Friday, October 10, 2014

සර්පවෙද දූතලක්ෂණ විජ්ජාව






කාලයක් තිස්සේ ලියන්න ඕන ඕන කිය කිය හිටියට යෙක යෙක හේතු නිසා මේ ගැන ලියන්න අමතක උනා . මේ ළඟදී සිංදුඅම්මයි සිංදුවයි මමයි පන්සල් ගියා දානෙකට හාමුදුරුවන්ට ආරාධනා කරන්න . ඒ පන්සලත් වෙදකමට සම්භන්ධ පුරාණ පන්සලක් . ඒ යනකොට අපි තුන්දෙනා වෙච්ච කතාවක් දුරදිග ගිහින් ආයෙත් මතක් උනා මේ ගැන ලියන්න ඕන කියලා . සර්පවෙදකම ගැන මම ඉස්සර ලිව්වා නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින කියලා පෝස්ට් එකක් . ඔයාලා කලින් ඒක කියවලා නැත්නම් මෙතනින් ගිහින් ඒ පෝස්ට් එක කියවන්න පුළුවන් .

ලියන්න කලින් මූලාශ්‍රයත් කියන්න එපාය . විසවෙදකම ගැන පොඩි අයිඩියා එකක් ලබාදුන්නේ අපේ ආච්චිඅම්මා . ආච්චිඅම්මා විසවෙදකම කරපු පවුලක කෙනෙක් . ඒ නිසා එයාට විස වෙදකම , සර්පයින් ගැන පැහැදිලි අවබෝධයක් තිබුණා . සර්පයින් දෂ්ට කලාම ඉහට නගින මරුවිස බස්සන්න ආච්චි අම්මට හැකියාවක් තිබුණා . ලොකුවට වෙදකම කරේ නැති උනාට ආච්චිඅම්මා බෙහෙත් කරලා මතුරලා විස බස්සපු උන්නැහේලා තාමත් අපේ ගමේ ඉන්නවා . ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද දවසේ අපේ ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙක් ගරුඩෙක් කාලා ගොඩක් අමාරු උනා . ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරන් ආවත් විස බැහැල තිබ්බේ නැති නිසා වේදනාව වැඩිවෙලා කෑගගහා තමයි එයා හිටියේ .

එවෙලේ ගමේ ගොඩක් අය ආච්චිඅම්මව ආදරෙන් මතක් කළා හාමිනේ අදත් හිටියනම් කියලා . හාමිනේ නැතුවට මුනුබුරා ඉන්නවා කියලා උන්දලට අමතක වෙලා වෙන්නැති . හැක හැක හැක.......... හැබැයි අන්තිමට වයලීනෝ වෙදමහත්මයා ගමේ සියල්ල විසිර යනකන් ඉඳලා ගෙදර ඇවිත් රත්හඳුන් එකතුකරපු බෙහෙතක් හදලා මමම ගාලා වැඩේ ගොඩ දැම්මා . මොකද ඒ නැන්දා තමයි වයලීනෝ වෙදමහතා බබා කාලේ නෑව්වේ . විස වැඩිවෙලා කෑගහනවා බලාගෙන ඉන්නත් බැහැ ඒ නිසා .







( ඒත් දැන් කාලේ සර්ප වෙද ඔස්තාද්ලා ඉන්න නිසා , දෙන්න යන්නේ නැතුව කටවහගෙන ඉන්න එක ඇඟට හොඳයි ) .

ආච්චිලාගේ පරපුරේ අය වෙදකම කරනකොට සර්පයා ආයෙත් ගෙන්නවලා ඌ ලවාම විස උරවලා ඌව යවන්න දැනගෙන හිටියා කියලා මම අහලා තියෙනවා . ඒත් ඒ කොහොමද කියලා මට අහගන්න ලැබුණේ නෑ . නයි විස බස්සන්න තමයි ඒ දේ වැඩිපුරම කරලා තියෙන්නේ . ආච්චිත් එක්කම පරපුරවල් ගණනාවක් රැකගෙන ආව ඒ වෙදකම එහෙමම නැති උනා .

වෙදකම ගැන ගොඩක් දේවල් මට ආච්චිඅම්මගෙන් ඉගෙනගන්න උනේ නෑ . ඒත් මේ දූත ලක්ෂණය ගැන නම් ටිකක් පාඩම් කෙරෙව්වා . ඕක කියලා දුන්නෙත් පට්ටම සිද්දියක් වෙච්ච දවසක . අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා හොඳ සයිස් නයෙක් . පොර වෙළඳ කුලේ නැත්නම් ගොවි කුලේ . දවසක් නයා ගෙවල් කිට්ටුවට ඇවිත් වටේ පිටේ කස්ටිය හොඳටම කුලප්පු උනා . ඌ කෑවනම් එතනම පරලොව යන සයිස් එකේ නයෙක් ඌ . එතකොට මම 6 වසරේ විතර .







එදා මමත් එළියට බැහැලා නයා දිහා බල බල ඇවිද ඇවිද හිටියා . කවුරුහරි ඌට වැලි අහුරක් ගැහුවා විතරයි හම්මටසිරි , මූ කිස් ගාලා ආවා මගේ පැත්තට . මට දුවන්නේ කොහාටද කියලා අමතක උනා . මම ඌව මගඇරලා දුවන්න පටන් ගත්තේ මගේ කකුල් වලට අඩියක් විතර දුරට ඌ ආවට පස්සේ . ඒ නයා තාමත් අපේ ගමේ ඉන්නවා . අව්ව තපින්න සමහර දවස්වලට මෙයා එනවා ගල් තලාවක් මුදුනට . කොච්චර උනත් තාම එයා මිනිස්සුන්ට කරදරයක් කරලා කියලා නම් ආරංචි නෑ . හැබැයි එයාට බුරපු බල්ලන්ට , හොටෙන් කොටලා ගේම ඉල්ලපු කුකුලන්ට එහෙම එයා ජම්බු දීලා තියෙනවා .

ඉතින් එදා ආච්චිඅම්මා මට හොඳටම දෙහි කැපුවා විසකුරු සත්තු එක්ක සෙල්ලම් කරන්න යනවා කියලා . ඊට පස්සේ මගෙන් ඇහුවා සර්පයෙක් කෑවට පස්සේ අඳුරගන්න දන්නවද කියලා . මම නෑ කිව්වට පස්සේ තමයි ආච්චිඅම්මා මේ කවි ටික කියලා දුන්නේ . ලියන්නේ නැතුව ගෝලයට කටපාඩම් කරවන්න ආච්චිඅම්මලා හොඳට දන්නවා . ඒත් මම ඒවා ලියලා තිබ්බා අමතක වෙයි කියලා . කිව්වත් වගේම මට දැන් ඒවා මතක නෑ හරියටම . ඇයි ඉතින් පාවිච්චි කරන්නෙත් නෑහැනේ .කාපු සර්පයා කවුද කියලා කියන්න ගණිත කර්මයක් තියෙනවා . ඒකත් මට ආච්චිඅම්මගෙන් හරියටම අහගන්න උනේ නෑ .

(ආච්චිලා ගණන් කරන්නේ අපි වගේ වම් අතේ මහපටගිල්ලෙන් පටන් අරගෙන නෙවෙයි . එයාලා ගණන් කරන්න පටන් ගන්නේ වම් අතේ සුලගිල්ලෙන් . ඊටපස්සේ දහයයි කියලා ගැනලා ඉවර කරන්නේ දකුණු අතේ සුලගිල්ලෙන්)







දූත ලක්සනේ කියලා තමයි ආච්චිඅම්මලා කියන්නේ මේ දූත ලක්ෂණ විජ්ජාවට . සර්පයෙක් කවුරුහරි කෑවට පස්සේ ඒගැන පණිවිඩය අරගෙන වෙද ගෙදරට එන්නේ දූතයා . උන්දා ඉන්න දිශාව , හැසිරෙන ආකාරය ගැන සලකලා බලලා තමයි මේ දූත ලක්සනේ හැදිලා තියෙන්නේ . සමහර වෙලාවල් වලදී වෙද මහත්තයා කියනවා දැන් ගිහින් වැඩක් නෑ කියලා .

සමහර වෙලාවට කියනවා ඉක්මනට යමු මෙච්චර් පැය ගානකට කලින් ගියොත් ලෙඩාව ගොඩ ගන්න පුළුවන් කියලා . එහෙම කියන්නේ මේ දූත ලක්සනෙත් එක්කම එයාලා පංචාංගය ගැනත් සලකලා බලලා .
පංචාංගය කියන්නේ මොකද්ද කියලා දන්නවද මෙයාලා . පංචාංගය කියන්නේ ජෝතිෂ්‍ය විජ්ජාවේ මූලික ඉගැන්වීම් විදියට හඳුන්වන

දින 
තිථි 
නැකත් 
යෝග 
කරණ

කියන මූලික සිද්ධාන්ත පහට . මේවා මත තමයි ගොඩක් දේවල් ගොඩනැගිලා තියෙන්නේ .

කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ වෙදකම කරන අය හරියට කම්පියුටර් වගේ , නැකත් උදාව බැසයාම ගැන කොයිවෙලෙත් හිතෙන් ගණනය කරනවා . එනිසා එයාලගේ ශාස්ත්‍රය කොයිවෙලෙත් අප්ඩේට් වෙවී තියෙන්නේ .

දූත ලක්සනේ කියන්න කලින් තවත් දෙයක් කියන්න ඕන . ඔයාලා මේක කියවලා ඉගෙනගත්තට කමක් නෑ . පොත්වල ප්‍රින්ට් වෙලා තියෙනවා දැක්කට  සයිබරේ දකින්න නොලැබුණ දෙයක් නිසා තමයි මෙහෙම කොටලා මේ දේවල් සයිබර්ගත කරන්න හිතුවේ .

ඒත් දැන් කාලේ මේවා මත තීරණ ගන්න එපා . මේ විද්‍යාව පදනම් වෙන්නේ සිංහල වෙදකම එක්ක . එයාලට තියෙන බෙහෙත් හේත් අනුව තමා ලෙඩා ගැන එයාලා තීරණ ගත්තේ . අනික වෙද ගුරුකුල වලට අනුවත් මේවා වෙනස් වෙනවා . එතකොට එක වෙදෙක්ට බේරන්න බැරි ලෙඩා වෙන වෙදෙක්ට බේරාගන්න පුළුවන් වෙනවා  . ඒ කෙසේ වෙතත් දැන් විෂ බස්සන්න බරහිට වෙදකමට පුළුවන් කමක් තියෙනවා . ඒ නිසා ඉස්සෙල්ලම පස්මහ බැලුම් බල බල ඉන්නේ නැතුව ලෙඩා අරගෙන දුවන්න ඉස්පිරිතාලේ .

ඊට පස්සේ ලෙඩාගේ ජීවිතය ස්ථාවර උනාට පස්සේ සිංහල වෙදකම හරහා ගිහින් ඉතුරුවෙලා තියෙන විසක් තියෙනවනම් ඒවා නැති කරගන්න බලන්න . මොකද සර්ප විසත් එක්ක අක්‍රීය වෙන්න ලොකු අවදානම තියෙන අක්මාව , මොලය , ස්නායු එක්කම වකුගඩු කියන ඉන්ද්‍රියයන් රැකගන්න අපි ඉක්මන් වෙන්න ඕන . එහෙම නැත්නම් ලෙඩාගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි .







ඉඳුරේ සිට කියති නයි වර්ගය කියනු
ගිනිකොණ වයඹ සවුම්‍ය පොළඟා කියනූ
වරුණ කරවැලුන් තෙලිසක් විස කියනු
ගෝනුසු ඉසානේ නියතයි දැන කියනූ

කර කරවැල් උර මාපිල් සබරලකී
දනය පොළොන් වැලමිට නම් තෙලිස්සකී
මූණ බලා රැවුදෙන නාගවිස යකී
මෙලෙස දුට නැතොත් විස නැති සර්පයෙකී

උනා වරල බඳිමින් ඔහු සිටින තැන
උඩ බිම ඉවත විමසා කඳුළු පිසිමින
දෑත දෙවර වසමින් ඔහු සිටින තැන
මෙලෙස දුටෝතින් ඔහු පැමිණි කාලෙන

උදුරා පයින් තණ නෙලමින් සිටින තැන
සොඳුරා ඇඟිල්ලෙන් වල සාරයි එතන
ඇදුරා දුටු කෙනෙක් මෙලකුණු දැන කියන
ඇදුරා කියයි නියතයි පැමිණි කාලෙන

නික්ම ඇදුරු එන යන අවුසදට දැන
දැක්ම පෙරමගට එති වැල් බාන ගෙන
ඉක්ම කළුවතක් ඇඳ දුනු ඊ රැගෙන
රැයක් තමයි මරුගෙන් ඔහුට කැප උන

සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන
යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන
කියා යන ගමන් පෙරමග ගොස් අසන
නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින

සොහොන් පෙනෙල්ලක් අරගෙන එතෙයි දනු
කිළුටු වතයි හිසවට බැම්මයි බලනු
මෙවෙනි ලකුණු ඇතුවම ආ නන් කියනු
නසී තුන් පැයක් ඇතුවම මයි කියනු

වරලස උනා එනබව දැන කියමින්නේ
උතුරේ සිටගනමයි එය පවසන්නේ
වමේ පයින් බිම සාරයි නම් දන්නේ
එසේ දුටුවොතින් දෙපැයින් එනසින්නේ

විසගොර සර්පය කාපි කියන්නේ
එනලකුනෙන් ගුරුවර විමසන්නේ
වමතින් ඔහුගේ උරේ කසන්නේ
තිර සාරේ කරවලයි කියන්නේ

බිලිඳෙක් කැටුවම කතෙක්ද එන්නේ
ඇවිත් තමා ළඟ අඬා වැටෙන්නේ
මූනද පිසිමින් මෙලෙස කියන්නේ
රැවුදෙන නයිවිසමයි පවසන්නේ

ලකුණු අඟේ සොඳ ලෙසට බලන්නේ
දකුණු අතින් උගේ ළමැද කසන්නේ
නැගෙන දෙසේ සිට ගනම කියන්නේ
ලකුණු දෙසේ පොළඟා දැනගන්නේ

නූස් නුමිටි මිනිසෙක් දැන ගන්නේ
ගුරුවර ගෙදරද කියාන එන්නේ
ඉස අතගාමින් කියයි බොලන්නේ
මෙවෙනි ලකුණු මාපිලයි කියන්නේ

රණ දුටු මිනිසෙයි එයි ලසිනේයා
කම්මුල් කසමින් කියයි සොදේයා
එවෙනි ලකුණු දුටුවොත් ලසිනේයා
තිර සාරේ මාපිලි ලකුනේයා

ඇවිත් සිටින ඔහු උදර කසන්නේ
තැනක නොසිට ඇවිදිති දැනගන්නේ
බො සෝ දුකකි අදුරිනියි කියන්නේ
තිරසාරෙන් ගෙමිඩියයි බොලන්නේ

උකුලට අත ගසමින් පවසන්නේ
පමා නැතුව යන් ගුරුනි කියන්නේ
සතුරු භයක් මෙන් දුවගෙන එන්නේ
ඇඟේ ලකුණු සිකනලයි කියන්නේ

දෙවැලමිටක් කසමින්ම කියන්නේ
දෙපය කසාසිට ගනම කියන්නේ
අධික ගායමයි ගුරුනි කියන්නේ
ගත් කුණු මීවිස බවයි කියන්නේ

තිරසරුමක් සේ ඇස නොපෙනෙන්නේ
මුකුළු සිනාසී සිට පවසන්නේ
ලකුණු බලා සොඳ ලෙසට කියන්නේ
එවෙනි ලකුණු තෙලිසෙකි දැනගන්නේ


මේ තියෙන්නේ බෙහෙතක් .

කරඳද මීපොතු එක්කරගන්නේ
ඔලිඳ කොලත් සහ මුරුවට ගන්නේ
එකට කොටා ඔහු හට දීපන්නේ
පැණි රසනං නයි විස දැනගන්නේ

තිත්ත රසේ තෙලිසා දැනගන්නේ
කුණු රසනං කරවලා කියන්නේ
ඇඹුල් රසේ පොළඟා දැනගන්නේ
කසට රසේ කුණු මීය කියන්නේ

දිය රස දිවි මකුලුවයි කියන්නේ
කර රසනං සිකනලයි බොලන්නේ
කට දානං ගෙමඩියා කියන්නේ
මෙලෙසට විස බව බලනු කියන්නේ



මේ තියෙන්නේ ඒ දූත ලක්සනේ එන කවි . මීට වඩා වෙනස් විදිත් තියෙන්න පුළුවන් . දැනුම බෙදාගන්න කැමති අයට පුළුවන් ඒවත් බෙදාගන්න .

ඒවගේම මේවා මට කියලා දීපු ආච්චිඅම්මට මේ සසර ගමනේ කවදාහරි ආයෙත් අපිගාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

16 comments :

  1. අප්පට සිරි, වයලීනෝ වෙදෙක්නේ බලන් ගියාම

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් ඉගෙන නම් ගත්තා ආසාවට . එත් භාවිතයක් නැති නිසා ඒවා එහෙමම අමතක වෙලා ගියා . :) :)

      Delete
    2. අහ්හ් අමතක උනා . බොහොම ස්තූති ඈ g-)

      Delete
  2. ආච්චිට වගේම උඔටත් ස්තුතියි.
    එල ද බ්‍රා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. එල එල . බොහොම ස්තූති g-) g-)

      Delete
  3. මේ වගේ දේවල් ලියලා තියෙන එක හරි වැදගත්. ඒත් උඹ ආච්චිගෙන් අහගන්න ඕන දේවල් ගොඩක් අහගෙන නැහැනේ.

    අපේ දුව පොඩි කාලේ වත්තට සර්පයෙක් ආවා. හැමෝම කියනවා නයෙක් නයෙක් කියලා. එක් කෙනෙක් කීව්වා ප යන්න තියෙනවාද කියලා බලන්න කියලා. අපේ දුව අහනවා..නයෙක් නම් ආච්චී ප යන්න තියෙන්නේ කොහොමද න යන්නනේ තියෙන්න ඕන කියලා.

    ඔය රුක් අත්තන පෙට්ටි සීන් එක ඇත්තද වයලීනුවෝ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් . ඒකනම් ඇත්ත . දැන් තමා දුක . තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා මට . මොනවා කොරන්නද ඉතින් . දෛවයේ සරදම් තමා .

      රුක්අත්තන වලට විස ඇදෙන ගතියක් තියෙනවා තමයි . රුක් අත්තන ගන්නවා බෙහෙත් හදන්නත් . ඒ නිසා ඒකෙ යම් තරමක ඇත්තකුත් තියෙනවා . එත් මැරිච්ච කෙනෙක්ට පන ගන්න එක ගැන නම් විශ්වාසයක් නෑ මටත් . විෂ බස්සන්න නම් පුළුවන් කමක් තියෙනවා .

      Delete
  4. ෂහ්. තව කොච්චර දැන ගන්න තිබුනද බං..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම් ....... දුක තමා දේශක ( රංජනී ) :) :)

      Delete
  5. ඔය දූත ලක්ෂණ කතන්දරේ තවත් දේවල් වලට පාවිච්චි කරල තියනව මං හිතන්නෙ. දූතය ට කණට ගහන සීන් එහෙම ත් තිබුන ලු නේද ? :D

    ඔහොම සිද්ධි ටිකක් ටිකක් විතර මාත් දැකල තියනව. දැන් නම් ඉතින් අර කිව්වත් වගෙ රෝහලකට උස්සන් දුවන එක තමයි වඩාම සුදුසු.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි . කනට ගහන එක දූත ලක්ෂනේට අයිති නෑ . එකෙන් කරන්නේ ලෙඩාගේ විෂ බස්සන එක . කනට ගහන එක කෙමක් . වෙදා කරන්නේ කතා නොකර එහෙමම දූතයට කනට ගහන එක . ඒකෙන් ලෙඩාගේ විෂ බහිනවා කියලා විශ්වාස කරනවා . එල එල .
      බොහොම ස්තූති ඒ ගැන මතක් කලාට :) g-)

      Delete
  6. අඩෝ ඩෙංගු මාරුවට හරියන සීන් එකක් මුකුත් කියල දුන්නේ නැද්ද ආච්චි?
    .
    ගෙමඩිය කියන්නේ මොකාද මචං?

    ReplyDelete
    Replies
    1. :v :v ඒකාලේ ඩෙංගු තිබිලා නෑ :v :v
      ගෙමඩිය කියන්නේ පාත්තෑයා පින්වත .

      Delete
    2. හඃ හඃ බයවෙලා වගේ ඈ....... හ්ම් හ්ම් බී කූල් . කොහොමත් තව ටික දවසකින් කූල්නේ :p :p

      Delete
  7. නියමයි වයලිනෝ....

    ReplyDelete
    Replies
    1. :) :) ටන්කු අක්කේ :) :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.