අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

වයලීනොහේ වයලීන් ගැහිල්ල නිසාම වෙච්චි වැඩක් තමයි මේක . වයලීනෝ ඉස්සර ඉස්කෝලේ වයලීන් ගැහුවට මොකද ඉස්කෝලේ වේලාවෙන් පස්සේ හවස නවතින්න හරිම අ...

දහදුරා වැඩ




වයලීනොහේ වයලීන් ගැහිල්ල නිසාම වෙච්චි වැඩක් තමයි මේක . වයලීනෝ ඉස්සර ඉස්කෝලේ වයලීන් ගැහුවට මොකද ඉස්කෝලේ වේලාවෙන් පස්සේ හවස නවතින්න හරිම අකමැතියි . මියුසික් නෙවේ මොනවා උනත් කෝටියක් දෙනවා කිව්වත් හවස නවතින්න කැමති නෑ . ඔය අකමැත්තෙ තරම සිංදුව අයියා හොඳට දන්නවා . මොකද එයාලගේ විද්‍යා දිනය වෙනුවෙන් පවත්වපු සංගීත සංදර්ශනයට පුහුණුවෙන්න මම නැවතිච්ච හැටි මතක ඇති . වයිස් ප්‍රින්සිපල් සෑර් කියලවත් මම නැවතුනේ නෑ . ඔන්න ඔහොමයි අකමැත්ත තිබ්බේ . ඕකට ලොකුම හේතුව මම හිතන්නේ මම බස් වල යන්න තිබ්බ අකමැත්ත වෙන්න ඕන . මොකද ස්කූල් වැන් එකේ කට්ටිය එක්ක සිංදුවක් දාගෙන පාරේ යන වෙන වෑන් වල අයට ටටා කිය කිය හරි හූ තියාගෙන හරි ගෙදර යන ෆන් එක බස් එකේ යනකොට නෑනේ .

ඔහොම කාලයක් යනකොට දවසක් වයලීනොට සංගීත මිස්ලගේ ගෙදර නවතින්න යන්න උනා . අම්මලා රෙඩ් ලයිට් . මමත් අකමැතියි . මොකද ස්වීට් බෙඩ් එක මාරු උනාම එපා වෙනවනේ . ඒත් ඔන්නොහෙ අම්මලාගේ අකමැත්ත පිටම එදා නවතින්න උනා . නැවතුනේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා එන උත්සවේකට සංගීතය සපයන්න පුහුණුවීම් කරන්න . ඒවත් කරලා ඔන්න පහුවෙනිදා දවල් ගෙදර ආවා . ආවට මොකද ඉතින් ගෙදර කවුරුවත් කතා කරේ නෑ . සද්ද නැතුව ඉන්නවා . මම ඉතින් මොන වැඩේ කරත් අන්තිමට විරිත්තන එකේ අපේ ආච්චි අම්මා ගාවට ගිහිල්ලා පොඩ්ඩක් විරිත්තුවා . හම්මටඋඩු ආච්චි අම්මා බනින්න ගත්තා කලිසම ඔලුවෙන් ගැලවෙන්න . එදා ආච්චිඅම්මා බැන්නේ ඇයි කියලා මට තේරෙන්නේ දැන් තමයි .

කොහොම හරි ආච්චි අම්මා බනින්න පටන් ගත්තේ " හ්ම්හ් ආවද ඉලන්දාරියා රටේම තියෙන දහදුරා වැඩ ඔක්කොම කරලා " කියලා . අනිත් බැනපු ටික ඕන නෑ .හිහිහිහිහිහිහිහි
මම කල්පනා කරා ආච්චි අම්මා බනින්නේ දහදුරා වැඩ කරා කියලා . ඇයි හත්තිලවුවේ මම වයලීන් ගහන්න ගිහින් ආවේ . මෙහෙ බනින්නේ දහදුරා වැඩ කරා කියලා . මම ඒකාලේ හිතන් හිටියේ දහදුරා වැඩ කියන්නේ නිකන් මේ පාරේ මුට්ට කරගහනවා වගේ වැඩක් කියලා . ඒත් මේ ලගදි තමා දහදුරා වැඩ ටික හොයාගන්න පුළුවන් උනේ .

ඔයාලා දන්නවා ඇතිනේ ලංකාවේ වංශ බෙදීමක් තියෙනවා කියලා . ඔය පත්තරේ මංගල කිංකිනි කොලේ තියෙන්නේ බොදු ගොවි , බොදු කරා , බොදු දුරාව කියලා . කාලයක් මම මේ එක එක වංශවල ආශ්‍රය කරලා බැලුවා . එයාලගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා . මම කුල බේදය උඩට ගන්නවා නෙවේ . ඒත් ඒ අයගේ වෙනසක් තියෙනවා . කතාබහ හැසිරීම අනං මනං . ඒවා මෙතනට ඕන නෑ . මම ගජමන් නෝනාගේ වරිගේ සනුහරේ ගැන හොයනකොට තමා මේ දහදුරා වැඩ ගැන දැනගත්තේ .

ගජමන් නෝනත් දුරාව කියන වංශයට අයත් කෙනෙක් . දුරාව වංශයට ඒ කාලේ අයිති පිරිස් රජවාසලට ඉටු කරපු සේවාවල් දහයක් තිබුණා . ඉතින් ඒ සේවාවල් දහය තමා දහදුරා වැඩ කියලා කියන්නේ . ඔන්න බලන්න දහදුරා වැඩ

1 අන්නානි 
2 බන්නානි 
3 ඒනාදී
4 මගුල්
5 සිද්දත්තු
6 විද්දත්තු
7 අලිබද්දු
8 බලිබද්දු
9 පට්ටී
10පොරවකාර



අන්නානි
======

දණ්ඩනායක සහ අධිකරණ නායක කියන තනතුරු තමයි මේ පෙළපතේ අයට තිබිලා තියෙන්නේ .

බන්නානි
======

අලි ඇතුන් පාලනය කරන ගජනායක නිළමේ තනතුරු හෙබෙව්වේ මේ පෙළපතේ අය . මුලින්ම ඇතෙක්ගේ පොටෝ කෑල්ලක් දැම්මේ ඒක නිසා තමයි ඔන්න .






ඒනානි
=====

නැවු හා නාවික කටයුතු ගැන පරිපාලනය කරේ මේ පෙළපතට අයත් අය .

මගුල් 
=====

රාජ්‍ය සේවයට ඒ කියන්නේ රජමාලිගාවේ නොයෙක් සේවාවල් ඉටුකළේ මේ පෙළපතේ අය .

සිද්දත්තු
======

වෙදකම් කරන වෙදදුරන් අයත් උනේ මේ පෙළපතට .

වීද්දත්තු
======

ඉගැන්වීම් කටයුතු කරපු ඒ කියන්නේ ගුරු වෘත්තීය ඉටු කලේ මේ පෙළපතේ අය .

අලිබද්දු
======

ග්‍රාමසේවක වගේ ඉස්සර තිබ්බ නිලයේ කටයුතු කලේ මේ නිළයේ අය . ඒ වගේම අලින් ඇල්ලීම හා ගාල් කිරීමටත් මේ අය ඉදිරිපත් උනා .

බලිබද්දු
======

දේවාලවල දෙවියන්ට ආවතේව කරන අය අයත් වෙන්නේ මේ පෙළපතට .

පට්ටි 
====

ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ .

පොරවකාර 
========

රජතුමාගේ රාජකීය හමුදාවේ පොරව අරගෙන සටන් කරේ මේ පෙළපතේ අය .

ඔන්න ඔහොමයි දහදුරා වැඩ සිද්ද උනේ . අපේ ආච්චි අම්මා අදටත් හිටියනම් ආච්චිඅම්මා එක්ක විවාදයක් දාන්න තිබ්බා මට කිව්ව කතාව ගැන . හිහිහිහිහිහිහි ........

එහෙනම් තව මොනවා හරි ලට්ට ලොට්ට ටිකක් අරගෙන එන්නම් . කරාව වංශය ගැන දීර්ඝව ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා . බලමු ඉස්සරහට ලියන්න පුළුවන් වෙයිද කියලා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

37 comments:

  1. හෆ්ෆා ...... උඹ දැක්ක කල්.

    උඹේ දහදුරා වැඩ කියවන්න ආයෙ එඤ්ඤං, දැන් වෙලාව මදි කියවන්න.

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙ දැන් මචං, අපේ පැත්තෙ නම් දුරාව කුලයෙ අය හුඟක් ඉන්නව, මමත් ඔය කුල කතන්දර ගැන දැනගත්තෙ ඡන්ද නිසා. මොකද කවුරු මොනව කිව්වත් අපේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ තමන්ගෙ කුලේ මිනිහට. මොන බම්බුව කිව්වත් ප්‍රධාන පක්‍ෂ දෙකෙන් අපේක්‍ෂකයො පත් කරන්නෙත් ඒ ඒ ප්‍රදේශවල වැඩිපුර ඉන්න කුලේක මිනිහෙක්මයි. මේ කොහේවත් ඉන්න හාල්පාරුවෙක්ට ‘මොනව උනත් ඌ අපේ මිනිහ‘ කියල මිනිස්සු කියන්නෙ ඇයි කියල ඒ කාලෙ මටත් තේරුනේ නෑ, ඊට පස්සෙ තමා අහල බලල ඕක හරියටම දැනගත්තෙ.

      Delete
    2. ගණන් ගන්න එපා අයියා . ඩොටේ පැත්තේ ඔහොම තමා . හඃ හඃ හඃ . ඔය කුල කේස් එක දකුණේ තමා ටිකක් වැඩිපුර තියෙන්නේ .

      Delete
    3. ඩොටේ ..... කොහෙද ඩෝ .. ඩොට්. :)

      දකුණෙ නෙවෙයි බං උතුරෙ. මම අහල තියෙන හැටියට පහුකාලෙත් වැඩියෙන්ම කුලභේදය තිබිල තියෙන්නෙ දෙමළ මිනිස්සු අතරෙ. යුද්ධය නිසා දැන් නම් තත්ත්වය කොහොමද දන්නෙ නෑ. ඊළඟට මම හිතන්නෙ උඩරට මිනිස්සු අතර. කුල ඕන නෑ, පහත රට මිනිහෙක් දැක්ක ගමන් ‘පාත්තයෙක්‘ කියන තරමට මෑන්ස්ල ‘උඩ‘ හිටියය කියන්නෙ.

      Delete
  2. නියමයි වයලීනෝ. අපි නිකං කිව්වට ඒකේ තේරුම අද තමා හරියටම දැනගත්තේ .. උම්මා.. වයලිනෝ..

    ReplyDelete
    Replies
    1. මොකෑ ... . උම්මා.. මතං වයලා, ඔය කෙල තලිය පිහිදගනින්.

      Delete
    2. ටැංකියු මෙයා . උම්මා උම්මා . මේ වයසක උන්දලට a[එ සහෝදර ප්‍රේමය තේරුම් ගන්න බෑ . හිල් වත .

      Delete
  3. අඩේ වයලිනෝ මේක නියම ලිපියක්.......

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම ඕන ඔට්ටුවක් අල්ලනවා අයියා මේක පත්තරේ නම් දාන්නෙ නෑ. :)

      Delete
    2. හ්ම්හ් පිපෙන්නට වෙර දරන මල් කැකුළු තලා පෙලා දාලා රජකම් කරන්න බලන් ඉන්නේ මේ ddt සීයා . ටැංකියි සමකේ අයියා .

      Delete
  4. අඩෝ මේක පට්ටයි.අදමයි මේ වචන අහුවෙයි තේරුම දැනගත්තෙයි.
    මට නම් කුල මල එව්වා ගැන වැඩි තේරුමක් නෑ. :)

    ReplyDelete
  5. නියමයි මචො.බොහොම ස්තුතියි.හැබැයි මට තියෙන ප්‍රශ්නෙ තමයි වෙන වුනට ඔතන වැඩක් තිබිලම නැද්ද

    ReplyDelete
    Replies
    1. :p :p :p
      නෑ මම හිතන්නේ . :p

      Delete
  6. ඇත්තටම මචං ජාලයට වෙන්න ඕන මේ වගේ තොරතුරු තමා. එල කිරි වයලිනෝ.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති මෙයා :) g-)

      Delete
  7. අඩේ! ඇත්තටම කිව්වොත් අදයි මේ මොනවාද කියලා ඇහුවෙත්!

    ReplyDelete
    Replies
    1. හුටා . දන්නවනම් මම මීට කලින්ම ලියනවා . ටැංකියු මෙයා g-)

      Delete
  8. වයලීනුවෝ......වෙලාවක් තිබුනොත් නවන්දන්න වංශය ගැනත් ලියපන්. ආසයි කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඒක උඹව ලියපංකෝ අරූ.. පට්ට ලිපියක් වේවි... හොද පින්තුර ටිකක් නං හොයල දෙන්න පුළුවන් වේවි..

      Delete
    2. :p නවන්දන්න අය අපේ ගමේ නම් ඉන්නවා . හැබැයි වැඩිය එයාලා ගැන දන්නේ නෑ මම . අනිවා හොයලා බලන්නම් . මම නවන්ඳන්න කෙනෙක්ගෙන් බාලලෝහ වලින් මාත්තු රත්තරන් නිස්සාරණය කරන හැටි ඉගෙනගත්තා . ඒ ඇර එයාලගැන වැඩිය හොයන්න උනේ නෑ . අපේ ගමේ කොහොමහරි දැනට අවුරුදු 20කට විතර කලින් උසස් කියල සලකන කුලවල ගෙවල් වල මිටි පුටු වෙනමම තිබුණා . පහත කුලවල අය ආවොත් එයාලට වාඩිවෙන්න දෙන්නේ එ මිටි පුටුවල .

      නවන්දන්න අයත් මට මතක් හැටියට මිටි පුටු තමා . අනික එහෙ පන්සලුත් වෙනමම තිබුණා . දෙවුන්දර ඔය විෂ්ණු දේවාලේ ගාව තියෙන මහ පන්සල කියන පරම විචිත්‍රාරාම රජමහා විහාරය තමා ඒ පැත්තේ ලොකුම කුලේ අය ගිය පන්සල . දැන් නම් ඒවා වෙනස් වෙලා . ඒත් මහන කරනකොට ඒ ඒ පන්සල් වල කුලය ගැන බලලා තමයි මහන කරන්නේ . නවන්දන්න අය ගැන හොයලා බලන්නම් . රාවණාගේ කාලේ ඉඳන් පැවත එන අය වෙන්න ඕන . මොකද ඔය කුලේ අය ගාව බාල ලෝහ රත්තරන් කරන රහස් තාම තියෙනවා . රජ කාලේ මේ කර්මාන්තෙ අය කර්මාන්තෙ නිසා තමයි පහලට වැටුනා කියලා මම හිතන්නේ . සමහරවිට මිස්ටර් අරූ කියන්නේ මට වඩා වෙනස් කතාවක් වෙන්න පුළුවන් .

      Delete
    3. @දේශා........මට ඒ ගැන ලියන්න තරම් ශාස්ත්‍රීය කරුණු නැහැ බන්. හැබැයි අපේ මල්ලි උගේ ජනමාධ්‍ය මොකක්ද එකකට ලිව්වේ "ස්වර්ණකරුවෝ" කියලා පර්යේෂනයක්.

      @මිස්ටර් වයලින්.....උඹ දන්න ඒවා හෙමින් ලියපන්. මිස්ටර් කිවාම නිකන් හරි කැතයි වගේ බං.

      Delete
    4. හඃ හඃ හඃ මාමේ කියන්නත් බෑ . අයියේ කියන්නත් බෑ . අරූ කියනන්ත් බෑ . ඔය අපිට නායකත්ව පුහුණුවේ කතා කරපු විදිය . :p :p :p මිස්ටර්

      Delete
    5. වයලීනුවෝ....උඹත් එහෙනම් නායකයෙක් දැන්. නායකයෝ කොහෙද බං මිස්ටර් මිස්ටර් කිව්වේ....ඕයි..තමුසේ...බූරුවෝ කියන්නේ නැතිව.

      Delete
    6. එහෙමයි අප්පෝ !!

      Delete
    7. // ඒත් මහන කරනකොට ඒ ඒ පන්සල් වල කුලය ගැන බලලා තමයි මහන කරන්නේ .//

      මම හිතන්නෙ ඒක පන්සල් නිසා නෙවි නිකායන් නිසා වෙන දෙයක් වෙන්න ඕන. එක එක කුලවල අයට මහන වෙන්නත් නිකායන් වෙනමම තියෙනවලුනේ. රජ පවුලක ඉපදුනු බුදුහාමුදුරුවො ඉතාම පහත් කියල සම්මත කරල තිබුනු කුලවල අයත් මහනකරගත්තලු. සසරගමන කෙටි කරගන්න යන උන්නාන්සෙල, මන්දන්නෑ එයාල මොන දහමක් දෙසනවද කියල.


      මිස්ටර් වයලීනු..... චැක්! ඒක නිකන් කුණුහරුපයක් වගේනේ බං.

      Delete
  9. අවංකවම කියන්නම්, මේ වචන මම ඇහුවෙත් අදයි බං..

    ReplyDelete
  10. මරු ඒ වගේම අර බොදු කරාව වගේ අනං මනං නැද්ද !

    ReplyDelete
    Replies
    1. කරාව ගැන ලියන්නම් . ඒ ගැන නම් සීරියස් එකක් ලියන්න ඉන්නේ

      Delete
  11. වයලින් ගහන එක දහදුරා වැඩක්ය කියල ඕං අද දැන ගත්තා... w-) දැන් ඉතිං නායකත්ව පුහුණුවත් අවසන් එකේ, තව මේක ගැන විස්තර ලියන්න. එතකොට, සීයායි මුණුබුරායි දෙන්නගේ කතා ටිකත් ලියන්න. w-) w-) w-) කල් යද්දි ඔයාට වේලාව මදි වෙන්න පුළුවන්. :(

    ReplyDelete
    Replies
    1. බලමු බලමු මොකක් හරි ලියන්ට බැරියා......................................................... :p

      Delete
  12. Replies
    1. එල එල ටැංක්ස් ආ ......

      Delete
  13. එතකොට හැම වැඩේටම ඉදලා තියෙන්නෙ දුරාව මිනිස්සු විතරයි නේ..අනික් උන් නිකං බලං හිටියද? මුං කොහේ හරි හිටපු අපතයො ටිකක් වෙන්න ඇති. ඕන වැඩකට කියාල ගේන්න ඇති අනික් උන් අකමැති වැඩ ටිකක් මුන්ට පංගරාත්තු කරලා දෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇති කිව්වට මේක එහෙම වෙලා නෙවේ . කියවන්න ගජනායක සිරිත .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.