Monday, September 23, 2013

දෙව්රජුන් වැඩි මග ඔස්සේ !





සුගත් තිලෝනා දඹදිව සිටලා
මෙලක් දිවට වඩිනා සඳ ලෝලා
සමන් සුරිඳු කිරිපලු රුක උගුලා
කුඩේ ලෙසට ගෙන ආවේ අල්ලා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ
ඔබේ ගමන කන්දේ සොබමානේ
සබරගමුවෙ සිරි රුවන් විමානේ
දිනිඳු තරිඳු ලෙස නිබඳ වැසෙන්නේ

පහල ලින්ක් එකට කොටලා එන්න සමන් දේවාලේ පෙරහැර බලන්න .
(ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්........ හැබැයි සිංදුවට කියන්නෙපා . හොරෙන් එන්න මේ බ්ලොග් එකට )

සබරගමුවෙන් යලි උපන්නෙමු: දෙව්රජුන් වැඩි මග ඔස්සේ !


Thursday, September 12, 2013

මහා යන්තර රාජයාගේ කතන්දරේ





දැනට අවුරුද්දකට විතර කලින් අපේ අම්මා මගේ කේන්දරේ ටෙස්ට් කොරවන්න ඕන කියලා කේන්දර ටෙස්ට් කරන කෙනෙක් ගාවට යන්න ලැස්ති උනා . මුන් මොකක් කියයිද දන්නේ නෑනේ . හදිස්සියෙවත් වයලීනී ගැන එහෙම කිව්වොත් කියලා හිතලා මමත් අම්මා එක්ක ශේප් වෙලා ඒ ගමනට සැට් උනා . මගේ යාලුවෙක්ගෙ සීන් එකක් කේන්දර කාරයෙක්ගෙන් ඔහොම ලීක් වෙලා තිබුණා . ඒ නිසා මමත් සූදානම් සරීරෙ කියලා ගමනට බලෙන්ම වගේ සැට් උනේ .

කේන්දර පොර ගාවට ගියා ඔන්න . මිනිහා ටිකක් දස්ස පොරක් කියලා මේ පැත්තේ අය දන්නවා . ඔන්න දැන් කේන්දරේ දුන්නා උන්දැගේ අතට . බුලත් අතක 500/= තියලත් දෙන්න ඕන . නැත්නම් මිනිහට මොකවත් කියවෙන්නේ නෑ . මිනිහගේ ප්‍රොසෙසර් වැඩ කරන්නේ 500 දැක්කම .

මෑන්ස් කේන්දරේ දිහා බලාගෙන ඉඳලා පටන් ගත්තා උපන්දා ඉඳලා මගේ කැරැට්ටුව දිගාරින්න . කියාගෙන කියාගෙන යනකොට මම ෆෝන් එකෙ රෙකෝඩින් ඕන් කරා . හම්මට උඩු හිතුවා වගේම මිනිහා වයලීනි ගැනත් ලීක් කරා . මම මුකුත් දන්නේ නෑ වගේ හිටියේ . හිහිහිහිහිහිහිහීහිහිහ්හ්

එහෙම කියලා කතාව ශේප් උනා . අන්තිමට මිනිහා අපේ අම්මට කිව්වා මෙයාට යන්තරයක් දාන්න ඕන කියලා . එතකොට ඔන්න අපේ අම්මත් බොරුවට වගේ කේන්දර පොරට කිව්වා යන්තරේ දාන්න කීයක් වියදම් වෙයිද කියලා . මොකද අම්මත් ඒ යන්තර කෙරුවාව ෂුවර් කරේ නෑ . කේන්දර පොර කිව්වා 30000/= ක් විතර වියදම් වෙයි කියලා . අම්මා ඒකට මුකුත් කියන්න කලින් මම කේන්දර පොරට පෙන්නේ නැතිවෙන්න අම්මගේ කකුලට ඇන්නා . එතකොට අම්මා ඒ මනුස්සයට කියපි , යන්තරය මොකද්ද කියලා කිව්වනම් ඉතිං අපිට ඕක දන්න කෙනෙක්ට කියලා දම්මගන්න තිබුනා කියලා . (මම හිතුවේ අම්මා තණකොළ කපන යන්තරයක් මගේ බෙල්ලේ එල්ලන්න හදනවා කියලා) . හැක හැක ......



කේන්දර පොර යන්තරේ ගැන විස්තර කරා . සූර්ය මණ්ඩලය කියලා යන්තර විජ්ජාවේ ඉහලම තැනක තියෙන යන්තරයක් ඒක . අර හකුරු හදන මිනිහා හකුරු හදන්න උඩට උඩුවියන් පයට පාවඩ දානවා කිව්වා වගේ හොඳ ශෝ එකක් මිනිහ අපිට යන්තරේ ගැන විස්තරයක් දුන්නා .

අනේ යකෝ උඹයි මමයි දන්න යන්තර කියලා හිත හිත මම අම්මත් එක්ක ගෙදර ආවා .



අපේ ගෙදර යන්තර එල්ලගෙන ඉන්න කවුරුවත් නෑ ඉතිං . මොකද දැන් ඕවා කරන ෂුවර් පොරවල් නෑනේ . ඒත් අපේ ආච්චිගේ අප්පොච්චා ඒ කාලේ දඹරන් සුරයක  එයාට දාගත්ත රතන සූත්‍රයට අනුව හදවපු  යන්තරයකුයි දිව්‍ය රාජ මණ්ඩලය කියලා යන්තරයකුයි තිබුනා . ඒක ඒ මුත්තා මැරෙන්න කලින් අපේ ආච්චිගේ කරේ එල්ලලා තිබුනා . ආච්චි මැරෙන්න කලින් එයා ඒක රිදී සුරයක දාලා මගේ බෙල්ලේ එල්ලුවා ( රත්තරං එක එල්ලුවේ නැත්තේ මොකද මම ෂුවර් නැති පොරක් නිසා ) . යන්තර මන්තර ගැන එච්චරම ෂුවර් එකක් තිබුනේ නැතත් අවුරුදු 100කටත් වඩා කාලයක් මේක තිබුණනේ කියලා ආසාවෙන් මමත් එල්ල ගත්තා . මුලදී වැඩි වෙනසක් තිබ්බේ නෑ .

ඒත් මම ඒක ගැන සමහර වෙලාවල් වලදී සැලකිලිමත් උනා . සමන් දේවාලේ පෙරහැර බලන්න ගියාම මම දවසක් යන්තරේ දාගෙන ගියා . දේවාලෙට මම පෙරහැර කාලෙට යන්නේ දෙයියෝ බලන් නෙවෙයි අලි බලන්න . ඒ ගියාම ඉතින් අලි බබාලව පොඩ්ඩක් ටච් කොරලා හායි කියලා හිනාවක් දාලා එනවා . යන්තරේ දාගෙන අලි ඇත්තු කිට්ටුවට ගියාම උන් මගේ පැත්තට ලං වෙන්න , හැරෙන්න ට්‍රයි කරන සීන් එකක් තිබ්බා . යන්තරේ නැතුව ගියාම උන්ගේ හැසිරීමේ වෙනසක් තිබ්බේ නෑ .

ෆොටෝ එකක් ගන්න කියලා ගිය අවුරුද්දේ පෙරහැර ගෙට ගෙවදින වෙලාවේ මමයි තව යාළුවෙකුයි කරඬුව වඩම්මන ඇතා ඉස්සරහට පැන්නා . මල සීන් එක ඇතා පාවඩේ දිගේ යන්නේ නැතුව මගේ පැත්තට හැරිලා එන්න ආවා . එක පැත්තක සේසත් අල්ලන් හිටපු අයත් අයිනට උනා . මම රත් උනා . පස්සේ ඉතිං මම ෆොටෝ එක අරන් ඇතාට පෙන්නේ නැතිවෙන්න ටක් ගාලා මුවා උනා . කවුරුත් දන්නේ නැතුව ඇති මගේ පැත්තට හැරුණේ කියලා  හිහිහිහිහිහීහිහ්හ .

අලි බලන අංකල් හෙන්ඩුව කකුලට දාලා , ඇදලා ඇදලා පාවාඩෙට ඇතාව ආයෙත් යොමු කරගත්තා . හිහිහිහීහ්හිහ්හ ඒ ඇතා ගැන මේ පොස්ට් එකේ තියෙනවා

මේ තියෙන්නේ එදා ගත්ත මාරාන්තික ෆොටෝ එක .



සින්දුව මහතාගේ ගෙදර ඉන්නවා සෝයි බලු රාල කෙනෙක් ( කකුල් හතරේ එකා ගැන කිව්වේ ) .  මේ යන්තරේ දාගෙන ගිය දවසට ඔය බලු රාල මාව මරාගෙන කන්න බුර බුර පනින්නේ නෑ . අනිත් දවසට ගෙදරට යනකොට බුරාගෙන පැනලා මගුලක් නටනවා . ඕක හොඳටම අත්දැකපු සීන් එකක් . කොහොමත් අලි නයි පූසෝ සහ බල්ලන් මේ දේවල් වලට වඩා සංවේදියි කියල කියනවා  .

වැඩේ කියන්නේ ඉතිං මගේ තියෙන සැලකිල්ලෙ හැටියට යන්තරේ අස්තානගත උනා . තාම හොයාගන්න උනේ නෑ  . ඔන්න අපේ අම්මට එහෙම ඔය ගැන කියනවා නෙවෙයි . අම්මා මට බනියි . මම පව් .



මම දවසක් ඒ යන්තරේ ගලවලා බැලුවා . මොකද අතට අහුවෙන කොයිකත් ගලවලා බැලුවේ නැත්නම් මට නින්ද යන්නේ නැති ලෙඩක් තියෙන නිසා . තඹ තහඩු කීපයක කොටු කොටු වෙන් කරලා ඒ කොටුවල රතන සූත්‍රය ලියලා ඒ තහඩු ඔක්කොම එකට රෝල් කරලා තමයි සුරයට දාලා තිබුනේ .
ඉතිං දරුවනේ ඔයාලට කියවන්න , යන්ත්‍ර ගැනත් මක්ක හරි ලියන්න කියලා හිතුවා .

යන්ත්‍රය කියන්නේ අපිට නොපෙනෙන විශ්ව ශක්තිය සහ දෙවියන්ව අපි ගාවට ගෙන්න ගන්න කරන උපක්‍රමයක් . මේ යන්ත්‍ර වලින් එහෙම කරන්න පුළුවන් වැඩකිඩ අටක් පුරාණයේ ඍෂිවරු උගන්නලා තියෙනවා .

වශිය , ආකර්ෂණය , විද්වන්සනය , පේෂණය , ස්ථම්භනය , උච්චාටනය , මරණය , මෝහනය තමයි ඒ වැඩ අට .

යන්තර ගැන කිව්වම සරලම යන්ත්‍ර වර්ග බිම අඳින ඒවා තියෙනවා . යක්කු දෙවිවරු ආවේස උනාම හරි නැත්නම් ඒ අය තමාගේ පස්සෙන් එනකොට හරි ඒක නවත්වන්න මේ යන්ත්‍ර වර්ග , මතුරපු පිහි සහ කෝටු වලින් බිම අඳිනවා . සමහර වෙලාවල් වලට බිම ඉරි අඳිනවා . යන්ත්‍ර කියලා කියන්න තියෙන ප්‍රාථමිකම දේවල් තමයි ඒ .

ඊටපස්සේ සමහර සංකේත වර්ග යන්ත්‍ර විදියට භාවිතා කරනවා . අටමගල , පංචායුධය , හින්දු ඕම් අක්ෂරය , , ශක්‍රම් ඒවගේ සංකේත කීපයක් .

සක්වල චක්‍රයත් එක විදියක යන්ත්‍රයක් . ඒත් මම ඒ ගැන දන්නේ නැති නිසා ඒ ගැන වැඩිය කියන්නේ නෑ ඔන්න හොඳේ



චාමරය , ප්‍රදීපය , වත්සය , ශංකය , ස්වස්තිකය , ඡත්‍රය , දර්පනය , පුන්කලස කියන ටික තමයි අටමගලට අයත් ඒ ලකුණු අට . මේකත් එක විදියක යන්ත්‍රයක් . මේක සමහර තැන් වලදී බිම අඳිනවා . නැත්නම් ඔය ලකුණු ගල් පුවරු ලීපුවරුවල කැටයම් කරනවා . බහිරව පූජා , ගොයම් පෑගීම වගේ දේවල් වලදී මේ අටමගල බිම අඳිනවා . ඊට අමතරව වෙනත් යන්ත්‍ර ලියනකොටත් මේ අටමගල බිම ඇඳලා ඒක උඩ ඉඳගෙන ලියනවා . ඉස්සර කාලේ අකුරු කරවන්න කලින් ශිෂ්‍යයා බිම ඇදපු අටමගලක් උඩට ගෙන්නනවා කියලා කියනවා .

පංචායුධය ගැන කියනවනම් ආයුධවල තියෙන බලය භාවිතා කරගෙන ඒ බලය සංකේතවත් කරලා තමන්ට ඒකෙන් මොකක්හරි හොඳක් සහ ආරක්ෂාවක් ලබාගන්න තමයි භාවිතා කරන්නේ . පංචායුධ කුමාරයාගේ කතාව අහලා ඇතිනේ . මේ පංචායුධ ගැන විවිධ මත තියෙනවා . දුන්න ත්‍රීශුලය කඩුව අඩයටිය පාරාවළල්ල කියන ටික තමයි වයලීනොගේ බෙල්ලේ එල්ලලා තිබ්බ පංචායුදේ තිබුනේ . ඒත් පලිහ , හක්ගෙඩිය වගේ ඒවත් සමහර පංචායු  වල අර කිව්ව ඒවායින් මොකක්හරි වෙනුවට තියෙනවා .

ශක්‍රම් කියන ඒවා ඍෂිවරු එක එක සංකල්ප වලට අනුව හදපු සංකේත වර්ගයක් . හූනියම් කැපීමේ ශාන්තිකර්ම වලදී මේ ශක්‍රම් බිම ඇඳලා , ආතුරයා ඒවා උඩ ඉන්දවලා මතුරමින් ශාන්තිකර්මය කරනවා . ඒවයෙදී බලපොරොත්තු වෙන්නේ මතුරන මන්තරවල ශක්තිය වැඩි කරන්න ශක්‍රම උපයෝගී කරගන්න එක
මේ ශක්‍රම් වලට නම් දාලා තියෙනවා .
ඊශ්වර ශක්‍රම
හනුමා ශක්‍රම
වඩිග ශක්‍රම
ඔඩ්ඩි ශක්‍රම වගේ නම් තියෙන ශක්‍රම් පද්ධති විශාල ගණනක් තියෙනවා .



දැන් බලමු අපි සාමාන්‍යයෙන් යන්තර කියලා තඹ තහඩුවල ලියන යන්තර ගැන . මේ යන්තර හදන්න ගන්න පිළිවෙලක් තියෙනවා .

යන්තර තහඩුවක ලියන එක කරන කාල වකවානු එක එක කාල වලදී වෙන් කරලා තියෙනවා .
වසන්ත කාලය ආරම්භ වෙනකොටම වගේ කාලෙකදී විද්වන්සනයට
පොසොන් ඇසල මාසවල උච්චාටනයට
නිකිණි බිනර මාසවල මරණයට
සරත් ඍතුවේදී ආකර්ෂණයට
උඳුවප් දුරුතු මාසවල ස්ථම්භනයට
නවම් මැදින් මාසවල මෝහනයට සහ
ඕනෑම කාලයකදී වශී කර්මයට යන්තර ලිවීම සිද්ධ කරනවා

යන්තර ලියනවා කියන එක හරිම පරිස්සමෙන් කරන්න ඕන . යන්තරවල අඳින ඉරි එකට එක කැපිලා යන්න අඳින්නේ නෑ . හැම ඉරි කෑල්ලල්ක්ම වෙන වෙනම අඳින්න ඕන . යන්තර වලට තඹ කොළ දැන් කාලේ ගත්තත් ඉස්සර කාලේ රත්තරන් තහඩු රිදී තහඩු පවා අරගෙන තියෙනවා . දෙවියන් බන්ධනය කරලා හදන යන්තර වලට රත්තරන් තහඩු තමයි ගන්න කියන්නේ . එත් ඉතින් රත්තරං වැඩි හරියක් තියෙන්නේ ගෑනුන්ගේ කරේ නිසා ඒකටත් තඹ තහඩුම ගන්නවා . පුස්කොලත් අරගෙන තියෙනවා . ඒ පුස්කොල ගන්නේ පොඩි පොඩි ලෙඩවල් වලට ගන්න යන්තර වලට . ඒවා තාවකාලික යන්තර .



යන්තර ලියන්නේ සියුම් තුඩක් තියෙන කටුවකින් තහඩුව හූරමින් අපිට ඕන අකුරු තහඩුවේ ස්ථාපනය කරලා . කොටු අඳින්නෙත් එහෙමම තමයි .

යන්තර වලට ගන්න තහඩුවේ දිග පළල ඒ යන්තරෙන් කෙරෙන කාර්යය අනුවේ වෙනස් වෙනවා .
සුභ කාරනා වලට හරි හතරැස්
මරණයට පළල මෙන් දෙගුණයක් දිග
ජය ලැබීමට පළල වගේ තුන් ගුණයක් දිග
රෝග සෑදීමට පළල වගේ හතර ගුණයක් දිග
ලාභ ලැබීමට පළල වගේ පස් ගුණයක් දිග
නිෂ්ඵල ක්‍රියා වලට පළල වගේ හය ගුණයක් දිග
ශ්‍රියාව ඇතිවෙන්න පළල වගේ හත් ගුණයක් දිග
අර්ථ හානි කරන්න පළල වගේ අට ගුණයක් දිග

යන්තර ලියන්න සාමාන්‍යයෙන් ගෙයක් පිරිසිදු කරලා උඩු වියන් බැඳලා බිම ගොම මැටි ගාලා ඒ ගෙදර පේ කරලා තමයි කරන්න ඕන . ඒත් මේක සමහර යන්තරවල හැටියට වෙනස් වෙනවා . ගොඩක්ම ලොකු ලොකු යන්ත්‍ර මණ්ඩල ලියන්නේ මුලින් කිව්වා වගේ ගෙයක් ඇතුලේ . එහෙම නැත්නම් වෙන සුභ දේවල් වලට යන්තර ලියන්නේ කිරි ගස් , වැල් වර්ග යට ඉඳලා . වැල් කිව්වේ පුස් වැල් රසකිද වැල් වගේ වැල් යට ඉඳලා . එහෙම නැත්නම් ගල් පර්වත උඩ ඉඳලා . අනිත් වැඩ කිඩ වලට මුහුදු වෙරළේ , ගඟේ ඇලේ දොලේ වගේ තැන් වල ඉවුරේ ඉඳලා ලියනවා . එහෙමත් නැත්නම් බෝ ගස් , නුග ගස් , නා ගස් , අඹ ගස් , බෙලි ගස් , තුංමං හන්දි හතරමං හන්දි සොහොන් පිටිය , මිනී වල ඇතුලේ කියන විවිධ ස්ථානවල ලියනවා .

යන්තර බෙල්ලේ එල්ලන්න ගන්න නූල ගැනත් බලන්න ඕන . නරක වැඩක්නම් කළු නූල් , සතුරන්ගෙන් මොකක් හරි කරදර තියෙනවනම් , යන්තරේ දාන්නේ ඒ වෙනුවෙන් නම් රතු නූල් , අනිත් වෙන වැඩ වලට සුදු නූල් ගන්න ඕන .
නරක වැඩ වලට නූල් හතර පොටක් , සතුරු කෙස් වලට නූල් හත් පොටක් , අනිත් වැඩ වලට නව පොටක් කියන විදියට නූල් ගන්න ඕන .



යන්තර වල පිහිටවන අකුරු වලින් එක එක දේවල් සංකේතවත් වෙනවා . ඔයාලටත් කවදා හරි යන්තරයක් හම්බුනොත් ගලවලා තියෙන අකුරු මොනවද කියලා බලන්න . නැකත් දේවතාවන් , ලග්න දේවතාවන් , නවග්‍රහයින් , දිව්‍යාංගනාවන් , වෙනත් දෙවිවරුන් වගේ අය ඒ සංකේත වලින් පෙන්නුම් කරනවා . ඉතින් මේ අකුරු යන්තරවල ලියලා පන පිහිටවන මන්තර වලින් පන පිහිටෙව්වම අර අදාලා දෙවිවරු මේ යන්තරේට බැල්ම දානවා කියලා විශ්වාස කරනවා .

ලග්න දෙවිවරු
මේෂ - මේ0
වෘෂභ - වෘ0
මිතුන - මි0
කටක - ක0
සිංහ - සි0
කන්‍යා - ක0
තුලා - තු0
වෘශ්චික - වෘ0
ධනු - ධ0
මකර - ම0
කුම්භ - කු0
මීන - මී0

ග්‍රහ දෙවිවරු
රවී - ර0
චන්ද්‍ර - ච0
කුජ - කු0
බුධ - බු0
ගුරු - ගු0
ශුක්‍ර - ශු0
ශනි - ශ0
රාහු - රා0
කේතු - කේ0

දිව්‍යාංගනාවන්
බ්‍රහ්මනී - බ්‍ර0
වාරාහි - වා0
මහේෂ්වරී - ම0
කෞමාරි - කෞ0
වාමුන්ඩි - ව0
වෛෂ්නවී - වෛ0
මහා ලක්ෂ්මී - ල0
උමයන්ගනා - උ0
සරස්වතී - ස0
මහීකාන්ත - ම0
ඉන්ද්‍රානි - ඉ0

දෙවිවරු
ඓරාවන - ඓ0
පුණ්ඩරීක - පු0
වාමන - වා0
පුෂ්පදන්ත - පු0
කුමුදෝජන - කු0
භෞම - භෞ0
සුපති - සුං
විසාවන් - වී0
ප්‍රකාසන් - ප්‍ර0
ආදිත්‍ය - ආ0

( මේ දැන් ගොන් කතා අහන්න එපා අර ලොකුවට තියෙන බෝලේ මොකක්ද කියලා . බින්දුව කොටන්න විදියක් නැති නිසයි බෝලයක් දැම්මේ )

තව ඉතින් අකුරු ගොඩක් තියෙනවා . මේකේ ටයිප් කරන්න බෑ කොයි විදියකින්වත් . ට්‍රයි කරාට කරන්න බැරි උනා . ආ සතරවරම් දෙවිවරුත් පිහිටවන්න පුළුවන් . රාක්ෂයින් විදියට නම් කරන ආඝොර සිව වටුක වගේ අයත් පිහිටවනන් පුළුවන් . මේ මේ යට වෙන් වෙච්ච යන්ත්‍ර වෙන වෙනමත් තියෙනවා .

# යන්තර වලට මතුරන්න මන්තර වර්ග කීපයක්ම තියෙනවා .
# හැම යන්තරේටම වෙන් වෙච්ච එක මන්තරයක් තියෙනවා . ඒක ජීවන් කරන මන්තරය
# යන්තරේ දිෂ්ටි කරන මන්තර වර්ග කීපයක්ම තියෙනවා .
# යන්ත්‍ර පලිප්පුව කියලා වෙනමම මන්තර වර්ගයක් තියෙනවා .
# යන්තරේ එල්ලගන්න කෙනාගේ නමට යන්තරේ බාර කරන්න වෙනම මන්තර තියෙනවා
# යන්තරේ මතුරනකොට අල්ලන්නේ නෑ . මල් පහන් පූජා කරපු තටුවක තමයි මතුරන්නේ . මතුරලා ඉවර උනාට පස්සේ යන්තරේ අල්ලන්න කලින් කියන්න ඕන මන්තර වර්ගයකුත් තියෙනවා .
# යන්තරේ තහඩුව දිගාරලා තියාගෙන තමයි මතුරන්නේ . ඉතින් ඊට පස්සේ යන්තරේ රෝල් කරන්න කලින් ඇල් වතුරෙන් ඌරච්චි කරපු සුදු හඳුන් මේ යන්තරේ ආලේප කරන්නත් ඕන . ඒ සුදු හඳුන් මතුරන්න වෙනමම මන්තර තියෙනවා .
# යන්තරේ සුරයකට දාන්න කලින් රෝල් කරනකොට කියන්නත් මන්තර තියෙනවා
# සුරේ වහලා තද කරාට පස්සේ කියන්නත් මන්තර තියෙනවා
# සුරේ ආතුරයාගේ බෙල්ලේ එල්ලනකොට කියන්නත් මන්තර තියෙනවා

යන්තර බෙල්ලේ එල්ලගත්තම මස් මාළු කන්නේ නැතුව කිල්ලට අහුවෙන්නේ නැතුව යම්කිසිකාලයක් ඉන්න ඕන . අනික තමයි යන්තර එල්ලනකොට එල්ලන්න ඕන ඇඟේ නිල කේන්ද්‍ර වෙන තැන් වලට . ඉනේ බඳින එක තමයි වැඩියම හොඳ . නැත්නම් පෙකනියේ , පපුවේ හදවත පිහිටන ස්ථානයට ආසන්නව තමයි යන්තර ස්පර්ශ වෙන්න ඕන හොඳම තැන් .
කලින් කිව්වා වගේ නිල ගණනාවක්ම කේන්ද්‍ර වෙන ලිංගේන්ද්‍රය කිට්ටුවම එල්ලන එකයි හොඳම කියල කියන්නේ .

යන්තර ගැන පොඩි අදහසක් දෙන්නයි මෙහෙම ලිව්වේ . මොකද අද කාලේ යන්තර දාන එක බිස්නස් එකක්නේ . අද කිව්වා හෙට දැම්මා . ඒත් ළමයිනේ සාමාන්‍ය යන්තරයක් පල දෙන්න හදන්න ඕන නම් ජීවම් කිරීම මාසයක විතර කාලයක් කරන්න කියලා කියනවා . මොකද අපි යන්තර වලින් කරන්නේ කට හඬින් යන්තරේ තියෙන අක්ෂර පන පොවලා ඒ කම්පනය කාලයක් තිස්සේ යන්තරේ පවතින තත්වයට පත්කරගන්න එක . ඉතිං බොරු කාරයන්ට අහුවෙනවට වඩා හොඳයි ඉතින් යන්තර නොදා ඉන්න එක .

යන්ත්‍රයකට මතුරන වෙලාවට රාක්ෂයින් කීප දෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම එන්න ඕන . ඒ අය ගෙන්න ගන්නේ නැතුව යන්තර වලට මතුරන එකේ වැඩක් නෑ . ඒ එන අයට පේන්න හොඳ පූජාවකුත් තියන්න ඕන . එහෙම තිබ්බේ නැත්නම් ඇදුරට කෙළවෙන්න ඉඩ තියෙනවා .

මට යන්තරේ දාන්න කිව්වා කේන්දර පොරත් ඒ කතාව කිව්වා . සමහර යන්තර තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට ජීවම් කරන්න බැරි . ඒ යන්තර ජීවම් කරන්න භාවනානුයෝගී කෙනෙක් වෙන්න ඕන . නැත්නම් දෙවිවරු කරදර කරලා යන්තරේ වැඩ කිඩ අවුල් කරලා දානවා . සූර්ය මණ්ඩලය කියන යන්තරයත් එහෙමයි . ඒක සාමාන්‍ය අය බාගෙට මතුරලා දානවා ඇති . ඒත් හරියට කරනවානම් අවදානම් වැඩක් .



යන්තර ටිකක නම්
විෂ්ණු මණ්ඩලය
කන්ධ කුමාර මණ්ඩලය
සූර්යමණ්ඩලය
දිව්‍යරාජමන්ඩලය
ආඝෝර
නවනාත
සිලම්භර
නීලමණ්ඩල
සංජීවන
නරසිංහ
රවී මෘතුන්ජය ( ග්‍රහයෝ 9ට 9ක් තියෙනවා )
මේෂ කාක්ෂය ( ලග්න 12ට 12ක් තියෙනවා )
ලක්ෂ්මී මණ්ඩලය
සරස්වතී යන්ත්‍රය
සිව
වටුක
සිවවටුක
ජලනන්දන
ස්වර්ණමාලි
සීවලී
රතන
පාතාල රාජය

මේවා නම් කරලා තියෙන යන්තර ටිකක් . තව ගොඩාක් ඒවා තියෙනවා . මේක පිළිවෙලකට ඉගෙනගත්තම යන්තර අලුතෙන් හදලා දාන්නත් පුළුවන් වෙනවා .

තව නමක් නැති ඒත් එක එක ලෙඩවල් වලට , දරුපල නැතුවට , ඔය ගෑනු අයට මාසෙන් මාසෙට මෙව්වා වෙනකොට අමාරු වෙනවනම් ඒවට අරවට මේවට දාන යන්තර තියෙනවා . එව්වා එයාකාරයි මෙව්වා මෙයාකාරයි .

එහෙනම් මම යනවා මගේ නැතිවෙච්ච යන්තරේ හොයන්න . ඔන්න ළමයි දැන් යන්තර ගැන ටිකක් දන්නවනේ . බොරුකාරයින්ට රැවටෙන්න එපා . රැවටිලා කියන්න එපා වයලිනොගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා . ලැජ්ජයි

සමහර ෆොටෝ ගූගල් එකෙන් ගත්තේ . ඒවා අප්ලෝඩ් කරපු මගේ යාලුවන්ට ( මාමලාට අයියාලාට ) ගොඩාක් පිං ඔන්න හොඳේ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Sunday, September 8, 2013

මෙය පොරොන්දුවකි / This is a promise





මෙය පොරොන්දුවකි
මවෙතින් ලැබුවාවූ
ඔබගේම
දැන් අප කිසි දිනෙක වෙන් නොවේවි
දෙවියන් අපගේ හදවතේ රිද්මය අසා සිටීවී
මගේ හැඟුම් කොපමණ ඔබට ඇවැසිද ?
එය ඔබවත් නොදනී
දෙවියන් අපගේ හදවතේ රිද්මය අසා සිටීවී
මෙය පොරොන්දුවකි
මවෙතින් ලැබුවාවූ
ඔබගේම

මට දෙලොවම අමතකය
ඒ ඔබට ඇති අපමණ ආදරය නිසාය
ඔබට අවැසිනම් එය සල්ලාලකමයැයි පවසන්න
ඔබට අවැසිනම් එය මෝඩකමයැයි පවසන්න
හදවත පැවසුවා
හදවත අසා සිටියා
ඒ මම ඔබව මගේ සදාදරිය ලෙස තෝරාගත් බවය
දැන් අප අතර ඈත් වීමක් නොමැත
අපගේ සදාරනීයත්වය අපහටම ලැබී තිබේ
දෙවියන් අපගේ හදවතේ රිද්මය අසා සිටීවී

ඔබ මට ලබාදුන් ජීවිතයේ
ගමනාන්තය කුමක්ද කියා මට තේරුම්ගත හැකිය
දැන් අප එකට එක්ව ගමන් කල යුතුය
මගේ මාවත ඔබේ මාවතට වඩා වෙන් වූවකි
එකට එක්ව යන්නේ කෙසේද කියා මට තේරුම් ගත හැකිය
එම ජීවිතයේ ඔබව මට සොයාගත හැකිය
අපි දිවා රෑ යාඥ්ඥා කරමු
සැමවිටම
මම දෙවියන්ගෙන් ඉල්ලාසිටින්නේ
සියල්ල ඔබ වෙනුවෙනි

මෙය පොරොන්දුවකි
ඔබ හට වූ මගේ ආදරයෙන්
මෙය පොරොන්දුවකි
ඔබ හට වූ මගේ ආදරයෙන්