Sunday, February 2, 2014

අසහාය රංගධරයාගේ පසුවදන !





මේක බ්ලොග් එකේ දානවද නැද්ද කියලා කලපනා කර කර ඉඳලා ඔන්නොහෙ දැම්මා . පොඩිකාලේ මම , අපේ ගෙදර තිබ්බේ කලුසුදු ටීවී එකක් උනාට මොකද බලන්න තියෙන ඔක්කොම කාටූන් කතා ටෙලිනාට්‍ය බැලුවා . අවුලක් උනේ නෑ පෙනුනේ ජාතික රූපවාහිනී නාලිකාවයි ස්වාධීන රූපවාහිනී නාලිකාවයි නිසා . දැන් මේවා පොඩ්ඩක් අවුල් උනාට ඒ කාලේ මාරම වටිනා දේවල් විකාශය උනා .

මම කැමැත්තෙන්ම බලපු ටෙලි නාට්‍ය උනේ කන්දේ ගෙදර , බැද්දේ ගෙදර , අකාලසන්ධ්‍යා , දඬුබස්නාමනය , දුන්හිඳ අද්දර , වෙදහාමිනේ , පලිඟු මැණිකේ  , සත්සර රංගන , ඉන්ගම්මාරුව , පිටගම්කාරයෝ චරිත තුනක් වගේ ටෙලිනාට්‍ය කීපයක් . අදට උනත් මේවා ආයේ දකින්න ලැබෙනවනම් නොබලා ඉන්නේ නෑ . මේ අතරේ වේදිකා නාට්‍යත් බලන්න ලැබුනෙත් ටීවී එකෙන්ම . ඒ අතරින් වඩාත්ම හිතේ රැඳුනේ " මී පුරවැසියෝ " කියන නාට්‍ය . පොඩිකාලේ මේ ලොකුවට කන් හයි කරගෙන රඟපානව දැක්කම මාර ෆන් . ඒ අතරේ මම වඩාත්ම ආදරය කරපු ගීතයක් තමයි මෙන්න මේ ගීතය .




ඔය ගීතය තමයි මට සුමින්ද සිරිසේන මහත්මයා ගැන තියෙන පරණම මතකය . මොකද ඕක ඉස්සෙල්ලම බැලුවේ මට අද වගේ මතකයි අම්මගේ උකුලේ මාව තියාගෙන අම්මා මට බත් කවන වෙලාවක . අර කලින් කිව්වා වගේ ටෙලිනාට්‍ය වල උනත් මම සුමින්ද සිරිසේනයන්ගේ රඟපෑම් හරිම කැමැත්තෙන් බැලුවා . අනිත් කෙනා ජයලත් මනෝරත්න . මේ දෙන්නා තමයි මගේ සිත්ගත් රංගන ශිල්පීන් දෙදෙනා .


සුමින්දයන්ගේ මම වැඩිපුරම කැමති ටෙලිනාට්‍ය චරිතය උනේ චරිත තුනක් ටෙලිනාට්‍යයේ " ඉසා " ගේ චරිතය . මොකද ජයතිලකයන් මවපු චරිතයට ඒ විදියටම මෙතුමා පන පොවපු නිසා .

මේ ලිපිය ලියන්න හේතු උනේ සුමින්ද සිරිසේන මහතා දැන් ඉන්නේ රෝගාතුරවෙලා නිසා . මුහුණුපොතේ මම කියවපු ලිපියක මුල්ම පේලිය දැක්ක ගමන් හිත පොඩ්ඩක් ගැස්සුනා . ඒ සුමින්ද සිරිසේන මහතා රඟපෑමෙන් සමුගන්නවා කියන කතාව . හැකියාව හා දැනුම සපිරි උගත් බුද්ධිමත් නිරහංකාර මේවගේ අසහාය පුද්ගලයෙක් රංගනයෙන් සමුගැනීම අපේ කළා ලෝකයට ලොකු හිඩැසක් කියලා තමයි මම හිතන්නේ . එතුමා ගැන කියවපු ඒ ලිපිය මම පහලින් කොපි කරලා දැම්මා . කැමති අය කියවන්න . ටිකක් හැඟුම් බරයි කියලා හිතෙනවා . මොකද මටත් ඒක කියවලා දුක හිතුනා .  :)  :)  :)



කියවන්න වෙලාව නැත්න්ම මෙතනින් නවතින අය අපේ ඒ අසහාය රඟධරයාට
ආයු වර්ණ සැප බල සම්පත්තිය සපිරි නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න .

මේ එතුමාගේ වචනයෙන්ම කියපු එතුමාගේ කතාව .

" මට ආයෙත රඟපාන්න බැරිවෙයි. ඒ නිසා ඕව ගැන දැන් මගේ බලාපොරොත්තුවක් නෑ සුමින්ද සිරිසේන කඳුළෙන් කියන කතාව සුමින්ද සිරිසේන මේ රටේ සුවහසක් ටෙලිනාට්‍ය, වේදිකා සහ සිනමා ප්‍රේක්ෂකයන්ගේ අසීමිත ආදරයට පාත්‍ර වූ, විශිෂ්ට රංගධරයකු වූ බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. නමුත් අද වනවිට මේ අති දක්ෂ රංගන ශිල්පියාගේ අපූරු වූ දස්කම් තවදුරටත් අපට දැකගන්නට හැකි වේවිද යන්න පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත බවකි. මන්ද යත් ඔහු මේ වනවිට දැඩි ලෙස රෝගාතුරව සිය නිවසට වී කල්ගත කරමින් හිඳින නිසාය. සුමින්ද දැන් වැඩි කාලයක් ගත කරන්නේ රෝද පුටුවේය.

නැගිට නිදහසේ එහා මෙහා ඇවිද යාම දැන් ඔහුට පහසු නොවේ. සුමින්දට වැළඳුණු රෝගය වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන්නේ ‘ඔටෝ ඉමියුන් එන්සෙෆලෝපති’ යන නමිනි. එය මොළයට ඇති වන යම් හානියක් නිසා හටගන්නා ස්නායු ආබාධයකි. එහිදී සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් මොළය ආක්‍රමණය කිරීමක් වැනි සිද්ධියක් බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙයි. “මට 2012 මැයි මාසයේ එක්තරා දිනයක තදින් උණ හැදුණා. ඒ එක්කම කකුල් දෙකම පණ නැතිව ගියා. මාව රෝහල්ගත කරන කොටත් මට සිහිකල්පනාවක් තිබුණෙ නැහැ.



දොස්තර මහත්වරුන්ට මුලින් රෝගය මොකක්ද කියලා හොයා ගන්න පවා පුළුවන් වුණේ නැහැ. මට එක දිගට මාස දෙකක් විතර කොළඹ ජාතික රෝහ‍ලේ නතර වෙලා ඉන්න වුණා. ඇවිදගන්න බැරිව, කතා කරගන්න බැරිව හිටියේ. භෞත චිකිත්සාවෙන්, (ෆිසියොතෙරපි වලින්) තමයි මම පණ ගහලා ආවේ. හැමෝම හිතුවේ මම ඉවර තමයි කියලයි. නමුත් ජාතික රෝහ‍ලේ මට ප්‍රතිකාර කරපු දොස්තර මහත්තුරුන්ට පින් සිද්ධ වෙන්න මට තවදුරටත් ජීවත් වෙන්න වාසනාව ලැබුණා. මම ගොඩ ආවේ ඔවුන් නිසා. මම බුදුන් වඳින අත් දෙක එකතු කරලා ඒ හැම දෙනාටම පින් දෙනවා”. සුමින්ද ‘ලක්බිම’ සමග මේ කතාබහට එක් වූයේ එසේ කියමිනි. ගම්පහ, ශ්‍රී බෝධි පාරේ අංක 29/3 නිවසේ රෝගාතුරව පසුවන සුමින්ද දෑස මෙන් බලා ගන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ ලීලාය. “මගේ ලීලා නොහිටින්න මම මෙලහට එලොව ගිහින්.

එයා මාව ආදරයෙන් රැකබලා ගන්න ලොකු කැපකිරීමක් කරනවා.” සුමින්ද බිරිය දෙස බලා සිනාසුණේය. “මම ලීලා හඳුනගත්තේ ඉස්කෝලෙ යන කලෙදිමයි” යනුවෙන්ද ඔහු තව කොටසක් එකතු කළේය. බුලත්ගමුව ගේ සුමින්ද සිරිසේන 1945 ජුලි 04 දා වෙනිදා උපත ලැබුවේ කෑගල්‍ලේ බොස්වැල්ල ග්‍රාමයේය. කුඩා සිරිසේන තුළ කලාව ගැන, රංගනය ගැන උනන්දුව ඇතිවූයේ සිය පියාගේ ආභාසය නිසා බව ඔහු පවසයි. “පුංචි කා‍ලේ තාත්තා “සඳ කිඳුරු නාඩගම” නටනවා මම දැකලා තියෙනවා. තාත්තා ගමේ නාඩගම් මඩුවක් හදලා ගමේ මිනිස්සුන්ට නාට්‍ය පෙන්වනවා. මමත් මල්ලිලා දෙන්නත්, නංගිත් කට ඇරගෙන මේ නාට්‍ය බලාගෙන හිටිය හැටි අදත් මට හොඳට මතකයි” සුමින්ද අධ්‍යාපනය ලැබුවේ තෝලංගමුව මධ්‍ය විද්‍යාලයෙනි. විද්‍යා විෂයන් ඉගෙන ගත් ඔහු පාසල් වේදිකාවේ කැපී පෙනුණ සිසුවකු වූයේ කුඩා කාලයේ ගමේ නාඩගම් මඩුවේ තාත්තා රඟ පෑ හැටි බලා සිටීම නිසාය. “තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ නාට්‍ය කලාවට ආදරය කළ ගුරු භවතුන් දෙපළක් හිටියා.



ප්‍රවීණ කවියකු, විචාරකයකු වූ ආරියවංශ රණවීර අපේ සිංහල ගුරුවරයා. සීගිරි කාශ්‍යප කතාව ඇසුරෙන් ඒ මහතා ‘ගිරිකූට’ කියලා නාට්‍යයක් ලිව්වා. අපේ සංගීත ගුරුවරයා වූ , පසුව ප්‍රවීණ රංගවේදියෙකු වූ දයා අල්විස් මේ නාට්‍යය නිෂ්පාදනය කළා. මට මේ නාට්‍යයේ කාශ්‍යප රජතුමා හැටියට රඟපෑමේ අවස්ථාව ලැබුණා. අපේ නාට්‍යය පාසල් වේදිකා නාට්‍ය අතර ලංකාවේම ප්‍රසිද්ධ වුණා. ඒක තමයි මගේ ප්‍රථම රංගාවතරණය. මේ පාස‍ලේදීම අපේ තවත් ගුරුවරයකු වූ ප්‍රවීණ පරිපාලන නිලධාරී ජයසුමන දිසානායක රචනා කළ “සාක්කිකාරයෝ” නාට්‍යයේත් මම රඟපෑවා. මේ නාට්‍යයත් නිෂ්පාදනය කළේ දයා අල්විස් මහතා.” සුමින්ද අතීතය සිහිපත් කළේය. පාස‍ලේ ළමුන් අතර පුංචි වීරයා වූයේ වේදිකාවේ කාශ්‍යප රජතුමා වූ ගැටවර වියේ පසු වූ සුමින්දය. විශේෂයෙන් ගැහැනු ළමෝ ඔහු කෙරෙහි රොද බැඳ ගත්හ. ඒ හැම දෙනා අතරින් සුමින්දගේ සිත ගියේ තමාට වඩා පන්ති දෙකකින් පහළ පන්තියක සිටි ලීලාටය.

පසු කලෙක ඔහුගේ ආදරණීය බිරිඳ වූයේ ලීලාය. සුමින්ද, වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේත්, සිනමා ක්‍ෂේත්‍රයේත්, ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේත් එක සේ දස්කම් පෑ, සම්මානයෙන්ද පිදුම් ලත් ප්‍රවීණ රංගවේදියෙකි. සුමින්දගේ රඟපෑම් ගැන කතා කළ ජෝ අබේවික්‍රම විශිෂ්ට රංගධරයා වරක් අප සමග පවසා සිටියේ “ඔන්න පුතෝ හොඳ කොල්ලෙක් හැදීගෙන එනවා. ඌ අපේ කලාව ඉදිරියට අරං යාවි” කියාය. අද රෝගාතුරව රෝද පුටුවකින් යන සුමින්ද පසුගියදා රාජ්‍ය ටෙලි නාට්‍ය උළෙ‍ලේදී විශේෂ සම්මානයකින්ද පුද ලැබිය. තම නිවසේදී හැකි හැම විටම ඔහු හැරමිටියක ආධාරයෙන් තරමක් දුර ගමන් කරයි. අද සුමින්දගේ සිතට සැනසුම ගෙන එන ලොකුම විනෝදාංශය වී ඇත්තේ ‍පොතපත කියවීමයි. තෝරා ගත් ටෙලි නාට්‍යයක්, ගුණාත්මක අගයකින් යුත් වැඩසටහනක් දෙකක් ඔහු නරඹයි. “එයාගේ වැඩේම ‍පොත් කියවන එක. හොඳ ‍පොත් එකතු කරලා, පුංචි පුස්තකාලයක් හදාගෙන ඉන්නවා.



සෑම මාසයකම ‍පොත් දෙක තුනක් මිලදී ගන්නවා. සාහිත්‍ය සම්මන්ත්‍රණවලට ඉඩ ලැබුණු හැම විටම ගියා.” එසේ කීවේ සුමින්දගේ බිරිය ලීලාය. “මම පුංචි කාලෙ ඉඳලම ‍පොත් කියවන්න හරි ආසයි. ඩීමන් ආනන්දගේ මාරක කතා කියවීමෙන් පටන් ගත් මේ ආසාව ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ‍පොත් කියවීමෙන් දියුණු වුණා. ඊට පස්සේ ජී.බි. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර ආදීන්ගේ ‍පොත් කියවීමෙන් කියවීම වර්ධනය වුණා. ජී.බි. ගේ කෙටිකතා,නවකතා මෙන්ම ‘පලිගැනීම’ ‍පොතේ තිබුණ නිසඳැස්වලටත් ආදරය කළා. එහි එන නිසඳැස් වගේම ජී.බි. පරිවර්තනය කළ ‘රුබයියාත්’ කෘතියේ එන කවි බොහෝමයක් මට තවමත් කටපාඩම්. පත්තරේක හෝ ‍පොතක හොඳ කවියක් තිබුණොත් මම ඒවා ‍පොතක ලියා ගන්නවා. ඒ වගේම සිත් ගත් කවි මට ඉබේම කටපාඩම් වෙනවා.” සුමින්ද ඔහුගේ චරිතයේ අපූරු පැති හෙළි කරයි. පාසල් අධ්‍යාපනය නිම කළ සුමින්ද ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ ධම්ම ජාගොඩගේ මෙහෙයවීමෙන් පැවැත්වූ රංග ශිල්ප ශාලිකාවේ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

ධම්ම නිෂ්පාදනය කළ ‘මූදු පුත්තු’ නාට්‍යයේ දියෝනිස් ලෙස මාරුවෙන් මාරුවට රඟපෑවේ සුමින්ද හා රවීන්ද්‍ර රන්දෙණියයි. 1969 දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවකට එක් වුවත් කලාව ඔහු අත්නෑරියේය. නාමල් වීරමුනිගේ ‘වංසක්කාරයෝ’’, රන්ජිSuminda-Sirisena3ත් ධර්මකීර්තිගේ “හස්ති රාජ මහත්තයා” සහ “හිරු නැති ලොව‘, සරච්චන්ද්‍රගේ “මනමේ” හා “සිංහබාහු” (‍පොතේ ගුරු) ‘බව කඩතුරා’, “මහාසාර” දයානන්ද ගුණවර්ධනගේ “ආනන්ද ජවනිකා”, සෝමරත්න දිසානායකගේ “මීපුර වැසියෝ’” නාට්‍යවල රඟපෑ සුමින්ද වේදිකාවේ සිදු වූ අපූරු සිද්ධියක් මතක් වී මහා හඩින් සිනාසෙමින් එය අපට විස්තර කළේය. “හිරු නැති ලොව“ නාට්‍යයේ රඟ පෑ එක් නළුවෙකුට හදිසි කරදරයක් වී ඒ චරිතය රඟපෑමට ආධුනික නළුවෙකු එදා අපි සමග රඟපෑමට යොදවල තිබුණා. නමුත් ඔහු හුඟක් ආධුනික කෙනෙකු වූ නිසා වේදිකාවට ආවට පස්සේ බයටමද කොහෙද ඔහුගෙන් දෙබස් පිට වුණේ නෑ. එක දර්ශනයක ජයලත් මනෝරත්නත්, මාත්, ආධුනික නළුවාත් කාඩ් සෙල්ලම් කරනවා. ඒ අවස්ථාවේ මනෝ එක කාඩ් එකක් හංග ගන්නවා. එතකොට අර ආධුනික නළුවට තිබුණේ “උඹ හොරා” කියන දෙබස විතරයි.

මිනිහාට ඒකවත් කියා ගන්න බැරිව ගියා. දැන් නාට්‍ය ඉස්සරහට ගෙනියන්න බෑ. මම බැරිම තැන මිනිහට කිව්වා ‘අන්න බලනවා අරයා “හොර කරනවා” කියලා. ඒත් මිනිහා ගල්බිත වෙලා ඉන්නවා. බැරිම තැන මනෝ පිටපතේ නැති දෙබසක් කියමින් මා සමග රණ්ඩුවක් පටලවා ගෙන, අර ආධුනික නළුවව පෙන්නලා, “අයිසේ මෙයාවත් අරං යනවා යන්න.” කියනවා. ආධුනික නළුවා නැගිටල යනවා. ඒත් නාට්‍ය නිෂ්පාදක රන්ජිත් ධර්මකීර්ති වේදිකාවේ අයිනේ ඉඳගෙන මිනිහාව ආයිත් වේදිකාවට එව්වා. ඉතින් මොනව කරන්නද? ඔන්න දැන් අපි ආපහු කාඩ් සෙල්ලම් කරනවා. මම ආපහු කලින් විදියටම ‘අන්න අරූ හොර කරනවා’ කියල කියනවා. මනෝ ආපහු බැණලා මිනිහව එළියට යවනවා. රන්ජිත් ආයෙමත් මිනිහව අපි ළඟට එවනවා. දැන් ප්‍රේක්ෂකයන්ට තේරුණා මෙතන මොකක් හරි අප්සට් එකක් කියලා.



ඔවුන් දැන් හිනාවෙනවා. අපිටත් හිනා යන්න එනවා. ඒත් තද කරගෙන රඟපෑවා. මෙහෙම නාට්‍ය රඟපෑමක් මගේ ජීවිතයට කරල නෑ.” සුමින්ද කතාව ඉවර කළේ දෑසේ කඳුළු පුරවාගෙනය. අසනීප වී එක්තැන් වීමට පෙර සුමින්දද නාට්‍යයක් නිෂ්පාදනය කරන්නට සූදානම් වෙමින් සිටියේය. “මමත් නාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිටියේ. “සීතාවක රාජසිංහ” කියලා. නාට්‍යයේ පිටපතත් ලියලයි තිබුණේ. නමුත් අසනීපය නිසා ඒක කරගන්න බැරි වුණා.” ඔහු කීවේ කඳුළු පිරි දෙනතෛනි. සුමින්ද තවමත් වරින්වර කොළඹ ජාතික රෝහලට රෝද පුටුවෙන් පැමිණ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න හමුවී ප්‍රතිකාර ලබයි. “මම රෝහ‍ලේ ඉඳිද්දී යාළුවෝ හුඟක් උදව් කළා. ටෙලි නාට්‍ය නළු නිළියෝ, අධ්‍යක්ෂවරු මුදල් එකතු කරලා උපකාර කළා. ඒ හැමට අත් දෙක එකතු කරලා ප්‍රණාමය දක්වනවා. මොකද මම අද මේ තරමින්වත් ජීවත් වෙන්නේ ඒ අය නිසා.” සුමින්ද එසේ කියන විට අපේ මතකයට එන්නේ පුංචි තිරයේ ඔහු රඟ පෑ සම්මානනීය චරිතයි. ඔහු තම රංගනය සඳහා සුමති සම්මාන තුනක්ම ලබා ගත්තේය. ‘නිසල විල’ ‘රම්‍ය සුරම්‍ය’, ‘හදවිල සක්මන’ මේ අතර කැපී පෙනෙයි. “ මම අන්තිමට රඟපෑවේ ‘බොරළු පාර’ ටෙලිනාට්‍යයේ.

මගේ අසනීපය නිසා බොරළු පාර ටෙලි නාට්‍යයේ අවසන් ජවනිකා රඟපෑමට නොහැකි වුණා. පස්සේ මගේ ගෙදරට ඇවිත් ඒ අවසාන දර්ශනය රූපගත කළා. මම භාරගත් ‘සේපාලිකා’ කියන ටෙලි නාට්‍යයේ චරිතය පසුව රඟපෑවේ බුද්ධදාස විතානාරච්චි.” සුමින්ද කීවේය.



සුමින්ද චිත්‍රපට රංගනයට එක්වන්නේ විජය ධර්ම ශ්‍රී ගේ “දුහුළු මලක්” චිත්‍රපටයෙනි. “සිටු කුමාරියෝ” “සප්ත කන්‍යා” “ගුරු ගෙදර”” යකඩ පිහාටු” ඔහු රඟ පෑ චිත්‍රපට අතර කැපී පෙනෙයි. සුමින්දට පුතුන් දෙදෙනෙකි. ගයා රංග සිරිසේන පරිගණක වැඩ සටහන් අධ්‍යක්ෂවරයෙකි. බාල පුතු නන්දිත සිරිසේන ඡායාරූප ශිල්පියෙකි. මේ ලිපිය සමග පළවන්නේද ඔහු ගත් ඡායාරූපයි. තාත්තා කැමති ‍පොත් කොළඹින් ගෙනවිත් දෙන්නේද ඔවුන්ය. “සුමින්ද වගාවට හරි කැමතියි. පලතුරු,එළවළු වගාවට එයා දක්ෂයි. පලදාව එනකොට එයාගේ මුහුණෙ මල් පිපිලා වගේ” බිරිය ලීලා මතක් කළාය. “මට ආයෙත් රඟපාන්න පුළුවන් වෙයිද කියන එක හුඟක් සැකයි. ඒ නිසා දැන් ඒ වගේ දේවල් ගැන බලා‍පොරොත්තු පුළුවන් තරං අඩු කරගන්න තමයි උත්සාහ කරන්නේ” සුමින්ද ශෝකී හඩින් පවසයි. ඉක්මනින් සුවය ලබා සුමින්දට නැවත රංගනයට එකතු වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි යන්න ඔහුගේ ආදරණීය රසිකයන් සැමගේ ප්‍රාර්ථනය බව අපි දනිමු.

( ඒ.ඩී. රන්ජිත් කුමාර ලක්බිම ඔන්ලයින් )

ඔබට නීරෝගී සුවය ලැබේවා !!!

18 comments :

  1. සුමින්ද මහතා ගැන මගෙ මුල්ම මතකය තියෙන්නෙ "කුමාරිහාමි" ටෙලියෙ පොඩි මහත්තය කියල දුෂ්ට චරිතයක්.මනොරත්න මහත්මයා ගැන තියෙන්නෙ සින්දුයි බින්දුයි එකෙ ජය ශ්‍රි චන්ද්‍රජිත් එක්ක චරිතෙ.ඇත්තටම මහා පුරුශයෙක් වුන මෙ මිනිසාට දිගාසිරි පතනව.

    ReplyDelete
    Replies
    1. අහ්හ් මම සිංදුයි බින්දුයි බලල තියෙනවා .. g-)

      Delete
  2. කනගාටු දායක ආරංචියක්. මේ අයගෙන් පස්සේ අපිට ටෙලි නාට්‍යක් බලන්නවත් වෙන එකක් නැ දැන් ඉන්න රූකඩ ටිකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි , තව අවුරුදු 15ක් 20ක් ගියාම ටෙලිනාට්‍ය කියලා මොනවා පෙන්නයිද දන්නේ නෑ :)

      Delete
  3. සුමින්ද සිරිසේනයන්ගේ රංඟනයට මාත් ආසයි.. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  4. විශිෂ්ඨ රංගන ශිලිපියෙක්....සුමින්ද මහත්තයා වැඩ කලේ රේල්ලුවේ.....ගමපහ ස්ටේශන් එකේදී මම කීප වාරයක් දැකලා තියේන්වා...

    හොද මනුස්ස්සයෙක් ගැන තැබූ දීර්ඝ සටහනට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අහ්හ් අහපු නැති කතාවක් රේල්ලුවේ වැඩ කළා කියන එක . බොහොම ස්තූති g-)

      Delete
  5. මගේත් ප්‍රියතම රංගධරයෙක් .. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මමත් . . .

    ReplyDelete
  6. ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් මේ වගේ දේවල් වෙන්නේ බොහෝම සුන්දර මිනිසුන්ට ඒකයි මට තියෙන දුක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත . මනමේ කුමාරයාටත් අත් උනේ මේ වගේම ඉරණමක් . ඒත් දැන් එතුමානම් රඟපානවා .

      Delete
  7. එතුමාට දීර්ඝායුෂ සමඟ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    දැන් කොත්තු දානවා වගේ ක්ෂනිකව බිහිවෙන මෙගා සහ ඒවයෙ රඟපාන සමහරක් නිසා ටී වී එක බලන්නත් එපා වෙනවා.අර කියල තිබුන ටෙලි නාට්‍ය තමයි නියම නිර්මාන.කන්දේ ගෙදර නම් මේ දවස්වල සති අන්තෙ යනවා.

    මේ වගේ දක්ෂ මිනිස්සුන්ගෙන් අළුත් පරම්පරාවෙන් ප්‍රයෝජනයක් ගන්නැති එක අපරාදෙ

    ReplyDelete
  8. හ්ම්,,,දැන් ඉන්න මෙගා නළු නිළි කැල පවුඩර් බබාලා වගේ කරන රඟපෑම් මොනවද මේ වගේ මිනිස්සු එක්ක බලද්දි.
    රඟපෑම යනු රඟ නොපා සිටීමයි කියන එක හරියටම සනාථ කරපු කෙනෙක්.

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

    ප.ලි. - කන්දෙ ගෙදර යනවා සති අන්තෙ හවස

    ReplyDelete
    Replies
    1. ග්ම්ම්ම්ම් අනේ මන්ද අෆ්ෆා . දැන් රඟපාන උන් නිකන් එකගෙයි කනවා වගේ :p :p :p :p

      Delete
  9. මටත් සුමින්ද සිරිසේන ගම්පහදි කීපවරක් හමුවෙලා තියනවා. බොහොම නිරහංකාර කෙනෙක්. ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියා පතනවා.

    ඔහු ගැන මුල්ම මතකය මම හිතන්නේ කුමාරිහාමි ටෙලිනාට්‍ය වෙන්න ඕනේ...

    ReplyDelete
  10. මාත් ඒ ලිපිය කියෙව්වා. සුපිරි නළුවෙක්, දැන් ඉන්න පිස්සු සෙට් එක වගේ නෙවි. ඉක්මණට සුවය ලැබෙන්න කියල හිතමු. :)

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.