Thursday, February 27, 2014

අන්න බලන් සඳ කුන්ඩල කේශී



මෙන්න මෙහෙම සිංදුවක් අහලා තියෙයිද පුතා ? මේක කියන්නේ අමරසිරි පීරිස්.

විජ්ජුලතාවිය ලොව සැරසූ ලිය
මාලති මාලිය හදවත්ධාරිය
මිහිකත ධරණිය කුන්ඩල කේශීය.... 


සිංදුව කෙසේ වෙතත් පලවෙනි පාරම ඇහුනු ගමන් දෙයියනේ කියලා තේරුන වචනේ "කුණ්ඩල කේෂිය" කියන එකලු. ඔන්න ඔය වචනේ ඇහුනු ගමන් මතක් වුනේ තවත් සිංදුවකුයි, ඒ එක්කම ඉස්සර අම්මා අපිට ජාතක කතා කියලා දීපු හැටියි. ඉස්සර නිදාගන්න යනකොට හැමදාම අම්මා රෑට ජාතක කතාවක් හෝ බණ සීන් අදාළ වෙන කතාවක් කියනවා. අම්මාට බැරි දවසට තාත්තා කියලා දෙනවා. ඒ ඇවිල්ල ඔක්කම විද්‍යා ප්‍රබන්ධ කතා.

කෝමහරි මේ කුණ්ඩල කේසිය කතාව ජාතක පොතේ නෑ කියලා මම මේ ක්‍රේසි ප්‍රභාතයට කිව්වට , ඌ අහුවේම නෑ. ;) මුන් ප්‍රභාත්ලා ඔක්කම එකයි. මේ කතාව ළමයි තියෙන්නේ ජෙමා කිව්වා වගේ සද්ධර්ම රත්නාවලියේ .  මේකයි ඕකේ වෙන්නේ. මේක මතක හැටියට කියන්නේ ආ.. 




ඔන්න එකෝමත් එක රටෙක සිටු ලේඩි කෙනෙක් ඉන්නවා.ආයේ රූප සොබාව ඉස්තරම්ලු. ලපටි රූපේ ඈගේ... ලපටි රූපේ ඈගේ වගේ තමයි. කෝම මේ දැරිවිව පරිස්සම් කොරන්න දෙමාපියන් මොකද කොරන්නේ හැමකතාවේම තියෙනවා වගේ මහල් හතේ මාලිගාවේ උඩම මහලේ ළමයව ආරක්ෂාකාරීව තියෙන්න කටයුතු කොරනවා. දන්නවනේ ඔය කාලෙට සිත මනමාල කම් කරයි.... සිතුවිලි සීතලෙන් මිදෙයිනේ.... අඳුරේ නුහුර ... එක්කෝ ඇති. ඉතින් මේ ළමය ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ මාලිගාව ගාව පාරෙන් හොරෙක් මරන්න ගෙනියනවා. මරන්න ගෙනියන හොරාව දැක්ක ගමන් "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා" වෙනවා මේ දැරිවිට. අන්තිමට මොකද වෙන්නේ ලව් සික් ගහලා මේ ළමයා කන්නේ බොන්නේ නැතුව ඉන්නවා. දෙමව්පියෝ කවන්නද පොවන්නද හදනවා හ්ම්ම් හ්ම්,  කෙල්ල නෙවෙයි කන්නේ. අන්තිමට සීන් එක ඇහුවම, අම්මලා පහදලා දෙන්න හදනවා කොහෙද කෙල්ල නෙවෙයි අහන්නේ.

පස්සේ ඉතින් අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ පාගා ගහන අය එමටයි, ඉතින් එහෙම පගා පොරකට කහවනු දාහක් ශේප් කරලා අර හොරාව හොරෙන් පන්වනවා. පන්නලා කෙල්ලව බන්දලාත් දෙනවා.
කෙල්ල හැඩකාරි දඟකාරි වැඩකාරි ඔක්කම රත්තරං බඩු එහෙම දාගෙන හොඳට ඇඳ පැළඳගෙන එහෙම හොරාට කන්න උයනවලු බෙදනවලු කවනවලු පොවනවලු එකම ලව් එකයිලු එතන.ඉතින් අනේ හොරෙක් වුනාට, පින වැඩ කලාට, කොහෙද මිනිහගේ ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙනවා. කෙල්ල කොච්චර හොඳට සැලකුවත් මිනිහට රත්තරං බඩු ගැන ආශාවක් ඇති වෙනවා. හොරත් හරිම හොරා තමයි මිනිහත් ප්ලෑනක් ගහලා ඔන්න නොකා නොබී ඉන්නවා. 

ඉතින් මේ ගෑනු දරුවා කන්න දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා මිනිහා කන්නේ නෑ. බඩුව වෙවී ඉන්නවා. අන්තිමට හේතුව ඇහුවම පොර කියනවා මිනිහාව මරන්න ගෙනියකොට ගල වසන දෙවියන්ට භාරයක් වුනාලු. ඒ නිසා මිනිහා මරණෙන් නිදහස් වෙලා මෙච්චර සැප සම්පත් ලැබුනලු ඒ නිසා භාරේ ඔප්පු කරන්න යන්න ඕනිලු අරකයි මේකයි කියලා. මේ දැරිවිත් මේ දවස්වල එල්ලිලා මැරෙන කෙල්ලෝ වගේ ගොන් කෙල්ල. ඉතින් අනේ එහෙනම් ඔප්පු කරමුකෝ කියලා ඔන්න කළමනා එහෙම ලක ලැස්ති කරගෙන දෙන්නා ගමන පිටත් වෙනවලු. මේ ගලට කිව්වේ සොරුන් හෙලන ගල කියලලු, ඒ කියන්නේ හොරාව මරන්නේ ගල උඩට ගෙනිහින් එතනින් පහලට තල්ලු කරනවා. ලොකාන්තේ වගේ තමයි සීන් එක. 

ඉතින් දැන් මේ ගෑනු ළමයයි හොරයි ගලට යන්න යන්නේ කැලෑවක් මැද්දෙන්ලු. මොකද වෙන්නේ ඔන්න ඔහොම යනකොට යනකොට තමයි මම මේ කියන සින්දුව එන්නේ.

සින්දුව ඇවිල්ල මහගම සේකරයන්ගේ කුණ්ඩල කේසි නාට්‍යයේ. මේ සින්දුව ඉස්සර අම්මා අපිට පාඩම් කෙරෙව්වා. ඒ දවස්වල අම්මා ඕකේ තේරුම කියා දෙනවා මට මතකයි. හොඳටම හයි ලයිට් කෑල්ල වුනේ
"අත් පසුරෙන් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ සිතිනි ලිය වැල් පැටලී ගොසිනී" කොටස.
ඔය කොටස කියලා අම්මා කියනවා ඕකෙන් ඔය කියන්නේ ගස් කියන පෙම්බරයන්ව ආදරෙන් වැල් කියන ලඳුන් වෙලාගෙන ඉන්නවා කියලා. හෙහ් හෙහ්...

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා

චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

ඔතන රන් තැටියෙන් සීත ගඟුල් කියලා කියන්නේ සඳ රැස් වලට. සඳ රන් තැටියක් වගේ කියල කියන උපමා එහෙමනම් ටින් ගාලා මීටර් වෙනවනේ කට්ටියටම. ඉතින් ඒ රන්තැටියේ ඉඳලා එන සීත ගඟුල කියන්නේ හඳේ රැස් වලට. රෑ මහා කැලේ ගෑණු ළමයයි පිරිමි ළමයයි අපි ඈතට ඈතට පිය නගලා ඝන වනන්තරේ කියලා යනකොට, ඒ කැලේ සොබා අලංකාරේ කියන සීනී බෝලය පෙන්වලා දැන් මේ සොර දෙටුවා ගෑලු ළමයාව හෙමින් හෙමින් අරගෙන යනවා ගල මුදුනට.

මෙන්න මේ ටිකට තමයි මම නම් වැඩියෙන්ම කැමති. ඒ කිව්වේ සේකරයන් මේක දැකලා තියෙන විදිය කියලා වැඩක් නෑ. මාරම සුපිරි. චන්දන පල්ලව කියන්නේ සඳුන් ගස් වල දළු වලට, කෝකිල කූජන නම් දන්නවනේ, ඒ කියන්නේ කෝකිල කිව්වේ කොවුලා , කූජන කියන්නේ ඒ කෑගහන හඬට... මෙතන කොවුලා යන තේරුමද නැත්නම් කුරුල්ලන්ගේ සද්දේ කෝකිල කූජන කිව්වද කියලා ටක්කෙටම කියන්න අමාරුයි සිංදුවාට. ඔතන ගුල්ම කියන්නේ ගොමුව කියන්න.
දැන් මේ කැලේ කෝකිල කූජන... තව සඳුන් ගස් වල දළු ඔක්කොම සංගීතයක් වගේ වෙලා ආදර බස් කියනවා දේවිට. මේ වනය යහන් ගැබේදි වගේ දේවිගේ කන් පිනවන ආදර බස්  කියනවා. (ඒ කාලේ යහන් ගැබේ අද වගේ තවුසන් ප්‍රශ්න විසඳන්න නැතුව ඇති මෙයා, ඇරත් දෙන්න තාම බැඳපු අලුතනේ, ඒ නිසා යහන් ගැබේ වෙලා තියෙන්නෙ රසවත් මිහිරි කන් පිනවන ආදර බස් කීම් වෙන්ට) ඉතින් ඔහොම කියලා ඔන්න හොරා කියලා මේ දැරිවිගේ හිත අර පරිසරයට යොමු කරවනවා බටර් පොඩ්ඩ ගාලා.

ඔන්න දැන් හොරාගේ උත්සාහය මල් පල ගන්වමින් දේවියත් බහිනවා ට්‍රැක් එකට. ඔතන පසුරු කියන්නේ මුල් වල ග්‍රාහිකා කියන එව්වලු. තුරු කියන්නේ ගස් වලටනේ, ඉතින් දැන් මේ දේවියටත් මේ කැලේ දකින්නේ හරිම රොමෑන්ටික් විදියට. ගස් වල වැල් එතිලා ගිහින් තියෙනවා දැකලා දේවිය කියනවා
මේ ගස් කියන පෙම්බරයෝ ගැන බැඳුනු සෙනෙහෙ සිතින් මේ වැල් කියන ලියන්, ලඳුන් මේ ගස් වල පැටලිලා වෙලිලාලු ඉන්නේ.

ඒ විතරක් නෙවෙයිනේ දැන් ඔය මකරන්ද කියන්නේ රොන් වලට, මන්මද කියන්නේ අනංගයාට. මල් පිපිලා රොන් සුවඳින් සුවඳවත් වෙලා අනංගයා පවා රඟන මෙවන් මණ්ඩපයක් තියෙද්දී තවත් මොනවද බල බල පරක්කු වෙන්නේ වගේ කියලද මන්ද කියන්නේ. නොකියා නිකන් කියන්නේ පොඩි පහේ ආරාධනාවක් කියලයි තේරෙන්නේ සිංදුවාටනම්. ඔය මාරුතයේ හැපිලා කොටස තමයි අමාරු. ඒ මාරුතයේ හැපිලා එනවා කියන්නේ ඒ කුණ්ඩල කේශියි හොරයි නගින මේ ගල ගැන අදහසක් දෙන්නද නැත්නම් වෙන අර්ථයක් එතන තියෙනවද කියලා මීටර් වෙන්නේ නෑ.
මේ මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්. මේ අනංගයා රඟන මණ්ඩපය කියලා අදහස් කරන්නේ........ අර ............ගෑලු ළමයගේ.............එක්කෝ ඕනි නෑ.

ඉතින් මේ සින්දුවේ වර්ෂන් දෙකක් තියෙයි. මුල්ම ගායනය බෙන් සිරිමාන්න සමග ට්‍රිලීශියා ගුණවර්ධන.



පසු ගායනය එඩ්වඩ් ජයකොඩි සමග සන්ධ්‍යා දීපානි



කොහොම හරි ඔන්න කතාවේ අන්තිමට දේවිය තේරුම් ගන්නවා හොරා බොරුව දාපු බව සහ හොරා දේවියව මරලා යන්න ආපු බව. ගලෙන් පහලට තල්ලු කරන්න කලින් දේවිය ඉල්ලනවා හොරාගෙන් හොරාට වන්දනා කරන්න ඉඩ දෙන්න කියලා. එහෙම කියලා හතර වටේම කැරකිලා වැඳ වැඳ යන ගමන් තුන් වෙනි වටයේදී හොරාගේ පිටි පස්සේ හිටන්, වඳින ගමන්, ඔන්න දේවිය හෝරාව තල්ලු කොරලා දානවලු අර ගලෙන් පල්ලට.

වෙලාව හොඳට ගියා දේවියගේ නම්.. ඒත් තාම අපේ කාලේ ඉන්න මේ වගේ කෙල්ලන්ගේ කාලේ නම් හොඳට වඩා නරකට ගියා කියලමයි හප්පා ඇහෙන්නේ. ඒ නිසා ඔය හැඳි මිටේ මොළවල් කාවහරි තෝරාගන්න කොට පොඩ්ඩක් නෙවෙයි ගොඩක් හිතලා බලන්න ඕනා. නිකන් බුකියේ දැක්ක ගමන් ලව් කොරන්න මල් කඩන්න යන්නේ නැතුව. (සිංදුවාගේ ඔවදන් ඔබ වෙත ගෙන ආවේ.... සිද්ධාලේප සාදර සම අනුග්‍රහයෙනි)

එහෙනම් පුතේ අද කතාව ඉවරයි. මදුරුවෝ නොකන්න හොඳට ශීට් එක පොරවගෙන පන්සිල් අරන් ඉතිපිසෝ කියලා හොඳට නිදාගන්න හොඳේ. සිංදුවා ගියා ටොකෝ ටොකෝ. ( ලැම්බටයි ට්‍රෝජටයි ටන්කු වෙන්න ඕනා තේරුම් හොයන්න උදව් කොලාට )



Thursday, February 20, 2014

සහෝදර ප්‍රේමයේ ගීතය GAY උනේ ඇයි ? ( පොඩි උන්ට පමණයි )





අසම්මත ප්‍රේමයේ ගීතය කියන පෝස්ට් එක ලිව්වට පස්සේ සමරිසි ප්‍රේමය ගැන තවත් ලිවිල්ල එපාම උනා . මේ පේනවනේ අපේ වැඩිහිටි පරපුර අපිට නවන නැවිල්ල . හඃ හඃ හඃ හඃ

සිංදුවා අයියා මේ අන්තිමටම දාපු පෝස්ට් එකම වගේ එකක් මමත් ලියන්නම හිතාගෙන හිටියේ . අපි දෙන්නම එකම ගීතයක් ගැන විවිරණය කරන පළවෙනි අවස්ථාවද කොහෙද මේ .

මම මාගේ පුරවරය කියන පෝස්ට් ඒක ලියලා ඊට පස්සේ මේ සිංදුව ගැන ලියන්න හිටියේ . මොකද කෙමෙස්ට්‍රි වලට ඔය බ්‍රෑන්ඩ් ඇල්කොහොල් ප්‍රතිශත ඔක්කොම හොඳට මතක තියාගත්තා නිසා . මම මුලින් හිතුවේ මේ ගීතය බේබද්දා සහ මත් රකුසා අතර ඇතිවෙන සංවාදයක් විදියට ගලාගෙන යන ගීතයක් කියල . එහෙම හිතුවේ





K ( බේබද්දා ) = දැන් බිබී ඉන්නකොට වෙරි වේගෙන එන වෙලාවට මෙහෙම හිතනවා
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

D ( මත් රකුසා ) = මත් රකුසා කියනවා එතකොට
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

ඔන්න ඔය අවස්ථා දෙක හිතලා . ඒත් ඒක අන්තරා කොටස් දෙකට ගැලපෙන්නේ නෑ .
ගීතයේ සංගීත සංයෝජනයත් එක්ක තේරුම ගැන හිතන්න අමාරුයි . ඒ නිසා මම කරේ සිංදුවේ වචන වෙනම අරගෙන ඩොකියුමන්ට් එකකට කොපි පේස්ට් කරගෙන ඒක දිහා බලලා තේරුම හිතපු එක . සිංදුවා සහ සෑම් අයියා කිව්ව හැටියට මේකේ තියෙන්නේ සහෝදරත්වය මුල් වෙච්ච තේරුමක් . ඒකනම් ලොවෙත් ෂුවර් .

ගීතය ඩුවට් එකක් නිසා ඒ විදියටම අරන් තේරුම් ගන්න පුළුවන් . අයියයි මල්ලියි කියලා කියනකොට සිංදුවා කියන්නේ , එක පවුලක නොවුන සහෝදරයෝ දෙන්නෙක් ගැන වෙන්න ඕන . ඒත් මම සෑම් අයියා එක්ක එකඟයි . මේකේ අර අන්තිම කොටස නිසා අපිට හිතන්න පුළුවන් මේ ගීතය එකම පවුලේ අයියයි මල්ලියි අතරේ වෙන සිද්දියක් කියලා .



මල්ලි
=====
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

දැන් ඔන්න මල්ලි ඉන්නේ තාම නව යෞවනයේ . හැබැයි මල්ලිට තිබ්බේ ඉතාම දුර දිග ගියපු ආදර කතාවක් . ඒත් හදිස්සියේම දෙන්නා අතරේ වෙන අවුලකින් මල්ලිගේ ප්‍රේමය නතර වෙනවා . කෙල්ල තමයි බූට් ඒක තියන්නේ . ඉතින් විඳවලා විඳවලා ඇතිඋනාම ජීවිතේ ගැන අත්දැකීම් අඩු මල්ලි , බීලා ප්‍රශ්න විසඳන්න කියලා හිතාගෙන ලිකර් ෂොප් එකක බිබී ඉන්නවා . බීලා බීලා හොඳටම වෙරි වෙලා දැන් ලිකර් එකෙන් එලියට එනකොට මල්ලි දකිනවා තමාගේ දිහාවට කවුද එනවා . මල්ලි , තමාදෙසට මේ එන්නේ තමාගේම අයියා කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගන්නේ මීවිත ඇඳිරිය මල්ලිගේ දෑස බොඳ කරලා තියෙන නිසා .

අයියා
=====
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

මම හිතන හැටියට ගීතයට ප්‍රස්තුත වෙන අයියා සමාජයේ තරමක් ගැවසුන මිනිස්සුත් එක්ක ගැටිච්ච අත්දැකීම් බහුල අයියා කෙනෙක් . අයියා විසින් මල්ලිව දකින්නේ අයියා තමාගේ පෙම්වතිය එක්ක නගරයේ ඇවිදින වෙලාවක . නැත්නම් අපි කියමුකෝ අයියා එයාගේ පෙම්වතිය ගෙදර එක්ක යන වෙලාවක කියලා . ඉතින් මල්ලි කරටි කඩාගෙන ඉන්නවා දැක්කම අයියා කරන්නේ පෙම්වතිය ගෙදර යන බස් එකක නග්ගලා හරි පෙම්වතියට අවශ්‍ය කාර්යය ඉටුවෙන්න සලසලා මොකද උනේ බලන්න මල්ලි දිහාවට එන එක . අයියා දන්නවා මල්ලි මේදවස්වල ඉන්නේ ප්‍රේම සම්භන්ධය බිඳුන නිසා සිත් තැවුලට පත්වෙලා කියලා . ඒ කියන්නේ මේ අයියයි මල්ලි අතරේ තියෙන්නේ ඉතාම තදින් බැඳිච්ච සහෝදර බැඳීමක් .
"මල්ලි , මම මගේ ජීවිතේ මම ලබපු අත්දැකීම් උඹත් එක්ක බෙදාගෙන උඹේ හදවතේ පොදි බැඳිලා තියෙන දුක නැති කරන්නම් . ඒ වෙනුවෙන් මම මොහොතකින් ඔබේ ලොවට මගේ ලොවෙන් මදකට මිදිලා එන්නම් " මගේ ලොවෙන් මදකට මිදිලා එන්නම් කියන්නේ අයියා තමාගේ පෙම්වතිය එක්ක ගත කරපු එයාලගේ ලෝකෙන් මිදිලා මල්ලි වෙතට එන එක කියලා තමයි මම නම් හිතන්නේ .

සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ

දැන් ඔන්න අයියා මල්ලි ගාවට ඇවිත් මල්ලිව අල්ලාගෙන නැගිට්ටවලා කේන්තිය මිශ්‍ර ඒත් දුකෙන් අහනවා " මල්ලි , උඹ මේ ගතකරන මල් මාවතක් හා සමාන , සොඳුරු යොවුන් සමය විනාශ කරගනිමින් , පෙම්වතියට එදා යොමුකරපු තොල් පෙති මීවිතෙන් පොඟවන්නේ ඇයි " කියල .

මල්ලි
====
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වීතින් මා දෙතොල තෙමන්නේ

මල්ලි එතකොට කියනවා " අයියේ මම බිව්වා අයියේ . මගේ හිතේ බුර බුරා නගින වීරහ ගිනි නිවා දමන්න කියලා හිතාගෙන තමයි බිව්වේ " කියලා .

නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළුලා එනවා

මල්ලි අයියට කියනවා  " අයියේ මම බිව්වේ මගේ හදවතේ නැගෙන විරහා ගිනි නිවාදමන්න කියලා හිතාගෙන , ඒත් සුරාවිත පොදින් පොද වැටෙනකොට වෙන්නේ මගේ හිතේ තියෙන ගින්න තවත් වැඩිවෙන එක " කියලා .

අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා

අවසානයේ අයියා මල්ලිගේ අත තමාගේ කරට දාගෙන මල්ලිව අල්ලාගෙන  කියනවා "  මල්ලියේ උඹ ආයෙත් බොන්න නෑවිත් අවන්හලේ තියෙන ඉතුරු මීවිත බෝතල් තනි කරපන් . කොහොමහරි මම උඹව ගෙදර එක්ක යන්නම් . මගේ වාරුවත් අරගෙන පය උස්සලා කොහොමහරි ගෙදර යමන් , ඒවගේම මම උඹට වෙරි හිඳුනම කියන්නම් මගේ ජීවිතේ අත්දැකීම් ඒවා ගැන හිතලා උඹ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න පළමු පියවර තියපන් " කියලා .



සිංදුවා අයියා ලිව්ව සිංදුවේ තේරුමට මම පොහොර ටිකක් දැම්මා ඔන්න .

මම දැන් එන්නම් ගීතයේ සංගීතය පැත්තට . මතක් වෙනකොටත් මේ සීන් තනියම හිනා යනවා අෆ්ෆා ....
මම ඉස්කෝලේ මියුසික් රූම් එකට ආව මුල කාලේ මගේ වයලීන් ගැහිල්ල ටෙස්ට් කොරන්න ජේෂ්ට උත්තමයෝ මට ප්ලේ කරන්න කිව්ව , ඒත් ටිකක් අමාරු සිංදු දෙකක් තිබ්බා . එකක් කොලොම් තොට නැත මහලුවී . අනික මේක . හඃ හඃ හඃ

විශේෂය කියන්නේ ඔය ගීත දෙකේම සංගීතය එකම කෙනෙක් නිර්මාණය කිරීම . බලන්න ඔය ගීත දෙකම අහලා අතුරු වාදන කොටස්වල තියෙනවා නේද වයලීන් එකෙන් වේගයෙන් වාදනය වෙන කොටසක් . ඒක වාදනය කරන්න ටිකක් අමාරුයි . හැබැයි කපුගේ මහත්මයා මේ ගීත දෙකේම යොදලා තියෙන ඒ වයලීන් රන් එක ගීත දෙකේම එකමයි . :p :p

අපි යන් ගීතයේ මුලට . මුල්ම වාදනය බැන්ජෝ ගිටාර් එකකින් . ඊට පස්සේ පොඩි ෆ්ලූට් පාට් එක . ආයෙත් බැන්ජෝ . ඊට පස්සේ වයලීන් . ආයෙත් බැන්ජෝ . ආයෙත් වයලීන් . මේ වාදනය එක්ක අපිට ගීතය ගැන හිතෙන්නේ ටිකක් ගුප්ත හැගීමක් නේද ? . වයලීන් වාදනය අතරේ ඉතාම පහල හඬකින් වාදනය වෙන චෙලෝ වාදනය ඒ ගුප්ත බව වැඩි කරවන්න හේතු වෙනවා කියලා මම විශ්වාස කරනවා . හැබැයි වචන වලට ආවාම ඒ ගුප්ත බව නැතිවෙලා යනවා නේද ?



ඒකට හේතුව කියලා මම හිතන්නේ ගිටාර් එකෙන් වාදනය වෙන කෝඩ් පන්ච් එක .

චං , ච චක් , ච චක්
චං , ච චක් , ච චක්

කියලා වාදනය වෙන ගිටාර් පන්ච් එකයි ඒ පන්ච් එකට සපෝට් කරන හයිහැට් එකත් නිසා ගීතය ගායනාවෙන අතරේ අපිට හිතෙන්නේ පොඩ්ඩක් අර කවුබෝයි ෆිල්ම් වල ඇහෙන ගීතවල යන කික් එක නේද ?

ඒවගේම අතුරුවාදන වලත් , ගීතයේ අතර වාදන වලත් තියෙන්නේ අමුතුම ගුප්ත හැගීමක් . හැබැයි වවචන වල ගුප්ත බවක් නැති තරම් .

සංගීතය ගැන මෙහෙම කිව්වේ මමනම් හිතන්නේ මේ ගීතයේ සංගීතය , ගීතයේ අර්ථය යටපත් කරගෙන උඩට එනවා කියලා . මගේ පාසලේ හිටපු මිත්‍රයෙකුත් කිව්වේ එහෙම කතාවක් . උටත් තිබුණා සිංදුවල තේරුම් හොයන අමාරුවක් . ආ මම කලින් පෝස්ට් එකක මිනිහා ගැන කිව්වා . උපුල් කොපුල් වෙහෙසී ඇතේ කියන ගීතය ගැන කියනකොට .

අනික තව දෙයක් කියන්න ඕන . මේ ගීතයේ චරිත දෙක ගායනයේදී හරියට බෙදිලා නෑ . චරිත දෙක මාරු වෙනවා . ගීත රචනාවේ අයියයි මල්ලියි දෙන්නා තේරුමත් එක්ක ගන්නකොට හරියට ගැලපුනාට  කපුගේ හා දිවුල්ගනේ දෙපල ජේෂ්ටත්වය අනුව බෙදාගෙන ගීතය ගායනා කරන බවක් තමා මට පේන්නේ .

බලන්න ස්ථායි කොටසේ කපුගේ මුලින් දිවුල්ගනේ දෙවනුව . පසුව නැවතත් අන්තරා කොටසේ කපුගේ මුලින් දිවුල්ගනේ දෙවනුව . දෙවෙනි අන්තරා කොටසේ දිවුල්ගනේ මුලින් පසුව කපුගේ . දෙන්නෙක් ගීතයක් ගායනා කරනකොට අන්තරා කොටස් ගායනය ඔය විදියට බෙදුවම ඒකෙ අමුතු ගතියක් තියෙනවා කියලා සංගීතයේ යම් සරල සම්මතයක් තියෙනවා . ඒත් ඒ සම්මතය මේ ගීතයට පෑහිලා නෑ කියලා මම හිතන්නේ . ගීතයේ මුලින් මල්ලි , පස්සේ අයියා වෙලා නේද ?

ගීතයේ අඩුපාඩු නෙවෙයි කිව්වේ ගීතයේ තේරුම යටපත් කරගෙන සංගීත සංයෝජනය මුදුන්පත්වෙලා කියලා පෙන්නන්න .



ඊළඟ කාරණය සිංදු අයියා අන්තිමට කියනවා මෙච්චර මේ හොඳ ගීතය ඇයි ගේ වෙලා කියලා . ඔය ගේ සීන් එක රිසර්ච් එකක් වගේම ඇදගෙන ගියා අර මුලම කිව්ව පෝස්ට් එක ලිව්වට පස්සේ . පොතක් ලියන්නම විස්තර තියෙනවා දැන් නම් . හඃ හඃ හඃ

මම ගොඩක් සමලිංගික පිරිමි ගැහැණු දෙගොල්ලෝ එක්කම කතා කරා . ලංකාවේ විතරක් නෙවේ සමහර අය වෙන වෙන රටවල් වල . උන්ට fb රික්වෙස්ට් එක දැම්මම මුලින්ම එන මැසේජ් එක ඔයා ගේද ? නැත්නම් Are you gay ? කියලා . මම ඉතින් නෑ කිව්වම ලංකාවේ ගොඩක් අයනම් හැරෙන තැපෑලෙන් මාව අන්ෆ්රෙන්ඩ් කළා . හැබැයි කීපදෙනක් ඔහේ හිටියා .වෙන රටවල් වල අයනම් එහෙම කරා අඩුයි . හැබැයි උන් එක්ක කතා කරන්න භාෂාව හරිම වාත උනා . මම දන්නේ සිංහල ඉංග්‍රීසි විතරයි . උන් සමහර උන් ප්‍රංශ , ස්පාඥ්ඥ , උර්දු , අරාබි භාෂා විතරයි දන්නේ . කොහොමහරි ඒ හැමෝම එක්කම ගූගල් ට්‍රාන්ස්ලේට් වල පිහිටෙන් හරි කතා කරලා බැලුවා .

ඒ අයගේ ජීවිත ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා ඒ එක්ක . ඉතින් ශේප් එකේ ලංකාවේ අය කීපදෙනා එක්ක කතාකරා මම . එයාලා කොහොමද මේ ජීවිතේට පුරුදු උනේ දැන් ජීවිතේ ගතවෙන්නේ කොහොමද කියලා . ඉතින් දවසක් මට කතාවට අහුවෙච්ච එක පුද්ගලයෙක් අවුරුදු 27යි , මම කතා කරා . එයා එයාගේ ජීවිතේ ගැන ලොකු විස්තරයක් එවලා අන්තිමට කිව්වේ එයාලා මේ සමලිංගික ජීවිතයට එන්න ගැහැණු අය නිසා පිරිමි අයට සමාජයේ වෙන දේවලුත් හේතු උනා කියලා . විවාහ නොවී ලිංගිකව හැසිරීමෙන් සමහර වෙලාවල් වලදී ළමයින් බිහිවීම වගේ ඒවා කරදර වෙන එකත් ඒකට හේතුවක් කිව්වා . ඒත් ඉතින් ඒකම නෙවේ ලොකුම හේතුව මමනම් හිතන්නේ .

කොහොමහරි එයාලා පිරිමි අයගෙන් ආදරේ හොයන්නේ ගැහැණුන් වෙත තියෙන තදබල අප්‍රියත්වය නිසා කියලා කිව්වා . ඇත්ත නැත්ත මම දන්නේ නෑ .

පස්සේ ඒ කතාබහේදී දැනගන්න ලැබුනේ එයාලා එයාලගේ සංස්කෘතිය වෙනුවෙන් සමහර දේවල් දිහා සමලිංගික ඇහැකින් බලලා ඒක සමලිංගික දෙයක් බවට තහවුරු කරගන්නවා කියලා . මේවට සමලිංගික අය එකතුවෙන ග්රූප් ප්‍රධානවම වැදගත් උනා කියනවා . මේ ගීතය එක්ක තව ගීත කීපයක් කිව්වා එහෙම ගේ උන ඒවා .

ඔන්න එහෙමයි මේ ගීතය ගැන මට දැනගන්න ලැබුනේ . ඇත්ත නැත්ත කෙසේ වෙතත් මමනම් හිතන්නේ විරුද්ධ ලිංගික අයට ලියවෙන ගීත ගොඩාක්ම තියෙන නිසා සමලිංගික අය එයාලටත් එහෙම ගීත හැදිලා තියෙනවා කියන්න මේවාට සමලිංගික වෙස්මූණ දාලා කියලා . ඒ අය ගැන සානුකම්පිතව බැලුවම  එහෙම හිතුවට කමක් නෑ කියලා හිතන්නත් පුළුවන් . ඒත් ඒක ගීතයේ රචකයා ගීතය ලියන්න යොදාගත්ත වස්තුබීජයට කරන අසාධාරණයක් නේද ?

මේ ගීතයේ මම කලින් කිව්වා වගේ සංගීතය හමුවේ අර්ථය යටපත් වීමත් සෑම් අයියා දාපු කමෙන්ට් එකේ කියන හැටියට පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනා කිරීමත් නිසා මේ ගීතයට සමලිංගික අර්ථයක් ලබාදෙන්න ලේසි වෙලා තියෙනවා .

( පස්සේ කමෙන්ට් කරපු අය තරහා වෙන්න එපා . මම මේ මුලින් දැක්ක වෙලෙමයි මේ පෝස්ට් ඒක කෙටුවේ . මම ඩිපෙන්ඩ් උනේ එවෙලේ තිබ්බ කමෙන්ට් එක්ක තමයි හොදේ ........)

ඔන්න අවසානෙට කියනවා මමනම් මේ ගීතය ගැන දකින්නේ මෙහෙම . ඇයි අවුල්ද ?

:p :p :p

රුවක් ඇදෙනවා GAY ලු ඇත්තද ? ( පොඩි උන්ට පමණයි )






විභාග නැති ජීවිතේ නිකන් බස් අජිත් අයියගේ සුදු අරලියා මල සිංදුව වගේ තමයි... මෙලෝ රහක් නෑ. අඩුම ගානේ මාස දෙක තුනකට සැරයක් හරි කොල්ලෝ සෙට් එකම සෙට් වෙලා රෑ තිස්සේ නිදි මරාගෙන පාඩම් කරලා කොච්චර ගතියක් ගත්තද. ඒ ත්‍රිල් එකත් නිකන් ෂර්ලොක් හෝම්ස් අබිං ගැහුවා වගේ තමයි. නැතුව බෑ මටනම්. දැන් මේක කියවන ලඳක් හරි ඒ වගේ හිතන සරමක් හරි හිටියොත් සුවර් සොට් හිතන්නේ අපි කොල්ලෝ කැමති විභාග ලියන්න කියලා. හැක හැක හැක අනෙහ් මගෙ මුඛය.ඔය කෙල්ලෝ කවදද බං කියන එකක් ඒ විදියට තේරුම් ගත්තේ...අපිනේ දන්නේ විභාගේ ලියලා රෙපිට් වෙන එකයි විභාගෙට ලියන්න කලින් පාඩම් කරන්න සෙට් වෙලා කොරන කෙරිලි ටිකෙයි ආතල් එක. හම්මේ මතක් වෙනකොටත් කට කනේ.

කවුරු වුනත් මේ ජොබ කියන එක හොයාගත්ත එකා මහා ගල් ඉබ්බෙක්, ප්ලාස්ටික් ගෙම්බෙක්, ග්‍රීස් කණුවක්.චඃ උදේම යනවා -  වැඩ කරනවා - හවස එනවා - නිදියනවා ආයේ උදේට යනවා. බෝඩිමත් දැන් එපා කරපු තැනක් වෙලා. ලොවෙත් කටු කාලා, ඉගනගෙන අන්තිමට මෙහෙම එක රවුමකට දුවන ලයිෆ් එකේ රහක් මටනම් නෑ ඔයිලා. මීට වඩා පස්ට ජොබ කරන්නේ එදා කුලියට වැඩ කරන මනුස්සයා. අපේ අම්මනම් ඒ මාමාට එක එක දවසට එක එක වැඩ කියන්නේ. ඒ හින්ද වෙන්න ඕනා ඒ ජොබ මෑන්ට එපා වෙන්නේ නෑ. පුරස්නේ ඉතින් පඩිය.

ඉතින් කොහොමහරි ඔහොම එකම එකම දින චර්යාවේ ආතල්ම තැන බස් එක. ට්‍රැෆික් වලදී එපා වුනත් මොකද ආතල්ම මිනිස්සුයි සිද්දියි වෙන්නේ බස් එකේ වෙන්න ඕනා. එලේවල් කරන දවස්වල බස් එකේ දැකපුවා සිංදුවා කලින් කිව්වා මතක ඇතිනේ . ආපෝ ඒක වැදගත් මහත්තයෙක් කියවලා වැටුණු ලෙඩක්. ඔන්න කිව්වා මේ අපේ කන්තෝරුවේ වගේ සූකිරි කොමල බිත්තරෙන් උපන්න ලඳුන් හා උන්ට දෙවෙනි නොවන සරම් ඉන්නවනම්......චී මේක උන්ට මහා චාටර් බොගක් හොඳේ...

පඳුර තලාගෙන තලාගෙන තලගොයා එලියට එනකොට දැන් දන්නවනේ මේ කියන්න යන්නත් බස් එකේ සීන් එකක් කියලා. මෙහෙමයි වෙන්නේ හරිය... ඔන්න සිංදුවා ජීවිතේට නැගිටලා පුරුදු නැති උදේ දැන් නැගිටලා කන්තෝරුවට යනවා ඈ... මගින්  බස් එකට නගින බෝනික්කෝ, ඇවිදින තොරන්, බියුටි සැලූන්, බ්ලූ ෆිල්ම්ස්, ඔක්කොම පැත්තකින් තියමුකෝ ඈ... උන් නෙවෙයි ඔන්න මෙදා පොටේ සෙට් වෙන්නේ ඉස්කෝලේ යන මල්ලිලා සෙට් එකක්.. සුපුරුදු පරිදි සිංදුවා ඉස්කෝලේ කාලේ ඉඳලම බස් එකේ පිටි පස්සේ වාඩිවෙලා තියෙන පුරුද්දට කිට මැරුවත් තාමත් වාඩිවෙන්නේ එතනම තමයි. තාමත් අපි වගේ උන් ඉස්කෝලේ යනවා කියන්නේ අර ඉස්කෝලේ මල්ලිලා සෙට් එකත් ඔන්න සෙට් වුනේ පිටිපස්සෙම සීට් එකට.

උන් නරකම නෑ බස් එකට නගිනකොටම සුපුරුදු පරිදි පුහුණු කරපු ඇස් වලට නෝට් වෙන ටික දෙයියනේ කියලා මුන්ටත් නෝට්. ටික වෙලාවක් කතාව අරගෙන ගියේ උන්....ගෑලු ළමයෙක්ගේ පස්සා පැත්ත ගැන. හප්පටසිරි උන්ටත් අපිට වගේම සෞඛ්‍ය පාඩම ඉගන ගන්න තිබුණු උනන්දුව මොනවට පේනවා උන්ගේ කතා ඇහුණම. කෝමහරි ඒ ගෑලු ළමයා ටිකකින් එපා වෙලා ලව් හුටපට ඇවිත්, මීට් සීන් එකකුත් ඇවිත්, මැච් එකත් ඇවිත් අන්තිමට ඔන්න සිංදුවට සැරටම ක්ලික් වුනු ගේ සීන් අහ්හ් නෑ නෑ සිංදු සීන් එකකට ආවා හරිය. ඒක වුනේ බස් එකේ රේඩියෝ එකට පින්සිද්ද වෙන්න. සිංදුව අහගෙන ඉන්න ගමන් එකෙක් කියනවා අනිකට

"උඹ දන්නවද ඕක ගේ සිංදුවක්, ෆේස්බුක් එකේ තිබුනේ"

"සිරාවමට ?"

"අහවල් පේජ් එකේ තිබුනේ. ඌ තව සිංදු දෙක තුනකුත් දාලා තිබුනා"

"ඕකේ මෙන්න මෙතනින් තමයිලු ගේ වෙන්නේ..."

කියලා කිව්ව ඒ මල්ලි කියපු කොටසයි අහ අහ සින්දුවයි ඇහිලා සිංදුවා උඩ ගිහින් බස් එකේ මුදුනේ වැදිලා ආයේ සීට් එකේලු ඈ...  කන්තෝරුවට ගිය ගමන් කොලේ සිංදුව බාලා පෝන් එකට දාගෙන සිංදුව අහලා මෙහෙම තේරුමක් සිරා තියෙයිද හිතපු එකලු ඔන්න. මොකෝ ඉතින් ඩේටා වලට මගේ පඩියෙන් කැපෙනවා කියලයෑ.. හොහ් හොහ් හොහ්.. කන්තෝරුවේ එකෙක් සිංදුවා කව්ද හොයාගත්තොත් ජොබත් කපෝති.

හැටහුටාමාර පාරක් අහලා හැටහුටාමාර පාරක් තේරුම කල්පොනා කොලත් සිංදුවා ගොයියටනම් පුතේ ඒකෙ ගේ කියලා කියන්න පුළුවන් චුට්ටං කෑල්ලක්වත් හොයාගන්න බැරිවුනා. මෙහෙමයි ඉතින් අර වයලා වගේ ගේ පොරක් ඉන්නවනම් ඉතින්, ඒ ගේ මයින්ඩ් එකෙන් බැලුවොත් මේ සිංදුව විතරක් නෙවෙයි ක්ලැරන්ස්ගෙ, අමරසිරිගේ, සුනිල්ගේ, එඩ්වඩ්ගේ පවා සිංදු ගේ කොරවන්න පුළුවන් ඉතින්. (අර අරුවත් ගේ කොරන්න පුළුවන් (අරු-ගේ අඩවිය නිසා) ). හනේ ඉතින් පව් හප්පා මේ අහිංසක මිනිස්සු දෙන්නෙක් තමයි මේ ගේ කොරලා තියෙන්නේ. වෙන කවුරුවත් නෙවෙයි ගුණදාස කපුගේ උන්නැහෙයි, කරුණාරත්න දිවුල්ගනේ උන්නැහෙයි. සිංදුව මෙන්න මේක...





K
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

D
හද පොදි බැඳි දුක දියකර පා කර

ඔබේ ලොවට මා මොහොතින් එනවා

K
සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ

D
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ


D
නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළුලා එනවා

K
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා


පද රචනය : මහින්ද දිසානායක 
තනු රචනය : ගුණදාස කපුගේ


 


අර මල්ලිලා සෙට් එක නිසාම ඔන්න සිංදුවා සිංදුවට ක්ලික් වුනු තේරුම දානවා ඔන්න. බුකියේම නැතුව උඹලත් කවදාහරි බොගවල් පැත්තේ ආවොත් අර සාක්සරතාවයද මොනවද කියන එක වැඩි කොරගන්න පුළුවන් වෙනවා ටක්කෙටම. රුවක් ඇදෙනවා කව්දෝ එනවා කිව්වම එතනින් කියවෙනවා ඔන්න හරියට එන්නේ කව්ද කියලා පෙන්නේ නෑ කියලා. ඒ ඇයි කියලා කියන්නේ දෙවෙනි පදෙන්.

සිංදුවා කැමතිම කොටසක් ඒ... නොපෙනෙන්නේ ඇඳිරිය නිසා. ඇඳිරිය කියන්නේ අඳුරට. දැන් මෙතන තියෙන ලස්සනම සීන් එක තමයි මේ ඇවිල්ලා අර අපි හිතන අඳුර නෙවෙයි මීවිත අඳුර. දැන් ඔන්න ගල්බාගයක් වේවා රෙඩ් ලේබල් වේවා ග්‍රීන් ඇපල් වේවා....... වේවා වේවා මොකක්හරි එක බිබී ඉන්නවා අයියා කෙනෙක්. දැන් පොරට ටිකක් වැදිලා නිසා මොකුත් පැහැදිලිව පේන්නේ නෑ. ඒක කියන්න සුපිරියටම යොදාගෙන තියෙන්නේ මීවිත ඇඳිරිය දෑස වසනවා කියලා.
දැන් එහෙම කිව්වම ඒ එන කෙනා උත්තරේ දෙනවා. මිනිහත් දුකට බොන්න ආපු පොරක්. හිතේ තියෙන දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා. මෙතනින් ඔබේ ලොවට කියන්නේ ගේ නෙවෙයි බං. අර අවන්හලේ දැන් ඉන්න පොර වගේ වෙරි වෙන එක ගැන කියන්නේ.
මෙතන මුලින්ම මහින්ද ලියල තිබුනේ "මීවිතෙන් ගිනිකණ වැටුණු ඇස - කාගේ රුවදෝ ඇදෙන්නේ" කියලලු. පස්සේ තනුව දානකොට කපුගේ මේක ඔය සින්දුවේ විදියට වෙනස් කලාලු.




බොන උන් දන්නවා බොනකොට වෙන දේවල්. ඕක මොකෝ එකපාරටම ගුඩුස් ගාලා බොන්නද නෑනේ. සමහර එව්වා වදින්නේ තැපෑලේ. ගුඩුස් ගාලා බිව්වා වගේ නෙවෙයි තැපෑලේ වැදිලා කබරයා යන්න ගියාම. ඒ නිසා ඕක හෙමින් හෙමින් පොඩ්ඩ පොඩ්ඩ බොන ගමන් ළඟ එකා එක්ක අනිවා කතාවට වැටෙනවමයි. ඒ වගේ මෙතනත් දැන් මේ අයියා අහනවා 'මොකද මල්ලි මෙච්චර තරුණ වයසේදීම බොන්න පටන් අරන් කියලා ' කියලා. ( අයියා සුවර් සොට් බැඳපු පොරක් වෙන්න ඇති, ඒකනේ ඌ බොන්නේ ඇවිත් ).  එතකොට මල්ලි දෙන උත්තරේ නුරා විරහ ගිණි, මෙතනදි නුරා කියන්නේ ආදරේ කියන අරුත වෙන්න ඕනි. මල්ලි බූටක් කාලා ( බූටබල් කොල්ලෙක් ) බූට් එක දිවරගන්න තමයි බොන්නේ.




බොන්න බොන්න ලව් සික් එක නිවෙනවා නෙවෙයි වැඩි වෙනවා. නැගුනු නුරා ගිණි, ඒ තිබුණු විරහ ගින්න මී පොද වැටිලා හතර වටින් දළු ලා එනවා. සමහරවිට මෑන් ට කෙල්ලව මැවිලා පේනවා ඇති. ඒ ගෑණු දැරිවි එක්ක කතා කොරපුවා කරපුවා ගියපුවා අරවා මේවා බිව්වට පස්සේ තව තව වැඩි වෙලා එනවා. ඒකයි ගින්න දළු ලනව කියන්නේ. සෝ මේ අයියා බලනවා මූ තාම පොඩි එකා බීලා විනාස වෙන්න හදන්නේ නිකන් චීත්ත කෑල්ලක් නිසා.. ( මූ දැන්ම නෙවෙයි බැන්දට පස්සේ තමයි බොන්න ඕනා හඃ හඃ හඃ ) ඒ නිසා අයියා පොර මල්ලි කොල්ලට කියනවා බොන්නේ නැතුව වරෙන් යමු ගෙදර කියලා. (දැන් මෙහෙම කියන අයියලා නම් නෑ තමයි ඒ නිසා එහෙම කලාතුරකින්වත් ඉන්න උන්ව ගේ කොරන්න එපා මචං) චඃ බන් මේ සිංදුව මටනම් සුපිරියටම මැවිලාම පේනවා. මාරම සිරා සිංදුව, මේකට මොන කෙන්ගෙඩියකට ගේ එව්වා ගෑව්වද මන්ද.
මේකේ ලස්සනම,  වචන සින්දුවේ යෙදිලා තියෙන විදිය තමයි සිංදුවාටනම්.  එහෙනම් නමස්තේ වේවා. හෙට වැඩට යන්න බස් එක අල්ලන්න තියෙයි. ටොකෝ ටොකෝ.


Wednesday, February 19, 2014

තෙදින් පතිනි සඳ එති නරලොවටා !





මේක මාගලක් ඔන්න දැන්ම කිව්වා . කතාවට පෙරවදනක් ගන්නවානම් ඊයේ පෙරේදා වෙච්ච සිද්දියක් නිසා තමයි මේ කතාව ලියන්න හිතුවේ . මම කෑම්ප් ගිහින් ආවට පස්සේ දවස් හතරකින් විතර පැපොල් රෝගය වැළඳුනා . වැළඳුනා කියන්නේ රෝගය මාව සහ මගේ මුහුණත් තහඩුව වැළඳුවා . 

ගෙදර කස්ටිය කොහොම හරි කරන්න තියෙන ඔක්කොම ඒවා කරා . තව වෙද හාමිනේ කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා . ප්‍රවීණ සූප වේදියෝ දෙන්නෙක් තරඟෙට අහලා අහලා කෑමට බීමට අනං මනං සප්ලයි කරා . ඔන්න ඔහොමයි කාලේ ගත කලේ . ඔන්න ටැංකියු කිව්වා හැමෝටම .

හැබැයි ලෙඩවෙලා දෙවෙනි දවසේ වයලීනෝට හොඳටම අමාරු උනා . ඇවිදින්නත් බැරුව අම්මයි තාත්තයි දෙන්නගේ කරේ එල්ලිලා තමා දවස් දෙකක් තුනක් ඇවිද්දේ . නැත්නම් හිටගත්ත ගමන් පීසාහි ඇලවෙන කුලුන වගේ මම එහෙට මෙහෙට වැනෙනවා . දවසක් ඇඳෙන් නැගිටගන්නම බෑ , නාඩිත් හොඳටම weak , කන්නත් බෑ වතුර බිව්වත් ඔන්ද ස්පොට් වමනේ . ඔන්න එදානම් පොඩ්ඩක් බය හිතුනා . කොටින්ම කියනවනම් මරණ බය කියන එක දෙවෙනිපාරට දැනුනේ ඔන්න ඔය දවසේ තමා . චඃ දැන්ම මැරෙන්න බෑ අෆ්ෆා . තව පෝස්ට් තියෙනවා ලියන්න කියලා හිතුනා .

මරණ බය දැනිච්ච පලවෙනි දවසේ නවගමුවෙ දේවාලේ ගියා සිංදුවට , ඇඹිලිපිටිය බලංගොඩ කොළඹ බස්වල නම් පටලවලා . අන්තිමට කෙලවීගෙන එන වෙලාට තමා දෙයියෝ මතක් වෙන්නේ කියලා හිතලා මේ වතාවේ fb දැම්මා මෙන්න මේ ෆොටෝ එක කවියක් එක්ක . 

Posted Image


මේ ෆොටෝ එක ගැන පස්සේ මගේ යාල්ලුවෙක් සහ එයාගේ යාලුවෝ විස්තර ඇහුවා . මට එවෙලේ තමයි හිතුනේ පත්තිනි දේවිය ගැන ලියන්න ඕන කියලා . 

සනීප උනාම අම්මලා කිරි දානයක් වගේ ගෙදරම කැවිලි හදලා දීලා කිව්වා සමන් දේවාලේ තියෙන පත්තිනි දේවාලෙට පූජ කරලා එන්න කියලා . සින්දුවගේ මලයත් ඇදගෙන ගියා එදා . පොඩිකාලේ මට අවුරුදු 2 ක් විතර වෙනකං අපේ ගෙදර මාස තුනකට වතාවක් කිරිඅම්මා දානයක් දුන්නා . අන්තිමට දීපු දානේ මට යන්තම් වගේ මතකයි . කේක් ගෙඩිය වගේ මාව ඒ කිරි අම්මලා ඉස්සරහා වාඩි කරවලා තියලා එයාලා මගේ මූණ වටේ පහනක් කරකවනවා ලාවට මතකයි . හම්මේ ෆන් එක .

පත්තිනි දේවියගේ උපත ගැන කතාවනම් ටිකක් දිගයි . හැබැයි මම ඔන්නොහෙ එකටම ලියනවා . කොටස් දෙකකට වෙන් කරන එක අපරාදයක් . කවදා හරි මේ ගැන හොයන අය ගැනත් හිතලා එකම පෝස්ට් එකට දැම්මා. 

මත වාද තියෙන්න පුළුවන් . සමහර අය තර්ක කරා මේ එයා නෙවෙයි මෙයා . හා මේ එයා නෙවේ මෙයා කියලා . හැබැයි මම දන්න හැටියට මේ මෙයා තමා .

දකුණු ඉන්දියාවේ කාවේරි ගඟ කිට්ටුව තමයි ඒ කාලේ චෝල රාජ්‍යය පිහිටලා තිබුනේ . කරිකාල කියලා රජතුමෙක් මේ රාජ්‍යය පාලනය කළා . අගනුවර උනේ පූනාර් කියන නගරය හැබැයි කාවේරි පට්ට්ටන කියලත් ඒ නගරයට කියනවා . ලංකාව සහ ඉන්දියාව අතරේ වෙළඳාම් වලට මේ කාවේරි පට්ටන කියන ප්‍රදේශය ඉතාම වැදගත් උනා . 

මේ නගරයේ මනෙයික්කන් කියලා ධනවත් වෙළෙන්දෙක් හිටියා . මේ වෙළෙන්දාට දාව තමයි කන්නගීඑහෙමත් නැත්නම් අපි මේ කියන පත්තිනි දේවිය උපදින්නේ . මෙතුමියගේ උපත ගැන විවිධ කතා තියෙනවා . නයි කඳුලෙන් , ගිනිජාලාවෙන් , අඹ ගෙඩියෙන් ඔහොම ඔහොම එක එක ඒවායින් ඉපදිලා තියෙනවා . 

මම මේ කියාගෙන යන්නේ වෙනත් කතාවක් . ඉතින් ඒ නගරයේ හිටපු තවත් ධනවත් මුතු වෙළෙන්දෙක් තමයි මස්සෙට්ටුවාන් කියන්නේ . මේ වෙළෙන්දාගේ පුතා තමයි කෝවලාන් එහෙමත් නැත්නම පාලඟ කියන්නේ . මේ වෙළඳ පවුල් දෙකම ඉතාම සමීපයි . ඒ වගේම මේ කෝවලාන් තරුණයා සහ කන්නගී කියනන් දෙන්නම එකම වයසේ . ඉතින් පවුල් දෙකේ තිබ්බ ෆිට් එක නිසාම මේ දෙන්නව විවාහ කරවනවා . 

Posted Image


ඉතාම ලොකු විවාහ මංගල්‍යක් උනා මේක . රටේ රජතුමා පවා ආවා මේ මංගල්‍යයට . ඉතින් විවාහ වෙලා මේ දෙන්නට තිබ්බේ තමන්ට උරුම ධනය පාවිච්චි කරමින් සතුටින් ඉන්න තමයි . මහා මාලිගා , ඇත් අස් වාහන අරවද මේවද එව්වා මෙව්වා ඔක්කොම තිබ්බා . වසර කීපයක් මෙයාලා කෝවලාන්ගේ මහගෙදර හිටියා . පස්සේ ඉතින් දෙන්නා වෙන ගෙදරක පදිංචියට යනවා .


ඊට පස්සේ දෙන්නා පොඩ්ඩක් කාර්ය බහුල වෙනවා . මොකද කන්නගී ස්වාමි දුවකගේ වගකීම් කරට ගන්නවා . කෝවලාන් හැබැයි මේවාට එච්චර කැමති නෑ . ධනවත් වෙළෙන්දෙක්ගේ පුතෙක් නිසා මෙයා හැදිලා තිබුනේ පියාගේ දේවල් වලින් කන්න විතරයි . ඉතින් මෙයා ව්‍යාපාර වලට ඇතුළු වෙන්නේ නෑ . හැබැයි සංගීතයට ඉතාම කැමති ඒ වගේම සංගීතය ගැන පරතෙරට ඉගෙනගත්ත කෙනෙක් තමයි මේ කෝවලාන් .

මෙයා ධනවත් කෙනෙක් නිසා රටේ ඉන්න දක්ෂ ශිල්පීන් මෙයා තමාගේ මන්දීරයට ගෙන්න ගන්නවා ඒ නැටුම් ගැයුම් වලින් විනෝද වෙනවා . මෙයා ආශ්‍රය කලෙත් ව්‍යාපාරිකයින් නෙවේ . කළා කරුවන් . මෙහෙම කාලයක් යනකොට දවසක් මේ කෝවලාන්ට දැනගන්න ලැබෙනවා නවක නර්තන ශිල්පිනියකගේ මංගල අරන්ගේත්රම් උළෙලක් තියෙනවා කියල . මේ නර්තන ශිල්පිනියගේ නම මාධවී . ඉතින් මේ නර්තන උළෙල දැකබලාගත්ත කෝවලාන් මේ මාධවීගේ රූසපුවට ආදරය කරන්න ගන්නවා .

එදා මාධවී යෙදුන නර්තනය ඉතාම අලංකාරයි . ඒවගේම දීර්ඝ වෙලාවක් මාධවී නර්තනයේ යෙදෙනවා . ඉතින් දක්ෂකම වගේම ලස්සන නිසාම කෝවලාන් දෙවුලොවින් ආපු සුරංගනාවියක් වගේ හිටපු මාධවී කෙරෙහිම හිත යොදවලා සති ගානක් ගෙදර යන්නේ නැතුව නිවසින් පිටත වාසය කරනවා . මෙයාගේ හිත හොඳටම අවුල් වෙනවා . මාධවී ගැන හිතලා හිතලා තවත් දුක් විඳින්න බැරි නිසා කියලා කෝවලාන් මාධවීගේ මැදුරට යනවා මාධවී එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා . මැදුරේදී දෙන්නාගේ හමුවීම දුරදිග යනවා . ඒවගේම මාධවීත් මේ කෝවලාන්ට ආදරය කරන්න පටන් ගන්නවා .

අන්තිමට කෝවලාන් ගෙදර ගියේම නෑ . මාධවී එක්කම නවතිනවා . කෝවලාන් සංගීතයටත් මාධවී නැටුමටත් ලැදි නිසා කෝවලාන් මේ මේ අලුත් ජීවිතයට ඉතාම ප්‍රිය කරනවා . මොකද කන්නගී ඒ කියන්නේ අපේ පත්තිනි දේවිය මේ දේවල් වලට කැමති නැති නිසා . කන්නගීත් හැබැයි මේ ගැන දුක් උනේ නෑ . ඒ වගේම කන්නගී කෝවලාන් බැඳීමට වඩා මාධවී කෝවලාන් බැඳීම වඩා ශක්තිමත් උනා . 

කාලයක් යනකොට කෝවලාන්ට දාව මාධවී මණිමේකලා කියලා දියණියක් බිහි කරනවා . ඉතින් ඊටපස්සේ කාලයක් යනකොට මාධවීගේ ලාලිත්‍යය නැතිවෙලා ලස්සන නැතිවෙලා ශරීරය වැහැරුනාම කෝවලාන්ට මාධවී එපා වෙනවා . දෙන්න අතරේ පොඩි පොඩි අවුල් ඇති වෙනවා . ඉතින් පස්සේ කෝවලාන්, මාධවී සහ මණිමේඛලා දියණිය අතැරලා ආයෙත් කන්නගී ගාවටම යනවා . මාධවී කියන්නේ නැට්ටුක්කාරියක් . ඒ නිසා එයා මුදල් කළමනාකරණයක් ගැන දන්නේ නෑ . එනිසාම ධනකුවෙරයෙකුගේ පුත්‍ර කෝවලාන් අවසානයේ කන්නගී වෙතට යන්නේ හිඟන්නෙක් වෙලා . 





මාධවී ගැන තව දෙයක් කියන්න අමතක උනා මුලින් . මාධවී කලින් තවුතිසාවේ හිටපු දෙවඟනක් . සක්‍රයා එක්ක වෙච්ච මත භේදයක් නිසා සක්‍රයා මේ දෙවඟනට සාප කරනවා . මේ සාපය නිසා මාධවීට වෙන්නේ මනුස්ස ලෝකේ ඉපදෙනකොට ගණිකාවකගේ දියණියක් වෙන්න . ලස්සන ගියාට පස්සේ මෙයත් ගණිකාවක් උනා . මණිමේඛලා දියණිය මාධවී විසින් හදාගත්තා . මොකද ඒ කාලේ ගණිකාවෝ පිරිමි දරුවෝ හදාගන්නේ නෑ ( ජීවක වෙදැදුරුතුමාගේ කතාව අහලා ඇතිනේ ) . ගෑනු දරුවොනම් හදාගෙන ලොකු උනාම ගණිකා වෘත්තියට යොමු කරවනවා . මධවීත් අන්තිමට මේ පාරේම යනවා . නැට්ටුක්කාරියන්ගේ ජීවිතයට ඉන්දියාවේ ඒ කාලේ අත් උනේ මේ ඉරණම තමයි .

කෝවලාන් ඉතින් කන්නගී ගාවට අත් වන වන ආවට කන්නගී ඉතාම ආදරෙන් කෝවලාන්ව භාර ගන්නවා . හැබැයි මාධවී හිතන් හිටියේ කෝවලාන් සල්ලි හොයාගෙන ආයෙත් එයි කියලා ඒත් කෝවලාන් ආවේ නෑ . කන්නගී තමාට සමාව දුන්න නිසා කෝවලාන්ට කන්නගී ගැන ලොකු ආදරයක් හිතෙනවා . ඉතින් ආයෙත් කන්නගීව දාලා ගියේ නෑ . මේ නිසා මාධවී කෝවලාන්ට පණිවිඩයක් එවනවා ආයෙත් එන්න කියලා . ඒත් කෝවලාන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා . මේ දුකට මාධවී මිය යනවා . මියගියාම සක්‍රයාගේ සාපය ඉවරවෙලා නිසා මාධවී ආයෙත් තවුතිසාවේ ඉපදෙනවා .

තමන් කරපු පදිරි වැඩ නිසා කෝවලාන්ට රටට මුණ දෙන්න බැරි වෙනවා . ඒ නිසා කෝවලාන් කියනවා කන්නගීට අපි වෙන රටකට යන් කියලා . වෙලා පළාතකට ගිහින් රස්සාවක් කරන්න තමා හිතන් ඉන්නේ . දෙන්නා දැන් කාවේරි ගඟ දිගේ යාත්‍රා කරලා වනාන්තර පසු කරලා මධුරා පුරයට සම්ප්‍රාප්ත වෙනවා .

මේ වෙලාවේ මට මතක් වෙනවා සළු පාලියේ කවියක කොටසක් . 

" මධුරා පුර වැඩි පතිනි සදේය " කියලා . ඔය මධුරා පුරයට පැමිණීම තමයි ඒ කවියේ කියල තියෙන්නේ . 

ඉතින් මධුරා පුරයේ තිබ්බ ගොපලු ගෙදරක මේ යුවල නවතිනවා . ඒ නවතිලා කෝවලාන් පොඩි ජොබ් එකක් කරනවා . කන්නගී ගෙදර වැඩ කරනවා . ඒත් දැන් දෙන්නට වියදමට ලැබෙන සල්ලි මදි නිසා කන්නගී ගාව තිබ්බ එයාගේ දෙමාපියන් හදලා දුන්න මැණික් ඔබ්බපු රන් සළඹ විකුනමු කියලා කෝවලන්ට කියනවා .

මධුරාපුරයේ මේ සළඹ මිල කරන්න ලේසි පුතෙක් හිටියේ නෑ . ඒක තනි රත්තරන් වලින් හදපු මැණික් අල්ලපු ඉතා වටිනා සලඹක් . පස්සේ කෝවලාන් රජගෙදර රන්කරුවා හොයාගෙන යනවා මේක විකුනන්න . කරුමේ කියන්නේ මධුරාවේ රජතුමාගේ බිසවගේත් සළඹ මේ කාලෙම නැතිවෙලා තියෙනවා . ඉතින් රන්කරුවා ගාවට ගියාම රන් කරුවා කට්ටය , රන් කරුවා හිතනවා මේ සළඹ රජතුමාගේ බිසවගේ කියලා මම රජතුමාගෙන් තෑගී ගන්නවා කියලා . 

පස්සේ රන්කරුවා කියනවා කෝවලාන්ට මම රජතුමාට මේක මිල කරලා මුදල් ගේන්නම් මම එනකං ඉන්න කියලා . කෝවලාන් ඉන්නවා රන්කරුවගේ ගෙදර .

ඉතින් රන් කරුවා කරන්නේ මේ සළඹ ගැනයි කෝවලාන් ගැනයි රජතුමාට කියනවා , මේ තමයි මම හදලා දුන්න බිසවගේ රන් සළඹ මෙයා තමා හොරා කියලා . පස්සේ රජතුමා රාජපුර්ෂයින් යවලා කෝවලන් අල්ලාගෙන එනවා . නඩු අහන්නෙත් නැතුවම රජතුමා කොවලාන්ගේ හිස සිඳින්න නියෝග කරනවා . නගරයේ මිනිස්සු මේ සළඹ හොරා මැරීම ගැන කතාවෙනවා . ඔහොම ඔහොම කතාව අන්තිමට කන්නගීට දැනගන්න ලැබෙනවා .

කන්නගී හොඳටම දුක් වෙනවා . පස්සේ මෙයා මාලිගාවට ගමන් කරනවා . මේ අතරේ තමයි රන් කරුවා කරපු වැඩේ මගදී ආරංචි වෙන්නේ . පස්සේ කන්නගීට හොඳටම තරහා යනවා . මෙහෙම තරහා ගිහින් කෝපයෙන් මාලිගාවට යනවා . කෝපයෙන් ඇය කොච්චර වියරු වැටුනද කියනවනම් ඇය දකින රාජ පුර්ශයින්ට ඇයව නවත්තන්න වත් මතක් වෙනේ නෑ අයගේ තිබ්බ නපුරු පාටට . 

කන්නගී මාලිගාවට ගිහින් රජතුමා ඉස්සරහා කෑගහලා කියනවා මේ මගේ අනිත් සළඹ . අපි ආවේ කාවේරි නුවර ඉඳලා . මේ මගේ සැමියා , අපිට සල්ලි නැති නිසා මගේ සළඹ විකුනන්න ආවම තමයි මේ නිස්කාරනේ මරලා තියෙන්නේ කියලා . කන්නගී කෙන්තියටම තමන්ගේ අනිත් සළඹ අතට අරගෙන මහා හයියෙන් රජතුමා ඉදිරියේ සාප කරමින් පොලවේ ගහනවා . සළඹේ තිබ්බ සාපලත් මැණික් කැට ගැලවිලා වීසිවෙලා ඒ මැණික් කැටයක් වැදිලා රජතුමා මිය යනවා . ( අන්න ගෑණු )

Posted Image


දුක ඉවසගන්න බැරුව කන්නගී තමාගේ වම පියයුර අතින් ඇදලා ගලවලා එතනම පොලවේ ගහනවා . මේ පියයුර පොලවේ ගහපු නිසා නැගුන ගිනි දැල් වලින් මුළු මදුරාපුරයම ගිනි ගත්තා කියලා තමයි කියන්නේ . ඉතිරිවෙලා තියෙන්නේ සිල්වත් අය විතරයි . කන්නගී මේ වෙලාවේ දේවත්වයට පත් වෙනවා .
අපේ ආච්චි ඉස්සර හවසට බුදුන් වඳිනකොට පත්තිනි දෙවියන්ට පින් දෙන්න කියන කවි කීපයක් මේ .

බාලේ පෙම් බැඳී හිමියට ආලේ
අත්හැර ආවේ ගම ඒ කාලේ 
පඬි රජ මැරවූයෙන් සිහි විකලේ
පත්තිනි පෑවේ පතිදම් සීලේ

සළඹ නිසා තම සොරෙකුන් ලෙසටා 
හිමියා මැරවූයෙන් රජ එවිටා
පත්තිනි දේවිය ගොස් රජු වෙතටා
තනය කඩා වම ගැසුවේ බිමටා 

මැවුනි එතන ගිනි ජාලා එවෙලේ
පඬි පුර අළු වී ගියා ඇසිල්ලේ
එවැනි උතුම් බල පත්තිනි ආලේ 
සිහිකර පින් දෙමි නිතර දෙවේලේ

සිත් සනසන සොඳ ගුණති අමාවන් 
උත්තම පතිදම් සුරැකි අමාවන් 
සත් හට සෙත් දෙන රුවැති ලමාවන් 
පත්තිනි දෙවියෝ පින් අනුමෝවන්

පස්සේ කන්නගී මේ ගින්න නිවා දානවා . මෙයාගේ ශරීරයේ වම නිල්පාට වෙනවා , දකුණ රන්වන් පාට වෙනවා . වම් අතේ රන්පාට නෙළුමක් දරාගන්නවා , දකුනතට අසිපතක් ලැබෙනවා , වම පයේ අලංකාර සිහින් හඬ තියෙන සළඹක් සහ දකුණු පාදයේ මහත් සළඹක් පළඳිනවා . ඒ වෙලාවේ ඒ පුරයට අරක් ගත්ත දෙවියෙක් ඇවිත් කියනවා මියගිය කෝවලාන් එසේ මිය ගියේ ගිය ආත්මයේ සොල්දාදුවෙක් කියලා හිතලා අහිංසකයෙක් මරාදාපු පවට කියලා . 

පස්සේ කන්නගී අහනවා කෝවලාන් දැන් කොහේද ඉපදිලා ඉන්නේ කියලා . ඉතින් දෙවියා කියනවා කෝවලාන් දැන් දිව්‍යලෝකේ ඉන්නේ ඔබතුමිය රැගෙන යන්න එයි කියලා . 



පස්සේ දිව්‍යරථයක් ඇවිත් කන්නගී දෙව්ලොවට රැගෙන යනවා . කන්නගී ගහක් මුල ඉන්නකොට තමයි මෙහෙම දිව්‍ය ලෝකෙන් දිව්‍ය රථය ඇවිත් අරගෙන යන්නේ . ඉතින් මිනිස්සු මේ සිද්දිය ගැන පුදුමයෙන් කතා වෙනවා . මේ කතාව මදුරාපුරයේ හිටපු කවියෙක් වන සත්තනාර් කියන කවියා මගින් වංග රටේ සෙන්ගුට්ටුවාන් කියන රජතුමාට දැනගන්න ලැබෙනවා . පස්සේ මේ රජතුමා මධුරාවට ඇවිත් මේ කන්නගී දෙව්ලොවට ගිය තැන ගහ ගාව දේවාලයක් හදලා එතන කන්නගීගේ පිළිමයක් පිහිටවනවා . ඔන්න ඔහොම තමයි පත්තිනි දේවියගේ උපත ගැන සඳහන් වෙන්නේ . එහේ කන්නගී දේවිය මෙහෙ පත්තිනි දේවිය උනා කියලා තමා පිළිගැනීම .

Posted Image


පසු කාලෙකදී ගජබා රජතුමා ලංකාවට පත්තිනි සලඹක් වැඩම කෙරෙව්වා . ඊට පස්සේ තමයි නවගමුවේ දේවාලය හදලා සඳුන් දැවයෙන් කල පත්තිනි දේවියගේ පිළිමයක් සහ සළඹ හත් කට්ටුවක් තැම්පත් කරලා ඒක පත්තිනි දේවියට කැප කරලා තියෙන්නේ . අද ලංකාවේ තියෙන ප්‍රධානම පත්තිනි දේවාලය නවගමුවේ පත්තිනි දේවාලය . 

Posted Image


ඒ වගේම කඩුවෙල නගරය අසල තියෙන රන්කඩු පත්තිනි දේවාලයත් ප්‍රධාන පත්තිනි දේවාලයක් .

Posted Image


දවසක් නවගමුවේ පත්තිනි දේවාලේ කපු මහත්මයට හීනෙන් පේනවා දේවාලය අසල කැළණි ගඟේ අටබොරදම් ගාලා සකස් කරපු කොස් කොටයක් පාවෙනවා . ඒක දේවාලෙට ගෙනත් දේවාලේ සවි කරන්න කියලා හීනෙන් නියෝග කරලා තියෙනවා . පස්සේ කපු මහත්මයා මේක ගෙනත් හයි කරගන්නවා . ටික කලක් යනකොට පත්තිනි දෙවියන්ගේ ආනුභාවයෙන් මේ මල කොස් කණුව බිත්තියේ තියෙත්දිම දළු දාලා පස්සේ ගෙඩිත් හටගන්නවා . මේ කොස් කණුව එව්වේ සක්‍රයා කියලා තමයි කියන්නේ . පත්තිනි දේවියගේ දේව බලය පරීක්ෂා කරන්නලු එහෙම කොස් කණුවක් එව්වේ .

Posted Image


ලියාගෙන ලියාගෙන යනකොට තව කතා කීපයක් මතක් උනා . ගොඩගම සන්නස ගැන එහෙමත් කියන්න තියෙනවා . ඒ නිසා ආයෙත් මේ වගේ මාගලක් ලියන්නම් . මේ පහල තියෙන්නේ පත්තිනි පදය නටන අවස්ථාවක් . 

මෙතන කපු මහත්මයා පත්තිනි දේවිය වගේ ඇඳගෙන මේ ශාන්ති කර්මය ඉදිරිපත් කරනවා . මම කැමතිම ගායනාවක් . හැමදාම ඕක අහ අහ ඉන්නවා . පත්තිනි පදය කියලා කිව්වට පද හතක් තියෙනවලු . එක කපුමහත්මයයිලු නටන්නේ . මේ පත්තිනි පදය ගැන මට කිව්වේ වතී අක්කා ඔන්න . වතී අක්ක ටිකක් මෙව්වා ගැන දන්නවා . ගම්මඩු දෙවොල් මඩු වගේ ශාන්ති කර්මවල මේ පත්තිනි නැටුම් ඉදිරිපත් වෙනවා .





පත්තිනි දෙවියන්ට කන්නලවු කරන්නේ මෙන්න මෙහෙම . 

තෙද වරම් පස්වාන් දහසකට බුදුවන්ඩ සිද්ද පත්තිනි දේව මාතවුනි.තවද මෙලොව සත්වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි යන නමින් ප්‍රසිද්ද වන ඔබ දිව්යාන්ගනාවුන් වහන්සේ දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනි ජාලාවෙන් පිනි බින්දුවෙන් සිනා රැල්ලෙන් මවිත අඹෙන් මෙසේ සත් වාරයක් ලොව පහල වූ සත් පත්ත්තිනි දිව්යාන්ගනාවුන් වහන්ස.සුර ලොවින් අසුර ලොවට වරම් ලබා අසුර ලොවින් නාග ලොවට වරම් ලබා නාග මානවිකාවන් දසදහසක් පිරිවරා පුන්කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන පිහිටි දිව්‍ය මන්දිරාමානව නවගමුව හිමි දේවාලයට අධිගෘහිතව වැඩ වසන සිද්ද පත්තිනි දිව්යානගනාවුන් වහන්ස.ඔබ වහන්සේගේ දිව්‍යනුභව සිඳලමියි සිතා සක්‍ර දිව්‍ය රාජයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදන් ගා එවූ මල කොස් කණුව පොරකවුලා දළු ඇද තුන් දුමාව පලගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් පරංගි සමයක් කාරයන්ගේ යුද්දය තුන් මාසයක් කල්තියා දැනගෙන නවගමුව දේවාලයෙන් රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට ඇලිකිඹුලෙක් පිටෙහි වැඩමවා මැදගොඩ ඇල්ලෙහි කෙලිපුද ගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් තවද ඔබ වහන්සේ අන්දුන්ගිරි පර්වතේ තපස් රකිනවා දැක සක්‍ර දිව්‍ය රාජයා මහලු වෙස්ගෙන අන්දුන්ගිරි පර්වතයට වැඩ නැගෙනියනි මට දානයක් දෙන්නයි කියූ තැනේදී කුමන දානයක්දයි අසු තැනේදී අන්දුන්ගිර පයින් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් තනා දෙන්නයි කිව තැනේදී අන්දුන්ගිර පාගා මඩකර සුවඳ ඇල් වි ඉස පැලකොට ගොයම් කපා වී කොටා පොලා දියෙන් ගිනි මොලවා සත් පැයෙන් දානය දී හමාර කර මතු බුදු වන්ඩ ප්‍රර්ථනා කර සක්‍ර දිවය රාජයාගේ ආනුභාවයෙන් පඬිපුර අඹ ගෙඩියෙහි පිළිසිඳ පඬි රජුගේ තුන් නෙතින් නළලෙහි නෙත මැකෙන්ඩ වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් තවද ස්වාමී පාලඟ මැරූ පඩිරජුගේ මාලිගාවට වැඩම කරවා තමා රක්ශාකල පතිදම් ශිලයෙන් වම තනය ඉරා ගලවා මාලිගාවෙහි පොලවේ ගසා පඬි රට ගිනිගන්නට සාප කල හෙයින් පඬිරට එක පෑමුක්කාලෙන් ගිනිගෙන අළු දුලි වන්නට වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් නම් සියලු ආතුරයින් ආරක්ෂා කර දෙන්නට දැන වදාරා නවගමුව දිව්‍ය මන්දිරයෙහි චිරාත් කාලයක් වැඩවසමින් ලංකාද්වීපය දිව නෙතින් බලා වදාරන්නට සමා වෙනවයි ඔබ කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා......!

Sunday, February 9, 2014

අවුරුද්දක් ගතඋනාලු - දැන් අපි ලොකු ළමයි





අද විශේෂ දවසක්  . ආරාධිත රඟපෑම වෙනුවෙන් මම අද අපේ බ්ලොග් එකට මේ විශේෂ දවසේ විශේෂ කෙනෙක් එක්කං ආවා . වෙන කවුරුවත් නෙවේ . මිස්ටර් සිංදුවගේ සාඩම්බර ( ද මන්දා ) හිමිකාරියව . අපේ මේ විශේෂ දවසේ කතාව ආරම්භ කරන්න මම වතී අක්කට කිව්වා මොකක් හරි හොඳ දෙයක් ලියලා දෙන්න කියලා . කිව්වේ අවුරුදු 7කට විතර කලින් . ඔන්න ලියලා දුන්නේ ඊයේ තමා .



බුහහාහැහාහ ...... දැන් බලනවා ඇති අර කොයිවෙලෙත් සිනහසී සිටින්නී ද කියලා . ඔව් ඔව් . ඒ සිටින්නී ඔය සිටින්නේ . දැන් මේක කියවනවානම් ෂුවර් එකටම සිනහ නෙවේ රවාගෙන ඇත්තේ මට බැන බැන  . ඉඳලා හිටලා දෙන්නා නට්ට පාගගත්තට , තව මෙන්න මේ වගේ පොස්ට් දැම්මට මොකෝ දැන් සීනියි තේකොලයි වගේ දෙයියනේ කියලා දෙන්නා ඉන්නවා . ඉතින් ඔය පොටෝ කෑල්ලේ තියෙන කවිවල රස කර කර විස්තර කරලා තියෙන උන්නැහේ ක්‍රිස්තුවර්ෂ බරගනන් වලින් කියනවනම් වරුස 2013 පෙබරවාරි 9 වෙනිදා

" ආයුබෝවන් කියලා තියෙයිනොව හෙඩිමෙම.කමක් නෑ ආයෙත් ආයුබෝවන් !   " 

කියන වැකිය සටහන් කරමින් හාහා හරිහාවා කියලා සිංදුවාගේ මියැසිය කියන නමින් මේ බ්ලොග් අඩවිය ආරම්භ කරනවා . හැබැයි ඒ කාලේ මම නම් නෑ . නෑ කිව්වේ ඉන්නවා . ඒ උනාට මේ බ්ලොග් එකේ නෑ . පළවෙනි පොස්ට් එකේ සිංදුඅයියා කියනවා නන්දා මාලිනියගේ " මට මවු පදවිය ලැබුණු දිනේ " කියන ගීතය ගැන . අන්තිම පේලියේ ලියලා පෝස්ට් දෙකතුනක් පබ්ලිෂ් කරාට පස්සේ තමයි සිංදුවාඅයියා මේ බ්ලොග් එක ආරම්භ කරන්නේ .දිග ගමනක් යන්න හිතාගෙන සිංදුඅයියා එදා පළවෙනි පියවර එහෙම තිබ්බා .

බ්ලොග් එකේ ඇපියරන්ස් එක හදන්න සිංදුඅයියා ගොඩක් ඒවා වෙනස් කර කර බැලුවා . මොකද කියවන අයට පහසු වෙන්නත් ඕන නිසා . ඒ ගැන විචාරන්න නම් මමත් ඒ කාලේ සහභාගී උනා . මොකද සතියට දවස් 7ක්ම මම සිංදු අයියගේ ගෙවල් පැත්තේත් කැරකෙන නිසා . කොහොම හරි දැන් තියෙන තත්වෙන් හදාගන්න සිංදුඅයියා එක එක සූත්තර දැම්මා . ඒවගේම මහන්සි උනා .

පළවෙනි කමෙන්ට්එක කෙටුවේ අපේ හොඳ ෆිට් එකක් වෙච්ච චතුර අයියා .

" නියම වැඩක් සිංදුවා.. දිගටම කරගෙන යන්න සුබ පැතුම් "

චතුර අයියගේ ඒ පැතුම අද ගොඩ ගිහින් කියලා හිතන්න පුළුවන් .

රා බී වෙරි වූ මීයා සේ , ඒ මියැසිය අද මා ගයනා විට , සිනිඳු සුදු මුතු තලාවේ , එපා මැණිකේ සිත පමණක් කිසිවෙකුටත් දෙන්න , ඩිඩින් ඩින්ඩි ඩින් වගේ සිංදුවා ලියපු ලිපි ගොඩක් බ්ලොග් කියවන අය අතරේ සිත් ගත්ත ලිපි උනා .

ඒ ලිපි වල හාස්‍ය රසය , සංගීත රසය , සමාජ විවරණය කිරීම් , පාසලේ අපේ අත්දැකීම් වගේ විවිධ දේවල් අන්තර්ගත වෙලා තිබුණා . මුලදී ලියපු ශෛලිය වෙනස් වෙලා කාලයක් යනකොට සිංදු අයියටම ආවේනික ශෛලියක් යටතේ ලිපි ලියවුනා .

ඔය අතරේ ඉතින් මමත් වෙනමම මගෙ බ්ලොග් එකක් කරගෙන ගියා . සබරගමුවේ ඉතිහාසය ගැන ලියන්නයි මම එක පටන් ගත්තේ . ඒත් ලිව්වේ සමන් දේවාලය ගැන . මේ අතරේ තමයි බ්ලොග් එක පටන් අරගෙන හරියටම මාස තුනක් ගත උනාට පස්සේ 2013 මැයි 9 වෙනිදා

" වෙනසක් වෙන්නයි හදන්නේ "

කියලා ලිපියක් පල කරමින් සිංදුවා අයියා මාව බ්ලොග් එකට එකතු කරගත්තේ . අපි දෙන්නගෙම ලිපි ලිවීම ගැන තිබ්බ යම්කිසි මතයක් නිසා තමයි කොහොම හරි අපි සන්ධානගත උනේ .

" හැමෝටම කියන්න පොඩි ආරංචියක් තියෙනවා. බ්ලොග් එකේ පොඩි වෙනසක් කරන්නයි හදන්නේ. මේකට පොස්ට් ලියන්න මම කවදත් පොස්ට් වල කියවන වයලීනෝත් මට එකතු වෙනවා. ඒ නිසා අද ඉඳන් කට්ටියට වයලගේයි මගෙයි දෙන්නගෙම පොස්ට් කියවන්න පුළුවන්. වයලත් මියැසියට එකතු වෙන නිසා මේක සිංදුවාගේ මියැසියම වෙන්නේ නෑනේ. ඒ නිසා අපි පොඩ්ඩක් නම වෙනස් කරනවා "

ඔන්න ඔහොමයි බ්ලොග් එකේ නමත් වෙනස් කරගෙන මමත් මේකට කඩා පාත් උනේ . මගෙ මේ බ්ලොග් එකේ පළවෙනි ලිපිය " සඳක් සදිසි ලඳක් රුවැති ලැසි ගමනින් එන " කියන ලිපිය . ඊට පස්සේ අපි දෙන්නම මාරුවෙන් මාරුවට ලිපි ලිය ලිය දැම්මා . ප්‍රාචීන විද්‍යාවන් ගැන මට තිබ්බ අමාරුව නිසා මම ලිව්ව ලිපිවලනම් වැඩිපුරකම තිබ්බේ ඒ සම්භන්ධ දේවල් . ඊට වඩා මට අලි ඇත්තු ගැන තිබ්බ ආසාව නිසා ඒ අය ගැනත් ලියඋනා .

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු , මහසෝනාගේ හෝරාව , අසම්මත ප්‍රේමයේ ගීතය , සිරි යහනේ යටලීයේ නාරිලතාවෝ , අතිශයින්ම 18+ , වශී ගුරුකම් , සුදු නෙළුම කෝ , පෙම් කපල් , පෙරදිනයක මා පෙම් කලේ කාටද , වගේ අපි දෙන්නගෙම ලිපි ගොඩක් දෙනෙක් කියවලා තිබුණා . එ වගේම අනිත් ලිපිවලටත් හොඳ ප්‍රතිචාර තිබුණා .

නරක ප්‍රතිචාරත් නොතිබුනේම නෑ . ඒවායින් මමනම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . මම හිතන්නේ සිංදුවත් එහෙම වෙන්න ඇති .

එක එක ලිපි ලියන අතරේ "ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය " කියලා ඇලපාත මුදලිතුමා ගැන ලිපි සීරියස් එකක් අපි පල කළා . ඒකටත් හොඳ ප්‍රතිචාර තිබුණා .

සිංදු අයියත් ප්‍රාචීන ඉගැන්වීමක් එක්ක " ලපය තිබුණු රහස් තැන කොතනද " කියලා ලිපියක් ලිව්වා .

මමත් හදිස්සියේම ආපු අයිඩියා එකකින් කාලයක් තිස්සේ හොයපු දේවල් එකතු කරලා සීයගෙයි මුනුබුරාගෙයි කතා කීපයක් ලිව්වා ( 1 )  ( 2 )  ( 3 )


මේ වගේ අපි දෙන්නම අපිට පුළුවන්, වෙලාව තියෙන හැම වෙලාවකම කියවන අයට කියවන්න අපිට පුළුවන් උපරිම විදියට ලිපි ලිව්වා . ඒවගේම කියවන්න පුළුවන් හැම වෙලේම අපේ සහෘදයින්ගේ හා අනෙක් අයගේ බ්ලොග් ලිපි කියෙව්වා . අපි ඒවායින් ගොඩක් දේවල් ඉගෙනගත්තා . ඒ දේවල් සමහර අයට කියලත් දුන්නා .

බ්ලොග් එක අපේ ජීවිත වෙනත් පැත්තකට යොමුකලා කිව්වොත් හරි . මොකද අපි දෙන්නම බ්ලොග් එක නිසාම ගොඩක් දේවල් හොයන්න පෙළඹුනා . අපි ඇලපාත මුදලිතුමා හා ගජමන් නෝනා ගැන හොයන්න ගිහිල්ලා ඒ එක්කම දහදුරා වැඩ ගැනත් හොයාගත්තා . ඉතින් ඒ වගේ ගොඩක් හොඳ දේවල් මේ බ්ලොග් එක නිසා අපේ ජීවිත වලට එක් උනා . අපේ හැඟීම් උනත් සමහර වෙලාවට බ්ලොග් එක හරහා ගලාගෙන ගියා . මේ තියෙන්නේ ඒවා තමා ((( 1 )))   ((( 2 ))) . තව වැදගත් දෙයක් කියන්න ඕන . අපිට හොඳ යාළුවො පිරිසකුත් එකතු උනා . නම් ගම් කියන්නේ නෑ එක්කෙනෙක්වත් අමතක උනොත් කියලා .

සමහර අයනම් අපි දෙන්නව නහය විදලා කරත්තේ බැඳලා දක්කන්න හැදුවා . අසරණකම කියල උදවු අරගෙන  අපිටම කෙලවපු අයත් ඉන්නවා . නිදි මරාගෙන ඒ අයගේ බ්ලොග් වල අවුල් හැදුවා . සමහර අය බ්ලොග් එක මෙතන හොඳයි කියලා එතන හොඳ නෑ කිව්වා . හැබැයි ඒ කීප දෙනයි .

හැමෝම පෞද්ගලිකව හරි මැසේජ් එකක් දාලා අපිට සහයෝගය දුන්නා . මේ වෙලාවේ මම මතක් කරන්න ඕන ආගිය කතා බ්ලොග් එකෙ හසිත අයියා . හසිත අයියා මාව fb බ්ලොග් කියවන්නන්ගේ ග්රූප් ගොඩකට add කරා. ඒවායින් අපිට අපේ සහෘදයින් අතරට තවත් යන්න ලැබුනා . සමහර ග්රූප් වලින් නම් අපිව ටික කලකින්ම බ්ලොක් උනා . ඒවත් මතක් කරන්න ඕන . ඔය මදැයි කිව්වා

අපේ බ්ලොග් එක සින්ඩිකේටර් කීපයකම අඩංගු වෙනවා . ඒවායින් මාතලන්ගේ සිංඩියට ඇතුලත් කරන්න එතුමාම ඉදිරිපත් උනා . අනෙත් සින්ඩි කරගෙන යන අයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන . ඒ වගේම එයාලට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා .

වර්තමානය ගැන කියනවනම් දැන් සිංදු අයියා ප්‍රථම උපාධිය සාර්ථකව නිම කරලා රැකියාවක නිරත වෙන ගමන් වැඩිදුර ඉගෙනගන්න බලාපොරොත්තුවෙන් ඒ සඳහා කටයුතු කරනවා . මම තව සති කීපෙකින් විජේරාමේ තියෙන ලොකු ඉස්කෝලෙට ඉගෙන ගන්න  යනවා . ඉතින් අපි දෙන්නටම බ්ලොග් කියවන්න තියෙන කාලය කොහොම වෙයිද කියලා කියන්න අමාරුයි . පුළුවන් හැම වෙලාවේම අපි එනවා ඔයාලගේ බ්ලොග් කියවන්න . ඒ වගේම කියවන්න ආස අයට කියවන්න අපි වෙලාව ලැබෙන විදියට ලිපි ලියලා බ්ලොග් එක කරගෙන යනවා .

මේ ගත උන අවුරුද්දට

අපිත් එක්ක රැඳුනු ඔබ සියලුදෙනාටම හදපිරි ස්තූතිය පුද කරනවා .

ඉදිරියටත් අපිත් එක්ක රැඳේවී කියලා බලාපොරොත්තු වෙනවා . අපේ බ්ලොග් එකේ පළවෙනි උපන්දිනය දවසේ වසරක සමාලෝචනයේ ආරම්භය සනිටුහන් කරන්න අපේ බ්ලොග් එකට එකතු උන වතී අක්කටත් ස්තූති කියන්න ඕන . ඉක්මනට කිව්ව ගමන් සං සං ගාලා කවි ටික හදලා දුන්නට . ( හනේ මගෙ කට )

මම හිතන්නේ දැන් කතාව අවසන් කරන්න වෙලාව හොඳයි . මොකද නැත්නම් වතී වතාට කියලා මාව නෙරපා හරින්න පුළුවන් බ්ලොග් එකෙන්  .
එදා ඒ පළවෙනි ලිපියේ සිංදු අයියා කියනවා " සඳ හිරු තරු පවතිනකම් අපි මැරෙන්නේ නැති නිසා හෑලි කියවන්න තව කල් තියෙයි. " කියලා . අනිවාර්යෙන්ම අපි සඳ හිරු තියෙනකන්ම බ්ලොග් හෑලි කියවයි ලියයි .


______________________________________________________________________________
පස්සේ සිංදුවා හොරෙන් එඩිට් කොරන ලද කොටස...

වාට්.... :-O වතී ??? d( d( d(  [ වයලෝ උඹට දෙන්නම් ජම්බු ]

[ ඔහෙප්පලයන් වතීත් සෙල්ලම් නෑනේ. මම හඳපානේ එක්ක පලයන් කිව්වනම් ඔන්න හෙටම ගේනවා. :X ;-) කොහෙද දෑඟිලි එක් කොරලයි යන්න කල්පොනාව. :-? බ්ලොග් එකේ ඇඩ් දාලා තමයි ඕවට සම්තින් එක සෙට් කරගන්න වෙන්නේ. :8 :8 ]

d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-)

හෙහ් හෙහ් හෙහ් අවුරුද්දක් වෙනවා කියලා ඔන්න මතක් කලේ සරාසිහින උන්දෑ... :D නැත්නම් කොහෙද අපිට ඔව්වා මතක. ඉතින් අපේ මේ රස කතා කියවන හැමෝටම ගොඩක් ස්තුතියි ඒ වගේම බැනලා හරි කොමෙන්ට් එකක් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. :-h  මොකද හැම වෙලාවේම වැටෙන කොමෙන්ට් එකකින් අපිව දිරිගැන්වුනා. ඒ වගේම විශේෂ ස්තුතිය වයලට යන්න ඕනා. මූ නැත්නම් අද බ්ලොග් එක මේ තත්ත්වේ නෑ. ඇරත් දාන තරමක් පොස්ට් දාලා තියෙන්නේ වයලා. මම මේ දවස් ටිකේම එක එක වැඩ නිසා බ්ලොග් එක කට් කලත් වයලා දිගටම ඇදගෙන ගියා. උඹටත් පිං ඈ...

මේ ටික මම කිව්වේ උඩ කියපු ස්තුති වෙන්න ඕනා අයට අමතරව ඔන්න. ඒ වගේම මේ අවුරුද්දේ සුවර් සොට් බඩු පිට වයලගේ බ්ලොග් එක ගැන අර තියෙනවා කිව්ව හීනේ ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ඔන්න එහෙම වෙන්න මමත් පුල් සප් එක දෙනවා. ඉතින් බ්ලොග් එක පැත්තේ එන හැමෝටම අද ගුණසිරි බුල්ටෝ එක එක ගානේ වයලා බෙදයි. මතක ඇතුව ඒක ඉල්ලන් යන්න ඈ...මම කියලා හදවලා ගෙන්නුවේ. සිංදුවා සිංදුවක් නැතුව ලියපු එකම පොස්ට් එක මේක වෙන්න ඕනා. එහෙනම් හැමෝටම උම්මා.... :-* :-* :-*  ජය වේවා !

[ වයලෝ මේ මම අර උඩ උඹට ස්තුතියි කියපුවා ඔක්කොම විහිලුවට කිව්වේ ඒ නිසා වැඩිය එව්වා හිතට ගන්න එපා ඈ.. :-as  ]

- සිංදුවා -

________________________________________________________________________

ඊට පස්සේ සිංදුවට හොරෙන් වයලා එඩිට්කල කොටස

d( d( d(   හඳපානේ ? මේ මතක ඇතුව ටෝච් එකක් ළඟ තියාගනින් . මේ දවස්වල හදෙත් විදුලිබලාගාර අක්‍රීය වෙලා කියලා මට හඳේ ඉන්න හාවා කිව්වා . හඳේ ලයිට් ගියොත් බැරිවෙලාවත් ඔය ඇල දොළ වල්වල වැටි වැටි එන්න වෙන්නේ  . හැක හැක හැක :p

මට මෙච්චරයි කියන්න තියෙන්නේ

" අයියේ ඔයා කෑවත් පුත්තලම් ලුණු
 කන්නට එපා කෙල්ලන් දෙන දිරපු ලණු "

:p :p :p :p :p :p :p

- වයලා -

ඕං එහෙනම් සිංදුවයි මමයි දෙන්නම එහෙනම් සරස්වතියට වැඳලා අපේ බ්ලොග් එකේ දෙවෙනි අවුරුද්ද අදින් ආරම්භ කරනවා .






Sunday, February 2, 2014

අසහාය රංගධරයාගේ පසුවදන !





මේක බ්ලොග් එකේ දානවද නැද්ද කියලා කලපනා කර කර ඉඳලා ඔන්නොහෙ දැම්මා . පොඩිකාලේ මම , අපේ ගෙදර තිබ්බේ කලුසුදු ටීවී එකක් උනාට මොකද බලන්න තියෙන ඔක්කොම කාටූන් කතා ටෙලිනාට්‍ය බැලුවා . අවුලක් උනේ නෑ පෙනුනේ ජාතික රූපවාහිනී නාලිකාවයි ස්වාධීන රූපවාහිනී නාලිකාවයි නිසා . දැන් මේවා පොඩ්ඩක් අවුල් උනාට ඒ කාලේ මාරම වටිනා දේවල් විකාශය උනා .

මම කැමැත්තෙන්ම බලපු ටෙලි නාට්‍ය උනේ කන්දේ ගෙදර , බැද්දේ ගෙදර , අකාලසන්ධ්‍යා , දඬුබස්නාමනය , දුන්හිඳ අද්දර , වෙදහාමිනේ , පලිඟු මැණිකේ  , සත්සර රංගන , ඉන්ගම්මාරුව , පිටගම්කාරයෝ චරිත තුනක් වගේ ටෙලිනාට්‍ය කීපයක් . අදට උනත් මේවා ආයේ දකින්න ලැබෙනවනම් නොබලා ඉන්නේ නෑ . මේ අතරේ වේදිකා නාට්‍යත් බලන්න ලැබුනෙත් ටීවී එකෙන්ම . ඒ අතරින් වඩාත්ම හිතේ රැඳුනේ " මී පුරවැසියෝ " කියන නාට්‍ය . පොඩිකාලේ මේ ලොකුවට කන් හයි කරගෙන රඟපානව දැක්කම මාර ෆන් . ඒ අතරේ මම වඩාත්ම ආදරය කරපු ගීතයක් තමයි මෙන්න මේ ගීතය .




ඔය ගීතය තමයි මට සුමින්ද සිරිසේන මහත්මයා ගැන තියෙන පරණම මතකය . මොකද ඕක ඉස්සෙල්ලම බැලුවේ මට අද වගේ මතකයි අම්මගේ උකුලේ මාව තියාගෙන අම්මා මට බත් කවන වෙලාවක . අර කලින් කිව්වා වගේ ටෙලිනාට්‍ය වල උනත් මම සුමින්ද සිරිසේනයන්ගේ රඟපෑම් හරිම කැමැත්තෙන් බැලුවා . අනිත් කෙනා ජයලත් මනෝරත්න . මේ දෙන්නා තමයි මගේ සිත්ගත් රංගන ශිල්පීන් දෙදෙනා .


සුමින්දයන්ගේ මම වැඩිපුරම කැමති ටෙලිනාට්‍ය චරිතය උනේ චරිත තුනක් ටෙලිනාට්‍යයේ " ඉසා " ගේ චරිතය . මොකද ජයතිලකයන් මවපු චරිතයට ඒ විදියටම මෙතුමා පන පොවපු නිසා .

මේ ලිපිය ලියන්න හේතු උනේ සුමින්ද සිරිසේන මහතා දැන් ඉන්නේ රෝගාතුරවෙලා නිසා . මුහුණුපොතේ මම කියවපු ලිපියක මුල්ම පේලිය දැක්ක ගමන් හිත පොඩ්ඩක් ගැස්සුනා . ඒ සුමින්ද සිරිසේන මහතා රඟපෑමෙන් සමුගන්නවා කියන කතාව . හැකියාව හා දැනුම සපිරි උගත් බුද්ධිමත් නිරහංකාර මේවගේ අසහාය පුද්ගලයෙක් රංගනයෙන් සමුගැනීම අපේ කළා ලෝකයට ලොකු හිඩැසක් කියලා තමයි මම හිතන්නේ . එතුමා ගැන කියවපු ඒ ලිපිය මම පහලින් කොපි කරලා දැම්මා . කැමති අය කියවන්න . ටිකක් හැඟුම් බරයි කියලා හිතෙනවා . මොකද මටත් ඒක කියවලා දුක හිතුනා .  :)  :)  :)



කියවන්න වෙලාව නැත්න්ම මෙතනින් නවතින අය අපේ ඒ අසහාය රඟධරයාට
ආයු වර්ණ සැප බල සම්පත්තිය සපිරි නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න .

මේ එතුමාගේ වචනයෙන්ම කියපු එතුමාගේ කතාව .

" මට ආයෙත රඟපාන්න බැරිවෙයි. ඒ නිසා ඕව ගැන දැන් මගේ බලාපොරොත්තුවක් නෑ සුමින්ද සිරිසේන කඳුළෙන් කියන කතාව සුමින්ද සිරිසේන මේ රටේ සුවහසක් ටෙලිනාට්‍ය, වේදිකා සහ සිනමා ප්‍රේක්ෂකයන්ගේ අසීමිත ආදරයට පාත්‍ර වූ, විශිෂ්ට රංගධරයකු වූ බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. නමුත් අද වනවිට මේ අති දක්ෂ රංගන ශිල්පියාගේ අපූරු වූ දස්කම් තවදුරටත් අපට දැකගන්නට හැකි වේවිද යන්න පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත බවකි. මන්ද යත් ඔහු මේ වනවිට දැඩි ලෙස රෝගාතුරව සිය නිවසට වී කල්ගත කරමින් හිඳින නිසාය. සුමින්ද දැන් වැඩි කාලයක් ගත කරන්නේ රෝද පුටුවේය.

නැගිට නිදහසේ එහා මෙහා ඇවිද යාම දැන් ඔහුට පහසු නොවේ. සුමින්දට වැළඳුණු රෝගය වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන්නේ ‘ඔටෝ ඉමියුන් එන්සෙෆලෝපති’ යන නමිනි. එය මොළයට ඇති වන යම් හානියක් නිසා හටගන්නා ස්නායු ආබාධයකි. එහිදී සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් මොළය ආක්‍රමණය කිරීමක් වැනි සිද්ධියක් බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙයි. “මට 2012 මැයි මාසයේ එක්තරා දිනයක තදින් උණ හැදුණා. ඒ එක්කම කකුල් දෙකම පණ නැතිව ගියා. මාව රෝහල්ගත කරන කොටත් මට සිහිකල්පනාවක් තිබුණෙ නැහැ.



දොස්තර මහත්වරුන්ට මුලින් රෝගය මොකක්ද කියලා හොයා ගන්න පවා පුළුවන් වුණේ නැහැ. මට එක දිගට මාස දෙකක් විතර කොළඹ ජාතික රෝහ‍ලේ නතර වෙලා ඉන්න වුණා. ඇවිදගන්න බැරිව, කතා කරගන්න බැරිව හිටියේ. භෞත චිකිත්සාවෙන්, (ෆිසියොතෙරපි වලින්) තමයි මම පණ ගහලා ආවේ. හැමෝම හිතුවේ මම ඉවර තමයි කියලයි. නමුත් ජාතික රෝහ‍ලේ මට ප්‍රතිකාර කරපු දොස්තර මහත්තුරුන්ට පින් සිද්ධ වෙන්න මට තවදුරටත් ජීවත් වෙන්න වාසනාව ලැබුණා. මම ගොඩ ආවේ ඔවුන් නිසා. මම බුදුන් වඳින අත් දෙක එකතු කරලා ඒ හැම දෙනාටම පින් දෙනවා”. සුමින්ද ‘ලක්බිම’ සමග මේ කතාබහට එක් වූයේ එසේ කියමිනි. ගම්පහ, ශ්‍රී බෝධි පාරේ අංක 29/3 නිවසේ රෝගාතුරව පසුවන සුමින්ද දෑස මෙන් බලා ගන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ ලීලාය. “මගේ ලීලා නොහිටින්න මම මෙලහට එලොව ගිහින්.

එයා මාව ආදරයෙන් රැකබලා ගන්න ලොකු කැපකිරීමක් කරනවා.” සුමින්ද බිරිය දෙස බලා සිනාසුණේය. “මම ලීලා හඳුනගත්තේ ඉස්කෝලෙ යන කලෙදිමයි” යනුවෙන්ද ඔහු තව කොටසක් එකතු කළේය. බුලත්ගමුව ගේ සුමින්ද සිරිසේන 1945 ජුලි 04 දා වෙනිදා උපත ලැබුවේ කෑගල්‍ලේ බොස්වැල්ල ග්‍රාමයේය. කුඩා සිරිසේන තුළ කලාව ගැන, රංගනය ගැන උනන්දුව ඇතිවූයේ සිය පියාගේ ආභාසය නිසා බව ඔහු පවසයි. “පුංචි කා‍ලේ තාත්තා “සඳ කිඳුරු නාඩගම” නටනවා මම දැකලා තියෙනවා. තාත්තා ගමේ නාඩගම් මඩුවක් හදලා ගමේ මිනිස්සුන්ට නාට්‍ය පෙන්වනවා. මමත් මල්ලිලා දෙන්නත්, නංගිත් කට ඇරගෙන මේ නාට්‍ය බලාගෙන හිටිය හැටි අදත් මට හොඳට මතකයි” සුමින්ද අධ්‍යාපනය ලැබුවේ තෝලංගමුව මධ්‍ය විද්‍යාලයෙනි. විද්‍යා විෂයන් ඉගෙන ගත් ඔහු පාසල් වේදිකාවේ කැපී පෙනුණ සිසුවකු වූයේ කුඩා කාලයේ ගමේ නාඩගම් මඩුවේ තාත්තා රඟ පෑ හැටි බලා සිටීම නිසාය. “තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ නාට්‍ය කලාවට ආදරය කළ ගුරු භවතුන් දෙපළක් හිටියා.



ප්‍රවීණ කවියකු, විචාරකයකු වූ ආරියවංශ රණවීර අපේ සිංහල ගුරුවරයා. සීගිරි කාශ්‍යප කතාව ඇසුරෙන් ඒ මහතා ‘ගිරිකූට’ කියලා නාට්‍යයක් ලිව්වා. අපේ සංගීත ගුරුවරයා වූ , පසුව ප්‍රවීණ රංගවේදියෙකු වූ දයා අල්විස් මේ නාට්‍යය නිෂ්පාදනය කළා. මට මේ නාට්‍යයේ කාශ්‍යප රජතුමා හැටියට රඟපෑමේ අවස්ථාව ලැබුණා. අපේ නාට්‍යය පාසල් වේදිකා නාට්‍ය අතර ලංකාවේම ප්‍රසිද්ධ වුණා. ඒක තමයි මගේ ප්‍රථම රංගාවතරණය. මේ පාස‍ලේදීම අපේ තවත් ගුරුවරයකු වූ ප්‍රවීණ පරිපාලන නිලධාරී ජයසුමන දිසානායක රචනා කළ “සාක්කිකාරයෝ” නාට්‍යයේත් මම රඟපෑවා. මේ නාට්‍යයත් නිෂ්පාදනය කළේ දයා අල්විස් මහතා.” සුමින්ද අතීතය සිහිපත් කළේය. පාස‍ලේ ළමුන් අතර පුංචි වීරයා වූයේ වේදිකාවේ කාශ්‍යප රජතුමා වූ ගැටවර වියේ පසු වූ සුමින්දය. විශේෂයෙන් ගැහැනු ළමෝ ඔහු කෙරෙහි රොද බැඳ ගත්හ. ඒ හැම දෙනා අතරින් සුමින්දගේ සිත ගියේ තමාට වඩා පන්ති දෙකකින් පහළ පන්තියක සිටි ලීලාටය.

පසු කලෙක ඔහුගේ ආදරණීය බිරිඳ වූයේ ලීලාය. සුමින්ද, වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේත්, සිනමා ක්‍ෂේත්‍රයේත්, ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේත් එක සේ දස්කම් පෑ, සම්මානයෙන්ද පිදුම් ලත් ප්‍රවීණ රංගවේදියෙකි. සුමින්දගේ රඟපෑම් ගැන කතා කළ ජෝ අබේවික්‍රම විශිෂ්ට රංගධරයා වරක් අප සමග පවසා සිටියේ “ඔන්න පුතෝ හොඳ කොල්ලෙක් හැදීගෙන එනවා. ඌ අපේ කලාව ඉදිරියට අරං යාවි” කියාය. අද රෝගාතුරව රෝද පුටුවකින් යන සුමින්ද පසුගියදා රාජ්‍ය ටෙලි නාට්‍ය උළෙ‍ලේදී විශේෂ සම්මානයකින්ද පුද ලැබිය. තම නිවසේදී හැකි හැම විටම ඔහු හැරමිටියක ආධාරයෙන් තරමක් දුර ගමන් කරයි. අද සුමින්දගේ සිතට සැනසුම ගෙන එන ලොකුම විනෝදාංශය වී ඇත්තේ ‍පොතපත කියවීමයි. තෝරා ගත් ටෙලි නාට්‍යයක්, ගුණාත්මක අගයකින් යුත් වැඩසටහනක් දෙකක් ඔහු නරඹයි. “එයාගේ වැඩේම ‍පොත් කියවන එක. හොඳ ‍පොත් එකතු කරලා, පුංචි පුස්තකාලයක් හදාගෙන ඉන්නවා.



සෑම මාසයකම ‍පොත් දෙක තුනක් මිලදී ගන්නවා. සාහිත්‍ය සම්මන්ත්‍රණවලට ඉඩ ලැබුණු හැම විටම ගියා.” එසේ කීවේ සුමින්දගේ බිරිය ලීලාය. “මම පුංචි කාලෙ ඉඳලම ‍පොත් කියවන්න හරි ආසයි. ඩීමන් ආනන්දගේ මාරක කතා කියවීමෙන් පටන් ගත් මේ ආසාව ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ‍පොත් කියවීමෙන් දියුණු වුණා. ඊට පස්සේ ජී.බි. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර ආදීන්ගේ ‍පොත් කියවීමෙන් කියවීම වර්ධනය වුණා. ජී.බි. ගේ කෙටිකතා,නවකතා මෙන්ම ‘පලිගැනීම’ ‍පොතේ තිබුණ නිසඳැස්වලටත් ආදරය කළා. එහි එන නිසඳැස් වගේම ජී.බි. පරිවර්තනය කළ ‘රුබයියාත්’ කෘතියේ එන කවි බොහෝමයක් මට තවමත් කටපාඩම්. පත්තරේක හෝ ‍පොතක හොඳ කවියක් තිබුණොත් මම ඒවා ‍පොතක ලියා ගන්නවා. ඒ වගේම සිත් ගත් කවි මට ඉබේම කටපාඩම් වෙනවා.” සුමින්ද ඔහුගේ චරිතයේ අපූරු පැති හෙළි කරයි. පාසල් අධ්‍යාපනය නිම කළ සුමින්ද ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ ධම්ම ජාගොඩගේ මෙහෙයවීමෙන් පැවැත්වූ රංග ශිල්ප ශාලිකාවේ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

ධම්ම නිෂ්පාදනය කළ ‘මූදු පුත්තු’ නාට්‍යයේ දියෝනිස් ලෙස මාරුවෙන් මාරුවට රඟපෑවේ සුමින්ද හා රවීන්ද්‍ර රන්දෙණියයි. 1969 දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවකට එක් වුවත් කලාව ඔහු අත්නෑරියේය. නාමල් වීරමුනිගේ ‘වංසක්කාරයෝ’’, රන්ජිSuminda-Sirisena3ත් ධර්මකීර්තිගේ “හස්ති රාජ මහත්තයා” සහ “හිරු නැති ලොව‘, සරච්චන්ද්‍රගේ “මනමේ” හා “සිංහබාහු” (‍පොතේ ගුරු) ‘බව කඩතුරා’, “මහාසාර” දයානන්ද ගුණවර්ධනගේ “ආනන්ද ජවනිකා”, සෝමරත්න දිසානායකගේ “මීපුර වැසියෝ’” නාට්‍යවල රඟපෑ සුමින්ද වේදිකාවේ සිදු වූ අපූරු සිද්ධියක් මතක් වී මහා හඩින් සිනාසෙමින් එය අපට විස්තර කළේය. “හිරු නැති ලොව“ නාට්‍යයේ රඟ පෑ එක් නළුවෙකුට හදිසි කරදරයක් වී ඒ චරිතය රඟපෑමට ආධුනික නළුවෙකු එදා අපි සමග රඟපෑමට යොදවල තිබුණා. නමුත් ඔහු හුඟක් ආධුනික කෙනෙකු වූ නිසා වේදිකාවට ආවට පස්සේ බයටමද කොහෙද ඔහුගෙන් දෙබස් පිට වුණේ නෑ. එක දර්ශනයක ජයලත් මනෝරත්නත්, මාත්, ආධුනික නළුවාත් කාඩ් සෙල්ලම් කරනවා. ඒ අවස්ථාවේ මනෝ එක කාඩ් එකක් හංග ගන්නවා. එතකොට අර ආධුනික නළුවට තිබුණේ “උඹ හොරා” කියන දෙබස විතරයි.

මිනිහාට ඒකවත් කියා ගන්න බැරිව ගියා. දැන් නාට්‍ය ඉස්සරහට ගෙනියන්න බෑ. මම බැරිම තැන මිනිහට කිව්වා ‘අන්න බලනවා අරයා “හොර කරනවා” කියලා. ඒත් මිනිහා ගල්බිත වෙලා ඉන්නවා. බැරිම තැන මනෝ පිටපතේ නැති දෙබසක් කියමින් මා සමග රණ්ඩුවක් පටලවා ගෙන, අර ආධුනික නළුවව පෙන්නලා, “අයිසේ මෙයාවත් අරං යනවා යන්න.” කියනවා. ආධුනික නළුවා නැගිටල යනවා. ඒත් නාට්‍ය නිෂ්පාදක රන්ජිත් ධර්මකීර්ති වේදිකාවේ අයිනේ ඉඳගෙන මිනිහාව ආයිත් වේදිකාවට එව්වා. ඉතින් මොනව කරන්නද? ඔන්න දැන් අපි ආපහු කාඩ් සෙල්ලම් කරනවා. මම ආපහු කලින් විදියටම ‘අන්න අරූ හොර කරනවා’ කියල කියනවා. මනෝ ආපහු බැණලා මිනිහව එළියට යවනවා. රන්ජිත් ආයෙමත් මිනිහව අපි ළඟට එවනවා. දැන් ප්‍රේක්ෂකයන්ට තේරුණා මෙතන මොකක් හරි අප්සට් එකක් කියලා.



ඔවුන් දැන් හිනාවෙනවා. අපිටත් හිනා යන්න එනවා. ඒත් තද කරගෙන රඟපෑවා. මෙහෙම නාට්‍ය රඟපෑමක් මගේ ජීවිතයට කරල නෑ.” සුමින්ද කතාව ඉවර කළේ දෑසේ කඳුළු පුරවාගෙනය. අසනීප වී එක්තැන් වීමට පෙර සුමින්දද නාට්‍යයක් නිෂ්පාදනය කරන්නට සූදානම් වෙමින් සිටියේය. “මමත් නාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිටියේ. “සීතාවක රාජසිංහ” කියලා. නාට්‍යයේ පිටපතත් ලියලයි තිබුණේ. නමුත් අසනීපය නිසා ඒක කරගන්න බැරි වුණා.” ඔහු කීවේ කඳුළු පිරි දෙනතෛනි. සුමින්ද තවමත් වරින්වර කොළඹ ජාතික රෝහලට රෝද පුටුවෙන් පැමිණ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න හමුවී ප්‍රතිකාර ලබයි. “මම රෝහ‍ලේ ඉඳිද්දී යාළුවෝ හුඟක් උදව් කළා. ටෙලි නාට්‍ය නළු නිළියෝ, අධ්‍යක්ෂවරු මුදල් එකතු කරලා උපකාර කළා. ඒ හැමට අත් දෙක එකතු කරලා ප්‍රණාමය දක්වනවා. මොකද මම අද මේ තරමින්වත් ජීවත් වෙන්නේ ඒ අය නිසා.” සුමින්ද එසේ කියන විට අපේ මතකයට එන්නේ පුංචි තිරයේ ඔහු රඟ පෑ සම්මානනීය චරිතයි. ඔහු තම රංගනය සඳහා සුමති සම්මාන තුනක්ම ලබා ගත්තේය. ‘නිසල විල’ ‘රම්‍ය සුරම්‍ය’, ‘හදවිල සක්මන’ මේ අතර කැපී පෙනෙයි. “ මම අන්තිමට රඟපෑවේ ‘බොරළු පාර’ ටෙලිනාට්‍යයේ.

මගේ අසනීපය නිසා බොරළු පාර ටෙලි නාට්‍යයේ අවසන් ජවනිකා රඟපෑමට නොහැකි වුණා. පස්සේ මගේ ගෙදරට ඇවිත් ඒ අවසාන දර්ශනය රූපගත කළා. මම භාරගත් ‘සේපාලිකා’ කියන ටෙලි නාට්‍යයේ චරිතය පසුව රඟපෑවේ බුද්ධදාස විතානාරච්චි.” සුමින්ද කීවේය.



සුමින්ද චිත්‍රපට රංගනයට එක්වන්නේ විජය ධර්ම ශ්‍රී ගේ “දුහුළු මලක්” චිත්‍රපටයෙනි. “සිටු කුමාරියෝ” “සප්ත කන්‍යා” “ගුරු ගෙදර”” යකඩ පිහාටු” ඔහු රඟ පෑ චිත්‍රපට අතර කැපී පෙනෙයි. සුමින්දට පුතුන් දෙදෙනෙකි. ගයා රංග සිරිසේන පරිගණක වැඩ සටහන් අධ්‍යක්ෂවරයෙකි. බාල පුතු නන්දිත සිරිසේන ඡායාරූප ශිල්පියෙකි. මේ ලිපිය සමග පළවන්නේද ඔහු ගත් ඡායාරූපයි. තාත්තා කැමති ‍පොත් කොළඹින් ගෙනවිත් දෙන්නේද ඔවුන්ය. “සුමින්ද වගාවට හරි කැමතියි. පලතුරු,එළවළු වගාවට එයා දක්ෂයි. පලදාව එනකොට එයාගේ මුහුණෙ මල් පිපිලා වගේ” බිරිය ලීලා මතක් කළාය. “මට ආයෙත් රඟපාන්න පුළුවන් වෙයිද කියන එක හුඟක් සැකයි. ඒ නිසා දැන් ඒ වගේ දේවල් ගැන බලා‍පොරොත්තු පුළුවන් තරං අඩු කරගන්න තමයි උත්සාහ කරන්නේ” සුමින්ද ශෝකී හඩින් පවසයි. ඉක්මනින් සුවය ලබා සුමින්දට නැවත රංගනයට එකතු වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි යන්න ඔහුගේ ආදරණීය රසිකයන් සැමගේ ප්‍රාර්ථනය බව අපි දනිමු.

( ඒ.ඩී. රන්ජිත් කුමාර ලක්බිම ඔන්ලයින් )

ඔබට නීරෝගී සුවය ලැබේවා !!!