය උනූ
කූට වසවතා ගැසූ වින යකා තද උනූ
මීට කොයි උපා නොදැනම අඬන කාරනු

රොස්ව වසවතා ගැසූ වින යකා මහ ගරු
ලක්ෂ එරන් කෙන්ඩි අතින් රැගෙන පැන් පිරූ
තොස්ව පන යේය එක් පැය ගිලන් වෙන තුරු
විෂ්ණු ගෙන්නවා නාරද අසා තොරතුරු

යන්ඩ දිවි නොදී රකිනට බැරිව කල වැඩේ
උණ්ඩ දුන් පඬුරු රන් මුතු මැණික් දී ගොඩේ
එන්ඩ දෙව් ලොවට බුදු රැස් ඇරපු එක විඩේ
යන්ඩ ඔඩිස කුමරුන් ළඟ උනා පණිවිඩේ

විෂ්ණු අජා කූටෙට වැඩ කියා සිතු ලෙසින්
තොස්ව නයි බරණ සියො ළඟ දරා ලේ පොළොන්
රොස්ව හඬ තලා බියකරු මකා වින යකුන්
විෂ්ණු දෙවි සමග සම්මත පුරට නික්මෙමින්

රුවන් උස මහත් වෙස් ගෙන නිකට අද වෙලා
අතින් මිණි කඩුව නියපිට රැගෙන ලෙළවලා
සෙමෙන් ඉස පොවා බැලු කල රජුන් බියවෙලා
බයෙන් වින යකා ගීය රඟ මුදුන හිස පලා

ඔය කවි වලින් ෂෝට් කරලා කියන්නේ වින උපත ගැන . ඔන්න ඔහොමලු වින ඉපදුනා කියන්නේ . මම කියන්නම්කො කතාව . මෙන්න මෙහෙමයි කොඩිවින සහ ගුරුකම් ඉපදුනා කියන්නේ . වසවර්ති මාරයා කියලා එක්කෙනෙක් ඉන්නවනේ . ඔය වසවර්ති මාරයාටයි විෂ්ණු දෙවියන්ටයි ගණුදෙනුවක් තිබුණා . ඒකෙ හැටියට විෂ්ණුගේ නැගෙණිය වෙච්ච මැණික්පාල කුමරියව වසවර්ති මාරයාට විවාහ කරවලා දෙන්න තමයි තීන්දු වෙලා තිබුනේ . ඒත් විෂ්ණු උපායශීලීව තමන්ගේ නංගිව මහාසම්මත රජතුමාට විවාහ කරවනවා .

ඔයින් පස්සේ වසවර්ති මාරයා විෂ්ණු එක්ක තරහෙන් හිටියේ . පස්සේ ඒකට පලි ගන්න ඕන කියලා දවසක් මහාසම්මත රජතුමා මාලිගාවෙන් පිටත්වෙලා ගිය වෙලාවක මහා සම්මත රජතුමා වගේ වෙස් පෙරලාගෙන වසවර්ති මාරයා එනවා මහාසම්මත රජතුමාගේ මාළිගාවට . එහෙම ඇවිත් මැණික්පාල බිසව ඉන්න සිරියහන් ගබඩාවට යනවා . මේ වෙලාවේ මැණික්පාල බිසවට තමන්ගේ ස්වාමියාගේ වෙනසක් තේරුණ නිසා අහනවා ඇයි ස්වාමීනී අද කලින්ම ආවේ කියලා .






පස්සේ වසවර්ති මාරයා තමන්ගේ ඇත්ත වෙස් අරගෙන කියනවා විෂ්ණු මාව රැවට්ටුවා . ඒකෙ පලිය මම තමුන්ගෙන් ගන්නවා කියලා . ඒ කියලා වසවර්ති මාරයා විෂ දූමයක් පිට කරන පොළගෙක්ව මවලා මැණික්පාල බිසවගේ පැත්තට දමලා ගහනවා . මේකෙන් මැණික්පාල බිසව ලෙඩ වෙනවා . ඔන්න ඔතනින් තමයි වින ඉපදුනා කියලා කියන්නේ . මන්තර සාහිත්‍යයේ එන පළවෙනි විනය ඒක තමයි .

ඔතනදී කරන විනය කපන්න විෂ්ණු , ඔඩ්ඩි කියලා අසුරයෙක්ට භාර කරනවා . ඒ අසුරයා තමාගේ ගාස්තුව විදියට ඉල්ලන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න අවස්ථාව ලබාදෙන්න කියලා කියන එක . වැඩේ කෙරෙන්න ඕන නිසා විෂ්ණු ඒකට කැමති වෙනවා . පස්සේ ඔඩ්ඩි කියන අසුරයා විනය කපලා මැණික්පාල බිසව සනීප කරනවා . එතන ඉඳලා ඔඩ්ඩි කියන අසුරයා දිව්‍යලෝකේ වාසය කරනවා තමන්ගේ ගණුදෙනුවේ කියලා තියෙන හැටියට .

ඒත් එල හරකයි මී හරකයි එකතැන තියන්න බැහැ කියනවා වගේ අසුරයාට සුරයින් එක්ක එකට ජීවත් වෙන්න බැරි වෙනවා . අසුරයෙක් තමන් එක්ක ජීවත් වෙනවට සුරයින් කැමති වෙන්නෙත් නෑ . මේ නිසාම සුරයින් කරන්නේ මේ ඔඩ්ඩි කියන අසුරයාව දිව්‍යලෝකෙන් එළවලා දාන එක . ඊට පස්සේ මේ ඔඩ්ඩි කියන අසුරයා සූනියම් යකා බවට පත්වෙලා පොළවට ඇවිත් මිනිස්සු මර මර මිනිස්සුන්ට හදි හූනියං කරන කර මනුස්ස ලෝකය විනාශ කරන්න පටන් ගන්නවා . දැන් සූනියම් යකා නරලොව විනාශ කරනවා කියල ආයෙත් දිව්‍යලෝකේ දෙවිවරු කතා වෙනවා . මේකට පිළියමක් විදියට සක්‍ර දේවේන්ද්‍රයා කියනවා සූනියම් යකාව දමනය කරන්න පුළුවන් කෙනෙක් මනුස්ස ලෝකෙට යන්න කියලා .






පස්සේ ඒකට සමත්කම තියෙන දෙවි කෙනෙක්ව දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකේ ඉපදෙනවා . එයාගේ නමත් ඔඩ්ඩි . මේ ඔඩ්ඩි කියන කෙනා පොලවට ආවා කියලා සූනියම් යකා දැන ගන්නවා . යකා මේ ළමයා කවුද කියලා හොයාගන්න බැරුව රටින් රට ගිහින් ළමයින් ගැන හොයමින් ඒ ළමයින් ගැන සැක හිතුනොත් එයාලට ලෙඩ හදමින් රටවල් විනාස කරා . ඒත් හරි ඔඩ්ඩි කවුද කියලා මේ සූනියම් යකාට හොයා ගන්න බැරිවෙනවා .

පස්සේ මේ ඔඩ්ඩි කියන දිව්‍ය ලෝකෙන් ආව කෙනා බමුණන්ගෙන් සෘෂිවරුන් ගෙන් මන්තර ශාස්ත්‍රය එහෙම ඉගෙන ගන්නවා . ඒ ශිල්පය ගැන හොඳට ඉගෙනගෙන වඩිග රටේ වඩිග රජ්ජුරුන්වන්ට මන්තර සාත්තරෙන් උදවු උපකාරකරන රාජකීය ඇදුරු තුමා බවට පත් වෙනවා . මේ වඩිග රජතුමා මිටි කෙනෙක් . ඒ කියන්නේ කුරු කෙනෙක් . ඒත් රාජ බිසව ලස්සන කුමාරිකාවක් . මේ අතරේ සූනියම් යකා හොයා ගන්නවා ඔඩ්ඩි කියන කෙනා ඉන්නේ වඩිග රජ්ජුරුවන්ගේ රජ මාලිගාවේ කියලා . පස්සේ සූනියම් යකා උපායකින් මේ ඔඩ්ඩිව විනාශ කරන්න කල්පනා කරලා ඔඩ්ඩිගේ ඇඟට ආවේස වෙනවා .

පස්සේ ඒ ආවේසය නිසා ඔඩ්ඩිගේ සිත වෙනස් වෙලා රාජ බිසව ඉන්න කුටියට යනවා . ගිහින් රජ බිසව එක්ක මෙව්වා කරන්න සෙට් වෙනවා . බිසවත් බෝරින් වෙලා හිටපු මිටි රජතුමා වෙනුවට තමන්ට සෙට් වෙච්ච මේ ලස්සන තරුණ ඔඩ්ඩිට කැමති වෙනවා . ඔහොම සෙට් වෙලා අන්තිමට දෙන්නම සිරියහන් ගබඩාවේ ඇඳට වැටෙනකොටම සූනියම් යකා රජ බිසවගේ කටහඬින් කෑගැහුවා මෙන්න මේ ඔඩ්ඩි මට කරදර කරන්න හදනාවා කියලා . පස්සේ රාජ පුර්ෂයෝ ඔඩ්ඩිව අල්ලගන්නවා .






නඩුව අහත්දී උනත් ඔඩ්ඩි කිව්වට තමන් හිතා මතා එහෙම කරේ නෑ කියලා රජතුමා ඒක පිළිගන්නේ නෑ . ඒ නිසාම ඔඩ්ඩිට මරණ දණ්ඩනය නියම වෙනවා . දිව්‍ය ලෝකෙන් ආව කෙනෙක් මරන්න දෙන්න බෑ කියල සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා . පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා වඩිග රජතුමාට දෘශ්‍යමාන වෙලා කියනවා ඔඩ්ඩිව මරන්න එපා එයා වැරදි නෑ කියලා . පස්සේ වඩිග රජ තුමා ඇත්ත තේරුම් ගන්නවා . ඒත් රජ බිසවට වෙච්ච අවමානය නිසා ඔඩ්ඩිව රටෙන් පිටුවහල් කරන්න කියලා නියෝග කරනවා . මේ ඔඩ්ඩි පස්සේ කාලෙකදී ඍෂිවරු ඉන්න පළාතකට පිටුවහල් කරනවා .

මෙයා මන්තර සාත්තරේ අනුව මන්තර හදලා ලියලා ගුරුකම් කරලා සූනියම් යකා බන්ධනය කරලා සූනියම් යකාගෙන් පොළවේ ඉන්න මනුස්ස ජනතාව බේරා ගත්තා .

මේ ඔඩ්ඩි , ඔඩ්ඩි සෘෂි තුමා කියලා හැඳින් වුනා . මේ ඔඩ්ඩි ඍෂි තුමා මන්තර ගුරුකම් රාශියක් රචනා කර කර පොත්වල ලිව්වා . පස්සේ ලංකාවට මේ ගුරුකම් ලියවුනු පොත් රාශියක් ලැබුණා . වඩිග පටුන නර්තනයේ දැක්වෙන වඩිග බමුණෝ අතේ පුස්කොල පොතක් තියාගෙන ඉන්නවා ඔයාලා දැකලා ඇති .






