Monday, May 27, 2013

සද්දන්තයෙකුගේ ආත්මීය කථනය


මිය ගියත් මට ආදරේ කරන අය වෙනුවෙන් මේ ලියන්නේ .

  animation

මම ඉපදුනේ ආණමඩුව කියන ගමේ . අවුරුද්දක් ගැන නම් කියන්න අමාරුයි ආයිබොවන් . මොකෝ වනන්තරේ අර ඉලක්කම් ලියලා තියෙන කැලන්ඩරේද මොකද්ද එකක් තියෙන එකක්යැ . මගේ අම්මා මාව මේ ලෝකෙට බිහිකරපු දවසේ මම දිහා ආදරෙන් බලාගෙන හිනා උනා මතකයි . මගේ තාත්තා මගේ ඔලුව අතගාලා මගේ මූණ සිපගත්තා මතකයි .

එදා අපේ කණ්ඩායමේ හිටපු නැන්දලා මාමලා අයියලා අක්කලා හැමෝම මාව වට කරගෙන මාව එයාලගේ කණ්ඩායමට පිළිගත්තා . අපි කැලේ එහෙ මෙහෙ ඇවිද ඇවිද කොළ ජාති ගෙඩි ජාති හොය හොයා ඒවා කකා තවත් ඇවිද්දා . මමනම් ඉතින් ඒ කාලේ අම්මා කුක්කු තමයි බිව්වේ . මට කොළ ජාති එහෙම වැඩිය කන්න පිරියක් තිබ්බේ නෑ .

අම්මාගෙන් කිරි බොනකොට මම වැඩිය දහන්ගලේ දැම්මේ නෑ . මට හිතුනා මගේ ඉස්සරහා දත් දෙක ඇනිලා අම්මට රිදෙයි කියලා . කොහෙද ඉතින් දත් කොහොමද කියලා මට පෙන එකක්යැ . ටිකක් විසේ කලාට රංචුවේ ඉන්න නැන්දලා මාමලා මගේ ආරක්ෂාව ගැන සෙවිල්ලෙන් තමයි හිටියේ හැමවෙලේම . සමහර වෙලාවට මම විසේ කලාම මට කොළ අතුවලින් ගුටි සංග්‍රහා දෙනවා.

අපි ගොඩක් සන්තෝසෙන් අවුරුදු දෙක තුනක් කැලයේ ජීවත් උනා . ඒත් දවසක් කැලේට කකුල් දෙකේ මාමලා කට්ටියක් ආවා . අම්මා තාත්තා වගේම අනිත් අයත් කලබලේ එහෙ මෙහෙ දිව්වා . මමත් ඔලුව හැරෙන හැරෙන පැත්තට දිව්වා .මාව අතරමන් උනා . ඒ අතරේ මාව ඒ කකුල් දෙකේ මාමලාට අහු උනා. මාත් එක්ක තව ගොඩක් අය අහු උනා . ඒ අල්ලාගෙන අපිව ආණමඩුව වැවේ වැවු ඉස්මත්තේ ගැට ගහගෙන මාස දෙක තුනක්ම , තව අපේ කට්ටිය අල්ලගත්තා . පසේ කාලෙකදී තමයි මම දැන ගත්තේ ඒ 1946 කියලා . මාව අල්ලගත්තේ අප්පුහාමි මාමාගේ තාත්තා .

                                           මේ ඉන්නේ මගේ අයිතිකාර අප්පුහාමි මාමා 



මේ ඉන්නේ මාව බලාගන්න කිරිබණ්ඩාමාමා 




අප්පුහාමි මාමාගේ තාත්තා සල්ලි වලට මාව විකුනන්න හැදුවේ . එත් අප්පුහාමි මාමා මාව විකුනන්න දුන්නේ නෑ . මාව එක්කගෙන ආවා කෑගල්ලේ මොලගොඩ  එයාලගේ වලව්වට . එදා ඉඳන් මම හැදුනේ වැඩුනේ කෑගල්ලේ වලව්වේ . මට අම්මා තාත්තා වගේම අනිත් මගේ නැන්දලා මාමලා මතක් නොවුනමත් නෙවෙයි . එත් මට වැඩිය පාළුවක් දැනුනේ නෑ . වලව්වේ තව මගේ වරිගේ කට්ටියට ජීවත් උනා .

