අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

වයලීන් එකට කලින් මගේ අතට ඉස්සෙල්ලම හම්බෙච්ච සංගීත බඩ්ඩ බටනලාව . පොඩිකාලේ ඉඳලම බටනලාවට තමා හිත තිබ්බේ . මට මතකයි ඉස්සර අම්මා ඔෆිස් ගිහ...

රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිව






වයලීන් එකට කලින් මගේ අතට ඉස්සෙල්ලම හම්බෙච්ච සංගීත බඩ්ඩ බටනලාව . පොඩිකාලේ ඉඳලම බටනලාවට තමා හිත තිබ්බේ . මට මතකයි ඉස්සර අම්මා ඔෆිස් ගිහිල්ලා එනකොට මම අම්මට කියනවා ඔෆිස් එක ළඟ අන්ටිලගේ ගෙදරින් මට බට ගස් ගෙනත් දෙන්න කියලා බට නලා හදන්න ඕන කියලා .

එතකොට මම 1 වසරේ විතර . ඒත් අම්මලා ගෙනත් දුන්නේ නෑ . මොකද ඕක විදින්න මම ලිප කිට්ටුවට එන නිසා . ඇයි ඉතින් බට නලා විදින්න යකඩ කූරක් රත් කරලා විදින්න එපාය . හැබැයි අම්මා මට සෙල්ලම් රෙකෝඩ් එකක් ගෙනත් දුන්නා . ඒක බටනලාවක් වගේ ඒත් හරහට නෙවේ කෙලින් පිඹින්න තියෙන්නේ .

ඔහොම යනකොට මම 4 වසරේ විතර ඉන්නකොට දහම්පාසලෙන් අපි නුවර ගියා . ඒ අපේ දහම්පාසලේ ලොකු හාමුදුරුවන්ට විචිත්‍රභානක කර්මාචාර්ය කියන පදවියට අක්ත පත්‍ර භාර දෙන උත්සවය වෙනුවෙන් සහභාගී වෙන්න . ඒක තිබ්බේ මල්වතු විහාරයේ . ඒ යනගමන් පින්නවල ගියා අලි බලන්න . ඒවෙලාවේ අලි වතුරට දාන වෙලාව . ඉතින් අලිටික ඔක්කොම වතුරේ නාවනවා . අලි නාන තැනට යනකොට ඒ යන පාර අයිනේ කඩේක බටනලා තිබ්බා .

මම අම්මට කිව්වා මට එකක් අරන් දෙන්න කියලා . අම්මා මාව කඩේට එක්ක ගිහින් ඕන එකක් ගන්න කිව්වා . ඒ කාලේ මම දාන්න පිච් එකක් නෑ . ලස්සන පාටට තිබ්බ ඇහැ වැදිච්ච බටනලාව ඇදලා ගත්තා මේක ඕන කියලා . ඔන්න ඉතින් ඕක ගෙනාව වෙලාවේ ඉඳලා ගෙදර අයට කනක් ඇහිලා ඉන්න උනේ නෑ . මම හිතන්නේ එදා ඉඳලා තාම අපේ ගෙදර අය කනක් ඇහිලා ඉඳලා නෑ . දැන්නම් ඉතින් ටිකක් අවුලක් නැතුව ඇති මම ගෙදර නැති නිසා .





ඒ බටනලාව හම්බුනාට පස්සේ මම එක එක තැන් වලින් එක එක වර්ගයේ බට ගෙනත් විදලා නලා හැදුවා . ඒකත් ඉතින් එපා වෙන වැඩක් . යකඩ කම්බි ගිනියම් කර කර ඕක විදින්න එපාය බොලේ . ටික කලක් යනකොට මියුසික් ඉගෙන ගන්නකොට බටනලාවක් ගත්තා . රුපියල් 75යි . අරගෙන පිඹ පිඹ හිටියා .

පස්සේ පිච් එක වෙනස් එකක් ගත්තා . ඒක ටිකක් දිග එකක් . ඩබල් c , සිංගල් c ,ඩබල් g, ඩබල් f , වගේ එක එක පිච් වල තියෙන ෆ්ලූට් අල්ලන්න හම්බුනේ ඊට පස්සේ . ඒ ඔක්කොමත් හරි වෙස්ටන් ෆ්ලූට් පිඹින්න ඉගැන්නුවේ මට අපේ ඉස්කෝලේ ෆ්ලූට් ගහන්න හිටපු අයියා කෙනෙක් . එයා තමයි ඒ කාලේ බටනලා පිඹින්න ඉස්කෝලේ හිටපු දක්ෂයා . ඊට පස්සේ ඉස්කෝලේ බටනලා පිඹින්න කීප දෙනෙක්ම ආවා . ඒ එක එක අයගේ තිබ්බේ එක එක ටෙක්නික්ස් .

ඒවා මම ඒ අයගෙන් අහගත්තා වගේම මම දන්න ඒවා එයාලටත් කියා දුන්නා . අන්තිමටම ඉස්කෝලේ බටනලා පිඹින්න ආවේ මම හොඳට දාන්න අඳුරන අපේ ගෙවල් පැත්තේ හිටපු මල්ලි කෙනෙක් . දැන් මිනිහා දොස්තර මහත්තෙක් වෙන්න කැම්පස් එනකං ඉන්නවා . එයාගේ බටනලා ටික දැන් තියෙන්නේ මම ගාව . මොකද එයාගාව තියෙනවට වඩා මම ගාව තියෙන එක පරිස්සම් කියලා මිනිහා මට ගෙනත් දුන්නා .

එහෙම ගෙනාවේ මම දවසක් මට එක බටනලාවක් ඕන කියලා කිව්වම . ඒ බටනලාව ඉල්ලුවේ අද මේ මම කියන්න යන ගීතය වාදනය කරන්න තිබ්බ ආසාව නිසා . බටනලාව ලාබ දෙයක උනාට සරල දෙයක් නෙවේ . එහෙම ලාබයි සරළයි කියලා බටනලාව පහත් කරලා කතා කරනවා මම අහලා තියෙනවා සමහර අය . මට ඉතින් අනින්න හිතෙනවා හොම්බට .





සංගීත භාණ්ඩ වලින් හදවතට කතා කරන්න පුළුවන් හොඳම වාද්‍ය භාණ්ඩය මේක කියලා ගොඩ දෙනෙක් කියනවා මම අහලා තියෙනවා . ඉන්දියන් ෆ්ලූට් සෙට් එකක් ගන්න කියලා සල්ලි එකතු කරා . අන්තිමට ඒවා වෙන වෙන ඒවට වියදම් වෙලා ගියා . දුක තමා මෙයාලා...... මට බටනලා පිඹින්න ඉස්සෙල්ලම ආසාවක් ඇති උනේ මෙන්න මේ සර් නිසා .





පොඩි කාලේ දැක්කා මේ සර් වාදනය කරනවා ටීවී එකේ . එදා වාදනය කරපු හඬ හිතට වැදුන නිසා වෙන්න ඕන බටනලා පිඹින්න අයිඩියා එන්න ඇත්තේ මටත් . අපි බලමුකෝ එහෙනම් මේ පඳුරු තලාගෙන ආපු ගීතය මොකක්ද කියලා .
සංගීතය නිසා මම ආදරේ කරපු ගීත වලින් එකක් මේක . මේ ගීතයේ යොදලා තියෙන සංගීතය , හිත වෙනමම තැනකට අරන් යන්න පුළුවන් සංගීතයක් .


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...


පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ






සංගීතය : ඔස්ටින් මුණසිංහ





ගායනය : නිරෝෂා විරාජිනි






මේ ගීතයේ අර්ථය ගැන හිතන්න කලින් අපි බලමු ගීතයේ සංගීත සංයෝජනය ගැන . මේ ගීතයේ ඉන්ට්‍රොඩක්ෂන් එක . එහෙමත් නැත්නම් පෙරවාදනය වාදනය කරන්න භාවිතා කරලා තියෙන්නේ බැන්ජෝ කියන වාද්‍ය භාණ්ඩය . ඒ වාද්‍ය භාන්ඩයට තියෙන්නේ ඒකටම අනන්‍ය වෙච්ච හඬක් . ගීතයට අනුව ගත්තොත් ඒ හඬේ ගැබ් වෙලා තියෙන්නේ රාත්‍රී අන්ධකාරය එක්කම හිතට නැගෙන දුක සහ ජීවිතයේ අවිනිශ්චිත බව .





ජීවිතයේ අවිනිශ්චිත බව කියලා මෙතන කිව්වේ , ගීතයේ කථා නායිකාව මේ ගීතයෙන් කියන්නේ තමාගේ සැමියා හේන පරිස්සම් කරගන්න පැල් රකින අවස්ථාවක් ගැන . ඉතින් මේ හේනට ඌරුමීයගේ ඉඳලා වල් ඌරා , වල් අලියා දක්වා සතුන් එන්න පුළුවන් . ඉතින් තමාගේ සැමියා ජීවිතය අනතුරක තියාගෙනම තමයි මේ පැල් රැල්කිල්ල කරන්නේ . ඉතින් ඒක ජීවිතයට අවදානමක් නේද ?





ඒ වගේම ගීතයට සවන් දෙනකොට විමසිල්ලෙන් ඇහුවනම් බාර් එකක් ඇර බාර් එකක් වාදනය කෙරෙන හයිහැට් වාදනයක් අහන්න පුළුවන් . ගීතය ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම මේ හයිහැට් බීට් එකත් වාදනය කෙරෙනවා . ඔයාලට ඒක අහන්න පුළුවන් උනානම් පොඩ්ඩක් මතක් කරලා බලන්න ඒ හඬ රෑට ඇහෙන රැහැයියන්ගේ සද්දෙට සමානයි නේද කියලා . මම හිතන්නේ මේ හයිහැට් එකට තට්ටු කරන්නේ ස්ටික් එකකින් නෙවෙයි . මේ හඬ ලබාගන්න නම් තට්ටු කරන්න ඕන බ්‍රෂ් එකකින් . බ්‍රෂ් එක කියලා කියන එක හරියට ඉරටු මිටියක් වගේ . ඒත් හදලා තියෙන්නේ ලෝහ කම්බි වලින් .





රාත්‍රියක් කියන හැගීම වැඩි දියුණු වෙනවා මේ හයිහැට් බීට් එකත් එක්ක වාදනය වෙන ගෙජ්ජි සද්දයත් එක්ක . සද්දේ ගෙජ්ජි උනාට මේ වාදනය වෙන්නේ නම් ගෙජ්ජි වෙන්න බෑ . පන්තේරුවකට පොඩි තට්ටුවක් දානවා වෙන්න ඕන . නැත්නම් ඕගන් එකකින් මේ නාදය ලබාගන්නවා වෙන්න ඕන .

ගීතයේ තාල වාදනය සඳහා භාවිතා වෙන්නේ තබ්ලාවක ජිල් එකක් ( පොඩි ගෙඩිය ) සහ ටිකක් මූණ ලොකු රබානක් . තබ්ලාවේ ජිල් කොටසින් වාදනයවන වාදනයයි රබානෙන් වාදනයවන වාදනයයි දෙකම එකට මිශ්‍රවෙලා අපිට අහෙන්නේ මම කලින් කිව්වා වගේම භය සහ අවිනිශ්චිත බවක් .









ගීතයේ වැඩිපුරම මම කැමති බටනලා වාදනයට . ඊට පස්සේ වැඩිපුරම අවදානෙන් අහගෙන ඉන්නේ බේස් ගිටාර් එකට . පෙර වාදනයත් එක්ක බේස් ගිටාර් එකත් වාදනය වෙනවා. පෙර වාදනය අවසන් වෙලා පුන්සඳ රෑට ඇවිදින් හේ කියලා කියනකොට බේස් ගිටාර් එක නිහඬයි . නේ යන්න කියනවත් එක්කම තමයි බේස් ගිටාර් එක නැවතත් තමාගේ ගුප්ත හඬ නිකුත් කරන්න පටන් ගන්නේ . ඒ අවස්ථාව ගීතයේ හොඳ තැනක් කියලා කියන්න පුළුවන් . ඒ වගේම මේ ගීතයේ බේස් ගිටාර් වාදන ශෛලිය වෙනත් ගීතවල බේස් ගිටාර් වාදනය කෙරෙන ශෛලියට වඩා වෙනස් . මේ ශෛලිය යොදාගන්න ඇත්තේ මම කලින් කිව්ව හැගීම් , ඒ කියන්නේ දුක භය අවිනිශ්චිත බව වගේම රාත්‍රිය කියන දේවල් ඉස්මතු කරන්න ඒ වාදන ශෛලියට හොඳින්ම පුළුවන් නිසා වෙන්න ඕන .





ගිටාර් කෝඩ් පංච් එකත් වාදනය වෙන්නේ
චන්ක් +   ච   චන්ක්
චන්ක් +   ච   චන්ක්
කියන රිද්මයකට . බේස් ගිටාර් එකෙන් එන බේස් බීට් එකත් එක්කම මේ ගිටාර් පන්ච් එකත් හොඳට ගැලපිලා යන්න වෙන්නැති මේ රිද්මයට පන්ච් කරන්නේ . ගීතයේ ගායනයවෙන අතරතුර වචන වලට යටින් වාදනය කෙරෙන කවුන්ටර් කොටස් මේ ගීතයේ වාදනය කරන්නේ ඕබෝ කියන වාද්‍ය භාණ්ඩයෙන් . වෙනත් ගීතවල සාමාන්‍යෙන් මේ කවුන්ටර් වාදනය වෙන්නේ වයලීන් වලින් . ඒත් මේ ගීතයේ කවුන්ටර් වාදනය කරන්න ඕබෝ එකක් යොදාගැනීම විශේෂිතයි . මොකද ඕබෝ එකේ තියෙන්නේ ටිකක් මූසල පාලු හැගීමක් ගෙනත්දෙන හඬක් .





මේ ගීතයේ කතා නායිකාව කියන්නෙත් තමන්ගේ පාළුව . ඉතින් වචනවලින් කියන පාළුව හිතට තවත් වැඩිපුර කාවද්දන්න පුළුවන් වෙලා තියෙනවා ඕබෝ එකක් මගින් කවුන්ටර් වාදනය කරන නිසා . ඕබෝ එකේ හඬ අහලා තියෙනවද දන්නේ නෑ සමහර අය . ඔය ගීතයේ වචන ගායනා කෙරෙනකොට ඒ යටින් ඇහෙනවා හොරණවක හඬක් . අන්න ඒ හඬ එන්නේ ඕබෝ එකකින් . කවුන්ටර් කියන්නේ ගීතය එහෙම ගායනාවෙනකොට ඒ එක්කම යටින් වාදනය කරන වාදන කොටස් වලට .





ගීතයේ අතුරු වාදනවලදී වාදනය කෙරෙන ෆ්ලූට් පාට් එකට තමයි ඔන්න වයලීනෝ නම් වැඩිපුරම කැමති . ඒක පට්ට . හේන් ගොවිතැන කියන හැගීම ඉස්මතු කරන්න ඒ වාදන කොටස දායක වෙනවා කියල කියන්නත් පුළුවන් වෙලාවකට . එහෙමත් නැත්නම හිතෙන්නේ ගෙවිලියගේ පාළුව ඉස්මතු කරන්න ෆ්ලූට් පාට් එක උදවු වෙනවා කියලා .

මේ ඔක්කොමත් හරි ඉතින් ගායිකාව ගැන කියන්නත් එපාය . නිරෝෂා මේ ගීතය ගායනා කරනකොට මමත් හෙන පොඩියි . නිරෝෂත් දැනට වඩා ගොඩක් වයසින් අඩුයි . ඒ කාලේ නිරෝෂට තිබ්බ කටහඬ නෙවෙයි දැන් තියෙන්නේ . මේ ගීතයට නිරෝෂගේ ඒ කාලේ කටහඬට වඩා ගැළපෙන්නේ දැන් කටහඬ කියලා සමහර වෙලාවල් වලදී මට හිතෙනවා . ඒක කොච්චර දුරට සාධාරණද නැත්ද කියලා දන්නේ නෑ . හැබැයි නිරෝෂාගේ දැන් කටහඬේ කලින්ට වඩා දුක මිශ්‍රවෙලා තියෙනවා .





ගීතයේ පද රචනය ගැන බලනවානම් මම හිතන්නේ මේ ගීතයෙන් අර්ථවත් කරන්නේ ගෙදර ස්වාමියා හේනේ පැල් රකින්න ගියාම ගෙදර තනියම ඉන්න බිරිඳගේ හිතේ ඇතිවෙන සිතිවිලි සමුදායක් ගැන .






පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

පුන්සද රෑට ඇවිදින් හේනේ කලුව බිඳ . ඒ කියන්නේ මේ කාලයේ රාත්‍රියට හොඳින් හඳ පායලා තියෙනවා කියන එකම වෙන්න බෑ . මෙතනින් අදහස් වෙන්නේ දවස ගෙවිලා රාත්‍රිය උදාවීම . කළුවර උනා රෑ උනා කියලා කියනවට වඩා ශ්‍රාවකයින්ගේ හිතේ රාත්‍රිය කියන හැගීම වැඩි දියුණු කරන්න උළුවන් පුන්සද රෑට ඇවිදින් හේනේ කළුව බිඳ කියලා කිව්වම . මේ හඳ එලිය නිසා අපේ ජීවිතයට , අපේ බඩගින්නට එළියක් දෙන්න පුළුවන් රත්තරන් කෙඳි වැනි වූ කිරිවැදීගෙන එන බඩඉරිඟු කරල් දීප්තිමත්ව දිළිසෙනවා . රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද කියලා කියන්නේ කාලය ගතවීමත් එක්කම හේන දැන් සශ්‍රීක වීගෙන එනවා කියන අවස්ථාව .

ඉතින් බඩඉරිඟු කරල් කිරිවැදීගෙන එනවානම් තුන්යම හීන බල බල ගෙදර ඉඳලා මොනවා කරන්නද . සමහරවිට මේ කාලයේ හීන බල බල ගෙදර හිටියනම් සත්තු ඇවිත් හේනේ තියෙන ඔක්කොම බඩඉරිඟු කාලා විනාස කරන්න පුළුවන් . ඉතින් එහෙම වෙන්න නොදී මේ වෙනකොට මගේ රන්කඳ නිදි මරාගෙන හේනේ පැල් රකිනවා ඇති .
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..
කියන පද දෙකෙන් අදහස් වෙන්නේ එහෙම දෙයක් .

හැබැයි මේ දෙන්නට ළමයි නෑ තාම . තාම නැත්ද නැත්නම් දෙන්නගෙන් කවුරුහරි ළමයි හදන්න අපොහොසත්ද කියලා හිතන්නත් පුළුවන් . එහෙමත් නැත්නම් ගෙදර අගහිඟකම් නිසා මෙයාලා ළමයි හදන්න තාම හිතලා නෑ වෙන්නත් පුළුවන් . ඒ ඔක්කොම නෙවෙයිනම් මේ දුක් ගීය ගායනා කරන කාන්තාව දැනට මාස දෙකතුනකට කලින් විවාහ උන කාන්තාවක් වෙන්න පුළුවන් . ස්වාමියා එක්ක යහන්ගත වීම අලුත බැඳපු කාන්තාවන්ට ඉතාම හැඟුම්බර අවස්ථාවක් . ඉතින් දැන් තුරුල් වෙලා යහන්ගත වෙන්න ස්වාමියත් ගෙදර නෑ . තාම දරුවෙකුත් නෑ , මොකද බැඳලා මාස කීපයයිනේ වෙන්නේ . ඉතින් පාළුව ඉවසාගන්න බැරුව මේ කාන්තාව පොල් අතු පැලේ මැටි පොළවේ හාන්සිවෙලා මෙහෙම හිතනවා .






නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...


නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
කියන පද දෙකෙන් කියවෙන්නේ මේ ගෙවිලිය දැන් ඉන්නේ ගෙදර ඉස්සරහා තියෙන මැටි පිල උඩ හාන්සි වෙලා . එතකොට එයාට පේනවා රාත්‍රී අහසේ පායන තරු කැට . මේ තරු තමා දිහා බලාගෙන ඉන්නේ හරියට තමන්ගේ හදවතේ තියෙන තනිකමට ඔච්චම් කරන්න වගේ .

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...
මෙතන මමනම් හිතන්නේ උපමාවක් තියෙන්නේ . මී අඹ කියන්නේ ඕපාදූප . ගිරවුන් කියන්නේ ගමේ ඕපාදූප හොයන කාන්තාවන් . මීඅඹ කන්න ගිරවුනි එන්න එපා හෙට කියලා කියන්නේ , දැන් ඔය සමහර ඕපාදූප හොයන ගෑණු ගෙවල් වලට ඇවිත් ඕපාදූප හොයනවනේ . එහෙම හොයන ගමන් මේ ගෙදරටත් එන්න පුළුවන් . ඒ ආවම ඒ අයටත් ඕන නැති එකක් නෑ කියලා පවුලේ විස්තර කතා වෙනවා . එහෙම කතා වෙනකොට ඒ අය අහන්න පුළුවන් මේ කාන්තාවගෙන්  “ දැන් බැඳලා මාස ගානක් වෙනවා නේද ? තාම පැටියෙක් බඩට ආවේ එහෙම නැත්ද “ කියලා . මේ කාන්තාවට රාත්‍රිය උදාවෙන්න කලින් සමහරවිට එදාම දවල් මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ද වෙන්න ඇති . ඉතින් ආයෙත් එහෙම අහන්න එපා මට තාම දරුවන් නැති නිසා එහෙම අහනකොට දුක හිතෙනවා කියලා මේ කාන්තාව මැටි පිලේ ඉඳගෙන ප්‍රාර්ථනා කරනවා . මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට කියලා කියන්නේ , ආදරය සෙනෙහස වගේම රාගය වගේ සිතිවිලි නමැති මල් සිත නමැති ගහේ පිපුනට ඒවා පලගෙන දරුවන් නමැති පලය තාමත් ඇතිවෙලා නෑ කියන අදහස දෙන්න කියලයි මම හිතන්නේ .





රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...


රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..

මේ පද දෙක ඇතුළුව දෙවෙනි අන්තරා කොටසින් කියවෙන්නේ තමන්ගේ ස්වාමියා ගෙදර නැති නිසා ඉදිරියේ තමන්ට අත්වෙයිද දන්නේ නෑ කියලා හිතන ඉරණම ගැන දුක්වෙන සිතුවිලි කීපයක් . හේනේ බඩඉරිඟු කිරිවැදිලා තියෙන නිසා ස්වාමියා දවල්ටත් හේනේ වැඩ . රෑටත් පල රකිනවා . තව කොච්චර කාලයක් මෙහෙම ඉන්න වෙයිද දන්නේ නෑ . සමහරවිට බඩඉරිඟු කපලා ගෙට ගන්නකන්ම දෙන්නට මෙහෙම ඉන්න වෙයි . දවසක් හරි පහු උනොත් සත්තු ඇවිත් ඔක්කොම කළා විනාස කර\නවා . ඉතින් ඒ නිසා දෙන්නට යහන්ගත වෙන්න කාලයක් ළඟදී නම් එන එකක් නෑ . ඒ නිසා ස්වාමියා සහ තමන් එකට නිදන යහන හීනයක් විතරයි කියලා එම පද දෙකින් කියන්නේ .

තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

ඉතින් මෙහෙම වැඩ කරන්න ගත්තම එකදිගටම කවදානම් අපි දරුවෝ හදන්නද . එහෙම දරුවෝ හදන්න ලැබෙන්නේ නැත්නම් මට හැමදාම වෙන්නේ මේ මැටි පිලේ තනියම ඉන්න නේද කියලා ගෙවිලිය කල්පනා කරනවා . එහෙම හිතලා මෙයා තව දුරටත් හිතනවා , මේ කන්නය ඉවර උනාම ආයෙත් වගා කරන්න පටන් ගනියි . එහෙම උනාම ආයෙත් වැඩ , අපිට යහන ගත වෙන්න වෙන එකක් නෑ ආයෙත් , ඒ නිසා මගේ කුස නමැති යහනාව දස මාසයක් තිස්සේ දරුවෙක් සතපවාගෙන ඉන්න පින් කරලා නැතිවදෝ කියලා .......

ගීතය අහන්න . පුළුවන් නම් මේ ලිපිය ආයෙත් කියවන ගමන් ගීතය අහන්න . එතකොට ගීතය කලින්ට වඩා හිතට දැනෙයි .



20 comments:

  1. මීට කලිං මනෝෂ් මේ සිංදුවටඅපූරු විචාරයක් ඉිදිරිපත් කරල තිබ්බ...
    කතාවක් විදියට... මාත් ආස සිංදුවක්.. මේකෙ අලුතෙන් කියන සිංදුවක නං නෑ ඒත් පරණ සිංදව තියේ නිරෝෂගෙ ළපටි කටහඩක් නෙව ඒ දවස් වල තිබිල තියෙන්නෙ.. දැං නං ටිකක් මැචුව වෙලා...
    අපූරු විචාරයක් සහෝ..

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමද . මට කියවන්න ලැබුණේ නෑනේ . :) :) :) පුළුවන් නම් ලින්ක් එකක් දානවද ?
      නිරෝෂාගේ කටහඬ ගැන නම් වෙනමම කතා කරන්න පුළුවන් . කාලයත් එක්ක පරිණාමය වෙනවා වගේ . ඒ ඒ කාලෙට නිරෝෂාගේ ගායන ශෛලියත් වෙනස් වෙලා . හැබැයි ගැලපෙන විදියට ....

      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  2. අංග සම්පූර්ණ විචාරයක් සහෝ - බොහොම ආසාවෙන් කියෙව්ව
    සංගීතය උගත් ඔබ වැනි අය රසවින්දනයද ප්‍රගුණ කර ඇති බව දැනෙන විට ඊලඟ පරපුරම ගැන සතුටක් දැනේ!
    ඔබ මිඩංගු කරන කාලයට බොහොම ස්තූති
    මගෙත් කැමතිම ගීයක් - පැරැණි සාහිත පොත පතෙහි ආභාෂය ගීය පුරාම තියනව - විජේසිංහ මහත්තය ඉතින් එව්ව අතැඹුලක් සේ දන්නා කෙනෙක් නෙව

    ReplyDelete
    Replies
    1. :) :)
      බොහොම ස්තූති ......
      කාලයනම් ඉතින් ගානක් නෑ . මේක ලිව්වේ නැත්නම ඉතින් එක්කෝ fb නැත්නම කොහේ හරි රස්තියාදුවේ යනවා මේදවස්වල කැම්පසුත් නිවාඩුනේ ... :) :)

      බොහොම ස්තූති g-) g-)

      Delete
  3. මේ සින්දුව අහනකොට මට මතක්වෙන්නෙ රත්නා ලාලනී කියන "මත වර වරනිඳුන්ට - මන බැදි සකිසඳුන්ට" කියන රත්නශ්‍රීගෙම පරණ සින්දුව. මේ දෙකේම ඇත් කතාවට එහා යන එකවගේ ගතියක් තීනව.

    අනික් පැත්තෙන් ඔය සින්දුව නිරෝෂගෙ පුද්ගලික ජීවිතේ එක්ක කොයිතරම් කිට්ටුවෙන් බැඳිල ඇතිද?

    වයලීනෝ අර නිරෝෂගෙ කටහඬ ගැන ක්යපු කතාව හරියට හරි. මම හිතන්නෙ අපිට ඉන්න අංක එකේ විරහී හඬ හිමි ගායිකාව නිරෝෂ කියලයි.

    තිස්සත් කිව්ව වගේ බොහොම සාර්ථක විචාරයක්.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ් නියම සින්දුවක්නේ මතක් කරේ..... පට්ට ආ ... අපේ ආච්චි ගොඩක් කැමති සිංදුවක් ඔය රත්නා ලාලනීගේ ගීතය .

      අනේ මන්දා ඉතින් ගොඩක් කළා කරුවන්ගේ පෞද්ගලික ජීවිතේ ගැන නම් ඉතින් කියන්න තියෙන්නේ බොහොම සෝචනීය සීන් ටිකක් තමයි .

      නිරෝෂාගේ මම කැමතිම ගීතය කරදිය සුළඟට සුසුමක් හැරදා ...... ඇත්තටම නිරෝෂා ගීත තෝරාගෙන හෝ එයාට ලැබිලා තියෙන්නේ එයාටම ගැලපෙන ඒවාට තමයි ... g-) g-)

      Delete
  4. පැල් බැඳගෙන සිංහල සින්දු අහපු කාලයක් තිබ්බ.. ඒ කා‌ලේ ටොප් 10 වල මේකත් තිබ්බ.. තේරුම නං එච්චර තේරුමක් තිබ්බෙ නෑ.. මියුසික් හින්දයි කටහඬ හින්දයි තමයි.. දැං නං රසවින්ඳනේ මොට වෙල... සින්දු ඇහිල්ල නැවතිල.. ඒත් මේවා තාම මතකයි...

    මීට අවුරදු හතරට විතර කලින් හඳල හැදෙන සින්දු වලින් කීයටම මේ ටික කියන්න පුලුවන් වෙයිද කියල මං මේ කල්පනා කළේ... අද අහන සින්දුව හෙට මතක නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. මීට අවුරදු හතරකට විතර කලින් ඉඳල හැදෙන සින්දු වලින් කීයකට *

      Delete
    2. දැනට අවුරුදු හතරකට පහකට කලින් ඉඳලා හැදිච්ච සිංදු ගැන මෙහෙම කියන්න කෙසේ වෙතත් ඒවා හොඳට කන්න නම් පුළුවන් :p :p :p :p

      බොහොම ස්තූති මෙයා :) :) :)

      Delete
  5. සංගීත බාණ්ඩ ගැන කියලා තිබුන කොටසට වැඩියෙන් මනාපයි..

    ReplyDelete
    Replies
    1. එල එල
      බොහොම ස්තූති g-) g-)

      Delete
  6. වයලීනුවෝ.......උඹ ලියපු ලිපිවලින් සාර්ථකම ලිපියක්. මම ඉතා තදින් රසවින්දා. උඹේ පහුගිය අතපසුවුනු ලිපි ටිකත් දැන් කියවන්න ඕන. උඹ නැවත ට්‍රැක් එකට ගොඩවීම සතුටක්. ඉඳලා හිටලා පිස්සුවක් කෙලියාට කමක් නැහැ. හැමදාම නැතුව. මොකද උඹලා දක්ෂ ළමයි.

    අර බටනලා වාදනය කරන්නේ හේමපාල පෙරේරා මහත්මයා නේද..ඔහු බදුල්ල පලාතේ නේද. මේ ජාතික සම්පත්.

    ReplyDelete
    Replies
    1. :p :p :p :p

      බොහොම ස්තූති මෙයා .
      ඔව් ඔව් හේමපාල සෑර් තමා . බදුල්ලෙද කියලා නම් දන්නේ නෑ :(

      Delete
  7. @වයලීනෝ ජී,

    හුරේ......................! 65000වෙනි හිට් එක පිල්ලි ජීගෙන්!!!!!!!!!

    බොහොත් අච්චා පෝස්ට් හේ.........!

    කීප් ඉට් අප්!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඌ යේ..................
      පිල්ලි ජී
      තුම්සේ කොමෙන්ට් ස්ටයිල් අච්චා ලගතා හේ .
      ශුක්රියා පිල්ලි......
      g-) g-)

      Delete
  8. හොඳ විචාරයක් වයලීනෝ... මම කලිනුත් දවසක කිව්වා, සිංදුවල අරුත විචාරය කරන්න කීපදෙනෙක් හරි හිටියත්, සංගීතය විචාරයක් නම් වෙන්නෙම නෑ කියන එක. බොහොම සවිස්තරාත්මකව ගීතයට උපයෝගී කරගෙන තියන සංගීත භාණ්ඩ සහ සංගීත උපක්‍රම ගැන කතා කිරීම තමයි මට මෙහි තියන වැදගත්ම දේ. ඒ වගේම නිරෝෂාගේ 'රෑ දොලොස් පැයේ' ගීතයත් සංගීතයෙන් සෑහෙන ගේමක් දීපු ගීතයක් කියලා මට හිතෙන්නේ.

    නිරෝෂා මේ ගීතය ගායනා කරන කාලෙදි සාමාන්‍යයෙන් ගායනා කලේ ඉහල පරාසයක ස්වර වලින්. මේක නිරෝෂාගේ සංගීත දිවියේත් වෙනසක් ඇතිකල ගීයක් විදිහට ඇය හඳුන්වනවා. "මී අඹ කන්න එන ගිරවුන්" ගැන උඹේ පැහැදිලි කිරීමට මම කැමතියි.

    මේ ගීය ගැන මට මතක හැටියට මහින්ද චන්ද්‍රසේකර විවේචනයක් කරලා තිබුණා. සැමියා පැල් රකින නිස ළමයි හදන්න බැහැ කියන එක හිතළුවක් විතරයි කියලා. මහින්ද කිව්වේ එයාගේ තාත්තත් පැල් රැක්කලු, හැබැයි පවුලේ ළමයි නම දෙනෙක් ඉන්නවලු. ඒ වගේම තමයිලු අවට අවට හිටිය හේන් ගොවියෝ ඔක්කොමට ළමයි බර ගණන් ඉන්නව්ලු.

    ReplyDelete
    Replies
    1. ෂඃ අපි දෙන්නටම එකම දේ හිතිලා තියෙන්නේ . මට රෑ දොළොස් පැයේ සිංදුවයි මේකයි පැටලෙනවා . සමහර වෙලාවට මේ සිංදුව මුමුණ මුමුණ ඉන්නකොට දන්නෙම නැතුව රෑ දොළොස් පැයේ සිංදුව කියවෙනවා . මම මේක ලියත්දිත් කල්පනා කරා මේ සිංදු දෙකම එක වගේ නේද කියලා . හැබැයි වැඩිය ඒ ගැන හිතලා නෑ . මතක් කරපු එක වටිනවා . මම ඒකත් අහලා ඒ ගීතයේ සංගීතය ගැනත් ලියන්නම් .බොහොම ස්තූති මතක් කලාට :)

      මේ මම අහන්න හිටියේ රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද කියන කොටසෙන් අර්ථවත් වෙන්නේ මොකද්ද ? . ඕකට වෙන වෙන අර්ථ ලියවිලා තියෙනවා මම දැක්කා ලිපියක . ඒත් ඒක මේකට කොහෙත්ම ගැලපෙන්නේ නෑ . ඕකත් මම හරියට කල්පනා කරලා ගලපලා ලියාගත්තේ .

      ඔව් සැමියා පල රකින නිසා ළමයි හදන්න බෑ කියන එක බොරුවක් . ඒකැ මේක ලියත්දී මටත් හිතුනා . ඒත් අලුත බැඳපු දෙන්නෙක් කියලා කිව්වේ ඒක කොයි විදියකින් හරි ගීතය එක්ක ගලපන්න ඕන නිසා . අලුත බැඳපු ගෑණු ළමයෙක් නිසා සිතුවිලි ටිකක් බොළඳ වෙන්න බැරිද . සාමාන්‍යෙන් කෙල්ලෝ පියවරෙන් පියවර දිගට දිගට හිතලා අහසේ මාලිගා වගේම පසුතැවිලි වෙන්නත් හරි දක්ෂ අයනේ . මෙයාටත් ළමයි හම්බෙන එකක්ම නෑ කියලා හිතනවා කියලා මම ලිව්වේ ඒ අදහස ගන්න . :)

      Delete
    2. මගේ ලැප් එකේ සිංදු ටික ඔක්කොම මැකිලා තිබ්බේ . ඔන්න අද තමා ආයෙත් සිංදුවගෙන් කොපියක් දාගත්තේ . ඒ සිංදුටික අහන්න ඕන . මොකද දැන් තිසරත් කිව්වේ මේ ගීතයයි රෑ දොළොස් පැයේ ගීතයයි සංගීතය අතින් ගැඹුරු විදියට නිර්මාණය වෙලා තියෙනවා කියලනේ . මට සමහර ගීත ඇහෙනකොට හිතෙනවා මේ ගීත වලට එකම කෙනාද තනු දැම්මේ කියලා . මොකද භාවිතාවෙන සංගීත භාණ්ඩ වාදන ශෛලීන් වගේම යොදලා තියෙන ස්වර පරාස උනත් හරිම කිට්ටුයි .

      උදාහරණයක් කියනවනම් දිවුල්ගනේ මහත්මයාගේ

      ඔබට වරම් නැති
      ඔබ මා හමුඋන
      නෙතට උළෙලක්

      කියන ගීත තුනම මට අහෙන්නේ හැටිම කිට්ටු විදියට නිර්මාණය වෙලා තියෙනවා කියලා . වයලීන් ගහන්න ගත්ත මුල කාලේ මට ඉස්කෝලේ වැඩිහිටි සහෝදර සහෝදරියෝ කියනවා ඔය ගීත තුනම වාදනය කරන්න කියලා . පස්සේ කාලෙකදී මට දැනුන දේ තමයි මේ තුනටම ඇඟිලි හැසිරෙන්නේ එකම විදියට කියලා . එහෙම තිබ්බ තවත් ගීත කීපයක්ම තිබුනා . ඉන්නකෝ මතක් කරලා දාන්නම් :)

      Delete
  9. කාලෙකින් මේ සින්දුව ඇහුවේ.... උඹ කරන විචාරත් එක්ක ඇත්ත එකක් දැම්මත් ජෝක් එකක් වගේ හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. :) :) :) :)

      බොහොම ස්තූති .
      උකුස්සයියා වෙනුවෙන් ලියන්න ගත්තා පොස්ට් එකක් අද .
      හෙට දානවා අනිවා කොහොම හරි . g-) g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.