අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

පුන්සඳ රෑට ඇවිදින් හේනේ ගීතය පාදක කරගෙන කලින් ලිව්ව ලිපිය  දැම්මා අන්තිම පේලියට . ඒකෙ මේ දවස්වල ලියන අපේ සහෝදරයෙක් මෙන්න මේ ක...

සරිගම කා පධනිස බීම







පුන්සඳ රෑට ඇවිදින් හේනේ ගීතය පාදක කරගෙන කලින් ලිව්ව ලිපිය  දැම්මා අන්තිම පේලියට . ඒකෙ මේ දවස්වල ලියන අපේ සහෝදරයෙක් මෙන්න මේ කමෙන්ට් එක දාලා තිබුණා වීඩියෝ එකකුත් එම්බෙඩ් කරලා .

“ මුල් සිංදුවේ සංගීත රසය එහෙම්පිටින්ම වෙනස් කරපු මේ සිංදුව කියනකොට නිරෝෂාටත් අවුල් වෙනවා වගේ. එයාගේ භාවාත්මක හැඟීම් කෙසේ වෙතත් මට නම් පෙනෙන්නේ අලුත් වාදනයත් එක්ක නිරෝෂා ගායනා කරන්නෙත් අමාරුවෙන්. සිංදුවේ අර්ථයට කොහෙත්ම මේ සංගීතය මැච් වෙන්නේ නෑ. ඒත් ගායකයෝ ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්නනම් අකමැත්තෙන් උනත් මේවා කරන්න වෙනවා. හරියට ගුණදාස කපුගේට කරන්න උනා වගේ. you tube එකේ අලුත් මියුසික් එකට රසිකයන්ගේ කමෙන්ට්ස් දැක්කම වයලීනෝ උඹ වගේ අය අලුත් පරම්පරාවේ ඉන්නවා කියන එකත් හිතට සතුටක්..  (අර්ථය ගැන හිතන්නේ නැතුව සංගීතය රස විඳින්න මේ වගේ නිර්මාණ වරදක් නෑ) “

ඇත්තටම ඔව් . ඒ කමෙන්ට් එකේ කියල තියෙන හැමදේම වගේ ඇත්ත . අනික අලුත් පරපුරේ රසවින්දනය කියන තරම්ම නරකමත් නෑ . මගේ fb ෆ්‍රෙන්ඩ්ස්ලා ඉස්කෝලේ ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉන්නවා තාමත් සම්භාව්‍ය සංගීතය රසවිඳින්න කැමති අය . මේක කියනකොට මට මතක් වෙන්නේ දැනට අවුරුද්දකටත් වඩා අඩු කාලයකට කලින් මම ගියපු නායකත්ව පුහුණු කඳවුරේ යාළුවො ටික . මම ෆෝන් එකේ සිංදු දාගෙන අහන්නේ නෑ සාමාන්‍යයෙන් . 

ඉතින් ලැප් එක ගෙනිච්චේත් නැති නිසා පළවෙනි දවසේ රෑ හරිම අවුල් . සිංදු ටික මතක් වෙනකොට ඉන්නම බෑ . ඕන එකක් කියලා නිදාගන්න ලැස්ති වෙනකොට බිලට් එකේ එහෙන් මෙහෙන් ෆෝන් වලින් ඇහෙනවා මගේ ප්ලේ ලිස්ට් එකේ තියෙන සිංදු ටික . අමරදේව , සුනිල් එදිරිසිංහ , වික්ටර් රත්නායක , දීපිකා ප්‍රියදර්ශනී වගේ අයගේ සිංදු ප්ලේ උනා . එදා මට හිතුනා නවපරපුරේ රසවින්දනයත් කියන තරම් අවුලක් නෑ කියලා .





ඒත් මම උඩින් ලියලා තියෙන කමෙන්ට් එකේ හැටියට නව සංගීත සංයෝජනය ගීතයට ගැලපෙන හැටියට කෙරෙනවාද කියලා යම් තරමක සැකයක් ඇතිවෙනවා . සංගීත සංයෝජනය ගැන කියනකොට මට මතක් වෙනවා මම වයලීන් ගහන්න පටන් ගත්තම කාලේ වෙච්ච සිද්ධීන් දෙකක් . ඒ කාලේ මම අපේ ඉස්කෝලේ සංගීත තරග වලට වයලීන් වාදනය කරන්න ගියා වගේම වෙනත් ඉස්කෝල වලටත් සහය වෙන්න ඉදිරිපත් උනා . සමහර දවස් වල තව පැයකින් තරග තියෙනවනම් දැන් නොටේශන් එක ලියලා ගෙනත් දෙනවා මිස්ලා සර්ලා අනේ පුතේ අපිටත් උදවුවක් කරන්න කියලා . 

ඒවා ඉතින් පුළුවන් හැටියට ඒ කාලේ ගොඩ දැම්මා . ඒත් එක ඉස්කෝලෙක තරග වලට අපි මාසයක් විතර පුරුදු පුහුණුවීම් කරා . අපිට ඉස්කෝලේ වැඩ පාඩු වෙන නිසා ඒ ගුරුවරයාගේ ගෙදර නැවතිලා තමයි පුහුණුවීම් කරේ . දවසක් මොකක්හරි වෙන රාජකාරියකට ආපු ගමන් රාත්‍රී නවාතැන් ගන්න එහෙට ආවා මාත්‍රා සංගීත කණ්ඩායමේ නිර්මාතෘ , සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය සමන් පනාපිටිය මහත්මයා .







ඒ සර් උඩ තට්ටුවේ ඉන්න අතරේ අපි පහල තට්ටුවේ ඉඳගෙන ප්‍රැක්ටිස් කරනවා . කොහොමහරි සර් අහගෙන ඉඳලා අපේ සද්දේ . පස්සේ සර් පහලට ආවා . ඇවිත් ඉස්සෙල්ලම බෙරගහන අයියට බෙර පදයක් කියලා දුන්නා මෙහෙම වාදනය කරානම් ලස්සනයි කියලා .

බුංගු හුචාං..... හුචාං........ හුචාං හුචාං හුචා
බුංගු හුචාං..... හුචාං........ හුචාං හුචාං හුචාං



අපි ඉතින් සංගීත කාරයෝ වෙච්චි , සද්දෙට හරියන්න බෙර තැලුවට පදේට හරියන්න තලන්න දන්නේ නෑ කියල සර් දන්න නිසා වෙන්නැති එහෙම කියන්න ඇත්තේ . ඊට පස්සේ සර් මගේ පැත්තට හැරුනා . සර්  මට ගොඩක් දේවල් කියල දුන්නා . මම ඒ කාලේ වයලීන් ගහන්නයි සංගීතය ඉගෙන ගන්නයි පටන්ගත්ත මුල කාලේ වගේ නිසා මට කවුන්ටර් පාට් , බිට්ස් පාට්ස් අරවා මේවා ඕන කොතනද එපා කොතනද කියලා හිතෙන්නේ අඩුවෙන් අඩුවෙන් කියන්නේ ඉතින් හිතෙන්නෙම නෑ වගේ තමයි . ඒ නිසා හිතෙන පාට්ස් ටික ඕන එකක් කියලා ගහලා දානවා . 

මේ සර් තමයි මගේ ඒ අඩුපාඩුව හැදුවේ . සර් කිව්වා “ පුතා ඔයාගේ හිතට එන පාට්ස් ඔක්කොම ගහන්න එපා , ඒ හිතට එන ඒවායින් හොඳම එක තෝරලා අරගෙන සිංදුවත් එක්ක ගලපන්න “  කියලා . තව මම වයලීන් එකේ මහතම කම්බිය (G 4th ) කම්බිය වාදනය කරනකොට බෝ එක බර කරලා තමයි වාදනය කලේ . ඒ අඩුපාඩුවත්  හැදුවේ මේ සර් . සර් කිව්වා පුතේ ඔයා අත බර කරාම සද්දේ වැඩිපුර ඇහුනට ඒ ඇහෙන සද්දේ ස්වර වර්ණ ( tone colour ) ඉස්මතුවෙලා ඇහෙන්නේ නෑ කියලා  . දැනට අවුරුදු අටකට නවයකට වගේ කලින් ලැබිච්ච මේ අවවාද දෙක මට අදත් වයලීන් එකේ මහතම වයර් එකේ වාදනය කරනකොට මතක් වෙනවා . කොහොමහරි අපි ඒ අවුරුද්දේ ඒ තරග ඉසවුව සමස්තලංකා ප්‍රථම ස්ථානය දක්වාම අරගෙන ගියා .







2011 අවුරුද්දේ තමයි මම පාසල් සිසුවෙක් විදියට සංගීත තරංග වලට අන්තිමටම ඉදිරිපත් උනේ . ඒ සෙකන්ඩ්ෂයි කරන කාලේ . මගේ ඒකල වාදනයක් ඉදිරිපත් කරා විවෘත තරග ඉසවුවකට . වාදනය කලේ සත්සමුදුර තේමාවාදනය  .  ඒ වාදනය පුරුදුවෙන කාලේ මට සහයට ගිටාර් ගහන්න එකතු උනේ අපේ ඉස්කෝලෙම සහෝදරයෙක් . එයයි මමයි දවසක් අපේ ගෙදර සෙට් වෙලා මේ වාදනයට ගිටාර් කෝඩ්ස් දැම්මා . දාලා කෝඩ් ශීට් එකත් ලියලා හදලා අපේ සර්ට පෙන්නුවම සර් කිව්වා මේ කෝඩ්ස් සමහර ඒවා ගැළපෙන්නේ නෑ කියලා . 

දවසක් තිස්සේ කට්ට කාගෙන දාපු කෝඩ්ස් ගැළපෙන්නේ නෑ කිව්වම ඉතින් එපා වෙනව . පස්සේ සර් මේගැන අපිට විස්තර කරා . සත්සමුදුර තේමාවාදනය යන්නේ මුහුද තේමා කරගෙන . ඉතින් ඒ තේමාවේ තියෙන මුහුද කියන ස්වභාවය අපි දාපු කෝඩ්ස් වලින් නැතිවෙනවා කියල සර් කිව්වා . ඒ කාලේ ඒක අපිට හරියට තේරුනේ නෑ . ඒත් දැන් ඒක හරි කියලා තේරෙනවා . මොකද ඒ කාලේ අපි හිතුවේ දන්න හොඳම වැඩ ටික දාලා වාදනය කරන්න . ඒත් කාලයක් ඉගෙනගන්නකොට තමයි තේරෙන්නේ එක ස්වරය උනත් ගීතයක් අලංකාර කරන්න හොඳටම ඇති කියලා .





අද කාලේ ටීවී එකේ රෑට යන එක එක ජාතියේ ප්‍රෝග්‍රෑම් වලින් සංගීතය විනාස වෙනවා . හැබැයි මේ අතරේම සමහර ප්‍රොගෑම් වලින් නව සංගීත සංයෝජනය හොඳට කෙරෙනවා කියලත් කියන්න ඕන . මයි කාර් මයි පැට්‍රල් නිසා චැනල් වල නම් කිව්වට කමක් නෑ කියලා හිතනවා . නව සංගීත සංයෝජනය හොඳටම හොඳයි කියලා කියන්න පුළුවන් වැඩසටහනක් තමයි මේ ඊයේ පෙරේදා ඉවර වෙච්ච දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන . අතුල අධිකාරි යටතේ මෙහෙයවුණු මේ වාදක මණ්ඩලය මගින් ආරම්භයේ සිට අවසානය දක්වාම වාදනය කෙරුණු ගීත වලට සංගීතය සපයලා තිබුනේ කිසිම විදියකට ගීතවල අර්ථය හානි වෙන්නේ නැති විදියට .

හරිම සාර්ථකයි මේ සංගීත සංයෝජනය 





තවත් වැඩසටහනක් තමයි සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ සීසන් 2 වැඩසටහන . ඒ වැඩසටහනෙත් සංගීත සංයෝජනය සාර්ථකයි .

මේ දවස්වල වැඩි දෙනෙක් කතා කරන දෙරණ නාලිකාවෙන් විකාශනය කරන ඩෙල් ස්ටූඩියෝ වැඩසටහන ගැනත් යමක් කියන්න ඕන . ඕක අහන්න මාව ඇබ්බැහි කරේ සිංදුවා . මිනිහගේ ලැප් එකේ අහුමුලු සිසාරා ගමන් කරනකොට තිබිලා ගීත දෙක තුනක් ප්ලේ කරලා අහපං අහපං කියලා මටත් ලෙඩේ බෝ කරා . පස්සේ මමත් යූ ටියුබ් එකෙන් ගීත විශාල ගණනක් අහලා බැලුවා . ගොඩක් ගීතවලට නව සංගීතය සපයලා තිබුණේ මට හිතෙන හැටියටනම් අර්ථය ගැන හිතලා නෙවෙයි . එතන වාදනය කරන හැමෝම තමාගේ වාද්‍ය භාණ්ඩයේ මුදුනටම ඉගෙනගත්ත අය . ඒත් එයාලා මේ ගීතවල අර්ථය ගැන දෙපාරක් හිතලා නැති හැඩයි . 

එයාලා වැඩිපුරම හිතලා තියෙන්නේ එක එක ගීතවලට යොදලා තියෙන තනුව අයත් සංගීත ශෛලීන් ගැන කියලයි මට හිතෙන්නේ . අර සහෝදරයා කියලා තිබ්බ නිසාම මම නිරෝෂාගේ සිංදුවේ කමෙන්ට්ස් කියවලා බැලුවා . ඔහොම තමයි ඉතින් . ලංකාවේ ඉන්නේ අලුතෙන් මොකක් ආවත් පට්ට කියාගෙන බලන පිරිසක්නේ .
ඒ සහොදරයා දාපු කමෙන්ට් එකට එම්බෙඩ් කරලා තිබුණේ මෙන්න මේ ගීතය . අහලා බලන්නකෝ කොහොමද කියලා  . අහලා කමෙන්ට් කරන්නකෝ මොකද හිතෙන්නේ කියලා . මටනම් ගොඩක් ඒවා හිතෙනවා .






හැබැයි ඒ වගේම මේ වැඩසටහනේ ඉතාම හොඳින් සංගීතය සංයෝජනය කරලා තිබුණු ගීතත් නොතිබ්බාම නෙවෙයි . මෙන්න මේ පහල තියෙන පහසුවටත් වාසියටත් කියන ගීතය ඒ අතින් ඉතාම සාර්ථකයි .






නව සංගීත සංයෝජනය කියලා කියන්නේ මම නම් හිතන හැටියට ගීත කන එක නෙවෙයි . ගීතවල තියෙන හැගීම් ඉස්මතු වෙන්න පුළුවන් විදියට ගීතවලට සංගීතය එකතු කරන එක . ඒක වචන වලින් කියන්න අමාරු , තම තම නැණ පමණින් දැනගත යුතු දෙයක් කියලයි මමනම් හිතන්නේ .........

මොන සංගීතය උනත් සද්දේ පොඩ්ඩක් අඩු කරගෙන අහන්න . එතකොට අපිට නොදැනෙන නොඇහෙන ගීතවල තියෙන රසමුසු තැන් අල්ලගන්න පුළුවන් වේවි  :) . පොඩි අයටත් මේ අලුත් දේවල් වගේම සම්භාව්‍ය සංගීතයත් රසවිඳින්න අවස්ථාව වැඩිහිටියෝ ලබාදෙනවනම් අනාගත පරපුර රසවින්දනය අනාගත්ත පරපුරක් වෙන එකක් නෑ .

වැඩිය මුකුත් කියන්න යන එක ඇඟට අගුනයි වගේ . මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න . මමනම් හිතන්නේ මෙන්න මේක තමයි නව සංගීත සංයෝජනය කියලා ගීත වලට වෙන්න ඕන . බලන්න මහින්ද පැස්කුවෙල් කියන ගිටාර් වාද්‍ය ශිල්පියා මේ ගීතයට කරන සාධාරණය .





28 comments:

  1. අපිම සින්දු ලියල සංගීතය දාල කියල, අපිම අහනවා.
    අපේ කිසිම ශිල්පියෙකුට හෝ කණ්ඩායමකට බැරිඋනා ජාත්යන්තර තලයට ගැලපෙන නිර්මාණයක් කරන්න.
    එයට හේතුව බොහෝ දක්ෂයන් එකම රාමුවකට කොටුවීම වෙන්න පුළුවන්
    අඩු තරමින් බටහිර ගීතයක් අසන්නවත් උනන්දු නොවී. අවුරුදු 40ක් 50ක් තිස්සේ එකම දෙයක් රසිකයන්ට විසිකරනව.
    කොටුවන් පිට ඉන්න ට්‍රැක් කාරයෝ අලුත දෙයක් ඉල්ලන බහුතර රසිකයන්ට වසුරු විසි කරනවා.

    ReplyDelete
    Replies
    1. කිසිම ශිල්පියෙක්ට යන්න බැරි උනා කියන්න බෑ . භාතිය සන්තුෂ් ගියා . ප්‍රදීප් රත්නායක සිතාර් වාදනයෙක් ජාත්‍යන්තරේට ගියා . ප්‍රදීප් රත්නායක හඳුන්වන්නේ ශ්‍රී ලංකන් රවිශංකර් කියලා . දිනේෂ් සුභසිංහ ඔපෙරා වලින් ගියා .
      ඒත් අවුල තියෙන්නේ කාලයක් පවතින්නේ නැති එක . අලුත් දේවල් හැදෙන්නේ නැති එක .
      අර කිව්වත් වගේ හැමදාම වගේ වෙන්නේ වෙනසකට කියලා පරණ එක කාලා අලුතෙන් වමාරන එක තමා .
      වෙන මොනවා කියන්නද ඉතින්
      එල එල
      බොහොම ස්තූති :) :) :)

      Delete
  2. මහේන්ද්‍ර පැස්කුවෙල් කියන්නේ කීර්තිගේ අයියා කියලා දන්නවා ඇති නේද? මම උඹේ මේ ලිපියේ අඩංගු බොහොමයක් දේවල්වලට කැමතියි. මහින්ද බංඩාරගේ මේ වාදනයත් පොඩ්ඩක් අහපන්.

    සුවඳ දෙන මල් වනේ instrumental

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් දන්නවා දන්නවා . මාරු අයියයි මල්ලියි .
      මහින්ද බණ්ඩාරගේ වාදනය මම කලින් ඇහුවා මෙයා . ඒක පට්ට
      බොහොම ස්තූති :) :)

      Delete
    2. මහේන්ද්‍ර පැස්කුවල් මට මතක හැටියට කීර්තිගේ අයියගේ පුතා නෙමෙයිද?

      Delete
    3. මටනම් මීටර් තියෙන්නේ අයියයි මල්ලියි කියලා .
      මටත් කිව්වේ කීර්ති පැස්කුවෙල්ගේ ක්ලාස් ගියපු මගේ යාලුවෙක් .
      හොයල බලන්න ඕන . :) :) :)

      Delete
  3. නිරෝෂාගේ දෙමල කටහඬ ගූ ගොඩකි

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න බෑ නේද ?
      හැබැයි මටත් ඔහොම හිතිලා තියෙනවා සිත හඬයි සිංදුව අහනකොට ;)

      Delete
  4. මම ත් ඔය නිරෝෂගෙ සින්දුව බලන්නෙ නැතුව ම බාගත්ත, මොකද එතන කරල තිබුණ සින්දු සමහරක් හොඳ ඒව නිසා මේක සුපිරි ඇති කියල මම ෂුවර් එකේ හිටියෙ..ඒත් බලන්ට ගත්ත ම මට අපොයි හිතුණ..ඉවරවෙනකං නොබල ඩිලීට් කළා මම හිතට ආපු තරහට...නිරෝෂගෙ තවත් සින්දුවක් තිබුණ, ඒකත් එහෙමම යි කියල මට හිතුණ..

    නව සංගීතය එකතු කරනව කියන්නෙ ගීතයෙ භාවාත්මක ලක්ෂණ වැඩි කරන්ට බැරි නම් අඩු තරමෙ රැකගෙන හරි කරන සංයෝජනයක් මිසක් සංගීත ශිල්පීන්ගෙ නිර්මාණාත්මක බව හරි දක්ෂතාව හරි පෙන්වීම ම අරමුණු කරගෙන කරන එකක් නෙවෙයි..දැන් සමහර සින්දු තියෙන්නෙ පරණ සංගීත සංයෝජනයට වඩා අලුත් එක ඇත්තට ම හොඳ ඒව.. ඒක යි නියම ක්‍රමය..මහේන්ද්‍ර පැස්කුවල් ගෙ වාදනය නම් මම ‘ස‘ එකේ ලයිව් බැලුව.. මට ගිටාර් වාදනය ගැන මෙලෝම දැනුමක් නැති හින්ද හරි පුදුමයක් දැනුණ...තවමත් මම දවස් දෙක තුනකට සැරයක් ඔය සින්දුව බලනව..පරණ සින්දුව අහපු කාලයක් වත් මතක නෑ..


    අපට මේ ගැන කරන්ට පුළුවන් දේ මම දන්නෙ නෑ.. උඹල වගේ දන්න කියන උන් මොනවහරි කරන්ට ඕන වයලො..නැත්තං හොරෙන් බාගන්න MP3 නැති වුණ දවසට අපට අහන්න වෙන්නෙ මේව විතරයි...

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වාදනය දැකලා ගිටාර් පිස්සුව ආයෙත් අප්ඩේට් උනා . හැක හැක හැක
      මමත් බලන්නේ නැතුව මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ තමා දන්නේ අවුල් කියලා . මෙහෙම යනකොට අපිටත් මොකක් හරි පොටක් පෑදෙයි . ඒ නිසා බලමුකෝ මොකක් හරි කරන්න . :)

      Delete
  5. ඔය ටීවීවල යන වැඩසටහන් ගැන මට නම් කිසිම අදහසක් නෑ බං දැන්, ටීවී බලන එක නවත්වල හුඟ කාලයක් වෙනව. කවුරු හරි මොකක් හරි වැඩසටහනක් හොඳයි කිව්වොත් ඒක පුළුවන් නම් ජංජාලෙන් හොයන් බලනව ඉඳලහිටල.

    සංගීතය ගැන මට නම් මහලොකු ශාස්ත්‍රීය දැනුමක් නෑ. සිංදුනම් ඕන එකක් අහනව. ඒත් මම වඩා ප්‍රියකරන්නෙ, විවේක සුවයෙන් නිස්කලංක වෙලාවට හිත සැහැල්ලුවෙන් අහන්නෙ නම් පරණ සිංදු. උඹ ඔය කියපු අමරදේව , සුනිල් එදිරිසිංහ , වික්ටර් රත්නායක වගේම ෂෙල්ටන් - මිල්ටන් පෙරේරා, අමරසිරි පීරිස්, දිවුල්ගනේ, සෝමතිලක ජයමහ, සනත් නන්දසිරි, ටී. එම්, නන්දා මාලනී, ඇන්ජලීන්, සුජාතා, ලතා වගේ හුඟක් අයගෙ ගීත මගේ ලිස්ට් එකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ආ ddt අන්කලේ . කොහොමද ඉතිං . කාලෙකට පස්සේ දැක්කේ .
      ටීවී එකේ දැන් ඉතිං මොනවා කියලා බලන්නද .......?

      Delete
  6. ඔයා අහල තියනවද ටාන්යා ඒකනායක කියන නම

    ReplyDelete
    Replies
    1. ටාන්යා ඒකනායක ලංකාවෙන් ජාත්‍යන්තර තලයට ගිය සංගීතවේදිනියක්.ඔය භාතියල වගේ නෙමෙයි.ඔය නම සර්ච් කරල බලන්න.

      Delete
    2. ඔව් මම සර්ච් කරලා බැලුවා . තව එහෙම අය දන්නවනම් කියන්න අපිට . අපි වැඩි විස්තර හොයලා ඉදිරිපත් කරලා කස්ටිය දැනුවත් කරන්නම් :) :)

      බොහොම ස්තූති :)

      Delete
  7. අනේ මන්දා ඉතින් මේවා ගැන මොනවා කියන්නද කියලා.. අපිට ඉතින් සංගීතය ගැන වැඩිය දැනීමක් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. එල එල ......
      ටැංකියු ඉතින් . වෙන මොනවා කියන්නද . මේ කිව්ව ටිකම ඇති :) :)

      Delete
  8. ඩෙල් ස්ටුඩියෝ එකේනං සමහර ඒව පට්ට.. y-)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් බහුතරය අවුල් නේද ???

      Delete
  9. නිරෝෂාගේ සිංදුව ගැන මම නෝට් කරපු දේවල් ටිකක් කියන්නම්... මට නම් ඒක නොට් ටූ බෑඩ්... මුලින් සහ මැදින් දාලා තියන පැල් කවි කෑල්ල එහෙම නියමයි... මුල හරියේ සංගීතය වරදක් නැහැ... හැබැයි නිරෝෂා සිංදුව කියන්න ගත්තට පස්සෙ පොඩි පොඩි අවුල් ටිකක් පේනවා... ඔරිජිනල් සිංදුවේ වයලිනෝ කියලා තිබ්බ විදිහට හයිහැට් සහ තබ්ලාවෙ ජිල් එකෙන් තමයි තාලය වාදනය වෙන්නේ... ඊට අමතරව බේස් ගිටාර් පාට් එක තමයි යටින් යන්නේ... හොඳට නෝට් වෙන දේ තමයි නිරෝෂාගේ කටහඬට දීලා තියන තැන... කටහඬ අනිත් හැමදේම යටපත් කරන ගතියක් තියනවා.. නමුත් අලුත් වර්ෂන් එකේදි තාල වාදන වල හඬ වැඩියි... නිරෝෂාගේ වැලපිල්ලට මතුවෙන්න අවස්ථාවක් නෑ... අනිත් ලොකුම වැරැද්ද තමයි බටනලාවෙන් වාදනය වෙන කොටස කිසිම විදියකින් ඇඟට දැනෙන්නේ නැති "ඕ" එකක් විදිහට ගායනා කිරීම... එතනදි බටනලාවෙන් ගීතයට තියන දායකත්වය අමතක කරලා... හැබැ‍යි අර පැල්කවි කියන කෙනාම හයිපිච් එකකින් ඒ "ඕ" එක කිව්වා නම් සමහර විට හොඳ වෙන්න තිබ්බා... ඉඳලා හිටලා ඩ්‍රම් එකේ සිම්බල් එකට වදින පාරත් හරි නෑ... මේක රෙකෝර්ඩිං එකක් වුණා නම් සමහර විට මීට වඩා හොඳ වෙන්න තිබ්බා... ලයිව් ගහන නිසා ප්‍රැක්ටිකල් ප්‍රශ්නත් ඇති.. හැබැ‍යි මම මේක චොරම චොර කියලා නම් කියන්නේ නෑ.. මට කැමති වෙන්න පුළුවන් දේවල් තියනවා...

    ReplyDelete
    Replies
    1. බටනලාවෙන් දායකත්වයක් නැති එකනම් අඩුවක් තමයි . ගීතට වෙච්ච හානිය පැත්තක තියමුකෝ , මුල් ගීතයේ තියෙන බේස් ෆ්ලූට් පාට් එක මෙතන පසුබිමේ හැටියට ගැළපෙන්නේ නෑ කියලා මට හිතෙනවා . මොකද ඒක බොහොම ශාන්ත පරිසරයක ඇහෙන්නේ . මෙතන තාල වාදනයත් එක්ක තියෙන ගෝශාවත් එක්ක බේස් ෆ්ලූට් එක ගැහුවනම් චොරේ චොර . හැබැයි දාලා තියෙන වොයිස් පාට් එකත් චොර .

      රේකොඩින් එකක් උනානම් මීට වඩා හොඳ වෙන්න තිබ්බා කියන එකනම් පිළිගන්න බැරියෝ . // ලයිව් ගහන නිසා ප්‍රැක්ටිකල් ප්‍රශ්නත් ඇති // ඒකත් පිළිගන්න බැරියෝ . අපි ඉස්කෝලේ ස්ටේජ් වල , ස්වර්ණවහිනියේ , වෙනත් ස්ටූඩියෝ වල , slbc එකේ ස්ටූඩියෝ වලත් ප්ලේ කරලා තියෙනවා . ඒවායේ බැලන්ස් කිරිල්ල කතා කරලා වැඩක් නෑ . විනාඩි පහේ සිංදුවට මාර බැලන්ස් කිරිල්ලක් කරන්නේ . හැබැයි ස්වර්ණවාහිනියේ slbc එකේ බැලන්ස් කිරිල්ල තිතටම කරා ඒ අය . ඒවගේම ඒවත් ලයිව් ප්ලේ කරේ .

      ලයිව් ෂෝ එකක් කියලා සමාව දෙනවට මමනම් එකඟ නෑ . මොකද මේවා රටක් අහන බලන මාධ්‍යන් වෙච්චි එකේ මීට වඩා ඒවා ගැන සැලකිලිමත් වෙන්න තිබ්බා නේද ? .

      පැල් කවිය හයි පිච් එකකින් කිව්වනම් එල තමා . " ඕ " එකයි පැල් කවියයි දෙකම රහත් ෆටෙෂ් අලි ඛාන්ගෙ වගේ කෙනෙක්ගේ හයි පිච් එකකින් කිව්වනම් ගීතයේ පසුබිම හොඳට හදලා ගන්න තිබ්බ . සිරා කතාව ඒකනම් :) :)

      Delete
    2. මට දැනෙන්නේ නම් තිසර මේක ලයිව් ප්ලේ එකක් නෙමෙයි කියලයි.. මොකද මට තැන් දෙක තුනකදි මයිමින් වගේ ගතියක් දැනුනා.. හැබැයි හරියටම දන්නේ නැහැ..

      Delete
    3. ලයිව් ලයිව් . ඕක ලයිව් ..... :) :)

      Delete
  10. මට නම් මේකෙ තියෙන ලොකුම අවුල තියෙන්නේ අළුතින් යමක් කිව්වාට අරකෙන් කෑල්ලයි මේකෙන් කැල්ලයි මිස එකට ගැලපෙන නව නිර්මාණ අඩුවීම..

    ඒ වගේම අර්ථ වගේම නාද වල එකිනෙකට නොගැලපීම් තිබීම..

    සමහර ගීත වල මුල් සංගීත නිර්මාණ සහ මුල් ගායනයන් දෙල් ස්ටුඩියෝ එකේ කරපු දේවල් වලටත් වඩා නවීනයි.. වගේ
    උදාහරණ විදියට ගත්තොත්, ටී. එම්. ගේ අඳුරු කුටිය තුල සහ හෙමින් සැරේ පියා විදා කියන ගීත දෙක..

    තව නියමම අර්ථ නොගැලපීමක් දැක්කා, භාතිය සන්තුශ්ගේ ගීතයකදී
    "ඉපිද ඒ බෝසත් නාලොව වාරෙක
    පැහැද රකිති සිල් නරලොව වනයක
    ඝෝෂ දෙමින් අල්ලා අහිකුණ්ටික
    පැසක ලමින් නටවා දුක් දී නෙක"
    I want to love you darling
    I want to hold you darling
    I want to need you darling
    in my life"

    නාද මාලාව විතරක් ගත්තානම් කියන්න බැරි තරම් වටිනවා.. හැබැයි වචන ටික අයිසින් කේකුයි ලුණු මිරිසුයි වගේ..

    පොදුවේ මට දැනෙන්නේ නම් කලබලයෙන් ටාගට් කවර් කරන්න බලාගෙන කරපු නිර්මාණ ගොඩක් කියලා. අළුතින් යමක් කරනවාට වඩා..

    භාතියගේ සන්තුශ්ගේ, සුනිල් පෙරේරාගේ, චිත්‍රාල් ගේ ඒවා නම් හොඳයි හැබැයි මට තියෙන ගැටළුව ඒක ඩෙල් ස්ටුඩියෝ එකේ අයගේ දක්ෂ කම නිසා වෙච්චි දෙයක්ද නැතිනම් ඇත්තටම ඔවුන් හොඳ සංගීතඥ්ඥයෝ නිසා ඒ අය වැඩේ අල කරගන්නේ නැතිව කෙරෙන බවට වග බලා ගත්තද කියන එක...

    ReplyDelete
    Replies
    1. excellent comment Jema
      Hit the nail on the head!
      thanks

      Delete
    2. ජෙමා..... මට හිතෙන්නේ ඩෙල් ඉක්මන් ගමන් බලාපොරොත්තුවෙනවා මහේෂ්ගෙන්. මහේශ් ඒ ගැන හිතන්න ඕන. මේ ඉක්මන්වීම තුල තියෙන්නේ මුදල්. කණ්ගාටුවෙන් හරි ඒක කියන්න වෙනවා. ඩෙල් ස්ටුඩියෝ ඒක කරන විදිහට මහේෂ්ලා එහෙම ලෑස්ති වෙන එක නරකයි. පැට්‍රික් දෙණිපිටිය, ප්‍රීමස් දෙණිපිටියට වුනෙත් ඉක්මණින් නිර්මාණ කිරීම. ප්‍රීමස්ට නම් හරි හමන් දෙයක් කරන්න බැරිවුනා...ඒ සමාජීය උවමනාවට වඩා මුදල් උවමනාව ඉස්මතු වෙච්ච නිසා වෙන්න ඇති. වගකීමෙන් කියන්නේ.

      Delete
    3. ගැළපෙන නොගැළපෙන දේ තෝරගන්න දන්නේ නෑ මෙයාල . ඕකෙන් වෙන්නේ අන්තිමට හොඳ දේත් විනාස වෙලා යන එක :( :(

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.