මාව බලාගන්න භාරගත්තේ කිරිබණ්ඩා කියලා මාමා කෙනෙක් . ඒ මාමා මට ආදරෙන් සැලකුවා . ඒ මාමගේ හෙණ්ඩුවෙන් වෙලාවකට මට පොඩි තට්ටුවක් දැම්මට මම ඒ මාමා එක්ක තරහා උනේ නෑ . මොකද එහෙම තට්ටු දැම්මේ මමත් අකීකරු වැඩ කරපු නිසා කියලා මම දන්නවා . පොඩිම කාලේ මට ඒ කාලෙට ගැලපෙන කෑම ලැබුනා . පස්සේ ලොකු ලොකු කෑම වලට මම පුරුදු උනා . කිරිබණ්ඩා මාමා අලියා මෙහෙ දහඃ අරෙහෙ දහඃ කිය කියා කියන ඒවා මම ඉගෙන ගත්තා .කිරිබණ්ඩා මාමාට මම අක්කීකරු උනත් අප්පුහාමි මාමාට මම හරිම ලෙන්ගතුකමින් තමයි හිටියේ .


                  මේ මම දළදා මාලිගාවේ දළදා කරඬුව වැඩමවන වෙලාවේ ගත්ත ෆොටෝ කෑල්ලක්

මම ඉස්සෙල්ලම දලදාමලිගාවේ විෂ්නුදේවාල පෙරහරට තමයි ගියේ. පස්සේ දළදා පෙරහරට වගේම මම අපේ රටේ වෙනත් පෙරහැර වලටත් සහභාගී උනා . එහෙම කාලයක් යනකොට දළදා මාලිගාවේ රාජා අයියා මියගියාට පස්සේ දළදා කරඬුව වැඩම කරන්නත් මට වාසනාව ලැබුනා . මම පස්සේ කාලෙදී අවුරුදු තිස්පහක් විතර දළදා පෙරහරට සම්භන්ධ උනා . එහෙම ටික කාලයක් යනකොට මගේ දල දෙක අමුතු වේගෙන එනවා කියලා මට දැනුනා .

නැදුන්ගමුවේ , නවම් , බෝතලේ වලව්වේ රාජා මල්ලිලාගේ වගේ මගේ දල දෙක ඉස්සරහට වක් වෙන්නේ නැතුව කෙලින්ම පහලට වැඩේන්න ගත්තා . මගේ ඔලුවට ඒක හරි බරක් උනා . වෙලාවකට කැමති කැමති විදියට ඔලුව හරවන්නත් බෑ මල කරදරේ. අන්තිමට මගේ දල දෙක බිම ගෑවෙන්න තිබ්බේ අඟල් හතරක පහක ප්‍රමාණයක් කියලා අප්පුහාමි මාමා දවසක් කාත් එක්කද කියනවා මට ඇහුනා .



දල දෙක මල කරදරයක් උනාට හැබැයි ඉතින් ඒකෙත් මාර ගතියක් තිබ්බා . දළදා පෙරහරට එහෙම ගියාම මම දල දෙක බිම ගෑවෙන නිසා ඔලුව ටිකක් උස්සගෙන තමයි යන්නේ . ඒ යනකොට ඉතින් ක්වීන්ස් හෝටලේ ඉන්න සුදු නෝනලා දිහා එහෙම බලන්න පුළුවන් . තව ඉතින් එහෙම ඔලුව පොඩ්ඩක් උස්සගෙන යනකොට මගේ පෙනුමත් ආඩම්බරකාර ගාම්භීර පෙනුමක් උනා .



මගේ දල දෙක නිසාම මාව බලන්න ලංකාවේ වගේම පිටරට අයත් එනවා . පිට රටින් එන අර සෙක්සිද මොකක්ද එකක් තියෙන සුදු නෝනලා දැක්කම හොඩෙන් පොඩි තට්ටුවක් දාන්නමයි හිත . එත් කිරිබණ්ඩා මාමා හෙණ්ඩුව කෙලින්කරගෙන මෙතන ලොකු ලොකු සද්ද දානවනේ . මට ඒවෙලාවට මාරයා ආවේස වෙනවා . ඇයි යකෝ අලි උනත් කැමතියි පොඩ්ඩක් සෙක්සි කෑල්ලක් දැක්කම පොඩි තට්ටුවක් දාන්න . හා නැද්ද ?

මට කේන්ති ගියාම මට සාත්තු කරන්න ඉන්න අයට ළඟ තියෙන ලීකෑලිවලින් කෙලලා අරිනවා අෆ්ෆා . ඇයි මුන්ට තේරෙන්නේ නෑනේ මෙලෝ දෙයක් . වෙලාවකට අනිත් අයට කෑම දෙනවා මට පෙනී පෙනී . මම මෙහෙ බඩගින්නේ වේලෙනවා . අප්පුහාමි මාමා කියන්නේ, මම තමයි එයාගේ වලව්වේ අලිගාලේ නායකයා කියලා .එහෙනම් ඉස්සෙල්ලම මට කන්න දෙන්න ඕන .

ඔහොම දවසක් මට කේන්ති ගිහින් මම කිතුල් ලීයක් විසික් කළා වලව්වේ වහල කඩාගෙන සිවිලිමත් කඩාගෙන ඇතුලට වැටෙන්න . ඊට පස්සේ ඒක මතක තියෙනකන් කට්ටිය මමගැන සෙවිල්ලෙන් හිටියේ . ඇයි මෙයාලා මට අම්මා තාත්තා එක්ක කැලයේ ඉන්න දුන්නෙත් නෑ . මෙතන එක්ක ආවනම් මට ඕන ඕන ඒවා වෙලාවට දෙන්න ඕන . මම ඉන්න අලි ගාලේ සාමාජිකජෝ දහ දොළොස්දෙනා තරම් හිටපු කාලයක් තිබුණා. එත් දැන් ඉන්නේ පස්දෙනයි . ගල්කුලමා මල්ලි , පොඩි ඇතා මල්ලි , මැණිකේ නංගි , රජා මල්ලි සහ මම තමයි ඒ පස්දෙනා .

                                                      මේ ඉන්නේ මැණිකේ නංගි



මේ ඉන්නේ පොඩි ඇතා මල්ලි 



මේ ඉන්නේ රාජා මල්ලි


මේ ඉන්නේ ගල්කුලමා මල්ලි 






මගේ දල දෙක ගොඩාක් දිග නිසා කිතුල් කොටයක්වත් හරියට පලා ගන්න බෑ අප්පා . අඩුම තරමේ පොල් අත්තක්වත් සැනසිල්ලේ කන්න විදියක් නැ  රෙද්ද . ඇයි බිමට නැවෙනකොටම මේ ඉලවු දෙක බිම ඇනෙනවනේ . මම ඉතින් වෙලාවකට කේන්තියෙන් ලොකු ලොකු සද්ද දානවා . එතකොට මාව බලාගන්න කිරිබණ්ඩා මාමා ගල්කුලමා මල්ලිට හරි රාජා මල්ලිට හරි කියලා මගේ කෑම ටික මගේ ලඟට කිට්ටු කරලා දෙනවා .



මට හොඳට නාන්න එහෙම ඕන . මාව වතුරට දැම්මම මට මාරම ෆන් . දවසක් දෙකක් ඒ ෆන් එක උපරිමෙන්ම ගත්ත නිසා මාව එදා ඉඳන් දම්වැල් දාලාම තමයි වතුරට දාන්නේ . ඇඩෙනවා අප්පා ඉතින් . වතුරට බැහැලා ආතල් එකේ ඉන්න නෑනේ . මට ඔය අප්පුහාමි මාමාගේ කාර් එකේ හෝන් එක හොඳට පුරුදුයි . මාමා කාර් එකේ යනකොට හෝන් සද්දෙන් මට අඳුරගන්න පුළුවන් ඒ කවුද කියලා . මට මද කිපුණ කාලෙට කිරිබණ්ඩා මාමාට මාව හීල කරන්න බෑ . ඒකට අප්පුහාමි මාමා එන්නම ඕන . අප්පුහාමි  මාමා තමයි මාව ඒ කාලෙට බලාගනේ . කන්න බොන්න දෙන්නේ එහෙම . මමනිසා අප්පුහාමි මාමා මාසෙට අර පාට පාට කොළ වලින් රුපියල් 45000ක් විතර වියදම් කරනවලු . වෙන්න ඇති ඉතින් . මොකද මම ලේසි පහසු කෑමකුත් නෙවෙයිනේ කන්නෙ .

මම සමහර දවසට රෑට කෑගහනවා බඩගිනි උනාම . ඒවෙලාවට අප්පුහාමි මාමා ඇවිත් කිරිබණ්ඩා මාමාට බැනලා මට කන්න එහෙම දෙනවා . ඒ නිසා මම දන්නවා අප්පුහාමි මාමා මට ගොඩක් ආදරෙයි කියල . මමත් කොච්චර විසේ කරගෙන හිටියත් අප්පුහාමි මාමාට කරදර කරේ නෑ . මම කැලේ හිටියනම් මගේ දල දෙකේ ප්‍රමානෙ දකින මිනිස්සු මාව මරලා දල දෙක කපලා අරගෙන ගිහින් . මාව බේරුනේ වලව්වට ආව නිසා . අම්මා තාත්තා දෙන්නගෙන් වෙන් වෙන්න උනත් මට තියෙන පොඩි හරි සැනසීම ඒක තමයි . අනික අප්පුහාමි මාමා මගෙන් වැඩ ගත්තේ නෑ , කේක් ගෙඩිය වගේ මම එහෙම මෙහෙ වැනි වැනී . කකා බිබී ආතල් එකේ හිටියා .

තව කතාවක් අමතක උනා . මම පෙරහරේ යනකොට මට ටොපි කන්න ඕන . කිරිබණ්ඩා මාමා ටොපි 100ක් විතර අරගෙන ඉන්නේ . මම කිරිබණ්ඩා මාමාගේ මූණ දිහා බැලුවම එයා මගේ කටට ටොපියක් දානවා . ඊට පස්සේ මම ඒක කකා යනවා . කොහේ පෙරහරකට ගියත් මට ටොපි ඕනම තමයි .

මම අඩි එකොලහාමාරක් උසයි .මගේ දල දෙක එලියට අඩි හතහමාරක් විතර . නහය අයිනේ උඩට තියෙන ටිකත් එක්ක බැලුවම අඩි නවයක් විතර දලයක්  දිගයි . මාරයි නෙහ් ? .

මට අවුරුදු 70ක් 75ක් විතර වෙනකොට හයිය කෑම ජාති කන්න බැරිඋනා . මම වයස නිසා මගේ දත් දිරලා තිබුනේ . දොස්තර මාමලා මාව බලන්න ඇවිත් අප්පුහාමි මාමාට කිව්වා මට හයිය අඩු කෑම දෙන්න කියලා . හයිය අඩු කිව්වේ ආයිබොවන් මම කලින් කෑවේ යකඩ කොන්කිරිට් නෙවේ . කිතුල් කොටන් පොල් බඩ එහෙම නැතුව කොළ ජාති දෙන්න කියලා කිව්වේ  . ඉතින් ඊට පස්සේ මම කෑවේ කොළ ජාති තමයි . හොඳ හොඳ කෑම කකා ඉඳල කොළ ජාති කන්න ගත්තම මගේ ඇඟ කෙට්ටු උනා . මට එරමුදු කොළ පෝටා වැල් වගේම දොස්තර මාමලා කියපු විටමින් ජාතිත් අප්පුහාමි මාමාගේ පවුලේ උදවිය සල්ලි වියදම් කර කර ගෙනත් දුන්නා .

මම එහෙම ඉන්න කාලේ සමහරවිට අප්පුහාමි මාමට තේරෙන ඇති මම දැන් මේ ලෝකෙන් යන්න ලංවෙලා කියලා . මට සිහිකල්පනාව තියෙන ටිකක් ඇඟ කෙලින් කරන ඉන්න පුළුවන් කාලේ අප්පුහාමි මාමා වලව්වට හාමුදුරුවරු 20ක් විතර වඩම්මලා මට පිරිත් කිව්වා .


                     

එදා හාමුදුරුවෝ බන කියත්දී තමයි මම දැනගත්තේ මගේ කුලය බුදුබව ප්‍රාර්ථනා කරන බෝසතුන්ගේ කුලයක් කියලා. මම පිරිත් නූල හොඩෙන් අල්ලාගෙන හිටියා පිරිත් කියලා ඉවරවෙනකන් . පස්සේ හාමුදුරුවන්ට පූජා කරන්න තියෙන අටපිරිකරට මම හොඩය තියලා ඒ පින් අනුමෝදන් කරගත්තා . එදා මාව බලන්න ටීවී එකේ මාමලාත් ඇවිල්ලා හිටියා .

මට ඊට පස්සේ දළදා පෙරහරට යන්න උනෙත් නෑ . ටික ටික මාව දුර්වල උනා . මම ටයර් කීපයක් උඩ ඔලුව තියාගෙන දවස් ගානක් හිටියා . මට අප්පුහාමි මාමලා කෑම එහෙම අඩුවක් නැතුව ගෙනත් දුන්නා . එත් මට කන්න පිරියක් තිබ්බේ නෑ . ජීවිතේ ඉවර වෙනකොට මොන කෑමද ? . මරණ මන්චකේදී මට මොහොතකට අම්මා මතක් උනා . දැන් අම්මා ජීවතුන් අතර නැතුව ඇති . තාත්තාත් නැතුව ඇති . මටත් මේ ඇවිත්  තියෙන්නේ එයාලා ඉන්න දිහාවට යන්න අවස්ථාව . එත් අප්පුහාමි මාමලාගේ ගෙදර අයයි මාව බලාගත්ත කිරිබණ්ඩා මාමා සහ අනිත් මාමලාත් එක්කම ගල්කුලමා, රාජා, මැණිකේ ,  හැමෝම මම දිහා බලාගෙන ඉන්නේ මට ආදරෙන් මාව තව දවසක් හරි ජීවත් කරවා ගන්න .


එත් නික්මයන්න කාලය උදා උනා . අවුරුදු ගානක් ඇවිදපු දැකපු මගේ කකුල්වලට තැලුණු මේ ගෙදර , අප්පුහාමි මාමලා ,මාව බලාගත්ත කිරිබණ්ඩා මාමා හැමෝම දාලා යන්න කාලය ආවා . මම 2011 ජූලි 30 වෙනිදා තීරණය කළා තවත් දුක් විඳ විඳ මේ අයට කරදර කරනවාට වඩා හොඳයි මේ ලෝකෙන් නික්මෙන එක කියලා .



අප්පුහාමි මාමා දිහාත් කිරිබණ්ඩා මාමා දිහාත් බලලා මගේ ඇස්වලින් කඳුළු ආවා . මට කවදාවත් මෙහෙම සලකන කෙනෙක් ආයේ ලැබෙන එකක් නෑ . මම ඇස් පියාගත්තා  . ටික ටික මට දැනුනා මගේ ශරීරයෙන් එලියට මාව ඇදිලා යනවා වගේ . මට හරිම සැහැල්ලුවක් දැනුනා . මට මගේ සිරුර , මගේ සිරුර වටේ රැස්වෙලා ඉන්න අය දකින්න ලැබුනා .මම මැරුණා කියලා එදා ලංකාවේ ප්‍රධාන පුවත් වලට කිව්වා .



මගේ ආත්මය සිරුරෙන් වෙන්වෙලා . අප්පුහාමි මාමගේ ඇස්වල කඳුළු . අප්පුහාමි මාමලා මගේ දේහයට අවසන් කටයුතු කරලා පාන්සකූල දීලා මගේ දේහයේ හම වෙන්කරලා අරගෙන මස් ටික වලදම්මා .
දලදාමාලිගාවේ  රාජා අයියා වගේ මගේ දේහයත් පුළුන් පුරෝලා හදන්න අප්පුහාමි මාමලාගේ ගෙදර අය තීරණය කරලා .

මගේ දේහය දැන් පුළුන් පුරෝලා වලව්වේ තැම්පත් කරලා තියෙනවා . කාටත් බලාගන්න පුළුවන් .

මගේ ආත්මය තාමත් සැරිසරමින් ඉන්නවා . සමහරවිට මගේ ආත්මය දැන් ම් පොස්ට් එක කියවන ඔයා ගාව වෙන්න පුළුවන් .මම වෙලාවකට වලව්වට ගිහින් අප්පුහාමි මාමාත් කිරිබණ්ඩා මාමාත් බලලා එනවා . මගේ අලි යාලුවන්ව බලන්න පින්නවල , උඩවලවේ , නැදුන්ගමුවේ පැත්තේ යනවා . මම ජීවත් වෙලා හිටපු කාලේ මැරුණු බෝතලේ වලව්වේ රාජා මල්ලි දළදා මාලිගාවේ රාජා අයියා එහෙම මට මේ ලෝකෙදි හම්බවෙන්න පුළුවන් උනා . එයාල එක්ක කතා කරන්න පුළුවන් උනා . එයාලා එයාලගේ ලෝකයට මාව ආදරෙන් පිළිගත්තා . ඉස්සර ගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ හිටියා කියලා අපේ අම්මා මට කියන කඩොල් ඇතා සීයා එහමත් මට හම්බෙන්න පුළුවන් උනා .

මම තව කාලයක් ඉපදෙන්නේ නැතුවම මෙහෙමම ඉන්නවා . අලි ඇතුන් පරිස්සම් කරන්න මගේ ආත්මයෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම මම කරනවා .

දැන් ඉතින් දන්නවා ඇතිනේ මම කවුද කියලා . මම කෑගල්ලේ මොලගොඩ ගමේ ජීවත් උන ආසියාවේ දිගම දල දෙකේ හිමිකරු වගේම අලි ඇතුන්ට ආදරේ කරන අයගේ හිත් තුලට සදා නොමියන මතකයක්  එක්කල                

                                           මිල්ලන්ගොඩ වලව්වේ  මිල්ලන්ගොඩ රාජා . 


නපුරු පාට උනාට මම නපුරු නෑ හොඳේ .


මේ මගේ මරණෙට පාන්සකූලේ දෙන වෙලාවේ 



මමගැන දන්න නොදන්න හැමෝම කමෙන්ට් කරලා යන්නකෝ . 

එහෙනම් හැමෝටම සමන් දෙවිඳුගේ පිහිටයි !

Friday, May 24, 2013

සුඛෝ බුද්ධානං උප්පාදෝ ......!



ඔබ සැමට සිරි සුභ වෙසක් මංගල්‍යක් වේවා.....!




Thursday, May 23, 2013

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු


මේ දවස්වල දහසක් වැඩ එපා වෙන්නම.වෙලාවේ හැටියට පොස්ට් එකක් දෙකක් ලියමු. එහෙනම් කතාව මෙසේය.

කළාකරුවෙකු, ගී පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් පිටපත් කියවන්නෙකු, පුවත්පතට ලිපි ලියන්නෙකු ආදී වශයෙන් විවිධ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තම ප්‍රතිභාව විදහා දැක්වූ නිරහංකාර සොඳුරු මිනිසෙකුගේ නමක් කියන්න කිව්වොත් අපිට ක්ෂණිකව මතකයට එන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවානන්. එතුමා ගැන විස්තරයක් දීර්ඝ වශයෙන් මතුවට ලියන්න ඉතුරුකරගෙන මම යන්නම් අද මම කියන්න යන එතුමා අතින් බිහිවුණු ගීතවලට.



මේකේ කතා දෙකක් මම දැනට අහලා තියෙයි. කතා දෙකේම හරය ගත්තම ඉතිං එකම අදහස.
මේවා ඉතිං මොකක් ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.සමහරවිට දෙකම බොරුවෙන්නත් පුළුවන්.කොහොම හොයන්නද ඇත්තමද කියලා. මොකද මේ වගේ පෞද්ගලික දෙයක් කවදාවත් කවුරුවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන නිසා.යමුකෝ කතාවට.

කතා අංක එක :
ඉතිං ඔන්න ප්‍රේමකීර්ති මහත්තයා හොඳටම දන්න අඳුරන හිතවතෙක් එයාගේ පළමු කසාදයේ බිරිඳ එක්ක ජීවත්වන කාලේ. දෙන්න කසාද බැඳලා සැපසේ නිදහසේ ඉතිං ජීවත් වුනාලු. ඔහොම ඉන්න අතරේ ටික දවසකින් අර හිතවතාට තේරෙනවලු බිරිඳගේ වෙනසක්.
කලින් තිබුණු ආදරය, දයාව වෙනුවට ඇයට දැන් මොහුව නුරුස්සනා ගතියෙන් වගේලු හිටියේ. ගෑනු උදවියට විතරක් නෙවෙයිනේ ඔය ඉව තියෙනවා කියන්නේ පිරිමින්ටත් ඉව තියෙනවලුනේ. ඉතිං මේ ඔහුත් පොඩ්ඩක් විමසිල්ලෙන් හිටියලු.
දවසක් මේ හිතවතා පත්තර බලමින් ඉස්තෝප්පුවේ ඉන්නවලු. බිරිඳත් මිදුල අතුගාන්නට පටන්ගත්තලු. ටිකවෙලාවකින් හොරෙන් බිරිඳ දෙස විපරම් කරන ඔහුට පේනවලු ඇය ලැජ්ජාවෙන් හිනාවෙනවා, කෝල වෙනවා. බැලුවහම අල්ලපු ගෙදර මනුස්සයා එහා වත්තේ ඉඳන් ඔහුගේ බිරිඳට ඔහුට හොරෙන් ඉඟි කරනවලු.
ඒ සිද්ධිය පාදක කරගෙන ප්‍රේමකීර්තියන් මේ ගීතය ලිව්වලු.

කතා අංක දෙක:
මේකෙත් කලින් විදියමයි වෙනස තියෙන්නේ අහුවුණු අකාරය. මේකෙදි දවසක් අර හිතවතා වේලාසන වැඩ ඇරිලා (හෝ වැඩ තහනමකට ලක්ව) බිරිඳට කලින් දැනුම් දීමක් නැතුව ගෙදර එනවලු. එහෙම එන ගමන් දුම්වැටියක් අරගන්න නිවස අසලම තිබුණු කඩේට ගියාලු. අවශ්‍ය බඩුත් අරගෙන ගෙදරට යන්න හදනකොට මුදලාලි කිව්වලු
"මහත්තයා දැන්ම යන්න එපා ගෙදර ටිකක් පරක්කු කරලා යන්න" කියලා.
ඔහොම් කිව්වම ඉතිං කව්ද ගෙදර නොයා ඉන්නේ. ඔහුත් එහෙම යනකොට ඉක්මන් කරලා බිරිඳ එනවලු ගේ ඇතුලේ සිට, තනියම නෙවෙයි එහා ගෙදර මනුස්සයා එක්ක. ඒක අනුව පසුව මේ ගීතය බිහිවුනාලු.

මොකක්ද මේ ගීතය ?
සංගීතය නිර්මාණය කරලා මේ ගීතය ගයන්නේ වික්ටර් රත්නායකයන්.



 



සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ඝනඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ


මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

 

තේරෙනවා නේද ගීතය. පලවෙනි අන්තරා කොටසින් අර කිව්ව අසල්වාසියා ගැන හී සර පහරක් ගැන කියනවා. මේ සිද්ධියෙන් පීඩා විඳින සැමියාට මේ රහස කාටවත් කියන්න බෑ. ඒ නිසා ඔහු කියනවා රහස අහසට අපි පවරමු. ඔහුගේ තියෙන උපේක්ෂා සහගත බව, පරිත්‍යාගය. අපි වෙන් වෙමු.මේ සිද්ධියෙන් පස්සේ ඔහු බිරිඳව අත්හරිනවා. පසුව ඔහු දෙවැනි විවාහයක් කරගන්නවා.

කෙසේ නමුත් ඊට කලින් ඒ කිව්වේ දික්කසාද වෙන්න කලින් මේ සිද්ධිය නිසා ඇතිවන ප්‍රශ්නයෙන් පස්සේ ඔහු මුලින්ම ගේ අතහැර යනවලු. සමහර අය කියනවා මුලින්ම ගෙදර ආවේ හොඳටම බීලලු. පස්සේ පස්සේ ගෙදර යන එක නතරකලාලු. එතකොට ඒ දෙන්නගේ දුව ? කිසි දෙයක් නොතේරෙන ඒ දරුවා අම්මගෙන් අහනවා කෝ තාත්තා කියලා. අම්ම මොකද කියන්නේ ?

ගීතය ගයන්නේ මාලිනී බුලත්සිංහලයන්.



සංගීතය ඔස්ටින් මුණසිංහයන්.



මේකයි ගීතය.

 




මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

වැලි පොල්කටුයි හැඳී රෑනයි පෙරලාලා
මිදුලේ වැටුනු කොළ සේරම අතුගාලා
ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එලිවන තුරා ඉමු මිදුලට වීලා


හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳීමු

 

මේ ගීතයේ සුපිරිම විචාරයක් මෙතන තියෙයි.කියවලා බලන්න.

සමහර කියනවා මේ දෙවෙනි ගීතය මේ මුල් සිද්ධියට අදාළ නෑ කියලා. වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඇත්තටම ප්‍රේමකීර්තියන්ගේ අත්දැකීමක් කියනවා. ඒකත් වෙන්න පුළුවන්. :D දන්නෝ දනිති. දැන්නම් නොදන්නොත් දනිති වගේ තමයි. (තාමත් ටියුබ් ලයිට් ඉන්නට පුළුවන් ;) ).
ඉතිං මෙතුමා ගැන මේ වගේ දුක්බර නැති ඒත් මීට වඩා රසබර සිද්ධීන් ගොඩක් එක්ක වෙනත් ලිපියකින් වෙනත් දවසක හමුවෙනකම් ගිහින් එන්නම්.

Tuesday, May 21, 2013

හැඟුම් අවදිව මැවුණු ඇයගේ කවිකම







පොස්ටුවක් කොටන්න ගත්තම හිත යන්නෙම අතීතෙට .

මේකත් එහෙම අවස්ථාවක් . ගජමන් නෝනා ගැන ටීවී එකේ ටෙලි නාට්‍යක් විකාශනය උනා බලපු යට මතක ඇති . ඔය උඩ තියෙන ගීතය ඒකෙ තේමා ගීතය . ඉතින් මේ ටෙලි නාට්ටිය ගැන අපිට දැන ගන්න ලැබෙන්නේ ඒක පටිගත කරන කාලෙමයි .

මේ ටෙලි නාට්ටිය පටිගත කිරීම් කරලා තියෙන්නේ තංගල්ල පැත්තේ ගමක . මගේ ආච්චිඅම්මගේ සහෝදරියක් හිටියා එහේ . ඒ ගෙදර දකුණේ සම්ප්‍රදායට හදලා තිබුණු පරණ ගෘහ භාණ්ඩ සැලකියයුතු ප්‍රමාණයක් තිබුණා . ඉතින් මේ ටෙලි නාට්ටිය රූගත කරන්න ලොකේෂන් බැක්ග්‍රවුන්ඩ් හදනකොට ඒ ගෙදර ගෘහ භාණ්ඩ අරගෙන තිබුණා . විශේෂයෙන්ම ටෙලිනාට්ටියේ ගජමන් නෝනා හැඩ වැඩ වෙන්න හා කවි ලියන්න පාවිච්චි කරන කන්නාඩි මේසයත් ඒ භාණ්ඩ ගොඩට අයත් වෙලා තිබුනා .

ඉතින් එහේ මාමා කෙනෙක් අපිට කිව්වා මෙහෙම කතාවක් රූගත කරනවා ළඟදීම ටීවී එකේ පෙන්නයි කියලා . අපේ ආච්චිඅම්මා තමයි කල් යල් බල බල හිටියේ මේ කතාව බලන්න . මොකද ආච්චි අම්මාගේ ගම මාතර  . අපිත් එහෙ යනවා එනවා . ඒ යනකොට නොනාගමින් බස් එක හරවනකොට ගජමන් නෝනාගේ පිළිරුව හැමදාම දකිනවා .පොඩි කාලේ මම බස් එකේ වාඩිවෙන්නෙම ගජමන් නෝනගේ පිළිරුව බලන්න පුළුවන් පැත්තේ .

                                     < මේ නෝනගම හංදියේ ගජමන් නෝනාගේ පිළිරුව >



අනික මම හොඳට දැකලා තියෙනවා දකුණේ අය ගමේ කමට සලකන්න හරි කැමතියි . අනිත් අය නොසලකනවා නෙවෙයි . ඒ උනාට දකුණේ අයගේ ඒ ගතිය විශේෂයෙන් කැපිලා පේනවා . ඉතින් ගජමන් නෝනා කිව්වම අපේ ආච්චිට හෙන හැපී . ඊට වඩා අර අපේ නෑයෝ වෙන අයගේ ගෙදර තියෙන ඒවා අපි ටීවී එකෙන් දකිනකොටත් පොඩි සිඟිති ආතල් එකක් තියෙනවනේ .

ඔන්න ඔහොම ටික කාලෙකින් ඉතින් ටෙලි නාට්ටිය ටෙලිකාස්ට් වෙන කාලේ ආවා . අපේ ගෙදර හැමෝම බලනවා ඒක . අපිට ඒ කාලේ තිබුනේ රූපවාහිනී ලංකාවට ආපුම කාලේ ගත්ත කලුසුදු රූපවාහිනියක් . ඉතින් ටෙලි නාට්ටිය ඒ රූපවාහිනියෙන් පෙනුනේ පරණ පාට ඉස්මතුවෙලා පේන විදියට . මම එතකොට මට මතක හැටියට තුන වසරේ . කොහොම හරි අම්මගේ උකුලට වෙලා කතාව බැලුවා මතකයි . ජාතික  රූපවාහිනියේ සඳුදා රෑ 8 30 ට තමයි ඒකාලේ ඕක පෙන්නුවේ . හිහ් හිහ් හිහ් . දැන් බලනවා ඇති මුට ඒවත් මතකයි කියලා . ඔව් මම ඒ තරම් ඒ ටෙලි නාට්ටියට ඇලී ගැලී ගිලී බැලුවේ .

ගජමන් නොනා ගැන කතා ටිකක් කියන්නම් . කවිනම් සීමා සහිතව දාලා තියෙන්නේ පොස්ටුව දිගවෙන නිසා.
මම ලංකාවේ කවි ගැන වෙනමම ලියන්න ඉන්නේ . එතකොට ගජමන් නෝනාගේ කවි ගැන දෙන්නම් ඇට්ටි හැලෙන්න .

ගජමන් නෝනා ඉපදිලා තියෙන්නේ 1746 මාර්තු 10 වැනිදා පස්වරු 2 ට.ගජමන් නෝනාගේ අප්පොච්චා සිංහල හොඳට ඉගෙනගත්ත උන්නැහේ කෙනෙක්.එයාට කිව්වේ ගජමන් ආරච්චි කියලා.ඒ කියන්නේ තාත්තා ආරච්චි කෙනෙක්.අම්මා ගුරුවරියක්.ගජමන් නෝනා ඉගෙනගෙන තියෙන්නේ මුලින්ම මිලාගිරියේ පල්ලියෙන්.ඊටපස්සේ කොරතොට නායක හාමුදුරුවන්ගෙන් සිංහල , කවි , වගේ දේවල් ගැන ඉගෙනගත්තලු.

පොඩිකාලේ ගජමන් නෝනාගේ නම දෝන ඉසබෙලා කොරනේලියා.පස්සේ කාලෙකදී තමයි තාත්තාගේ නම අල්ලගෙන ගජමන් නෝනා කියලා නම වැටිලා තියෙන්නේ. මිලාගිරිය පල්ලියෙන් මෙතුමිය ප්‍රාථමික අධ්‍යාපනයක් ලබලා තියෙනවා . මිලාගිරිය තෝම්බුවේ ගජමන් නෝනා බෞතිස්ම කල වගට ලියවිලා තියෙනවා . පස්සේ කාලෙකදී ගජමන් ආරච්චිට රාජකාරි වලට රත්නපුරේ කහවත්තට එන්න වෙනවා .ඊට පස්සේ ගජමන් ආරච්චිට මාතර තෝම්බුව භාර වෙනවා. මාතර වේරගම්පිට තුප්පහිවත්තට මෙයාලා  පදිංචියට එනවා .  ගමට ආවම ගජමන් නෝනා වේරගම්පිට පන්සලෙන් ