Friday, July 18, 2014

ගමට නොපායා හන්තානට පෑයූ ඒ පුර හඳ





" මොනවද මිනිහෝ මෙච්චර දවස් කරන්නේ ? තමුසෙට මම ඕඩර් එක ගෙනත් දුන්නේ තමුසෙ හොඳට වැඩ කරනවා කියලා හිතලා . දැන් බලනවා අද ඒ මිනිස්සු කඩේට ඇවිත් මගෙන් බඩු ටික ඉල්ලුවම මම මොනවද ඒ මිනිස්සුන්ට කියන්නේ ? "

" අනේ මුදළාලි ගෙදර උන්දා නැතිවෙලා හත්දොහේ දානේ දුන්නේ පෙරේදා . අද තමයි වඩු මඩුවට එන්න හිත හදාගත්තේ "

" උඹලගේ ගෙවල් වල ප්‍රශ්න වලින් මට වැඩක් නෑ . හොඳ හිතින් ඇඳන් දෙකයි පුටු සැටියෙයි වැඩ ටික ඉවර කරලා තියනවා . මම අනිද්දා එනවා . අනිද්දට වැඩ ඉවර වෙලා තිබ්බොත් එහෙමයි , නැත්නම මම ආයෙ තමුසෙට මගේ වැඩ භාර දෙන්නේ නෑ . තමුසෙ වෙන මුදළාලි කෙනෙක් හොයාගන්නවා වඩු වැඩ අල්ලගන්න "

" මම කොහොමහරි වැඩ ටික ඉවර කරන්නම් මුදළාලි . මුදළාලි අනිද්දා දිහාවට එන්නකෝ "





අම්මා , මාත් තාත්තාත් හැරදමා මෙලොවින් ගොස් අදට ගතවන්නේ දහවන දිනයයි . හත්දවසේ දානය දුන්නේ පෙරේදාය . ඒ සියල්ලද නිමවී පාසල් ගියේ අදය . අම්මා නැති අඩුව දැන් දැන් හිතට දැනෙන්නේ පාසල් නිමවී මා ගෙදර එනතුරු බලා හිඳින ඇය අද නැති බව තවදුරටත් දෘශ්‍යමාන වන විටය . මම පවුලේ එකම දරුවා වීමි . 

තාත්තා මමත් අම්මාත් ජීවත් කලේ දවස පුරා යතු කැටයට ඔහුගේ දෑතේ සවිය යට කිරීමෙනි . කුඩා කල සිටම වඩු මඩුවේ යතු සුඹුළු මත පියවර මනිනලද මාහට වඩු වැඩ කිරීමට තදබල ආශාවක් නොතිබුණේ මා ඉගෙනීමෙන් ඉහලට යනවා දැකීමට අම්මාත් තාත්තාත් මාහට ඒ කාලයේ සිටම කාවද්දන ලද බලාපොරොත්තු සමුදාය හේතුවෙනි .

එහෙත් දෑතේ සවියෙන් කරන මේ රැකියාව ඉගෙනගෙන තිබීම මතුවට හෝ ප්‍රයෝජනවත් වන්නට පුළුවන් හෙයින් නියනට කියතට යතුකැටයට මෙන්ම කැටයම් උපකරණ කට්ටලයටද කාලයක් තිස්සේ මා අත හුරු කරගෙන සිටියෙමි . තාත්තා හට ලැබෙන ඕඩර් වල කැටයම් කැපීමෙන් සමහර අවස්ථා වලදී මම ඔහුට සහාය උනෙමි . එහෙත් පාසල් වැඩ කරගැනීමට කාලය අවශ්‍ය හෙයින් අම්මාද තාත්තාද වඩු මඩුවෙන් මා පිටමං වී යනතුරු මැසිවිලි නගයි . අද ඒ මැසිවිල්ල නගන්න අම්මා නැත . පාසල ඇරී ගෙදර එනවිට අසන්නට ලැබුණේ ටවුමේ ලී බඩු සාප්පුවේ මුදලාලිගේ මැසිවිල්ලය . 

දැනට සති තුනකට පළමුව ඔහු ලී දඬු ගොඩක් ගෙනවිත් වඩුමඩුවේ තැම්පත් කරේ ඇඳන් දෙකක් සහ පුටුසැටියක් නිර්මාණය කරදෙන ලෙස කියමිනි . ඒ ඔහුගේ ලීබඩු සාප්පුවට ආ ඇනවුමක් සපුරාලන අටියෙනි . කෙතරම් කලට වෙලාවට වැඩ කලද , දවසේ පැය 24ම වැඩ කලද තාත්තා ලබන්නේ සොච්චම් මුදලකි . ඔහු අතින් නිමවන , ධනවතුන්ගේ නිවෙස් අලංකාර කරනු ලබන විවිධ මාදිල්යේ ගෘහ භාණ්ඩ දෙස නෙත් යොමන මාහට සිතෙන්නේ ඔහු ඒ සඳහා ලබන මුදල ඉතාමත් අල්ප බවය . එහෙත් මේ අපගේ දෛවයයි . 





" මොකද තාත්තේ අද මුදළාලි ආවේ ? "

" මේ වැඩ ටික ඉවර කරන්න තිබ්බේ අද ළමයෝ . ඒත් පහුගිය ටිකේ වෙච්චි දේවල් එක්ක කොහේ කරන්නද . ඒත් එහෙමයි කියලා අම්මා නෑ කියලා දුක් වෙවී උන්නට උඹට මට කන්න දෙන්න කවුරුවත් දැන් මේ ලෝකේ නෑ . වෙනදා අම්මා තම්බන බත් හැලිය අද ඉඳලා තම්බන්නේ මම කියලා හිතෙනකොට මේ හැම දේම දමලා ගහලා ඔලුව හැරිච්ච අතේ යන්න හිතෙනවා . ඒත් උඹ හොඳට ඉගෙන ගනින් . උඹ ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙයන් පුතේ . අම්මා උඹට ආශිර්වාද කරාවි . අදයි හෙටයි නැහිලා මේ වැඩ ටික ඉවර කරන්න ඕන . නැත්නම් මුදළාලි මාව මරාගෙන කයි " 

" ඉන්න මමත් කාලා එන්නම් උදවු වෙන්න " 

" ඉස්කෝලේ වැඩ ඉවර කරලා එන්න . ඒවා තියාගෙන මේවට නහින්න ඕන නෑ . එහෙමත් ඉවර කරන්න බැරිනම් එන්න ඕන නෑ , ඒ වැඩ ඉවර කරගනිං කොහොමහරි . මට මේ ටික කරගන්න පුළුවන් "

තාත්තා එසේ කීවද මල් වැල් කීපයක් සහ මිදී පොකුරු කීපයක් කැපීමට පැන්සල් තුඩ විසින් නියමවී වී තිබුණු හෙයින් ඒවා ඔහුට තනියම කිරීමට නොහැකි බව මම තේරුම් ගතිමි . සාමාන්‍යපෙළ විභාගයට ඇත්තේ තවත් මාස දෙකකි . මේ සියල්ල මැද්දේ ඒවාද සිහිවනවිට ඒ සියල්ලම අතහැර රැකියාවකට යන්නට සිත බල කරයි . එහෙත් මෙවන් අවස්ථා වලදී ජීවිතය කෙසේ හෝ ජයගත යුතුය යන මතය යටි සිතේ සිට වහා දිවවිත් උඩුසිත පුබුදුවාලන හෙයින් මා වඩවඩාත් ශක්තිමත් වීමි . 






තාත්තා සමග වැඩ කිරීමෙන් අවශ්‍ය වේලාවට ඇඳන් දෙකේ සහ පුටු සැටියේ වැඩ ඉවර කරගන්නට අපට හැකි විය . එබැවින් තාත්තාට මුදලාලිගේ දොශාරෝපනයෙන් ගැලවීමට හැකි වීම පිළිබඳව මා සතුටු විය . එහෙත් ඒ සතුට බොඳ කරලන්නට මුදළාලි ඒ සඳහා තාත්තට ගෙවන ලද මුදලට හැකි විය .

මේ සියලුම ප්‍රශ්න මොහොතකට අමතක කරවන්නේ 11 වසරේ මුල භාගයේ සිට මා හා සෙවනැල්ල සේ හුන් ඇයයි . ඇයද අපේ ගමේම ජීවත් වූ අහිංසක දැරියකි . දෙදෙනාම එකම පවුල් පසුබිමකට අයත් හෙයින් අපගේ සිතුවිලි යා වූයේ ගෙදර බර මොහොතකට බිමින් තියමිනි . මුදල් හදල අතින් ගත්විට ඇයට වඩා තරමක හයියක් අප හට තිබුණා යැයි පිළිගත හැකිය . 

නමුත් ඇයට හොඳින් ඉගෙන ගැනීමේ හැකියාවක් තිබිණි . මේ ජීවිතයෙන් අපි මදක් හෝ ඉහලට එන්න වෙරදරමු කියමින් ඇය මා හා පවසන්නේ කෙසේ හෝ ඇය වෛද්‍ය වරියක් වීමට ආශා කරන බවයි . එතරම් දිගු කාලීන බලාපොරොත්තු මාගේ හදවතෙහි පැලපදියම් වී නැතත් ඇයගේ ඒ ආශාවට මම තදින්ම ආශා කලෙමි .





" නවීන් , අම්මා නැතුව දැන් ගෙදරම පාලු ඇති නේද ? " 

" හ්ම්ම්ම්......... අම්මා හිටපු කාලෙට වඩා අම්මගේ අගේ දැනෙන්නේ දැන් තමයි "

" අම්මා ගෙනාපු ආයුෂ ඉවර වෙන්නැති . ඒත් අම්මා ඔයා එක්කම ඉඳියි හැමදාම " 

" මම ඊයේ අම්මව හීනෙන් දැක්කා . මොනවා හරි කිව්වා . මට තේරුනේ නෑ . හැබැයි අම්මා මගේ දිහා ආදරෙන් බලාගෙන හිටියා " 

බොඳවයන මගේ දෙනෙත දෙස මදක් වෙලා බලා සිටි ඇය මගේ උරහිසින් අල්ලා 

" දැන් ඉතින් අඬන්න හදන්න නම් එපා . මට බෑ ඔයා අඬනව බලාගෙන ඉන්න . අපි හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එමු . එතකොට අම්ම ඉන්න තැනක ඉඳලා සතුටුවෙයි , මගේ පුතා හොඳින් ඉන්නවා කියලා " 

" මට තාත්තා ගැන දුකයි අමන්දා . වඩු මඩුවේ අත හම යනකන් ලී යතු ගානවා . දවස් ගණන් නිදි නෑ . මේ හැම දේම කරන්නේ මම වෙනුවෙන් කියලා හිතෙනකොට මේ ඔක්කොම අතාරලා දාලා මොකක් හරි රස්සාවක් කරන්න යන්න හිතෙනවා . ඒත් ඕලෙවල් වත් පාස් නැති අපිට රස්සාවල් කවුරු දෙයිද ? "

" මේ මේ ඕවා ගැන හිතන්න එපා . හැමදේම ලොකුවට හිතේ තියාගෙන විඳවන්න එපා . බලන්න අපේ ගෙදරත් ඔයිට වඩා ප්‍රශ්න ගොඩක් . මමනම් ඕවා හිතන්නේ නෑ . ලැබෙන දේ පිරිමහගෙන ඉන්න බලනවා . මට ඕන කොහොමහරි මගේ ටාගට් එකට යන්න "






අහිංසක ඇගේ මුවින් පිටවන්නේ මෙවන් අදහස්ය . එක අතකට ඇය හරිය . මෙවන් ප්‍රශ්න විඳින්න තරම් අප තවම කුඩා වැඩිය . එබැවින් කල යුත්තේ ඉගෙන ගැනීම හොඳින් කිරීමය . සාමාන්‍යපෙළ විභාගයට මම හොඳින් පාඩම් කලෙමි , මුහුණ දුන්නෙමි . ඒත් සමගම අම්මා නැති වීමෙන් ඇදවැටුණු ජීවිතයේ අනික් භාගයද අද වැටිණි . 

ඒ සාපෙළ ලියා ගෙදර ඉන්න ටික කාලයේ අංශභාගය සැදී තාත්තා ඇඳට වැටීමෙනි . ගමේ වෙද මහතා වෙදකම් කලද ඒ හැටි ගුණයක් තිබුණේ නැත . දුර පළාත්වල සිටින දක්ෂ වෙදුන් පිළිබඳව ආරංචි ලැබුනද තාත්තා ඒ අය වෙත ගෙනයාමට මාහට හයියක් තිබුණේ නැත . අතමිට සරු නෑයින් කීප දෙනෙක් ඇතත් ඔවුන් ඒවනවිට අපව අමතක කර ඇත . 

කෙසේ හෝ දැන් වඩු මඩුවේ වැඩ සියල්ල කෙරුනේ මගේ අතිනි . එක එක ඕඩර් රැගෙන එන මුදළාලි වඩු මඩුවෙන් මිදීමට මට අවස්ථාවක් දුන්නේම නැත . එහෙයින් තාත්තාද රැකබලාගත යුතු නිසා මම ලැබෙන ලැබෙන වැඩ කරමින් අතට ලැබෙන සොච්චම් මුදලට අනුව ජීවත් වීමි . සාපෙළ ප්‍රතිඵල ආවේ මේ අතරවාරයේය . උසස්පෙළ කිරීමට මම සමත් වී තිබිණි . අමන්දාද සමත් වී තිබිණි . ඇය ජීව විද්‍යාව කිරීමට සුදුසුකම් ලබන්නට තරම් ප්‍රතිඵලයක් ලබා තිබිණි . 







" දැන් ඉතින් තව අවුරුදු පහක් හයක් යනකොට ඔයා දොස්තර පැටියෙක් නේද ? " 

" ඉතින් නවීන් ඔයා මගේ දොස්තර මහත්තයනේ "

" මට බෑ ඉගෙනගන්න . තාත්තා බලාගන්නේ කොහොමද ? අපිට සල්ලි හම්බෙන්නේ කොහොමද මම වැඩ කරන එක නතර කරාම ? . ඔයා ඉගෙනගන්න . මම මේ විදියට ඔලුව උස්සන්න බලන්නම් " 

" ඉතින් අනේ මටත් වියදම් කරන්න ගෙදර අයට අමාරුයි . අපි කොහොම කොහොම හරි ඇදගෙන යන් නවීන් . නැත්නම් මෙච්චර කල් ඉගෙන ගත්ත එකෙන් වැඩක් වෙන්නේ නෑ " 

" මම තීරණයක් ගත්තා ඔයා ඉගෙන ගන්න . පුළුවන් විදියට මමත් උදවු කරන්නම් "

පුළුවන් විදියට මමත් උදවු කරන්නම් යැයි කියන විට මගේ හිසේ දැල්වී ගියේ ඇඳේ වැතිර සිටින තාත්තා , වඩු මඩුව ,  බාගෙට වැඩ නිම කරන ලද ගෙදර වැනි චිත්ත රූප කීපයක්ය . මාගේ පාදපරිචාරිකාව වන්නට පෙරුම් පුරන ඇයද දැන් මගේම ජීවිතයේ කොටසක් හෙයින් මා ඇයටද උදවු කරන්නට සිතාගතිමි . 

උසස්පෙළ පංති ආරම්භ විය . ඇය දැන් නැවතත් පාසල් යයි . සමහර දිනයන්හීදී ඇය වඩුමඩුවට පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදී මාගේ පාළුව මකාලයි . බොළඳ වදන් වලින් ගැවසුණු වඩුමඩුව සමහර දිනයන්හිදී ඇයගේ සිනහවෙන් ඒකාලෝක වෙයි . 

ඇය 13 වසරට පැමිණි විට තරමක් දුරට අපගේ හමුවීම් සීමා විය . සමහරවිට පාඩම් වැඩ අතපසු වේ යන බියෙන් ඇයගේ පවුලේ අය ඇයව සීමා කරනට ඇත . කෙසේ වෙතත් මේ කාලය වනවීට මටද වැඩ අධික විය . ටවුමේ අලුත් ලීබඩු සාප්පුවක් ආරම්භ කරන ලද මුදලාලි කෙනෙකු මා හා මිත්‍ර විය . ඔහුගේ ලීබඩු සාප්පුවේ සියලුම වැඩ මගේ වඩුමදුවට භාර දෙන්නට ඔහු කැමත්ත දැක්වීය .

" ඒත් මුදළාලි මම විතරනේ වඩු මඩුවේ ඉන්නේ . මම තාත්තගේ වැඩත් කරලා මේ ටික හරි කරගෙන යන්නේ අමාරුවෙන් . තව වැඩ වැඩි වෙනකොට මට තනියම කරගන්න අමාරුයි "

" ඉතින් නවීන් ඔයා ඒක වැඩිය හිතන්න එපා . අපි ඒකට විසඳුමක් හොයා ගමු . මම එවන්නම් තව බාසුන්නැහේ කෙනෙක් . එයාට අපි මාස් පඩි දෙමු . මුල කාලේ ඔයා ඒගැන වැඩිය හිතන්න ඕන නෑ . මම ඒක බලාගන්නම් . පස්සේ ඔයාට අතමිට සරු වේගෙන එනකොට එයාට පඩි දෙන එක ඔයා කරන්න . මටත් ඉන්නවා ඔයා වගේ පුතෙක් . හැබැයි මහ කම්මැලි ගහක් . ඒ වගේ උන්ට වියදම් කරනවට වඩා මම කැමතියි ඔයා වගේ දුක දාන්න මිනිස්සුන්ට උදවු කරන්න . මොකද මමත් මේ තත්ත්වෙට ආවේ ගොඩක් දුක් විඳලා " 







ඔහු සැබෑම දෙවියෙකි . දින කීපයකින් මගේ වඩු මඩුවට අලුත් සාමාජිකයෙකුද එක් විය . ඔහු හා මා හරි හරියට වැඩ කරමින් අවශ්‍ය ලීබඩු නිර්මාණය කළේය . දැන් මගේ අතමිට තරමක් සරුය . අමන්දාගේ සමහර ක්ලාස් වලට මුදල් ලබා දෙන්නේද මමය . ඇය එය ගැනීමට අදිමදි කලද කෙසේ හෝ එම මුදල ඇයගේ අත මිට මෙලවීමට මම වගබලාගත්තෙමි . 

තාත්තා තවත් ඔත්පල වන්නට මත්තෙන් මම ඔහුව වෙදකම් කිරීම සඳහා දක්ෂ වෙද මහතෙකු වෙත රැගෙන ගියෙමි . එම වෙද මහතා මාස කීපයක් වෙදකම් කිරීමෙන් පසුව තාත්තාට තරමක ගුණයක් ඉන් ලැබිණි . එනිසා ඔහුට හැරමිටියක ආධාරයෙන් ඇවිදීමට පුළුවන් කම ලැබිණි . තනිවම සියල්ල කරගත නොහැකි වූවත් ඔහුගේ සුළු සුළු රාජකාරි ඔහුට කරගත හැකි විය . 

දිනක් සවස මම වඩු මඩුවේ වැඩ නිමවී යතු සුඹුළු අතුගාමින් උන්නෙමි . අමන්දා එදින ක්ලාස් නිමාවී ගෙදර යන අතරවාරයේ වඩු මඩුවට පැමිණියේය . ඇයගේ නෙත ගැටුණේ ලී බඩු සාප්පුවට යැවීමට නිමවා තිබුණු මල්කම් ලියකම් වලින් හැඩගැසුණු යහනාවක්ය .

" නවීන්  ඔයාද මේක හැදුවේ ආ ???? කියන්නකෝ " 

මම සිනාසුනෙමි 

" අනේ අපිටත් කවදාහරි බැන්දම දොයියන්න මේවගේ එකක් හදමුකෝ "

" දොයියන්න ? ඇයි දොයියන්න විතරද ? " 

" හාපෝ....... මෙයා නරක වෙලා තියෙන තරම් . ඉස්සර හිටපු අහිංසක නවීන් නෙවේ දැන් ඉන්නේ . වඩු මහත්තයෝ දැන් ඔයා හරිම නරක් වෙලා . දවසකුත් කිව්වා ඔහොම කතාවක් "

" එහෙම තමා දියුණුවෙන ජනතාව උනාම "

" ඇත්තටම එහෙම එකක් හදන්නකෝ . දැන්ම ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න . එතකොට බඳින කාලේ ආවම ඉවර කරගන්න පුළුවන් " 

" ආ දොස්තර නෝනා අපි ගැන හිතන් ඉන්නේ එහෙමද ? . ඕක හදන්න මට සතියක් යයි ඕන නම් " 

" අනේ එහෙනම් දැන්ම හදන්න ගන්නකො . මට ආසයි ඉක්මනටම ඒක කොහොමද කියලා බලන්න . අනේ නවීන් එකක් හදන්න පටන් ගන්නකො " 

" හා එහෙම බෑ දොස්තර නෝනා , අපිට පොඩි ඇඩ්වාන්ස් එකක් ඕන " 

අප දෙදෙනාම එක්ව සිනාසීමු . ඇයගේ පෙරැත්ත කිරීමත් සමගම මම අප දෙදෙනාට කවදාහෝ යහන්ගත වීමට යහනාවක් තැනීමේ කාර්යය ඇරඹීමි  . සමහර දින වලදී අමන්දා පැමිණ මල්කම් ලියකම් කිරීම් පිළිබඳව අදහස් දැක්වීය . අතන අරවිදියේ මල් ටිකක් දාමු , ඔහොම කැතයි අනේ , වගේ නොයෙක් දේවල් ඇය පවසන ලදී . කෙසේ හෝ මේ තනන්නේ ඇයගේ ඉල්ලීම නිසාවෙන් ඇයගේ සිතැඟි පරිදි එය ඉටු කිරීමට මම තරයේ සිතාගත්තෙමි . 

ඇය උසස්පෙළ විභාගය ලියනලදුව මාස කීපයකින් ප්‍රතිඵල නිකුත් විය . ඇය විභාගය සමත්ය . ඇයට යාමට හැකිවන්නේ පේරාදෙණි සරසවියට බව වරෙක ඈ මාහා පැවසුවාය .

අපගේ බැඳීම පිළිබඳව අස්ථාවර බවක් දැනුනු පළමු අවස්ථාව එයයි . 

"  අමන්දා ගමෙන් යනවා නේද එහෙනම් ? "

" නැතුව ඉතින් දොස්තර නෝනා කෙනෙක් වෙන්න බෑනේ නවීන් "

" හ්ම් හ්ම්ම්ම් ........ කමක් නෑ . එහෙම ගියාම මේ නවීන්ව අමතක වෙයිද දන්නේ නෑ "

" එහෙම වෙන්නේ නෑ . මම හැම සතියෙම එනවා ඔයාව බලන්න . ඔයත් එන්න මාව බලන්න "

" දොස්තර නෝනට දොස්තර මහත්තුරු බැල්ම දායිද දන්නේ නෑ " 

" ඒ උනාට මම බැල්ම දාන්නේ ඔයාටනේ............ "

කියමින් ඇයගේ දඟකාර සිනහව පානු ලැබිණි .



ඇය සරසවි අධ්‍යාපනයට ගමෙන් නික්ම ගියාය . අම්මා නැති අඩුව තරමක් හෝ නැති කල ඇයද දැන් ළඟ නැත . වඩුමඩුව දැන් තරමක් සාර්ථකය . මගේ අතමිටද සරුය . එම මුදල් වලින් මම බාගෙට අටවා තිබුණු ගෙදර පිළිවෙලකට සදන්නට මුල පිරීමි . මටද අමන්දාටද හමුවීමට වෙනදා මෙන් නොහැකිවන නිසා මම ඇයට ජංගම දුරකථනයක් මිලදීගෙන දුන්නෙමි . මමද ජංගම දුරකථනයක් මිලදී ගත්තෙමි . 

දැන් ඇය ගතින් දුර සිටියත් විනාඩි කීපයකට හෝ මා අසලට දුරකථනය හරහා පැමිණේ . වසරක් පමණ කාලයක් ගතවන තුරු අපගේ පුංචි කැදැල්ල නොවෙනස්ව පැවතිනි . මාගේ මඩු මඩුව තරමක් විශාල කර සාදා අලුත් සේවකයින් හා වඩු බාසුන්නැහෙලා කීපදෙනෙක්ම වැඩට ගත්තෙමි . දැන් වඩු මඩුවේ මම වැඩි වැඩක් කරන්නේ නැත . සියලුම වැඩ බලමින් මම තවත් දියුණුවීමට ඇය හා සැලසුම් ඇන්දෙමු . 

නමුත් ඇයගේ දෙවන වසර අධ්‍යාපනය අරඹනවාත් සමගම මා හා බැඳී බැමි තරමක් බිඳෙන බවක් මට දැනිණි . අය කෙරෙහි අහිතක් හිතන්නට හැකියාවක් නොවුනද ඇය දැන් වෙනස්ය .

" අමන්දා ඇයි කතා කරේ නැත්තේ ඊයේ ? මම දෙතුන් පාරක් ගත්තා "

" අනේ මට නිකරුනේ කතා කර කර ඉන්න වෙලාවක් නෑ ඔයාට වගේ . මට වැඩ තියෙනවා " 

මේ අයුරින් ඇයගේ වෙනස කාලයක් යනවිට අප වෙන්ව යන තරමටම උග්‍ර විය . ඇයට මා නොගැලපෙන බව තේරුම් යන්නට ඇත . එය සැබෑවකි . ඇය වෛද්‍ය වරියකි . මම වඩුවෙකුගේ වඩු පුතෙකි . ඇයගේ සමාජ තලය වෙනස්ය . මා ඉගෙන ගත්තේ සාපෙළ දක්වා පමණි . එබැවින් අයට මා මදිවන්නට ඇත . 

දැන් ඇය අවසන් වසරේ ඉගෙනුම ලබයි . ඇයට සරසවි පෙම්වතෙකුද ඇති බව මට දැනගන්නට ලැබිණි . කාලයක් තිස්සේ මේ එක්වීමද වෙන්වීමද සිදුවීම නිසාවෙන් මාහට එතරම් කලකිරීමක් නැත . එහෙත් පාසල් සමයේ සිටි අමන්දා නම් අහිංසක තරුණියට මා තවමත් ප්‍රේම කරමි . ජීවිතය යනු පුදුම දෙයකි . සමහර දේවල් ලැබෙනවීට සමහර දේවල් පෑල දොරින් පැනගොස්ය  . මේ ගීතය ඇය වැනි පෙම්වතියක් වෙනුවෙන් ලියන ලද්දකි .







හන්තානට පායන සඳ 
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල 
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර 
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//







22 comments :

  1. ඉතාම අගෙයි ... ඇත්තටම මේ සින්දුවට හීතුභූත වූ කරණයේදී නම් ඒ තරුණයා තරුණියගෙන් කරන ඉල්ලීම තමයි මේ ..

    මාව අතහැර ඔබ ඔබට ගැලපෙන ලෝකයට යන්න .....
    මාගැන මතකය ගුලි කර මහවැලියට දමන්න ......

    ReplyDelete
    Replies
    1. :-da :-da :-da :-da :-da :-da

      ටැංකියු මෙයා . ඔහොම ඇත්තම සිද්දියක් තියෙනවා මම දාන්න . හැබැයි කොල්ලා වඩුවෙක් නෙවේ . ඩොක්ටර් කෙනෙක්මයි . ඒත් පේරාදෙණි නෙවෙයි . වෙන එකක . කෙල්ල ගියේ පේරා . අනිතිමට කොල්ලට බඩු . කොල්ලත් තාම ඉන්නේ අවුලෙන් ..... :( :(

      Delete
  2. කොච්චර අහව්වත් එපා වෙන්නේ නැති සිංදුවකට උබ අලුත් අරුතක් දුන්න මචෝ ..........

    ReplyDelete
    Replies
    1. :) :) :)

      බොහොම ස්තූති ආ ....... g-)

      Delete
  3. ලස්සන කතාවක්.හැබැයි ඇත්තම සිද්දිය මෙකෙ අනික් පැත්තට වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ් ඒ මොකක්ද මෙයා . අපිටත් දැනගන්න එක්කම වෙලාව තියෙන වෙලාවක කොටන්නකො කමෙට් එකකට .

      බොහොම ස්තූති g-)

      Delete
  4. මං කැමතිම සිංදුවක් මේක ගායකයත් මගේ ප්‍රියතම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) :)

      g-) g-) g-) g-)

      Delete
  5. එදා මෙදා තුර ආසම සිංදුවකට උඹ අළුත් දෙයක් එකතු කරලා.. නියමයි..

    ReplyDelete
    Replies
    1. g-) g-) g-) g-) g-)

      බොහොම ස්තූති මෙයා :)

      Delete
  6. හිතට් ගොඩක් දැනුන ගීතයක් ඔබ තවත් සුන්දර කරල.

    ReplyDelete
    Replies
    1. හානී........

      ටැංකියු මෙයා :) :) :)

      Delete
  7. පට්ට නෙ මෙයා..
    කතාව කියවන් එද්දි සිංදුවක් දාල තියෙයි කියල නොහිතුවත් මට කතාවෙ අවසානය නං දෙයියනේ කියල මැවිල තිබ්බෙ..
    ඒකම තමා..
    හැක්..
    පට්ට මචෝ

    ReplyDelete
    Replies
    1. :) :) :)

      බොහොම ස්තූති ....

      Delete
  8. මමත් හිතුවෙ නෑ කථාව අන්තිමට සිංදුවක් තියෙයි කියලා. එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. අන්තිමට අපේ ජීවිතේම සිංදුවක් තමා ............... !!!

      Delete
  9. අපරාදේ සින්දු කියකිය ඉන්නේ.
    අනින්න තිබුනේ වඩු මඩුවේ නියනෙන්

    ReplyDelete
    Replies
    1. හුටා :p :p :p

      හඃ හඃ හඃ හඃ

      Delete
  10. වයලීනුවෝ......වරදවා හිතන්න එපා මෙහෙම ලිව්වාට. උඹත් ලියන එකෙක්. උඹත් වාදකයෙක්. මේ වගේ දේ ලියනකොට, මේ පද රචකයා සහ සංගීතවේදීයා ගැන පොඩි විනාඩියක් මහන්සිවෙලා ඒ නම් දෙක ලියපන්. ඒ අය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම සැලකීම එච්චරයි. උන් ලියපු නිසානේ උඹ මෙහෙම පෝස්ට් එකක් දාන්නේ. උන් මියුසික් දාපු නිසානේ උඹත් මේකට වයලින් ගහන්නේ.

    සංගීතය : ඩැනිස්ටර් පෙරේරා.... පද රචනය : ධම්මික බණ්ඩාර

    ReplyDelete
    Replies
    1. අඩේ .....

      නෑ නෑ තරහා නෑ . කතාව ඇත්ත . කම්මැලි කමට හොයන්නේ නැත්තේ :p :p :p
      බොහොම ස්තූති . මම අනිත් ඒවට එහෙම බලල අනිවා දාන්නම් ...... :) :) :) :)

      Delete
  11. meka aththama seen eka neme neda ??? vayalo

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ නෑ නෑ . මේක හදපු කතාවක් . :) :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.