Friday, June 7, 2013

ඔබේ නමින් සෑය බඳිමි





“ නැවත එක් දවසක් දුටුගැමුණු මහ රජ්ජුරුවෝ ලක්ෂයක් ධනය වියදම් කොට බෝධීන් වහන්සේට පුජාවක් කරවා ඇතුළු නුවරට වදනෝ රුවන්වැලි දාගැබ් වහන්සේ පිහිටුවන තෙන දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් ඉඳුවනලද ශිලා ලේඛනය දැක මිහිඳු මහ රහතන් වහන්සේ විසින් කියන ලද වචනය සිහිකොට " මහ දාගැබ කරවමියි " කරනලද සනිටුහන් ඇතිව ඇතුළුනුවරට වැද රජ ගෙයි මතු මාලයට පැන නැගී රසමසවුලෙන් යුක්ත වූ ආහාරය මෙහෙ නිමවා යහන්හී සැතපුණු කල්හී රජ්ජුරුවෝ මෙසේ සිතූහ. හේ කෙසේද යත් :

රාජ්‍ය වාසීහූ මා හා කැටිව දෙමල සටන්කොට මහත්වූ දුකට පැමිණියෝය . කවර උපායකින් ලෝක වාසීන්ට දුක් නොදී දැහැමෙන් සෙමෙන් මහ දාගැබට සුදුසු ලෙස උළු උපදවා ගනිම්දෝහෝ"යි රජ්ජුරුවෝ සිතු ක්ෂණයෙහි ධවල ඡත්‍රයෙහි අධිගෘහිත දෙව් දූ, සිතු සිත් දැන , " දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ සිතුය " යි මහත්කොට හඬ ගෑය . ඒ හඬ ගෑ ශබ්දය පරම්පරාවෙන් ගොස් සදෙව්ලොව පැතිර සිටියේය.ඒ බව සක් දෙව් රජ දැන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා මෙසේ කීය . “ දරුව දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි දාගැබ බඳිනට උළු කෙසේ ලැබෙම්දෝහෝ යි සිතා උන්නෝය .තෙපි ගොස් අනුරාධ පුර නුවරට උතුරු දිග නුවරට සතරගව්වක් පමණ තෙන ගැඹුරු හෝ තෙර උළු ගොඩක් මවා එවයි යැවීය..... “

මේක උපුටා ගත්තේ “ ථූපවංශය “ කියන පොතෙන් . දුටුගැමුණු රජ්ජුරුවොත් ඔන්න ඔහොම රුවන්වැලි සෑය බඳින්න පටන් ගත්තේ . උළු විතරක් නෙවේ පින්වතුනී.... රන් රිදී මුතු මැණික් වැලි වගේ දේවල් පවා දෙවියන් විහින් මේ ථූප සාධනයට මවා පෑවා කියලා ථුපවංශයේ ලියවිලා තියෙනවා . දේවානම් පියතිස්ස රජතුමා මිහිඳු හාමුදුරුවන්ගේ කීමට රුවන්වැලිසෑය හදන තැන ශිලා ලේඛනයක් කරවලා තියෙනවා මෙතන මහාථූපය නිර්මාණය වෙන්න ඕන කියලා .

දුටුගැමුණු රජ්ජුරුවොත් ඔක්කොම හොයාගෙන එතන මහාථූපය හදන්න ගියාම මල කේස් එක . අතුපතර විහිදී ගිය රන්තෙලෙඹු ගහක් තියෙනවා. ථූපය හදන්න ඕනනම් ගහ කපන්නම ඕන .

ගෑණු කියන්නේ ඉතින් ලොජික් ගේට්ස් වලින් නොට් ගේට් එක වගේ ජාතියක්නේ. ප්‍රදානය මොකක් උනත් ප්‍රදානයේ කණපිට තමා ප්‍රතිදානය කියලා ඒ ජාතියෙන් හම්බෙන්නේ.

ඉතින් රජතුමා ගහ කප්පවන්න හදනකොටම ගහේ හිටපු ස්වර්ණමාලි දෙව්දුව මගේ විමානය විනාශ කරන්න එපා කියලා නෝට් ගේට් තියරිය දැම්මා. රජතුමා මේ දෙවඟන කියන නිසා මහා ථූපය හදන එක නවත්තන්න අයිඩියා කරෙත් නෑ . කොහොමහරි දෙවඟන ශේප් කරගන්න ඕන කියලා හිතලා වැඳවැටිලා ඉල්ලලා තියෙනවා විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ කියලා.

මේ ස්වර්නමාලිය වෙන කවුරුවත් නෙවේ . කාලෙකට ඉහතදී දුටුගැමුණු රජු වටා ගෙතුණු කතාවල හිටපු රත්නවල්ලී කියන රොඩී තරුණිය . ඇය මියගිහින් මේ තෙලෙඹු ගැහෙ ස්වර්ණමාලි දෙවඟන වෙලා ඉපදිලා .

මේ සිද්දිය වෙලා කාලාන්තරයක් ගතඋනත් සිංහල අපේ හිත්වලට මේක තදින්ම කාවැදිලා තිබුණ නිසා වෙන්න ඇති මහගමසේකරයන් මේ ගීතය මෙච්චර අලංකාරව රචනා කරන්න ඇත්තේ.



ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටුනලලත අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම තාල හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
ස්වර්ණමාලියේ...

මේ ගීතය කියවනකොට තේරෙන්නේ දුටුගැමුණු රජතුමා ස්වර්ණමාලි දෙවඟනගේ රූපශ්‍රීය වර්ණනා කරලා හිත සනසලා ගහෙන් ඉවත් කරගෙන තෙලෙඹු ගහට වැඩේ දුන්නා කියලා නේද ? .

මහගම සේකරයන් මේ ගීතය රචනා කරත්දී වර්ණනාත්මක යෙදුම මනා විදියට මේ ගීතයට ඇතුලත් කරලා තියෙනවා .

ඇය නිල්වන් කෙස් කළඹ උනා පිට මැදට හෙලාගෙන සිටී 
කෙස් කලඹ දෙපස මල් ගවසාගෙන ඇත 
අගේ දෙබැම දේ දුන්නක් නැත්නම් ඉන්ද්‍රචාපයක් වැනිය 
එනිසා ඇගේ නෙතින් විදුලි කොටන්නා සේ දැනේ 
ඇගේ ළමැද කිනිහිරි මල් පෙති වලින් සරසා ඇත 
නළල මත රත්න තිලකයක් ඇත

අතේ ඇති ගිගිරි නාදවෙනවා 
බෙල්ලේ තියෙන නෙලුම් කැකුළු මාලයෙන් ඇගේ ප්යයුරු තුඩු තැලේ
කන්පෙතිවල මැණික් ඔබ්බන ලද  ගනරන් තෝඩු එල්ලේ
ඇගේ නළලත බාල චන්ද්‍රයෙකු හෙවත් අද සඳක් වැනිය 
සිනාසෙනවිට දත් පෙළ කොඳමල් , සමන් මල් පිපෙන්නා වැනි සුදුය

ථූප සාධනය පමා කල නොහැක 
එනිසා පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ





ගීතයට තනුව නිර්මාණය කරලා තියෙන්නේ හෙළයේ මහා ඝාන්ධර්ව පණ්ඩිත් අමරදේව මහත්මයා . තනුව හදන්න යොදාගෙන තියෙන්නේ “ කීර්වාණි ” කියන රාගය . ගීතයට යෙදෙන්න ඕන ඉතිහාසගත පෙනුම ගන්නත් රාජ්‍යත්වය සහ දේවත්වය කියන තත්ත්ව පෙන්නන්නත් කීර්වාණි රාගයට හැකිවෙලා තියෙනවා.

                                                   
                                                                                < කීර්වාණි රාගය >


                      


කාලෙකට කලින්, අමරදේව මහත්මයාගේ සංගීත භාවිතය පිළිබඳව විකාශය කරනලද ගුවන්විදුලි වැඩසටහනකදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෝලිත භානු දිසානායක මහත්මයා මේ රාගයත් ගීතයත් ගැන යම්කිසි විස්තරයක් ඉදිරිපත් කළා මතකයි .






                                                         < කෝලිත භානු මහතා >

අපේ සංගීත මිස් MA උපාධිය කරන කාලේ මිස්ගේ පොත් ටික කියවන්න අවස්ථා කීපයක් ලැබුණු නිසා ඒ එක පොතක කීර්වාණි රාගයත් මේ ගීතයත් සඳහන්වෙලා තියෙනවා දකින්න ලැබුනා. පරණ මතකය අලුත් කරගන්න ඒ පොත් ටික උදව් උනා.

තනුව නිර්මාණය කළා වගේම ගායනයට දායක උනෙත් අමරදේව මහත්මයා . එතුමාගේ හඬ පෞර්ෂය මේ ගීතයේ සහ කීර්වාණි රාගයේ ගීතභාව සහ රාගභාව ඉස්මතුකරන්න දායකවෙනවා . සංගීතය ගැනනම් කියන්න දෙයක් නෑ . කීර්වාණි රාගය එක්ක සසඳලා ඔයාලටම ඒ ගැන තීරණය කරන්න පුළුවන් වචනත් සංගීතයත් කොහොම ගැලපෙනවද කියලා . කීර්වානි රාගයේ තියෙන ආයාචනාත්මක හැගීම් ඉස්මතු කරන ස්වර සංකලනය මේ ගීතයට අමරදෙවයන් මැනවින් එකතුකරගෙන තියෙනවා .

දැනට මාස දෙකකට විතර කලින් මම ගියා , වසර කීපයකට කලින් අපෙන් සදහටම වෙන්වී ගිය, සීවලී මධ්‍යමහා විද්‍යාලයේ නර්තනාචාර්ය ඒවගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සබරගමු නර්තනය පිලිබඳ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරනලද ශාන්ත දිසානායක මහත්මයා වෙනුවෙන් එතුමන්ගේ ගෝල බාල පිරිස පවත්වපු නර්තන ප්‍රසංගයක් බලන්න.

ප්‍රසංගය ආරම්භ කරන්න පූර්විකාව සපයපු නිවේදක අයියා කිව්වේ මෙන්න මෙහෙම දෙයක්.

“ දිනක් මහේන්ද්‍ර තෙමේ දෙවියන්ද සමග මහා බ්‍රහ්මයා වෙත පැමිණ මෙසේ පැවසීය. සිත් සතන් සනහාගනු සඳහා යම් දෙයක් අපට උවමනාය . වේදය ඇසීම ක්ෂුද්‍රයන්ටපවා තහනම්වූ හෙයින් සියලුම වර්ගයන්ට ඔබින්නාවූ පස්වන වේදයක් නිර්මාණය කල මැනව. එකල්හී මහා බ්‍රහ්මයා ඍග් වේදයෙන් පාඨයත් සාමන් වේදයෙන් ගීතයත් යජූර් වේදයෙන් අභිනයත් අතර්වන් වෙයෙන් රසයත් උපුටාගෙන ඒ සියල්ල සංකලනය කොට ඒකී භූත කිරීමෙන් පංචමය වේදය සේ ගැනෙන නාට්‍යවේද සංඛ්‍යාත සුලලිත නර්තන කලාව නිර්මාණය කළේය.

සැබවින්ම මිනිසා තර්කානුකුල චින්තය නිසා සත්ත්ව ලෝකයේ අනෙක් සතුන්ගෙන් අපූරුලෙස වෙනස් විය . අනෙකුත් සත්ත්වයන්ට වඩා මිනිසා සෞන්දර්යාත්මකව සිතන හා සෞන්දර්ය වින්දනය කරන සත්ත්වයෙක්ද විය .මිනිස් සමාජය තුලදී අපට කලාව නමින් හරි අපූරු නිර්මාණයක් හමුවන්නේ මිනිසාගේ පවතින මේ සෞන්දර්යාත්මක ගුණය නිසාවෙනි . සැබවින්ම කලාව සමග මිනිසාගේ ඇති බැඳීම මිනිසාගේ ආරම්භය දක්වාම දිව යන අතර කුමන හෝ කළා මාධ්‍යකට සංවේදී නොවන කුමන හෝ කළා කෘතියකට ඇලුම් නොකරන සෞන්දර්ය වින්දනය නොකරන මිනිසෙකු සොයාගැනීමට නොහැකි තරම්ය . මානව ප්‍රේමය සහිත සංවේදී ලෙංගතු සුන්දර මිනිසුන් නිර්මාණය කිරීමට හැකි හරි අපූරු හැකියාවක් කලාව සතුවේ “

මම මගේ ජංගම දුරකතනයෙන් මේ පූර්විකාව පටිගත කළා .

මේ "මහේන්ද්‍ර" කිව්වේ මහේන්ද්‍ර පෙරේරාවත් මහේන්ද්‍රසිං දෝනිවත් නෙවේ. ඉන්ද්‍ර දෙවියන්ට.



එදා ඒ ඉන්ද්‍ර දෙවියන්ගේ ඉල්ලීමට මහා බ්‍රහ්මයා නිර්මාණය කල නෘත්‍ය වේදය මේ “ඔබේ නමින්” ගීතයට ඉතාමත් ගැලපෙන විදියට යොදලා තියෙන අවස්ථාවක් මට දකින්න ලැබුනා.රූප රචනයෙන් ගීත කන අවධියක මේ රූප රචනය සමාජයට මහඟු ආදර්ශයක් .

ඒ නර්තන ශිල්පිනියගෙ ගමන , බැල්ම , අංග රචනය හැම දෙයක්ම ගීතයේ අර්ථයට හොඳින්ම ගැලපෙනවා .( මටනම් හිතෙන්නේ එහෙම ).

පළමුවන අතුරු වාදනය තුල ඇයගේ ගමනත් ,
“ දෑල දෑත ස්වර්ණ දාම තාල හඩට හඬන ලියේ “ කියන තැන ඇයගේ නර්තනයත් ,
“රත්න තිලක පැළඳි ලියේ සිනා සිසී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ “ කියන තැන ඇයගේ ගමනත්,
“ඇසින් විදුලි මවන ලියේ ” කියන තැන ඇයගේ ලලනෝපචාරි බැල්මත්,
“බාල චන්ද්‍ර පටුනලලත “ කියන තැන ඇයගේ නර්තනයත් ,
“ආල වඩන දන්ත කැකුළු කුන්ද සමන් “ කියන තැන ඇයගේ සිනහවත් ,

දෙවඟනකගේ රූප ශෝභාව මොනවට උකහා පෙන්නනවා.

නර්තනයෙන් අලංකෘත වූ ගායනය




පොඩි ලිට්ල් අව්ලක් තියෙනවා. මුල් ගීතයේ ෆෝමැට් එකට අනුව කෝරස් එකක් සහ වර්ස් තුනක් තියෙනවා. සේකර රචනය එහෙමයි. ඒත් පසු සංස්කරණයේදී මේක කෝරස් එකක් සහ වර්ස් දෙකකට අඩුවෙලා තියෙනවා.මේක සේකරට සහ ගීතයට කරන අසාධාරණයක්. ඒ පිළිබඳව මගේ බලවත් මෙව්වා එක.


සම්පුර්ණ ගීතය





අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බහ තෝරන අවධියේම දරුවන්ට, සුභාවිත ගීතයත් සුලලිත නර්තනයත් චිත්‍ර මූර්ති කලාවත් රසවිඳින්න හුරු කරවන්න කියලා.

තොරතුරු සපයාගනීමෙදී සහයවූ සිංදුවාට ටැන්කියු එක !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා......!

12 comments :

  1. //පොඩි ලිට්ල් අව්ලක් තියෙනවා. මුල් ගීතයේ ෆෝමැට් එකට අනුව කෝරස් එකක් සහ වර්ස් තුනක් තියෙනවා. සේකර රචනය එහෙමයි. ඒත් පසු සංස්කරණයේදී මේක කෝරස් එකක් සහ වර්ස් දෙකකට අඩුවෙලා තියෙනවා.මේක සේකරට සහ ගීතයට කරන අසාධාරණයක්.//

    මට හිතෙන විදියට එහෙම වෙලා තියෙන්නේ සින්දුවේ කාල පරාසය අඩුකරන්න.මොකද සමහරුන්ගේ මතයක් තිබ්බා රාගදාරි සංගීතය අනුව නිර්මාණය වෙච්ච ගීත ලාංකීය ආරක ගන්නේ නෑ කියන එක.රාගය මතම යැපෙන ඉන්දියානු සංගීතයේ අනුකරණයක් විදියට.සමහර විට වර්ස් එකක් සහ කෝරස් දෙකක් යොදන්න ඇත්තේ සාමාන්‍ය ලාංකීය මොඩලයේ ගීතයක නිමාව ගන්න වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියා .
      ඕක ආවේ නූර්ති ගීත වලින් .
      කොරස් එකයි වර්ස් දෙකයි කතාව හැදුනේ නූර්තිවලින් .
      හැබැයි ඉතින් නූර්ති අවෙත් ඉන්දියාවෙන් .
      මමනම් හිතන්නේ නැට්ටිච්චියන්ට නටන්න ලේසියට ඔකේ කොටසක් අඩු කරලා කියලා . මොකද දැන් මොන සින්දුව උනත් එඩිට් වෙන්නේ නැට්ටිච්චියොත් ගැන හිතලා 5-p

      Delete
  2. සැර බාල කරල තියෙන්නෙ. 5-p
    රුවන්වැලි සෑයෙ ඇතුලෙ සෑහෙන්න දේවල් තියනව කියල එක එක පොත් වල විවිදාකාරයෙන් තියනව. මට අපේ ආච්චි කියල තියනව ඒක ඇතුලෙ සිංහ තෙල් වලින් දැවෙන පහනකුත් තිබේලු. කොහෙන් අහලද දන්නෙ නෑ. ටිකක් වෙන්න නම් අමාරුයි වගේ. ඒත් ඉතින් ඕවගෙ ඇත්ත බොරු කියන්න මේ මම කවුද. c-)
    මොනව උනත් නැට්ටුක්කාරි නම් අල්ලල ගිහින් වගේ... :-bd

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් . අපේ ආච්චිත් කියලා තියෙනවා ඇතුලේ පහන් පත්තුවෙනව , බෙර ගහනවා , අනංමනං .
      මම හිතන්නේ ථූපවන්ශේ කියවලා එයාලා එහෙම කියන්නේ . ඒ පොතේ ඔහොම කතාවල් ටිකක් තියෙනවා .
      ඇත්ත වෙන්නත් ඇති . :)

      Delete
  3. මට ඔයාගේ පොත් ටික ඕනෙලු ;)
    -
    නියමයි වයලෝ.... :)
    -
    දැන් සින්දු ලියන්නේම නැද්ද? :O

    ReplyDelete
    Replies
    1. පොත් ටික ගන්න නේද ?
      පොත් නේද ???
      කඩේ ඇති . ඇයි අප්පා මහේ පත්තරේටමනේ හෙනහුරී පාත් වෙන්නේ .

      ටැංකියු

      ලියන්නෙම කියන්නේ මම කලින් සින්දු ලිව්වෙත් නෑ . :-bd :-bd

      Delete
    2. නරියා...............

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  4. නියමයි.... වෙන වචන නැහැ ..... :))

    ReplyDelete
    Replies
    1. ආ හා .........
      නර්තන ලීලා බලලා වගේ !
      :)) :)) :)) :))
      එල එල
      බොහොම ස්තූතී ආ !

      Delete
  5. ඉතාම වටිනා රසවින්දනයක්. මේ ගීතියේ වටිනාකම මොනතරම්ද කියන්න දරන ඔබේ වෑයම ඉතා සාර්ථකයි.

    මේ ගීතියට ඔබ වැනිම අර්ථකථනයක් රත්න ශ්‍රී විසිනුත් ලබාදෙනවා.
    https://www.youtube.com/watch?v=dS3NYXMJHr8

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.