Sunday, October 20, 2013

ගාමිණී පුතේ උඹට මාව මතකද ?





උඹ මගේ වලව්වට එක්ක ආවේ 1947 අගෝස්තු 2  .  මට ඒ අත්දැකීම , ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ . උඹ දන්නේ නැති උනාට මොකද අපේ තාත්තා අලි ඇත්තුන්ට ගොඩක් ආදරේ කළා . අපේ වලව්වේ උඹ එන්න කලින් අලි ඇත්තු ගොඩක් හිටපු අලි ගාලක් තිබුනා . ඒත් 1945 විතර වෙනකොට ඒ අලි ඇත්තු ඔක්කොම වයස නිසාම මිය ගියා . ඒත් එක්කම අපේ අලි ඇත්තු ගැන තියෙන ආසාව තවත් වැඩි උනා කියනවනම් මම හරි .

පොඩි කාලේ ඉඳලා මම හිටියේ අලි ඇත්තු එක්ක . ඒ නිසා මට එයාලා නැති පාළුව තදින්ම දැනෙන්න ගත්තා . ඉන්නම බැරි තැන මම 1947 අවුරුද්දේ ආණ්ඩුවෙන් අලි අල්ලන්න බලපත්‍ර කීපයක් ගත්තේ . ඒ බලපත්‍ර වලින් තමයි මම උඹත් එක්ක අනිත් තුන් දෙනා අල්ල ගත්තේ . මතකද පුත්තලමේ කැලේදී උඹව අල්ලගත්ත හැටි . උඹ පැනලා දුවන්න කොච්චර උත්සාහ කලත් මම උඹට යන්නේ දුන්නේ නැත්තේ අනිත් ඇත්තුන්ට වඩා උඹ ටිකක් විසේ කාරයා නිසා උඹව වලව්වට එක්ක යන්න මට උවමනාව තිබ්බ නිසා . 

උඹලා හතරදෙනා ඇස් දෙක වාගේ පරිස්සම් කරලා වලව්වට ගේන්න එච්චර ලේසි උනේ නෑ . මොකද ඉතින් හතරදෙනාම පයින් එපාය එක්ක එන්න .



ආරොන් අලි බාසුන්නහේ එක්ක උඹලා වලව්වට එනකල් අපි බලාගෙන හිටියේ හරිම ආසාවෙන් . මතකද අපි උඹලා හතරදෙනා නැකතට වලව්වට එක්ක ආව දවසේ මම උඹට වැඩිපුර කිරිබත් කන්න දුන්නා . හාමුදුරුවරු ලවා උඹලා හතර දෙනාට පිරිත් කියවලා තමයි මම උඹලට නම් තිබ්බේ . උඹට ගාමිණි . අනිත් දලයට කණ්ඩුල . අලි දෙන්නට නීලගිරි , ගජබා කියලා නම් තිබ්බා . කාලයක් තිස්සේ වලව්වේ තිබිලා , තවත් කාලයක් තිස්සේ වලව්වේ නැතිවෙලා තිබ්බ අලි ඇත්තුන්ගේ සුවඳ එදා ඉඳලා වලව්වේ ආයෙත් පැතිරෙන්න පටන් ගත්තා .

මම මගේ මුණුබුරෝ තුන්දෙනාටයි මිනිබිරියටයි උඹලා හතරදෙනාගේ අයිතිය එදාම පවරලා දුන්නේ මම ජීවිතේ වැඩි කාලයක් ගෙවලා තිබුන නිසා . උඹව මම පවරලා දුන්නේ දේවින්දට . කණ්ඩුල දුන්නා රුක්මන්ට . ගජබා දුන්නේ රංජිත්ට . නීලගිරි දුන්නා රංජනීට . 


උඹ තමයි මගේ වලව්වේ ඇත් පන්තියේ නායකයා උනේ . මම නායක කම උඹට බලෙන් දුන්නේ නෑ . ඒත් උඹ අනිත් තුන් දෙනාට වඩා ඉදිරියෙන් ඉඳලා වැඩ කළා . උඹව දළදා පෙරහරට එක්ක යන්න මම හරිම ආසාවෙන් හිටියේ . ඒ වගේම මම උඹව ඒ පෙරහරට එකතු කළා . ටික ටික උඹ ලොකු වෙනකොට උඹේ පෙනුම මංගල හස්ති රාජයෙකුගේ හැඩරුව පෙන්නන්න ගත්තා . ඊට පස්සේ තමයි උඹව දළදා පෙරහරේ වගේම අනිත් දේවාල වල පෙරහැරවල් වල කරඬුව වැඩම කරන්න දායක කරගත්තේ . ඊට පස්සේ තමයි උඹ අපේ රටේ ගාමිණී ඇතා කියලා ප්‍රසිද්ධ උනේ . උඹව දාලා මම අවසන් ගමන් ගියත් මම ඊට පස්සෙත් උඹලා හතරදෙනා ගැන සෙවිල්ලෙන් තමයි උන්නේ .




උඹ අවුරුදු 60ක් 65ක්ම යනකන් නුවර දළදා පෙරහරේ , සබරගමුව මහ සමන් දේවාල පෙරහැරේ , නවගමුව පත්තිනි දේවාලේ වගේ දේවාල , පන්සල් ගොඩකම පෙරහැර කරඬුව වැඩම කරන්න දායක උනා . ඊට අමතරව උඹ තවත් වැදගත් තැනක ගත්තේ සමහර දළදා පෙරහැරවල පෙරමුණේ රාල කර පින්නාගෙන පෙරහරේ ආරම්භක හස්තියා විදියට ගමන් ගත්ත එක . උඹ එහෙම යනකොට මගේ නම කියලා මේ එයාගේ ගාමිණී ඇතා කියලා කියනකොට මට දැනිච්ච සතුට කියලා නිම කරන්න බෑ . කිසිම මනුස්සයෙක්ට කරදරයක් නොකර ඒ නම්බුව රකින්න උඹත් දායක උනා . හැබැයි ඒ සතුට මම වින්දේ ගන්ධබ්බ අවස්ථාවක ඉඳලා . 

උඹට මතකද මුලින්ම උඹව බලාගත්තේ අරනෝලිස් මාමා . ඊට පස්සේ තලගම හේරත් කියන අයත් උඹව බලාගත්තා . අන්තිමටම උඹව බලාගත්තේ විපුලසේන කියන මාමා .  උඹව බලාගන්න විපුලසේන වගේම උඹේ අයිතිය භාර කරපු දේවින්ද පුතත් මහන්සිවෙලා වැඩ කළා කියල මම දන්නවා . මට පෙනුනා දේවින්ද පුතා උඹව බලාගන්න අයට නීති දදා උඹට හොඳින් සලකන්න කියලා කියනවා . අශෝක දංගොල්ල මහත්මයත් , මියනපලාව චූටි වෙදමහත්තයත් උඹට කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම දෙන්න කොයිවෙලෙත් විමසිල්ලෙන් හිටියා .







ඒත් ගාමිණි පුතේ උඹත් දන්නවනේ බුදු හාමුදුරුවෝ කියපු බණවල හැටියට මේ හැමදේම නැතිවෙනවා . කවදාවත් පවතින්නේ නෑ . ඒකනේ ඇතෙක් වෙච්ච උඹට කලින් මට පරලොව යන්න උනේ . 2010 අවුරුද්දේ උඹ දළදා පෙරහරට ගිහින් ආයෙත් වලව්වට එන්න ලෑස්තිවෙලා දළදා මාලිගාවේ ඉස්සරහා දනගහලා දළදා හාමුදුරුවන්ට වඳිනවා මම දැක්කා . " දළදා හාමුදුරුවනේ මේ මගේ අන්තිම ගමන " කියලා උඹ දැනගත්ත නිසා වෙන්න ඇති උඹේ ඇස්වල කඳුළු තිබුනේ . මම ඒ කඳුළු දැක්කත් මම කියලා මොනවා කරන්නද බං . අවුරුදු 75ක් කියන්නේ ඇතෙක් ජීවත් වෙන්න පුළුවන් ලොකු කාලයක් . උඹ තමයි ලංකාවේ එතකොට හිටපු වයසකම ඇතා . 

උඹේ කටේ දත් ගෙවිලා කන්න බැරි උනාම වලව්වේ හැමෝම උඹට කන්න බොන්න ගෙනත් දීලා උදවු කළා මම දැක්කා . ඒත් අහසේ පාවෙවී ඉන්න මම උඹට කොහොම උපස්ථාන කරන්නද . මට තිබ්බේ මේ හැමදෙයක්ම බලාගෙන ඉන්න විතරයි . උඹ ලී රාමුවකට හේත්තුවෙලා අමාරුවෙන් ඉන්නවා දැක්කම මම උඹ ගාවට ඇවිත් උඹේ ඔලුව අතගෑවා . උඹට සමහරවිට දැනෙන්න ඇති . හාමුදුරුවරු වැඩලා උඹට පිරිත් කිව්වේ උඹට තව ටික දවසක් හරි සනීපෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරන්න . ඒත් මගේ ඇත් පංතියේ අවසානයා විදියට උඹ උඹේ ගමන අවසන් කරා .





2011 දෙසැම්බර් 20 වෙනිදා උඹ මම ඉන්න ලෝකෙට එනවා කියලා දැනගන්නකොට මට ලොකු සතුටක් දැනුනා . ඒත් උඹ මැරෙනවා කියලා දැනගත්තම මට ලොකු දුකකුත් දැනුනා . එහෙම උනත් මට මගේ ලෝකේ උඹව හොයාගන්න තාමත් බැරි උනා .













ගාමිණී පුතේ උඹ නිවන් දැක්කද ? . නැත්නම් මේ පරලොවේදී මාත් එක්ක කතා නොකර ඉන්නේ උඹව කැලෙන් අල්ලන් ඇවිත් වලව්වේ හිරකරපු තරහටද ?

ගාමිණී පුතේ ඉස්සෙල්ලම කියපන් උඹට මාව මතකද ?
මම බෝතලේ වලව්වේ හිටපු උඹේ අයිතිකාරයා . ඩී එස් සේනානායක







( ෆොටෝ වීඩියෝ අප්ලෝඩ් කරපු උන්නැහේලට බොහොම ස්තූති )

15 comments :

  1. වයලීනුවෝ උඹ බොහොම රසවත්ව ලියලා තියෙනවා. සංවේදී ලිපියක්. කකුල් හතරේ ඇත් පරපුර ගැන නම් බොහොම කනගාටුයි. මේ ලිපිය තුලින් සෙමින් වෑහෙන තවත් කතාවක් තියෙනවා නේද කියලා හිතන කොට කකුල් හතරේ අලි ගැනයි විපුලසේන අයියලා, අර්නෝලිස් මාමාලා ගැනයි තව තවත් ආදරය වැඩිවෙනවා.

    ReplyDelete
    Replies
    1. බලන්න ඔය ෆොටෝවල ඔය සීයා අලියා බලාගන්නේ හෙන්ඩුවෙන් නෙවේ . අතේ තියෙන්නේ කොටුවක් විතරයි . ඒ අයගේ ආදරේ ඇතත් දන්නවා . ඒකනේ හෙන්ඩු නැතුවම ඇතා මෙල්ල වෙලා ඉන්නේ . මේ පාර සමන් දේවාලේ පෙරහැර දවස්වල මම බලාගෙන හිටියා එක අලි කාරයෙක් අලියට හෙන්ඩුවෙන් ඇනලා ඇනලා කිතුල් කොටයක් එහෙට මෙහෙට කරවනවා . ඒ අලියත් ගොරව ගොරව සද්දේ දදා ඒක කළා . දැන් ඉන්න අලි කාරයෝ ඔය අලි බලන කෙරුවාව හරියට දන්නේ නෑ . ඒක තමයි හීලෑ අලි ඇති කරන්න එපා කියා කියා පරිසර ඩයල් කෑ ගහන තත්වෙට ඇවිත් තියෙන්නේ . අලි කාරයෝ අඩු ගානේ අලියට නිල කීයක් තියෙනවද කියලවත් දන්නේ නෑ . අලි බලන කෙනෙක් ගාව අත් උදව්වට ඉඳල පස්සේ මට පුල්වුඅන් කියලා අලියෙක් බලාගන්න යනවා . උන් දන්නේ අලි බාසාව විතරයි .

      බොහොම ස්තූති ! ;)

      Delete
  2. ඇත්තටම දැනගෙන හිටියේ නෑ . අද සේනානායක මහත්තයගේ උපන් දිනේ . එතුමා ඉපදිලා තියෙන්නේ 1884 ඔක්තෝම්බර් 20

    ReplyDelete
  3. අලි බැලුවත් මුන් දෙන්නගේ බලි බැලුවත් කවදාවත් ඇති වෙන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ එහෙනම් බලියක් නටමු .

      Delete
  4. ඇත්තටම කතාව හුගහ් රසවත්ව ලියලා තියෙනවා.. මම නම් ගොඩක් දේවල් දැනන් හිටියේ නෑ කලින්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මෙයා ;)

      Delete
  5. කොහෙන්ද මෙච්චර තොරතුරු හොයා ගත්තේ

    ReplyDelete
    Replies
    1. මේ ඇතා ගැන තිබ්බ පේපර් ආටිකල් එකක් කියවලා ලිව්වේ . මම මගේ වෙන බ්ලොග් එකක ඒක එහෙමම කොපි කරලා දාලා තිබුනා . මේක ලියන්න තව විස්තර මතක තිබ්බා .

      ඔය ඇතා ජීවත් වෙලා ඉන්න කාලේ මෙහේ සමන් දේවාලෙට එනවා පෙරහැර කාලෙට . ඒ ආපු දවසක මමත් දේවාලේ ඉන්නකොට දෙවාලෙන් කරපු ටීවී ප්‍රෝග්‍රෑම් එකක් තිබුනා අලි ඇත්තු ගැන . එතනදී ජෝ අබේවික්‍රම මහත්මයා ඇවිත් හිටියා ඒ සාකච්චාවට . එතුමා රඟපානවා වගේම අලි ඇත්තු ගැනත් දැනගෙන හිටපු කෙනෙක් . එතුමා කිව්වා ඒවත් මේ පොස්ට් එකේ තැනින් තැන ඔබලා ඇති . :p :p :p :p

      Delete
  6. කතාව ලස්සනට ලියල තියෙනවා වයලෝ..... :-f :-f

    කොහොම නමුත් මම නම් ආසා නැහැ සත්තුන්ව අපිට ඕන විදිහට පාවිච්චි කරනවට. කොට්ටේ පන්සලේ අලි මැරුනේ උන්ට දරාගන්න බැරි තරම් වද දීල වතුර වත් දීල නැතුව වද දීලා වැඩ අරන්. ඔය හීලෑ අලි ඇත්තුන්ගේ සංගමෙන් කියනවා පෙරහැරට අලි නැහැ කියලා නමුත් දැනට ඉන්න හීලෑ අලි ඇත්තු අතර අභිජනනය කරවන්නේ නැහැ ඇයි ඒ උන්ගෙන් වැඩ ගන්න බැරි හින්දා ඒ කාලෙට. මද කිපුනත් ගස්වලට ඈඳල දිගේලි කරල තියෙනවා දුක් විඳ විඳ ඉන්න. කැලෙන්ම අලි අල්ලන් එන්න ඔන ඒ මදිවට කැලේ ඉන්න අලින්ටත් ඉන්න නැ උන්ගේ ගොදුරු බිම් අල්ලලා වගා කරල අලිමන්කඩවල් හරස් කරල හක්කපටස් තියල කොච්චිපාරට රන්චු පිටින් බිලිවෙනවා එක engine driver කෙනෙක් කියනවලු හොඳවැඩේ මම නම් අලියෙක් දැක්කත් slow කරන්නේ නැහැ කියලා අපිට වෙලාවට යන්න ඔන කියල. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් මේ ලොකේ නිදහසේ ජීවත් වෙන්න අපි ඉඩක් තියන්න ඔනා ඒක තමා මිනිස්කම. බුදු හාමුදුරුවෝ නේරන්ජනාවේදී කන්ථක පිටින් බැස්සට පස්සේ ආයේ කවදාවත් සතෙකුගේ පිටට ගොඩ උනේ නැහැ. ඔය පෙරහරවල් වෙනත් සංස්කෘතික අභාශයන්ගෙන් පෝශනය උන එව්වා. ඒ මදිවට ලංකාවේන් වෙන රටවලට තෑගි දුන්න අලි ඒ රටවටල හිර කරලා අවම පහසුකම් යටතේ දුක් විඳිනවා අපේ පොරත්වය වෙනුවෙන්. කාටවත් ඕන විදිහට සත්තුන්ව බලහත්කාරයෙන් යොදා ගන්න එකට මම හරිම අකමැතියි.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඇත්ත කතාව මෙයා .
      හුණුපිටියේ ගන්ගරාමේ ගංගා ඇතින්න පැටියගේ කකුලේ දම්වැල් තදට දාලා තියෙන වීඩියෝ එකක් තිබුනා දැක්ක දවසක් . පිටරට සෙට් එකක් වීඩියෝ කරපු එකක් . මේකයි ඔතන අවුල . අලි බලන මිනිහයි අලි හදන මිනිහයි දෙන්නෙක්නෙ . අලි බලන මිනිහා තමයි වැඩි හරියක් අලියා ගැන දන්නේ . හදන මිනිහා බලන්නේ ලාභය . ඕකට තියෙන ලොකුම අවුල අලි හදන්නේ හුරත්ලෙටද නැත්නම් ලොකු කමටද කියන එක .

      කොහොමත් දැන් අලි ගාල් කරන එක අවුල්

      Delete
  7. ගොඩාක් සංවේදි ලිපියක්. :(

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ එහෙනම් අපි දෙන්න හවුලේ අඬමු ?

      :p :p :p

      බොහොම ස්තූති මෙයා !

      Delete
  8. බරපතල විදිහට සුපිරි ඇන්ඩ් සංවේදි අයියෙ පෝස්ට් එක

    ReplyDelete
  9. ඒ සුපිරි ඇ... එක්කෝ සුපිරි නෙවේ.... සුපර්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.