මම හිතන්නේ මේ වඩිග බමුණෝ නවදෙනා තමයි ඒ ඔඩ්ඩි මන්තර පොත් අරගෙන ලංකාවට ආවේ කියලා . මේ පොත්වල වින මන්තර වගේම වින කපන මන්තරත් ලියවිලා තිබුණා . මිනිස්සු මේවායින් වැඩිපුර ඉගෙනගත්තේ වින කරන මන්තර . වින කපන මන්තර කියලා ඉගෙන ගත්තේ හරිම ටිකයි . ඒ නිසා ගුරුකම් ශාස්ත්‍රයේ අද කාලේ වෙනකොට වින කපන මන්තර වලට වඩා වින කරන මන්තර වැඩි වෙලා තියෙනවා . මම උඩින් ලියලා තියෙන කතාව වගේ ඒ කිට්ටුවෙන් යන තවත් කතා තියෙන්න පුළුවන් . ජනශ්‍රැතියේ එන කතා මේවා . ඒ නිසා ඉතින් ටික ටික වෙනස් වෙන්න පුලුවන් නේද :)

ඔය මන්තර පොත් ආවේ මාතර පැත්තට කියලත් මතයක් තියෙනවා . ඒ නිසා මාතර පැත්තේ මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ උනා කියලාත් කියනවා . ඒ නිසාම මාතර පීතරලා සෙල්ලම් නෑ හරිය ? හිහ් හිහ් හිහ් . ඔන්න ඔහොමයි කොඩිවින ඉපදුනා කියන්නේ . අපි ඊළඟ පෝස්ට් එකෙන් බලමු කොඩිවින වර්ග මොනවාද කොඩිවින කරන්නේ කොහොමද කොඩිවින කරන මන්තර වල තියෙන්නේ මොනවාද කියලා . එහෙනම් ඒ පෝස්ට් එකෙන් එනකල්






ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


( පොඩි දෙයක් කියන්න ඕන . අපි ලියන ලිපි වලට අපි ගොඩක් පින්තූර එකතු කරන්නේ ගූගල් ඉමේජ් සර්ච් කරලා . ඒ පින්තූරවල මුල් අයිතිකරුවන් ගැන හොයලා ඒ අය ගැනත් බ්ලොග් ඒකෙ සඳහන් කරන එක ටිකක් කරදර වැඩක් . අපි එහෙම ෆොටෝ දාන්නේ ලියලා තියෙන දේ ඔයාලගේ ඔළුවට යන ඒක ලෙහෙසින්ම කරන්න ඒ පින්තුර හේතු වෙන නිසා . නැතුව ඉතින් මේ පින්තූර අපේ ඒවා කියලා කියන්න අපිට කිසිම උවමනාවක් නෑ . අනික අපේ බ්ලොග් එකෙන් කරන්නේ ලිවීම මිසක් පින්තූර පබ්ලිෂ් කිරීමක් නෙවෙයිනේ . ඉතින් යාලුවනේ අපි එහෙම දාන පින්තූරවල සමහරවිට ඔයාලා ගත්ත පින්තූර උනත් තියෙන්න පුළුවන් . නොකියාම ඒවා අරගෙන නමක් සඳහන් කරන්නේ නැතුවම දැම්මට සමාවෙන්න ඕන . ඒ වගේම ඒ පින්තූර සයිබර් ගතකරාට ඔයාලට ගොඩක් ස්තූති )

Wednesday, December 24, 2014

කූට දත්ත මසුරු වෙළෙන්දූ - වෙළඳ සුරින්දූ







කැම්පස් ගියාම එපාවෙන ප්‍රධානම අප්සැට් එකක් තමයි දිව පිනන අම්මා අතින් උයන කෑම පිඟාන මිස් වෙන අවුල . වයලීනෝගේ ගෙදරත් කෑම උයන්නේ මාතර පදමට නිසා වයලීනෝ කොහෙන් කොහොම කෑවත් ලුණු ඇඹුල් මිරිස් තුනපහ ගැන මනා විමසිල්ලෙන් ඉන්නේ . ගෙදරනම් ලුණු පොඩ්ඩක් මිරිස් පොඩ්ඩක් එහා මෙහා උනාම දන්න අඩව් කස්තිරම් ඔක්කොම අල්ලනවා .

ලීඩර් ෂිප් ට්‍රේනින් එකට ගිය දවස්වල ඒකෙ වෙන මහන්සියයි , මහන්සිය නිසාම හැදෙන බඩගින්නයි නිසා දෙන ඕන මගුල කාලා දැම්මා . ඒත් ඒ පුරුද්ද ආයෙත් අප්සැට් උනේ කැම්පස් ගියාට පස්සේ . හම්මේ කැන්ටිමේ බත් එක . කියලා වැඩක් නෑ . දිව්‍ය බෝජන පරාදයි , කිව්වේ දෙවියන්ගේ කුස්සියේ වැඩ කරන එකා කන කෑම එක පරාදයි .

ඒ නිසාම වයලීනෝ කටින් කකා හිටපු කෑම පිටින් කන්න පටන් ගත්තා . ඔහොම පිටින් කන්න පටන් ගත්තට පස්සේ කැම්පස් එක කිට්ටුව තියෙන කෑම කඩ ඔක්කොම වගේ පරීක්ෂා කරා වේල වේල ගානේ කාලා . පස්සේ කඩ දෙකක් පරීක්ෂණයෙන් සමත් උනා .





ඔයින් එක කඩයක් කරන්නේ අක්කා කෙනෙක් . අක්කා කෙනෙක් කිව්වට ඉතින් මේ අක්කා එයාහේ හස්බන්ඩා අයියත් එක්ක තමා කඩය කරගෙන යන්නේ . දවසක් අක්කා ගාව මාරු සල්ලි නෑ කියලා මගෙන් කෑම එකට සල්ලි ගත්තේ රුපියල් 10ක් අඩුවෙන් . පහුවෙනිදා මම කෑවේ අනිත් කඩෙන් . ඊටත් පස්සේ දවසේ ආයෙත් මේ අක්කගේ කඩෙන් කාලා සල්ලි දෙනකොට අක්කට මම කිව්වා " අක්කේ ඉතුරු සල්ලි වලින් තව දහයක් ගන්න පෙරේදා සල්ලි අඩුවෙන් ගත්තේ " කියලා . ඉතින් අක්කා සල්ලි අරගෙන මට ටැංකු මල්ලි කියලත් කිව්වා .

බත් කඩේක අක්කෙක් ටැංකුයි කියලා කිව්වමයි . පස්සේ මම දිගටම ඒ කඩෙන්ම කන්න ගත්තා . අක්කා ඉතින් අපි අක්කා කියලා කිව්වට අපේ අම්මට වඩා ටිකක් විතර තමා වයසින් බාල . අක්කා අපෙන් හැමදාම බත් එක බෙදන ගමන් අහනවා කොහොමද මල්ලි අද උගන්නපුවා තේරුනාද ? එක්සෑම් ලේසිද ? කෝ අද යාලුවා දැක්කේ නැහැනේ සනීප නැතුවද ? කියලත් .

දවසක් මමයි මගේ කුටියයි කෑම කනකොට අක්කා ඇහුවා අද කොහොමද මල්ලි එක්සෑම් කියලා . පස්සේ මගේ කුටියා කිව්වා හම්මෝ අක්කේ එක්සෑම් කෙසේ වෙතත් නිදි මරලා එපා වෙලා ඉන්නේ කියලා . අක්කගේ මහත්තයා අයියත් එතන හිටියා සල්ලි ගණන් කර කර . අයියා කියනවා අපි දෙන්නට ,






" හපෝ මල්ලි ඔයාලට නිදි මරන්න තියෙන්නේ මේ ටික විතරයි . අපි දෙන්න හැමදාම නිදාගන්නේ 12ට ආයෙත් 3ට නැගිටිනවා . ජීවිතේම එහෙමම තමයි . ඔයාලා හොඳට ඉගෙන ගෙන ලොකු මහත්තුරු වෙන්න .එහෙම වෙලා කාර් එකක් එහෙම අරගෙන ඒකෙන් යන දවසට අපේ කඩේටත් එන්නකෝ මේ වගේම බත් කටක් කාලා යන්න " කියලා .

මේ අක්කගෙයි අයියගෙයි මනුස්සකම ගැන මම හැමවෙලේම වගේ කල්පනා කරා . එක අතකට එයාලාගේ කපටිකම වෙන්නත් පුළුවන් ඒක . මොකද ඕක මාකටින් ට්‍රික් එකක් වගේ . මිනිස්සු එක්ක ලඟින් ආස්සරේ කරනකොට තමන්ගේ භාණ්ඩ හා සේවාවන් මාකට් කරන්න පුළුවන් දලමට . ඒත් කාලයක් ආස්සරේ කරාම හිතුනා ඒ එයාලගේ කපටිකමක්මත් නෙවෙයි කියලා . මොකද එයාලා අපිට කතා කරන්නේ අපේම නෑදෑයෝ වගේ . වෙලාවකට අම්මා තාත්තා වගේම අපිට් අවවාද දෙනවා .

මේ ලඟදි දවසක් දැක්කා අක්කගේ ජීවිත කතාව පත්තරේ දාලා තියෙනවා . ඒ පත්තර කොලේ අක්කා කඩේට එන අයට පේන්න කඩේ බිත්තියේ අලවලා තිබුණා . ඉතින් දවසින් දවස බත් කන ගමන් පොඩ්ඩ පොඩ්ඩ ඕක
කියෙව්වා . බලනකොට අක්කත් මාතර ඩයල් එකක් . මට කෑම එකත් අල්ලලා ගියේ අක්කලා උයන්නේ මාතර රහට නිසා වෙන්න ඇති කියලා හිතුනා .

කතාවෙන් අපිව අල්ලගෙන අපිට බත් කවලා හම්බ කරන මේ අක්කයි අයියයි කූට දත්ත මසුරු වෙළෙන්දන් උනත් අක්කා මාතර කියලා දැනගත්තට පස්සේ අක්කා කොහෙද කියලා දැනගන්න හෙන උවමනාවක් තිබුණා . මම ඉතින් දවසක් ඇහුවා අක්කාගෙන් අක්කා මාතර කියලා පත්තරේට කියලා තියෙන්නේ මාතර කොහෙද අපේ මහ ගෙවල් තියෙන්නේ සිංහාසන පාරේ කියලා . පස්සේ ඉතින් යනු එනු ගැන කියනකොට අක්කා අපේ නෑයොන්ගේ ගෙවල් වලත් යන එන ආස්සරේ කරන එක්කෙනෙක් .







මමත් බාගෙට මාතර පීතර කෙනෙක් කියලා දැනගත්තම අක්කා මට කියනවා " මේ පැතිවල අය දන්නේ නෑ මල්ලි බිස්නස් කරන්න . වැඩි හරියක් මෙහෙ බිස්නස් කරන අය කෝහෙද කියලා බැලුවොත් හැමෝම වගේ දකුණේ අය තමයි " කියලා .

තව සිද්දියක් තියෙනවා අද ගීතයත් එක්ක බැඳුනු .

උඩ සීන් එකට වඩා මටනම් මෙන්න මේ සීන් එක ආතල් . සෙනසුරාදා දවස් වලට වයලීනෝ වැඩි හරියක් සමන් දේවාලේ යනවා කියලා ගොඩක් දෙනෙක් මගේ පොස්ට් කියවන අය දැන් දන්නවා ඇතිනේ . ඔහොම ගිය දවසක බෙල්ලේ එල්ලන්න මොකක් හරි ගන්න ඕන කියලා තොරොම්බෝල් කඩ කීපයක් වටේ කැරකුනා .






ඒ කැරකි කැරකි ඉන්නකොට මතක් උනේ වයලීනෝ බබා කාලේ වයලීනොගේ ආච්චිඅම්මා වයලීනොගේ බෙල්ලේ එල්ලපු ගජ්මදාරා සුරේ . ඒක මොඩිෆයි කරන්න මොකක හරි ගත්තනම් හරි කියලා හිතලා කොටි දතක් වගේ ප්ලාස්ටික් වලින් හදලා තිබ්බ අයිටම් එකක් දැකලා අතට ගත්තා .

කඩේ හිටියේ අවුරුදු 30ක් විතර වෙන අයියා කෙනෙක් . ඌ නැගිටලා එතන හිටපු අවුරුදු 10ක විතර පොඩි එකෙක්ට කියලා ගියා " මම  කාලා එනකල් කඩේ බලාගන්න " කියලා . මම ඉතින් අර අතට ගත්ත කොටි දත වගේ එක අල්ලන් ඒ පොඩි එකාට කිව්වා " ඔයා දන්නවද මේවායේ ගණන් කොහොමද කියලා " කියලා .

පස්සේ ඒ පොඩි එකා කියනවා මහත්තයා මොකද්ද ගන්න බැලුවේ කියලා . මම ඒ කොටි දත වගේ අයිටම් එක නූලත් එක්කම අරන් ඌට පෙන්නුවම මෙන්න මූ කියාපි

" මහත්තයා ඕක එකසිය හතළිහක් වෙනවා එකසියදහයට වගේ දාලා දෙන්නම් " කියලා . මම ඩිම් උනා පින්වතුනී . සමන් දෙවියන්ගේ පිහිටෙන් තමා ආයෙත් පත්තු උනේ . ඒ කඩේට අල්ලපු කඩේ හිටිය මැදි වයසේ ඇන්ටි කෙනෙක් . ඒ ඇන්ටි එවෙලේ ඇර පොඩි එකාට කතා කරලා අහනවා

" ඒ කොල්ලෝ මේ සෙල්ලම් ඩෝසරේ කීයටද දෙන්න ඕන කියලා . ඌ කියාපි එතකොට ඕක දෙසිය හැටක් වෙනවා . දෙසිය තිහකට දාලා දෙන්නම් " කියලා . මම එවෙලේ ඩිම් වෙච්ච ඩිම් විල්ල පත්තු උනේ ආයෙත් ගෙදර ආවටත් පස්සේ . මම ඇර කොටි දත් අයිටම් එක අරගෙන එකසිය හතළිහම දුන්නා පොඩි එකෙක්නෙ කියලා . මෙන්න ඌ මට තිහක් දීලා කියනවා කමක් නෑ මහත්තයා එකසිය දහය ඇති කියලා . මූ ලොකු උනාම යකෝ සමන් දෙවියොත් මාකට් කරන සයිස් එකේ එකෙක් .

ඔන්න ඔහොමයි වෙළඳාම කියන එක . බස් එකකට නැග්ග වෙලේ ඉඳලා කී දෙනෙක් කීයක් ඒවා වෙළඳම් කරනවද . ඒවා ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැනේ . පහල ඇති එහෙම වෙළඳාම් කරන කීප දෙනෙක් බස් එකේ බෙදන කොළ වල ෆොටෝ දෙක තුනක් මම ගත්ත ඒවා .










මේවා ඔක්කොම එක්ක මට මතක් උනා මෙන්න මේ ගීතය මේ සිද්දිත් එක්ක ගැළපෙනවා කියලා . අද මේ ලිව්වේ ගීතයේ තේරුම කියා දෙන්න නම් නෙවෙයි . මට ඕන උනේ වැඩිපුර ඇහෙන්නේ නැති මේ ගීතය ඔයාලට මතක් කරලා දෙන්න විතරයි .

සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ පුලඹරේ
කූට දත්ත මසුරු වෙළෙන්දූ 

වෙළඳ සුරින්දූ 

සිනහ සපිරි මුසා බසින් හිත රවටන්නා 
නෙත පිනවා හිත රවටා අත පුරවන්නා 
පින් නොලදත් දන් දෙන්නට තරඟ වදින්නා 
කූට දත්ත මසුරු වෙළෙන්දූ 
වෙළඳ සුරින්දූ 

නුවරුන්ගේ දුක් ගින්දර සංසිඳවන්නා
සුරලොව සැප සැනෙකින් මිහි මතට ගෙනෙන්නා 
කල දුටු කල වල ඉහිනා සිරිත රකින්නා 
කූට දත්ත මසුරු වෙළෙන්දූ 
වෙළඳ සුරින්දූ 

ගායනය - අමරසිරි පීරිස් මහතා 




මේ ගීතය මට ඉස්සෙල්ලම අහන්න ලැබුණේ ටිකක් ඉස්සර කාලේ . වී ජේ මු ලොකුබණ්ඩාර මහත්මයා කථානායක වෙලා ඉන්න කාලේ කථානායක නිල නිවස ඉස්සරහා දෙසැම්බර් 31 දවසක සංගීත සංදර්ශනයක් පවත්වපු එකක් ටීවී එකේ පෙන්නුවා . ඒක සංගීත සංදර්ශනයක් කිව්වට බුංගු හුචාන් එකක්මත් නෙවේ . හොඳ අහන්න පුළුවන් ගීත තමා ගායනය කෙරුනේ . මෙන්න මේ ගීතය මට ඉස්සෙල්ලම අහන්න ලැබුණේ එදා තමයි . ඒක අලුත් සහ සිත් ගන්නා සුළු නිසා මතකයේ රැඳුනා . ඒත් ආයෙත් ගීතය හොයාගන්න ඒ කාලේ නෙට් වත් තිබුනේ නෑ . රේඩියෝ වලත් මේ ගීතය වැඩිය වාදනය වෙනවා ඇහුනේ නෑ .

ලියන්න ඕන කියලා හිතුන නිසා හොයලා බලනකොට තමා ගීතය හොයාගත්තේ . එහෙනම් ඔයාලත් අහලා බලන්න . තේරුම මොකක්ද කියලා අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ . සරල පදවැලක් වගේම සරල සංගීතයක් තමයි මේකේ තියෙන්නේ . සංගීතය සහ පද රචනය කවුද කියලා හොයාගන්න උනේ නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න .






එහෙනම් ආයෙත් මොකක් හරි ලියාගෙන එන්නම් . ගීතයත් අහලාම යන්න

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

Monday, December 22, 2014

ඇත් සොහොන් සංකල්පය






පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක කිට්ටුව නවත්තලා ලන්ච් අවර් එකේ අම්මවත් දාගෙන තමා එන්නේ . අම්මා ත්‍රීවිල් එකට නැග්ගම මම වැඩි හරියක්ම අම්මගේ උකුලට පැනලා ඒ ටික දුරටත් නින්දක් දානවා .

දවසක් ඔහොම එනකොට අපේ ත්‍රීවිල් එක ඉස්සරහට ආවා අපේ සබරගමුව මහ සමන් දේවාලේ අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් ගොයම් කපාගෙන වී කරල් මිටිය දේවාලෙට වැඩම කරවන පෙරහැර . මම ඉතින් නින්ද පැත්තක තියලා ත්‍රීවිල් එක නවත්තන්න කියලා පෙරහැර යනකල් බලාගෙන හිටියා මට මතකයි . මේ අලුත් සහල් මංගල්‍යය ගැන මම ඉස්සර මගේ බ්ලොග් එකේ සවිස්තරව ලිව්වා .

මෙන්න මේ ලිපියේ ඇති ඒ චාරිත්‍ර වාරිත්‍ර ගැන . අලියෙක් පිටේ තමයි මේ වී කරල් මිටිය වැඩම කරවන්නේ . එවෙලේ ඔන්න ඔය අලියා දැකලා අපේ තාත්තා කිව්වා " ආ අද ටවුන් එකේ කට්ටිය කතා උනා ඇහුනා ඇන්ටන් අප්පොගේ අලියෙක් වලව්වේ ටොයිලට් වලක් කඩාගෙන වැටිලා මැරිලා " කියලා .





ඇන්ටන් අප්පෝ කියන්නේ මෑත කාලයේ සබරගමුව මහ සමන් දේවාලය සංවර්ධනය කරපු බස්නායක නිලමේ තුමා  . දැනට අවුරුද්දකට කලින් වගේ එතුමා මිය ගියා . එතුමා තමයි දේවාලේ ගොඩක් ඉඩම් එහෙම නිරවුල් කරලා පූජා නගර ව්‍යාපෘතිය යටතේ දේවාලේ තියෙන ගරාවැටුන ගොඩනැගිලි අලුත් කරලා , තාප්ප බන්දලා දේවාලේ හැදුවේ . එතුමාට අලි ඇත්තු හිටියා . දළදාව වැඩම කරවපු සුප්‍රසිද්ධ " රත්නපුර මුද්දුව වලව්වේ විජේදන්ත " කියන ඇතා මෙන්න මේ ඇන්ටන් අප්පොට අයිති ඇතෙක් .

කොහොම හරි මට කියන්න ඕන උනේ අලියෙක්ගේ මරණයක් ගැන අහන්න මට ලැබුණු වඩා........ත්ම පරණ මතකය තමයි මම අර කලින් කිව්ව අලියා වැසිකිලි වලක් කඩාගෙන වැටිලා මිය යාම .

ඒ සිද්දියත් කියාගෙනම අද මේ කියන්න යන්නේ හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාව ලිව්වට පස්සේ ලියන්න ඕන කියලා හිතුන අලි ඇතුන්ගේ ආයු කාලය සහ මරණය එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇත් සොහොන් කියන සංකල්පය ගැන .






මේක ලියන්න යොදාගන්න තොරතුරුත් එක්කම අලි ඇත්තු ගැන වැඩිපුර තොරතුරු මම හොයාගත්තේ අපේ කැම්පස් එකේ ලයිබ්රියට රිංගලා කියවපු පොත් පත් වලින් . සහ අලි බලන අයියලා මාමලා සීයලා එක්ක කරපු කතාබහ වලින් මම එකතු කරගත්ත කරුණු වලින් .

අලියෙක්ගේ ඇතෙක්ගේ සාමාන්‍ය ආයු කාලය අද කාලේ මනුස්සයෙක්ගේ ආයු කාලයට ආසන්න වශයෙන් සමානයි . හීලා අලි ඇත්තු සාමාන්යෙන් අවුරුදු 65 - 75 අතර කාලයක් වගේම කැලේ ඉන්න අලි ඇත්තු අවුරුදු 70 - 80 අතර කාලයක් ජීවත් වෙනවා කියලා පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙනවා .

සාමාන්‍ය ක්‍රමයට අලි ඇතුන්ගේ වයස නිර්ණය කරන්නේ අලින්ගේ දන්ත වින්‍යාසයයි දත්වල වර්ධනයයි ඇතෙක් වගේනම් එයාගේ දල දෙකේ වර්ධනයයි දල දෙකේ පරිධියයි එයාලගේ උස සහ කකුලේ පරිධිය වගේ මිනුම් අරගෙන . ඒ වගේම ආසියාතික අලින්ගේ වයස නිර්ණය කරන්න උපයෝගී වෙනවා එයාලගේ ඇඟේ වයසත් එක්ක හැදෙන ගෝමර නැත්නම් අලි බලන අය නම් කියන්නේ කබර හැදෙනවා කියලා . මෙන්න මේ ගෝමර වල වර්ණයේ තීව්‍රතාවය , ගෝමර ගණන වගේ දේවල් .

වයසට යනකොට අලි ඇතුන්ගේ මුහුණ ගිලාබැහැපු බවක් , කන් දෙකේ තියෙන පෘෂ්ටිමත් බව නැති වීමත් ඇස්වල තියෙන දීප්තිමත් බව අඩු වීමත් වගේ දේවල් වෙනවා . ඇත්තුන්ගේ නම් සමහර වෙලාවට දලයේ ඇතුලේ තියෙන ගජමුතු ගැලවිලා දතේ කුහරයේ එහා මෙහා හෙලවෙන නිසා ඇතා මුණ හොලවනකොට දලෙන් ඇහෙනවා ඒ ගජමුතු පෙරලෙන සද්දේ ටක ටක ගාලා . වයසට ගියාම අලි ඇත්තු රළු ආහාර වලින් අයින් වෙනවා .







කැලෑවල් වල ඇත් සොහොන් කියලා අද වෙනකොට හොයාගෙන තියෙන ආසියාතික සහ අප්‍රිකානු කියන ඇත්සොහොන් දෙවර්ගයම වැඩි හරියක් පිහිටලා තියෙන්නේ වතුර වැඩිපුර තියෙන තෘණ වර්ග වැඩිපුර තියෙන ප්‍රදේශ වල . තෘණ කියන්නේ හරක් කන තෘණ නෙවේ . ඊට වඩා උසින් වැඩි මානා වගේ තෘණ වර්ග .

ඒ කියන්නේ වයසින් වැඩි වෙනකොට අලි ඇත්තු තෘණ වර්ග ආහාරයට ගන්න පෙළඹෙනවා . පස්සේ ඒ කිට්ටුවම වගේ තමයි මිය යන්නේ . ඒ අනුසාරයෙන් තමයි ඇත් සොහොන් නිර්මාණය වෙලා තියෙන්නේ .
අලි ඇත්තු මිය යන්න තවත් රෝග ගොඩක් හේතු වෙනවා . ප්‍රධානම හේතුව තමයි ආහාර නොදිරවීම . බර ආහාර වර්ග උනත් බර නැති ඒවා උනත් කාලයත් එක්කම ආහාර දිරවන්නේ නැති වෙනවා .

ඒ වගේම ඊළඟ හේතුව තමයි කොච්චර හොඳට සෞඛ්‍ය සම්පන්නව හිටියත් මෙයාලගේ දත් ගෙවිලා ගිහිල්ලා කෑම හපන්න බැරි වෙනවා . එතකොට මෙයාලා කන්න බැරුව මන්ද පෝෂණය වගේ හැදිලා මිය යනවා . අලි ඇත්තු මිය යන්න හේතු වෙන ප්‍රධානම හේතු දෙක තමයි ඔය දෙක . හීලෑ වල් ආසියාතික අප්‍රිකානු කියන කාටත් පොදුයි මේ හේතු දෙක .

ඊට අමතරම අලින්ටත් අපිට වගේ ලෙඩ හැදෙනවා . මෙයාලට හැදෙනවා හෘද සනාල රෝග , වැඩිපුරම මෙයාලට ඒ වගේ හැදෙන ලෙඩක් තමයි අපිට වගේම කලෙස්ටරෝල් තැම්පත් වීම . ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපන වෙලා මිය යනවා . ආතරය්ටීස් , ක්‍ෂය , ජලභීතිකාව , පිටගැස්ම , නිව්මෝනියාව , ආමාශ ප්‍රදාහය , මුඛය සහ පාද ඉදිමීම වගේ ලෙඩ මෙයාලට හැදෙනවා . තව මෙයාලට හැදෙනවා අපිට චිකන් පොක්ස් පැපොල හැදෙනවා වගේ එලිෆන්ට් පොක්ස් කියලා පැපොල රෝගයක් . තව ආහාර මාර්ගයේ පනුවෝ හැදිලා පණුවෝ ලේ බීලා බීලා ලේ අඩුකම නිසාම අලි මැරෙනවා . ඒ නිසා අලි උනත් සෙල්ලන් නෑ . උන්ටත් මාර ලෙඩ හැදෙන්නේ . තව අලි ඇත්තු මැරෙන හේතුවක් තමයි ගෑණි බෙදාගන්න බැරුව ඇත්තු ඇත්තු හරි අලි ඇත්තු හරි අලි අලි හරි කෙලගන්න එක . අවසානේ එකෙක් මැරෙනකල්ම කෙළගෙන ඉවරයක් වෙලා ගිහින් මැරෙන වෙලාවලුත් තියෙනවා .







ඉතින් මේ ලෙඩ ගැන හිතලා බැලුවම මට මතක් වෙනවා මගේ යාලුවා , නැදුන්ගමුවේ රාජා . වෙද මහත්තයා කියන්නේ මේ ඇතාව පයින් ඇවිද්දවන එක ඇතාගේ සෞඛ්‍යයට හොඳයි කියලා . ඇත්තටම අලියෙක් ඇතෙක් කැලයේ ඉන්නකොට දවසකට කිලෝමීටර් 4 - 5 අතර දුරක් අවිදිනවා කියලා හොයාගෙන තියෙනවා . එනිසා හීලා අලි ඇතුන්ට වඩා වල් අලි ඇත්තු හෘද සනාල රෝග වලට ගොදුරුවෙන ඉඩ අඩුයි . ඉතින් මගේ යාලුවත් ගම්පහ ඉඳලා නුවරට බෙල්ලන්විලට රත්නපුරේට පයින් එන එක අලි බලන අයට කරදර උනත් එයාගේ පැවැත්මට ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා .







එහෙනම් දැන් අපි එමු ඇත් සොහොන් ගැන බලන්න . මේක ඉතින් අදාළ වෙන්නේ වල් අලි ඇතුන්ට තමයි . මට ඔය ඇත්සොහොන් කියන කතාව ඉස්සර අදාළ වෙලා තිබෙම නෑ . මොකද මමත් ඕක ගැන විශ්වාස කලේ නෑ . ඒත් කියවපු පොත් වල එක එක අය තමන්ගේ අත්දැකීම් වලට ලියලා තියෙන ඒවා එක්ක ඇත් සොහොන් සංකල්පය ඇත්ත කියලා කියන්න පුළුවන් . සමහර අයනම් මාස ගණන් කැලේ රැකගෙන ඉඳලා තමයි මේවා හොයාගෙන තියෙන්නේ .

එයාලා කියලා තියෙන හැම දෙකම සාරාංශයක් වගේ ගත්තම මෙහෙම තමයි අලියෙක්ගේ ඇතෙක්ගේ අවසානය වෙන්නේ . මෙයාලගේ අවසානය කිට්ටු උනාම මෙයාලා ක්‍රම ක්‍රමයෙන් කැලයේ ජලාශ තෙත් බිම් වගේ තියෙන තැන් වලට එකතු වෙනවා . එයාලා ඊට පස්සේ කන්නේ ඒ තෙත් බිම් ආශ්‍රිතව තියෙන තෘණ වර්ග පොඩි පොඩි පැලැටි වර්ග . ඒවායින් ජීවිතේ අල්ලාගෙන ගියාට ඒවායෙන් එයාලට ලැබෙන පෝෂණය හරිම අඩුයි . ඊට පස්සේ මෙයාලා වැඩි හරියක් කෑම ගන්නේ නැති වෙලාවට මේ ජලාශ හෝ තෙත්බිම් වල වැතිරිලා ඉන්නවා .





අලි ඇතුන්ට ඇඟේ හරි ගිනියමක් තියෙනවා කියලා කියනවනේ . එනිසා වෙන්නැති එහෙම කරන්නේ . නැත්නම් මම හිතන්නේ වයස නිසා උෂ්ණත්ව යාමනය කරගන්න අපොහොසත් නිසා මෙහෙම වෙනවා ඇති . පස්සේ එයාලා එහෙමම මැරන අයත් ඉන්නවා . සමහර අය මැරෙන්න ආසන්න මොහොතේ හිටගෙන ඉන්නකොට අනිත් අලි ඇත්තු ඇවිත් එයාට හිටගෙන ඉන්න සපෝට් කරන්න වගේ හේත්තු වෙලා ඉන්නවා ඒ මැරෙන එක්කෙනාගේ වටේට . පස්සේ පන ගියාට පස්සේ වටේ අය අයින් වෙනකොට තමයි මැරුන කෙනා බිමට වැටෙන්නේ .







මැරුණට පස්සේ මෙයාලගේ මස් කන්න නරි වල්ඌරෝ වගේ සත්තු එනවා . ඊට පස්සේ ඉතුරු මසත් දියවෙලා දිරලා ගියාම අනිත් අලි ඇත්තු කරන්නේ මේ මැරුණු සතාගේ දල තියෙනවනම් ඒ දල එක්කෝ කඩල බිඳලා කුඩු කරලා දානවා . නැත්නම් ඒවා උස ගස්වල මුදුන්වල රඳවනවා . ඇටකටු එක තැනකට ගෙනත් දානවා . ඔන්න ඔහොම ගෙනත් දාන තැන තමයි ඇත් සොහොන කියලා කියන්නේ .






අප්‍රිකානු අලි ඇතුන්ගේ මේ ඇත් සොහොන් ගැන දීර්ඝ ලිපි ලියලා තියෙනවා පර්යේෂණ කරපු අය . ලංකාවේ වගේම ආසියාතික අලින් ගැනත් මෙහෙම ලිපි ලියවිලා තියෙනවා . ඉස්සර දේශාටනයේ යෙදුන අය ලංකාවේ ඇත් සොහොනක් ගැන කියනවා . ඔයාලා මම කිව්වා කියලා ඉතින් හොයන්න ගිහිල්ලා වැඩ වරද්දගන්න එපා . මේක ගොඩක් ඉස්සර කාලේ තිබ්බ වාර්තාවකට අනුව කියන්නේ . ශ්‍රීපාද කන්දේ ධර්මරාජ ගල කිට්ටුවෙන් කැලේට වැදුනම මහ ඝන වනාන්තරේ ගොඩක් ඈතුලේ තවත් ඇතුලේ ඇතුලේ පහු කරගෙන පහු කරගෙන පහු කරගෙන තවත් ඇතුලට ඇතුලට ගියාම ඇත් සොහොනක් තිබිලා තියෙනවා .






ඇත් දල එකතු කරන්න හොඳ තැනක් කියලා කියනවා ඇත් සොහොන් . ඒ නිසා මිනිස්සු ඇත් සොහොන් හොයාගත්තම කොනක ඉඳන් එතන සුද්ද කරනවනේ . ඉතින් අලි ඇත්තු තමන්ගේ පූජනීය ඇත් සොහොන් පිහිටලා තියෙන තැන් වෙනස් කරලා තියෙනවා කියලත් මේ ගැන පර්යේෂණ කරපු අය වැඩි දුර විස්තර කරලා තියෙනවා . එහෙනම් එච්චර තමා අලි මරණ ගැන කියන්න තියෙන්නේ .

මම කලින් පෝස්ට් එකක කියලා ඇති කමෙන්ට් එකකට අලි නිල ගැන කියනවා කියලා . ඊළඟට අපි බලමු අලි නිල කොහොමද බෙදෙන්නේ සහ ඒවායින් මොනවද කරන්නේ කියලා . දැන් ඉතින් ධර්මරාජ ගල ගාවින් කරුණා කරනකොට කස්ටිය වයලීනොවත් මතක් කරයිනේ නේද ?

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Sunday, December 21, 2014

ගෙඩි සියයක් බිම හෙළුවත් !









මේ දවස්ටිකෙම දිගට දිගට දිගආආආආආආආආආආට යක්කු භූතයෝ පෙරේතයෝ කුම්භාන්ඩයෝ ගැන ලිව්ව නිසා අද හිතුවා තවත් ගීතයක් ගැන ලියන්න ඕන කියලා . මියැසියේ රස කතා උනාට දැන් මේක මියැසියේ බලි කතා වෙලානේ නේද මෙයාලා . මේ ගීතය ඉතින් ඉස්සර ඉඳල ඇහුවට මොකද ලියන්න ඕන කියලා හිතුනේ දැනට මාස දෙක තුනකට කලින් .

අපේ කැම්පස් කිට්ටුව ඉන්නවා පොල් කඩන ඩයල් එකක් . මිනිහා කෑගගහා යන්නේ " පොල් කඩනවා . තැඹිලි බානවා , පොල් ලෙලි ගහනවා " කියලා . ඕක කිය කිය යන වෙලාවට අපි හිනාවෙන්නේ නැතුව ඉන්නේ හරිම අමාරුවෙන් . බෝඩිමේ ඉන්නවෙලාවට නම් නැති තැඹිලි පැළ කරලා හරි කස්ටිය එක්ක හිනාවෙනවා . හිහ් හිහ් හිහ් . ඉතින් ඔය සීන් එක්ක තමයි මේ ගීතය ගැන ලියන්න ඕන කියලා හිතුවේ . ඒ දවස්වල ඉඳලම මේ ගීතය ෆෝන් එකට දාගෙන තැනක් නොතැනක් නැතුව බස් එකේ , මහපාරේ යන එන ගමන් ඇහුවා .

අපේ බෝඩිමේ මල්ලිකෙනෙක් ඉන්නවා ටිකක් සින්දු ගැන වෙනස් විදියට හිතන කෙනෙක් . මිනිහගෙන් මම ඇහුවා මේ සිංදුව අහනකොට මොකද හිතෙන්නේ කියලා . මිනිහානම් කිව්වේ පොල් කඩන අයගේ දුක ගැන තමයි කියන්නේ කියලා . පස්සේ මම දවසක් සිංදුවගෙන් ඇහුවා ඔය සිංදුව අහනකොට මොකද මතක් වෙන්නේ කියලා . සිංදුවට මතක් වෙන්නේ වෙරළු වට්ටියක් තියාගෙන පාරේ ඉන්න කෙනෙක්ලු . එකපාරටම වෙරළු වට්ටිය පෙරලිලා හැමතැනම වෙරළු ගෙඩි රෝල් වෙවී යනවා මතක් වෙනවලු .





වයලීනොටනම් මේ ගීතය අහනකොටම මතක් වෙන්නේ දොඩම් ගහක් . ගහ යට දොඩම් වැටිලා තියෙනවා . හැබැයි අප්පච්චිට එක ගෙඩියක් දීලා අනිත් ඔක්කොම ළමයි ටික කනවා කියලා වගේ තමා වයලීනොට මතක් වෙන්නේ . පොඩි කාලේ මේ ගීතය ගැන ඔලුවට ගියේ එහෙම අයිඩියා එකක් . ඒවා කවුරුවත් බලෙන් ඔලුවට දැම්මේ නෑ . අපිම හදාගෙන අපිම ඔලුවට දාගෙන අපිම රසවින්දා . ඒකෙත් මාර ලල් එකක් තියෙන්නේ මෙයාලා . ඒ උනාට අද කියන්න යන්නේ මේ ගීතයට දෙන්න පුළුවන් හොඳම තේරුම කියලා මට හිතෙන තේරුම .

අපේ ගෙදර වත්තේ එහෙ මෙහෙ හිටවලා පොල් ගස් කීපයක් තියෙනවා . කලින් නම් එක ළඟ එක ළඟ හිටවලා පොල්ගස් පහලවක් විතර තිබුනා . ඒත් වටේ පිටේ ගෙවල් වලට වැටෙයි කියලා බය නිසා ගොඩක් කපලා දැම්මා . දැන් තියෙන ඒවා වැටුනොත් වැටෙන්නේ අපේ ගෙදරට තමා . ඉතින් මේ පොල්ගස්වල පොල් කඩන්න කීපදෙනෙක්ම ඉස්සර ඉඳලා ආවා .

මට මතක මුල්ම කාලේ පොල් කඩන්න අවේ මාමා කෙනෙකුයි නැන්දා කෙනෙකුයි . ඒ දෙන්නාම ඇවිද ඇවිද පොල් කඩන්න යනවා . ළමයි නැද්ද කොහෙද එයාලට . ඒත් දවසකට හොඳ ගානක් හම්බ කරගන්නවා . ඒ නැන්දා පොල් කඩන තැන් වලට යන්නේ ඒ මාමා පොල් කඩලා ගන්න සල්ලි වලින් කසිප්පු බොන නිසා කියලා තමයි කිව්වේ . ඒත් ඉතින් ඒ මාමා හවසට ෂොට් එක දාගන්නවා . දැන් එයාලා දෙන්නම වයසයි . දැන් ඒ මාමා පොල් කඩන්නේ නෑ . මට දවසක් මුණගැහුනා පාරේ තණකොළ කප කප ඉන්නවා . හරක් ඇතිකරන තැනකට තණකොළ හොයලා දෙනවලු දැන් එයාලා . ඒකෙන්  හම්බෙන ගානෙන් ජීවත් වෙනවලු .






ඊට පස්සේ අපේ ගෙදර පොල් කඩන්න ආවේ අපේ පුංචි උගන්නන ඉස්කෝලේ ළමයෙක්ගේ තාත්තා කෙනෙක් . ඒකත් හොඳ කසිප්පු මරුවෙක් . ඒත් වැඩට දස්සයා . පොල් කඩනවා විතරක් නෙවේ . එයා ගස් කපන්න ගස් ඉරන්න වගේ දේවල් වලටත් හවුල් උනා . ඒත් බීම නිසා අගහිඟකම් තිබුනා . ඉතින් ඒ මාමගේ ළමයට ඉගෙන ගන්න අපේ පුංචි උදවු කරා .

ඒ මාමගේ නැන්දත් හිටපුගමන් එනවා අපේ ගෙදර පොත් අනං මනං ගන්න නැති උනාම සල්ලි ඉල්ලන් යන්න . දවසක් ඒ මාමා කොට්ට පුළුන් ගහක අතු කපන්න ගහට නැග්ග වෙලාවේගහ කඩාගෙන වැටිලා මිය ගියා . එයාගේ පුතා කොහොමහරි ඉගෙනගත්තා . උසස්පෙළ පාස්වෙලා දැන් රස්සාවක් කරනවා . හැමදාම සිංහල අවුරුද්දට එනවා අපේ පුංචිට බුලත් දීලා වැඳලා යන්න .

ඊට පස්සේ පොල් කඩන්න තව ඩයල් එකක් ආවා . හැබැයි පොරනම් ලකුණු කපා ගත්තා . ඒ කලටි පොල් වැඩිපුර කඩලා දාන නිසයි හොරෙන් පොල් මල් කපන නිසයි . මිනිහත් කසියා . මිනිහා සමහර තැන්වලින් සල්ලි ගන්නවා , උවමනාවලට පොල් මල් කපලා දෙන්නම් කියලා . දවසක් පොර ගහට නැගලා පොල් කඩලා ඉවරවෙනකොට පොල් මලකුත් බිමට වැටුනා . අපි බැලුවා මේ මොකද යකෝ මේ කියලා . පොල්වල ගානේ හැටියට දැන් පොල් මල් කපලා දාන්න පුළුවන් කාලයක් නෙවෙයිනේ . මේ තියෙන ගස්වලින් අපේ ගෙදර පොල් අවශ්‍යතාවයත් ගානට වගේ තමයි පිරිමහගන්නේ .

ඊටපස්සේ මිනිහා ගහෙන් බැහැලා කියනවා පෑගිලා කැඩුනා කියලා . සද්ද නැතුව ඉඳලා පොර යන්න ලාස්තිවෙලා දැන් පොල් මලත් ගෙනියන්න අයිඩියාව . අපි ගෙනියන්න දුන්නේ නෑ . පොල් මලේ කැපුම් පාර තිබුන නිසා පොල් මලෙන් මිනිහා වටේ ලස්සනට සරසලා , මිනිහට හොඳට දෙහි කපලා  , වස් දොස් දුරු කරලා යැව්වා . ඊට පස්සෙත් මිනිහා පොල් කඩන්න ආවට අපි පොල් කඩන්න දුන්නේ නෑ .






ඊටපස්සේ එන පොල් කඩන අයියා තමයි දැනුත් එන්නේ . මිනිහා මාර දියුණු පොරක් . කෙලින්ම ඕඩර් එක එන්නේ මිනිහගේ ෆෝන් එකට . මිනිහ ස්කූල් වෑන් එකක් ඩ්‍රයිව් කරනවා . ළමයිටික ඉස්කෝලේ දාලා පොල් කඩන්න ඇවිදලා දවල් වෙලා ළමයිටික ආයෙත් ගෙවල් වලට ගිහින් දාලා ආයෙත් පොල් කඩන්න් යනවා . තව නිවාඩු දවස් වලට ළිං හාරනවා , ගස් කපනවා ඒවා මේවා මාර මාර වැඩ ටිකක් තමයි කරන්නේ . මිනිහා දියුණුවෙන්න දඟලන පොරක් නිසා අපේ ගෙදර අයත් පොල් කඩන්න මිනිහටම කෝල් කරලා එන්න කියනවා .

ඉස්සරම පොල් ගහකට මට මතක හැටියට දුන්නේ රුපියල් 30යි . දැන් ඒක 100 දක්වා වැඩිවෙලා තියෙනවා . සමහර ගෙවල් වලින් නම් ගහකට පොල් මෙච්චරක් කියලා පොල් දෙනවා . ඒත් අපිනම් දෙන්නේ සල්ලි තමා . ඒ නිසා පොල් කොච්චරක් දෙනවද කියලා දන්නේ නෑ .

අද කියන්න යන මේ ගීතය පටන් ගන්නෙත් අන්න එහෙම ගහකට දෙන පොල් ගණන කියලා තමයි . අපි එහෙනම් ඉස්සෙල්ලම ගීතය අහලා බලමුකෝ .


ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ


ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ


පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...


පද රචනය : සමන් ප්‍රියදර්ශන 
සංගීතය : ආනන්ද ගමගේ  
ගායනය : නන්දා මාලිනී






පොල් කඩන කෙනෙක් ගෘහමූලිකයා වෙච්ච පවුලක් . දුවලා දෙන්නෙක් ඉන්නවා මේ පවුලේ . හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේ ගෙදර අම්මා ජීවත් වෙනවද නැද්ද කියන එක . අම්මා ජීවත් වෙනවා කියලා හිතන්නත් පුළුවන් . දෙවෙනි දරුවා ඉපදුනාට පස්සේ  අම්මා මිය ගිහින් නිසා දැන් බාල දරුවාව බලාගන්නේ වැඩිමල් ළමයා කියලා හිතන්නත් පුළුවන් .

මගේ තවත් අදහසක් තියෙනවා මේ ගීතයට විෂය වෙන පවුල ගැන . ඔයාලා සමහරවිට දන්නවා ඇති සමහර වලව් , ලොකු පොල් වතු තියෙන තැන්වල වත්තේ පොල් කඩන්න ඉන්න කෙනා ඒ පොල් ඉඩමේම ගෙයක් හදාගෙන තමයි ජීවත් වෙන්නේ . එයාට මාසික වැටුපක් දෙන්නේ නැහැ . පොල් කැඩුවම එක්කෝ සල්ලි දෙනවා . නැත්නම් පොල් දෙනවා විකුණගෙන සල්ලි කරගන්න කියලා . 

මේ ගීතය ගැන හිතලා බලනකොට , ගීතයේ එක එක අවස්ථා වලදී මේ දේවල් ඔක්කොම වගේ සාධරනීකරණයකරන්න පුළුවන් . 






ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ



පොල් ගහක සාමාන්‍යයෙන් එක වතාවකට කඩන පොල් ගණන කාලෙන් කාලෙට ගහේ වයස වගේම බාහිර පරිසර සාධක හා ගහට ලැබෙන පෝෂණයත් එක්ක වෙනස් වෙනවා . මට පොල් කිව්වම තවත් මතක්වෙනවා පොඩිලෙවල් කරන කාලේ අපිට කෘෂිකර්මය උගන්නපු මිස් කිව්ව කතාවක් . අපිට පසේ ආම්ලික භාෂ්මිකතාවය ගැන උගන්නනකොට මිස් කිව්වා රත්නපුරේ පැත්තේ වැස්ස වැඩි නිසා කඳු උඩ පස ආම්ලිකයි කියලා . මොකද වැහි ජලයත් එක්ක ක්ෂාරීය ලවන හෝදගෙන යනවලු කඳු පාමුලට . ඉතින් කඳු උඩ පොල් හැදෙනවා හොරයිලු . කඳු පහල තමයි හොඳට පොල් හැදෙනවා කියන්නේ . ඉතින් මිස් කිව්වා මෙන්න මෙහෙම .

" මම මේ ඔයලාට කියන්නේ , කවුරු හරි කිව්වොත් අනේ රත්තරන් අපි කන්දක් උඩ ගෙයක් හදාගෙන පොල් සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙමු කියලා , යන්න නම් එපා මගේ දරුවනේ . ඔයාලා කියන්න අපිට කෘෂිකර්මයට ඉගැන්නුවා කඳු උඩ පොල් හැදෙන්නේ නෑ කියලා . ඒ නිසා මට බෑ ඔයත් එක්ක එන්න . ඔයා ආම්ලිකතාවය භාෂ්මිකතාවය ගැන මොකවත්ම දන්නේ නෑ . මට ඔයා එපා කියලා " හිහ් හිහ් හිහ් හිහ්  . කොහොමහරි අපිට පොල් වගාව ගැන ඕකෙන් හොඳට මතක තිබුණා .

ලොකු ලෙවල් කරන කාලේ බයෝ පාඩමක් අපිට තිබුණා ජීව විද්‍යාව සඳහා මූලික සංඛ්‍යානය කියලා . ඒකෙ තිබ්බේ මොකක් හරි ජෛවීය සංඝටකයක් ගැන සංඛ්‍යාන විජ්ජාවට අනුව ගණනය කරලා වගාව ගැන සාත්තර කියනවා වගේ වැඩක් කරන්න . ඒකෙත් අපිට උදාහරණ වලට ගොඩක්ම කරේ පොල් වත්තක පොල් ගහක හැදෙන පොල් ගෙඩි ගණන වෙනස් වෙන්න බලපාන සාධක මොනවාද කියලා කරපු පරීක්ෂණ ගැන .

ඉතින් ඔහොම ඔහොම පොල් ගහක ගෙඩි ගොඩක් හැදිලා ගෙඩි සීයක්ම හොඳට පැහිලා ඉදිලා බිමට නැවිලා බරවෙලා අතු........... කියලා තියෙනවා කියලා අපි හිතමුකෝ . මේ ගහේ පොල් ඔක්කොම කඩලා බිමට දැම්මත් පොල් කඩන කෙනාට දෙන්නේ එක ගෙඩියයි ගහට නැග්ගට කුලිය විදියට . ඉතින් මේ පොල් කඩන කෙනාගේ ලොකු දුව , තමන්ගේ නංගිට කියනවා

"නංගියේ අපේ තාත්තා පොල් ගහකින් ගෙඩි සීයක් බිමට දැම්මත් ලැබෙන එක පොල් ගෙඩිය හන්දියේ තියාගෙන විකුණලා ඒකෙන් ලැබෙන මුදලින් තමයි අපිව ජීවත් කරවන්නේ . ඒ නිසා පොල් ගෙඩියේ වතුර බොන්න ඕන කියලා අඬන්න නම් එපා කියලා .

මෙතන ගීත රචකයා පුංචි ලිඳක් ගැන සඳහන් කරනවා . මට මතක හැටියට පුංචි ලිඳේ වතුර රසයි කියලා අහන තේරවිල්ලට උත්තරේ විදියට අපි පොඩි කාලේ කිව්වේ තැඹිලි කියලා . ඒත් මේ ගීතයේ හැටියටනම් කියවෙන්නේ පොල් නැත්නම් කුරුම්බා කියලා නේද . ඔයාලා මොකද කියන්නේ පොල්ද තැඹිලිද ?  . එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් . :p :p

ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි

කියලා කියන පද දෙකෙන් අපිට පේන්නේ ධනපති පංතිය විසින් නිර්ධන පංතියට සලකන පහත් ආකාරය ගැන . ගහෙන් ගෙඩි සීයක් කැඩුවොත් ඒවා විකුණලා ගහේ අයිතිකාරයා ලොකු මුදලක් ලබනවා . ඒත් ජීවිතය පරදුවට තියාලා පොල් කඩන්න ගහට නගින මනුස්සයාට දෙන්නේ එක පොල් ගෙඩියයි .

අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ

ඉතින් නිර්ධන පංතියේ ජනතාව ජීවත් වෙන්න කරන ජීවන අරගලය මේ ගීතයේ මේ පද දෙකෙන් කියවෙනවා කියලා කියන්න පුළුවන් . තාත්තා පොල් කඩලා කුලිය විදියට ලැබෙන පොල් ගෙඩි ටික ගෙනාවම අම්මයි දුවලා දෙන්නයි හංදියේ තියෙන මැස්සේ තියාගෙන නැත්නම් බිම්ම තියාගෙන මේ පොල් විකුණලා සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් තමයි ජීවිතය ගැටගහ ගන්නේ .

" දැන් ගෙදර සල්ලි ඉවරවෙලා කන්න ගෙනාපු කෑම ජාතිත් ඉවර වෙලා . ඉතින් මේ ගෙදර පොඩි කෙල්ල අඬනවා බඩගිනියි කියලා . දෙන්න තියෙන්නේ පොල් ගෙඩියක් බිඳලා පොල් වතුර තමයි . ඒත් නංගියේ මේ පොල් ගෙඩිය බින්දොත් අපිට සල්ලි කරගන්න තියෙන එක පොල් ගෙඩියක් අඩු වෙනවා . ඒ නිසා අඬන්න එපා " කියලා අක්කා නංගිට කියනවා .

මට කලින් කියන්න බැරි උනා තේරවිල්ලත් එක්කම මට හිතෙන තව දෙයක් ගැන . පුංචි ලිඳේ වතුර රසයි . ඒ කියන්නේ මෙතන බොන්න පුළුවන් පොල් ගෙඩි ගැන තමයි කියන්නේ . ඒ කියන්නේ කුරුම්බා ගෙඩි වෙන්න ඕන . කුරුම්බාවලට කිට්ටුයි කියන්නේ පොල් කලටියි . ඉතින් ගස් අයිතිකාරයා පොල් කඩන කෙනාට දෙන්නේ පැහුන පොල් නෙවෙයි . කලටි කුරුම්බා ගෙඩි . එතනත් මේ ගීතයෙන් පේන්නේ අපේ සිංදුවා වගේ ධනපති පංතියේ හාම්පුතාලා නිර්ධන පංතිය පාගා පොඩි කරදමන ආකාරය නේද පිංවතුනී.......... හිහ් හිහ් හිහ්








ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ



දැන් මෙතන ගීත රචකයා කියනවා ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙන්න පුළුවන් නිසා තාත්තා ගහේ ඉන්න වෙලාවට හයියෙ හුස්ම ගන්න එපා කියලා . ඔතනින් තමයි මම හිතන්නේ මේ පවුල ජීවත් වෙන්නේ පොල් වත්තක් එක්කම තියෙන නැත්නම් පොල් වත්තේම තියෙන ගෙදරක කියලා . මොකද පොඩි වයසක ගෑණු ළමයෙක් පොල් කඩන්න යන යන තැන එක්කගෙන යයි කියලා හිතන්න අමාරුයි . මොකද ළමයාගේ ආරක්ෂාව ගැන මොන තාත්තා උනත් හිතන නිසා . 

මේ කතාව නිසා මම හදිස්සියේම දෙවෙනි අන්තරා කොටසටත් පොඩ්ඩක් යන්නම් . දෙවෙනි අන්තර කොටසේ අවසාන පදයෙන් කියන්නේ " මමත් එහෙම කළා මගේ පුංචි සන්ධියේ කියලා . අක්කා පොඩි කාලේ එහෙම පොල් කඩනවා බලන් හිටියා කියන්නේ ඒ කාලේ නංගි ඉපදිලා නෑ . ඒ කියන්නේ අම්මා ජීවත් වෙලා ඉඳලා නම් තියෙනවා සුවර් එකටම . නැත්නම් මොකෝ නංගි හම්බුනේ උඩින් වැටිලය . ඒත් දෙවෙනි අන්තරා කොටසේ අම්මා ඉන්නවද නැද්ද කියන එක ගැන හිතන්න පුළුවන් වෙන විදියකට .

ඒ කියන්නේ අම්මා ජීවත්වෙලා ඉන්නවනම් ඒ කාලේ ගෑණු ළමයා තාත්තා යන යන තැනට එක්ක යන්න උවමනාවක් නැහැනේ . ඒ කියන්නේ මෙයාලා සුවර් එකටම ඉන්නේ පොල් වත්තේ හෝ පොල් වත්ත කිට්ටුවම හදලා තියෙන ගෙදරක තමයි . 

මේ අන්තරා කොටසින් කියවෙන්නේ අප්පච්චි ගහේ ඉන්න වෙලාවට හයියෙන් හුස්ම ගන්නවත් එපා , මොකද ඒ හුස්ම පාරෙන් වැඩිවෙන සුළඟින් වෙන බලපෑමෙන් උනත් පොල් ගහ හෙලවිලා අප්පච්චිට අනතුරක් වෙන්න පුළුවන් කියලා තමන් විශ්වාස කරන නිසා . ගීත රචකයා මෙතනින් උත්සාහ කරන්නේ පොල් කඩන කෙනෙක්ගේ ජීවිතේ තියෙන අස්ථීර බව උඩට ඔසවලා පෙන්වන එක . 






පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

දැන් අක්කා නන්ගීට කියනවා මෙහෙම . අප්පච්චී පියවරෙන් පියවර ගහ උඩට නගිනකොට ඒ දිහා බලාගෙන ඉන්න බයයි වගේ නම් ඒ දිහා බලන්න එපා , පුංචි දෑස තදින් පියාගන්න කියලා . එහෙම කියලා අක්කා මතක් කරනවා තමන් පොඩි කාලෙත් එහෙම කරා කියලා . 

දෙවෙනි අන්තරා කොටස ඉවරවෙනකොට මට කියන්න පුළුවන් මේ පවුලේ අම්මා කලින් ජීවත්වෙලා ඉඳලා දෙවෙනි ළමයා ඉපදුනාට පස්සේ මිය ගිහින් කියලා . මොකද ස්ථායි කොටසේ කියන්නේ නංගි බඩගිනි වෙලා අඬන සීන් එකක් ගැන . දැන් නංගි බඩගිනි උනාම ඒක කියන්නේ අක්කටනම් , ඒකට නංගිගේ හිත සනසන්න දේවල් කියන්නේ අක්කා නම් අපිට සාධාරණව හිතන්න පුළුවන් අම්මා දැන් ජීවත් වෙන්නේ නෑ කියලා  . තාත්තා කඩාගෙන එන පොල් ගෙඩි , අක්කයි නංගියි සමහරවිට තාත්තත් එනවා ඇති . මෙයාලා ඒවා විකුණලා තමයි ජීවත් වෙන්නේ . 

මේ අන්තරා කොටස් දෙකම හරිම සමබර විදියට පද බෙදලා ලියලා තියෙන්නේ . බලන්න , අන්තරා කොටස් දෙකේම මුල පේලි දෙක ගත්තම ඒවායින් කියවෙන්නේ බය හිතෙන දෙයක් ගැන . 

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්

අනිත් පද දෙක ගැන හිතුවම ඒ පද දෙකෙන් කියවෙන්නේ දුක හිතෙන දෙයක් ගැන . 

හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ

පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

මේ විදියට පද ගැලපීම සමබරව වෙලා තියෙන නිසා සංගීත සංයෝජනයේදී මේ ගීතයට සංගීතය සපයපු සංගීත ශිල්පියාට හරිම ලේසි වෙන්න ඇති ගීතයේ තියෙන හැගීම් ඉස්මතුවෙන විදියට ගීතයට සංගීතය සංයෝජනය කරන්න . 

ගීතයේ තාල වාදනය කරන්න ඔක්ටර් පෑඩ් එකක් , හයිහැට් එකක් භාවිතා කරනවා . තව බේස් ගිටාර් එකෙනුත් තාලය වාදනය කරන්න සෘජු වගේම වක්‍ර විදියට සහය වීමක් කෙරෙනවා . 

ගීතයේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම ඔක්ටර් පෑඩ් එකෙන් 

බෙට්ටක් කට
බෙට්ටක් කට
බෙට්ටක් කට
බෙට්ටක් කට 

කියලා තාලය වාදනය වෙනවා . මටනම් වැඩිපුරම ඔය ඔක්ටර්පෑඩ් සද්දෙන් ඇහෙන්නේ ගහෙන් පොල් වැටෙනවා වගේ හඬක් . නැත්නම් නිකන් කලටි පොල් හොලවනකොට ඇහෙනවා වගේ හඬක් . ඒක ගීතයේ තේමාවට ගැලපෙනවා කියලා හිතෙනවා . 

හයිහැට් එක 

ටිටිටි ටො ටිස්
ටිටිටි ටො ටිස්
ටිටිටි ටො ටිස්
ටිටිටි ටො ටිස් 

කියලා ගීතය පුරාවටම වාදනය වෙනවා . ඔයාලට ඒ හඬ නිකන් සමීප බවක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද ? . මටනම් ඇහෙන්නේ හයිහැට් එකේ හඬ හැටියට පොල් කට්ටකට කෝටු කෑලි දෙකකින් තට්ටු කරනවා වගේ සද්දයක් . නැත්නම් කෝම්පිට්ටු හදනකොට එක පොල් කට්ටකට පස් පුරවලා තව පොල්කට්ටකින් තලනවනේ . හයිහැට් සද්දේ ඒ වගේ දෝ කියලත් මට හිතෙනවා . ගීතයේ තේමාවට වගේම 
මේ ගීතයේ අක්කයි නංගියි කියන චරිත දෙක ශ්‍රාවකයාගේ හදවතට ඇතුළු කරන්න ඒ තාල වාදනය ලොකු රුකුලක් ලබා දෙනවා .

බේස් ගිටාර් පාට් එක ගීතය පුරාවටම වාදනය කෙරෙන්නේ

බුන්ග් බුකුං
බුන්ග් බුකුං
බුන්ග් බුකුං
බුන්ග් බුකුං

කියලා . ඒක හැබැයි ගීතයේ කීප තැනකදීම වෙනස් වෙනවා ඒ ඒ වෙලාවට ගායනය වෙන හෝ වාදනයවෙන ස්වර වලට අනුව .












අපි යමු දැන් ගීතයේ එක එක සංගීත කොටස් වලට . ගීතයේ තේමා වාදනය ගැන සලකලා බලනවනම් . තේමා වාදනය ආරම්භ වෙන්නේ එකට වාදනය කෙරෙන සංගීත භාණ්ඩ දෙකකින් . සිතාරයකින් වාදනයවෙන ඒ සංගීත කොටස , සිතාරයෙන් වගේම බැන්ජෝ ගිටාර් එකකිනුත් වාදනය කෙරෙනවා . ඊට පස්සේ ඒ ස්වර ටිකම ඇදිලා යන විදියට ඒ කියන්නේ වයලීන් වලින් ස්ල වාදනය කෙරෙනවා කියනවා එහෙම ඇදිලා යන විදියට වාදනය කරනවට . අන්න එහෙම වාදනය කෙරෙනවා ඒ ස්වර ටිකම . වයෙලීන් වලින් වාදනය කරනකොට ඒ වාදනයට අදාළ බේස් නෝට්ස් ටික , කවුන්ටර් පාට් එකක් විදියට චෙලෝ එකකින් වාදනය කරනවා . ඒ බේස් පාට් එක නිසා වයලීන් වලින් ගෙනෙන වාදන කොටස් හදවතට වඩා හොන්දික් කා වදිනවා .















මේ ඔක්කොම අතරේ අපිට ඇතුලෙන් ඇහෙනවා අවධානයෙන් අහගෙන හිටියොත් ග්ලොකන් ස්පීල් කියන වාදන භාණ්ඩයෙන් ස්රාන් ස්රාන් කියලා වාදනය කිරීමක් . ඒක හරියට පෙරහැරපොලේ බීම විකුණන මිනිස්සු බීම බෝතල් වලට බීම කටර් එකෙන් අතුල්ලලා සරාන් සරාන් ගාලා සද්ද කරනවා වගේ .

ගීතයේ තියෙන දුක , අසරණකම , බය වගේ දේවල් එක එක අවස්ථාවලදී ඉස්මතු කරලා පෙන්වන්න මේ තේමා වාදනය වඩාත් උදවු වෙනවා කියලා මට හිතෙනවා .

දැන් ඔන්න ගීතය ගායනා කරන්න පටන් ගන්නවා .

අප්පච්චිට එක ගෙඩියයි කියලා කියනකොට ඒ වචන ටික යටින් වාදනය කෙරෙනවා සයිලෆෝන් කියලා කියන වාදන භාණ්ඩය . හැබැයි මෙතන ඒ වාදන භාණ්ඩය වාදනය කෙරෙනවා කියලා කිව්වට හරියටම නම් වෙන්නේ ඕගන් එකකින් ඒ හඬ ගන්න එක . ඒ හඬ ලොකුවට ගන්නවානම් ග්ලොන් ග්ලොන් ග්ලොන් කියලා ඇහෙනවා . ඒත් මෙතන ඒ හඬ ගොඩක් අඩු කරලා හරිම අඩු සද්දෙකින් තමා වචන යටින් යන විදියට ඒක වාදනය කරන්නේ . සමහරවිට දැනෙන නොදැනෙන ගානට වගේ තමයි වාදනය කෙරෙන්නේ .


                                         



අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හංදියේ කියන වචන ටික කියනකොට වයලීන් වලින් වාදනය කරනවා කවුන්ටර් පාට් එකක් . ඒ කවුන්ටර් පාට් එකෙන් ඒ වචනවල තියෙන දුක ඉස්මතු වෙලා එනවා ඉතාම හොඳට .
වතුරට නාඩන්න නංගියේ කියන තැන් වලින් පළවෙනි වතාවේදීත් අර සයිලෆොන් පාට් එක වාදනය කරනවා .

දැන් අපි යමු අතුරු වාදනය කොහොමද කියලා බලන්න . අතුරු වාදනයෙදීත් මුලින්ම යන්නේ අර තේමා වාදනයේ මුලින්ම ගිය ස්ට්‍රින්ග් පාට් එකමයි . සිතාරයයි බැන්ජෝ ගිටාර් එකයි වාදනය කෙරෙනවා . ඒත් ඊට පස්සේ වයලීන් සහ චෙලෝ කියන වාදන භාන්ඩ දෙක එකතුවෙලා නිකුත් කරන්නේ දුක සහ බය කියන දෙකම මිශ්‍ර වෙන හැගීමක් ඇති කරන වාදන කොටසක් .

ඒත් එක්කම පොඩි ෆ්ලූට් පාට් එකක් වාදනය කරනවා . ඒකෙන් නම් ඇතිවෙන්නේ මේ අයගේ දුක ඉස්මතුවීමක් . ආයෙත් වයලීන් වාදනය ගිහින් ෆ්ලූට් පාට් එකක් වාදනය කෙරෙනවා .

දැන් එන්නේ මම මේ ගීතයේ වඩාත්ම කැමති කොටසට . ඒ තමයි අන්තරා කොටසේ සංගීත සංයෝජනයට .


ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි



පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්

බලන්න අන්තරා කොටස් දෙකේ මේ පද ගායනය කරනකොට ඒ යටින් වාදනය කරන වයලීන් වාදන කොටස . එක කවුන්ටර් පාට් එකක් . මේ පද කොටස් දෙකෙන්ම කියවෙන්නේ භය උපදවන හැගීමක් . ඒ භය හොඳට ඇඟට දැනෙන්න පුළුවන් විදියේ වාදන කණ්ඩයක් තමයි වයලීන් වලින් වාදනය කරන්නේ . බේස් ගිටාර් එකේ වාදන ශෛලීය පොඩ්ඩක් වගේ වෙනස් වෙනවා මෙන්න මෙතැනදී . ගීතයේ වඩාත්ම සාර්ථක තැනක් කියලා මම කියන්නේ මෙන්න මේ අන්තර කොටස් දෙක . ඒ කොටස් දෙක අන්තරා කොටස් දෙකේ එකම තැන් වලට එන්න ලියලා තියෙන නිසා සංගීත ශිල්පියාට එකම ආකාරයට හැගීම් ඉස්මතුවෙන්න සංගීතය සංයෝජනය කරන්න හැකියාව ලැබිලා තියෙනවා .

අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ

මමත් එහෙම කරා මගේ පුංචි සංදියේ

මෙන්න මේ ගායනා කොටස් වලදී ආයෙත් වයලීන් වලින් කවුන්ටර් පාට් වලින් ඒ පදවල තියෙන දුක ඉස්මතු වෙලා පෙන්නනවා . 

මේ ගීතය ගැන මට කියන්න තියෙන්නේ ඔන්න ඔහොම අර්ථකතනයක් තමයි . හැබැයි මට මේ ගීතයේ එක වැරද්දක් පේනවා . ඒක වැරද්දක්ම නෙවෙයි . අඩුවක් වගේ . මේ ගීතයට භාවිතා කරන වයලීන් වල හඬ මේ ගීතයට ගැළපෙන්නේ නැත්දෝ කියලා මට හිතෙනවා . මොකද අපේ වචනෙන් කියනවනං මේ වයලීන් හඬ හරිම ටකරං හඬක් . කිසිම ස්මූත් ගතියක් ඒ හඬේ නැහැ . හඬ තව ටිකක් ස්මූත් උනා නම් මේ ගීතය තවත් ලස්සන වෙන්න තිබුණා කියලා මට හිතෙනවා .  

Monday, December 15, 2014

කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම ( 1 )


එක දෙයක් කියන්න ගත්තම මතකයට එන දේවල් නිසා ලියන ලියන පෝස්ට් දැන් එකකට එකක් බද්ධ වෙලා වගේ මෙයාලා .

හරියට දම්වැලක පුරුක් වගේ .
බාල්දියයි බාල්දි කොක්කයි වගේ .
ග්‍රාහකයයි අනුජයයි වගේ .
පෑනයි ක්ලිප් එකයි වගේ .
ලැප් එකයි චාජරෙයි වගේ .
එයයි මමයි වගේ .

රාජතරංගනී තෙල් ගැන ලියනකොට තමයි මේ පෝස්ට් එක ලියන්න හේතු භූත බහු භූත වෙච්ච දේවල් මතක් උනේ . මමත් ඉතින් මේවා ඇහුවේ පොඩි කාලේ නෙවේ . එක පාරට මතක් වෙන්නේ නෑ . පොඩි හින්ට් එකක් ඕන මතක් වෙන්න . මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ කිව්වලු . හිහිහිහිහිහි.....

දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව .





රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව හඳුන්වන්නේ . විද්‍යාලංකාර පිරිවෙනෙන් මේ හාමුදුරුවන්ට අභිධර්මය පිළිබඳව මහාචාර්ය පදවිය පිරිනමල තියෙනවා . බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් වගේම රේරුකානේ හාමුදුරුවොත් හරිම වැදගත් පොත් ගොඩක් ලියලා තියෙනවා . වයලීනෝ ධර්මාචාර්ය කරන දවස්වල දහම්පාසලේ ධර්මාචාර්ය පංතියට ගියේ නෑ නෙව . පොත් ටික කියවලා තමයි විභාගය ලිව්වේ . අභිධර්මයයි බෞද්ධ විනයයි කියන සබ්ජෙක්ට් දෙක අච්චුපොත කියෙව්වට තේරෙන්නෙ නෑ . රේරුකානේ හාමුදුරුවන්ගේ මේ විෂයන් වලට අදාළ පොත් දෙක කියවලා තමයි ඒ දේවල් තේරුම් ගත්තේ .






තව පොත් ගොඩක් තියෙනවා මේ හාමුදුරුවන් ලියපු . මමගාව තව තියෙනවා මේ හාමුදුරුවෝ ලියපු වංචක ධර්ම හා චිත්තෝපක්ලේෂ ධර්ම කියලා පොතකුත් . ඔන්න ඔය පොතේ මුල් අයිතිකාරයා තමයි අද කතාවේ කතා නායකයා වෙන්නේ .එයා අපේ ලඟින්ම නෑයෝ වෙන සීයා කෙනෙක් .

මේ සීයා හිටියේ මාතර . එයාට අච්චු කන්තෝරුවක් තිබුණා . මාතර දැනට ඉන්න වැඩිහිටි පරපුරේ වැඩි දෙනෙක් ඒ අච්චු කන්තෝරුවේ නම කිව්වම දන්නවා කවුද කින්ද මන්ද කියලා . ඉතින් මේ සීයාට රේරුකානේ හාමුදුරුවෝ තමයි අර මම කලින් කිව්ව වංචක ධර්ම කියන පොත දීලා තියෙන්නේ .

පොතේ රේරුකානේ හාමුදුරුවන් තමන්ගේම අත් අකුරෙන් ලියලා තියෙනවා කර්තෘ විසින් පරිත්‍යාග කරන ලදී කියලා . කොහොමහරි ඒ පොත කැරකිලා කැරකිලා අපේ ගෙදරට ආවා . ඒ පොතට වඩා මටනම් වටින්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ ඒ වචන ටික . ඉහිහීහ්හිහිහිහිහ්




එහෙනම් ඔන්න මම දැන් එන්නම් මගේ කතාවට ඉතින් මේ සීයා තමන්ගේ ව්‍යාපාරය හොඳින් කරගෙන දියුණු කරගෙන ජීවත් උනා . එයාගේ වයිෆ්ආච්චි පාසල් ගුරුවරියක් . ඉතින් මෙයාලට හොඳට සල්ලි එහෙමත් තිබිලා තියෙනවා . එයාලා හැදුව තට්ටු තුනක ලොකු ගෙයක් . දැනට අවුරුදු 50 කට විතර කලින් වගේ කාලේ තට්ටු තුනක ගෙයක් කියන්නේ ටිකක් විශේෂ දෙයක් . මොකද එ වගේ දෙයක් කරන්න තරම් පුළුවන් අය ඉඳලා තියෙන්නේ ටික දෙනයි . ඒ කාලේ එව්වා එහෙම උනා . පස්සේ ඉතින් මේ අච්චු කන්තෝරුව කරගෙන ගියපු සීයා මියගියා . මම දෙකවසරේ විතර හිටියේ ඒ සීයා මැරෙනකොට .

මට තාම මතකයි එයාගේ මරණ දැන්වීම උදේ රේඩියෝ එකේ කියනවා මම අහගෙන හිටපු හැටි . මරණෙට මාවත් එක්ක ගියා . කෞරව වංශික අයගේ මරණ වලදී කරන විශේෂ චාරිත්තර එහෙම මට දැකගන්න පුළුවන් උනා ඒ මරණේදී . එව්වා ඉතින් එහෙම උනා කියමුකෝ . මේ සීයාගේ වයිෆ් ආච්චි මේ ළඟදී අපේ ගෙදර ආවා . ඇවිත් සතියක් විතර නැවතිලා හිටියා . එයා අපිත් එක්ක කතා කරනගමන් මට කිව්වා " මම පුතේ තට්ටු තුනක ගෙදරක හිටපු කෙනෙක් , දැන් මෙහෙම උනාට " කියලා . එයා ඒක කිව්වේ ලොකු කමකට නෙවේ . කිව්ව විදියට තේරුනේ එයා මේක කිව්වේ අසරණ කම මුල් කරගෙන වගේ කියලා .





එයාලට වෙච්ච දේවල් බොහොම ඉස්සර මට අපේ ආච්චිඅම්මා පිළිවෙලකට කියලා තිබුණා . කොඩිවිනයක් පවුලක් විනාස කරේ කොහොමද කියලා ඔයාලට කියන්න ඕන නිසයි පඳුර තලාගෙන ආවේ . සමහරවිට ඔයාලා හිතයි මේක මනෝවිද්‍යානුකූලව පදනමක් රහිත කතාවක් කියලා . ඒත් ඒවා ඇහින් දැකපු අය තාමත් ඉන්න නිසා මමනම් හිතන්නේ මේක ඇත්ත කතාවක් කියලා .

මේ කට්ටිය අර තට්ටු තුනේ ගෙදර හදන්න පටන්ගෙන තට්ටු දෙකක් විතර ඔන්න දැන් හැදුවලු . මේ කාලේ අපේ ආච්චිඅම්මගේ තාත්තා , ඒ කිව්වේ මම අර කලින් තෙල් වර්ග ගැන කිව්ව කතා කීපයකම කියලා තියෙන වෙදමුත්තා ජීවත් වෙලා ඉඳලා තියෙනවා . හැබැයි ගොඩක් වයසයි . ඇවිදින්නෙත් වෙන අයගේ වාරුවෙන් . ඉතින් මේ වෙමුත්තා කිව්වලු අපේ ආච්චිඅම්මට





" මට අර අච්චු කන්තෝරුවේ ළමයා අලුතෙන් හදන ගෙදර බලන්න යන්න ආසයි " කියලා . ඊට පස්සේ ඒ වෙදමුත්තව එතනට එක්ක ගියාලු . එයාව ඒ අලුත් ගෙදර වටේ රවුමක් එක්ක ගියාට පස්සේ එක තැනක එයා නවතුනාලු . එයා ඒ ගෙයි අඩිතාලමේ ඉඳලා උඩට විහිදිලා ගිහින් තියෙන ලොකු පැල්මක් පෙන්නලා කියලා තියෙනවා  "  මේ ගෙදරට කාලයක් තිස්සේ පවතින කොඩිවිනයක් කරලා තියෙනවා . මේ පැල්ම තියෙන හැටියට එහෙම දෙයක් පේනවා . මේක හරි හමන් අදුරෙකුට කියලා කප්පවන්න වෙයි , නැත්නම් කවදා හරි මේක ඔය ළමයිගේ ජීවිත වලට හරහට හිටිනවා කියලා .

දැන් ඉතින් මේක කියවන උන්දලටත් මතක් වෙනවා ඇති ගෙදර කොහේ හරි පැලුම් තියෙනවනම් . මේ කියන්නේ බොලල්ලා , ඔය කොහේ හරි තියෙන වගුරකට පස් දාලා ගොඩ කරලා එතන උඩට පහලට ගෙවල් හැදුවම බිත්ති පුපුරන එක ගැන නෙවෙයි . හරි විදියට , පිහිටි පොළවට යනකං හාරලා අඩිතාලම් දාලා හදපු ගෙවල්වල ඇතිවෙන පැලුම් ගැන තමයි මේ කියන්නේ .





ඉතින් වෙදමුත්තා එහෙම කිවම , අර අච්චුකන්තෝරුවේ සීයා ඒවා අහගෙන හිටියට ඒවා ගණන් අරගෙන නෑ . එයා පස්සේ වෙලාවක කියලා තියෙනවා " ලොකු තාත්තට දැන් වයස නිසා කල්පනාව අඩු ඇති , එහෙම කියන කතා ඕවා " කියලා . ඒත් එයාලට වැරදුනා .එයාලගේ ගෙදරට ලොකු ගුරුකමක් කරලා තිබුණා .

සමහර දවස්වල ගෙදර කවුරුවත් ඉඳලත් නෑ . ඒත් එයාලගේ ගෙදර අල්මාරි ඉබේම ගිනි අරගෙන . සේප්පුව ඇතුලේ සල්ලි , සේප්පුව ඇරලා බලනකොට අළු වෙලා . ගෙදර රත්තරන් බඩු තිබුණේ නාන ලිඳේ . අන්තිමට අච්චු කන්තොරුවත් වැහිලා ගියා . එයාලගේ බාල පුතාට පිස්සු වැටුණා . එහෙම පිස්සු වැටිලා එහේ මෙහෙ ඇවිදලා අන්තිමටම එයා ගඟේ පැනලා ජීවිතේ නැති කරගත්තා .

මේවා වෙනකොට එයාලට මතක් වෙලා තියෙනවා අර මුත්තා කිව්ව විනය ගැන . මාතර මැද්දවත්ත කියන පැත්තේ හිටියා ගුරුකම් කරන්න දස්ස කිරි අම්මා කියලා ආච්චි කෙනෙක් . එයා ලවා තමා මෙයාලා ඒ විනය කැප්පෙව්වේ . හැබැයි මේ ගෙදර අය ගුරුකම කරනකොට බෙරගහන්න එපා කිව්වලු . වැඩිය මුකුත් කරන්න එපා කිව්වලු .





ඒ නිසා මේ විනය කපපු කිරිඅම්මා කිව්වලු " මේ ගුරුකමෙන් අවුරුද්දකට විතරයි මේ අමනුස්සයා බන්ධනය වෙන්නේ , අවුරුද්ද ගෙවුනම අමනුස්සයා ඒ බන්ධනය කඩාගෙන එනවා , එ නිසා අවුරුද්දකට කලින් මේක සම්පූර්නෙන් කපන්න ඕන තොවිලයකුත් නටලා " කියලා . ඒත් මෙයාලාට අවුරුද්දක් යනකොට වෙච්චි ඒවා අමතක වෙලා . ආයෙත් මතක් වෙලා තියෙන්නේ ගෙදර කරදර වැඩිවෙනකොට . පස්සේ එයාලා ඒ ගෙදර විකුණලා දැම්මා . දැන් එයාලට ඉන්න හිටින්න තැනක් හරියට නෑ . ඔන්න ඔහොමයි ඒක උනේ .

දැන් කාලේ කරන වින සහ වින කැපිලි කොහොමද දන්නේ නෑ . හැබැයි ඒ කාලේ ඒවා කිරිගහට ඇන්නා වගේ වෙලා තියෙනවා . කොඩිවින උපත ගැන එක එක මතවාද කවි කතා තියෙනවා . ඒවා එක එකක් වෙන වෙනමම අරගෙන දිගට දිගට පෝස්ට් දෙකතුනක් හතරක් පහක් ලියන්න තමයි මේ කතාවක් කියලා පටන් ගත්තේ .



ඊළඟ පෝස්ට් එකෙන් කොඩිවින ඉපදුන හැටි ගැන බලමු . එහෙනම්

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !