Thursday, July 31, 2014

රෑ දොළොස් පැයේ මා ඔබ එනතුරු බලා සිටියා පෙම්බර කුමාරයෝ !






( මේක ටිකක් වෙනදට ලියන ලිපි වලට වඩා දිගින් වැඩි ලිපියක් . ඒ නිසා කියවන අය පත්වන අපහසුතාවය පිළිබඳව මගේ බලවත් කණගාටුව :)  :)  :) )

මට මතකයි මීට කලින් මම ලිව්ව පෝස්ට් කීපයකම මම කියලා තියෙනවා අපේ ආච්චිඅම්මගේ පවුල ඉතාම පුළුල් විදියට පැතිරිලා ගියපු පවුලක් කියලා . සහෝදරියෝ පහයි සහෝදරයෝ පහයි හිටපු ඒ පවුලේ ආච්චි තමා ලොක්කි . ඉතින් ආච්චි අම්මගේ උපන් ගම වෙච්ච දෙවිනුවර මුල් කරගෙන මේ ආච්චිලා සීයලා ටික විවාහවෙලා , නැත්නම් වෙළඳාමට යොමුවෙලා වගේ විවිධ හේතුන් උඩ රටේ හැමතැනම විසිරිලා ගියා . ඒනිසා පවුලේ නම ගෑවිච්ච මොකෙක්හරි කොහේ හරි අනිවාර්යෙන්ම ඉන්නවා .

ඔහොම විහිදිලා ගියපු පවුලෙන් එක අත්තක් විහිදුනේ අනුරාධපුර කැකිරාව කියන ප්‍රදේශයට . එහෙ හිටියේ අපේ ආච්චිගේ එක නංගි කෙනෙක් . ඒ ආච්චි විවාහ වෙලා හිටියේ කැකිරාවේ සීයා කෙනෙක් එක්ක . ඒ සීයලට ඉඩ කඩම් හරකා බාන හේන් කුඹුරු අරවා මේවා ඔය ඔක්කොම යුගල පද ටික තිබුණා . අපේ අම්මා දෙවිනුවර ඉස්කෝලෙකට ගිහින් අතරමගදී කැකිරාවේ මේ ආච්චිලගේ ගෙදර නැවතිලා කැකිරාව මධ්‍යමහා විද්‍යාලයේ තමයි උසස්පෙළ වෙනකං ඉගෙනගෙන තියෙන්නේ . කැකිරාව මධ්‍යමහා විද්‍යාලය විශේෂ පාසලක් . ලංකාවේ තාමත් ගෑණුලමයි ළමාසාරී ඇඳලා පාසල් යන එකම පාසල තමයි කැකිරාව මධ්‍යමහා විද්‍යාලය කියන්නේ . ඒ කාලේ ඉස්කෝලේ නිවාඩුවට අපේ පුංචිත් යනවලු කැකිරාවේ ඔය ගෙදරට . ඒ ගියාම ඒ ගෙදර අයත් එක්ක යනවලු එයාලගේ හේන් කුඹුරු වලට .





ගිහින් සමහර වෙලාවට සුද්ද කරන්න අස්වැන්න නෙලන්න වගේ දේවල් වලටත් උදවු වෙනවලු . ඔහොම කාලය ගතවෙනකොට අපේ අම්මට රැකියාව ලැබෙනවා මහඉලුප්පල්ලම ගොවි කටයුතු පර්යේෂණායතනයේ . ඊට පස්සේ පුලියන්කුලම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ . 

අපේ පුංචිඅම්මා ස්වෙච්චා ගුරුවරියක් විදියට කාලයක් වැඩ කරලා තියෙනවා අනුරාධපුරේ පැත්තේ අතිදුෂ්කර පාසලක . එතකොට නවාතැන් ගත්ත ගෙදර අයටත් හේන් තිබ්බලු . 

මම ගොඩක් පොඩි කාලේ ඉඳලා අපේ අම්මලා මාව ඔය ගෙවල් වල එක්ක ගියා . ඒ යනකොට සමහර වෙලාවල් වලට හේන් දකින්න ලැබුණා . දවසක් එහේ මාමා කෙනෙක්ගේ විවාහ උත්සවයක් තිබුණා . මමත් ඕකට අපේ ගෙදර අයත් එක්ක ගියා . ඒ ගිහින් සතියක් විතර එහෙ හිටියා . දවසක් ඒ පැත්තේ දඩයම් කරන කෙනෙක් එහෙට මුව මස් ගෙනත් දුන්නා . මම රස බැලුවෙනම් නෑ . ඒත් දඩමස් කියලා අහලා තිබ්බට දඩමස් ඇහැට දැක්කේ එදා තමයි . මම තුන වසරේ විතර ඇති එතකොට . ඊට පස්සේ වතාවක එහෙ ගියාම හවස් වරුවේ මමයි අපේ පුංචිඅම්මයි දවල් කෑම කාලා ඒ ගෙවල් පැත්තේ හතරවටේ රවුමක් ඇවිද්දා . 

මම කියන මේ කැකිරාවේ ආච්චිලගේ ගෙදර ඉස්සරහා තියෙනවා ලොකු වැවක් . වැවේ නමනම් කියන්න බෑ . එතකොට වැඩේ මාට්ටු වෙනවා . මොකද වැවේ වාන ඉස්සරහ තමයි මේ ගෙදර තියෙන්නේ .  :p :p  ඔය වැව අයිනේ තියෙනවා පන්සලක් . ඒ පන්සලට ගියාම ඈතින් පේනවා වැවේ ඉහත්තාවේ වැව් පිටියට ඇවිත් ඉන්න අලි රංචු . තව ඒ වැවේ ඉන්නවා කිඹුලෝ . ඉතින් වැවට නාන්න බැස්ස කීප දෙනෙක්ටම ඔය කිඹුල් හාමිලා වග කියලත් තිබුණා . ඔය ප්‍රදේශයේ ගොඩක් මිනිස්සු තාමත් හේන් ගොවිතැන දඩයම් කිරීම වගේ දේවල් කරනවා . දඩයම් කරන්න දැන් ඉතින් තුවක්කු පාවිච්චි කරන්න තහනම් නිසා උගුල් අටවලා හරි සත්තු දඩයම් කරනවා . හාවෝ මුවෝ ගෝන්නු ඉත්තැවෝ වගේ සත්තු මේ විදියට දඩයම් කෙරෙනවා .





ඒ පැත්තේ ජන ජීවිතය ගැන මම මෙහෙම වටින් ගොඩින් මතක් කලේ අපේ අම්මා මේ ඊයේ පෙරේදා දවසක ඒ කාලේ ඒ පැත්තේ අහපු දැකපු දේවල් ගැන මතක් කර කර මාත් එක්ක විස්තර කරා . මට ඉතින් ඒ අත්දැකීම් විඳින්න නොලැබුනට අම්මා පුංචිඅම්මා කිව්ව රස කතාවලින් ඒ ජීවිතය මවා ගන්න පුළුවන් . තව පොඩිකාලේ මං ගත්තා විජය පත්තරය . ඒකෙ කොටස් විදියට පලඋනා නවදැලි හේන කියලා පියසේන කහඳගම මහතා රචනා කරපු ළමා නවකතාවක් . ඒ කතාවේ මුල කොටසේ ඉඳලා පත්තර පිටු ටික කපලා එකතු කරලා පොතක් හැදුවා මම . හේන් ගොවිතැන හා ඒ සම්භන්ධ ජන ජීවිතය කිව්වම මට මතක්වෙන කතා වලින් හොඳම කතාව ඒක . 

ඉතින් මේ ඔක්කොම කියාගෙන ආවේ මේ ගීතයේ අර්ථාලංකාරය විවරණය කරන්න පසුබිම හදාගන්න හිතාගෙන . 

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
හබ කර ගිය ආලවන්ත මගෙම 
මිහිරා වනයෙන් 
දැන් එතැයි කියා

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ


ගීතය රචනා කරලා තියෙන්නේ ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ මහතා . මේ මම අජන්තා රණසිංහ මහත්මයාගේ ගීතයක් අල්ලපු පළවෙනි වතාව වෙන්න ඕන මට මතක හැටියට :)





තනුව සහ සංගීත සංයෝජනය කරලා තියෙන්නේ කාලයක් සිහ ශක්ති වාදක මණ්ඩලයේ මැන්ඩලීන් හා ගිටාර් වාදකයෙක් විදියට කටයුතු කරනලද ලංකාවේ දැනට ඉන්න දක්‍ෂම මැන්ඩලීන් වාදන ශිල්පියා විදියට හඳුන්වන් ඇන්තනී සුරේන්ද මහත්මයා .




මේ ඔහුගේ වාදනයක් 

ගායනය කරන්නේ කලින් මම ලිව්ව පුන්සඳ රෑට ඇවිදින් හේනේ කියන ගීතය ගායනා කරන නිරෝෂා විරාජිනී මහත්මිය .





මේ ගීතය ගැන මතක් කරේ අපේ බ්ලොග් එකේ පෝස්ට් කියවලා ඒවා ගැන සාර්ථක අදහස් දක්වන තිසර අයියා . අයියා කිව්වට මම හිතන්නේ මාමා . ඒ නිසා තිසර අයියා මාමා තමා මේ ගීතය ගැන සිහිගැන්වීමක් කලේ . ඒ වචන කීපය මත පදනම් වෙලා තමයි මේ ගීතය ගැන අදහස් ඉදිරිපත් කරන්නේ . ඒ නිසා තිසර අයියා මාමට ස්තූති වන්ත වෙමින් අපි මේ ගීතය එක්ක ගමනක් ගිහින් බලමු .

ගීතයේ සංගීත සංයෝජනය වාදන භාණ්ඩ හා තනුවේ නාද මාලාව ගැන හිතලා බලනකොට මට මැවෙන්නේ අප්‍රිකානු ගෝත්‍රික ජන සමාජයේ ගැමි සංගීත ආර මේ ගීතයේ ගැබ් වෙලා තියෙන බවක් . මොකද මේ ගීතයේ වාදනය කෙරෙන සමහර වාදන භාණ්ඩ අයිති අප්‍රිකානු ජන සංගීතයට . ඒවගේම ගීතයේ තනුව ගැන හිතලා බැලුවොත් ශ්‍රී ලාංකික ආදිවාසීන්ගේ වැදි සංගීතයේ නාදමාලාව එක්ක බොහොම හොඳ සබැඳියාවක් මේ ගීතයේ දක්නට ලැබෙනවා .

මෙන්න අප්‍රිකානු සංගීත කණ්ඩයක්

මෙන්න වැදී ගීතයක් 

කලින් මම ලිව්ව පුන්සඳ රෑට ඇවිදින් හේනේ ගීතයේ පෝස්ට් එකේ අඩුපාඩුවක් උනා මගේ අතින් . ඒ සංගීත සංයෝජනය ගැන කියලා තමයි ගීතයේ අර්ථය පැත්තට හැරුනේ . මම හිතනවා ගීතයේ අර්ථය පැහැදිලි කරලා සංගීතය ගැන පැහැදිලි කිරීම ඊට වඩා සාර්ථකයි කියලා . මේ ගීතයේ අකුරු දෙකක එක වචනයක් නිසා මට මේ ගීතයට අර්ථ විග්‍රහ දෙකක් දෙන්න පුළුවන් . ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ මේ පෝස්ට් එක කලින්ට වඩා දිග වැඩි වෙනවා කියලා . ඒ වචනය තමයි " හබ " කියන වචනය .

හබ කියන වචනයට සාමාන්‍ය තේරුම් දෙකක් දෙන්න පුළුවන් . ඒවායින් එකක් තමයි ආරවුල කියන තේරුම . හබයක් ඇතිවෙනවා කියන්නේ බහින්බස් වීමක් ඇතිවෙනවා වගේ කියන එකට . එහෙමත් නැත්නම් ගීතයේ හැටියට මට මෙතනට ගන්න පුළුවන් " උගුල " කියන අර්ථය හබ කියන වචනයෙන් දෙනවා කියලා .





ඉස්සෙල්ලම මම කියන්නම් උගුල කියන තේරුම හබ කියන වචනයට දුන්නම මේ ගීතයට අත්වෙන ඉරණම මොකක්ද කියලා

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
හබ කර ගිය ආලවන්ත මගෙම 
මිහිරා වනයෙන් 
දැන් එතැයි කියා

ස්ථායි කොටස ගැන හිතලා බලනකොට මට මැවෙන්නේ මෙන්න මෙහෙම දෙයක් . ස්වාමියා සහ බිරිඳ පමණක් ජීවත්වෙන , වියලි කලාපයේ , හේන් ගොවිතැන් කරන ජනතාව ජීවත්වෙන ජන සමාජයක , දඩයම් කරලා දඩමස් විකුනලා එදා වේල සරිකරගන්න පවුලක් වෙසෙනා මැටි ගහන ලද පිදුරු හෝ පොල් අතු සෙවිලිකල පැල්පතක් .

කලින් දවසේ දවල් තමාගේ ස්වාමියා කැලයේ සතුන් ගැවසෙන දියමංකඩක් අසල උගුලක් අටවනවා . ඉතින් හවස්වෙලා වතුර බොන්න මුවෝ ගෝන්නු වල් ඌරෝ වගේ සත්තු මේ දියමංකඩ අසලට පැමිණෙනකොට මේ උගුලට අහුවෙනවා . ඉතින් පහුවෙනිදා උදේ තමාගේ ස්වාමියා යනවා කැලයට උගුලට සතෙක් අහුවෙලාද කියලා බලලා එහෙම අහුවෙලානම් ඒ සතාව මස් කරලා අරගෙන එන්න .

හබ කර ගිය ආලවන්ත මගෙම 
මිහිරා වනයෙන්
කියන පද දෙක මගින් අදහස් කරන්නේ අන්න ඒ ක්‍රියාවලිය .

ඒත් වෙනදා හවස්වෙනකොට නවමු ප්‍රතිඵලය මොකක් උනත් ඒ දේ අරගෙන ගෙදර එන ස්වාමියා එදා රෑ දොළොස් පැය ගතවෙන තුරු බලාගෙන හිටියත් තාම ගෙදර ආවේ නෑ . ඉතින් මේ ගෙදර බිරිඳ පහුවෙනිදා උදේ පාන්දර ගෙයින් එලියට ඇවිල්ලා මිදුලේ කඩුල්ලවත් වහන්නේ නැතුව තමන්ගේ ආලවන්ත මිහිරා දැන් එයි දැන් එයි කියලා කර උස්සමින් ඈත බලාගෙන ඉන්නවා .

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
දැන් එතැයි කියා

කියන පද පේලියෙන් අපේ හිතේ මවන්න උත්සාහ ගන්නේ මෙන්න මේ ආකාරයට ස්වාමියා අපේක්ෂාවෙන් ඉන්න බිරිඳකගේ රූපයක් .

හැබැයි මට හිතෙනවා මෙන්න මෙහෙමත් . ස්වාමියා කැලේට ගියාම එදා රාත්‍රියේ දැන් ස්වාමියා ගෙදර ආවේ නෑ . එක්කෝ මගදී අනතුරක් වෙලා , නැත්නම් වැස්සට අහුවෙලා වගේ මොකක් හරි කාරණයක් නිසා . ඉතින් බිරිඳ රාත්‍රියේ නිදාගන්නේ නැතුවම ඇහැරලා ඉන්නවා ගේ ඇතුලට වෙලා දොර වහගෙන .

ඉඳි කඩුලු ඇරන් කියලා කියන්නේ නිදාගන්නේ නැතුව පියවි සිහින්ම අවදිවෙලා හිටියා කියන බව උපමා කරන්න වෙන්න පුළුවන් . කර ඔසවා බලා උන්නා කියලා කියන්නේ ඇඳේ හරි එහෙමත් නැත්නම් පැදුරේ හරි කොට්ටය තියලා හරියට නිදාගන්නේ නැතුව ඇඳ මිට්ටමට කොට්ටය හේත්තු කරලා , නැත්නම් බිත්තියකට කොට්ටය හේත්තු කරලා , ඒ උදවුවෙන් කර ඔසවාගෙන බලාගෙන ඉඳීම වෙන්න පුළුවන් .

කොහොමහරි සමස්ථයක් විදියට මේ ස්ථායි කොටසෙන් කියන්නේ ස්වාමියා බලාපොරොත්තුවෙන් රෑ එලිවෙනතුරු ඇහැරලා ඉන්න බිරිඳක් පිළිබඳව .


දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ


දැන් තියෙන්නේ බිරිඳගේ ප්‍රාර්ථනාවන් පෙළක් . නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට මොකද බිරිඳට සැකයි තමන්ගේ ස්වාමියාට සතෙක් දෂ්ට කරලා , වලහෙක් පහරදීලා නිසාවත්ද තාමත් ගෙදර ආවේ නැත්තේ කියලා . ඒනිසා බිරිඳ ප්‍රාර්ථනා කරනවා මගේ ස්වාමියාට කිසිම දොසක් අතුරු ආන්තරාවක් වෙන්න එපා කියලා

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ

කියන පද පේලි දෙකෙන් අර්ථවත් වෙන්නේ අන්න ඒ ප්‍රාර්ථනාව .

දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

මගේ පෙම්බර කුමාරයා මහන්සි වෙලා හම්බ කරන්නේ මට කනට කරාබු ( දෙමික්කං ) අරන් දෙන්නද ? . මට ඒවා උවමනා කරන්නේ නෑ . ඔබගේ කරට පදක්කම් නොලැබුනාට ඔබගැන මගේ හිතේ තියෙන ආදරයේ කිසිම අඩුවක් වෙන්නේ නෑ කියලා තමයි පළවෙනි අන්තරා කොටසේ අවසන් පේලි තුනෙන් කියවෙන්නේ . මෙතන කරවට පදක්කං කියලා යොදලා තියෙන යෙදුමෙන් අදහස් කරන්නේ ලොකු සල්ලිකාරයෙක් වෙලා සිටුවරයෙක් වගේ ජීවත් වෙනකොට පිටස්තර අයගෙන් ලැබෙන සැලකුම් වලට කියලා තමයි මම හිතන්නේ . මේක විහිළුවක් . සත්තු මස් කරලා කොහොම සිටුවරයෙක් වෙන්නද ? . ඒත් බිරිඳගේ හිතේ තියෙන ආදරය සෙනෙහස එක්ක එයා හිතාගෙන ඉන්නේ තමාගේ ස්වාමියා තමන්ට සිටු මාලිගා හදන්න හම්බ කරන්න තමයි මේ වගේ අවදානමක් ගන්නේ කියලා .


කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

දෙවෙනි අන්තරා කොටස වෙන් කරලා තියෙන්නේ ස්වාමියා රැකදෙන්න කියලා දෙවියන් යදින බිරිඳගේ යාදින්න සිහිපත් කරවන්න .

කාසි පඬුරු කතරගමට ගැට ගහලා


බාර වුනා රූපෙට රූපේ පුදලා

මේ බිරිඳ තමාගේ දුක ඉවසාගන්න බැරුව වෙන කරන්නම දෙයක් නැති නිසා රූපෙට රූපේ පූජා කරලා ඔප්පු කරන්නම් කියලා කතරගම දෙවියනට භාර වෙනවා අනේ දෙවියනේ මට දැන් කියන්න වෙන කවුරුවත් නෑ . ඒ නිසා මගේ පෙම්බර කුමාරයා රැකදෙන්න කියලා . 

බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

මෙහෙම දෙවියන්ට කන්නලවු කරනකොට මේ බිරිඳට දුක වැඩිකමටම ඇහෙන කඳුළු වැක්කෙරෙනවා . ඒත් එක්කම හිතට එන බිඳවැටුන මානසිකත්වය හමුවේ මේ බිරිඳ කියන්නේ අනේ දෙවියනේ මගේ කන්නලව්ව අහන්නේ නැතුව පපුවට දුක් ගින්දර අවුලලා යන්න නම් එපා කියලා . 

වැඩි ආලවට්ටන් නැතුව මේ ගීතයටම් මම දෙන අනිත් අදහසත් දෙන්නම් . 
ඊළඟ අදහස වෙනස් වෙන්නේ හබ කියන වචනයට ආරවුල කියන තේරුම ආරෝපණය කිරීමෙන් . 





රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
හබ කර ගිය ආලවන්ත මගෙම 
මිහිරා වනයෙන් 
දැන් එතැයි කියා

හේන් ගොවිතැන් කරන බොහොම දුප්පත් ගෙදරක් . දවසක් ගෙදර බිරිඳයි ස්වාමියයි ගෙදර අඩුපාඩුකම් මුල් කරගෙන ආරවුලක් ඇති කරගන්නවා . දන්නවනේ ගෑණු ඉතින් ලද දෙයින් ලේසියෙන් සතුටු වෙන්නේ අඩුවෙන්නේ . ඉතින් මේ බිරිඳ ස්වාමියා එක්ක නෝක්කාඩු කියාගන්නවා තමන්ට කිසිම සැපක් නෑ කියලා . ඒ නිසා ගෙදර ස්වාමියා බිරිඳ එක්ක තරහට හෝ තමාගේ දෛවය පිළිබඳව තියෙන කලකිරීමට ගෙදරින් යන්න යනවා . ගෙදරින් එහා තියෙන්නේ මහා ගන වනාන්තරයක් . ඉතින් තමන්ගේ ස්වාමියා එක්ක මෙහෙම කෝලහාල කරගත්තත් බිරිඳ ස්වාමියාට හරිම සෙනෙහසින් සලකනවා .

" මගේ මිහිරා මාත් එක්ක ආරවුලක් ඇතිකරගෙන කේන්තියෙන් කැලේට ගියා . රෑ එළිවෙනකන් ඉඳි කඩුලු ඇරගෙන බලාගෙන හිටියා මගේ කුමාරයා ගෙදර එයි කියලා . ඒත් තාම ආවේ නෑ . මම තාමත් බලාගෙන ඉන්නවා මගේ මිහිරා ගෙදර එයි කියලා "

මෙන්න මේවගේ අදහසක් තමයි මම යෝජනා කරන්නේ .  කලින් තේරුමෙදී ඉඳි කඩුලු ඇරන් කර ඔසවා බලා උන්නා කියන යෙදුමට  කරපු උපමා කිරීම් මේකටත් උපමා කරන්න පුළුවන් .

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

ස්වාමියා තමා එක්ක දබර කරලා ගියේ දාර පිඹුරෝ වග වලසුන් නිතරම එහා මෙහා යන වනාන්තරයට . මට කනට කරාබු කරට මාල නැතුවට කමක් නෑ . මගේ පෙම්බරා එක්ක තියෙන දුක විඳගෙන ජීවත් වෙන්න මට පුළුවන් , වනාන්තරේදී කිසිම දෝසයක් වෙන්නේ නැතුව ඉක්මනට ගෙදර එන්න ඔබගේ පෙම්බරිය ඔබ එනතුරු බලාගෙන ඉන්නවා මගේ පෙම්බර කුමාරයෝ කියන අදහස දෙනවා මේ අන්තරා කොටසෙන් .

කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

මෙහෙම බයේ ඉන්න බිරිඳ තමාගේ ස්වාමියාට අතුරු ආන්තරාවක් වෙන්නේ නැතුව හිත හැදිලා ආයෙත් ගෙදර එන්න හැකියාව ලබාදෙන්න කියලා රූපෙට රූපේ පූජා කරලා ඔප්පු කරන්නම් කියලා කතරගම දෙවියන්ට පඬුරු ගැටගහලා භාර වෙනවා . දෙවියනි මගේ හිමියන්ට කරදරයක් වෙන්න දෙන්න එපා . ඔහු නැති දුකින් මගේ ඇසට නැගෙන කඳුළු හදවතේ අවුලවන්නේ මහා ගින්නක් . ඔබවහන්සේ ඒ ගින්න තවත් ඇවිලෙන්න දීලා මගේ හිමියන්ට කරදරයක් වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඇය දෙවියන්ගෙන් ඉල්ලනවා .

ගීතයට මම දෙන අර්ථ දෙක ඔය විදියට තමයි ඉදිරිපත් කරන්නේ . මම හිතනවා මේ අදහස සාධාරණයි කියලා .

ගීතයේ සංගීතය ගැන විග්‍රහයක් කරන්නම ඕන . මොකද ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයාගේ තනු නිර්මාණ ගොඩක් නෑ . ගීතයේ අර්ථය ඉතාමත් සාර්ථක විදියට ඉස්මතුවෙලා එන්න පුළුවන් විදියේ සංගීත සංයෝජනයක් මේ ගීතයේ යොදලා තියෙනවා .

මේ ගීතයේ මුල් වාදනය තුල වාදනයවෙනවා කොංගෝ ඩ්‍රම්ස් යුගලක් . මේ ඩ්‍රම් යුගල මගින් ඇතිකරන තාල වාදනය අප්‍රිකානු තාල වාදනයට සමානත්වයක් දක්වනවා . අප්‍රිකාවේ ජන සංගීත ශෛලියට අනුව එයාලා භාවිතා කරනවා කුඩා බෙර වර්ග . මේ බෙර වලින් එන්නේ හරියට කලයක කටට තට්ටු කරලා එනවා වගේ ඊට වඩා තරමක් තීව්‍ර හඬක් . මේ හඬ ඇහෙනකොට අපේ හිතේ ඇතිවෙන්නේ කැලය ඇතුලේ ඉන්නවා වගේ හැගීමක් .





ගිටාර් එකක එක හීනිම කම්බිය ඒ කියන්නේ ඊ ෆස්ට් කම්බිය පික් එකකින් තාලයට අනුව වාදනය වෙනවා . ඒ වගේම බස්වල සිංදු කියන අය භාවිතා කරන රබානක් උපයෝගී කරගෙන තියෙනවා පන්තෙරුවක ශබ්ධය ලබා ගන්න . එකට කියන්නේ ටැම්බරීන් කියලා . මේ ටැම්බරීන් එකෙන් ඇහෙන බීට් එක නිසා රැහයියෝ කෑගහනවා වගේ හැගීමක් ඇතිවෙනවා . ඒවගේම රාත්‍රිය සහ පාළුව කියන හැගීම් ඉස්මතු කරන්නත් මේ වාදන භාන්ඩ උපයෝගී වෙනවා .






ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා තමා කැමතිම වාද්‍ය භාණ්ඩයක්වන බැන්ජෝ ගිටාර් එක මේ ගීතයට උපයෝගී කරගෙන තියෙනවා . මේ වාදනය එක්ක මට ඇහෙන්නේ ආයෙත් අප්‍රිකානු නාද මාලාවක් . ඒ මගින් ඇතිවෙන්නේ වියලි ශුෂ්ක පරිසරයක් තුල ජීවත් වෙනවා කියන හැගීම .





මේ මුල වාදනය අතරතුරේ ඒ වාදනයේ මැද කොටසේ ඉඳලා හයිහැට් එකක් වාදනය වෙන්න පටන් ගන්නවා

චිකි චිකි චිකි චිකි
චිකි චිකි චිකි චිකි

කියලා . ඒ හඬ එක්ක මට මතක් වෙන්නේ සමහර සර්පයින්ගේ අපර කෙලවරේ තියෙන ඔය සිරි සිරි හඬ නංවමින් ඔවුන් සොලවනු ලබන අවයවය . ඒ හඬට කැලයක පසුබිම ඇතිකරන්න පුදුමාකාර හැකියාවක් තියෙනවා . එහෙමත් නැත්නම් වනාන්තරයේ තියෙන බියකරු බව මේ හඬින් ඇතිවෙනවා .

පෙරවාදනයේ මුල කොටසේ නිරෝෂාගේ කටහඬින් අකාරයෙන් කියවෙන ආලාප කොටසක් ගායනා කෙරෙනවා . මේ ආලාප කොටස මගින් කෙරෙන්නේ වාදනය මගින් ඇති කෙරෙන වනාන්තරයේ බියකරු ස්වභාවය තවත් වැඩි කරන එක . ඒවගේම ඔක්ටර් පෑඩ් එකකින් සහ බේස් ගිටාර් එකකින් මේ සියලුම වාද්‍ය භාණ්ඩවල නිකුත් කෙරෙන ස්වර වර්ණ උපුටා දක්වන්න පහසුවෙන ආකාරයේ වාදනයක් අපිට නොදනේන්නම ඉදිරිපත් කෙරෙනවා . ඒක ඇහෙන්නේ ඉතාම සාවධානයෙන් ගීතයට සවන් දුන්නොත් .

තවත් වාදනයවෙන වැදගත්ම තාල වාද්‍ය භාණ්ඩයක් තමයි අප්‍රිකානු ජන සංගීතයේ වාද්‍ය භාන්දයක්වන ජෙම්බේ කියන වාද්‍ය භාණ්ඩය . මේ වාද්‍ය භාණ්ඩය ගැන දන්නා අයත් ඇති නොදන්නා අය වෙනුවෙන් ඔන්න පොඩි වීඩියෝ එකක් දැම්මා ඒ වාද්‍ය භාණ්ඩයේ වාදනයක් තියෙන . මේකෙන් නිකුත් වෙන්නේ තම්මැට්ටමක තීව්‍ර හඬ නිකුත් කරන කොටසින් ඇතිවෙන ආකාරයේ තීව්‍ර හඬක් . මේ හඬ ගීතය පුරාම විහිදී යනවා . වනාන්තර පරිසරය ඇතිකරවන්න මේ වාද්‍ය භාණ්ඩයත් ඉතා ඉහල දායකත්වයක් ලබා දෙනවා .




මේ ජෙම්බේ සෝලෝ එකක්


ඔහොම ඉතින් පෙර වාදනය අවසන් වෙනවා . ඊට පස්සේ ගීතය ආරම්භ වෙනවා .

ගීතය පුරාවටම තාල වාදන භාණ්ඩ වලින් මේ ගීතයට පුදුමාකාර විදියේ සහයෝගයක් ලබාදෙනවා ගීතයේ තියෙන හැගීම් ඉස්මතු කරලා පෙන්නන්න . අර මම කලින් කිව්වා ජෙම්බේ ඩ්‍රම් එක දිගටම ගීතයට තාලය සපයන්න වාදනය වෙනවා . ඒවගේම කියන්න ඕන බේස් ගිටාර් එකෙන් හොඳ සහයක් ලබා දෙනවා බිරිඳගේ හිතේ තියෙන භය කියන හැගීම ඉස්මතු කරලා පෙන්නන්න . බේස් ඩ්‍රම් එකක් වාදනය වෙනවා

ඩග් ඩග් ඩග් ඩග්
ඩග් ඩග් ඩග් ඩග්

කියලා . මේ ඩග් ඩග් ඩග් ඩග්  තාලයෙන් පෙන්වන්නේ මම හිතන විදියට බිරිඳ බයෙන් ඉන්න නිසා බිරිඳගේ හදගැස්මේ ස්වභාවය . :)

දැන් බලමු අපි අතුරු වාදනය ගැන .
ගීතයේ අතුරු වාදනයේ අරම්භයෙදී ඕසේ ගායනා කිරීම කියන ගායනාවක් ඇහෙනවා පිරිමී කටහඬකින් . ඒ කටහඬ හරියට හේනක කියන පැල් කවියක් වගේ තමයි හිතට දැනෙන්නේ . ඒ අතරේ ඇහෙනවා

දුම්ත දුම්ත දුම්ත දුම්ත දුම්තහ් කියලා හරියට බෙර පදයක් කියනවා වගේ පිරිමි හඬකින් කෙරෙන ගායනයක් . ඒ හඬ ගැළපෙන්නේ ගෙම්බෙක්ගේ හඬට . ඊට පස්සේ බැන්ජෝ ගිටාර් වාදනයට පස්සේ වයලීන් වාදනයක් සහ බටනලා ඇහෙනවා . ඒත් ඒ වයලීන් එකක්වත් බටනලාවක්වත් නෙවෙයි . ඉලෙක්ට්‍රික් ඕගන් එකකින් තමයි ඒ වාදනය කෙරෙන්නේ .

ඒ කොටස එක්ක ඉඳලා අතුරු වාදනය අවසාන වෙනතුරුම අර ජෙම්බේ ඩ්‍රම් එකේ හොඳ වාදන කොටසක් ඇතුලත් කරලා තියෙනවා . ඒ වාදන කොටසින් මානසික ගැටීම ඉස්මතුවෙනවා කියලා කියන්න පුළුවන් .



මම මේ ගීතයේ වැඩියෙන්ම කැමති අන්තරා කොටසට . මොකද හරිම ආදරනීයයි මේ අන්තරා කොටසේ තියෙන පෙම්බර කුමාරයෝ කියන පද පේලිය . ඒ වගේම මේ අන්තරා කොටසේ තියෙන බේස් ගිටාර් සහ බේස් ඩ්‍රම් වාදනය මගින් සත්තුන්ගේ භයංකර ශබ්ධය පිළිබිඹු වෙනවා . අන්තරා කොටසේ දාර පිඹුරන් වග වලසුන් කියලා කියනකොට ඇහෙන මේ බියකරු බේස් වාදනයෙන් ඒ වලසුන්ගේ කෑගහන ශබ්දය ඇහෙනවා කියලා මට හිතෙනවා . නැත්නම් අලියෙක් හයියෙන් කකුල් බිම තියනකොට පොලව දෙදරන හඬක් මේ බේස් වාදනයෙන් ඇහෙනවා . ඒ වාදනය අන්තරා කොටසින් කියන අර්ථය ශ්‍රාවකයාගේ හදවතට ඉතාම පහසුවෙන් ඇතුල් කරන්න දායක වෙනවා . 





නැතුවට හිත ඇතුවා 
පපුවට ගිනි අවුලා  කියලා අන්තරා කොටස් දෙක ගායනය වෙලා ආ.... කියලා ඇදලා පෙම්බර කුමාරයෝ කොටස ගායනා කරන්න පෙ අකුර පටන් ගන්නකන් අර අකාරයෙන් කියන කොටස අතරේ වාදනය කෙරෙන බේස් ගිටාර් වදන කණ්ඩයත් හරිම ආකර්ෂණීයයි .

ගීතයේ තනුව ගැනත් මේ වෙලාවේ යමක් කියන්න ඕන කියලා මම හිතුවා . මේ ගීතයේ වැදී ගීතවල තනුවලට කිට්ටු ගතියක් තියෙනවා . මට එහෙම හිතෙන්නේ වාද්‍ය භාණ්ඩ වලින් වැදී ගතියක් අරන් දීලා තියෙන නිසාද නැත්නම් තනුවේ තියෙන්නේ වැදී ගීතවලට ආසන්න තනුවක් නිසාද කියලා කියන්න අමාරුයි . ඒ කොහොම වෙතත් මේ ගීතය හැම අතින්ම ඉතාම සාර්තකත්වයට ආ ගීතයක් .
                                                                                                                                           

ඔන්න ඔහොමයි මේ ගීතය ගැන මගේ අදහස . සුපුරුදු විදියට ආයෙත් ගීතය අහලා යන්න . 
කවදාවත් නැතුව පෝස්ට් එක ඉවර කරනකොට හිතට ආවේ බුදු සරණයි කියලා . එහෙනම් හැමෝටම 

බුදු සරණයි !



21 comments :

  1. අපූරුයි වයෝ...
    අනික් විචාර වලට වඩා ඔයාගෙ ඒව විශේෂ වෙන්නෙ ගීතයේ විචාරයත් එක්ක කරන සංගීත සාලෝචනය කියලයි මට හිතෙන්නෙ...
    මේක කියවන්න ඕන සිංදුව අහන ගිමන් නිකං නෙවී... මොද බේස් තියෙන හෙඩ්සෙට් එක්කින්

    ReplyDelete
    Replies
    1. :) :) :)
      බොහොම ස්තූති ,
      ඉල්ලුම ඒවටනම් සැපයුම දෙන්නම් මම :) :)

      Delete
  2. මම හිතන්නේ පලවෙනි තේරුම තමයි නෙහ්. මේක ලොවෙත් පට්ට පොස්ට් එක බන් !

    ReplyDelete
    Replies
    1. එල එල ......

      ලියන එකේ ආතල් එක තියෙන්නේ ලියලා ලියලා මේවා පබ්ලිෂ් කරලා ආයෙත් කියවලා තමන්ම රසවින්දනය කරනකොට තමා :) :) :)

      Delete
  3. අතිවිශ්‍රිෂ්ටයි, එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. :) :)
      බොහොම ස්තූති g-) g-)

      Delete
  4. මේකනං සුපිරි විස්තරයක්.. d-)
    මටනං හිතෙන්නෙම මෙතනදි හබ කියන්නෙ උඹ කිව්ව වගේ බහින්බස් වීමක් කියන තේරුම කියල..
    දාල තියෙන ලින්ක් ටික නං අහන්න වෙන්නෙ හෙට.. :-?

    ReplyDelete
    Replies
    1. මේකේ මේ අර්ථ දෙක සාධාරණය කරන්න තව පෝස්ට් එකක් ලිව්වනම් හරි නේද ?
      මටනම් ඔය දෙකම හරි කියන්න පුළුවන් :) :)
      එල එල
      බොහොම ස්තූති g-) g-)

      Delete
  5. මන් මේක කියෙවුවේ සිංදුවා ලියලා කියලා හිතාන... d( වයලගේ ස්ටයිල් එක නෙමේ වගේ..

    එතකොට ඔය අදහස් දෙකෙන් කෝකද හරි.... :-?

    බුදු සරණයි !

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ,,,,
      කාලයක් යනකොට අපිත් වෙනස් වෙන්න එපාය . හැබැයි ඉතින් ඕන එකකට ඔට්ටුයි ආ :) :)
      බොහොම ස්තූති මෙයා g-) g-) g-)

      Delete
    2. http://darshanaprabhath.blogspot.com/2012/10/blog-post.html

      ඔන්න ඔය පෝස්ට් එක කියවලා බලන්නකෝ . ඕක කියෙව්වම හිතෙන්නේ කවුරු වගේද කියලත් කියන්නකෝ .
      මම ලිව්ව පළවෙනි සයිබර් පෝස්ට් එක .
      දැන් හිතෙනවා ඒ කාලේ මමමද ලිව්වේ කියලා :p :p :p :p

      Delete
  6. :-h

    පට්ටයි වයලෝ... මාත් මුලින් හිතුවෙ සිංදුවා ලියපු එකක් කියල.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      ඉන්නකෝ . ආයේ ලියනකොට මුලින් දාන්නම් මේ ලියන්නේ වයලීනෝ කියල ////
      බොහොම ස්තූති අක්කේ :) :)
      g-) g-) g-)

      Delete
  7. මම නම් තාමත් හිතන්නෙ පොඩි බහින්බස් වීමක් නිසා මේක වුණා කියල යි.. ඒත් හැමදාම කියනවත් වගේ ගීතයක අරැත අසන්නාට සාපේක්ෂ යි නෙ.. උඹ පුන්සඳ රෑට ලියනකොට මට ටතක් වුණ අනිත් ගීතය මේක...
    නියමෙට විවරණය කරල තියෙනව...
    මේ ගීතයෙ මම කැමැතිම කොටස

    // බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
    දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
    පෙම්බර කුමාරයෝ//

    ඇත්තට ම ආදරය කරන කෙල්ලක ගෙ විලාපයක්.. සිදුහත් කුමාරය පිටවෙලා යනකොට යසොදරා දේවියත් මේ විදිහට විලාප දෙන්ට ඇති..මේ ගෙවිලිය වගේ ම පෙම්බරය අහිමි වෙන ඕනෑම ගැහැණියකට මේ විලාපය පොදු යි...
    උඹ සින්දු හරියට රස විඳින හැටි කියල දෙනව...උඹට ස්තුතියි..
    ජයවේවා!!!

    ලැම්බාගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. මමනම් වැඩිපුර ඉන්නේ පළවෙනි තේරුමත් එක්ක . ඒත් ඒක වැරදි වෙන්නත් පුලුවන් . හැබැයි දෙවෙනි තේරුම වෙන්න පුළුවන් මේ කියන ඒවත් එක්ක බලනකොට . :) :)

      බොහොම ස්තූති :) :) g-) g-)

      Delete
  8. අපූරු විස්තරයක්. මේ සින්දුවෙ හබ කියන්නෙ හබයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. විශෙෂයෙන්ම ඒ අර දෙකණට දෙමික්කං, පදක්කං නැති කමට වෙච්චි හබයක් වෙන්න පුලුවන්. ඒකනෙ කියන්නෙ ඒව නැතිවට කමක් නෑ ඔයා එන්න කියල. කතාවටත් කියනවනෙ කාන්තාවොයි හෙවනැල්ලයි එක වගේ කියල. දෙකම පස්සෙන් යද්දි පලා යන, පලා යද්දි පස්සෙන් එන හින්දලු එහෙම කියන්නෙ. ඉතින් නැති බැරි කම් ගැන ආඩපාලි කිව්වම මල පැනල ගිය තමන්ගෙ අලුත බැඳපු මනාලය රැයක් එලිවෙන තුරු නොආව එක ගැන කෙරෙන විලාපයක් විදියටයි මම මේක දකින්නෙ.

    අනෙක් පැත්තෙන් සංගීතය. මේ සින්දුව මම හෙඩ්ෆෝන්ස් වලින් අහන්න කැමතිම සිංහල සින්දු කිහිපයෙන් එකක්. හේතුව මේකෙ තියෙන සොඳුරු සංගීත සැරසිලි එහෙම නැතුව අල්ල ගන්න අපි වගේ සාමාන්‍ය රසිකයන්ට අමරු නිසා සහ මෙහි උපරිම වින්දනය ලැබෙන්නෙ එතකොට විතරක් නිසා. ඒ එක්කම මේ ගීයෙ තනුව හැදෙන්නෙ ඇන්තනීල ශක්ති වාදක කන්ඩායම හැටියට හිටපු කාලෙ. ඒ නිසා වෙන්න ඕන ඇන්තනීගෙ වගේම ශක්ති ආනන්ද පෙරේරගෙ ලකුණුත් මේ සංගීත සැරසිලි අතරෙ දකින්නෙ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔය වාදක කණ්ඩායම ඇතුලේ එයාලටම අනන්‍ය වෙච්ච ශෛලියක් තිබුණා . මමනම් ගොඩක් පොඩි කාලේ තමා මෙයාලා ප්ලේ කරනවා දැක්කේ සංගීත කණ්ඩායමේ . ඔව් ඒ ගතිය එකතුවෙලා තියෙනවා තමයි නේද මේ ගීතවල .
      එල එල
      බොහොම ස්තූති අදහස් දැක්වූවාට :) g-)

      Delete
  9. වැඩි කතා ඕන නෑ මරු.....
    මේ දවස් වල මම ඉන්නේ ඩෙල් ස්ටූඩියෝ පිස්සුවකින් උමතු වෙලා.
    තරුණ පරපුරේ අය අතරින් නිරෝශා, සමිතා, නෙලූ ට්‍රියෝ එක මගේ ඕල් ටයිම් ලව්...

    ReplyDelete
    Replies
    1. :) :) :)
      බොහොම ස්තූති .
      තෝරාබේරාගෙන රසවිඳින්න g-) g-) g-)

      Delete
  10. හොදට ලියලා තියෙන වෙලාවට ඔය දිග වැඩි කතා එච්චරම ප්‍රශ්ණයක් නෙමෙයි.. මේක මරු..

    ReplyDelete
    Replies
    1. පවුනේ . බ්ලොග් කියවන චූටි බබාලා ......
      එකයි එහෙම කිව්වේ :p
      බොහොමස්තූති ආ g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.