Thursday, September 18, 2014

වියෝ උනාට පස්සෙලු දන්නේ , ප්‍රේමයේ අභිමන් පට්ට කියලා....







ඉස්කෝලේ කාලේ විශේෂ යෙහෙලියක් වෙලා හිටපු වයලීනි දීපු ප්‍රසන්ට් එකක් හම්බුනා අද මගේ පරණ පොතක් අස්සේ තිබිලා . හැබැයි ඒක විශේෂ දෙයක් නෙවේ . ටොපි කොලයක් . ඒ කාලේ තිබ්බ පිස්සුවෙ හැටියට චොකලට් කෑවද ඒ කොලේ පොතක් අස්සේ , ටොපියක් කෑවද ටොපි කොලේ පොතක් අස්සේ . මේ ටොපි කොලේට මාර ඉතිහාසයක් තියෙන්නේ .

වයලීනිගේ අම්මා ඉන්දියාවේ ගිහිල්ලා එනකොට ගෙනාපු ටොපි වලින් වයලීනි ගෙනත් දීපු එකක කොලයක් මේ . දැන් ඉතින් වයලීනොයි වයලීනියි වියෝ වෙලා වෙන්වෙලා මෙව්වා වෙලා ගිහින් අවුරුදු කීපයක් වෙච්චි එකේ උන්දා දීපු මේවා මොන වෙඩින් එකකට තියාගෙන ඉන්නවද කියලා ඒ ටොපි කොලේ විසි කරලා උඩු ගුවනේ පාකරලා දැම්මා .

ඒ සිද්දියත් එක්කම මගේ හදමල පැවසුවේ සිංදුවක් ගැන ලියන්න ඕන කියලා . සිංදු ගැන ලියන්න ඉතින් ඕපදූපයක් ගැන ලියන්නත් එපාය . ඒ නිසා අද ඕපදූපයට කියලා ගන්න හිතුවේ ඉස්කෝලේ කාලේ අපිත් එක්ක එකට ඉගෙනගත්ත තවත් එකෙක්ගේ ලවු කතාවක් . කෙටියෙන් කියන්නම් , මොකද ගීතය ගැන සිරා විස්තරයක් ලියන්න ඕන නිසා .

මේ යාලුවා බොහොම සමාජශීලී විචාරශීලී අසංවරශීලී යාලුවෙක් . මුටත් අපිට මල පිපෙන කාලෙම මල පිපුනා දෙයියනේ කියලා .

ඉතින් ඔන්න
ට්‍රයි කරලා කරලා කරලා
නොවඳිනා වැඳුම් වැඳලා වැඳලා වැඳලා
පස්සෙන් ගිහිල්ලා ගිහිල්ල ගිහිල්ලා
පෙම් කවි කියලා කියලා කියලා
ඒ කෙල්ලගේ හිත කාලා කාලා කාලා
වැඩේ ගොඩ දාගත්තා .





ඕක එහෙම ගොඩදාගන්න ඕන නිසා හැමෝම වගේ ඔත්තු සපයන්න , ලියුම් හුවමාරු කරන්න , ලියුම් ලියන්න වගේ දේවල් වලට හෙල්ප් කරා . පස්සේ ඉතින් මුන් දෙන්නා උදේ හවස උදලු , අලවංගු රේක්ක මුල්ලු වගේ කෘෂිකර්ම උපකරණ අරගෙන තමා ඉස්කෝලේ ආවේ . අපේ ඉස්කෝලේ පැත්තේ තියෙනවා පාලුවට ගිය කැලයක් . මුන් දෙන්නා ඉතින් කරන්නේ ඉස්කෝලේ ආවම  ඉන්ටවල් එකට, නැත්නම් ඉස්කෝලේ ඇරුනම අර කෘෂි උපකරණත් අරගෙන ගිහින් මේ කැලේ කපලා වල් කොටලා සුද්ද කරපු එක .


ටික ටික මෙහෙම සුද්ද කරලා මුන් දෙන්නා මේ සුද්දකරපු සරු පොළවේ හොඳ තවාන් පාත්ති කීපයක් හැදුවා . අනේ ඉතින් ඊටපස්සේ මොකද කරේ දන්නවද ? මේ තවාන් පාත්ති වල තන්හි තන්හී මෙයාලා චූටි චූටි චූටි මල් පැල රෝපණය කළා . මේ මල්පැල කාලයත් එක්කම ලොකුවෙලා ඔන්න මල් පිපෙන්න ගත්තා . ඉතින් මේ මල් වල තනි අයිතිකරුවන් වෙච්ච මේ අපේ යාළුවයි එයාගේ ප්‍රියම්බිගාවවයි හරි හරියට මල් කඩනවා .

හම්මේ බලන්න එපාය මුන් දෙන්නගේ මල් කැඩිල්ලේ රඟේ . එක්කෙනෙක් මලක් අරන් වට්ටියට දානවා . එතකොට අනිත් එක්කෙනා පොඩි හිනාවක් දානවා කට කන ගාවට අරගෙන  . ඊටපස්සේ ආයෙත් මල් කඩනවා . ඔහොම ඔහොම දෙන්නා ඉතාම සතුටින් කාලය ගතකලා පින්වතුනි . ඉතින් සාධු කියන්න පින්වතුනී ......

අපි ඉතින් ඔය ලස්සන හුරුබුහුටි මටසිලිටු මිටින් ගතහැකි සිහින් ඉඟ තියෙන ගෑලූ ළමයි දැක්කම කන්න වගේ බලාගෙන ඉන්නවනේ . ඉතින් දවසක් අපේ එව්වෝ මේ යාලුවගේ ගෙදර ගියාම ඔන්න ටීවී එකේ යනවා පට්ටම පට්ට කෙල්ලෙක්ගෙ ඩාන්ස් එකක් . අපි ඉතින් කන්න වගේ බලාගෙන ඉන්නකොට මේ යාළුවා අපිට කින්ඩිය දැම්මා . ( ඌ සිල්වතා වෙලා )





" මොනාද යකෝ කෙල්ලෝ දිහා ඔහොම බලන්නේ , මේ කෙල්ලොන්ටත් කිසිම හැදියාවක් නෑ , කොච්චර හොඳට මුන්ට ඇඳගෙන එන්න පුළුවන්කම තියෙත්දිද මේ බාගෙට ඇඳගෙන එන්නේ " කියලා.

එවෙලේ අපි තේරුම් ගත්තා මූ කෙල්ල එක්ක යාළුවෙලා කාලයක් දැන් ගතවෙලා නිසා ආශ්චර්යය වේගෙන එන්නේ කියලා . ඒ නිසා අපි මුකුත් නොකියා කටපියාගෙන හිටියා .

වයලීනෝ උසස්පෙළ කරලා ගෙදර ඉන්න කාලේ කඩු සටන් පාඨමාලාවකට සහභාගී උනා . මේ කඩුසටන් පාඨමාලාවට අපේ මේ යාලුවත් ආවා . උසස්පෙළ ලිව්වට පස්සේ මේ යාලුවා මීට් උනෙත් මේ ක්ලාස් එකේදිම තමා . හැමදාම වගේ ක්ලාස් එක ඉවරවෙලා එනකොට මේ යාළුවා උගේ කෙල්ලට කෝල් කරනවා . ඒ කෝල් ඉතින් අපිටත් ඇහෙනවනේ . වචනෙන් දෙකෙන් කෝල් වලට උත්තර දීලා කට් කරණකොට අපිට තේරුනා ආයෙත් ආශ්චර්යය වේගෙන එන්නේ කියලා .

පස්සේ ඉතින් ඇත්තටම ආශ්චර්යය උනා . මූ ට්‍රයි කරලා කරලා හිත හදාගෙන ඔන්න කෙල්ලව අතාරින්න වැඩ සලසාගත්තා . අපිට මොකෝ . අපි ඉතින් ඒවටත් උදවු කළා . මොනා උනත් යාළුවගේ සතුටනේ කියලා අපි උට හිත හදාගන්නත් උපදේශනය මනාව ඉෂ්ට කළා . කොටින්ම කියනවනම් මූ දුකෙන් ඉන්නවා බලාගෙන ඉන්න බැරි වෙලේ කෙල්ල දීපු ලියුම් ටික පුච්චන්නත් අපි උදවු කරා ( ගිනි පෙට්ටි ගෙනත් දීලා ) , තව කෙල්ල දීපු ප්‍රසන්ට් ගඟේ පාකර හරින්නත් උදවු කරා . මොකද මුට ඕක නවත්තන්න ඕනනම් කෙල්ල අමතක කරන්නත් උදවු කරන්න එපාය . ඔක්කොම කරලා කරලා අන්තිමට අපි මුට කෙල්ල එපානම් අමතක කරන්න හිත හදලා ටික කාලයක් ඉන්නකොට මූ කියනවා ,

" අයියෝ බෑ බං ඒකි අමතක කරන්න , ඒකි හොඳයි බං " කියලා .







එවෙලේ කොහොමහරි අපිට ලොවෙත් මල පැන්නා . ඇයි යකෝ ඕන කිව්වම දාගන්න හෙල්ප් කරා , එපා කියනකොට අමතක කරන්න හෙල්ප් කරා . දැන් රෙදි ඇඳගෙන ආයෙත් දාගන්න හෙල්ප් කරන්න පුලුවන්ද මම අහන්නේ . හැබැයි දෙයියනේ කියලා අපි ඒකත් කරා පින්වතුනී . නැවත සාධු කියන්න පින්වතුනී .

දැන් ඔන්න මේ ළගදී ආරංචියක් ආවා මුන් දෙන්නා ලබන මාසේ එන්ගේජ්මන්ට් එක ගන්නවා කියලා . ඒකටත් අපි යනවා පින්වතුනී . ආයේ වෙඩින් එකටත් යන්න ඕන . හෝම් කමින්ග් එකටත් යන්න ඕන . මොකද මුන්ට ආතල් ගන්න අපි කඹුරපුවට හරියන්න අපි හොඳට කන්නත් එපාය . හඃ හඃ හඃ .
ආදරේ ඔන්න ඔහොමයිලු පින්වතුනී . ඇතිවෙනවා නැතිවෙනවා . ගිය ආත්මේ ණය තියෙනවනම් නැති උනත් ආයේ සෙට් වෙනවා . ඉතින් අපේ එකාටත් වියෝ උනාට පස්සෙලු තේරුනේ , ප්‍රේමයේ අභිමන් පට්ට කියල .

අන්න ඒවගේ ඇත්තටම ආදරේ කරලා ඒ ආදරේ නැති උනාම කාටත් මතක්වෙන ගීතයක් තමයි අද කියන්න හදන්නේ . ඒ තමයි

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් කල එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඬයි

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

මේ ගීතය රචනා කරලා තියෙන්නේ බන්දුල නානායක්කාරවසම් මහත්මයා 




සංගීතය සහ තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා 




ගායනය සුනිල් එදිරිසිංහ මහත්මයා 




ගීතයේ තේරුම ගැන කියන්න හදනකොට මට ඉස්කෝලේ කාලේ වෙච්ච තවත් කතාවක් මතක් උනා . මමත් පාසල් ප්‍රේමයේ පැටලිච්ච මුල කාලේ මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් අහනවා මගෙන් කවුද කවුද වයලීනොගේ පුණ්‍යවන්ත පරම පෙම්වතී කියල . මම ඉතින් කවුද කියලා කිව්වම ඌ මට කියපි 

" මමනම් මචං දැන්ම කෙල්ලෙක් දාගන්නේ නෑ , උඹලා ගඟේ ගහගෙන යත්දී මම ගොඩටවෙලා බලාගෙන ඉන්නවා " කියලා . එවෙලේ මගේ ශ්‍රී මුඛය ක්‍රියාත්මක උනා . ඒවා ඉතින් ඕන නෑ මෙතනට . අපි ගීතයේ තේරුම බලමුකෝ .






වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්

දෙන්නෙක් කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් , පොඩි ප්‍රශ්නයක් උනත් දුරදිග ගියාම ඒ ඇති දෙන්නා වෙන්වෙලා යන්න . අපිත් ඉස්සර කිය කියා හිටියේ ප්‍රේමයයි වෛයිරයයි අතරේ වෙනස කොස් ගසකට සමයි කියලා . ඒත් ඈත් වෙන්න උනාට පස්සේ තමා තේරුනේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කොස් මුලකටත් වඩා කුඩයි කියලා .

දුකයි . ඒත් දෛවය කියලා තියෙන්නේ වෙන් වෙන්න නම් ඒ දේ කොහොමත් වෙනවා . ඊට පස්සේ අපිට සමහරවිට ඊටත් වඩා ආදරේ කරන , ගැළපෙන කෙනෙක් ලැබෙන්නත් පුළුවන් . නැති වෙන්නත් පුළුවන් . ඒක එක එක්කෙනාගේ පවු පිං අනුව දෛවය ලියවිලා තියෙන හැටියට වෙනවා . ඉතින් ඒ ලැබෙන දේ ගැන අහිතක් නොහිතා භාරගන්න අපි හිත හයිය කරගන්න එක තමයි කරන්න ඕන .

මේ ගීතයේ ස්ථායි කොටසෙන් කියවෙන්නෙත් ඒවගේ දෙයක් . කාලයක් ආදරේ කරලා හදවත් වලින් බැඳිලා ජීවත් වෙලා අන්තිමට වියෝ වෙලා වෙන්වෙලා ගියාට පස්සේ තමයි දැනෙන්නේ කුලල්කකා හරි කමක් නෑ එකට හිටියනම් කොච්චර හොඳද කියලා . ප්‍රේමයේ අභිමන් දැනෙන්නේ එහෙම උනාට පස්සේ . ඒත් සමහර වෙලාවල් වලදී ඒ අභිමන දැනෙනකොට අනිත් කෙනාට ආයෙත් ලං වෙන්න බැරි තරමටම වෙන්වෙලා ගිහින් . නැත්නම් වෙනත් ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ඒ අතරට ඇවිල්ලා . ඉතින් එහෙම උනාම අන්තිමට වෙන්නේ ලෝකයට හොරෙන් අඬන්න තමයි . එහෙම අඬනකොට තමයි දැනෙන්නේ ඇස්වලින් උනන කඳුළු කම්මුල් දිගේ පහලට ඇවිත් මූවගින් නැගෙන හිනාවට සරදම් කරනවා කියලා .







ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඬයි

මම හැමවෙලාවෙම කියන කතාවක් තමයි මෙන්න මේක . අපි එක එක කාලෙට අපි ගැටෙන සමාජයත් එක්ක , නැත්නම් ඒ සමාජයේ ඉන්න අයත් එක්ක බැඳීම් ඇති කරගන්නවා . ඒත් ඒ බැඳීම් ඇතිකරගන්නේ එයාලා අපිත් එක්ක හැමදාම ඉන්න පුළුවන් තත්ත්වයේ අයද නැත්ද කියලා බලන්නේ නැතිව . මොකද ආදරේ කියන දේ ඇතිවෙන්නේ මුලින්ම උඩු හිතේ . ඒ වගේම ආදරේ ඇතිවෙන්නේ මුලින්ම කෙනෙක්ගේ පෙනුම මත පදනම් වෙලා . ඊට පස්සේ තමයි අනිත් දේවල් ගැන සලකලා බලන්නේ . අපිට වැඩිපුර පේන හිත තදින්ම බැඳලා තියාගන්න පුළුවන් කෙනෙක්ට අපි මුලින්ම ආදරේ කරනවා . පස්සේ අපේ සමාජ තත්ත්වය වෙනස් උනාම එයා හොඳ නෑ කියලා තව කෙනෙක්ට ආදරේ කරනවා . ගොඩක් දෙනෙක් ප්‍රශ්න දාගන්නේ මෙන්න මේ කාරණාව නිසා කියලයි මම හිතන්නේ . එක්කෝ මුලදී ආදරේ කරන කෙනාට හැමදාම ආදරේ කරන්න ඕන . නැත්නම් තමන් ස්ථාවර වෙනකන් ඉඳලා තමන්ට ගැළපෙන කෙනෙක් හොයාගන්න ඕන . එහෙම නැතුව කාලයත් එක්ක මෙයා ගැළපෙන්නේ නෑ කියලා අතාරින එක පොඩ්ඩක් අවුල් වැඩක් . පොඩ්ඩක් නෙවේ ගොඩක් අවුල් වැඩක් . 

ගීතයේ පළවෙනි අන්තරා කොටසින් කියවෙන්නේ ආදරේ කියන දේ ගැන වටින් ගොඩින් අතපතගාලා බලනකොටනම් හරිම චමත්කාර ජනක උනාට ඒකට යොමු උනාට පස්සේ තමයි ජීවන අරගලයත් එක්කම එන ප්‍රශ්න වලට දෙන්නටම මූණ දෙන්න වෙන්නේ කියලා . ගඟක ඉවුරේ ඉඳලා අපි ගඟ දිහා බලනකොට අපිට පේන්නේ පෙන පිඩු නංවමින් නිල්කැටේට ගලාගෙන යන ජල පහරක් . ඒත් ඕකට බැස්සට පස්සේ තමයි තේරෙන්නේ ජල පහර කොච්චර ගැඹුරුද , ප්‍රචන්ඩද කියලා . අනික මේ ජල පහරේ හැංගිලා ඉන්න කිඹුලන්ට කබරයින්ට උනත් ගොදුරු වෙන්න පුළුවන් ගඟට බහින කෙනාව . ප්‍රේමය කියන ගඟට බැස්සත් එච්චරම තමයි කියලා මේ අන්තරා කොටසින් අපිට අදහසක් ගන්න පුළුවන් . 





හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

කතාවක් තියෙනවනේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ කියලා . ඒකෙ පොඩි ඇත්තකුත් තියෙනවා කියල කිව්වට මේ ලෝකේ එහෙම ජීවත් වෙන්න බැරි බව වටහාගන්න කෙනා තමයි ජීවිතෙන් ජය ගන්නේ . කොල්ලෙක් කැමති කෙල්ලෙක්ගෙ පළමු පෙම්වතා වෙන්න . කෙල්ලෙක් කැමති කොල්ලෙක්ගේ අවසාන පෙම්වතිය වෙන්න . ඒ කතාවනම් ඇත්ත . හැබැයි දෙන්නගෙම පළවෙනි එකනම් ගොඩක් හොඳයි . මොකද දෙන්නා වෙන් උනේ නැත්නම් හැමදාම දෙන්නට නොයිඳුල් ප්‍රේමයකට හිමිකම් කියන්න පුළුවන් නිසා . ඒත් වටින්නේ ඉඳුල්ද නොයිඳුල්ද කියන එක නෙවෙයි . අවසානයේ බැඳෙන දෙන්නා අත්වැල් බැඳගෙන ජීවන ගඟ තරණය කරගෙන ජීවිතය ජයගන්නේ කොහොමද කියන එක . 

අවසාන අන්තරා කොටසින් කියවෙන්නේ මම හිතන හැටියට මෙහෙම දෙයක් . හඳක් නැතිදාට අහසට තරුවක් තමයි සැනසුම ආලෝකය ගේන්නේ . ඒ කියන්නේ පෙම්යුවලක් වෙන් උනාම , තමන්ගේ ජීවිතයට ආයෙත් ලංවෙන වෙනත් පෙම්වතෙක් හෝ පෙම්වතියක් තමයි ජීවිතයට එලිය ගේන්නේ . ඒ ලැබෙන එලිය මුලින් උන්න කෙනා දුන්න ආලෝකය ආදරය සෙනෙහසට වඩා සමහරවිට අඩු වෙන්න පුළුවන් . ඒත් බැරිවෙලාවත් ආයෙත් අර පරණ කෙනාම ඇවිත් වෙනදා වගේම ආදරේ එළියෙන් ජීවිතය ආලෝකවත් කරොත් , පස්සේ ලංවෙච්ච පෙම්වතා හෝ පෙම්වතිය දුන්න ආදරේ කුණු මුල්ලට විසිවෙන්නත් පුළුවන් කියලා තමයි ඔය සඳ තරු කියන දෙන්නව උපමා කරගෙන කියලා තියෙන්නේ . 

ගීතයේ සංගීත නිර්මාණය කිරීම් ගැන මම මෙතන කියන්නේ නෑ . මොකද මේ ගීතයේ සංගීත නිර්මාණය ඉතාම සියුම් . ඒ නිසා ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නේ . 

එහෙනම් ගීතය අහන්න . ආ වැරදුනා . අද එකම ගීතය දෙපාරක් අහන්න වෙයි . රවිශංකර්ට නොදෙවෙනි අනුශ්කා ශංකර් වගේ සුනිල් එදිරිසිංහයන්ට නොදෙවෙනිව මේ ගීතය එතුමන්ගේ දියණිය ගායනා කරනවා . දෙන්නගේම ගායනයන් හරීම හැඟුම් බරයි . ඒ නිසා ගීත දෙකම් අහන්න . මුලින් තියෙන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ ගයනය . දෙවෙනියට තියෙන්නේ එතුමන්ගේ දියණියගේ ගයනය . 





31 comments :

  1. සංකලනිට තියෙන්නෙත් ලස්සන හඬක්.............

    මේ පැත්තෙ ආවෙ අදමයි. ඒත් හිතට අල්ලලා ගියා

    ReplyDelete
    Replies
    1. ඔව් . තාත්තගේ හැකියාව අඩුවක් නැතුව පිහිටලා තියෙනවා . දැන් කාලේ ඉන්න ගායක ගායිකාවන්ගේ ළමයි කරන කියන ඒවා දැක්කම මෙයා හොඳ ආදර්ශයක් .

      එල එල . බොහොම ස්ස්තූති ආ g-) g-) g-)

      Delete
  2. පට්ට වයෝ....
    විචාරයත් අදලියල තියෙනව මදි නොකියන්න...
    නියමයි ඈ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් . ඔන්න ගියපාර ඒකට මදි කිව්ව නිසා මේ පාර එක ඇතිවෙන්නම ලිව්වා :p :p
      එල එල බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  3. නියම විචාරයක් මචෝ. සින්දුව හිතට වැදුන උපරිමයෙන්ම

    ReplyDelete
    Replies
    1. එල එල බොහොම ස්තූති :) g-) g-) g-)

      Delete
  4. විචාරය වගේම විචාරයට යොදාගත්ත පූර්ව ප්‍රචාරක පටයත් ඇති විශිෂ්ටයි .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් . ඕවයේ ඇත්ත අයිතිකාරයෝ දැක්කම තමා මට කෙලවෙන්නේ මෙව්වා ලිව්වා කියලා දැනගත්තම :p :p

      එල එල බොහොම ස්තූති g-) g-)

      Delete
    2. අර යටින් තියෙන smiley එක නම් දාන්න හදපු එක නෙවෙයි වැටුනේ , වෙන මගුලක් වෙලා eka

      Delete
    3. ආ...... ඒක ගණන් ගන්ට දෙයක් නෙවේ g-) g-)

      Delete
  5. පට්ට විචාරය, ආශ්‍රිත සිද්දියකින් ඇඟට දැනෙන්න සින්දුවට බැහැපු විදිය පට්ට, ජය වේවා

    ReplyDelete
    Replies
    1. :p :p :) :) බොහොම ස්තූති ඉතින් . කියන්න තියෙන්නේ උඩ ඉන්න එක්කෙනාට කිව්ව ටිකම තමා :p

      Delete
  6. ඔන්න මචං දුවගේ සින්දුව උඹ නිසා ඇහුවා...

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ කමක් නෑ . මමනිසාවත් ඇහුවනේ :p
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  7. //මේ යාලුවා බොහොම සමාජශීලී විචාරශීලී අසංවරශීලී යාලුවෙක් // අම්මපා !
    හෙහ් හෙහ් මූව මමත් දන්නවා නොවැ.... :D
    ආශ්චර්යය වේගෙන එන්නේ වගේ... හැක හැක හැක ආතල් ඕයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් දන්නවනම් කමක් නෑ , කට කට .
      උට තාම ආශ්චර්ය උනේ නෑ .
      :p :p :p

      Delete
  8. පට්ටයි බන්. මේ දවස්සල ඉන්න තත්තෙත් එක්ක නියමෙටම ගැලපෙනවා..................එල....................

    ReplyDelete
    Replies
    1. මමත් දැන් අවුරුදු දෙකක් තිස්සෙම කියනවා බං .
      හ්ම්ම් හ්ම්ම් බොහොම ස්තූති :) g-)

      Delete
  9. පට්ට වයලො.. මේ සිංදුවෙ වර්සස් දෙක තම යි සිරා ම..මම කොයිතරම් නම් මේක අහල අප්සෙටි ගහල ඇති ද.. මෙන මූඩ් එකෙං හිටිය ත් ඇහනකොට කඩා වැටෙන සින්දුවක්..
    එළ මචං..ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් . සිරාවටම මාර තේරුම් දෙකක් තියෙන්නේ වර්ස් දෙකේම . හැබැයි ඔහොම අහලා මූඩ් ගහන එකෙත් මර රහක් තියෙනවා . ඒත් ඊට පස්සේ වෙන වැඩක් කරගන්න මූඩ් හදාගන්න තමයි අමාරු .
      එල එල
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  10. මරු පූර්විකාව...

    //එහෙම අඬනකොට තමයි දැනෙන්නේ ඇස්වලින් උනන කඳුළු කම්මුල් දිගේ පහලට ඇවිත් මූවගින් නැගෙන හිනාවට සරදම් කරනවා කියලා //

    උඹ මෙච්චර හොඳට ලියනවා, හැබැ‍යි සිංදුවක තේරුම ලියන්න ගියහම ඒ ඔස්සේ හිතන්න උඹ කම්මලිකමක් දක්වන බවක් පේනවා... මේක මෙහෙමනේ... වියෝ වෙලා ඉන්නකොට අපිට මතක් වෙන්නේ මොනවද? අර කෙල්ල එක්ක ආතල් එකේ හිටපු කාලේ සිද්ධිනෙ. ඒදා හිනා වෙච්ච (සතුටු වෙච්ච ) දේවල් මතක්වෙන කොට අද ඇඬෙනවා.. නැද්ද පින්වත? හිනා වෙච්ච එක මතක් වෙලා ඇඬෙන එක සරදමක් නෙමෙයිද? ආන්න එක්ක වෙන්ඩෝනෙ මේ කියන්නේ. කඳුල තමයි දකින්නේ මේ සරදම....

    ඒක නෙමෙයි මේකෙ සංගීතය ගැනත් ලියහං... මමත් මාර කැමතියි

    ReplyDelete
    Replies
    1. මේ සිංදුව ගැන වැඩිය හිතන්න බෑ . මේ දවස්වල ලවු සික් සික් සික් ගහලා ඉන්නේ . ඒකයි උනේ . :p :p

      Delete
  11. එල බ‍ං......
    ඉදිරියටම යමු ජය වේවා........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) g-) g-)

      Delete
  12. එල බ‍ං......
    ඉදිරියටම යමු ජය වේවා........

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.