Saturday, September 20, 2014

මංදුවට සිඩ පාරක් සමග ගී පද කී උට සිංදු ගිරා 2







අපේ ගමේ ඉස්කෝලෙන් , සිස්සත්තේ පාස් වෙලා සීවලියට ගියේ දෙන්නයි . ගියාට පස්සේ අපි දෙන්නා වැටුනේ වෙන වෙන පංති දෙකකට . පස්සේ ඉතින් අලුත් යාළුවො ගොඩක් සෙට් උනා අපිට . ඔහොම 6 7 8 9 අවුරුදු හතරේ ඉන්නකොට ඉන්නකොට ඉන්න්න්න්න්න්න්න්න්නකොට ඉතින් කිසි අවුලක් නැතුව හිටියා . ඒත් 10 වසරට ආවම තමා කෙල උනේ . අපේ පංති හතර පංති පහකට කඩලා කලවම් කළා . ඊට පස්සේ ආයෙත් අලුත් යාළුවො කස්ටියක් සෙට් උනා .

ඒත් අර පොඩිකාලේ ඉඳල යාලුවොත් එක්ක තිබ්බ ෆිට් එක , අපි ඒ පන්තියට අලුතෙන්ම ගිය දවස්වල තිබ්බේ නෑ . මම හිටිය පේලියට ඉස්සරහ පේළියේ හිටියේ සිංදුවගේ මල්ලි . මම ඒත් සිංදු මල්ලි එක්ක වැඩි ෆිට් එකක් තිබ්බේ නෑ . මිනිහත් සංගීත කාරයා . කොහොමහරි අපි දෙන්නා සැට් උනා දිවාගුහාව විහාරයට දවුල්දෙන ඤානිස්සර හාමුදුරුවෝ වඩින දවසක උන්වහන්සේ පිළිගන්න පිළිගැනීමේ ගීතයක් ගායනය කරන්න යන්න . ඔන්න ඔය ගීතය පුරුදුවෙන්න ඉතින් අපි දෙන්නම යනවා . එහෙම යන දවස්වල තමා සිංදුවගේ මල්ලියි මමයි ෆිට් උනේ . සිංදුවත් ආවද කොහෙද ඕකට . මට හරියට මතක නෑ ( ආවද බං ? ) .

ඔහොම ඔහොම ඉතින් සිංදු මල්ලියි මමයි බත් පත දෙකට බෙදාගෙන කාලා ෆිටි එකේ හිටියා . අපේ 10 වසර පන්තිය තිබ්බේ උසස්පෙළ කළා විෂය ධාරාව උගන්වන පන්ති කිට්ටුව . ඔන්න ඉතින් මට පේනවා සිංදුව හැමදාම වගේ ඔය ආට් ක්ලාස් කිට්ටුව කැරකෙනවා . ඉන්ටවල් එකට එහෙම මේ මනුස්සය හැමදාම මේ ආට් ක්ලාස් පැත්තේ එනවා . මම ඉතින් සිංදු මල්ලිගෙන් ඇහුව

" මොකද අයියට මැත එපාවෙලාද ආට් ක්ලාස් පැත්තේ හැමවෙලේම කැරකෙන්නේ " කියලා . සිංදු මල්ලි එතකොට කියාපි

" නෑ නෑ ඕකා මේ පැත්තේ එන්නේ , ඕකා ආට් ක්ලාස් එකක අක්කා කෙනෙක් මට නෑන කෙනෙක් විදියට හොයාගෙන ඉන්න නිසා " කියලා .





ආවුස් හම්මා . දැන්නේ දන්නේ සීන් කෝන් එක . අපි ඉතින් ඒ කාලේ අයියා පෝස්ට්එක නිසා සිංදුව එක්ක වැඩි විහිලු ඇන්ඩ් කතා නෑ , ගෙදර ගියාම මිනිහා අපිට දාන පී ෂෝ එක අහගෙන ඔලුව නවාගෙන ඉන්නවා . වැඩිය අඳුරන්නෙත් නැති නිසා වෙන්නැති එහෙම වෙන්න ඇත්තේ . ඒත් අපිට කට තියාගෙන ඉන්න බැරි අමාරුව නිසා සිංදුවතී අක්කා ඉස්කෝලේදී ඉස්සරහට මුලිච්චි වෙනකොට

" ආ නෑනෝ......... "

කියලා වෙල් කම් එකක් දෙන්න පුරුදුවෙලා හිටියා . පස්සේ පස්සේ ටවුන් එකේදී හම්බුනත් අපි වතී අක්කට නැනෝ කියල තමා කතා කරේ . මට ඉතින් මුන්ගේ නෑකමක් තිබ්බේ නෑ , නෑනෝ නෑනෝ කියන්න . ඒත් සිංදුමල්ලි කියන නිසා ඇන්ඩ් එහෙම හරි සිංදුවට පොඩ්ඩක් නවන්න ඕන නිසා මමත් නෑනෝ නෑනෝ කියාගත්තගමන්ම තමා ඒකාලේ .

ඒ කාලේ මම ඉස්කෝලේ දක්ෂතම වාදකයා විදියට තේරීපත්වෙච්ච මුලම වගේ . ඒ නිසාම ඉස්කෝලේ සංගීත ගුරුවරු තුන්දෙනාගේම සංගීත තරඟ , බක්තිගීත අරගීත මේගීත ඔක්කොටම වයලීන් ගහන්න මට එන්න කියනවා . ඒ නිසා උදේ 7 30 ඉඳලා ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් හවස 5 30 වෙනකන්ම . රෙජිස්ටරේට එක දාන්න කියලා උදේම මම වයලීන් එකත් අරගෙන පන්තියෙන් පනිනවා . ඒත් මිස්ලා සර්ලා අවුලක් දැම්මේ නෑ . මම යන්නේ කොහෙද කියලා දන්න නිසා .

ඒ නිසාම මට ඉස්කෝලේ උගන්නන දේවල් ඔක්කොම මග ඇරෙනවා . සයන්ස් වෙලාවට සමහර දවසට මම එනවා . ඒත් ඒ ආවේ ලැබ් එකේ ප්‍රැක්ටිකල් තියෙන වෙලාවට . ඉතින් හවස්වෙලා ගෙදර එනගමන් සිංදුවගේ ගෙවල් ගාවින් බැහැලා සිංදු මල්ලිගේ පොත්ටික ඔක්කොම කරගහගෙන යනවා ගෙදර . ඒ ගිහින් රෑ කට්ට කාගෙන අර නෝට් ඔක්කොම ලියලා පාඩම් කරනවා . පහුවෙනිදා උදේට සිංදුමල්ලිට පොත් දෙනවා , ආයෙත් හවසට ගන්නවා . ඔය හේතුව නිසාම මම සතියට පහ හයක්ම සිංදුවගේ ගෙවල් පැත්තේ කැරෙකෙනවා .

ටික දවසක් යනකොට ඉතින් ඔන්න සිංදුවත් පොඩ්ඩක් ෆිට් . ගෙදර අයත් ෆිට් . ඒ කාලේ තමයි සිංදුවතී අක්කගේ පියාණන් අපිව දාල මෙලොවින් සමුගත්තේ . ඔන්න දැන් තමයි පින්වතුනී කතාව පටන්ගන්නේ . වතී අක්කා ඉතින් කොච්චර උනත් දැන් අපේ වෙන්න නෑනා වෙච්චි . සිංදුවත් ෆිට් වෙච්චි , ඒ නිසාම වතී අක්කගේ පියාණන්ට ගෞරව දක්වන්න සිංදු මල්ලියි මමයි අනිවා යන්න එපාය . දවසක් ඔන්න සිංදු මල්ලි කිව්වා අද ඉස්කෝලේ ඇරිලා හවස ගිහින් එමු වතී අක්කලාගේ ගෙදර කියලා . මමත් ඉස්කෝලේ ෂෝට් අ ලීව් එකක් දාලා ඉක්මනට ආවා ආවා . ඇවිත් ලෑස්තිවෙලා ඔන්න දැන් යනවා බස් එකක .

" දැන් මස්සිනා පොඩ්ඩ දන්නවද නෑනාගේ ගෙවල් තියෙන තැන ? ඔන්න මමනම් දන්නේ නෑ " කියලා මම සිංදු මල්ලිට කිව්වා . එතකොට සිංදු මල්ලි කියනවා

" අවුලක් නෑ කැලේ ගමකනේ . වැඩිය ගෙවල් නැතුව ඇති . ඒ නිසා හොයාගන්න අමාරු වෙන එකක් නෑ" කියලා .

කිව්වත් වගේම හරි . ගේ හොයාගන්න අවුලක් උනේ නෑ . කොහොමත් පාරේ කොඩි එහෙම තිබ්බ නිසා ගින්නක් උනෙම නෑ . ඔහොම කැලේ පාරවල් වල යනකොට අංශක 360 ටම ඔලුව කරකවලා වටපිට බලාගෙන යන එක මගේ සිරිත . ඇයි යකෝ මේ හද්ද මූකලානේ ආයේ එන්න පාර අමතක උනොත් එහෙම . ඊටවඩා ගම්බද පැන්චාලියන් අට්ටාපිටිය ගඟ දෙපස දිය කෙල කෙල ඉන්නවද කියලත් බලන්න එපාය . ඒ යන අතරේ තමා මේ දැන් කියන දේවල් දැක්කේ .






ඒක පට්ටම ගමක් . තන්හි තන්හී ඇල දොළ දියපහරවල් වලින් පොහොසත් . ඒවගේම ඒ ඇල දොළවල් වලින් එගොඩවෙන්න තිබ්බේ ඒ දඬු . ලස්සන ලස්සන මල් පිපිලා ගමම සුවඳවත් වෙලා . හැබැයි ඒ මල් පිපිලා තිබ්බේ කෙසෙල් ගස්වල . මාර රොමැන්ටික් . කුඹුරු සරුසාරවෙලා නිලට නිලේ බබළනවා . මාල ගිරවු , මුදු ගිරවු , බ්‍රේස්ලට් ගිරවු වගේම කරාබු ගිරවු රෑන් රෑන් පිටින් ඇවිත් මේ කුඹුරු වලින් වීකරල් රැගෙන ඉගිලී යනවා ( අපේ ගිරවත් වී කරල ළඟදීම ගෙනෙයි වගේ ) . වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටවූ විතරක් නෙවේ ඇඹුල් පැටවූ , පැණි පැටවූ , ලුණු පැටවූ පවා උඩපැන නටනවා . උන්ට ඩිස්ටර්බ් වෙන්නේ නැතිවෙන්න මමයි සිංදුමල්ලියි ගියේ හරිම පරෙස්සමෙන් . පාරේ ගමන් කරන්න ඕන මංතීරු වෙන් කරලා තිබ්බේ . ඒවා දිශානත වෙලා තිබ්බේ උඩට පහලට පහලට උඩට .

ඔහොම ඔහොම ඔලුව වටේටම කරකවා කරකවා යත්දී හයියෝ වතී අක්කගේ ගෙදරට කිට්ටු උනා . මේ සරුසාර ගම ගැන සිංදු මල්ලිත් එක්ක කියෝ කියෝ ගිය නිසාම අපි දෙන්නගෙම කටවල් තිබ්බේ කන කිට්ටුවට යන්න ඔන්න මෙන්න කියලා . ගෙදරට කිට්ටු උනා විතරයි හම්මට උඩු , මාල ගිරවා ඉන්නවා ටෙන්ට් එකක් ගහගෙන . ආ නෑ නෑ ටෙන්ට් එකකට වෙලා . අපි ඉතින් ගෙට යන්න කලින් මූ නිසානේ ඉතින් අපි ආවේ කියල පොඩ්ඩක් ලඟට ගියා කතා කරන්න .

" හා උඹලා දෙන්නා එකම පාට ඇඳගෙන ඇවිත් තියෙන්නේ නේද ? " සිංදුවා ශ්‍රී මුඛය විවෘත කළා .

" ඔව් ඇයි උඹට අමාරුවද ? " කියල කිව්වේ නෑ ඉතින් . හිතුවා විතරයි . කියන්න බෑහැනේ . අයියා පාට්නේ . ඊටපස්සේ සිංදුව මටයි සිංදු මල්ලිටයි මළගෙදරක හැසිරෙන්න ඕන හැටි ෆුල් ලෙක්චර් එකක් දුන්නා . එදා තමා මම ඉස්සෙල්ලම ඉගෙනගත්තේ මළගෙවල් වලට ආවම හිනාවෙන්න හොඳ නෑ , උතුරුසලුව මනාව සකස් කරගෙන සංවරව ඉන්න ඕන කියලා එහෙම .





ඔය ඔක්කොම අහගෙන ට්‍රයි කරලා කරලා කරලා කම්මුල් පහලට දාගෙන හෙන බැරෑරුම් මූඩ් එකක් අරගෙන මමයි සිංදුවගේ මල්ලියි වතී අක්කගේ පියාණන්ට ගෞරව දක්වන්න ගෙට ගොඩ උනා . හනේ මෙන්න වතී අක්කා අපිත් එක්ක හිනාවෙලා හා දැන්ද ආවේ මල්ලි කියලා ඇහුවා . හ්ම්හ් උන්දැට හිනාවෙන්න හොඳයි . අපි හිනා උනාම තමා අමාරු . මෙව්වා අධිරාජ්‍යවාදී සමාජවාදී කුමන්ත්‍රණ කියලා හිත හිත මමයි සිංදු මල්ලියි ගෞරව දක්වලා වතී අක්කා බල................................කරලාම කිව්ව නිසා හබුන් බයි කාලා ටිකක් හවස්වෙනකන් ඉඳලා ආවා . එදා ඒ ගමේ දැක්ක සරුසාර නිල්වත් කෙත්යායවල් , ඇලදොළ ගංගා යමුනා අචිරවතී සරගු මහී ඔක්කොම මගේ හිතේ ගීතයක් වගේ තැම්පත් වෙලා තිබුනා . ඉතින් තෙවරක් සාධු කියන්න පින්වතුනී .

ඊට මාස ගානකට පස්සේ මම ආයෙත් ඒ කැලේ ඩොටේ ගමට ගියා වෙනත් රාජකාරියක් ඉස්ටකොරගන්න . එයනකොට දැක්ක දේවල් වලින් මගේ හදවත සලිතවෙලා ලලිත වෙලා මුකුලිත වෙලා ගියා . අර ඇල දොළ ගංගා ඔක්කොම හිඳිලා . කෙත්වතු පුරන්වෙලා . මල් මුකුලිතවෙලා . මල්වල සුවඳ අතුරුදන් වෙලා . ගමට මාස ගානකින් වැහිපොදක් වැටිලා නෑ .

මම ඉතින් විද්‍යාත්ම ඇසකින් මේදෙස බලා වදාරා අවසානයේ මෙහෙම වෙන්න ඇත්තේ මේකයි කියලා නිගමනයකට එළඹුනා . ඒ තමයි වතී අක්කගේ ගමට ගී පද කියන සිංදුවා ගිරා පය තැබීම . ඒත් එක්කම සොබාදහම කම්පාවෙලා තමයි මේ ගමට මේ වින්නැහිය සිද්ද උනේ . හයියෝ මුදල් . නිලට නිලේ බැබලුන ගමට පොට්ටකොකා හඬලුවේ ඔහොමයි . ආ නෑ කණකොකා .

ඉතින් මේ ගීතය ලියවුනේ අන්න ඒ සිද්දිය මුල්කරගෙන කියලා මට සාධාරණ විනිශ්චයකට එළඹෙන්න පුළුවන් උනා .





වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට

සංගීතය : කසුන් කල්හාර
ගායනය : මාලිනි බුලත්සිංහල
පද රචනය : විදුර ඩයස්





වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

සිංදුවා යනවා වතී අක්කව මීට් වෙන්න ගමට . ඒ යනකොට ඔන්න වතී අක්කා ගේ ඉස්සරහා බලාගෙන ඉඳලා ඕ.......................... මගේ සිංදුවෝ...................... කියාගෙන දුවගෙන එනවා . ඇවිත් මෙන්න මේ ගීතය සීරුවෙන් ඉඳගෙන ගායන කරන්න පටන් ගන්නවා . වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ . ඒ කියන්නේ මේ ගමට ඔයා කලින් ආව දවසේ ඉඳලා වස්සානය , ඒ කියන්නේ වැහි කාලය එනවා වගේ පෙනුනත් එක හීනයක් විතරයි . ඇත්ටටම වහින්නේ නම් නෑ . ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ . ඒ කියන්නේ ගමේ තියෙන මිහිර ඔයා ආවට පස්සේ නැතිවෙලා ගියා . ආයෙත් ඒ මිහිර අපිට දැනෙයි කියන එක අරුමයක් විතරයි . කමක් නෑ ඉතින් මගේ මාල ගිරවා ඈත ඉඳන් නේ එන්නේ මේ . මොකද ස්ටෑන්ඩ් එකේ ඉඳලා මේ ඩොටේ ගමට එන්න හෙන වෙලාවක් යනවනේ . ඉතින් ඔන්න මම ඔයාව පිලිගන්නවා . කියලා වතී අක්කා පළවෙනි ස්ථායි කොටස ගායනා කරලා ඉවර කරනවා . 

ඊටපස්සේ සිංදුවා තමන්ගේ සාක්කුවේ සඟවාගෙන හිටපු මවුත් ඕගන් එකක් අරගෙන මේ ගීතයට අතුරු වාදනය සපයනවා . ඒ සද්දේ ඇහිච්චගමන් ඔන්න අපේ වතී අක්කට අමුතුම පණක් ලැබිලා අසල තියෙන වියලුනු පන් පඳුරකින් පන්ගහක් ගලෝගෙන ඇවිත් මෙන්න මේ අන්තරා කොටස ගායනා කරනවා .





පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

ගීතය කියන ගමන්ම වතී අක්කා ඒ පන් ගහෙන් හීනියට තට්ටුවක් දාලා කියනවා පන්ගසකින් තලන්නම් කියලා . ඊට පස්සේ සිංදුවගේ කොන්ඩෙන් අල්ලලා ඔලුව දෙපැත්තට හොලවලා පොඩ්ඩක් ඈතට දුවලා ගිහින් කියනවා කෙහෙරොද ඇද දුවන්නම් කියල . ඔහොම පිස්සු නටන්නේ මේ ගමට පෑවිල්ල නිසා අපේ වතී අක්කට පොඩ්ඩක් දෙගුනේ වගේ වෙලා නිසා කියලා තමයි මමනම් හිතන්නේ . ඒ නිසා ඔන්න සිංදුවා බොරු තරහක් අරගෙන වතී අක්කා දිහා බලනවා . එතකොටම වතී අක්කා දුවගෙන ඇවිත් සිංදුවගේ දෑත අලාගෙන කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ කරන ගමන් කියනවා දෑතෙ වෙලී නටන්නම් කියලා . ඊළඟ පදේ ගැන ඔයාලා සිංදුවගෙන්ම අහගන්න . මම දන්නේ නෑ .


නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට





වතී අක්කගේ මේ ගීතය මුළු ලොවක් සනහාලන හරියට සෙත් කවියක් වගේ ක්‍රියාත්මක වෙනවා . ඉතින් ඒ නිසාම එවෙලේ අහස කලුවෙලා වැහිපොද කඩාවටෙන්න ගන්නවා . ඒ නිසා වතීඅක්කට හරිම සතුටුයි . අක්කා කියනවා ඉතින් සිංදුවෝ අද වහින්න ගත්ත නිසා , ඔයා නිසා මේ ගමට වෙලා තිබ්බ වින්නැහිය අද දුරු උනා . ඒ නිසා මට ගමේ අයගෙන් අහන්න වෙලා තිබ්බ නින්දා අපහාස ගිනි නිවිලා යයි කියලා . ඉතින් මේ හැපිටයම වතී අක්ක කියනවා , මම මාල හතත් හදලා තියෙන්නේ . අපි අදම බඳිමු . බැඳලා අර ඈත පේන කන්දේ පොඩි මැටි ගෙයක් හදාගෙන කිරි උතුරවලා ඒ ගෙයි පදිංචිවෙලා පොල්සම්බෝලයි බතුයි කාලා ජීවත්වෙමු , අනේ ඔයා ආයෙත් මාව දාලා ගෙදර යන්න එපා කියලා .

අඩෝ සිංදුවෝ කඳු උඩ පස ආම්ලිකයි . ආම්ලික පසේ පොල් හැදෙනවා අඩුයි . ඒ නිසා පොල් හැදෙන පැත්තක මැටි ගෙයක් හදාගනින්  :p  :p .





ඔන්න් ඔහොමයිලු මේ ගීතය හැදුනේ . අනේ ඉතින් අපේ සුදු සිංදුවතී අක්කා.......... වයලීනෝ මල්ලිට හරි.........................ආදරෙයිලු . ඒ නිසා මේක කියවලා වයලීනෝ මල්ලිට බනින්නේ නෑලු . වැඩට ගිහින් එනකොට වයලීනෝ මල්ලිට චොකලට් එකක් ගෙනත් දෙනවලු . නෙහ් ? හිහිහිහිහිහිහ්

සිංදුවා ලිව්ව පෝස්ට් එකේ මම කමෙන්ට් කළා මේ ගීතය අහන්න ලැබුණේ සිංදු මල්ලි නිසා කියලා . දවසක් මම එහෙ යනකොට සිංදු මල්ලි මේ ගීතය අහ අහ ඉඳලා මේක අහලා තියෙනවද කියලා මටත් අහන්න දුන්නා . ඊටපස්සේ තමා සිංදුවටත් ඒ උන බෝ කරේ . මේ ගීතයෙන් කියවෙන සැබෑ අර්ථය ගැන මම හිතන්නේ මෙහෙම .






වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා


ටිකක් මුදල් හදල අතින් අමාරු පෙම්වතියක් සහ සමාජයේ යම් තත්ත්වයක් තියෙන සල්ලි තියෙන පවුලක පෙම්වතෙක් අතර වෙන ප්‍රේම කතාවක් මේ . මෙයාලා කලින් දීර්ඝ කාලයක් යාළුවෙලා ආදරෙන් ඉන්නවා . පස්සේ ඉතින් හරි කාලේ ආවම ගෙවල් වලට කියනවා . එහෙම කිව්වට පස්සේ කොල්ලගේ ගෙදරින් කැමති වෙන්නේ නෑ ගෑණු ළමය එයාලා බලාපොරොත්තු වෙන තත්ත්වය නැති නිසා . ඉතින් ඊටපස්සේ කොල්ලට කෙල්ලගේ පැත්ත ගන්නත් බෑ අම්මලා තාත්තලාගේ පැත්ත ගන්නත් බෑ . 

ඉතින් කොල්ලා කෙල්ලට කෝල් එකක්වත් දෙන්නේ නැතුව තරමක් ලොකු කාලයක් තනිවෙලා ඉන්නවා කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා හිතාගන්න බැරුව . මේ අතරේ කෙල්ල ඇත්ත තේරුම් අරගෙන රස්සාවක් හොයාගෙන සල්ලි ටිකක් හොයාගෙන දෑවැද්ද වගේ දේවල් පොඩ්ඩක් ශේප් කරගන්නවා . පස්සේ කොල්ලට මේ ගැන ආරංචිවෙලා කොල්ලට දුක හිතිලා අම්මලට බම්බු ගහගන්න කියලා කෙල්ල බලන්න ගමට එනවා . එහෙම එනවා කියලා කෙල්ලට පණිවිඩයක් දුන්නම කෙල්ලගේ හිතේ ඇතිවෙන සිතුවිලි දාමයක් තමයි මේ ගලාගෙන යන්නේ කියලා මම හිතන්නේ . 

තමන්ගේ පෙම්වතා තමාව බලන්න එනවා කියන්නේ හරියට නියඟයක් උදාවෙලා තිබ්බ පළාතකට වස්සානය උදාවෙනවා වගේ දෙයක් . හරියට ඒක සුන්දර සිහිනයක් සැබෑ උනා වගේ . ඒ නිසා කෙල්ලගේ හදවත හරිම සැහැල්ලුයි . ඒ සැහැල්ලු බව නිසා කෙල්ලට ගමේ තියෙන වටපිටාව දැනෙන්නේ මිහිරෙන් පිරුණු අරුමැසි ලෝකයක් වගේ . ඉතින් දුර ඈත ඉඳලා එයාගේ ගී ගයන මාල ගිරවා අද ආයෙත් ගමට වඩිනවා කියලා කෙල්ලට ගොඩක් සතුටු හිතෙනවා .






පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

කෙල්ල දැන් හිතෙන් මවනවා කොල්ලා ආවම කොල්ලට ට්‍රීට් කරන්නේ කොහොමද කියලා . කෙල්ල හිතනවා කොල්ලත් එක්ක කුඹුරු වල ඇල දොළවල් වල ඇවිදින්න ඕන කියලා . එහෙම ඇවිද ඇවිද යනකොට පන් පඳුරකින් ගලවලා ගන්න පන් ගහකින් කොල්ලට තට්ටුවක් දාන්න ඕන , නැත්නම් කොල්ලගේ පොකුටු පොකුටු කොන්ඩේ තියෙන කෙස් රොදකින් ඇදලා දුවන්න ඕන කියලා හිතනවා . එතකොට කොල්ලා තමා දිහා බොරු තරහක් අරගෙන බලයි . ඒ තරහා නැතිවෙන්න පුංචි සා පැටියෙක් වගේ කොල්ලගේ තුරුලේ නිදන්න ඕන කියල මේ කෙල්ල හීන මවනවා .





නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට

තමා දැන් හොඳ රැකියාවක් කරන නිසා කෙල්ල හිතනවා තමා වින්ද නින්දා ගිනි නිවිලා ගිහින් නැන්දම්මයි මාමන්ඩියි තමාට කැමත්වෙයි කියලා . මාල හතක් තියේවි කියලා වක්‍රව කියන්නේ තමාට දැන් දෑවැද්දට දෙන්න දෙයක් තමා එකතුකරන් ඉන්නවා කියලා වගේ දෙයක් . කිරි සුවඳින් පිරේවි කියලා කියන්නේ කෙල්ල හිතනවා දැන් කොල්ලගේ අම්මා තාත්තා කැමති උනාම අපිට බඳින්න පුළුවන් වෙයි . ඒ නිසාම එයාලගේ ජීවිතවලට කිරි උතුරලා සෞභාග්‍ය උදාවෙයි කියලා . ඒ නිසා ආයෙත් තරහා වෙලා කෙල්ලව ගමේ තනි කරලා දාලා සිදාදියට යන්න එපා කියලා කොල්ලගෙන් ඉල්ලන්න ඕන කියලා කෙල්ල හිතනවා .

ඇති නේද එහෙනම් . ගීතයේ සංගීතය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා . ඒ නිසා ඒකත් වෙනමම පෝස්ට් එකකට කොටන්නම් . නැත්නම් ඔයාලට කියවන්න එපා වෙයි දිග වැඩි නිසා . සතියක් දෙකක් ගතවෙනකොට මම තවත් පෝස්ට් එකක් දැම්මේ නැතොත් පොඩ්ඩක් හොයලා බලන්න . සමහරවිට වතී අක්කා මාව බේරාගත්තේ නැතොත් සිංදුවා මාව මරලා මගේ හත්දවසේ දානෙත් දීලා තියෙන්න පුළුවන් ඒ වෙනකොට..........  :( :(

එහෙනම් මම ගියා . ඉලවු යූ ඕල් :) 

Thursday, September 18, 2014

වියෝ උනාට පස්සෙලු දන්නේ , ප්‍රේමයේ අභිමන් පට්ට කියලා....







ඉස්කෝලේ කාලේ විශේෂ යෙහෙලියක් වෙලා හිටපු වයලීනි දීපු ප්‍රසන්ට් එකක් හම්බුනා අද මගේ පරණ පොතක් අස්සේ තිබිලා . හැබැයි ඒක විශේෂ දෙයක් නෙවේ . ටොපි කොලයක් . ඒ කාලේ තිබ්බ පිස්සුවෙ හැටියට චොකලට් කෑවද ඒ කොලේ පොතක් අස්සේ , ටොපියක් කෑවද ටොපි කොලේ පොතක් අස්සේ . මේ ටොපි කොලේට මාර ඉතිහාසයක් තියෙන්නේ .

වයලීනිගේ අම්මා ඉන්දියාවේ ගිහිල්ලා එනකොට ගෙනාපු ටොපි වලින් වයලීනි ගෙනත් දීපු එකක කොලයක් මේ . දැන් ඉතින් වයලීනොයි වයලීනියි වියෝ වෙලා වෙන්වෙලා මෙව්වා වෙලා ගිහින් අවුරුදු කීපයක් වෙච්චි එකේ උන්දා දීපු මේවා මොන වෙඩින් එකකට තියාගෙන ඉන්නවද කියලා ඒ ටොපි කොලේ විසි කරලා උඩු ගුවනේ පාකරලා දැම්මා .

ඒ සිද්දියත් එක්කම මගේ හදමල පැවසුවේ සිංදුවක් ගැන ලියන්න ඕන කියලා . සිංදු ගැන ලියන්න ඉතින් ඕපදූපයක් ගැන ලියන්නත් එපාය . ඒ නිසා අද ඕපදූපයට කියලා ගන්න හිතුවේ ඉස්කෝලේ කාලේ අපිත් එක්ක එකට ඉගෙනගත්ත තවත් එකෙක්ගේ ලවු කතාවක් . කෙටියෙන් කියන්නම් , මොකද ගීතය ගැන සිරා විස්තරයක් ලියන්න ඕන නිසා .

මේ යාලුවා බොහොම සමාජශීලී විචාරශීලී අසංවරශීලී යාලුවෙක් . මුටත් අපිට මල පිපෙන කාලෙම මල පිපුනා දෙයියනේ කියලා .

ඉතින් ඔන්න
ට්‍රයි කරලා කරලා කරලා
නොවඳිනා වැඳුම් වැඳලා වැඳලා වැඳලා
පස්සෙන් ගිහිල්ලා ගිහිල්ල ගිහිල්ලා
පෙම් කවි කියලා කියලා කියලා
ඒ කෙල්ලගේ හිත කාලා කාලා කාලා
වැඩේ ගොඩ දාගත්තා .





ඕක එහෙම ගොඩදාගන්න ඕන නිසා හැමෝම වගේ ඔත්තු සපයන්න , ලියුම් හුවමාරු කරන්න , ලියුම් ලියන්න වගේ දේවල් වලට හෙල්ප් කරා . පස්සේ ඉතින් මුන් දෙන්නා උදේ හවස උදලු , අලවංගු රේක්ක මුල්ලු වගේ කෘෂිකර්ම උපකරණ අරගෙන තමා ඉස්කෝලේ ආවේ . අපේ ඉස්කෝලේ පැත්තේ තියෙනවා පාලුවට ගිය කැලයක් . මුන් දෙන්නා ඉතින් කරන්නේ ඉස්කෝලේ ආවම  ඉන්ටවල් එකට, නැත්නම් ඉස්කෝලේ ඇරුනම අර කෘෂි උපකරණත් අරගෙන ගිහින් මේ කැලේ කපලා වල් කොටලා සුද්ද කරපු එක .


ටික ටික මෙහෙම සුද්ද කරලා මුන් දෙන්නා මේ සුද්දකරපු සරු පොළවේ හොඳ තවාන් පාත්ති කීපයක් හැදුවා . අනේ ඉතින් ඊටපස්සේ මොකද කරේ දන්නවද ? මේ තවාන් පාත්ති වල තන්හි තන්හී මෙයාලා චූටි චූටි චූටි මල් පැල රෝපණය කළා . මේ මල්පැල කාලයත් එක්කම ලොකුවෙලා ඔන්න මල් පිපෙන්න ගත්තා . ඉතින් මේ මල් වල තනි අයිතිකරුවන් වෙච්ච මේ අපේ යාළුවයි එයාගේ ප්‍රියම්බිගාවවයි හරි හරියට මල් කඩනවා .

හම්මේ බලන්න එපාය මුන් දෙන්නගේ මල් කැඩිල්ලේ රඟේ . එක්කෙනෙක් මලක් අරන් වට්ටියට දානවා . එතකොට අනිත් එක්කෙනා පොඩි හිනාවක් දානවා කට කන ගාවට අරගෙන  . ඊටපස්සේ ආයෙත් මල් කඩනවා . ඔහොම ඔහොම දෙන්නා ඉතාම සතුටින් කාලය ගතකලා පින්වතුනි . ඉතින් සාධු කියන්න පින්වතුනී ......

අපි ඉතින් ඔය ලස්සන හුරුබුහුටි මටසිලිටු මිටින් ගතහැකි සිහින් ඉඟ තියෙන ගෑලූ ළමයි දැක්කම කන්න වගේ බලාගෙන ඉන්නවනේ . ඉතින් දවසක් අපේ එව්වෝ මේ යාලුවගේ ගෙදර ගියාම ඔන්න ටීවී එකේ යනවා පට්ටම පට්ට කෙල්ලෙක්ගෙ ඩාන්ස් එකක් . අපි ඉතින් කන්න වගේ බලාගෙන ඉන්නකොට මේ යාළුවා අපිට කින්ඩිය දැම්මා . ( ඌ සිල්වතා වෙලා )





" මොනාද යකෝ කෙල්ලෝ දිහා ඔහොම බලන්නේ , මේ කෙල්ලොන්ටත් කිසිම හැදියාවක් නෑ , කොච්චර හොඳට මුන්ට ඇඳගෙන එන්න පුළුවන්කම තියෙත්දිද මේ බාගෙට ඇඳගෙන එන්නේ " කියලා.

එවෙලේ අපි තේරුම් ගත්තා මූ කෙල්ල එක්ක යාළුවෙලා කාලයක් දැන් ගතවෙලා නිසා ආශ්චර්යය වේගෙන එන්නේ කියලා . ඒ නිසා අපි මුකුත් නොකියා කටපියාගෙන හිටියා .

වයලීනෝ උසස්පෙළ කරලා ගෙදර ඉන්න කාලේ කඩු සටන් පාඨමාලාවකට සහභාගී උනා . මේ කඩුසටන් පාඨමාලාවට අපේ මේ යාලුවත් ආවා . උසස්පෙළ ලිව්වට පස්සේ මේ යාලුවා මීට් උනෙත් මේ ක්ලාස් එකේදිම තමා . හැමදාම වගේ ක්ලාස් එක ඉවරවෙලා එනකොට මේ යාළුවා උගේ කෙල්ලට කෝල් කරනවා . ඒ කෝල් ඉතින් අපිටත් ඇහෙනවනේ . වචනෙන් දෙකෙන් කෝල් වලට උත්තර දීලා කට් කරණකොට අපිට තේරුනා ආයෙත් ආශ්චර්යය වේගෙන එන්නේ කියලා .

පස්සේ ඉතින් ඇත්තටම ආශ්චර්යය උනා . මූ ට්‍රයි කරලා කරලා හිත හදාගෙන ඔන්න කෙල්ලව අතාරින්න වැඩ සලසාගත්තා . අපිට මොකෝ . අපි ඉතින් ඒවටත් උදවු කළා . මොනා උනත් යාළුවගේ සතුටනේ කියලා අපි උට හිත හදාගන්නත් උපදේශනය මනාව ඉෂ්ට කළා . කොටින්ම කියනවනම් මූ දුකෙන් ඉන්නවා බලාගෙන ඉන්න බැරි වෙලේ කෙල්ල දීපු ලියුම් ටික පුච්චන්නත් අපි උදවු කරා ( ගිනි පෙට්ටි ගෙනත් දීලා ) , තව කෙල්ල දීපු ප්‍රසන්ට් ගඟේ පාකර හරින්නත් උදවු කරා . මොකද මුට ඕක නවත්තන්න ඕනනම් කෙල්ල අමතක කරන්නත් උදවු කරන්න එපාය . ඔක්කොම කරලා කරලා අන්තිමට අපි මුට කෙල්ල එපානම් අමතක කරන්න හිත හදලා ටික කාලයක් ඉන්නකොට මූ කියනවා ,

" අයියෝ බෑ බං ඒකි අමතක කරන්න , ඒකි හොඳයි බං " කියලා .







එවෙලේ කොහොමහරි අපිට ලොවෙත් මල පැන්නා . ඇයි යකෝ ඕන කිව්වම දාගන්න හෙල්ප් කරා , එපා කියනකොට අමතක කරන්න හෙල්ප් කරා . දැන් රෙදි ඇඳගෙන ආයෙත් දාගන්න හෙල්ප් කරන්න පුලුවන්ද මම අහන්නේ . හැබැයි දෙයියනේ කියලා අපි ඒකත් කරා පින්වතුනී . නැවත සාධු කියන්න පින්වතුනී .

දැන් ඔන්න මේ ළගදී ආරංචියක් ආවා මුන් දෙන්නා ලබන මාසේ එන්ගේජ්මන්ට් එක ගන්නවා කියලා . ඒකටත් අපි යනවා පින්වතුනී . ආයේ වෙඩින් එකටත් යන්න ඕන . හෝම් කමින්ග් එකටත් යන්න ඕන . මොකද මුන්ට ආතල් ගන්න අපි කඹුරපුවට හරියන්න අපි හොඳට කන්නත් එපාය . හඃ හඃ හඃ .
ආදරේ ඔන්න ඔහොමයිලු පින්වතුනී . ඇතිවෙනවා නැතිවෙනවා . ගිය ආත්මේ ණය තියෙනවනම් නැති උනත් ආයේ සෙට් වෙනවා . ඉතින් අපේ එකාටත් වියෝ උනාට පස්සෙලු තේරුනේ , ප්‍රේමයේ අභිමන් පට්ට කියල .

අන්න ඒවගේ ඇත්තටම ආදරේ කරලා ඒ ආදරේ නැති උනාම කාටත් මතක්වෙන ගීතයක් තමයි අද කියන්න හදන්නේ . ඒ තමයි

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් කල එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඬයි

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

මේ ගීතය රචනා කරලා තියෙන්නේ බන්දුල නානායක්කාරවසම් මහත්මයා 




සංගීතය සහ තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා 




ගායනය සුනිල් එදිරිසිංහ මහත්මයා 




ගීතයේ තේරුම ගැන කියන්න හදනකොට මට ඉස්කෝලේ කාලේ වෙච්ච තවත් කතාවක් මතක් උනා . මමත් පාසල් ප්‍රේමයේ පැටලිච්ච මුල කාලේ මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් අහනවා මගෙන් කවුද කවුද වයලීනොගේ පුණ්‍යවන්ත පරම පෙම්වතී කියල . මම ඉතින් කවුද කියලා කිව්වම ඌ මට කියපි 

" මමනම් මචං දැන්ම කෙල්ලෙක් දාගන්නේ නෑ , උඹලා ගඟේ ගහගෙන යත්දී මම ගොඩටවෙලා බලාගෙන ඉන්නවා " කියලා . එවෙලේ මගේ ශ්‍රී මුඛය ක්‍රියාත්මක උනා . ඒවා ඉතින් ඕන නෑ මෙතනට . අපි ගීතයේ තේරුම බලමුකෝ .






වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්

දෙන්නෙක් කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් , පොඩි ප්‍රශ්නයක් උනත් දුරදිග ගියාම ඒ ඇති දෙන්නා වෙන්වෙලා යන්න . අපිත් ඉස්සර කිය කියා හිටියේ ප්‍රේමයයි වෛයිරයයි අතරේ වෙනස කොස් ගසකට සමයි කියලා . ඒත් ඈත් වෙන්න උනාට පස්සේ තමා තේරුනේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කොස් මුලකටත් වඩා කුඩයි කියලා .

දුකයි . ඒත් දෛවය කියලා තියෙන්නේ වෙන් වෙන්න නම් ඒ දේ කොහොමත් වෙනවා . ඊට පස්සේ අපිට සමහරවිට ඊටත් වඩා ආදරේ කරන , ගැළපෙන කෙනෙක් ලැබෙන්නත් පුළුවන් . නැති වෙන්නත් පුළුවන් . ඒක එක එක්කෙනාගේ පවු පිං අනුව දෛවය ලියවිලා තියෙන හැටියට වෙනවා . ඉතින් ඒ ලැබෙන දේ ගැන අහිතක් නොහිතා භාරගන්න අපි හිත හයිය කරගන්න එක තමයි කරන්න ඕන .

මේ ගීතයේ ස්ථායි කොටසෙන් කියවෙන්නෙත් ඒවගේ දෙයක් . කාලයක් ආදරේ කරලා හදවත් වලින් බැඳිලා ජීවත් වෙලා අන්තිමට වියෝ වෙලා වෙන්වෙලා ගියාට පස්සේ තමයි දැනෙන්නේ කුලල්කකා හරි කමක් නෑ එකට හිටියනම් කොච්චර හොඳද කියලා . ප්‍රේමයේ අභිමන් දැනෙන්නේ එහෙම උනාට පස්සේ . ඒත් සමහර වෙලාවල් වලදී ඒ අභිමන දැනෙනකොට අනිත් කෙනාට ආයෙත් ලං වෙන්න බැරි තරමටම වෙන්වෙලා ගිහින් . නැත්නම් වෙනත් ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ඒ අතරට ඇවිල්ලා . ඉතින් එහෙම උනාම අන්තිමට වෙන්නේ ලෝකයට හොරෙන් අඬන්න තමයි . එහෙම අඬනකොට තමයි දැනෙන්නේ ඇස්වලින් උනන කඳුළු කම්මුල් දිගේ පහලට ඇවිත් මූවගින් නැගෙන හිනාවට සරදම් කරනවා කියලා .







ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඬයි

මම හැමවෙලාවෙම කියන කතාවක් තමයි මෙන්න මේක . අපි එක එක කාලෙට අපි ගැටෙන සමාජයත් එක්ක , නැත්නම් ඒ සමාජයේ ඉන්න අයත් එක්ක බැඳීම් ඇති කරගන්නවා . ඒත් ඒ බැඳීම් ඇතිකරගන්නේ එයාලා අපිත් එක්ක හැමදාම ඉන්න පුළුවන් තත්ත්වයේ අයද නැත්ද කියලා බලන්නේ නැතිව . මොකද ආදරේ කියන දේ ඇතිවෙන්නේ මුලින්ම උඩු හිතේ . ඒ වගේම ආදරේ ඇතිවෙන්නේ මුලින්ම කෙනෙක්ගේ පෙනුම මත පදනම් වෙලා . ඊට පස්සේ තමයි අනිත් දේවල් ගැන සලකලා බලන්නේ . අපිට වැඩිපුර පේන හිත තදින්ම බැඳලා තියාගන්න පුළුවන් කෙනෙක්ට අපි මුලින්ම ආදරේ කරනවා . පස්සේ අපේ සමාජ තත්ත්වය වෙනස් උනාම එයා හොඳ නෑ කියලා තව කෙනෙක්ට ආදරේ කරනවා . ගොඩක් දෙනෙක් ප්‍රශ්න දාගන්නේ මෙන්න මේ කාරණාව නිසා කියලයි මම හිතන්නේ . එක්කෝ මුලදී ආදරේ කරන කෙනාට හැමදාම ආදරේ කරන්න ඕන . නැත්නම් තමන් ස්ථාවර වෙනකන් ඉඳලා තමන්ට ගැළපෙන කෙනෙක් හොයාගන්න ඕන . එහෙම නැතුව කාලයත් එක්ක මෙයා ගැළපෙන්නේ නෑ කියලා අතාරින එක පොඩ්ඩක් අවුල් වැඩක් . පොඩ්ඩක් නෙවේ ගොඩක් අවුල් වැඩක් . 

ගීතයේ පළවෙනි අන්තරා කොටසින් කියවෙන්නේ ආදරේ කියන දේ ගැන වටින් ගොඩින් අතපතගාලා බලනකොටනම් හරිම චමත්කාර ජනක උනාට ඒකට යොමු උනාට පස්සේ තමයි ජීවන අරගලයත් එක්කම එන ප්‍රශ්න වලට දෙන්නටම මූණ දෙන්න වෙන්නේ කියලා . ගඟක ඉවුරේ ඉඳලා අපි ගඟ දිහා බලනකොට අපිට පේන්නේ පෙන පිඩු නංවමින් නිල්කැටේට ගලාගෙන යන ජල පහරක් . ඒත් ඕකට බැස්සට පස්සේ තමයි තේරෙන්නේ ජල පහර කොච්චර ගැඹුරුද , ප්‍රචන්ඩද කියලා . අනික මේ ජල පහරේ හැංගිලා ඉන්න කිඹුලන්ට කබරයින්ට උනත් ගොදුරු වෙන්න පුළුවන් ගඟට බහින කෙනාව . ප්‍රේමය කියන ගඟට බැස්සත් එච්චරම තමයි කියලා මේ අන්තරා කොටසින් අපිට අදහසක් ගන්න පුළුවන් . 





හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

කතාවක් තියෙනවනේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ කියලා . ඒකෙ පොඩි ඇත්තකුත් තියෙනවා කියල කිව්වට මේ ලෝකේ එහෙම ජීවත් වෙන්න බැරි බව වටහාගන්න කෙනා තමයි ජීවිතෙන් ජය ගන්නේ . කොල්ලෙක් කැමති කෙල්ලෙක්ගෙ පළමු පෙම්වතා වෙන්න . කෙල්ලෙක් කැමති කොල්ලෙක්ගේ අවසාන පෙම්වතිය වෙන්න . ඒ කතාවනම් ඇත්ත . හැබැයි දෙන්නගෙම පළවෙනි එකනම් ගොඩක් හොඳයි . මොකද දෙන්නා වෙන් උනේ නැත්නම් හැමදාම දෙන්නට නොයිඳුල් ප්‍රේමයකට හිමිකම් කියන්න පුළුවන් නිසා . ඒත් වටින්නේ ඉඳුල්ද නොයිඳුල්ද කියන එක නෙවෙයි . අවසානයේ බැඳෙන දෙන්නා අත්වැල් බැඳගෙන ජීවන ගඟ තරණය කරගෙන ජීවිතය ජයගන්නේ කොහොමද කියන එක . 

අවසාන අන්තරා කොටසින් කියවෙන්නේ මම හිතන හැටියට මෙහෙම දෙයක් . හඳක් නැතිදාට අහසට තරුවක් තමයි සැනසුම ආලෝකය ගේන්නේ . ඒ කියන්නේ පෙම්යුවලක් වෙන් උනාම , තමන්ගේ ජීවිතයට ආයෙත් ලංවෙන වෙනත් පෙම්වතෙක් හෝ පෙම්වතියක් තමයි ජීවිතයට එලිය ගේන්නේ . ඒ ලැබෙන එලිය මුලින් උන්න කෙනා දුන්න ආලෝකය ආදරය සෙනෙහසට වඩා සමහරවිට අඩු වෙන්න පුළුවන් . ඒත් බැරිවෙලාවත් ආයෙත් අර පරණ කෙනාම ඇවිත් වෙනදා වගේම ආදරේ එළියෙන් ජීවිතය ආලෝකවත් කරොත් , පස්සේ ලංවෙච්ච පෙම්වතා හෝ පෙම්වතිය දුන්න ආදරේ කුණු මුල්ලට විසිවෙන්නත් පුළුවන් කියලා තමයි ඔය සඳ තරු කියන දෙන්නව උපමා කරගෙන කියලා තියෙන්නේ . 

ගීතයේ සංගීත නිර්මාණය කිරීම් ගැන මම මෙතන කියන්නේ නෑ . මොකද මේ ගීතයේ සංගීත නිර්මාණය ඉතාම සියුම් . ඒ නිසා ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නේ . 

එහෙනම් ගීතය අහන්න . ආ වැරදුනා . අද එකම ගීතය දෙපාරක් අහන්න වෙයි . රවිශංකර්ට නොදෙවෙනි අනුශ්කා ශංකර් වගේ සුනිල් එදිරිසිංහයන්ට නොදෙවෙනිව මේ ගීතය එතුමන්ගේ දියණිය ගායනා කරනවා . දෙන්නගේම ගායනයන් හරීම හැඟුම් බරයි . ඒ නිසා ගීත දෙකම් අහන්න . මුලින් තියෙන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ ගයනය . දෙවෙනියට තියෙන්නේ එතුමන්ගේ දියණියගේ ගයනය . 





Monday, September 15, 2014

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි







අදත් මතක් කරන්න යන්නේ මගේ ඉස්කෝලේ කාලේ අත්දකින්න ලැබුණ අත්දැකීමක් එක්කම එකට බැඳිලා තියෙන ගීතයක් ගැන . බැඳිලා තියෙන කියලා කිව්වට පින්වතුනී මේක එහෙම බැඳිලාමත් නෑ . මම බලෙන් බන්දන්න තමයි හදන්නේ . ඔන්න බලන්නකෝ වැඩේ කොහොමද කියලා .

වයලීනෝට දේශපාලනය කියන මාතෘකාව හරිම අප්‍රිය ජනක දෙයක් වෙච්චි . ඒ නිසා ඔය චන්දේ දානවා කියන එක මහ අකමැතිම වැඩක් . ඇහින් දකින්න ලැබුනේ නැති උනාට කැමතිම දේශපාලන චරිතය එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක මහත්මයා .  ඒ එතුමා ගැන පොත් වලින් කියවලා වගේම අපේ සීයා මාත් එක්ක පොඩිකාලේ කිව්ව දේවල් වලින් දැනගත්ත දේවල් නිසා  . ඒ ඇර වෙන කිසිම දේශපාලන චරිතයක් වයලීනොට හරියන්නේ නෑ ඔන්න හරිය ? . ඒ ප්‍රතිපත්ති කෙසේ වෙතත් හාහාපුරා කියලා පලවෙනි චන්දෙ දාන්න , චන්ද කාඩ් ගෙදරට ආවට පස්සේ මම රෙඩ් ලයිට් පත්තු කරා මම ඔය මූසල හාල්පාරුවන්ට චන්දෙ දෙන්න නිකන් පෙට්‍රෝල් පුච්චගෙන චන්දෙ දාන්න යන්නේ නෑ , ඕන එක්කෙනෙක් ගිහින් දාගන්න කියලා .

ගෙදර අය සද්ද නැතුව ඉඳලා චන්දෙ දවසේ උදේ පාන්දර දෝස් මුරේ දැම්මා පළවෙනි චන්දෙ දාන්න තියෙන්නේ ඒ නිසා චන්දෙ දාන්න යන්න කියලා . මම ඉතින් මූණ ඇඹුල් කරගෙන චන්දෙ දාන්න යන්න ලැස්ති උනා . ඔන්න ඉතින් ලැස්ති වෙනකොට මගේ දුක හඬා වැටෙන්න ගත්තා . දුක කිව්වේ පින්වතුනී දුරකථනය . ඉතින් මම කාමරේට දුවගෙන ගියා වයලීනිවත් කතා කරනවද දන්නේ නෑ කියලා . කොහෙද බලනකොට දන්නෙවත් නැති නම්බර් එකක් . මම හෙලෝ කියනකොටම කෝල් එක කට් උනා . හයියෝ සල්ලි . ටිකක් වෙලා යනකොට ඔන්න ඒ නම්බර් එකෙන්ම මැසේජ් එකක් ආවා . ඒකෙ තිබ්බේ මෙන්න මෙහෙම .

" මේ වයලීනෝ අයියා නේද ? , මට අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම කියන්න එතකොට මට හරියටම ෂුවර් කරගන්න පුළුවන් මේ වයලීනෝ අයියද කියලා "

මම ඉතින් ඉස්සෙල්ලම වයලීනිගේ නම නොකියා ඇහුවා කවුද කියලා . එතකොට නම කියලා ආයෙත් මට මැසේජ් එකක් ආවා . ගින්නක් නෑ මම දන්න නංගි බබෙක් . හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ හදවත කීං ගෑවා ඒ නංගි කියලා දැනගත්තම . පස්සේ ඉතින් මම වයලීනිගේ නම කිව්වා . එතකොට එයා හෙන හැපියේ මට මැසේජ් එකක් එවලා තිබුණා





" මම ගොඩක් මහන්සිවෙලා අයියගේ නම්බර් එක හොයාගත්තේ " කියල
 ඊට පස්සේ මම එයාට නටන්න කියලා චන්දෙ දාන්න ගියා . පලවෙනි චන්දෙ නිසා ලොකූ........ කතිරයක් ගහන්න ඕනනේ . ඒ නිසා මම චන්ද කොලේ විකර්ණ යා කරලා කතිරයක් ගහලා චන්දෙ දාලා ආවා ගෙදර . හප්පට උඩු ෆෝන් එකේ කට කපලා මැසේජ් ගොඩයි . මම ඉතින් දෙයියනේ කියලා කාලා බීලා ඇඳට වෙලා මැසේජ් ටික පිළිවෙලට කියෙව්වා .

ඒ නංගිගේ කොල්ලා මම දන්න එකෙක් . මගේ යාලුවෙක් . ඉතින් ඌ ඒ නංගිට බූට් තියලා . අවුරුදු ගානක් යාළුවෙලා ඉඳලා . ඒත් අන්තිමට බූට් තියලා . මේ නිසා මේ නංගිට දුක කියන්න කෙනෙක් නැතුව මාව හොයලා දුක කියන්න . ඔය ගෑණුන්ගේ කන්දොස්කිරියාවන් අහන් ඉන්න ගියාම ටිකක් එපාවෙන නිසා මම වයලීනිවත් මේ වැඩේට මාට්ටු කරගෙන ඒ නංගිට හිත හදාගන්න උදවු උපකාර කොලා .

දවසක් ඒ නංගි මට මැසේජ් එකක් එවලා තිබුණා අයියේ මට වහ බොන්න හිතෙනවා කියලා . මටත් බොකු බඩවැල් කූල් උනා මේක දැකලා . ඇයි යකෝ මේකි මලා නම් එහෙම අන්තිමට මැසේජ් කරෙත් මට . මට තමා උසාවි යන්න වෙන්නේ කියලා . මම ඉතින් කෝල් කරා ඒ නංගිට .

හුටා මේකි ආන්ස්වර් කරන්නෙත් නෑ . මම හිතුවා හරි බඩු තමා කියලා . මම වයලීනිට කිව්වා

" මේ අර නංගි මැරෙනවා කියලා දැන් කතා නෑ . මට හිරේ යන්න තමා වෙන්නේ , ඒ නිසා වෙන එකෙක් හොයා ගන්නවා " කියලා .

වයලීනි කියනවා එතකොට " නෑ නෑ ඒ නංගි මටත් කිව්වා මැරෙනවා " කියලා පස්සේ එයාට එහෙමම නින්ද ගිහින් දැන් මැසේජ් කරා කියලා . මට ඉතින් එවෙලේ මතක් උනා අයන්නේ සිට ඉසෙඩ්යන්න දක්වා ඔක්කොම ටික .





ඒ නංගි මෙහෙම මැරෙනවා කිය කිය මටයි වයලීනිටයි හොඳ ආතල් දුන්නා . මටනම් වෙලාවකට යකා වැහෙනවා . ඒ වෙලාවට වයලීනි මාව කූල් කරනවා . ඔහොම ඔහොම ගිහින් අන්තිමටම ඒ නංගිට හැදුනා මහනවෙන ලෙඩක් . ඒකත් සනීප කරේ හරිම අමාරුවෙන් . ඒ නංගි පවුලේ එකම ළමයා නිසා මහන උනොත් අම්මලා පවු . යන්තම් දෙයියනේ කියලා ඒ නංගිට විද්‍යාපීඨ ආවා . ඒ ගියාට පස්සේ මටයි වයලීනටයිත් කරදරයක් නෑ . ඒ නංගිටත් කරදරයක් නෑ . දැන් නම් කොහේ ඉන්නවද දන්නේ නෑ .

නරක කාලෙට කෙලවෙනවා කියලා කියන එකේ ඇත්ත තත්ත්වය පසක් කරමින් මේ නංගිටත් එයාගේ ලව නැති උනා . ලව නැති උනාම ඉතින් තව එකක් හොයාගන්නේ නැතුව අඬා වැටි වැටී ඉඳලා වැඩක් නෑ . ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි තමයි . ඒත් තනි අතින් අත්පුඩි ගහන්න බැහැනෙව . ඉතින් අද කියන්න යන්නේ එහෙම කොල්ලා දාලා ගියපු කෙල්ල කියන ගීතයක් ගැන .

ගායනය නිරෝෂා විරාජිනී මහත්මිය



සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී






සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං


මහා නුගරුකක් වැනිවූ ඔබගේ ජීවිතය පාමුල මා ගතකල සුළු කාලය අතරතුර , මා ඔබගෙන් ලද සරදමකින් වුවද  සතුට ලැබුවෙමි . එම සතුට මගේ මුවගට රැගෙන ආවේ නිමාවක් නොමැති සිනහවකි . ඔබගේ රැකවරණය , ඔබ නිසා සමාජයෙන් මා ලද අභිමන , මෙපමණකැයි කියා වචන වලට පෙරලා නිමකළ නොහැක . එය මහෝගයක් වැනිය . ඒ සියල්ල හමුවේ මා ඔබගේ හදවත් දෙවොලෙහි ඇති ආදරය නමැති දෙව්රුව දුටුවෙමි . එබැවින් මාහට උරුම වීමට තිබුණු පෙම් ලොව මල් දම් ගිලිහුනද , නොහඩා ඉන්නෙමි පෙම්වත .


බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

ඔබ සතු බෝසත් ගතිගුණ හමුවේ මා ඔබසමග ගතකල කාලය තුල මා පසුවූයේ බෝසත්වරයෙකු අසල දැහැනට සමවැදී සිටිනා උපාසිකාවක් ලෙසය . එබැවින් අප අතරට මල්සරාගේ කාමාතුර මල් හීසර පහර කිසිවිටෙකත් ලැබුණේ නැත . දැන් මාගේ ජීවිතයට කවුරුන්හෝ ලං වීමට සැරසුනද ඔබ කෙරෙහි පුදන්නට මා විසින් රැකගත් නිකැළැල් පිවිතුරු ආදර මල් කැකුල තවමත් ඔබ වෙනුවෙන් පුදන්නට බැතිබරවී පවතී .



මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

මෙසේ මා තනිකර දමා ඔබ ඔබගේම ලොවක් සොයා ගියද , එය ඔබට සතුටක්නම් එය මගේද සතුට වන්නේය . මගේ සිතතුළ හටගන්නාවූ අපමණ දුක් කන්දරාව බෙදාගැනීමට දැන් කිසිවෙකු නැත  . ඔබත් සමග ඒ දුක බෙදාගන්න නොහැකි වීම දුකකි . ඔබ වෙනුවෙන් ජීවිතය තුරාවටම තනි වීමට කැමැත්තෙමි . එහෙත් එසේ ජීවත් වීමට කාන්තාවන් වන අපට සමාජයෙන් ඉඩක් නොලැබේ . එබැවින් මෙම සමාජය සිරගෙයක් වැනිය . එවැනි ලෝකයක අපගේ මේ හමුවීම සහ වෙන්වීම අදහාගත නොහැකි  සිදුවීමකි .


එකතු කරලා තියෙන රූපපෙළත් මේ ගීතයට හොඳටම ගැළපෙනවා . එහෙනම් ගීතය අහලා යන්න  :) :) 





Thursday, September 11, 2014

ගී පද කී මට සිංදු ගිරා






වයලා තමයි මේ සිංදුව මතක් කලේ. කාලයක් සිංදුවා ගොහින් හිටියා දුර ඈත ඈත ඈත ඈතමත් නෙවෙයි ටිකක් ඈත පන්තියකට. ටික කාලයක් එහෙ නැවතිලා ඉතින් ඔන්න ඉගනීම් කටයුතු කොරනවා. සති පහ හයක් නැවතිලා ඉන්න වුනු නිසා ඉතින් සින්දුවතීව මීට් වෙන්නත් බෑ නොවැ. ඇරත් ඒ දවස්වල දැන් වගේ යතාර්ථය අවබෝධ වෙලා නැති නිසා දෙන්නා ඉතින් ප්‍රේම තටාකේ මේකයි මැණිකේ වෙලා  කවදාවත් දෙන්නේ නැතිවුනාට පණ දෙන්න වගේ තමා ඉතින් හිටියේ.

දැන් පන්නගන්න බැරිකමට හිටියට ඒ දවස්වල ඉතින් ඕකට යනවා කියපු දවසේ ඉඳලා සිංදුවතී කුරු කුරු ගා ගත්ත ගමන්මයි. දන්නේ නැද්ද ඕවත් ඉතින් මායං වලින් එකක් නොවැ. කෝමහරි ඔන්න පන්තියේ වැඩේ ඉවරවෙලා සිංදුවා දැන් ඉතින් එනවා ගම රට බලා....

මැණිකේ මම ආයේ ගෙදර එනවා.... කියාගෙන සිංදුවා ආවට ඕකට ගැලපෙන්න සින්දුවතිට කියන්න සිංදුවක් හිතාගන්න සිංදුවාටත් බැරුව තමා හිටියා. ආවට පස්සේ ඉතින් සිංදුවතී
මා වින්ද වේදනාව ප්‍රියේ........... කියලා ඔක්කොම ගොසිප් ටික තමා කියනවා.

පස්සේ ඉතින් ඔහොම ඔහොම දින ගෙවිලා ගෙවිලා මේ සින්දුව ඇහුනත් එක්කම ඔන්න ඔය සීන් එක සිංදුවාට ආයේ මතක් වුනා. මොකද ගැලපෙන සිංදුවත් එදා නොහිතුනට එහෙම එකක් තිබිලා තියෙයි නොවැ. ඇත්තටම ඉතින් එහෙම්මම එකක් නැතත් ලඟින් යන එකක්වත් තියෙයි. :D





වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවි
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට

සංගීතය : කසුන් කල්හාර
ගායනය : මාලිනි බුලත්සිංහල
පද රචනය : විදුර ඩයස් 


වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා 

මේ සිංදුවේ ගෑලු ළමයා ඔන්න ගමේ හැදුනු ගෑනු දැරිවියක්. මොකද එයා සින්දුව පුරා කියන උදාහරණ උපමා අනන් මනං ඔක්කොම ගමේ තියෙන එව්වා නොවැ. එයාගේ කොල්ලා ළමයා එක්කෝ රස්සාවකට හරි මොකක් හෝ හේතුවකට ( සිංදුවාට වගේ පන්තියකට දන්නේ නෑ හෙහ් හෙහ් ) එහෙම නැත්නම් මේ ළමයට කොල්ලා ජම්බු දීලා ගිහින්ද මන්ද කොහොමහරි ඔන්න මිනිහා සිදාදියට ගිහින්. 
දැන් කෝමහරි මේ කොල්ලා සනා එනකොට මේ කෙල්ලගේ හිතේ තියෙන සතුට තමයි සින්දුව පුරාම වගේ තියෙන්නේ. සතුටෙන් වටපිට බැලුවම ඔක්කොම සතුටට වගේනේ පේන්නේ. මෙයාටත් ඒ වගේ තමයි. මෙච්චර කල් නීරස වෙලා තිබුණු ගම්මානේ දැන් මිහිරියි, සිහිනයක් වෙලා තිබුණු වස්සානේ දැන් නිකන් නෙවෙයි හිනා වේවි එන්නේ :D මෙයා මාල ගිරවිනේ..... ඉතින් මේ ඈත දුර ගෙවාගෙන මෙයාට ගී පද කිව්ව මෙයාගේ ආදරේ දිනපු මාල ගිරවා එනවා. පද මහාප්‍රාණ නොවුනට ඒ ඒ සිද්ධි ගැලපීම නිකන් මැවිලාම පේනවා වගේ අර දෙමල සිංදුවක් තියෙන්නේ චින්න චින ආසෙයි කියලා, අන්න එකේ ඒ කෙල්ල නටනවා වගේ ගම පුරාම මේ සින්දුවෙත් ගෑලු ළමයාගේ සතුට. තනුවත් ඒකටම ගැලපෙනවා ඒ වගේම මාලිනියන්ගේ හඬ.. තාර පාර දිග සින්දුව ඇහෙන වෙලාවටයි මේ සින්දුව ඇහෙන වෙලාවටයි ඒ එකම හඬ දැනෙන විදි දෙක හොඳට තේරෙයි.

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම 


අර ගී පද කියන කාලේ දෙන්නා කරපුවා වෙන්න ඇති. ඒ දවස් වල තිබුණු සොඳුරු මතක දැන් මෙයාට මතක් වෙනවා... ඉතින් ඒවා මේ කොල්ලා ආවම ආයේ කරන්න ආසාවෙන් ඉන්නවා. කරන්න ඉන්නේ මොනවද කියලා ඉතින් කියෙව්වම තේරෙනවා නොවැ.

නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට 


මෙන්න මෙතන තමයි තැන. නින්දා ගිණි නිවෙනවාලු දැන් මේ කොල්ලා ළමයා එන නිසා. මෙතන මොන නින්දාද දන්නේ නෑ. ඒ කියන්නේ කොල්ලා එකපාරටම ඔක්කොම දමලා සිදාදියට ගිය නිසා ඇතිවුණු නින්දාව විතරක්ද නැත්නම් අර සිංදුවා කලින් කිව්වා වගේ ජම්බු ලැබුණු ලක්ෂණ තියෙන නිසා ඇතිවුණු නින්දාවද දන්නේ නෑ.
කොහොම වුනත් සිංදුවාට හිතෙන්නේ නම් පලවෙනි එක වෙන්න ඕනා.
මාල හතක් තියේවී කියන්නේ දෙන්නා ඉතින් කාසද බඳීවි යන අදහස.
කිරි සුවඳක් කියන්නේ ඉතින් තුන් වෙනියා ගැන කියන එක... ඔව් ඔව් බබෙක් බබෙක්
නැවුම් කවක් අලුත් ජීවිතයක්...ඒ ඔක්කොම හීන අස්සේ ආයේ පොඩි බයකුත් නැතුවමත් නෙවෙයි ආයේ සිදාදියට යයිද මෙයාව තනි කරලා...
මොනවා වුනත් හරිම හුරතල් ගෑලු ළමයෙක් ගැන මැවෙන්නේ හප්පා... :D

ඉතින් ඔය සිංදුව වයලා මේ ඊයේ පෙරේදා මේ අහපන්කෝ කියලා දුන්නම සිංදුවට ටින් ගාලා මතක් වුනේ ඔය කලින් කියපු සින්දුවති සම්බන්ධ සිද්ධිය තමයි.
හැබැයි ඒකෙ සින්දුවති පොඩ්ඩක් සින්දුවේ කොටසක් වෙනස් කරලා ගයන්නේ...

ගී පද කී මට සිංදු ගිරා....................


Sunday, September 7, 2014

රන් දෙවොලින් බැස නැවත රන් දෙවොලට






ආයු බෝ වේවා
කලසෙත උතුම් වේවා
දෝස දුරුවේවා
සක්‍ර මහබඹු ආයුබෝවා

හස්තිනාපුර බ්ලොග් එකේ ලියවෙන්න ඕන පෝස්ට් එකක් මම හිතන්නේ මේ මම මේකේ ලියන්නේ . ඒත් මේක එතන දානවට වඩා මෙතන දැම්මම වැඩි දෙනෙක් කියවන නිසා මම මේ පෝස්ට් එක මෙතන ලියන්න තීරණය කරා ඔන්න හරිය මෙයාලා ?

