Friday, October 24, 2014

ඔන්න ලස්සය පහුකරා !












ඔන්න ඔහොමලු එක්කෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ . ඊට පස්සේ ඒ බ්ලොග් එකේ තව එක්කෙනෙක් ලියන්න සෙට් උනාලු . දෙන්නම එහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවලු . දැන් වීවස් ගණන ලක්ෂයේ සීමාව පහුකරලා නිසා දෙන්නම හිතුව බ්ලොග් එක කියවන්න එන අයට ස්තූති කරන්න . 

ඊයේ කැම්පස් ඉඳලා ගෙදර එනගමන් මගදී තමයි මතක් උනේ බ්ලොග් එක දැන් ලොකු ළමයෙක් වේගෙන එනවා කියලා . 2013 පෙබරවාරි මාසයේ පටන්ගත්ත අපේ මේ බ්ලොග් එක , එක එක එව්වා මේව්වා ලියාගෙන ලියාගෙන දිග ගමනක් යනගමන් ඔන්න වීව්ස් ලක්ෂයේ සීමාව පහුකරාලු ඉතින් ඈ . 

අපේ පෝස්ට් කියවපු , 
ඒවාට අදහස් පල කරපු , 
විවේචනය කරපු , 
බ්ලොග් එක ප්‍රවර්ධනය කරන්න උදවු කරපු , 
අපේ පෝස්ට් ශෙයා කරලා තවත් අය එක්ක අපේ කතා බෙදාගත්තපු , 
වැරදි පාරේ යනකොට හරි පාරට ඇදලා ගත්තපු හැමෝටම 

සිංදුවා සහ වයලීනෝවා හදපිරි මෙව්වා එක පල කොරනවා . කලින් ලියාගෙන ආපු දේවල් ඉදිරියටත් එහෙමම ලියාගෙන යන්න වගේම , තව තව අලුත් දේවල් බ්ලොග් අවකාශයේ හැමෝමත් එක්කම බෙදාගන්න අපි බලාපොරොත්තු වෙනවා . 

අපිත් එක්ක ඔබ ආවොත් 
හිනාවෙනව හැමදාමත් 
මේ කියන්නේ ඇත්තයි 
මල්ලී 
නංගී 
අයියේ 
අක්කේ 
නැන්දේ 
මාමේ 
සහෝදරි සහෝදරි වරුනේ . 


එහෙනම් සිංදුවටයි මටයි විතරක් මවුලයක් ( හයයි දශම බින්දුවයි දෙකයි දෙක වැඩිකිරීම දහයේ විසිතුනක් ) දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරස්සාවයි .








මාළිගෙ සුන්දර පුරය දෙවුන්දර
සෝභන පුර සඳ ලෙසට මනෝහර 
වැජඹෙන සිරි මහ විෂ්ණු පුරන්දර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

රත්න විමානේ කදිරා පුරවර
චන්ද්‍ර සූරියා ලෙසට සුභාකර 
වැජඹෙන කදිරා දේව මනෝහර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

ලොවැති සකල අඟනන් හට පේමා
තිලකවූ සුන්දර රුසිරෙන් සෝමා
නම් දැරු දේවිය පත්තිනි අම්මා
පින්ගෙන අපදෙන රකින්න සෑමා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ 
ඔබේ ගමන කන්දේ සොභමානේ
සමන් දෙවිඳු අප තෙදිනි රකින්නේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

සටනින් පසු රාමා කල ඈතේ
දෙවියන් වූ සිරි කැළණි පළාතේ
සුරිඳු විභීෂණ සිහිකර නිතිනේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

වන්නියේ වනයේ අණ පතුරන්නේ 
දිවි වග වලසුන් පන්නා ලන්නේ 
සාධු සිතින් යන සැවොම රකින්නේ 
අයියා නායක දෙවි පින් ගන්නේ 

අල්ලට ගල් ගෙන මැණික් කරන්නේ 
වැල්ලෙන් බත් පිස භෝජන ගන්නේ 
සෙල්ලන් වියෙ දරුවන් රැක දෙන්නේ 
දෙවොල් දෙවිඳු අද මේ පින් ගන්නේ 

ගවුවක් විතරැති ගල පොඩි කරපූ 
ඇසක් ලෙසට බෙර සමතල කරපූ
එක් දවසින් දේවාලය සදපූ 
දැඩිමුන්ඩය ගනු පින් දොස හරපූ 

කමල නයන නෙත පතුරන බලනා
පුවල බලැති ඔඩ්ඩිස දෙවි බැතිනා
අපට කරන දොස දුර කර වසනා
නිමල සහන සෙත දුන මැන ලෙසිනා

රන් තොරණේ මුරට සිටින කඩවර 
වම් අතිනේ ගෙනත මුගුරු වරතර 
රන් විමනේ දොරැර එන්න අවසර 
දැන් ඉතිනේ වඩින් දේව කඩවර


Monday, October 20, 2014

උල් අඩි සෙරෙප්පුව








ලැබ් එක ඉවර වී ගිය සිකුරා දා මා
ගෙදරට එන්න අටියෙන් දක්නට අම්මා
බසයට ගොඩ උනා මිණිපුර මහරගමා 
අසුනට බර උනෙත් වට පිට බලමින්මා

දෙතුන් දෙනයි හිටියේ මුළු බසයටම
නමුත් විනාඩිය දෙක ගතවන කොටම
ආවා සෙනග දොර දෙකොනෙන් පිරෙන්නම
ඩ්‍රයිවර් අයිය පෑගුවනේ ලැල්ලටම

දැන් ටික ටික බස් එක ගමනේ යනවා
මගෙ ටික ටික නිදි නැති ඇස් පියවෙනවා
හිස ටික ටික මගෙ පහලට යොමුවෙනවා
කොට්ටාවට ටික ටික දැන් ලං වෙනවා

කොන්දයියා ඇවිදින් මා සිටි තැනට
තට්ටු දෙක තුනක් දැම්මා පිට මැදට
මල්ලි ගෙදර යනවා වාගේ ජයට
දෙන්න ටිකට් ගන්න සල්ලි කිව්ව මට

කොට්ටාවේ බස් නැවතුම අසල සකී
බසය නැවැත්තුවෙ ගන්නට සෙනග සකී
සුන්දර දිගැසියක් බසයට එනව සකී
දැක්කම මගේ නිදිමත උඩ ගියා සකී

කොණ්ඩය ඇගේ ලේයර් කරලා තිබුණා
කොන්ඩ කටුත් රන් වන් පැහැයෙන් දිලුනා
සිහින් කෙස් රොදක් විත් නළලට තිබුණා
ඇස් දෙක මගේ ඈ වෙත කැරකී තිබුණා

සිහින් නළල් තල ඇගෙ හඳ පළුව වගේ
ඇස් දෙක ඇගේ බ්ලූ සෆාය මැණික් වගේ
චූටි නහය බට්ටිච්චගේ හොටය වගේ
කටට දෙන්න උපමාවක් නැතුව වගේ

අළු පාටයි ඇය හැඳ සිටි බ්ලවුස් එක
විලේ හංස ජෝඩුව ඇත නොනින්දක
ඉඟටිය ගන්නට අකුලා එක මිටක
ගන්නට නොසිතයි ඇය දුටු කෙනෙක් සැක

මැද පොල්ලේ එල්ලෙන සොඳ මහතුන්නේ
අල්ල පනල්ලේ ඇයි එක තැන ඉන්නේ
කරුණාකර පස්සට යමු කියමින්නේ
කොන්දයියා හරි හයියෙන් මොර දෙන්නේ

ටික ටික ටික මැද පොල්ලේ ඉන්න අය
පස්සට යන්නේ කොන්දට රවමින්ය
සුන්දර දිගැසියත් ඒ හා ඇදෙමින්ය
ඇවිත් නැවතුනේ මට අඩි තුනකින්ය

එකවර ඇය මා දෙස ඇගෙ ඇස හරවා
බලනා බව මට මීටර් වී නැතුවා
ගන්නට මගෙ ඇස් දෙක ඇවෙතින් හරවා
ඇදෙස බලා සිටි මා චාටර් වූවා

රතු තොල් ඇති මුව සරසා නැති උපමා
දසන් විදා සිනහව පා ඇය හා මා
අහකට නෙත් යුග ගත්තේ සිතකින් මා
නොව එය නොකරා ඉන්නට බැරියෙන් මා

සුන්දර දිගැසියේ ඔබ යන්නේ කොහිද
අහන්නට සිතයි ඒ බව කියනවද
ඒත් හිත භයයි නාගන්නට වෙයිද
කියලා හිතන්නට තව මොකවත් නැතිද

අවි උස්සපු වේල්ල වෙත බස් රථය
දන්නේ නැති ලෙස එය දැන් ලං වීය
වයසක අම්මෙක් නැග්ගේ එහිදීය
කතාව ඇරඹුනෙ මචන්ලා මෙහිදීය

වයසක අම්මා මා ඉන්නා අසල
සිටගෙන ඇති බව දැක මගෙ හද සසල
වී දුන්නා මගෙ ආසන නොව ලොල්ල
රූබර දිගැසියත් ඇත දැන් මා අසල

ඇගෙ සුකොමල මුහුණ මගේ උර හිසට
තිබ්බේ දෑඟුලක් පමණකි සම වෙන්ට
හිසට කලින් හිත මුල් තැන අරගන්ට
හිත කිව්වේ මට ඇය දෙස බලන්නට

ආයෙත් ඇය මගෙ දෙස දෙවරක් බලලා
රතු තොල්පෙති විවර කරා එකල් බලා
අයියා යන්නේ මිණි පුරටද කියලා
ඇසුවේ මා ගන්න කලින් මුල පුරලා

මගෙ කට කණ සොයමින් යන බව දැනිලා
දන්නෙම නැති පැණි මුට්ටිය ඉවත හලා
ඔව් නංගියෙ මම මිණිපුර යමි කියලා
දුන්නා පිළිතුරක් තව පැන එයි කියලා

හිතුව වගේ දිගැසිය දැන් විඩෙන් විඩ
මගෙන් එව්වා මෙව්වා අහනවා හැඩ
මමත් ඇයට දාමින් මගෙ නොයෙක් වැඩ
කතා කරේ බලමින් ඇය දුන්න හැඩ

අයියේ මම කුරුවිට හරියෙන් බැහැලා
යන්නම් එහෙනම් ගෙදරට පිය මැනලා
මම ඉන්නේ NIBM කියලා
දිගැසිය මට කිව්වා යන්නම් කියලා

යන්න එපා ස්වීටි නගේ මා දාලා
මිණිපුර ගිරිහෙල් අරඹේ ඇති නිමලා
මගෙ නිවසට කැන්දන් යන්නම් පැනලා
කියන්නටම කිව්වා මගෙ සිත සැලිලා

දිගැසිය මට සමුදී යන්නම් කියලා
වම් පස සිටි ඇය මගෙ දකුණට පැනලා
බසයේ දොර වෙත යන්නට පිය මැනලා
ඇරඹුවෙ මගෙ පිටි පතුලට කෙලවාලා

ඇගෙ සෙරෙප්පු ජෝඩුව පොෂ් එකක් නිසා
උල් අඩි දෙක තිබුණේ ඊ තල විලසා
යනවිට ඇය මා හද පෙම් මල් ගවසා
ඇනුනේ මගෙ ඇඟ නංවා හිරි වරුසා

ඇගෙ සුකොමල වත මට අමතක වීය
සුළුදිය පහවන්නට මෙන් සිත් වීය
එච්චර චාටර් වන්නට නොම වීය
දන්නා හැම කුණු හරුපම සිත් වීය

තෝ පරට්ටි &$%^%#^%&* නීයන්
මට රිදවූ සෙරෙප්පු දෙක *#&&^නීයන්
යන යන තැන තෝ &&%$$&**() නීයන්
අවසානේ තොගෙ %#@%^&&(&^ නීයන්




Saturday, October 18, 2014

කපුටු සාත්තර කියනහැටි





                                  


සර්පවෙද දූත ලස්සණ විජ්ජාව ගැන කියලා දෙන්න කියලා මගේ පරණ පොත් අවුස්සනකොට ඒ පොතක් අස්සේ තිබිලා කොපි පොත් කොලයක් බිම වැටුනා . මොකද්ද කියලා බලන්න බිමට නැවෙනකොට තමයි දැක්කේ ඒ කොලේ තියෙන්නේ අපේ ආච්චිඅම්මගේ අත් අකුරු කියලා . එයාට අවුරුදු හැත්තෑ ගානක් විතර ඇති මම හිතන්නේ ඒ කොලේ ලියනකොට . ඒ කියන්නේ මම මොන්ටිසෝරි යන කාලේ .

අපේ ගෙදර ඉස්සර මට මතකයි මම පොඩි කාලේ , හැමදාම වගේ කපුටන්ට බත් ගුලි දෙනවා . සෙනසුරාදට කිරිබත් ගුලි දෙනවා . ඒ කාලේ අපේ ගෙවල් පැත්තේ කපුටන් වැඩිපුර හිටියත් එක්ක , එහෙම දාන දෙන්න . කපුටන්ට කන්න දෙන්නේ ඇයි කියලා මට ඒ කාලේ වැඩිය අදහසක් තිබ්බේ නෑ . අම්මලාගෙන් ඇහුවට අම්මලට ඒ කාලේ මට ඒ දේ කියලා දෙන්න විදියක් නැතුව ඉන්න ඇත්තේ , මොකද සෙනසුරු ග්‍රහය ගැන මම පොඩිකාලේ දන්නේ නැති නිසා . පස්සේ තමයි දැනගත්තේ සෙනසුරු ග්‍රහයාගේ වාහනය විදියට කටයුතු කරන්නේ කපුටා කියලා . ඒ නිසා කපුටා කියන්නේ එසේ මෙසේ සතෙක් නෙවෙයි .



ජෝතිෂ විජ්ජාවට අනුව මකර සහ කුම්භ ලග්න දෙක අයිති සෙනසුරු කියන ග්‍රහයාට . සෙනසුරු කියන්නේ ඵල දීම හා ඵල දෙවීම කියන කාරනා දෙක කරන ග්‍රහයා . ග්‍රහ මණ්ඩලයේ ඉන්න සේවකයා තමයි සෙනසුරු . සෙනසුරු ග්‍රහයාගේ හාම්පුතා විදියට වැඩ ඉන්නේ විෂ්ණු දෙවියන් . ඔය ඔක්කොම දේවල් කරණ කොටගෙන තමයි සෙනසුරු අපල වලට කපුටන්ට දාන දෙන්නේ . ඔය කපුටන්ට දෙන දාන වලින් වැදගත්ම දානයක් තමයි කපුටන්ට එළඟිතෙල් පොඟවපු පහන් තිර කන්න දෙන එක .

කපුටා කියන්නේ ඔක්කොම ජාති කන එක්කෙනේක්නේ . ඉතින් මෙයාට සමහර වෙලාවට බඩේ අමාරු හැදෙනවා , කාපුවා දිරවාගන්න බැරි වෙනවා . ඒ වෙලාවට කපුටට තියෙන දිව්‍ය ඖෂධයක් තමයි මේ එළඟිතෙල් පොඟවාපු පහන් තිර කියන්නේ . ඉතින් කපුටන්ට එව්වා කන්න දෙන එකත් සෙනසුරු අපල දුරු වෙන පිනක් කියල කියනවා .





දවසක් මට මතකයි මම මොන්ටිසෝරියේ ඉගෙනගන්න කාලේ ඉස්කෝලේ ටීචර් කපුටා ගැන අපිට කියලා දීලා කපුටා සාත්තර කියනවා කියලා කිව්වා . කපුටා ගෙ ඉස්සරහා ඉඳගෙන කෑගහන්නේ ගෙදරට කවුරු හරි එනවනම් තමයි කියලා කියා දුන්නා . ඉතින් මම ගෙදර ඇවිත් ඔයගැන කියනකොට අපේ ආච්චිඅම්මා ඒක අහගෙන ඉඳලා මට මෙන්න මේ කවිය ලියලා දුන්නා .

හැබැයි ආච්චි අම්මා මාත් එක්ක මේ කවිය කියලා මටත් පාඩම් කෙරෙව්වා . මේකෙන් කියන්නේ පුරාණ කාලේ ඉඳලා පැවත එන කපුටු සාත්තර කියන විදියක් ගැන . මීට වඩා වෙනස් විදිත් තියෙනවා . මේ එයින් එකක් විතරයි . දැන් නම් සාත්තර කියන්න තියා දක්කින්නවත් කපුටෝ නෑ . ඒත් ඔය කවි කියල දෙන කාලේ අපේ පැත්තෙත් හොඳට කපුටෝ හිටියා . මේ සාත්තරවල ඇත්ත නැත්ත ගැන නම් මම බලලා නෑ . මොකද කපුටා කෑ ගහනකොට ඒ ගාන ගණන් කරගන්න මීටර් වෙන්නේ ඌ ටිකක් කෑගැහුවට පස්සේ නිසා . ඒ මොනවා උනත් කමක් නෑ , මෙන්න මෙහෙමයි ඒ සාත්තර කියන්නේ .


මේ තියෙන්නේ ආච්චිඅම්මා මට ලියලා දීපු කොලේ .



මෙන්න මෙහෙමයි කපුටු සාත්තර ගැන කියන කවිය

එකවෙයි මියුරූ දෙක සුභ නැතිමය
තුනවෙයි සතුටූ සිවු කොලහලමය
පහවෙයි ලාභය හය සුභ ඵලමය
සත වෙයි මරණය පෙර ඉසි පැවසුය

මෙහෙමයි සාත්තරේ කියන්නේ . ඔන්න කපුටෙක් කෑගහනවානම් , එයා කෑගහන වාර ගණන් ගණන් කරගන්න ඕන . ඊට පස්සේ ඒ ගානට දහතුනක් එකතු කරලා . ඒක හතෙන් බෙදන්න ඕන . ඉතුරුවෙන ගාන අනුව තමයි මේ සාත්තරේ කියන්නේ . උදාහරණයක් විදියට මේ ගණිත කර්මයෙන් ඉතුරු වෙන උත්තරය පහ නම් තමන්ට හෝ නිවසට ලාභයක් ලැබෙනවා කියලා කියන්න පුළුවන් . අන්තිම පදයේ තියෙන " සත වෙයි මරණය " කියන්නේ හතෙන් බෙදලා කීයක් වත් ඉතුරු වෙන්නේ නැත්නම් මරණය කියන එකට . 


මොකද ඉස්සර අය බෙදනවා කියලා කරේ ගල් කැට අරන් හත හත අයින් කරපු එක . මෙහෙම අයින් කරනකොට අන්තිමට ඉතුරු වෙන්නේ හතක් නම් , ඒකෙ ප්‍රතිපලය මරණයක් කියල තමයි මේ කියන්නේ . ඔන්න ඔහොමයි කපුටා සාත්තර කියන්නේ . පෝස්ට් එක කොටයි . වැඩිය දෙයක් මේ ගැන කියන්නත් නෑ . ඒත් ලිව්ව දේ වැදගත් වෙයි කියලා හිතනවා . අවසාන වශයෙන් මේවා කියලා දීපු මගේ ආච්චිඅම්මවත් මතක් කරනවා . 


Thursday, October 16, 2014

වෙනස කෙස් ගසකි සකි වෙර අතර පෙම









අනඟුන් හීය සිත් පතුලට වැදුනාම 
රූසිරි නුවත් ලඳ බැබළෙයි මුතුසේම 
හැරදා යන්න ගිය කල උන් නොකියාම 
වෙනස කෙස් ගසකි සකි  වෙර අතර පෙම  


හදවත නැතිය එම තාමත් පුද දීලා 
මල්ලක් ගන්න ඇත යෙහෙලියො පුරවාලා 
දුටුවන් කියයි මගෙ පෙම් වතියයි කියලා 
දන්නෝ දනිති මා හද හඬනා වේලා 


යන්නට එපා සුදු මවෙතින් කිසි කලෙක 
ගන්නට එපා වෙන කෙල්ල වඩා ලක 
එසේ කියා මවෙතින් ඔබ ගිය විටෙක 
තිබුණු අත්වැලත් නැත මගෙ සවි සිතක 






Friday, October 10, 2014

සර්පවෙද දූතලක්ෂණ විජ්ජාව






කාලයක් තිස්සේ ලියන්න ඕන ඕන කිය කිය හිටියට යෙක යෙක හේතු නිසා මේ ගැන ලියන්න අමතක උනා . මේ ළඟදී සිංදුඅම්මයි සිංදුවයි මමයි පන්සල් ගියා දානෙකට හාමුදුරුවන්ට ආරාධනා කරන්න . ඒ පන්සලත් වෙදකමට සම්භන්ධ පුරාණ පන්සලක් . ඒ යනකොට අපි තුන්දෙනා වෙච්ච කතාවක් දුරදිග ගිහින් ආයෙත් මතක් උනා මේ ගැන ලියන්න ඕන කියලා . සර්පවෙදකම ගැන මම ඉස්සර ලිව්වා නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින කියලා පෝස්ට් එකක් . ඔයාලා කලින් ඒක කියවලා නැත්නම් මෙතනින් ගිහින් ඒ පෝස්ට් එක කියවන්න පුළුවන් .

ලියන්න කලින් මූලාශ්‍රයත් කියන්න එපාය . විසවෙදකම ගැන පොඩි අයිඩියා එකක් ලබාදුන්නේ අපේ ආච්චිඅම්මා . ආච්චිඅම්මා විසවෙදකම කරපු පවුලක කෙනෙක් . ඒ නිසා එයාට විස වෙදකම , සර්පයින් ගැන පැහැදිලි අවබෝධයක් තිබුණා . සර්පයින් දෂ්ට කලාම ඉහට නගින මරුවිස බස්සන්න ආච්චි අම්මට හැකියාවක් තිබුණා . ලොකුවට වෙදකම කරේ නැති උනාට ආච්චිඅම්මා බෙහෙත් කරලා මතුරලා විස බස්සපු උන්නැහේලා තාමත් අපේ ගමේ ඉන්නවා . ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද දවසේ අපේ ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙක් ගරුඩෙක් කාලා ගොඩක් අමාරු උනා . ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරන් ආවත් විස බැහැල තිබ්බේ නැති නිසා වේදනාව වැඩිවෙලා කෑගගහා තමයි එයා හිටියේ .

එවෙලේ ගමේ ගොඩක් අය ආච්චිඅම්මව ආදරෙන් මතක් කළා හාමිනේ අදත් හිටියනම් කියලා . හාමිනේ නැතුවට මුනුබුරා ඉන්නවා කියලා උන්දලට අමතක වෙලා වෙන්නැති . හැක හැක හැක.......... හැබැයි අන්තිමට වයලීනෝ වෙදමහත්මයා ගමේ සියල්ල විසිර යනකන් ඉඳලා ගෙදර ඇවිත් රත්හඳුන් එකතුකරපු බෙහෙතක් හදලා මමම ගාලා වැඩේ ගොඩ දැම්මා . මොකද ඒ නැන්දා තමයි වයලීනෝ වෙදමහතා බබා කාලේ නෑව්වේ . විස වැඩිවෙලා කෑගහනවා බලාගෙන ඉන්නත් බැහැ ඒ නිසා .







( ඒත් දැන් කාලේ සර්ප වෙද ඔස්තාද්ලා ඉන්න නිසා , දෙන්න යන්නේ නැතුව කටවහගෙන ඉන්න එක ඇඟට හොඳයි ) .

ආච්චිලාගේ පරපුරේ අය වෙදකම කරනකොට සර්පයා ආයෙත් ගෙන්නවලා ඌ ලවාම විස උරවලා ඌව යවන්න දැනගෙන හිටියා කියලා මම අහලා තියෙනවා . ඒත් ඒ කොහොමද කියලා මට අහගන්න ලැබුණේ නෑ . නයි විස බස්සන්න තමයි ඒ දේ වැඩිපුරම කරලා තියෙන්නේ . ආච්චිත් එක්කම පරපුරවල් ගණනාවක් රැකගෙන ආව ඒ වෙදකම එහෙමම නැති උනා .

වෙදකම ගැන ගොඩක් දේවල් මට ආච්චිඅම්මගෙන් ඉගෙනගන්න උනේ නෑ . ඒත් මේ දූත ලක්ෂණය ගැන නම් ටිකක් පාඩම් කෙරෙව්වා . ඕක කියලා දුන්නෙත් පට්ටම සිද්දියක් වෙච්ච දවසක . අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා හොඳ සයිස් නයෙක් . පොර වෙළඳ කුලේ නැත්නම් ගොවි කුලේ . දවසක් නයා ගෙවල් කිට්ටුවට ඇවිත් වටේ පිටේ කස්ටිය හොඳටම කුලප්පු උනා . ඌ කෑවනම් එතනම පරලොව යන සයිස් එකේ නයෙක් ඌ . එතකොට මම 6 වසරේ විතර .







එදා මමත් එළියට බැහැලා නයා දිහා බල බල ඇවිද ඇවිද හිටියා . කවුරුහරි ඌට වැලි අහුරක් ගැහුවා විතරයි හම්මටසිරි , මූ කිස් ගාලා ආවා මගේ පැත්තට . මට දුවන්නේ කොහාටද කියලා අමතක උනා . මම ඌව මගඇරලා දුවන්න පටන් ගත්තේ මගේ කකුල් වලට අඩියක් විතර දුරට ඌ ආවට පස්සේ . ඒ නයා තාමත් අපේ ගමේ ඉන්නවා . අව්ව තපින්න සමහර දවස්වලට මෙයා එනවා ගල් තලාවක් මුදුනට . කොච්චර උනත් තාම එයා මිනිස්සුන්ට කරදරයක් කරලා කියලා නම් ආරංචි නෑ . හැබැයි එයාට බුරපු බල්ලන්ට , හොටෙන් කොටලා ගේම ඉල්ලපු කුකුලන්ට එහෙම එයා ජම්බු දීලා තියෙනවා .

ඉතින් එදා ආච්චිඅම්මා මට හොඳටම දෙහි කැපුවා විසකුරු සත්තු එක්ක සෙල්ලම් කරන්න යනවා කියලා . ඊට පස්සේ මගෙන් ඇහුවා සර්පයෙක් කෑවට පස්සේ අඳුරගන්න දන්නවද කියලා . මම නෑ කිව්වට පස්සේ තමයි ආච්චිඅම්මා මේ කවි ටික කියලා දුන්නේ . ලියන්නේ නැතුව ගෝලයට කටපාඩම් කරවන්න ආච්චිඅම්මලා හොඳට දන්නවා . ඒත් මම ඒවා ලියලා තිබ්බා අමතක වෙයි කියලා . කිව්වත් වගේම මට දැන් ඒවා මතක නෑ හරියටම . ඇයි ඉතින් පාවිච්චි කරන්නෙත් නෑහැනේ .කාපු සර්පයා කවුද කියලා කියන්න ගණිත කර්මයක් තියෙනවා . ඒකත් මට ආච්චිඅම්මගෙන් හරියටම අහගන්න උනේ නෑ .

(ආච්චිලා ගණන් කරන්නේ අපි වගේ වම් අතේ මහපටගිල්ලෙන් පටන් අරගෙන නෙවෙයි . එයාලා ගණන් කරන්න පටන් ගන්නේ වම් අතේ සුලගිල්ලෙන් . ඊටපස්සේ දහයයි කියලා ගැනලා ඉවර කරන්නේ දකුණු අතේ සුලගිල්ලෙන්)







දූත ලක්සනේ කියලා තමයි ආච්චිඅම්මලා කියන්නේ මේ දූත ලක්ෂණ විජ්ජාවට . සර්පයෙක් කවුරුහරි කෑවට පස්සේ ඒගැන පණිවිඩය අරගෙන වෙද ගෙදරට එන්නේ දූතයා . උන්දා ඉන්න දිශාව , හැසිරෙන ආකාරය ගැන සලකලා බලලා තමයි මේ දූත ලක්සනේ හැදිලා තියෙන්නේ . සමහර වෙලාවල් වලදී වෙද මහත්තයා කියනවා දැන් ගිහින් වැඩක් නෑ කියලා .

සමහර වෙලාවට කියනවා ඉක්මනට යමු මෙච්චර් පැය ගානකට කලින් ගියොත් ලෙඩාව ගොඩ ගන්න පුළුවන් කියලා . එහෙම කියන්නේ මේ දූත ලක්සනෙත් එක්කම එයාලා පංචාංගය ගැනත් සලකලා බලලා .
පංචාංගය කියන්නේ මොකද්ද කියලා දන්නවද මෙයාලා . පංචාංගය කියන්නේ ජෝතිෂ්‍ය විජ්ජාවේ මූලික ඉගැන්වීම් විදියට හඳුන්වන

දින 
තිථි 
නැකත් 
යෝග 
කරණ

කියන මූලික සිද්ධාන්ත පහට . මේවා මත තමයි ගොඩක් දේවල් ගොඩනැගිලා තියෙන්නේ .

කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ වෙදකම කරන අය හරියට කම්පියුටර් වගේ , නැකත් උදාව බැසයාම ගැන කොයිවෙලෙත් හිතෙන් ගණනය කරනවා . එනිසා එයාලගේ ශාස්ත්‍රය කොයිවෙලෙත් අප්ඩේට් වෙවී තියෙන්නේ .

දූත ලක්සනේ කියන්න කලින් තවත් දෙයක් කියන්න ඕන . ඔයාලා මේක කියවලා ඉගෙනගත්තට කමක් නෑ . පොත්වල ප්‍රින්ට් වෙලා තියෙනවා දැක්කට  සයිබරේ දකින්න නොලැබුණ දෙයක් නිසා තමයි මෙහෙම කොටලා මේ දේවල් සයිබර්ගත කරන්න හිතුවේ .

ඒත් දැන් කාලේ මේවා මත තීරණ ගන්න එපා . මේ විද්‍යාව පදනම් වෙන්නේ සිංහල වෙදකම එක්ක . එයාලට තියෙන බෙහෙත් හේත් අනුව තමා ලෙඩා ගැන එයාලා තීරණ ගත්තේ . අනික වෙද ගුරුකුල වලට අනුවත් මේවා වෙනස් වෙනවා . එතකොට එක වෙදෙක්ට බේරන්න බැරි ලෙඩා වෙන වෙදෙක්ට බේරාගන්න පුළුවන් වෙනවා  . ඒ කෙසේ වෙතත් දැන් විෂ බස්සන්න බරහිට වෙදකමට පුළුවන් කමක් තියෙනවා . ඒ නිසා ඉස්සෙල්ලම පස්මහ බැලුම් බල බල ඉන්නේ නැතුව ලෙඩා අරගෙන දුවන්න ඉස්පිරිතාලේ .

ඊට පස්සේ ලෙඩාගේ ජීවිතය ස්ථාවර උනාට පස්සේ සිංහල වෙදකම හරහා ගිහින් ඉතුරුවෙලා තියෙන විසක් තියෙනවනම් ඒවා නැති කරගන්න බලන්න . මොකද සර්ප විසත් එක්ක අක්‍රීය වෙන්න ලොකු අවදානම තියෙන අක්මාව , මොලය , ස්නායු එක්කම වකුගඩු කියන ඉන්ද්‍රියයන් රැකගන්න අපි ඉක්මන් වෙන්න ඕන . එහෙම නැත්නම් ලෙඩාගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි .







ඉඳුරේ සිට කියති නයි වර්ගය කියනු
ගිනිකොණ වයඹ සවුම්‍ය පොළඟා කියනූ
වරුණ කරවැලුන් තෙලිසක් විස කියනු
ගෝනුසු ඉසානේ නියතයි දැන කියනූ

කර කරවැල් උර මාපිල් සබරලකී
දනය පොළොන් වැලමිට නම් තෙලිස්සකී
මූණ බලා රැවුදෙන නාගවිස යකී
මෙලෙස දුට නැතොත් විස නැති සර්පයෙකී

උනා වරල බඳිමින් ඔහු සිටින තැන
උඩ බිම ඉවත විමසා කඳුළු පිසිමින
දෑත දෙවර වසමින් ඔහු සිටින තැන
මෙලෙස දුටෝතින් ඔහු පැමිණි කාලෙන

උදුරා පයින් තණ නෙලමින් සිටින තැන
සොඳුරා ඇඟිල්ලෙන් වල සාරයි එතන
ඇදුරා දුටු කෙනෙක් මෙලකුණු දැන කියන
ඇදුරා කියයි නියතයි පැමිණි කාලෙන

නික්ම ඇදුරු එන යන අවුසදට දැන
දැක්ම පෙරමගට එති වැල් බාන ගෙන
ඉක්ම කළුවතක් ඇඳ දුනු ඊ රැගෙන
රැයක් තමයි මරුගෙන් ඔහුට කැප උන

සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන
යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන
කියා යන ගමන් පෙරමග ගොස් අසන
නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින

සොහොන් පෙනෙල්ලක් අරගෙන එතෙයි දනු
කිළුටු වතයි හිසවට බැම්මයි බලනු
මෙවෙනි ලකුණු ඇතුවම ආ නන් කියනු
නසී තුන් පැයක් ඇතුවම මයි කියනු

වරලස උනා එනබව දැන කියමින්නේ
උතුරේ සිටගනමයි එය පවසන්නේ
වමේ පයින් බිම සාරයි නම් දන්නේ
එසේ දුටුවොතින් දෙපැයින් එනසින්නේ

විසගොර සර්පය කාපි කියන්නේ
එනලකුනෙන් ගුරුවර විමසන්නේ
වමතින් ඔහුගේ උරේ කසන්නේ
තිර සාරේ කරවලයි කියන්නේ

බිලිඳෙක් කැටුවම කතෙක්ද එන්නේ
ඇවිත් තමා ළඟ අඬා වැටෙන්නේ
මූනද පිසිමින් මෙලෙස කියන්නේ
රැවුදෙන නයිවිසමයි පවසන්නේ

ලකුණු අඟේ සොඳ ලෙසට බලන්නේ
දකුණු අතින් උගේ ළමැද කසන්නේ
නැගෙන දෙසේ සිට ගනම කියන්නේ
ලකුණු දෙසේ පොළඟා දැනගන්නේ

නූස් නුමිටි මිනිසෙක් දැන ගන්නේ
ගුරුවර ගෙදරද කියාන එන්නේ
ඉස අතගාමින් කියයි බොලන්නේ
මෙවෙනි ලකුණු මාපිලයි කියන්නේ

රණ දුටු මිනිසෙයි එයි ලසිනේයා
කම්මුල් කසමින් කියයි සොදේයා
එවෙනි ලකුණු දුටුවොත් ලසිනේයා
තිර සාරේ මාපිලි ලකුනේයා

ඇවිත් සිටින ඔහු උදර කසන්නේ
තැනක නොසිට ඇවිදිති දැනගන්නේ
බො සෝ දුකකි අදුරිනියි කියන්නේ
තිරසාරෙන් ගෙමිඩියයි බොලන්නේ

උකුලට අත ගසමින් පවසන්නේ
පමා නැතුව යන් ගුරුනි කියන්නේ
සතුරු භයක් මෙන් දුවගෙන එන්නේ
ඇඟේ ලකුණු සිකනලයි කියන්නේ

දෙවැලමිටක් කසමින්ම කියන්නේ
දෙපය කසාසිට ගනම කියන්නේ
අධික ගායමයි ගුරුනි කියන්නේ
ගත් කුණු මීවිස බවයි කියන්නේ

තිරසරුමක් සේ ඇස නොපෙනෙන්නේ
මුකුළු සිනාසී සිට පවසන්නේ
ලකුණු බලා සොඳ ලෙසට කියන්නේ
එවෙනි ලකුණු තෙලිසෙකි දැනගන්නේ


මේ තියෙන්නේ බෙහෙතක් .

කරඳද මීපොතු එක්කරගන්නේ
ඔලිඳ කොලත් සහ මුරුවට ගන්නේ
එකට කොටා ඔහු හට දීපන්නේ
පැණි රසනං නයි විස දැනගන්නේ

තිත්ත රසේ තෙලිසා දැනගන්නේ
කුණු රසනං කරවලා කියන්නේ
ඇඹුල් රසේ පොළඟා දැනගන්නේ
කසට රසේ කුණු මීය කියන්නේ

දිය රස දිවි මකුලුවයි කියන්නේ
කර රසනං සිකනලයි බොලන්නේ
කට දානං ගෙමඩියා කියන්නේ
මෙලෙසට විස බව බලනු කියන්නේ



මේ තියෙන්නේ ඒ දූත ලක්සනේ එන කවි . මීට වඩා වෙනස් විදිත් තියෙන්න පුළුවන් . දැනුම බෙදාගන්න කැමති අයට පුළුවන් ඒවත් බෙදාගන්න .

ඒවගේම මේවා මට කියලා දීපු ආච්චිඅම්මට මේ සසර ගමනේ කවදාහරි ආයෙත් අපිගාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !