Thursday, June 13, 2013

තබිලිස්ලාගේ තබ්ලාව






තබ්ලාව අදකාලේ ගොඩක් ජනප්‍රියවෙලා තියෙන සංගීත භාණ්ඩයක් . සරල ගායනා සහ රාගධාරී ගායනා වාදන හැම එකකටම මේ තබ්ලාව ගන්නවා . තබ්ලා තාල් වාදනය කරන්න ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයවෙලා තිබුනත් ඔරිජිනල් තබ්ලාවේ හඬ සහ ධ්වනි ගුණය නිපදවාගන්න ඕනනම් ඒකට තබ්ලාවක්ම ගන්න ඕන .



තබ්ලාව කිව්වම අපේ හිත්වල මැවෙන්නේ ලොකු ගෙඩියක් සහ පොඩි ගෙඩියක් . තබ්ලාව නිපදවන්න කලින් මේ ගෙඩි දෙකම එකට තිබුනේ . තබ්ලාව නිපදවිලා තියෙන්නේ උත්තර භාරතීය හින්දුස්තානී සංගීත පද්දතියේ භාවිතා කෙරෙන පඛ්වාජ් කියන වාද්‍ය භාණ්ඩයෙන් . පඛ්වාජ් එකක් දෙකට වෙන් කරලා තබ්ලාව හදලා තියෙන්නේ.



මූණු පොතේ නියම ෆොටෝ එකක් තිබුනා . පඛ්වාජ් වාදකයෙක් ඒක වාදනය කර කර ඉන්නකොට එයාගේ බිරිඳ ඇවිත් ඒක පොරවකින් දෙකට කපනවා. එතකොට වාදකයා ඒ කපපු කොටස්දෙක තබ්ලාවක් වගේ වාදනය කරනවා. පස්ට අයිටම් එක .

තබ්ලාවේ ඉතිහාසය ගැන හිතුවම නොයෙක් මත තියෙනවා කියලා කියනවා . එත් පිළිගත්ත ප්‍රභල මතය තමයි අලවුදීන් බිල්ජි කියන ඉන්දීය රජුගේ රාජසභාවේ හිටපු අමීර් කුශ්රු කියන පඬිතුමා විසින් තබ්ලාව නිර්මාණය කළා කියන එක . දොළොස්වන සියවසේ අගභාගයේත් දහතුන්වන සියවසේ මුල භාගයේත් තමයි මෙතුමා ජීවත්වෙලා තියෙන්නේ . අපේ විෂය නිර්දේශයට කුශ්රු පඬිතුමා අවස්ථා තුනකදී සම්බන්ධ වෙනවා . ඒ තබ්ලාව , සිතාරය සහ තරානා ගායනා ක්‍රමය නිමානය කිරීම කියන අවස්ථා තුන. ඊට අමතරව කුශ්රු පඬිතුමා තමාගේ සාහිත්‍යමය හැකියාව භාවිතා කරලා කවි , ගේය රචනා වගේ දේවලුත් රචනා කරලා තියෙනවා.



ඉතින් මේ අමීර් කුශ්රු කියන පඬිතුමා තබ්ලාව මුලින්ම නිර්මාණය කලාට පස්සේ අලව්දීන් රජතුමාගේ රාජ සභාවේ හිටපු උස්තාද් උල්ලු ඛාන් කියන ශිල්පියා තමයි මුලින්ම ඒක වාදනය කළා කියන්නේ . දැන් අහන්න එපා අමීර් කුශ්රු වාදනය කලේ නැද්ද කියලා .( ගෙයක් හදලා නැකතට ගෙට යන්න කලින් ගේ හදන බාසුන්නහේ ගේ ඇතුලට කොහොමත් යනවනේ ). ඒ වගේ තමයි තබ්ලාවෙන් ශාස්ත්‍රීය වාදනයක් මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ මේ උස්තාද් උල්ලු ඛාන් කියන ශිල්පියා .

මේ උල්ලු ඛාන් කියන කෙනාගෙන් පැවතගෙන එන අය අතුරෙන් ප්‍රධාන වෙන්නේ
කන්ටේ මහරාජ් සහ නිශ මහරාජ් කියන දෙදෙනා

මේ දෙන්නගෙන් පස්සේ තබ්ලා වාදනය කිරීමේ ශිල්පීය ක්‍රම දිල්ලි භාජ් සහ පූර්ව භාජ් කියලා කොටස් දෙකකට වෙන් වෙනවා . මේ පරම්පරා වලට ඝාරනා කියලා කියනවා. ඉන්දියාවේ යම්කිසි සංගීත සම්ප්‍රධායක් අනුගමනය කරන පරපුරකට කියන්නේ ඝාරනාව කියලා . ඒක නිකන් ගුරුකුලය වගේ වචනයක්.

දිල්ලි භාජ්
දිල්ලි භාජ් ක්‍රමයේදී වෙනසකට තියෙන්නේ වාදනයෙදී වැඩිපුරම තබ්ලාවේ චාන්ටිය භාවිතා කිරීම . දැන් බලනවා ඇති මු කියාගෙන කියාගෙන යනවා චාන්ටිය කියන්නේ මොකක්ද කියලා . තබ්ලාවේ හාර්ඩ්වෙයාර් පදනම පහලින් වෙනමම දාලා තියෙනවා . එකේදී චාන්ටිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන් .
මේ දිල්ල භාජ් ක්‍රමයේ වාදන, චාන්ටියේ ඉපදෙන මිහිරි නාදය නිසා ඉතා අලංකාර වෙලා තියෙනවා . චාන්ටියෙන් ඉපදෙන “ න “ අක්ෂරය නිසා තමයි මෙහෙම ලා....ස්සන වෙලා තියෙන්නේ.

දිල්ලි භාජ් ක්‍රමයට තබ්ලා වාදනය කල ප්‍රසිද්ධ වාදකයින් වෙන්නේ
# කලිෆ
# නක් ඛාන්
# ඔස්කාර් මලිර් ඛාන් සහ ඔහුගේ පුත්‍ර
# තරාමක් ඛාන්
කියන අය...

පූර්ව භාජ්
මේ ක්‍රමයේදී තියෙන විශේෂතා වෙන්නේ විවෘත අතකින් වාදනය කිරීම .ඒ වගේම “ ලවය “ භාවිතා කිරීම අනෙක් ක්‍රමයට වඩා වැඩි වෙනවා . මෙම වාදන ක්‍රමය භාවිතා කල වාදකයින් වන්නේ
# මුන් ඛාන්
# හබ්බි හුසේන්
# ශ්‍රී කන්ටේ මහරාජ්
# ශ්‍රී අනොකේ ලාල්
# ක්‍රිෂන් මහ රාජ්
කියන අය....



මම මුලින් කිව්වා වගේම තබ්ලාව හැදිලා තියෙන්නේ පඛ්වාජය දෙකඩ කිරීමෙන් .



උඩ තියෙන ෆොටෝ එකෙන් ඔයාලට තබ්ලාවේ කොටස් හඳුනාගන්න සහ නම් කරන්න ඉගෙන ගන්න පුළුවන්. ( මම ටියුට් එකේ ප්‍රශ්න දාලා තියෙනවා )
තබ්ලාවේ දකුණු පැත්තේ තියෙන ලීවලින් හදලා තියෙන පොඩි එකට කියන්නේ ධායිනා කියලා .




වම් පැත්තේ තියෙන ලොකු ගෙඩියට කියන්නේ භයාන් කියලා.



ධායිනා එකේ මුහුණතේ ඇතුළු දාරයේ වටේට තියෙන කැපුම් හමට තමයි චාන්ටිය/කීනාර් කියලා කියන්නේ . මැද තියෙන කලුපාට රවුමට කියන්නේ ස්‍යාහි කියලා . ඒක බදාමයක් .

කලුපාට රවුමත් චාන්ටියත් අතර කොටස ලවය / මයිධාන් කියල හඳුන්වනවා. ධයිනාවේ මුහුණතේ පිටින්ම තියෙන ඇඹරුණු දරනුවක් වගේ කොටස ගජරා කියලා හඳුන්වනවා. වටේට තියෙන හම් පටි වලට බද්ධි/ බාර් කියලා කියනවා. සුෂර කරන්න යොදාගන්න සිලින්ඩරාකාර ලී කුට්ටි වලට ඝට්ටා කියලා කියනවා .
භයාන් එකෙත් මේ නම් වලින්ම ඒ ඒ කොටස් හඳුන්වනවා. තබ්ලාවේ කොටස් දෙකම සෘජුව තියාගන්න දරනු දෙකක් භාවිතා කරනවා.

තබ්ලාවට යොදන මේ බදාමය හදන්න ගන්න දේවල් මොනවාද කියලා දන්නේ නෑ. මොකද ඒ බදාම දාන අය පාරම්පරිකව ඒ දේ කරගෙන එන නිසා එයාලා මේ වට්ටෝරුව කියන්නේ නෑ .( එළුවාගේ අස්ථි ගන්නවා කියලා දැනගන්න ලැබුනා )

තබ්ලාවේ හම හරක් හමක් හෝ ඔටු හමක් වෙනවා . වටේට දාලා තියෙන පටිත් ඒවාම තමයි. ධායිනා කොටස හදන්න ගන්නේ කොස්, ඇටඹ , දොඹ වගේ බර ලීවර්ග . භයාන් කොටස හදන්න අතීතයේ ලී භාවිතා කලත් දැන් එය පිත්තල වලින් හදලා තියෙනවා .

තබ්ලාව සුෂර කරන්න ලෝහමය බර මිටියක් පාවිච්චි කරනවා . වාදනය කරනකොට වාදනය පහසු කරන්න පව්ඩර් භාවිතා කරනවා .

තබ්ලාව සුෂර කරනවා කියන්නේ " න " අක්ෂරය වාදනය කරනකොට එයින් නැගෙන සංඛ්‍යාතය අවශ්‍ය විදියට හදාගන්න එක . සර්පිනාවක් , තාම්පුරාවක් , වගේ සම්මත සංඛ්‍යාත ජනනය කරන වාද්‍ය භාණ්ඩයකින් අවශ්‍ය සංඛ්‍යාතය ජනනය කරගෙන ඒ සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් ජනනයවෙන්න තබ්ලාවේ න අක්ෂරය සුෂර කිරීම තමයි මේ සුෂර කරනවා කියලා කරන්නේ.

තබ්ලාවෙන් වාදනය කරන එක එක ටෝන් වලට නම් දීල තියෙනවා . ඒවට කියන්නේ අක්ෂර කියලා . තබ්ලා ගහන්න උගන්නනකොට ඉස්සෙල්ලම උගන්නන අක්ෂරය ” න “ . චාන්ටියට දකුණු අතේ දබරගිල්ලෙන් හයියෙන් තට්ටුවක් දාලා තමයි “ න “ අක්ෂරය උපදවන්නේ .
ඔයවගේ ධ , ධින් , ත , ට , ගෙ , ගී ,ඩ ,තිට , ක්‍රට , ල ,තින් ,ධීන් , කි , කේ කියලා අකුරු ගොඩක් තියෙනවා. සමහර අක්ෂර බිහිවෙන්නේ අක්ෂර දෙකක් එකතුවෙලා .



මෙහෙම හැදෙන අක්ෂර මාත්‍රා අනුව එකතුකරලා සම්මත තබ්ලා පද හදලා තියෙනවා. එහෙම පදයක් පහල පෙන්නලා තියෙනවා.
මේ තාලයට කියන්නේ ත්‍රී තාලය කියලා . ඒ වගේ දාදරා , කෙහෙර්වා , ඛේම්ටෝ , ඒක් , චෞ , හීන් ,දීප චන්දි , වගේ තාල පද ගොඩාරියක් තියෙනවා. ඒ වගේම අක්ෂර ගොඩාරියක් යොදාගෙන නිර්මාණය කරලා තියෙන කායදාර් සහ චක්‍රදාර් කියලා තබ්ලා පද වර්ග තියෙනවා. මේවා පද මත් නෙවෙයි. සංකීර්ණ අක්ෂර එකතුවක්.



උඩ පෙන්නලා තියෙන තාල පදයේ කොටස් කීපයක් තියෙනවා . ඒකෙ තාල සංඥා කියන්නේ තාලයේ අනු කොටස් දක්වන්න යොදන සංකේත වලට.

තාල සංඥා වලින් X අකුරට කියන්නේ සම් කියලා. තාලයේ ප්‍රභලම ස්ථානය තමයි සම් එක . බිංදුවට කියන්නේ ඛලිය කියලා .ඉලක්කම් දීලා තියෙන තැන වලට කියන්නේ අනුතාල කියලා . සමහර වෙලාවල් වලට අපිට මේ කලිය සහ සම් එක පැටලුනාම අපි හිනා වෙනවා කලිසම් පැටලුනා කියලා. ශාස්ත්‍රීය වාදනයක් හරි ගායනයක් හරි අපි තබ්ලාවත් එක්ක ඉදිරිපත් කරනකොට මේ තාල සංඥා ගැන අවබෝදෙකින් ඉන්න ඕන . කොහොම ගියත් අන්තිමට තාලෙට සෙට් වෙන්න ඕන හරි තැනින් . නැත්නම් කලිසම් පැටලිලා අව්ලක් වෙනවා. සංගීත විභාග වලදී මේක හරියටම බලනවා.ඒ නැතත් කලිසම් පටලගන්නේ නැතුව වාදනය ගායනය කරන එක ශිල්පීය දක්ෂතාවයක්. දක්ෂ වාදකයෙක්නම් කලිසම් පැටලුනත් ඒක නොදැනෙන්න හදාගන්න පුළුවන්කමක් තියෙනවා.

ඨේඛාව කියන්නේ ඒ ඒ මාත්‍රා වලට අනුව වාදනය කෙරෙන තබ්ලා අක්ෂර එකතුකරලා හදලා තියෙන තබ්ලා පදයට.

ඔන්න පුළු පුළුවන් විදියට තබ්ලාව ගැන කිව්වා. තබ්ලාව ගැන ලියන්න හිතුනේ වීඩියෝ ටිකක් බලලා ඇතිවෙච්ච පස්වනක් ප්‍රීතිය ඉවසගන්න බැරි වීම.
ලෝකයේ දැනට ඉන්න ඉන්න අතිදක්ෂතම තබ්ලා වාද්‍ය ශිල්පියා වෙන්නේ උස්තාද් සකීර් හුසේන්



ඔහුගේ පියාණන් තමයි උස්තාද් අල්ලා රක්ඛා . දෙන්නම ආයේ නෑ සුපිරි වාද්‍ය ශිල්පියෝ දෙන්නෙක්. දෙන්නා වෙන වෙනම ඉන්නවට වඩා එකට තබ්ලා වාදනය කරන වීඩියෝ එකක් දාන එක හොඳයි කියලා හිතුන නිසා මේ වීඩියෝ එක දැම්මා ඔයාලට බලන්න .






ඒක බොරින් වගේ නැත්නම් මේකත් බලන්න




ඔය වීඩියෝ එකේ කරක්රරත්‍රරක්‍රට කියලා කියන්නේ දෙන්න බැනගන්නවා එහෙම නෙවේ . ඒවට තමයි කායදාර් චක්‍රදාර් කියල කියන්නේ . ඒ පද කටපාඩම් කරගෙන වාදනය කරන එකම හෙන ලොකු ගේමක් මම හිතන්නේ.

ලංකාවෙත් ඔහොම වාදනය කරන ශිල්පියෙක් තමයි විජේරත්න රණතුංග මහත්මයා . එතුමා දැනට අවරුද්දකට විතර කලින් අභාවප්‍රාප්ත උනා.



මේ එතුමා වාදනයන්






සනත් නන්දසිරි මහත්මයත් තබ්ලා වාදනය හදාරලා තියෙනවා උපරිමෙන්ම. ඉන්දියාවේ හිටපු උස්තාද් අහමාඩ් ජාන් තිරක්වා කියන ශිල්පියාගෙන් තමයි නන්දසිරිමහත්මයා ඉගෙනගෙන තියෙන්නේ.



මීට අමතරව හේමපාල ගාල්ලගේ , නිහාල් කළුබෝවිල , මනෝජ් පීරිස් , රෝහණ බෝගොඩ ලංකාවේ ප්‍රසිද්ද තබ්ලා වාදකයින්






ලංකාවේ අපි අහන ගීත වලින් තබ්ලාව උපරිම විදියට යොදා ගත්ත ගීත කීපයක් එකතු කලේ නැත්නම් අඩුවක් නිසා ඔන්න ඒකත් එකතු කළා....

අනිවාර්යෙන්ම මාරම්බරී ප්ලේ කරන්න.

මාරම්බරී




තන්හා ආශා






හෝපලු වනපෙත






හංස රාජිනී





(තව දෙයක් කියන්න ඕන උස්තාද් කතාව ගැන . ඉන්දියාවේ මුස්ලිම් සම්භවයක් තියෙන ඛාන් , හුසේන් වගේ අයට සංගීතයෙන් ඉහලටම ගියාම හම්බෙන ගෞරව නාමය තමයි උස්තාද් කියන්නේ . මේ විදියටම ඉන්දියාවේ රවිශංකර් , ජෝග් වගේ අයට හින්දු සම්භවයක් තියෙන නිසා එයාලට ලැබිලා තියෙන ගෞරව නාමය තමයි පණ්ඩිත් කියන එක. දැන් අහපල්ලා ඉතින් අමරදේව මහත්තයත් හින්දුද කියලා. එතුමාට පණ්ඩිත් කියන නම ලැබිලා තියෙන්නේ එතුමා මුස්ලිම් නොවන කෙනෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් වීම නිසා.)


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා......!

16 comments :

  1. ඉතාමත් වටිනා ලිපියක්. බොහොමත්ම ස්තුතියි. නමුත් මට හිතෙන හැටියට නම නිහාල් කළුබෝවිල, රෝහණ බෝගොඩ වැන්නන්අතර මනෝජ් පීරිස් යනු අනවශ්ය ආකාරයට හිස උදුම්මාගත් මුලග්ගින්නෙන් පෙලෙන හුදු බයිලා කාරයෙක් පමණක් බවය.

    ReplyDelete
    Replies
    1. :) :) :) :) :) :)
      බොහොම ස්තූතී !

      Delete
    2. ස්තුතී කිව්වේ මූලග්ගින්නටද

      Delete
    3. උඹේ නම මූලග්ගින්නද? :))

      Delete
    4. උකුස්සයියා මම හිතන්නේ මෙයාගේ වාසගම හිසඋදුම්මාගත් :)) :)) :)) :)) :))

      Delete
    5. උකුසයියා ඔයා හරිම සයියා, වයියා, බයියා වගේම ගඳ ..යියා

      Delete
    6. ano - ඇයි ඉතින් ඉඹින්න ගියේ? උඹ කෙල්ලෙක් නම් ටිකක් හරි ඕකේ. ඒත් කොල්ලෙක් නම් ඈයියා.... මම ඔය සබ්ජෙක්ට එකට නෑ මචන්..

      Delete
    7. :-da :-da :-da :-da
      හා හා ගේ කුරුල්ලෙක් වගේ මෙයා නේද ?
      හරියට අපි කියලා ගඳ සුවඳ බලලා වගේ y-) y-) y-) y-)

      Delete
    8. ඇනෝට වඩා මූලග්ගින්න මුන්දට ගැලපෙන නම. :-bd :)) නැත්නම් අනිත් ඇනොලටත් හරි නෑ වගේනේ

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙහෙම හිටියට අපිත් හොඳට තබ්ලා ගහපු අය තමයි හරිය... (හැබැයි ඔක්ට පෑඩ් එකෙන් c-))

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ එල තමා .
      කට්ටිය පොඩි බෑන්ඩ් එකක් දා ගත්තනම් කීයක් හරි හොයාගන්න තිබ්බා .
      ෆිට් තමා !
      :-pi :-pi :-pi :-pi :-pi

      Delete
  4. හොඳ වෙහෙසක් දරලා දැනුම් කොටස් රාශියක් කැටිකරගෙන ලියවුනු සාර්තක ලිපියක්.. තවත් මෙවන් ලිපි රාශියක් මගින් අපේ රටේ සංගීතය ගැන අපව දැනුවත් කිරීමට නොමද ශක්තිය ධෛර්‍‍යය ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. g-) g-) g-) g-) g-)
      g-) g-) g-) g-) g-)
      බොහොම ස්තූතී අයියා !

      Delete
  5. මරු වයලෝ...... පණ්ඩිත සාගරේ w-)

    ~Budz~

    ReplyDelete
    Replies
    1. එතකොට පැසිපික් සාගරේ ?????
      :-O :-O :-O :-O :-O :-O

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.