Monday, May 13, 2013

සඳක් සදිසි ලඳක් රුවැති ලැසි ගමනින් එන


මේ බ්ලොග් එකේ මම ලියන පලවෙනි පොස්ට් එක මේක . තමන්ගේ අදහස් පල කරන්න හදා ගත්ත බ්ලොග් එකේ මට ඉඩක් ලබා දීම ගැන මම සිංදුවා අයියාට ටැංකියු කරන්න ඕන ඉස්සෙල්ලම .

 ලාබයිඇපල් බ්ලොග් එකේ ඇපල් අයියා කියලා දීපු පාර දිගේ දිගු ගමනක් හොයාගෙන සබරගමුවෙන් යලි උපන්නෙමු කියන මගේ බ්ලොග් එකේ ඉබි ගමනින් ලියන්න පටන් ගත්ත මට අන්තිම පේලිය හඳුන්වලා දීලා මගේ ලිවීම ආලෝකයේ ප්‍රවේගයට ආසන්න කලේ සිංදුවා අයියා බව කිව යුතුය .

සිංදු අහන්න, කියන්න, වගේම ගයන්න පටන් ගත්ත කාලේ ඉඳන්  වැඩි හරියක් අපි කලේ ඒ සිංදුවල තනු වලට වෙනත් වචන ( කුණු හරුප සමග ) ඇතුලත් කරමින් ඉස්කෝලේ සෙට් පිටින් ෆන් ගැනීම . ඒත් ටික කාලයක් යනකොට ජීවිතේ මූණ දෙන්න වෙන නොයෙක් සිද්දීන් නිසා ගීතවල වචන ජීවිතයට කොච්චර ගැලපෙනවාද? නොගැළපෙනවාද? කියලා සසඳන්න අපි පුරුදු උනා . සමහර වෙලාවට එකම ගීතයක් ගැන මම කියන දේ සිංදුවා අයියා කියන්නේ වෙන විදියකට . තවත් කෙනෙක් කියන්නේ අපි දෙදෙනාටම වඩා වෙනස් විදියකට .

සතියකට තිබුණු සංගීත පීරියඩ්  හතරත් , පාසලේ වෙනත් සංගීත වැඩසටහන් වලට සම්භන්ධ වීමෙන් එහිදී දැන හැඳින ගත් අයගෙන් ලබාගත් දැනුමට අමතරව පාසලෙන් පරිබාහිර ගුරුවරුන්ගෙන් ලබාගත් සහ අප දෙදෙනා තනිවම උකහා ගත් මහා සයුරක එක් දිය බිඳකට සමාන වූ සංගීත දැනුම අනුවද අපි ගීත වෙන් කරන්න , රසවිඳින්න පුරුදු උනා .

මම ඔන්න අද මේ පලවෙනි කතාවෙන් කියන්න යන්නේ බුදුරජානන් වහන්සේගේ එක් ආත්ම භවයක සිදු වුන විශේෂ සිදුවීමක් ගැන . මේ සිදුවීම දැන ගත්තේ මං තුන වසරේ හින්චා කාලේදී . මම ඉස්කෝලේ ලයිබ්‍රී එකෙන් එක එක පොත් උස්සගෙන එනවා කියවන්න . කවුරුහරි පොතක් ගැන කියනවා ඇහුනොත් මම කරන්නේ ලයිබ්‍රී එකෙන් ඒ පොත අරගෙන කියවන එක . මගේ පුංචි අම්මා ඉස්කෝලේ ටීචර් කෙනෙක් නිසා පොත් ගෙදර ගේන එක ගේමක් උනේ නෑ  .

දවසක් මිස් කෙනෙක් ස්ටාෆ් රූම් එකේ කතාවෙනවා ඇහුනා " සූසැට ආභරණ මොනවද කියල හොයා ගන්නේ කොහොමද? " කියලා . තව මිස් කෙනෙක් කිව්වා අර මිස්ට ,  " උම්මග්ග ජාතකේ ඒවා ගැන ටිකක් තියෙනවා " කියලා . මම පුංචිට කිව්වා " අදම පොත අරන් ඕන " කියලා . එදා සිකුරාදා  දවසක් . ගුරුවරුන්ට රෙෆරන්ස් එකේ පොත් ගන්න පුළුවන් සඳුදට ආයෙත් භාර දෙන්න . මම රෙෆරන්ස් එකේ තිබ්බ උම්මග්ග ජාතකය අලුත්ම පොතක් ඇදලා ගත්තා . දැන් ඔන්න ගෙදර ආපු ගමන් නාලා කාලා පොතත් අරං ඇඳට පැනලා පටන් ගත්තා කියවන්න . 3 වසර වෙනකොට අකුරු ටික ඔක්කොම කියල දීලා තියෙන නිසා කියවලා තේරුම් ගන්න අවුලක් උනේ නෑ . හැබැයි සමහර කතා 3 වසරේ ඔලුවකට තේරුම් ගන්න ලොකු වැඩියි කියලා නම් දැන් හිතෙනවා . ඒත් මම ගත්ත පොතේ සරල සිංහල විවරනයක් එක්කම අමාරු වචනවල තේරුමත් එකතු කරලා තිබුනා .



කාලගෝල ප්‍රශ්නය , මණි ප්‍රශ්නය , අෂ්ටවංක මැණිකට නූල අමුණන ප්‍රශ්නය වගේ කතා හිතට හොඳට වැදුනා . ඒ අතරේ තමයි දැක්කේ මහෝෂධ පඬිතුමා හොර රහසේම රාජධානියෙන් පිට වෙලා පලායාමේ සිද්දිය සහ එතුමාට අතරමගදී සිදුවෙන මේ සිදුවීම් මාලාව .

ඔන්න බලන්නකෝ කියවලා .....

එගම දුප්පත්ව සිටි පුරාතන සිටුකුලයෙක “අමරාදේවී” නම් රූපත් මහා පිනැති දුවක් වූවාය. ඈ එදවස හුළුකැන් පිසගෙන පියාණන් සානතැනට යන්නී පණ්ඩිතයන් වඩනා මගට පිළිපන්හ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරිකාව දැක “මෝ තොමෝ මට බිරින්දට සුදුසුයයි සිතූසේක. අමරා දේවියද පණ්ඩිතයන් දැකලා ඉදින් මෙබඳු පුරුෂයෙක් ඇත්නම් වස්තු රැස්කරන්ට පිළිවනැයි සිතූහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ මැගේ සැමියන් ඇති නැති බව නොදනිමි. එපවත් හස්ත මුද්‍රායෙන් විචාරමි. ඉදින් මෙ නුවණැත්තී විනම් එය දැන ගන්නීයයි සිතා දුර සිටම “ඇඟිලි හකුළුවා මිට හළසේක”. ඈත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත, නැත්ත විචාරන්නේයයි දැන “අත්ල විදහාලූහ” පණ්ඩිතයන් වහන්සේ ඈ සරණ නූනබව දැන සමීපයට ගොස් සොඳුර තෙපි කිනම්මු දැයි විචාළේය. ස්වාමීනී ගිය දවස වේවයි දැන් වේවයි මතු දවස වේවයි මුළු ලෝකයෙහි යම් නමෙක් ඇත්නම් මම ඒ නමි”යි කීහ. ඇගේ නම අමරා” බව දැනගත් පණ්ඩිතයන් වහන්සේ සොඳුර කවුරුන්ට කැඳගෙන යව්දැයි විචාළහ. පූර්‍ව දේවතාවන්ට යයි කීහ. පූර්‍ව දේවතාවෝ නම් මව්පියෝය. තොපගේ සිටාණෝ කුමක් කෙරෙත්දැයි විචාළහ. එකක් දෙකක් කෙරෙතියි කීහ. එකක් දෙකක් කිරීම නම් සී සෑමය. තොපගේ පියාණෝ කොතනක සාත්දැයි විචාළසේක. යම් තැනකට එක්වරක් ගිය කෙනෙක් නොඑද්ද එතැනයයි කීහ. 

එසේ තැන නම් සොහොනය. සාන්නේ සොහොනක් සමීපයේය. සොඳුර අදම එව්දැයි විචාළසේක. ඉදින් ආවොත් නොඑමි. නාවොත් එමි. කීහ පියා ගඟකින් එතර සාති. ගඟදිය ආවොත් නො එන නියාව කී බව තේරුම්ගෙන එසේදැයි විමසීය. එසේයයි කීහ. ඉක්බිති අමරාදේවී හුළුකැන් පූව මැන. ස්වාමීනි පැවරූහ. පණ්ඩිතයන් වහන්සේ ප්‍රථමයෙන් කළ ආරාධනාව නොඉවසීම අවමඟුලැයි සිතා යහපත බොමියි වඳාලසේක. අමරා දේවිය කැඳ සැලිය ඉසින් බා තැබූහ. පණ්ඩිතයන් වහන්සේ ඉදින් මණ්ඩය නොදෙව අතට පැන් නොදීම කැඳ අතට දිනි නම් මෙතැනම හැරපියා යෙමි’යි සිතූසේක. ඈ මණ්ඩයෙන් පැන් ගෙන අතට දීලා සිස් මණ්ඩය අත නොතබා බිම තබා සැළියේ කැඳ අල්ලා හුළු කැනින් මණ්ඩය පුරාලූහ. ඒ කැඳෙහි හුළු මඳ වූයේය. පණ්ඩිතයන් වහන්සේ කිමෙක්ද? සොඳුර හුළුකැන් ඉතාම බොල්වනැයි වදාළසේක. පැන් නොලද්දේය. ස්වාමීනියි කීහ. තොපගේ කුඹුර පූදිනා අහදිය නොලද්දයි සිතමියි වදාරා හුළු කැන් සියල්ලම පානය කොට අත කට සෝදා 
සොඳුර තොපගේ ගෙට මග කියවයි වදාළසේක. අමරාදේවිය යහපතැයි, ගෙට මග කියන්නී “මේ මග ඔස්සේ ගොස් ඇතුළු ගමට වන්කළ යම් තැනක අත්සුණු තබා විකුණන සල්පිලක්ද ඉන් ඔබ්බට ගියකල යම් අතකින් අනුභව කරත්ද ඒ අත මග යන්ට කියමි........

උම්මග්ග ජාතකය සම්පුර්නෙන්ම කියවලා නැත්නම් මෙතනට කොටන්නකෝ........

ස්වර්නදාස හේරත් මහතා රචනා කරලා



ස්ටැන්ලි එම් ප්‍රනාන්දු මහතාගේ සංගීතයට අනුව

ආචාර්ය දයාරත්න රණතුංග මහතා සහ මහාචාර්ය අමරා රණතුංග මහත්මිය විසින් ගායනා කරන






සඳක් සදිසි ලඳක් රුවැති ලැසි ගමනින් එන 
අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන...// 

මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ 
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ...// 

ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක 
පියා සීසායි මම බත ගෙනයමි හනිකට...// 

සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා 
ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා...// 

පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි 
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි...// 

අමරා දේවී ඔබ අමරා දේවී 
නැණවත් දේවී ඔබ අමරාදේවී.../// 

කියන මේ ගීතයෙන් මහෝෂධ පඬිතුමා සහ අමරා දේවියගේ හමුවීම කෙතරම අපූරුවට මවාපානවද . 3 වසරේදී කියවපු මතකය ආයෙත් අලුත් කලේ මේ ගීතය . ඉතින් උම්මග්ග ජාතකය හොයාගෙන ආයෙත් කියෙව්වා ආසාවට .

බුදු සිරිත විචාරීම අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . ඒත් මේ ගීතයෙන් උම්මග්ග ජාතකයේ තියෙන ඒ සුන්දර හමුවීම සාමන්‍ය ජනතාවට තේරෙන විදියට ප්‍රකාශ වෙනවා .

ඇත්තටම මේක ඉතාම පුදුම සහගත ආදරය ප්‍රකාශ කිරීමක් නේද ?

17 comments :

  1. රසවත් රසවත් බොහොම රසවත්!
    දිගටම ලියමු!

    88/89 පහුවෙනකල් අමාරුවෙන් දිවි බේරන් හිටපු කාලේ මේ ගීය අපි ටිකක් වෙනස් කරල කිව්වා
    "ගියොත් කෙනෙකු යලිත් නොඑන තැන ඇති කුඹුරක -
    පියා සීසායි මම බත ගෙනයමි හනිකට - පොලීසිය අසල කුඹුරක වෙහෙසෙයි තම පියා - ඔහුට ඇඹුල ගෙනියන ඔබ කියන් කව්ද කිය.." කියල :-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී !
      88 / 89 කියන්නේ මගේනම් කලින් ආත්මේ අන්තිම අවුරුදු දෙක නැත්නම් අන්තිම අවුරුද්ද .
      හඃ හඃ හඃ

      Delete
  2. පස්ටයි මලේ, උපරිමයි ! ඇපලටත් පින් යන්න ඕනි උඹවගේ එකෙක් බොල්ග් වලට ගෙනාවට. එහෙනම් මේ සුපිරි කතා මේ විදියට දිගටම ලියාගෙන යමු. සදා ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති .
      :-))))))
      මේල් එක පේනවද බලන්න පොඩ්ඩක් හොඳේ .
      :P

      Delete
  3. සිත්ගත් බ්ලොග් එකක් . දිගටම ලියන්න . ජය පතනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී !
      ලියන ඒවා හොඳද නරකද කියලත් දිගටම කියන්න ඕන ඔන්න හොඳේ....

      Delete
  4. කොහේ දැම්මම මොකද.. ආපි එනව කියවන්න.... :)
    මමත් හෙට අත මිටි කරල බලන්න ඕන කවුරුත් සිග්නල් එක අඳුරගනීද කියල

    ReplyDelete
    Replies
    1. මේ බං අතින් නෙවෙයි හොටෙන් මොනාහරි කරන්න බලහන් :D

      Delete
    2. බොහොම ස්තූතිය උකුස්සයියා .....
      ඕකනම් ඔයා ඔච්චර සෙල්ලන් දාන්න ඕන නෑ . මොකද බකුස්සියෙක් ඔයාව දැක්කම අඳුරගන්න අමාරුවෙන එකක් නෑ උකුස්සියෝ හත් අට දෙනෙක් ආස්සරේ කොරා කියල.
      ටොපි චොකලට් නිසා ගෙවිච්ච හොටක්නේ තියෙන්නේ නේද ?
      හඃ හඃ හඃ

      Delete
  5. නියමයි මල්ලි...ලංකාවේ තව සින්දු තියනවා...ඒවාට කතාත් තියනවා....උඹට වඩාත් තියනවා........

    ReplyDelete
    Replies
    1. ටැංකියු මානවක අයියා ....

      Delete
  6. මරු වයලින් :)

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.