Thursday, February 20, 2014

සහෝදර ප්‍රේමයේ ගීතය GAY උනේ ඇයි ? ( පොඩි උන්ට පමණයි )





අසම්මත ප්‍රේමයේ ගීතය කියන පෝස්ට් එක ලිව්වට පස්සේ සමරිසි ප්‍රේමය ගැන තවත් ලිවිල්ල එපාම උනා . මේ පේනවනේ අපේ වැඩිහිටි පරපුර අපිට නවන නැවිල්ල . හඃ හඃ හඃ හඃ

සිංදුවා අයියා මේ අන්තිමටම දාපු පෝස්ට් එකම වගේ එකක් මමත් ලියන්නම හිතාගෙන හිටියේ . අපි දෙන්නම එකම ගීතයක් ගැන විවිරණය කරන පළවෙනි අවස්ථාවද කොහෙද මේ .

මම මාගේ පුරවරය කියන පෝස්ට් ඒක ලියලා ඊට පස්සේ මේ සිංදුව ගැන ලියන්න හිටියේ . මොකද කෙමෙස්ට්‍රි වලට ඔය බ්‍රෑන්ඩ් ඇල්කොහොල් ප්‍රතිශත ඔක්කොම හොඳට මතක තියාගත්තා නිසා . මම මුලින් හිතුවේ මේ ගීතය බේබද්දා සහ මත් රකුසා අතර ඇතිවෙන සංවාදයක් විදියට ගලාගෙන යන ගීතයක් කියල . එහෙම හිතුවේ





K ( බේබද්දා ) = දැන් බිබී ඉන්නකොට වෙරි වේගෙන එන වෙලාවට මෙහෙම හිතනවා
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

D ( මත් රකුසා ) = මත් රකුසා කියනවා එතකොට
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

ඔන්න ඔය අවස්ථා දෙක හිතලා . ඒත් ඒක අන්තරා කොටස් දෙකට ගැලපෙන්නේ නෑ .
ගීතයේ සංගීත සංයෝජනයත් එක්ක තේරුම ගැන හිතන්න අමාරුයි . ඒ නිසා මම කරේ සිංදුවේ වචන වෙනම අරගෙන ඩොකියුමන්ට් එකකට කොපි පේස්ට් කරගෙන ඒක දිහා බලලා තේරුම හිතපු එක . සිංදුවා සහ සෑම් අයියා කිව්ව හැටියට මේකේ තියෙන්නේ සහෝදරත්වය මුල් වෙච්ච තේරුමක් . ඒකනම් ලොවෙත් ෂුවර් .

ගීතය ඩුවට් එකක් නිසා ඒ විදියටම අරන් තේරුම් ගන්න පුළුවන් . අයියයි මල්ලියි කියලා කියනකොට සිංදුවා කියන්නේ , එක පවුලක නොවුන සහෝදරයෝ දෙන්නෙක් ගැන වෙන්න ඕන . ඒත් මම සෑම් අයියා එක්ක එකඟයි . මේකේ අර අන්තිම කොටස නිසා අපිට හිතන්න පුළුවන් මේ ගීතය එකම පවුලේ අයියයි මල්ලියි අතරේ වෙන සිද්දියක් කියලා .



මල්ලි
=====
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

දැන් ඔන්න මල්ලි ඉන්නේ තාම නව යෞවනයේ . හැබැයි මල්ලිට තිබ්බේ ඉතාම දුර දිග ගියපු ආදර කතාවක් . ඒත් හදිස්සියේම දෙන්නා අතරේ වෙන අවුලකින් මල්ලිගේ ප්‍රේමය නතර වෙනවා . කෙල්ල තමයි බූට් ඒක තියන්නේ . ඉතින් විඳවලා විඳවලා ඇතිඋනාම ජීවිතේ ගැන අත්දැකීම් අඩු මල්ලි , බීලා ප්‍රශ්න විසඳන්න කියලා හිතාගෙන ලිකර් ෂොප් එකක බිබී ඉන්නවා . බීලා බීලා හොඳටම වෙරි වෙලා දැන් ලිකර් එකෙන් එලියට එනකොට මල්ලි දකිනවා තමාගේ දිහාවට කවුද එනවා . මල්ලි , තමාදෙසට මේ එන්නේ තමාගේම අයියා කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගන්නේ මීවිත ඇඳිරිය මල්ලිගේ දෑස බොඳ කරලා තියෙන නිසා .

අයියා
=====
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

මම හිතන හැටියට ගීතයට ප්‍රස්තුත වෙන අයියා සමාජයේ තරමක් ගැවසුන මිනිස්සුත් එක්ක ගැටිච්ච අත්දැකීම් බහුල අයියා කෙනෙක් . අයියා විසින් මල්ලිව දකින්නේ අයියා තමාගේ පෙම්වතිය එක්ක නගරයේ ඇවිදින වෙලාවක . නැත්නම් අපි කියමුකෝ අයියා එයාගේ පෙම්වතිය ගෙදර එක්ක යන වෙලාවක කියලා . ඉතින් මල්ලි කරටි කඩාගෙන ඉන්නවා දැක්කම අයියා කරන්නේ පෙම්වතිය ගෙදර යන බස් එකක නග්ගලා හරි පෙම්වතියට අවශ්‍ය කාර්යය ඉටුවෙන්න සලසලා මොකද උනේ බලන්න මල්ලි දිහාවට එන එක . අයියා දන්නවා මල්ලි මේදවස්වල ඉන්නේ ප්‍රේම සම්භන්ධය බිඳුන නිසා සිත් තැවුලට පත්වෙලා කියලා . ඒ කියන්නේ මේ අයියයි මල්ලි අතරේ තියෙන්නේ ඉතාම තදින් බැඳිච්ච සහෝදර බැඳීමක් .
"මල්ලි , මම මගේ ජීවිතේ මම ලබපු අත්දැකීම් උඹත් එක්ක බෙදාගෙන උඹේ හදවතේ පොදි බැඳිලා තියෙන දුක නැති කරන්නම් . ඒ වෙනුවෙන් මම මොහොතකින් ඔබේ ලොවට මගේ ලොවෙන් මදකට මිදිලා එන්නම් " මගේ ලොවෙන් මදකට මිදිලා එන්නම් කියන්නේ අයියා තමාගේ පෙම්වතිය එක්ක ගත කරපු එයාලගේ ලෝකෙන් මිදිලා මල්ලි වෙතට එන එක කියලා තමයි මම නම් හිතන්නේ .

සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ

දැන් ඔන්න අයියා මල්ලි ගාවට ඇවිත් මල්ලිව අල්ලාගෙන නැගිට්ටවලා කේන්තිය මිශ්‍ර ඒත් දුකෙන් අහනවා " මල්ලි , උඹ මේ ගතකරන මල් මාවතක් හා සමාන , සොඳුරු යොවුන් සමය විනාශ කරගනිමින් , පෙම්වතියට එදා යොමුකරපු තොල් පෙති මීවිතෙන් පොඟවන්නේ ඇයි " කියල .

මල්ලි
====
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වීතින් මා දෙතොල තෙමන්නේ

මල්ලි එතකොට කියනවා " අයියේ මම බිව්වා අයියේ . මගේ හිතේ බුර බුරා නගින වීරහ ගිනි නිවා දමන්න කියලා හිතාගෙන තමයි බිව්වේ " කියලා .

නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළුලා එනවා

මල්ලි අයියට කියනවා  " අයියේ මම බිව්වේ මගේ හදවතේ නැගෙන විරහා ගිනි නිවාදමන්න කියලා හිතාගෙන , ඒත් සුරාවිත පොදින් පොද වැටෙනකොට වෙන්නේ මගේ හිතේ තියෙන ගින්න තවත් වැඩිවෙන එක " කියලා .

අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා

අවසානයේ අයියා මල්ලිගේ අත තමාගේ කරට දාගෙන මල්ලිව අල්ලාගෙන  කියනවා "  මල්ලියේ උඹ ආයෙත් බොන්න නෑවිත් අවන්හලේ තියෙන ඉතුරු මීවිත බෝතල් තනි කරපන් . කොහොමහරි මම උඹව ගෙදර එක්ක යන්නම් . මගේ වාරුවත් අරගෙන පය උස්සලා කොහොමහරි ගෙදර යමන් , ඒවගේම මම උඹට වෙරි හිඳුනම කියන්නම් මගේ ජීවිතේ අත්දැකීම් ඒවා ගැන හිතලා උඹ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න පළමු පියවර තියපන් " කියලා .



සිංදුවා අයියා ලිව්ව සිංදුවේ තේරුමට මම පොහොර ටිකක් දැම්මා ඔන්න .

මම දැන් එන්නම් ගීතයේ සංගීතය පැත්තට . මතක් වෙනකොටත් මේ සීන් තනියම හිනා යනවා අෆ්ෆා ....
මම ඉස්කෝලේ මියුසික් රූම් එකට ආව මුල කාලේ මගේ වයලීන් ගැහිල්ල ටෙස්ට් කොරන්න ජේෂ්ට උත්තමයෝ මට ප්ලේ කරන්න කිව්ව , ඒත් ටිකක් අමාරු සිංදු දෙකක් තිබ්බා . එකක් කොලොම් තොට නැත මහලුවී . අනික මේක . හඃ හඃ හඃ

විශේෂය කියන්නේ ඔය ගීත දෙකේම සංගීතය එකම කෙනෙක් නිර්මාණය කිරීම . බලන්න ඔය ගීත දෙකම අහලා අතුරු වාදන කොටස්වල තියෙනවා නේද වයලීන් එකෙන් වේගයෙන් වාදනය වෙන කොටසක් . ඒක වාදනය කරන්න ටිකක් අමාරුයි . හැබැයි කපුගේ මහත්මයා මේ ගීත දෙකේම යොදලා තියෙන ඒ වයලීන් රන් එක ගීත දෙකේම එකමයි . :p :p

අපි යන් ගීතයේ මුලට . මුල්ම වාදනය බැන්ජෝ ගිටාර් එකකින් . ඊට පස්සේ පොඩි ෆ්ලූට් පාට් එක . ආයෙත් බැන්ජෝ . ඊට පස්සේ වයලීන් . ආයෙත් බැන්ජෝ . ආයෙත් වයලීන් . මේ වාදනය එක්ක අපිට ගීතය ගැන හිතෙන්නේ ටිකක් ගුප්ත හැගීමක් නේද ? . වයලීන් වාදනය අතරේ ඉතාම පහල හඬකින් වාදනය වෙන චෙලෝ වාදනය ඒ ගුප්ත බව වැඩි කරවන්න හේතු වෙනවා කියලා මම විශ්වාස කරනවා . හැබැයි වචන වලට ආවාම ඒ ගුප්ත බව නැතිවෙලා යනවා නේද ?



ඒකට හේතුව කියලා මම හිතන්නේ ගිටාර් එකෙන් වාදනය වෙන කෝඩ් පන්ච් එක .

චං , ච චක් , ච චක්
චං , ච චක් , ච චක්

කියලා වාදනය වෙන ගිටාර් පන්ච් එකයි ඒ පන්ච් එකට සපෝට් කරන හයිහැට් එකත් නිසා ගීතය ගායනාවෙන අතරේ අපිට හිතෙන්නේ පොඩ්ඩක් අර කවුබෝයි ෆිල්ම් වල ඇහෙන ගීතවල යන කික් එක නේද ?

ඒවගේම අතුරුවාදන වලත් , ගීතයේ අතර වාදන වලත් තියෙන්නේ අමුතුම ගුප්ත හැගීමක් . හැබැයි වවචන වල ගුප්ත බවක් නැති තරම් .

සංගීතය ගැන මෙහෙම කිව්වේ මමනම් හිතන්නේ මේ ගීතයේ සංගීතය , ගීතයේ අර්ථය යටපත් කරගෙන උඩට එනවා කියලා . මගේ පාසලේ හිටපු මිත්‍රයෙකුත් කිව්වේ එහෙම කතාවක් . උටත් තිබුණා සිංදුවල තේරුම් හොයන අමාරුවක් . ආ මම කලින් පෝස්ට් එකක මිනිහා ගැන කිව්වා . උපුල් කොපුල් වෙහෙසී ඇතේ කියන ගීතය ගැන කියනකොට .

අනික තව දෙයක් කියන්න ඕන . මේ ගීතයේ චරිත දෙක ගායනයේදී හරියට බෙදිලා නෑ . චරිත දෙක මාරු වෙනවා . ගීත රචනාවේ අයියයි මල්ලියි දෙන්නා තේරුමත් එක්ක ගන්නකොට හරියට ගැලපුනාට  කපුගේ හා දිවුල්ගනේ දෙපල ජේෂ්ටත්වය අනුව බෙදාගෙන ගීතය ගායනා කරන බවක් තමා මට පේන්නේ .

බලන්න ස්ථායි කොටසේ කපුගේ මුලින් දිවුල්ගනේ දෙවනුව . පසුව නැවතත් අන්තරා කොටසේ කපුගේ මුලින් දිවුල්ගනේ දෙවනුව . දෙවෙනි අන්තරා කොටසේ දිවුල්ගනේ මුලින් පසුව කපුගේ . දෙන්නෙක් ගීතයක් ගායනා කරනකොට අන්තරා කොටස් ගායනය ඔය විදියට බෙදුවම ඒකෙ අමුතු ගතියක් තියෙනවා කියලා සංගීතයේ යම් සරල සම්මතයක් තියෙනවා . ඒත් ඒ සම්මතය මේ ගීතයට පෑහිලා නෑ කියලා මම හිතන්නේ . ගීතයේ මුලින් මල්ලි , පස්සේ අයියා වෙලා නේද ?

ගීතයේ අඩුපාඩු නෙවෙයි කිව්වේ ගීතයේ තේරුම යටපත් කරගෙන සංගීත සංයෝජනය මුදුන්පත්වෙලා කියලා පෙන්නන්න .



ඊළඟ කාරණය සිංදු අයියා අන්තිමට කියනවා මෙච්චර මේ හොඳ ගීතය ඇයි ගේ වෙලා කියලා . ඔය ගේ සීන් එක රිසර්ච් එකක් වගේම ඇදගෙන ගියා අර මුලම කිව්ව පෝස්ට් එක ලිව්වට පස්සේ . පොතක් ලියන්නම විස්තර තියෙනවා දැන් නම් . හඃ හඃ හඃ

මම ගොඩක් සමලිංගික පිරිමි ගැහැණු දෙගොල්ලෝ එක්කම කතා කරා . ලංකාවේ විතරක් නෙවේ සමහර අය වෙන වෙන රටවල් වල . උන්ට fb රික්වෙස්ට් එක දැම්මම මුලින්ම එන මැසේජ් එක ඔයා ගේද ? නැත්නම් Are you gay ? කියලා . මම ඉතින් නෑ කිව්වම ලංකාවේ ගොඩක් අයනම් හැරෙන තැපෑලෙන් මාව අන්ෆ්රෙන්ඩ් කළා . හැබැයි කීපදෙනක් ඔහේ හිටියා .වෙන රටවල් වල අයනම් එහෙම කරා අඩුයි . හැබැයි උන් එක්ක කතා කරන්න භාෂාව හරිම වාත උනා . මම දන්නේ සිංහල ඉංග්‍රීසි විතරයි . උන් සමහර උන් ප්‍රංශ , ස්පාඥ්ඥ , උර්දු , අරාබි භාෂා විතරයි දන්නේ . කොහොමහරි ඒ හැමෝම එක්කම ගූගල් ට්‍රාන්ස්ලේට් වල පිහිටෙන් හරි කතා කරලා බැලුවා .

ඒ අයගේ ජීවිත ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා ඒ එක්ක . ඉතින් ශේප් එකේ ලංකාවේ අය කීපදෙනා එක්ක කතාකරා මම . එයාලා කොහොමද මේ ජීවිතේට පුරුදු උනේ දැන් ජීවිතේ ගතවෙන්නේ කොහොමද කියලා . ඉතින් දවසක් මට කතාවට අහුවෙච්ච එක පුද්ගලයෙක් අවුරුදු 27යි , මම කතා කරා . එයා එයාගේ ජීවිතේ ගැන ලොකු විස්තරයක් එවලා අන්තිමට කිව්වේ එයාලා මේ සමලිංගික ජීවිතයට එන්න ගැහැණු අය නිසා පිරිමි අයට සමාජයේ වෙන දේවලුත් හේතු උනා කියලා . විවාහ නොවී ලිංගිකව හැසිරීමෙන් සමහර වෙලාවල් වලදී ළමයින් බිහිවීම වගේ ඒවා කරදර වෙන එකත් ඒකට හේතුවක් කිව්වා . ඒත් ඉතින් ඒකම නෙවේ ලොකුම හේතුව මමනම් හිතන්නේ .

කොහොමහරි එයාලා පිරිමි අයගෙන් ආදරේ හොයන්නේ ගැහැණුන් වෙත තියෙන තදබල අප්‍රියත්වය නිසා කියලා කිව්වා . ඇත්ත නැත්ත මම දන්නේ නෑ .

පස්සේ ඒ කතාබහේදී දැනගන්න ලැබුනේ එයාලා එයාලගේ සංස්කෘතිය වෙනුවෙන් සමහර දේවල් දිහා සමලිංගික ඇහැකින් බලලා ඒක සමලිංගික දෙයක් බවට තහවුරු කරගන්නවා කියලා . මේවට සමලිංගික අය එකතුවෙන ග්රූප් ප්‍රධානවම වැදගත් උනා කියනවා . මේ ගීතය එක්ක තව ගීත කීපයක් කිව්වා එහෙම ගේ උන ඒවා .

ඔන්න එහෙමයි මේ ගීතය ගැන මට දැනගන්න ලැබුනේ . ඇත්ත නැත්ත කෙසේ වෙතත් මමනම් හිතන්නේ විරුද්ධ ලිංගික අයට ලියවෙන ගීත ගොඩාක්ම තියෙන නිසා සමලිංගික අය එයාලටත් එහෙම ගීත හැදිලා තියෙනවා කියන්න මේවාට සමලිංගික වෙස්මූණ දාලා කියලා . ඒ අය ගැන සානුකම්පිතව බැලුවම  එහෙම හිතුවට කමක් නෑ කියලා හිතන්නත් පුළුවන් . ඒත් ඒක ගීතයේ රචකයා ගීතය ලියන්න යොදාගත්ත වස්තුබීජයට කරන අසාධාරණයක් නේද ?

මේ ගීතයේ මම කලින් කිව්වා වගේ සංගීතය හමුවේ අර්ථය යටපත් වීමත් සෑම් අයියා දාපු කමෙන්ට් එකේ කියන හැටියට පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනා කිරීමත් නිසා මේ ගීතයට සමලිංගික අර්ථයක් ලබාදෙන්න ලේසි වෙලා තියෙනවා .

( පස්සේ කමෙන්ට් කරපු අය තරහා වෙන්න එපා . මම මේ මුලින් දැක්ක වෙලෙමයි මේ පෝස්ට් ඒක කෙටුවේ . මම ඩිපෙන්ඩ් උනේ එවෙලේ තිබ්බ කමෙන්ට් එක්ක තමයි හොදේ ........)

ඔන්න අවසානෙට කියනවා මමනම් මේ ගීතය ගැන දකින්නේ මෙහෙම . ඇයි අවුල්ද ?

:p :p :p

12 comments :

  1. මට හිතෙන්නේ අයියා තමයි බාර් එකේ බිබී ඉන්නේ, අපි නිකං හිතමු විවාහක ටිකක් ලොකු මහත් වෙච්ච ළමයින් ඉන්න කෙනෙක්. අයියාට වැදිලා ඉන්නකොට තමයි මල්ලිගේ ඡායාව පෙන්නේ. ඒ කියන්නේ මේකෙ ස්ථායී කොටසේ මුල් පද දෙක කියන්නේ අයියා. මල්ලිගේ දුක ගැන අන්තරා කොටස් වලිනුත් කියවෙනවනේ. ඒකම තමයි මෙතනත් කියන්නේ. අයියා ලෝකේ වෙන ප්‍රශ්න නෑ වගේ ෂොට් එකක් දාගෙන ආතල් එකේ ඉන්න හැටි මල්ලි දැකලා කියනවා, මගේ දුකත් දිය කරලා මම උඹ ඉන්න ලෝකෙට මොහොතින් එනවා කියලා.

    ඊට පස්සේ අයියගේ 'අයියා' ලක්ෂණ මතු වෙනවා. මම නම් මේ ඉහ නිකට පැහිළා දැන් ළමයි ගැනත් ලොකුවට බලන්න දෙයක් නෑ, ඒත් මූ තාම පොඩි එකා කියලා හිතනවා. උඹ තාම පොඩි කොල්ලනේ ඇ‍යි යකෝ මෙහෙම බොන්නේ කියලා අහනවා. මල්ලි ඉතිං කියනවා 'අයියේ බලපන්කෝ අර කෙල්ල බෑ කිව්වනේ, මට බොන්න ඕනේ' කියලා.

    මල්ලිට දැන් ටිකක් වැදිලා, කෙල්ල ගැනම කියවනවා. අයියා කියනවා මට තේරෙනවා බං, වරෙන් අපි දැන් ගෙදර යමු කියලා.

    ඇත්තටම ස්ථායි කොටසේ අයියා මල්ලී කියන කොටස් ගැන විතරයි මෙතන වෙනස. නැත්නම් අන්තරා කොටස් වල ඔබේ අදහස එක්ක මේක ගැලපෙනවා.

    මේකෙ සංගීතය ගැන ඔබ කරලා තියන විස්තරයට මම කැමතියි. ලොකු දැනුමක් නැතත් ඒගැන විස්තර හොයන්න කියවන්න මම කැමතියි. මේ සිංදුවල තියන සංගීත කොටස්, උපක්‍රම ගැන කිසිම විචාරයක් නැති තරම්.

    ගීතයේ තේරුම යටපත් කරගෙන සංගීතය ඉස්මතු වෙලා කියන කාරණයෙදී, මම එච්චරම ඔබ එක්ක එකඟ නෑ මෙතනදි, සංගීතය ගැන විශේෂ දැනුමක් නැති ශ්‍රාවකයෙක්ගේ කොණයෙන්. මේ ගීතයේ සංගීතය හිතට දැනෙනවා තමයි, නමුත් එහි පද රචනය යටපත් කරන බවක් නෑ කියලා හිතෙන්නේ. එහෙම කියන්නේ ගීතය අහපු මුල් කාලෙම ගීතයේ පද ගැන හිතන්න පෙලඹවීමක් ඒ තුල තිබ්බ නිසයි.

    අමරදේවයන් ගායනා කරන 'පාවෙනා නිල් වලාවේ' සහ 'ආරාධනා' ගීත දෙක එහෙම පද රචනය පරදවා සංගීතය ඉසමතු වූ ගීත දෙකක් කියලා මට හිතෙන්නේ.

    ගේ කතාවට එමුකෝ. මම සිංදුවාගේ පෝස්ට් එකෙත් කිව්වේ, පද රචනයේ තියන විවෘතභාවය නිසාම මේකට එවැනි තේරුමක් ආදේශ කලහැකි බවයි. මම නම් දකින්නේ ඒක බොහොම හොඳ සහ පද රචනයේ ඇති විශිෂ්ට ලක්ෂණයක් විදිහට. ගීතය ලියන්න මුල් වූ සිදුවීම සහ ගීතයේ පද රචනයෙන් ගත හැකි අර්ථ දැක්වීම් එකම වෙන්න අවශ්‍ය නෑ කියලා මම හිතන්නේ. බොහෝ වෙලාවට ගීතයට මුල් වෙන්නේ ඒ වගේ පුද්ගල අත්දැකීමක් උණත්, ගීතය සමාජයට යනකොට බොහෝ දෙනෙකුට ඒ ගීතය තමන්ට අදාල කරගන්න හේතුවෙන්නේ ඒ විවෘතභාවය. ඒ දෙක අපිට වෙනමම කතා කරන්න පුළුවන් අංග දෙකක්, ඒ නිසා රචකයාට කරන අසාධාරණයක් වෙන්නේ නෑ කියලා හිතනවා. ලෝකපූජිත වෙලා තියන බොහෝ කලාකෘති වල ඒ ලක්ෂණය තියනවා. ඕකට 'විශ්ව සාධාරණභාවය' කියලත් කියනවනේ.

    මතකද අනූව දශකයේ අග ජනප්‍රිය වුණ කොලෝනියල් කසින්ස්ලගේ 'ක්‍රිෂ්ණා' ගීතය. පද රචනය ගත්තහම, සමාජයේ තියන දුෂ්ටකම්, අසාධාරණයන් නැති කරන්න, මිනිස්සුන්ට පිහිටවෙන්න, සතුට බෙදන්න ක්‍රිෂ්ණාට එන්න කියලානේ කියන්නේ. ඕකට මුල් උණා කියන්නේ මෙයාලගේ ඥාති ගෙදරක සිටි ක්‍රිෂ්ණා කියලා කුඩා ළමයෙක්ලු. ඉන්දියන් පවුල් බොහෝ විට විශාල ඥාති පිරිසක් එක ගෙදරක ජීවත්වෙන එක සාමාන්‍යයිනේ, ඉතින් එතකොට ප්‍රශ්නත් ඇතිනේ. නමුත් පවුලේ හැමෝම ළමයට එක වගේ ආදරෙයිලු. හැමෝම ළමයා දැක්කහම ක්‍රිශ්ණා එන්න එන්න කියලා කතා කරනවලු. පවුලේ තිබ්බ පොඩි පොඩි අසමගිකම් එහෙම ඒ ළමයා නිසාම යටපත් වුණාලු. ඔය වස්තු බීජය තමයි සිංදුවට මුල් වුණාය කියන්නේ.

    //එයාලා කොහොමද මේ ජීවිතේට පුරුදු උනේ//
    මට හිතෙන්නේ ඔබ පටන් අරං තියෙන්නේ වැරදි තැනකින්... මේක අර මත්කුඩු, හොරකම් වගේ පුරුද්දට යන ජීවන චර්යාවක් නෙමෙයි. කෙනෙකුගේ ජාන, හොමෝන ආදියේ බලපෑමෙන් ඇතිවන ස්වභාවික තත්වයක්. ලිංගික ආකර්ෂණය පුරුදු පුහුණු කලහැකි දෙයක් කියලා මම හිතන්නේ නෑ.

    --අතිශය දීර්ඝ වීම ගැන සමාව ඉල්ලා සිටිනවා--

    ReplyDelete
    Replies
    1. එල එල ..... දිග උනාට මොකෝ මෙයා , කියලා තියෙන ඒවා එල . ම්ම්ම්ම් අර ගේ කතාවට //එයාලා කොහොමද මේ ජීවිතේට පුරුදු උනේ// කියන එක මම ලිව්වේ එයාලා කියන විදියට . පුරුදු උනේ කියලා අදහස් කලේ සමලිංගික භූමිකාව එක්ක සමාජයේ අනිත් අයත් එක්ක ගැටෙන ක්‍රමය .

      එක මල්ලි කෙනෙක් කියලා තිබුනා එයා ගේ කියලා දැනගත්තම යාළුවො ඔක්කොම එයාව කොන් කලාලු . ඉතින් එයා ඊට පස්සේ ක්ලාස් ආවේ ගියේ ඔක්කොම තනියමලු . යාලුවෝ නැත්තටම නැති උනාලු . පස්සේ ඒ ජීවිතේට එයා ටික ටික පුරුදු උනාලු . ජීවිතයට පුරුදු උනේ කිව්වේ මම ඒක අදහස් කරලා . චඃ . වෙන වචන වලින් කියන්න තිබ්බ මට ඒක . එල එල .

      ඕකේ ජානමය පසුබිම ගැන අසම්මත ප්‍රේමයේ ගීතයට ප්‍රදීප් චන්දන ගුණරත්න අයියා කමෙන්ට් කරලා තිබුනා . පස්සේ එයාගේ බ්ලොග් එකෙන් තමා මම කියෙව්වේ ජානමය පසුබිමක් ගැන .

      සංගීතය ඉස්මතුවෙලා කියන එක ඉතින් ගීතය අහන අහන කෙනාට එක එක විදියට හිතන්න පුළුවන් නෙහ් ? . අරාධනා ගීතය ගැන නම් මට එහෙම අයිඩියාවක් නෑ . හැබැයි පාවෙනා ටිකක් ඒ වගේ තමයි . ඒක එක එක අයට ඇඟට දැනෙන හැටි වෙන්නැති මම හිතන්නේ .

      අයියගෙ කතාවත් වෙනමම පොස්ට් එකකට ලියන්න තිබ්බේ . එහෙම ලියලා නියමෙට මේ කතාව ඇදගෙන යන්න තිබ්බා . එල එල . සින්දුවේ තේරුම ගැන කිව්ව කතාවට මම පට්ටම ලයික් . මේකට කමෙන්ට් කරන අනිත් අයත් මේ උඩ කමෙන්ට් එක කියවනවනම් හොඳයි ආ.................................. g-) g-) g-)

      Delete
    2. තිසර සමග යම් කාරනා වලට එකග වෙමි. මේකේ අයියගේ මල්ලිගේ කතාව වයලා කියන විදියට කියලා මටනම් දැන් කොහොම කලත් හිතන්න අමාරුයි. ඇරත් මම හිතනවා මෙතන අද කාලේ වගේ ඉස්සර //ජේෂ්ටත්වය// කියන එක මුල් කරගෙන කොටස් බෙදයි කියලා. මම දන්නා හැටියට කපුගේ එහෙම පුහු ආඩම්බරයක් ඔලුවේ තිබුණු කෙනෙක් නෙවෙයි. මෙතැනදී කපුගේ ගේ හඬ වඩා ගැඹුරු නිසා අයියා කපුගේටත් මල්ලිට සෞම්‍ය හඬකින් (වචනේ හරිද මන්ද) දිවුල්ගනේටත් තෝරාගන්න ඇති.
      වෙහෙස වෙලාව නොබලා මෙවැනි වැදගත් දීර්ඝ කොමෙන්ටුවක් දැම්මට බොහොම ස්තුතියි
      අර ආරාධනා සිංදුව නම එහෙම කියලා මටත් හිතෙන්නේ නෑ. පාවෙනා කලින් හිතුනේ නෑ දැන් හිතෙනවා ඔය කියන විදියදෝ කියලා, කොයිකටත් ආයේ අහලම ඉන්න ඕනා. :D

      Delete
    3. මෙටික කියෙව්වම දැන් සින්දුව එක එක විදියට හිතෙනවා . ඒකත් පට්ට ගති වැඩක් . කපුගේ පුහු මාන්නය දාගෙන එයා ඒක අරගෙන නෙවේ . ඔයවගේ අවස්ථාවල වෙන්නේ මේක තමා . මටනම් අත්දැකීම් තියෙනවා . හපෝ කියන්න බෑ . හතර විලි ලැජ්ජයි .

      Delete
  2. වෙනස් විදියකට හිතලා තියෙනවා :-?

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
  3. තිසරගෙ කොමෙන්ට් එකේ තේරුමනම් මරු.ඒක 100%නක්ම වගේ ගැලපෙනවා නේ බලන් ගියාම.

    .හරිම තේරුම මොකක් උනත් එක අතකට මේ පද පේළි ‍තුන හතරක් එක්ක මෙච්චර දුර හිතන්න පුළුවන් වෙන එකත් කොච්චර දෙයක්ද.දැන් එ වගේ සිංදු ලියවෙන්ිනැති එකනම් දුකයි.

    මම මේක ගැන මගෙ යාළුවෙක් එක්ක පොඩ්ඩක් කතා කළාමම කිවුව මටනම් ගේ පාට් එකක් පේන්නෙම නෑ කියලා.එයා කිවුවා බුකියෙ මේ සිංදුව ගැන සෑහෙ ඉස්සර ගිය සංවාදෙක එක්කෙනෙක් දාලා තිබුනලු මෙහෙම කතාවක්.

    පොඩි ප්‍රශ්නයක් තියනවා "රුවක් ඇදෙනවා කවුදෝ එනවා " කිවුවම එක රුවක් ඈතට ඇදෙනවා තව කොනෙක් ළඟට එනවා කියලා හිතන්න පුළුවන්. එහෙම වෙනවනම් පලවෙනි කොටසෙ අයිය ගේ බූට් එකක් කාලා බිබී ඉන්නකොට කවුද එනවා පේනවා.ඒ එන එක්කෙනත් එන්නෙ ගේ බූට් එකක් නිසා අප්සට් එකේ කියලා කතා කරද්දි දැනගන්නවා.ඊ‍ට පස්සෙ දෙන්නම ගේ කියලා දැනගෙන අයිය මල්ලිට අඬගහනවා.

    ඒ වුනාට චැඃ මේ වගෙ ලස්සන සිංදුවකට එහෙම කැත තේරුමක් දෙන එක හරි වැරදි අප්පා.එතකොට නිකං ගේ සංගමේක බාර් එකක වෙච්ච කතාවක් වගේ වෙනවානෙ.මමනම් එකඟයි තිසරගෙ අර්ථ දැක්වීමට.

    මගේ යාළුවෙක් ඔය ගේ එක ගැන කතාවක් මතක් උනා.එයාගෙ අක්කට ෆේස් බුක් එක හරහා එක පාරක් එහෙම කෙනෙක් කතා කරලා තිබුනා.(එතකොට ගේ නෙමේ ලෙස්බියන් නෙ) කොහොමහරි මේ අක්කට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා.අක්කා හෙමින් ආරාධනාව ප්‍රතික්ෂේප කරලා පොඩ්ඩක් විස්තර අහලා තිබුනා.ඒ අක්කා කිවුව විදිහට මේ අය තමන්ගෙ අත්දැකීම් තව කෙනෙක්ට කියන්න මැලි වෙන්නෙ නෑලු.ඒ ගෑනු ළමයා පිරිමි ළමයි දෙන්නෙක් ආශ්‍රය කරලා බූට් කාපු කෙනෙක්.පිරිමි ගැන ඇතිවෙච්ච ලොකු කලකිරීමක් දුරදිග ගිහින් තමයි ඒ තත්වෙ ඇති වෙලා තියෙන්නෙ.එයා අක්කට කියලා තියෙනවා පිරිමි ගැන වැරදි ගොඩක් සහ ගෑනු ළමයෙක්ගෙන් එහෙම වැරදි වෙන්නෙ නෑ වගේ ගොඩක්‍ දේවල්.

    කොහොම වෙතත් මේ සිංදුවටනම් ගේ කියන එක හරි අමුතුයි.සමහරිවිට කෙල්ලෙක් ගැන කියවෙන වචනයක්වත් නැති නිසා එහෙම තේරුමක් දෙන්න ලේසි ඇති.වයලීනෝ අන්තිමට කියල තියන දේ වෙන්නත් පුළුවන් බොහෝ දුරට.නමුත් ලෙස්/ගේ අය ඉන්නවා නේද සමහරු විරුද්ධ පාර්ශවයත් ආශ්‍රය කරන ගමන් සමලිංගිකත් වෙන?

    අනික දැන් අපි එහෙම සමරිසි අයට ගේ/ලෙස් කියලා කියන්නෙ විරුද්ධ අයට ආකර්ෂනය වෙන අය සාමාන්‍යයි සමාන තත්වෙට ආකර්ෂණය වෙන අය අසාමාන්‍යයි කියල තැන ඉඳලා නේද?මම කැමති සමරිසි කෙනෙක් ලියපු පෝස්ටුවක් කියවන්න.ඒකෙදි එයාලට සමරිසි නොවන අයව අසාමාන්‍ය විදිහට පේන‍්න පුළුවන් නේ?

    හයියෝ සොලි වේන්න ඕන ගීතයට අදාල නැති ඒවත් කිවුවනම්.හිතට ආපු වෙලේ කියලම දැම්මා ඔන්න.

    ReplyDelete
    Replies
    1. //තේරුම මොකක් උනත් එක අතකට මේ පද පේළි ‍තුන හතරක් එක්ක මෙච්චර දුර හිතන්න පුළුවන් වෙන එකත් කොච්චර දෙයක්ද//

      මෙන්න මේක තමයි වැදගත්ම දේ... දැන් මේ අපේ කතාබහ ඔක්කොම සිද්ධවෙන්නේ මේ හේතුව මතනේ. ඕකට හේතුව තමයි පදරචනාවේ තියන විවෘතභාවය, ඒ කියන්නේ කීප දෙනෙකුට කීප විදිහකින් අර්ථ දක්වන්න ඇති හැකියාව. මේ වගේ පද රචනා අරගෙන ඒවා ගැන අපි මෙහෙම කතාබහ කරන එකේ කොච්චර රසයක් තියනවද? මේක ලියන දෙන්නා හරි දක්ෂයි ගීත වලට තමන්ගේ අර්ථකතන දෙන්න, පොඩ්ඩක් පරණ පෝස්ට් බලන්නකෝ.

      පෞද්ගලිකව මේක සමරිසි ගීතයක් කියලා මම හිතන්නේ නෑ. මේ ගීතය ලියවෙන වකවානුවේ එහෙම කතාබහක් ලංකාවේ තිබ්බේ නෑ. මේ කොටස බලන්න..

      //සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
      කිම තොල මීවිත පොඟවන්නේ//

      මේ ප්‍රශ්නය ප්‍රේමයෙන් බැඳිලා ඉන්න දෙන්නෙක් (සමරිසි වන හෝ නොවන) අතර මතුවෙන්නේ නෑ. මේක අහන්නේ වැඩිමල් කෙනෙක් බාලයෙකුට අවවාදයක් දෙන ආකාරයෙන්.

      //වරෙන් මලේ පියවර නගලා//

      මෙතනත් 'වරෙන් මලේ' කියන ඇමතීමෙන් පෙන්නන්නේ අර කලින් කිව්ව වගේම බාලයාගේ සුභසිද්ධිය ගැන හිතන වැඩිමල් සහෝදරයෙකුගේ චරිතයක්.

      නමුත් මේ ගීතයේ තියන වචන, යෙදුම් වලට වෙනත් අර්ථකතන දීලා ඒකට සමරිසි අර්ථයක් දෙන්න පුළුවන් වීම ගැන මම සතුටුයි. හැබැ‍යි මෙහෙම අර්ථකතන දෙනකොට පොඩි තර්කානුකූල භාවයක් තියෙන්න ඕනේ, අර 'සඳකඩ පහණක' ගීතයට ගණිකවකගේ ජීවිතය ආදේශ කලා වගේ නැතුව. මෙතනදි යම් තර්කානුකූලභාවයක් තියනවා කියලා මට හිතෙනවා..

      Delete
    2. මමත් ටිකක් කල් ඉඳලා මේ ජෝඩුවගෙ පෝස්ටු කියවනවා.ඇත්තම කිවුවොත් සිංදුවක දිග පලල හොයන්න පුරුදු උනේ මේ දෙන්නගෙ පෝස්ට් කියවලා තමා.දැන් හමැ සිංදුවටම එක එක එවුව හිතන්න ඉබේම පුරුදු වෙලා.ඔවු එකඟයි.මමත් මේක සමරිසි ගීතයක් විදිහට දකින්නෙ නෑ කොහොමටත්.

      මට මගේ යාළුවෙක් කිවුව කතාවක් මතකයි.එයා කියනවා කෙල්ලෙක් කෙල්ලෙක්ට මම ඔයාට ආදරෙයි කිවුවම ඒක යාළුකම විදිහට බාර ගන්න මිනිස්සු කොල්ලෙක් කෙල්ලෙක්ට එහෙම කිවුවොත් වපරැහින් බලනවලු.මේකෙත් පිරිමි දෙන්නෙක් ගයන නිසා එහෙම අර්තකතනයක් දෙන්න ලේසි වෙන්න ඇති

      Delete
  4. සහෝදර ප්‍රේමය කියන්නේ කොහොමත් සමකාමුක පදනමක් තියෙන දෙයක් නෙවෙයිනේ. එතන ඇත්තේ කාමුකත්වයක් නෙවෙයි සහෝදරත්වයේ වගකීමෙන්යුතු බවක්.

    ReplyDelete
  5. පොස්ට් එක කියෙව්වා, කොමෙන්ටුත් එක්කම. ලස්සන විචාරයක් දරුවෝ. බයි-ද-වේ කිරි අම්මලාගේ දානේ ගැනත් ලියන්නකෝ, ආයේම ලියද්දි... ඕන්ලි-ඉෆ්-යූ-කැන්. හොඳේ? :) :) :)

    ReplyDelete
  6. සිංදු ගැන අපිට හිතෙන හැටි වෙනස් නේ ඉතින්.. තිසරගෙයි සාශාගෙයි කමෙන්ට් හන්දා පෝස්ට් එකේ අගය වැඩි වෙලා..

    ReplyDelete
  7. මම මෙහෙම කියන්නම්.....කපුගේ, මහින්ද, දිවුල් කියන්නේ එක් යුගයක අපේ වීරයෝ...මොවුන් බොහෝ සමාජ අත්දැකීම් තිබු අය. මධුවිතත් එහි ඇති මිහිරි අමිහිරි පලවිපාක අත්විදිමින් සිටි අය. දැන් මම සිංදුවාට දැමු කමෙන්ට් එක මෙතනට අමුනන්නම්./////මම කැමතිම සිංදුවක්. මහින්ද දිසානායක මේ ගීතය කිසිලෙසකින්වත් සමරිසි පසුබිමක් ගැන කියන්න ලියපු දෙයක් නොවේ කියා මා හිතනවා. මධුවිත සහ අවන්හල හරිම සුන්දර තැනක්. ඒ මගේ පෞද්ගලික අදහස. මෙවැනි තැන්වල මේවගේ සොදුරු සාක්ච්ඡා ඇතිවෙනවා. මධුවිත ඔබව නොයෙකුත් මානයන් තුල රසවත් කරනවා. ඔබ වැඩිමහල් නම් අනිකාට උපදෙස් අවවාද දෙන්න නිතරම උනන්දුවෙනවා. එහෙම තමයි ඒ දේවල්.

    මෙවැන් ගී පදවැල්වලට හිතට ආ පලියට වැරදි අර්ථ කථන දීම ..ඒ ගීතයට මෙන්ම පද රචකයාටත් කරන හානියක් කියලා මම හිතන්නේ.////////

    සමරිසි අරුත ඉලිප්පවීම අරභයාම මේ ගීතය ලිව්වානම් ඒයද වරදක් නොවේ. මොකද සමරිසි කියන්නේ දඬුකඳේ ගැසිය යුතු වරදක් නෙමේ. ඒ තවත් ලිංගික සංතර්පන භාවිතයක්. සමහර විට එක් අවධියක්. නමුත් මේ පදරචනය එසේ නොවන බවයි මගේ අදහස. මොකද බලු පැටියෙක් එක්ක හුරතල්වෙන ගෑණු ළමයෙක් ගැන පදවැලක් ලිව්වොත්...සමහර විට එයට වැරදි අර්ථකතනයක් දෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ගීතය වැටහෙන ආකාරය විවිධ වෙන්න පුළුවන්. නමුත් වැරදි මතයක් සමාජගතවීම එතරම් සුදුසු නැහැ.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.