Friday, March 21, 2014

සීයා අපේ සීයා , නෑ නෑ මගේ සීයා !





අද කැම්පස් එකේ ඉඳලා ගෙදර එනකොට පාරේ හිටියා සීයා කෙනෙක් පොඩි ළමයෙක් වඩාගෙන . බස් එකේ ඉතින් එන ගමන් වෙන කරන්න දේකුත් නැති නිසා මම ශීට් එකේ ඇන්දට ඔලුව තියාගෙන මගේ පොඩි කාලේ ගැන මතක් කළා . හැමදාම වගේ මම ලිව්ව පෝස්ට් වල අපේ ආච්චි අම්මා ගැන ලියලා තිබුණා අවස්ථානුකූලව . අද සීයා ගැන ලියන්න හිතුවා . මොකද මගේ පොස්ට් කියවන අයටත් සීයා කවුද කියලා දැනගන්න ඕනා ඇති අර සීයයි මුනුබුරයි කතා නිසා . ඇත්තටම ඒ මගේ සීයා නෙවේ . ඒ කතාවල සීයා මනඃකල්පිත සීයෙක් . මේ ඇත්ත සීයා ඔන්න හොඳේ ....

අපේ ආච්චි අම්මා දෙවුන්දර කියලා කස්ටිය දන්නවා ඇති . සීයා මාතර කෙනෙක් . මාතර කොටුවේගොඩ කියන ගමේ . සීයාගේ තාත්තා ටිකක් සල්ලි තිබ්බ වෙළඳාම් කරපු කෙනෙක් . සීයාගේ අම්ම කවුද කියලා මට මීටර් නෑ . මොකද සීයලා පොඩි කාලේ සීයලාගේ අම්මා මැරිලද කොහෙද . ඉතින් ඒ ගැන මට ආච්චිවත් කියලා නෑ . සීයා ඉගෙනගෙන තියෙනවා කියවන්න ලියන්න තව දෙමළ සහ ඉංගිරිසිත් දන්නවා . හැබැයි සීයත් සීයාගේ තාත්තාගේ අඩිපාරේ යමින් වෙළඳාමට බැහැලා වෙළඳාම් කරා .

වෙළඳාම් කර කර ඉන්නකොට තමා ඉතින් අපේ ආච්චිව සැට් වෙලා දෙන්න මැරි කරලා තියෙන්නේ . ආච්චි ඉස්සර කියනවා දෙන්නගේ වෙඩින් එකට ග්‍රැමෆෝන් සිංදු දැම්මා කියලා . තව වෙඩින් ෆොටෝත් තියෙනවා . ඒක ඉතින් ඒ කාලේ ලොකු දෙයක්ලු ගමේ . පස්සේ දෙන්නම මාරි කලාට පස්සේ සීයාගේ ගෙදර ගිහින් හොඳට ජීවත් උනාලු . සීයා වෙළඳාම් කරාට මොකද එයා වැඩිය ලාභ හොයන්න වෙළඳාම් කරලා නෑ . සාධාරන වෙළඳාමක්ලු කරේ . ඉතින් වැඩිය ලාභයක් තිබිලත් නෑ .

ඉතින් ආච්චියි සීයයි කතාවෙලා තියෙනවා වෙන පළාතක වෙළඳාම් කරන්න යන්න . පස්සේ ඉතින් දෙන්නට ළමයිත් ඉන්න නිසා ආච්චි මහ ගෙදර නැවතුනාලු . සීයා රත්නපුරේ ඇවිත් පොඩි කඩයක් හදාගෙන ඒ කඩේම නැවතිලා ඉඳගෙන වෙළඳාම් කරා . පස්සේ ඒ කඩේ අතැරලා වෙනත් කඩයක් හදාගෙන වෙළඳාම් කරා . ඔය කඩේ ඉන්නකොට දවසක් සීයාව මීයෙක් කාලා තියෙනවා . ඉතින් එයාගේ මුළු ඇඟම මී විසට සුදු පාට උනාලු . මමත් සීයා දකිනකොට ඇඟම සුදු පාටයි .



ඉතින් සීයා එහෙමම රත්නපුරේ තිබ්බ නැදුන් ගස් තිබ්බ කැලයක ඉඩමක් සුද්ද කරලා සීයාගේ යාලු තවත් සීයලා දෙන්නෙකුත් එක්ක ගෙවල් තුනක් හදාගෙන පදිංචිවෙලා . පස්සේ කාලෙකදී තමයි ආච්චියි අපේ අම්මයි මාමයි පුංචිඅම්මයි රත්නපුරේට එක්ක ඇවිත් තියෙන්නේ .

ඒ කැලේ ඉඩම් පස්සේ කාලෙකදී සීයලාටම ආණ්ඩුවෙන් ලබාදීලා තියෙනවා . ඉතින් දැන් අපිත් ඉන්නේ මේ ඒ ඉඩමේ තමයි . සීයලා ගමේ මුල් පදිංචිකරුවන් උනත් , කලින් මේ ගම නැදුන් කැලයක් උනත් දැන් නම් මේ ගමේ නැදුන් ගහක්වත් පරණ සීයලාවත් දකින්න හම්බෙන්නේ නෑ .

 ඉතින් ඔහොම ඔහොම සීයලා ආච්චිලා මෙහෙ ජීවත් උනා . පස්සේ ඉතින් මම තුමා මේ ගෙදරට සැපත් උනා . මම කලින් පොස්ට් එකකත් කිව්වා අම්මයි තාත්තයි පුංචිඅම්මයි වැඩට ගියාම මාව බලාගත්තේ ආච්චියි සීයයි කියලා . ඇත්තටම ඒ දෙන්නා මාර විදියට මහන්සි වෙලා මාව බලාගත්තා . බස් එකේ එන ගමන් ඒවා මතක් කර කර එනකොට මාරම ෆීලින්ග් එකක් ආවේ මෙයාලා . හරිම සෑඩ් .



අපේ ගෙදර ඉස්සර ටැප් තිබ්බේ නෑ . වතුර මෝටරුත් නෑ . ඉතින් ළිඳෙන් ඇදගෙන තමයි නාන්නේ ,බොන්නේ , හෝදන්නේ ඔක්කොම . මාව බේසමේ වාඩි කරවලා නාවන කාලේ මට මතකයි අම්මයි තාත්තයි දෙන්න බේසම දෙපැත්තේ ඉන්නවා බලාගෙන . මම ජබු ජබු ගගා දිය කෙලිනවා . ටික වෙලාවක් යනකොට ඉතින් දිය කෙලලා වතුර හැලිලා බේසමේ වතුර අඩුඋනාම සීයා තමයි ළිඳෙන් වතුර ඇදලා බේසමට දාන්නේ .

" මෙන්න පුතාට ජෝ නාන්න " කියලා සීයා බේසම පුරවනවා . තාත්තා මට සෙල්ලම් කරන්න බේසමට මැණික් ගල් දානවා එතකොට . සීයා කරන්නේ තිරිවාන ගල් අහුලලා ඒවා දානවා බේසමට . හඃ හඃ හඃ . මම දන්න මැණිකක් නෑ ඉතින් . මම කරන්නේ ඔක්කොම උඩ දාන එක . අම්මයි තාත්තයි නැති වෙලාවට සීයා මාව වඩාගෙන ඉන්නකන් ආච්චිඅම්මා මට බත් කවනවා . ඊට පස්සේ සීයා මාව නිදි කරවනවා , නැත්නම් මාවත් ළඟින් තියාගෙන ටීවී බලනවා .



ඉස්කෝලේ යනකාලේ මම ගියේ අපේ පුංචි අම්මා උගන්නපු ඉස්කෝලෙට . ඉතින් එයා එක්කම තමා මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ . එක වසරේ ඉඳලා පහ වසර වෙනකන්ම එහෙමයි ගියේ . ඉතින් මම දවල්ට ගෙදර ආවම පොත් බෑග් එකත් එක්ක , මරලා දාලා වගේ ඇඳට වැටෙනවා . සීයා තමයි සපත්තු ගලවලා මේස් ගලවලා ඇඳුම් මාරු කරවලා මුණ හෝදන්න එක්ක යන්නේ . දිගටම ඔය ජොබ් එක කලේ සීයා .

සීයට සමෘද්ධි තිබුණා . අම්මලනම් ඒකට බඩු ගේනවට කැමැත්තක් තිබ්බේ නෑ . සීයට ගෙදරට වෙලා ඉන්න කියනවා . ඒත් සීයා මාසෙකට පාරක් ගිහින් මොනවාහරි අරන් එනවා . ඒකාලේ වෙනකොට සීයට වෙළදම් කරන්න බැරි නිසා කඩේ විකුණලා සීයා ගෙදර හිටියේ . සමහර විට සීයට හිතෙන්න ඇති සීයා අම්මලට බරක් වෙනවා කියලා . ඒත් අම්මලනම් සීයට ආච්චිට හොඳට සැලකුවා .

මම කියන්න ගියේ ඉතින් සීයා මෙහෙම බඩු අරන් එනකොට මට ලොසින්ජර් අරන් එනවා . සමූපකාරෙ තිබුණා මම තුන වසරේ විතර ඉන්න කාලේ , මනුස්සයෙක්ගේ හැඩයට හදපු කහපාට අන්නාසි රහ තියෙන ලොසින්ජර් . සීයා හැම මාසෙම මට ඒවා අරන් එනවා . මමත් ඉතින් ඒවා කන්න බලාගෙන ඉන්නවා .



සීයාට හරිම වේගවත් ඇවිදීමක් තිබුණා . ඒ ඇවිදීම ආරෙට යන එකක් කියලා අපේ ගෙදර අය කියනවා . මොකද අපේ මාමා , ඒ කිව්වේ සීයාගේ පුතා , එයාටත් එහෙමම අවිදීමක් තිබුන නිසා . සීයාගේ තාත්තත් එහෙමලු .

 සීයට ගමේ අය කිව්වේ මුදලාලි කියලා . මොකද වෙළඳාම් නොකලත් ගමට ආපු පළවෙනි මුදලාලි සීයා නිසා ගමේ ය එහෙම කිව්වා . සීයා හැමදාම හවසට බුදුහාමුදුරුවන්ට පූජා කරන්න මල් කඩනවා . ආච්චි අම්මා තමයි මල් අහුරලා පූජා කරන්නේ . අපේ ගෙදර සේපාලිකා ගහක් තිබුණා . උදේට හැමදාම සේපාලිකා මල් අහුලන්නෙත් සීයා . හැබැයි සීයා පෝයට සිල් ගන්නේ නෑ . ඉතින් හැමදාම පෝය ලං වෙනකොට ආච්චියි සීයයි වලි . ආච්චි කියනවා සීයට , ඔයත් එන්න සිල් ගන්න යන්න කියල . සීයා බෑ කියලා පස්සේ ඉතින් කෑගහලා තමා නවතින්නේ . හඃ හඃ හඃ හඃ .

ගෙදරට ඕන දර හොයලා දුන්නෙත් සීයා . රෑට මිදුලේ පත්තු කරන පහනත් පත්තු කරේ සීයා . මට ඉස්කෝලෙට ගෙනියන්න ඕන ඒවත් හොයලා දුන්නේ සීයා . දන්නේ නැද්ද පොඩි කාලේ මිස්ලා කියනවනේ අර කොළ මේ කොළ අර පාට මේ පාට මැටි ක්ලේ එව්වා මෙව්වා ගේන්න කියලා . ඉතින් සීයා තමයි ඒවා හොයලා දුන්නේ . හැබැයි මම 4වසරට එනකං විතරයි සීයා අපිත් එක්ක හිටියේ . 2000 දෙසැම්බර් 25 වෙනිදා රෑ සීයා අපිව දාලා යන්න ගියා .

සීයා අතින් දවසක් එයාගේ සමෘද්ධි කාඩ් එක නැති උනා . ඉතින් ආයෙත් කාඩ් එකක් දෙන්නේ නැති නිසා සීයා විස්සෝපෙන් හිටියේ . අම්මලා නම් කිව්වා " ඕක මොන එහෙකටද තාත්තා ඔන්නොහෙ නිකා ඉන්න " කියලා .  ඒත් සීයා අප්සැට් හිටපු නිසා දවසක් අපි ගියා සමෘද්ධි බැංකුවට . ආයේ කාඩ් එකක් හම්බුනේ නෑ . ඉතින් ඊට පස්සේ සීයා ගෙදරම තමා හිටියේ . සමූපකාරෙටවත් යන්න ගෙදරින් එලියට ගියේ නෑ .

සීයට බඩේ අමාරුවක් හැදිලා අසනීප උනාම ගෙදර අය එකතුවෙලා සීයාව හොස්පිටල් එක්ක ගිහින් ෆුල් චෙකප් එකක් දැම්මා . සීයට ලෙඩක් මුකුත් තිබ්බේ නෑ . ඒත් එදා බෙහෙත් දෙන ඩොක්ට නෑ කියලා දෙසැම්බර් 26 වෙනිදා එන්න කියලා දිනය දීලා තිබුණා .



ඔන්න දෙසැම්බර් 25 වෙනිදා . ඒ කියන්නේ නත්තල් දවස උදා උනා . සීයා එදා සීයාගේ අර මම කිව්ව යාලු සීයලා දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක හවස 6 ඉඳලා රෑ 8 විතර වෙනකං දේශපාලනය ගැන කතා කර කර හිටියා . සතියේ දේශපාලන විවරණය වගේ දෙන්නා එකතුවෙලා ඉඳලා හිටලා මෙහෙම කතා කරනවා . ඉතින් ඊට පස්සේ යාලු සීයා යන්න ගියා . යන්න ගියා කිව්වට මහ ලොකු දුරක නෙවේ අල්ලපු ගෙදර හිටියේ ඒ සීයා .

අපේ සීයා මොකද කරේ , රෑ 8 නිවුස් බලලා කෑම කන්න කුස්සියට ගියා . සීයා හැමදාම කන්නේ කුස්සියේ බංකුවක ඉඳගෙන . එදා අපේ ගෙදර උයලා තිබ්බේ බල මාළු හොදි එක්ක මඤ්ඤෝක්කා තම්බලා . මේ ජාති දෙකට ලා පොල් ගාලා දාගෙන බත් කන්න සීයා හරිම කැමතියි . අපේ ගෙදර හැමෝම කැමතියි . අපේ අම්මා සීයට බත් එක බෙදලා දෙනකොට සීයට හොඳ හිනාවක් ආවලු මේ කෑම එක දැකලා . මොකද ඉතින් කැමතිම කෑම ටිකනේ . ඉතින් අම්මා , සීයා වාඩිවෙන බංකුව ගාව බිම හිරමනේ තියාගෙන පොල් ගගා ඉන්නකන්, සීයා ගාපු පොල් ටිකක් දාගෙන බත් කකා හිටියා . එවෙලේ මම සාලේ ටීවී එක ඉස්සරහා බත් කනවා . මමත් කැමතිම කෑම සෙට් එකක් නිසා මමත් කාගෙන කාගෙන යනවා දැන් හිටු කියලා . ආච්චි අම්මා බුදු කාමරේ පිරිත් කියනවා .

එක පාරටම අම්මා කෑ ගැහුවා " නංගි නංගි " කියලා . අම්මා ඒ කතා කලේ පුංචි අම්මට .  අපි හිතුවේ ගෝනුස්සෙක් ඇවිත් වෙන්නැති කියලා . එතකොට තාත්තත් ගෙදර නෑ . ආයෙත් අම්මා කෑගහනකොට අපි ගියා කුස්සියට . කුස්සියට යන වෙලේ මම නිකමට වෙලාව බැලුවා . රෑ 8 30යි .

කුස්සියට ගියාම දැක්කේ , සීයා බත් එකත් එක්කම බංකුව උඩින් බිමට වැටිලා තිබුණා . අපිට සීයා උස්සගන්න බෑ . තාත්තත් ගෙදර නෑ . අම්මලා කෑගහන සද්දෙට අල්ලපු ගෙදරක කැරම් ගගහා හිටපු අයියලා ටිකක් ආවා . එයාලා සීයා උස්සගෙන ඇවිත් තිබ්බෙත් මගේ ඇඳ උඩ . මොකද ළඟම තිබ්බේ මගේ ඇඳ නිසා . මමත් ඇඳ උඩට පැනලා සීයා ගාවට වෙලා හිටියා වෙන්නේ මොනවද බලාගෙන .

ආච්චි අම්මා පිරිත් පැන් බෝතලයක් අරගෙන ඇවිත් සීයාට ටිකක් සීයට පොවන්න හැදුවට බොන්න බෑ වගේ . ඇස් ඇරිලා තිබුනට එවෙලේ සීයා කතා කලේ නෑ . ඉක්මනටම සීයාගේ බෙල්ල නිල් පාටට හැරුනා . මටනම් කිසි දෙයක තේරුමක් තිබ්බේ නෑ . මොකද එතකොට මම 4 වසරේ  බබා . ගෙවල් ළඟ ඉන්න නර්ස් අක්ක කෙනෙක් ඇවිත් නාඩි අල්ලලා බලලා කිව්වා දැන්ම ඉස්පිරිතාලේ එක්ක යන්න කියලා .

ඉතින් අර අයියලයි අපේ අම්මයි පුංචිඅම්මයි ළඟ ගෙදරක වැන් එකකින් සීයව ඉස්පිරිතාලේ අරන් ගියා . පස්සේ කාලෙකදී තමා දන ගන්න ලැබුනේ වෑන් එකේ යන වෙලාවේ සීයාගේ කකුල් එකපාරටම ඉස්සිලා කඩාගෙන වැටුනා කියලා . එවෙලේ තමා සීයාගේ අන්තිම හුස්ම වැටිලා තියෙන්නේ . ඒත් අම්මලා දන්නේ නෑ සීයා ඉස්පිරිතාලෙට එකකේ ගියේ මගදී පන ගිහින්මයි කියලා . අර අයියලා අම්මලාව හරවලා ආයෙත් ගෙදර එවලා සීයාගේ බෙහෙත් ගන්න ලියලා දීපු රිපෝට් ටික ගේන්න කියලා . ඒ ආවම තමා කෝල් කරලා කිව්වේ සීයා මැරිලා කියලා .



අම්මලා කෑ ගහලා අඬන්න ගත්තා . මට ඇඳ උඩම නින්ද ගිහින් හිටියේ . සද්දෙට මටත් ඇහැරුනා . අම්මා මම ගාවට ඇවිත් කිව්වා සීයා අපිව දාලා ගිහින් කියලා . පස්සේ ඉතින් සීයාගේ අවසන් කටයුතු හොඳට කරා . අවුරුදු ගානක් තිස්සේ තාමත් සීය වෙනුවෙන් අපි දාන දෙනවා අරවා මේවා පිං කරනවා .

අපේ අම්මා , සීයාව ආදාහන කරන වෙලාවේ මාව බඳාගෙන ඇඩුවෙ සීයා අන්තිම මොහොතේ මතක් කලේ මාව කියලා . පස්සේ ඒගැන හැමෝම කතා උනා .

සීයා අන්තිමටම වැටෙන්න කලින් අම්මගන් අහලා තියෙන්නේ පුතා කෑවද ? කියලා . ඒ කිව්වේ මේ මම කෑවද කියලා . ඒ අහලා එහෙමම බත් එක බිමට වැටිලා සීයත් වැටිලා . ආයේ මුකුත් කතා කරන්න උනේ නෑ . ආච්චි අම්මත් සීයත් දෙන්නම අවසන් මොහොතේ මතක් කලේ මාව කියන දේ මතක් වෙනකොටත් හරිම සෑඩ් ......

ආච්චි අම්මා එකතැන් උනාම එයාට බෙහෙත් හේත් කරලා උපස්ථාන කරන්න අවස්ථාව ලැබුනට මොකද සීයාට එහෙම කියලා සලකන්න අපිට ලැබුණේ නෑ . අදටත් අම්මලා තාත්තලා කියන්නේ එහෙමමයි . " අපි සීයාට කරා තව මදි " කියලා  . සීයා අපිට කරදර කරන්න ඉන්නේ නතුවම යන්න ගියා කියලා ගමේ අයත් කතා උනා . සීයා නැති උනේ හෘදය වස්තුව පුපුරා යාමෙන් කියලා තමයි කිව්වේ . ඒ කියන්නේ හදිස්සි මරණයක් ඒක . මිනිස්සු ඒ මරණය වාසනාවන්තයි කිව්වේ ඒ නිසා වෙන්නැති .

ගෙදර මරණයක් කියලා මට ලැබිච්ච පළවෙනි අත්දැකීම ඒක . එදා දුක කියන්නේ මොකද්ද කියලා හරියට හිතට දැනුනේ නැති උනාට , යතාවාරි වහාපූරා පරි පූරෙන්ති සාගරන් කියනකොට මගෙත් ඇහෙන් කඳුළු කැටයක් දෙකක් නොවැටුනෙම නෑ . කොහොමහරි සීයට අපි අද ඉන්න විදිය දකින්න නොලැබීම ගැන නම් හරිම සෑඩ් මෙයාලා . සීයට හෙන ආසාවක් තිබ්බා මම ශිෂ්‍යත්වේ පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් ලොකු ඉස්කෝලෙකට යනවා දකින්න . ඒවත් ඉතින් බලන්න උනේ නෑ .



ඒත් මට හිතෙන්නෙම් මම යන යන තැන ආච්චියි සීයයි මගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා . සමහර වෙලාවල් වල මම මරු කටට ගිහින් බේරිච්ච වෙලාවල් වල එහෙමම හිතෙනවා . මේ දේවල් ඔක්කොම බස් එකේ මතක් කර කර එනකොට ඇස් තෙත් නූනෙමත් නෑ . හැබැයි ආච්චිලා සීයලා නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් .

මෙන්න මේ ගීතයේ තේරුමත් එහෙමයි . අද අපි කන පොල්,  කොස් , දෙල් , අඹ ගස් හිටෙව්වේ සීයා . හැබැයි ඒ සමහර ගස්වල ගෙඩිවල රහ බලන්න සීයට පුළුවන් උනේ නෑ . ඒත් මට දැන් තේරෙනවා සීයා ඒ දේවල් කලේ කාටද කියලා . මෙන්න ඒ ගීතය .


මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

මම ලමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරෙයි මට

පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි///

ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර
පද රචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
සංගීතය - රෝහණ වීරසිංහ




ජීවිතේ කියන්නේ මාරම දෙයක් .

ජීවිතේ අපිට මුණගැහෙන සමහර අයගේ අඩුව අපිට දැනෙනකොට එයාලා අපෙන් ගොඩක් ඈතට ගිහින් .


23 comments :

  1. ශීට් නෙවෙයි සීට් sheet seat

    ReplyDelete
    Replies
    1. එල එල , මම දන්නේ නෑ . අපි ඉතින් සිංහල ඉගෙන ගන්න ළමයිනේ g-)

      Delete
  2. සීයා ගැන ලොකු හැගීමකින් ලියල තියෙනවා..
    පුංචි කාලෙට ආයෙත් ගියා වගේ...
    ජය වේවා!!!

    ReplyDelete
  3. සීයල ආච්චිල කවදත් අපේ ලෝකයේ වීරයෝ. උඹ කිව්ව වගේ අපේ ආචිචි මැරුණු දවසත් මම අපේ ගෙදර මරණයක් දැක්ක පළමු දවස.. එකතොට බං හුගත් පොඩියි. ඒ දවස් දෙක තුන අමුතු ලෝකෙක ඉදල එක පාරටම තව දවස් දෙක තුනකින් මම අම්මගෙන් ඇහුවා කෝ අම්ම‍ෙ ආචිචි තාම ආවේ නෑනේ කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මටත් සීයා නැතිවෙලා හත්දවසේ දානේ ඉවර උනාම තමා පාළුව දැනුනේ .

      Delete
  4. ඒ සොඳුරු මිනිසුන්ගේ පිහිටෙන් අපි අද මේ පොලොවෙ පය ගහල ඉන්නවා. සීයලා ආච්චිලා ඒ ඉටුකරපු යුතුකම් ඉදිරියට බාරවෙන්නෙ අපිට. ඒක හොඳට හිතට ගන්න. අපි සීයල උනාම අපේ මුනුපුරන් ඒ කාලෙට අපිවත් මතක් කරයි එතකොට මේ විදියට ආදරෙන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒකනම් ඇත්ත . අපේ ආච්චි එයාගේ ආච්චිලා සීයලා ගැනත් විස්තර කියලා තියෙනවා මාත් එක්ක . මමත් අපේ පරණ දේවල් තියාගෙන ඉන්නවා පසු පරම්පරාවට පෙන්නන්න :)

      Delete
  5. හ්ම්..ලස්සනට ලියලා තීනවා වෙනද වගේම.හදපු කතාවක් වගෙ නෙමේනෙ දැනෙන දේ ලියද්දි

    ReplyDelete
    Replies
    1. එල එල . ටැංකියු නැස් නෝනා :p :p :p

      Delete
  6. හ්ම්ම්.......... මම ඉපදෙද්දි හිටියෙ ආච්චි විතරයි , තාත්තගෙ අම්මා. එයා නැතිවුන වෙලෙත් මාර දුකක් දැනුන එතෝට මම බබා ඒ ලෙවල්.

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඒ ලෙවල් ය කොහොමත් බබ්බු තමා . :p :p

      Delete
  7. මට සියල ආච්ච්cඉල කිට්ටුවෙන් මතක නැ.එත් ඇහැට කදුලු ආව.

    ReplyDelete
    Replies
    1. අහ්හ් ගණන් ගන්නෙපා . කාගේත් සීයලා ආච්චිලා මෙහෙම තමා .

      Delete
  8. //සීයාට හරිම වේගවත් ඇවිදීමක් තිබුණා // මටත් තියනව එහෙම ඇවිදීමක්. පැය කාලට කඳු සහිත පාරේ කිලෝමීටර් 3 යි.
    පවුලේ බඩ පිස්සා වුනු මට මගේ පිය පාර්ශවයේ සීයා, ආච්චී දකින්න ලැබිල නෑ. මං එන්න කලින් ම ඔවුන් යන්න ගිහින්. අම්මාගේ අම්මා සහ තාත්තා දැක තිබුනත් ඒකත් ඡායාවක් පමණයි. මගේ සමීපතමයින් කිහිප දෙනෙක්ගේ ම නික්ම යෑම මං දැකල තියනවා. ඇත්තටම මට ඔවුන් නැති පාළුව දැනුනෙ ටික දවසක් ගත වෙලා, නිවස සාමාන්‍ය තත්ත්වයට පත් වුනාට පස්සෙ යි.

    ReplyDelete
    Replies
    1. :) එල එල .
      ඔහොම තමා . අනික ඉතින් සමීප අය නික්ම යන එක තව කල් ගියාම තමා හිතට තවත් දැනෙන්නේ .

      Delete
  9. අම්මාට තාත්තාට වඩා පොඩි කාලේදි ලං උනේ ලොකු අම්මට, ඒ කිව්වේ අම්මාගේ අම්මට... ගොඩාක් දැනුනා :( :((

    ReplyDelete
    Replies
    1. එල එල බොහොම ටැංකියු මෙයා g-)

      Delete
  10. සංවේදී කතාවක්. නියමෙට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ටැංකියු අයියාහ් !!

      Delete
  11. වයලීනුවෝ......බොහොම හැඟීම්බරව ලියලා තියෙනවා. මමත් පුදුම වාසනාවන්තයෙක් වුනා දෙපැත්තෙම ආච්චිලා සීයලාගේ ආදරය ඇති පදම් ලබන්න. මම බොහොම කම්පනයට පත්වුනු අවස්තා තියෙනවා නම් ජීවිතේ මේ අයගේ අභාවයන් තමයි. මම අදත් හිතනවා මට කරදරයක් නැතිව පාඩුවේ ජීවත්වෙන්න ඉඩ ලැබිලා තියෙන්නේ අපේ ආච්චි කොහේ හරි ඉඳන් මගේ දිහා බලන් ඉන්න නිසා කියලා. ඒක මහා බොළඳ සිතුවිල්ලක් වෙන්න ඇති. ඒත් මම එහෙම හිතනවා. නිරතුරුවම ඇය මා අසළ සිටිනවා.

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නේ නෑ ඒක බොළඳ හැගීමක් කියලා . එක එක්කෙනාට තම තමන්ගේ අදහස් තියෙන්න පුළුවන් මේ වගේ .

      Delete
  12. මේක කියෙව්වම මටත් මගේ සීයව මතක් උනා.වයලිනෝ අඳුරගත්ත කාලේ මාව බලන්න මගේ සිය නිතරම ආවලු..ඒ මගේ අම්මගේ තාත්ත.එහෙම ඇවිත් බෑණත් එක්ක කතා කර කර ඉඳල මුණුබුරවත් බලල අපහු යනවලු.අම්මල කියන විදියට ඒ කාලේ අපේ පවුල අම්මලාගේ මහ ගෙදරින් කපා හැරලා.අම්මහේ සහෝදර සහෝදරියන්ගේ මොකක් හරි කේස් එකකට.සියලත් එයාලට යට වෙලා ඉඳල තියෙන්නේ.ඒ හන්දලු සීය විතරක් මාව බලන්න ආවේ.කොහොමහරි ආයේ දෙගොල්ලෝ ශේප් උනේ සීයාගේ මළ ගෙදරදී..මට ඒ කාලේ ඒ හැටි තේරුමක් තිබුනෙත් නෑ.සීය ගොඩක් අද්දැකීම් තිබුණු,ගමේ වැදගත් චරිතයක්ලු...අපේ තාත්තගේ තාත්ත නම් පුංචි කාලෙම නැති වෙලා.මට සියෙක්ගේ ආදරයක් ලැබිල නෑ වගේ බැලුවම..d(

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.