Sunday, August 17, 2014

දෙවියන් යකුන් හා බැඳුනු "කිලි" සංකල්පය





කාලෙකින් යක්කු බූතයෝ ගැන ලියන්න උනේ නැති නිසා අද පෝස්ට් එක ඒ සම්භන්ධ ඉතාම වැදගත් දෙයක් වන කිලි සංකල්පය වෙනුවෙන් වෙන් කරන්න මම හිතුනවා . මට මතක් වෙනවා මම පොඩි කාලේ අත්දකින්න ලැබිච්ච අත්දැකීම් . මේ පළමු සිද්දිය නම් උනේ කොයි කාලේද කියලා මට මතක නෑ . හැබැයි එතකොට මම ගොඩක් පොඩියි .

අපේ ගමේ සීයා කෙනෙක් නැති උනා . ඉතින් ඒ සීයාගේ මරණේ වැඩ කටයුතු අහවර වෙනකොටම අපේ ගෙවල් කිට්ටුවම අක්කා කෙනෙක් වැඩිවියට පැමිණිලා එයාගේ කොටහළු මංගල්‍යය තිබුණා . ඉතින් ඕකට යනකොට අපේ අම්මා මාවත් එක්ක ගියා . ඒ යනගමන් කාත් එක්කද මන්දා කියනවා ඇහුනා ගානක් නෑ මලගෙදරත් කිලි මෙහෙත් කිලි කියලා . ඒත් මට ඒ ගැන කිසිම තේරුමක් තිබ්බේ නෑ .

අපේ සීයා නැති උනේ මම 4 වසරේ ඉන්නකොට . සීයාගේ හත්දවසේ දානේ ඉවර වෙච්ච දවසේ අපේ ගෙදරට ඇවිත් හිටපු නෑදෑයෝ වෙන අක්ක කෙනෙක් අපේ ගෙදරම වැඩිවියට පත් උනා . අන්තිමට පාටියත් අපේ ගෙදරම අරගෙන නෑයෝ වේයෝ මීයෝ යන තුන්ගොල්ලම කනවා කියන කරුණ මොනවට පසක් කරලා එයාලා අපේ මඩිස්සලේටත් කෙලවලා යන්ට ගියා .





එතන ඉතින් කිලි ඩබල් . අපේ ආච්චි නැතිවෙලා දැනට අවුරුදු පහක් විතර වෙනවා . ඔය අවස්ථා වලදී අපේ ගෙදර විෂ්ණුට තියන පහන පත්තු කරේ නෑ . ඒකට හේතුව මම හරියටම දැනගත්තේ පස්සේ කාලෙකදී . ඒ කාලේ තරමක අවබෝධයක් තිබුනත් හරියටම දැනගත්තේ යන්තර මන්තර ගැන වැඩිපුර අධ්‍යනය කරාට පස්සේ .

අපේ ආච්චි නැතිවෙච්ච දවස්වල මම වැඩිපුර පන්සල් ගියා . මොකද ආච්චි සනීප නැතුව ඉන්න කාලෙත් මම බෝධි පූජාවටත් එක්කම හැමදාම පන්සල් ගියා . ආච්චි නැති උනාට පස්සේ දුකටත් පන්සල් ගියා . ඔහොම යනකොට අපේ පන්සලේ ඉන්න බක පණ්ඩිත ඇන්ටි කෙනෙක් අපේ අම්මා එක්ක කියලා තිබ්බා " මිස් මරණයක් වෙලා මාස තුනක් යනකං පන්සල් එන්න හොඳ නෑ නේද ? " කියලා .

මම ඒ ඇන්ටිගෙන් අහන්න හැදුවේ මොකද මේ ඇන්ටිගේ බාප්පා හදපු පන්සලද ? කිලි වලට බයේ බුදු හාමුදුරුවෝ පන්සලෙන් යයිද දන්නේ නෑ කියලා . ඒත් අම්මා මාව කූල් කරා . පන්සල් වලට මොන කිලිද කියලා උන්දැට කියලා දෙන්න මට තාම බැරි උනා .





මේ කිලි කියලා කියන්නේ අපිරිසිදු දේවල් කියලා පිළිගත්ත දේවල් වලට . මේ අපිරිසිදු බව ස්වාභාවිකවම වෙන්නත් පුළුවන් . නැත්නම් අපිරිසිදු කෙනක් ගාව හෝ අපිරිසිදු තැනකදි ඉඳලා එන හුළඟ වැදිලා තවත් කෙනෙක් අපවිත්‍ර වෙන්න පුළුවන් . මේ අපවිත්‍රතාවය මනුස්සයින්ට කෙලින්ම බලපාන්නේ නෑ . ගැටළුවක් උනොත් වෙන්නේ අමනුස්සයින් මේ කිලි සඳහා දක්වන ප්‍රතිචාරවල හැටියට තමයි .

විශේෂයෙන්ම කියනවනම් දෙවියන් මූලික කරගෙන කරන දේවල් වලදී මේ කිල්ලෙන් වැළකිලා ඉන්න එක වටිනවා . මොකද දෙවියන් මිනිසුන්ගේ ඩහදිය ගඳ පවා අප්‍රිය කරනවා කියලා බුද්ධ දේශනාවේ කියලා තියෙනවා . ඉතින් ඩහදිය ගඳ අප්‍රිය කරනවනාවම් කිල්ල කොහොමත් අප්‍රිය දෙයක් වෙන්න පුළුවන් .

වැදූගෙයි කිල්ල , මල්වර කිල්ල , ඔසප් වීමෙන් ඇතිවන කිල්ල තමයි කාන්තාවන් සඳහා අදාළ කිල්ල වෙන්නේ . ඒත් මළගෙවල් , අපවිත්‍ර ආහාර වර්ග ගැනීම හේතු කරගෙන පිරිමින්ටත් කිල්ල කියන දේ බලපාන්න ඉඩ තියෙනවා . මෙතනදී තවත් වැදගත් දෙයක් කියන්න ඕන . පිරිමින් ස්වයංවින්දනයේ යෙදුනට පස්සේ හෝ ලිංගික ක්‍රියාවල යෙදුනට පස්සේ ඔවුන් නාලා පිරිසිදු වෙනකන් ඔවුන් තුලත් මේ කිල්ල කියන දේ පවතිනවා . එහෙම කියන්නේ ඇයි කියලා මම අන්තිමටම කියන්නම් .

වැදූ ගෙයි කිල්ල කියලා කියන්නේ දරුවෙක් ලැබුනාට පස්සේ ඒ ගෙදර ඇතිවෙන කිල්ල . එහෙම නව උපතක් උනාම ඒ ගෙදර සහ ගෙදර වාසය කරන අනිත් අයත් ඔක්කොම මේ කිල්ලට අහුවෙනවා . ඉතින් මේ වගේ ගෙවල් වලට යන්තර දාපු අය  , දේවාල වලට යන අය යාමෙන් වලකිනවා කිල්ලට අහුවෙන නිසා . සාමාන්‍යයෙන් පිළිගැනීම අනුව මාස තුනක් මේ කිල්ල පවතිනවා . මේ කාලය තුල කිරිඅම්මා දාන පැවැත්වීමක් වත් දේවාල වලට යෑම වගේ දේවල්වත් කෙරෙන්නේ නෑ .

කිල්ල නැති කරන්න බැරි උනත් කිලි ගතිය අඩු කරන්න අතීතයේ අය යම් පිළිවෙතක් භාවිතා කරා . ඒ තමයි කොළ වර්ග තම්බපු වතුරෙන් මව නාවාලා පිරිසිදු කරන එක . මෙහෙම නාන්න පාවට්ටා තෙල් එරඬු නික දෙහි කියන කොළ වර්ග භාවිතා කරනවා . මාස තුනක් ගියාට පස්සේ මේ වැදූ ගෙයි කිල්ල නැතිවෙලා යනවා . ඉතින් ඊට පස්සේ පුළුවන් දේවාල වලට යන්න .





ගැහැණු ළමයෙක් පළමු වතාවට මල්වර වීම , එහෙමත් නැත්නම් කොටහළු වීම කියන අවස්ථාවත් කිල්ලක් විදියට සලකනවා . කොටහළු මංගල්‍යයේදී ගැහැණු ළමයා නාවනවා නැකතකට . ඒ නෑමෙන් කිල්ල තරමක් දුරට අඩු කරගැනීමත් බලාපොරොත්තු වෙනවා . එත් සම්පූර්නෙන්ම නැති වෙන්නේ නෑ . මේ කිල්ලත් මාස තුනක් යනකං තියෙනවා .

මල්වර වීමට පස්සේ මාසයක් පාසා ඇතිවෙන ඔසප් වීම නිසාත් කිල්ලක් ඇතිවෙනවා කියලා පිලිගන්නවා . මේ කිල්ල නම් පවතින්නේ දවස් තුනක් විතරයි . ඒ නිසා ආර්තව වීම අවසානයේ දවස් තුනකින් නාලා පිරිසිදු උනාම මේ කිල්ල නැතිවෙනවා .

මරණයක් නිසා ඇතිවෙන කිල්ලත් බරපතල විදියට බලපාන කිල්ලක් . මේ කිල්ලත් මාස තුනක් පවතිනවා කියලා කියනවා . මාස තුනකට පස්සේ මරණය වෙච්ච ගෙදර පිරිත් කියලා බලාපොරොත්තු වෙන්නේ මේ කිල්ලත් නැතිවෙලා ගිහින් ගෙදර ඉන්න අමනුස්සයින් සියලු දෙනාම නිවසින් ඉවත් කරලා දැමීම . මළගෙදරක හරි කොටහළු ගෙදරක හරි ගිහින් එනවානම් තමන්ගේ නිවසට ඇතුල් වෙන්න කලින් දෙහි පළුවක් ඔලුවේ අතුල්ලලා කහ මිශ්‍ර වතුරෙන් නාලා පිරිසිදු වෙන්න කියලා සිරිතක් ඉස්සර පැවතුනා . දැන් නම් මේවා වෙන්නේ නෑ . මොකද ඒවා කරදර වැඩ නිසා .





කිලි කියලා පිළිගත්ත තවත් ආහාර වර්ග කීපයක් තියෙනවා . ඒ තමයි ඌරු මස් , හරක් මස් , අලුපුහුල් , මියන කොළ වගේ කෑම . මේවා කෑමත් කිල්ලට හසුවීමක් කියලා කියනවා . කොහොම උනත් මේ කිල්ලට අහුවෙලා යන්තර මන්තර ගුරුකම් කරාට වැඩක් වෙන්නේ නෑ කියලා අතීතයේ ඉඳලාම පිලිගන්නවා . ඒ වගේම දේවාල වලට ගියොත් දෙවියන් උදහස් වෙනවා කියලා කියනවා . ඒ නිසා කිල්ලෙන් වැළකිලා මේ දේවල් කරනවානම් ඇඟට ගුණයි .

වැරදිලාවත් සුළුවෙන් හරි තියෙනවනම් ඒ කිලි ඉවත් කරන්න යන්තර මන්තර සම්භන්ධව වැඩ කරන අය ළඟ මන්තර තියෙනවා . මේ මන්තර වලින් කරන්නේ ශබ්ධය මගින් ඇතිවෙන කම්පන උදවු කරගෙන කිලි වල තියෙන අපිරිසිදු තත්ත්වය විනාශ කරලා දාන එක . සමහර අය මේ කිල්ල ඉවත් කරන්න වතුර මතුරලා ඉහිනවා . සමහර අය දෙහි මතුරනවා . දෙහි මතුරන අය නම් දෙහි මතුරලා ඒ දෙහි ගෙඩිය හපලා කනවා . එහෙම කන්නේ තමන් ඇදුරෙක් නම් තමන් දැන් යන්නේ මොකක් හරි ගුරුකමක් කරන්න නම් තමාට කිලි වැදිලා තියෙනවනම් ඒවා ඉවත් වෙන්න .

කිලි ගැන කියනකොට තවත් දෙයක් කියන්න ඕන . කිලි තියෙනවද නැත්ද කියලා හොයාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා . හැබැයි කරන්න තමයි අමාරු . මේකට ගජ මධාරා ගහක් හොයාගන්න ඕන . මේ ගජ මධාරා ගස්වල හැදෙනවා පොඩි ගෙඩියක් . මේ ගෙඩි වෙරළු ගෙඩියකට වඩා පොඩ්ඩක් පොඩියි , මෙරූන් පාටට හුරු පාටක් වගේම කහට රහක් තමයි තියෙන්නේ . කිලි තියෙන තැනකට මේ ගෙඩියක් අරගෙන ගියොත් කිලි වැදිලා මේ ගජ මධාරා ගෙඩිය පුපුරලා යනවා . අන්න ඒ විදියට පුළුවන් කිලි තියෙනවද නැත්ද කියලා හොයා ගන්න . ඒත් ඉතින් දැන් ගජ මධාරා ගස් හොයන්න ලේසි නෑ . වාසනාවට වගේ ලංකාවේ මම දන්න හඳුනාගත්ත එක ගජ මධාරා ගහක් තිනවා . හැබැයි තියෙන්නේ කොහෙද කියන එක රහසක්  :)





දෙවිවරු මේ කිලි වලට අකමැතියි වගේම යක්කු පෙරේතයෝ මේ කිලි වලට කැමතියි . එයාලා මේ කිලි වලින් එන ගන්ධය ආග්‍රාණය කරලා බඩගින්න නිවා ගන්නවා වගේ දෙයක් කරගන්නවා . ඒ නිසා තමයි කිලි වැදිලා ඉන්න වෙලාවට ඉරමුදුන් ගොම්මන් මැදියම් කියන සමයන් වලදී හතරමං හන්දි තුම්මන් හන්දි වලින් තනියම යන්න එපා කියලා කියන්නේ . යක්කු මෙහෙම කිලි වලට කැමතියි කියලා කියන්නත හේතු තියෙනවා . සමහර මන්තර වල තමයි කියලා තියෙන්නේ යක්කු මෙහෙම කිලි වලට කැමතියි කියල .

ඉස්සර යක්ෂයින් ඉන්න කාලේ දැන් කාලේ වගේ ෆෙම්ස් , ආර්යා වගේ බ්‍රෑන්ඩ් තිබ්බේ නෑ . ඒ නිසා ඒ කාලේ අය පාවිච්චි කරලා තියෙන්නේ රෙදි කඩක් මේ වෙනුවෙන් . ඒ රෙදි කඩට කියන්නේ " කිලිකඩ " කියලා . යක්කුන්ට සමහර වෙලාවල් වලදී බිලි පූජා පුළුටු පූජා පවත්වනකොට මේ කිලිකඩ කියලා කියන ආර්තව රුධිරය තැවරුණු රෙදි කෑලිත් තියලා තියෙනවා ඒ පූජාවේ . එහෙම තිබ්බම යක්කු පෙරේතයෝ ගෙන්නගන්නත් උන්ගෙන් වැඩ කරවා ගන්නත් පහසුයි කියලා තමයි කියන්නේ . මේවා තියෙන්නේ මන්තර සාහිත්‍යයේ . ඒ නිසා ඇත්ත නැත්ත හොයන්න යන එක වැඩක් වෙයි කියලා මමනම් හිතන්නේ නෑ .





පිරිමින්ගෙන ඇතිවෙන කිල්ලක් ගැන මම කිව්වා මුලින් මතක ඇති . මේ ගැන විශේෂයෙන්ම කියන්න ඕන . පිරිමින් ස්වයං වින්දනයේ යෙදීමෙනුත් යම් කිල්ලක් ඇතිවෙනවා කියලා කියනවා . මේක ඉතාම සුළු අපිරිසිදුවක් කියලා තමයි කියන්නේ . ඒත් මේක සමහර ගුරුකම් වගේ දේවල් වලදී සුළුවෙන් තකන්නේ නෑ . ගුරුකම් ශිල්පයේ තියෙනවා ලංකේශ්වර උතුම් මහ රාවණා රජතුමාගේ කාලේ ඉඳලා පැවත එන ඉතාම බලගතු ගුරුකම් වර්ගයක් , " ගුරුළු ගුරුකම් " කියලා .

මේවා කරොත් සුවර් සොට් ඒවාට අදාළ හොඳ හෝ නරක බඩු හම්බෙනවා . ඒ වගේම තව තියෙනවා රිද්දි ගුරුකම් කියලා ගුරුකම් වර්ගයක් . ඒ ගුරුකමුත් ඉතාම බලවත් ඒවා . මේ දෙකේදීම පිරිමින්ගේ කිල්ල ගැන කතා කරනවා . මේ ගුරුකම් කරන්න කලිනුත් පිරිමින් කිසිම ආකාරයක ලිංගික ක්‍රියාවක් කරන්නේ නැතුව යම් කාලයක් පේ වෙන්න ඕන . ඒවගේම ගුරුකම් කරාට පස්සෙත් යම් කිසි නියම කරලා තියෙන කාලයක් ලිංගික ක්‍රියාවල යෙදෙන්නේ නැතුව ඉන්න ඕන . ගුරුළු ගුරුකම් වලදී මේ පේ වීම හරියට උනේ නැත්නම් ඇදුරා මිය යන්නත් ඉඩ තියෙනවා කියලා ඒ ගුරුකම් වලදී වැඩිදුර විස්තර කෙරෙනවා .





මේ ගැන මම වැඩිපුර කිව්වේ කිල්ල කියන සංකල්පය අදාළ වෙන්නේ මොනවාටද කියලා ඔයාලා දැනුවත් කරන්න ඕන නිසා . සමහර අය කියනවා දළදා මාලිගාවට යන්න හොඳ නෑ ශ්‍රී මහා බෝධියට යන්න හොඳ නෑ කියලා . මෙහෙමයි . මේ දේවල් නම් කිසිම පදනමක් නැති කතා . බෞද්ධ දේවල් එක්ක මේ කිලි සංකල්පය කොහෙත්ම අදාලා වෙන්නේ නෑ . හැබැයි එක කාරණයක් නිසා වෙන්නැති මිනිස්සු මෙහෙම කියන්නේ . ඒ තමයි දැන් දළදාව රකින්නත් ශ්‍රී මහා බෝධිය රකින්නත් දෙවිවරු ඉන්නවා . මේ දෙවිවරුන් අපහසුතාවයට පත්වෙන නිසා වෙන්නැති ඒ ස්ථාන වලට යන අයට කිල්ලෙන් මිදිලා යන්න කියන්නේ සහ ගෑණු අයට යන්න එපා කියන්නේ .

ඒත් මගේ මතයනම් මේකයි . පන්සල දෙවියන් එන තැනක් උනාට පන්සල කියන්නේ දෙවියන්ගේ තැන නෙවෙයි . දෙවියන්ගේ තැන දේවාලය . ඒ නිසා ඔයාලා මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවානම් වෙන්න ඕන දේවාල වලට යනකොට . මම හොයපු බලපු දේවල් සහ අහපු කියවපු දේවල් එක්ක මමනම් හිතන්නේ එහෙමයි . ඒකෙ වැරද්දක් ඇති කියලා මමනම් හිතන්නේ නෑ . මොකද කතරගම දෙවියන් ජීවමානව වැඩඉන්න කැබලිත්ත මහ සියඹලාව වඳින්න යන සමහර උදවියට අත්දකින්න වෙච්ච සමහර අත්දැකීම් එක්ක මේ කිලි කතාව දෙවියන්ට අදාලා වෙනවා කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවන් .






පලි :-

අද ශිෂ්‍යත්ව විභාගය . ඉතින් ඊයේ දවසේ අපේ සමන්දේවාලෙට ශිෂ්‍යත්වේ ලියන නංගිලා මල්ලිලා ගොඩක් ආවා . ඒත් ඊයේ දේවාලයේ පූජාවන් තිබ්බේ නෑ . ඒකට හේතුව දේවාලය අසල මලගෙදරක් වෙලා නිසා . මමත් ඊයේ ගියා දේවාලේ . ශිෂ්‍යත්වේ ලියන්න නම් නෙවෙයි ආයෙත් . දේවාලේ වැඳලා එන්න ඕන නිසා . දේවාලේ හඳුන් කුඩමට නගින තැන දොරපලු දෙකම වහලා තිබුන නිසා මම ඇහුවා කපු මහත්තයාගෙන් අද පූජාව නැත්ද කියලා . එතකොට තමයි කපු මහත්තයා කිව්වේ මල ගෙදරක් නිසා දේවාලේ අද වහලා කියලා . ඉතින් දේවාලේ වැඳලා එනගමන් මම හිතුවා මිනිස්සු එක එක විදියට හිතාගෙන ඉන්න කිලි සංකල්පය ගැන වැඩිපුර යමක් ලියන්න ඕන කියලා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

20 comments :

  1. මචං මමනං ඕව විශ්වාස කරන්නේ නෑ. නමුත් නොපෙනෙන බලවේග නැතැයි කියන්නෙත් නැහැ. කොහොම උනත මේවා අපේ සංස්කෘතියට අයත් දේ. අපේ දෙය පිළිබඳව කරන දැනුවත් කෙරීම් ඉහලින්ම අගය කල යුතුයි. මෙවන් ලිපි වල ඉංග්‍රීසි පරිවර්තන විකිපීඩියාවේ තැන්පත් වී ය යුතුය

    ReplyDelete
    Replies
    1. :) :) g-)
      බොහොම ස්තූති ..... !!
      විකිය වැරදි තොරතුරු ගබඩා කරගෙන ඉන්න තැනක් කියලා තමයි අපිට කියලා තියෙන්නේ . ඒ නිසා විකිය ගැන විශ්වාසයක් තියන්න බෑ . ඕන කෙනෙක්ට එඩිට් කරන්න පුළුවන්නේ . සර්ච් කරනකොට ඉතින් මේවා ලින්ක් වෙලා එයි ගූගල් එකේ .... :)

      Delete
  2. උදාහරණ සහ කරුණු ගොඩක් හොයාගෙන මේක විස්තර කරල තිබුනට කිල්ල කියන්නෙ මොකක්ද කියන එක මට තාම පැහැදිලි නෑ.අනේ මන්ද..මේ කියන්නෙ මේව විස්වාශ කරන නොකරන එක ගැන නෙවේ..
    ඔය දේවාල වල පෙරහැරවල් යන්න කලිනුත් හොයල බලනව නේද පෙරහැර යන පාරෙ මරණ ගෙයක්, කොටහළු ගෙයක් එහෙම තියෙනවද කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්
      එහෙනම වෙනමම මම දේවාල එක්ක සම්භන්ධ කිල්ල ගැන ලියන්නම් . දේවාල වල මේ කිලි නැති කරන්න ගොඩක් චාරිත්‍ර තියෙනවා . ඒවායේ විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා . එල එල බොහොම ස්තූති :)

      Delete
  3. අම්මා ගහයි කිලි බැට් එකෙන් කිව්වලු ! මටනම් හැබැයි ආරංචි උඹත් සිස්සත්තේ ලියන්න වෙන එකෙක් වෙනුවට ගියා කියලා. මේ වගේ කරුණු ගැන තියෙන පොස්ට් පල වීමනම් පස්ටය.

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒවගේ තමා :p :p :p
      ගජ මධාරා ගැන ටච් එකේ හිටින් හරිය ? . මම දවසක් කිව්වා කතාවක් :p
      එල එල ටන්කියු මෙයා g-)

      Delete
  4. හැමදාම නෑ හැමතැනම නෑ. මේ වගේ පෝස්ට් කියවන්න නම් ඔයාල දෙන්නගෙ බ්ලොග් එකටම එන්න ඕනානෙ. ලිපිය වටිනව.

    :-f

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි :) :) :)
      බොහොම ස්තූති ආ :) g-)

      Delete
  5. අඩේ නියමයි බං මේ විස්තරේ.. පුද්ගලිකව මේ දේවල් ගැන මගේ ඒ හැටි විශ්වාසයක් නෑ.. ඒත් මේ දේවල් අහන්න කියවන්න මම හරි උනන්දුයි..

    ReplyDelete
    Replies
    1. :) :)
      බොහොම ස්තූති මෙයා g-)

      Delete
  6. හිහැක්...
    අපූරු විස්තරයක්...
    කිලි නැති කරන්න මන්තර වලින් පුලුවං කියල දැනගත්තෙ අද...
    ගජමදාරා ගස් යටින් අලි යන්නෙ නෑ නේද...
    දන්න තරමින් ගජමදාරා සංකල්පයක් කියලත් අහල තියේ..
    කඩුපුල් මදාරා වගේ...
    පොල්ගහවෙල වලව්වක් තියේ ගජමදාරා කියල... දැං ඒක ඒ නමිංම හෝටලයක්..
    සමාර විට එතනත් මේ වගේ දෙයක් තියෙන්න ඇති කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගජ මධාරා ගස් වලට අලි වඳිනවා කියලා කියනවා වගේම ඒකට සාක්ෂිත් තියෙනවා . අලි මිනිස් ගැටුම නවත්වන්න මේ ගජ මධාරා වවලා වැටවල් හදනවනම් හරි . කොහෙද පාලනයට මොලයක් කියලා දෙයක් නෑනේ . ඔව් මම වලව්ව ගැන දන්නවා . ඉස්සර ඔය වලව්ව ඉස්සරහා ඉතාම විශාල පරණ ගජමධාරා ගහක් තිබිලා තියෙනවා . මට ආරංචි හැටියට ඒක ඒ කාලෙම කපලා දාලා .

      Delete
  7. කිල්ලක් කියන්නේ ලෙඩක්...

    ReplyDelete
    Replies
    1. :p :p :p
      එහෙමත් එකක්ද හඃ හඃ හඃ හඃ

      Delete
  8. ඇත්තටම කිල්ල කියන්නේ මොකද්ද කියල දල අදහසක්වත් මට නෑ. මේවා මනස්ගාත කියලා ඉවත දාන්නත් බෑ හේතුව මේ වගේ දේවල් තදින්ම සමාජගතවෙලා තිබිම. කොහොම වුණත් වැදගත් කතිකාවක් ඔබ ගොඩනගා ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. :( :( ඒක තමා එහෙනම් කිල්ල ගැන තව ලියන්න වෙනවා .
      එල එල බොහොම ස්තූති :) g-)

      Delete
  9. මේ ගැන දල අදහසක් තිබුණත්, හරියටම දැන ගත්තේ අද.

    ReplyDelete
  10. ඒයි.. ප්‍රශ්ණයක් බං. ස්වයං අහවල් එක කොලාමත් දාගෙන ඉන්න යන්නර කිල්ලට අහුවෙනවාද...?

    ReplyDelete
  11. ඒයි.. ප්‍රශ්ණයක් බං. ස්වයං අහවල් එක කොලාමත් දාගෙන ඉන්න යන්නර කිල්ලට අහුවෙනවාද...?

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.