මුලින්ම දෙයක් කියන්න ඕන . මම ගුප්ත දේවල් ගැන ලියන එක ගැන දැන් ගොඩක් දෙනෙක් ගොඩක් අදහස් දක්වනවා . මට වෙලාවකට හිතෙනවා මම ගැන වැරදියට හිතලා කියලා සමහර අය . මේ දේවල් ගැන පන පිහිටවලා ලියන්න මට කිසිම අවුලක් නැතිව පුළුවන් උනේ පොඩි කාලේ ඉඳලා මේ දේවල් ගැන හොයන්න මට ලොකු උවමනාවක් තිබ්බ නිසා . ඒ ආසාවේ තරම නිසාම පාරම්පරිකවම ගුප්ත ශාස්ත්‍රයට සම්භන්ධ පවුල් කීපයක්ම මට එයාලගේ දැනුම ලබා දුන්නා .

ලියපු කොටපු පෝස්ට් කමෙන්ට්ස් හැමඑකකම වාගේ ඔය දැනුම ලබා දුන්නා , දැනුම ලබා දුන්නා කියලා කිව්වේ එයාල මට මේවා උගන්නලා මාවත් ඇදුරෙක් කරා කියන එක නෙවෙයි . එයාලා මේවායේ සැඟවිලා තියෙන රහස් ගැන ඒ වගේම ඒ ශිල්පය ගැන මාව ගැඹුරටම දැනුවත් කළා කියන ඒකයි  . ඊට පස්සේ මේ දේවල් ගැන දිගක් පළලක් නැතිවම ගවේෂණය කළා මිස ඒ දේවල් ඉගෙන ගත්තේ නෑ . හැබැයි වෙදකම සහ කේන්දර ගැන යම් තරමක දැනුමක් මට ලැබුණා . ඒ නිසා වෙදකම් කේන්දර ගැන නම් ලියන්නේ ඒ ගැන තරමක් වැඩිදුර ඉගෙනගෙන තමයි ඔන්න හරිය .





මේ දවස්වල වයලීනොට හැදිලා තියෙන්නේ සමන්දේවාලේ පෙරහැර බලන්න යන්න තියෙන උනක් . දෙයියනේ කියලා ට්‍රයි කරලා කරලා ට්‍රයි කරලා මහ පෙරහරට කලින් තියෙන පළවෙනි දෙවේලේ පෙරහැර බලන්න ගියා . කොච්චර කට්ටක් කෑවද කියනවනම් ඔය දෙවේලේ පෙරහැර බලන්න යන්න , රෑ බස් නෑ ත්‍රීවිල් නෑ , මුකුත් නෑ . අන්තිමට සිංදුවගේ ගෙවල් කිට්ටුව බස් හොලේ එකේ රෑ වෙනකන් බලන් ඉඳලා ඉඳලා පයින්ම දේවාලෙට ගියා . ආයෙත් දෙයියනේ කියලා රෑ එන්නත් වාහන නෑ . ඒ නිසා ගෙදර ආවෙත් දේවාලේ ඉඳලා පයින්ම තමයි .

එහෙම කට්ටක් කාගෙන ගියේ , දකින්න වැඩිපුරම කැමති සමන් දෙවියන්ගේ දේවාභරණ වැඩම කරවීම කියන රූප පෙළ ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් දැක බලා ගන්න ඕන නිසා . මහපෙරහර දවසට දෙවියන් වැඩම කරවීම බලන්න දෙන්නේ නෑ . මිනිස්සුන්ව දේවාලේ පහත මළුවෙන් අයින් කරවනවා මේ වෙලාවට .

ඒත් දෙවේලේ පෙරහැර දවසට ඒ සිදුවීම් සමුදාය සියැසින් දැකගන්න සබරගමුවේ වාසීන්ට හැකියාව ලැබෙනවා . මමත් ඉතින් ගිහින් මගේ ෆෝන් එකෙන් වීඩියෝ පාරක් දැම්මා . දේවාභරණ ගැන මම හස්තිනාපුර බ්ලොග් එකේ මෙන්න මේ පෝස්ට් එකේ වැඩිදුර විස්තර කරලා තියෙනවා . අද කියන්න යන්නේ දේවාභරණ වැඩම කරවීම කියන චාරිත්‍ර පිළිවෙත් ගැන කතාවක් .




රෑ 9ත් පහුවෙලා පෙරහැර දේවාලේ උඩමලුවෙන් පිටත්වෙලා ප්‍රධාන දොරටුවෙන් එලියට එනකොට . ඉස්සෙල්ලම කොඩි ගෙනියන ළමයි පිරිසක් එනවා පේලියට . මෙයාලා අරගෙන එන්නේ රතුපාට සහ සුදුපාට කොටු කොටු තියෙන කොඩි . ඊට පස්සේ ඉස්සෙල්ලම දොරටුවෙන් එලියට එන්නේ පත්තිනි දේවියගේ දේවාභරණ වැඩමවන දෝලාව රැගත් පිරිස . ඊටත් පස්සේ එන්නේ සමන් දෙවියන්ගේ බිසෝ දේවියගේ දේවාභරණ සහිත දෝලාව රැගත් පිරිස . ඊටත් පස්සේ තමයි සමන් දෙවියන්ගේ " හීය " කියන දේවාභාරණය හිසමතින් වැඩම කරවන කපු මහතා එන්නේ . මේ දෙවාභාරණයට ආරක්ෂාව සලසන්න පලිහක් අල්ලාගෙන ඒ නිලයට අදාළ පුද්ගලයෙක් දේවාභරණ වැඩම කරවන කපුමහතා එක්කම එනවා .

මේ ඔක්කොම වෙන්නේ සාම්ප්‍රදායික බෙර පද වාදනය කරන අතරතුරේ . ඒ බෙර වාදනය කරන්නේ දේවාලේ නිල හේවිසි කණ්ඩායම . මෙයාලගේ තියෙන වැදගත්ම දෙයක් වෙන්නේ හැමෝම තනි සුදු ඇඳුම් ඇඳලා ඔලුවේ සුදු ජටාවකුත් බැඳගෙන ඉන්න එක . දෙවියන්ගේ තේවාවට සහභාගීවෙන හැමෝම වගේ මේ ඇඳුම් කට්ටලයෙන් සැරසිලා තමයි එන්නේ . දේවාලයට දෙවියෙකු මෙන් පැමිණෙන්න කියලා දේවාලේ වාහල්කඩේ ගේට්ටු පාළුවක් ගහලා තියෙනවා දැක්කා . ඇත්තටම මේ තේවාව කරන අය දැක්කම හිතෙන්නේ මෙයාලත් දෙවියන් එක්කම ඉන්න පිරිසක් කියලා .




සමන් දෙවියන්ගේ මේ දේවාභරණය රැගත් කපු මහතා එක්ක පලිහ අල්ලන නිලය , අලියා පිටට ගොඩවෙන්නේ පෙරහැර පිටත්වෙන නැකතට . ඉතින් මේ වෙලාවට විනාඩි පහකට වගේ කලින් දේවාලෙන් පිටතට එන මේ කපුමහතා අලියා පිටට ගොඩවෙන්නේ හරියටම ඒ නැකතට . ඊට පස්සේ අලියාට කිරිබත් කවනවා දේවාලේ රාජකාරි නිලයේ පුද්ගලයෙක් .

ඊටත් පස්සේ සබරගමු නැටුම් ශිල්පීන් කීපදෙනෙක් දෙවියන්ගේ අනුහස් ගුණ ගායනා කරමින් මේ දේවාභරණ රැගත් කපුමහතා ඉන්න අලියා ඉදිරියේ නර්තනයේ යෙදෙනවා . මේ ඔක්කොම ඉවර උනාට පස්සේ තමයි පෙරහැර ගමන් ආරම්භ කරන්නේ . පෙරහැර දේවාලයේ වටේට ගිහින් දේවාලය ඉදිරියේ තියෙන සිංහාසන මණ්ඩපය අසලට පැමිණෙනවා .

සිංහාසන මණ්ඩපයේ මදකට නැවතීමු කියලා මම මෙන්න මේ පෝස්ට් එකේ ඔය සිද්දිය හොඳට විස්තර කරලා තියෙනවා . මේ සිහාසන මණ්ඩපයේ මදක්වෙලා මහන්සි නිවාගන්න පෙරහරේ සියලුදෙනාම ආයෙත් දේවාලය දක්වා ගමන් අරඹනවා . ඔහොම හෙමින් හෙමින් පෙරහැර ඇවිත් දේවාලයේ ප්‍රධාන වාහල්කඩෙන් ඇතුල් වෙලා නැවතත් දේවාලයට ගෙවදිනවා .










කෙටියෙන් මෙහෙම කිව්වට මේ හැමදේකම චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් තියෙනවා . ඒ නිසා මම පෙරහැරත් එක්කම දේවාලේ වටේට දුව දුව මේ ඔක්කොම වීඩියෝ කළා . ඔක්කොම දේවල් නැතත් මම හිතනවා දේවාලේ නිල රාජකාරිවලට අයත් නොවන පිට අයට බලන්න පුළුවන් හැම දෙයක්ම වගේ මම වීඩියෝ කළා කියලා .

ඔන්න තියෙනවා වීඩියෝ එක . ඒක බලන්න . මේ ආකාරයට තමයි සමන් දේවාලේ දේවාභරණ වැඩම කරවන්නේ . සතුටට කාරනාව තමයි මේ වතාවේ පෙරහැර චාරිත්‍ර වලට ඒ නිලයන්ට අදාළ අයගේ පොඩි පොඩි ළමයිනුත් එක්ක ඇවිත් තිබුනා මේ දේවල් උගන්නන්න . ඒක ගොඩක් වටිනවා මේ චාරිත්‍ර ඉදිරියටත් පවත්වාගෙන යන්න .

ඒ කෙසේ වෙතත් මේවා වීඩියෝ කරලා සයිබර් ගතකිරීම දෙවියන් පහත් කරලා සලකීමක්ද කියලා මට හිතාගන්න අමාරුයි . මොකද මේවා වීඩියෝ කරන්න දෙන්නේ නැති නිසා . ඒ නිසා මගේ අතින් යම්කිසි අත්වැරැද්දක් වෙලා තියෙනවානම් මම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා .



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !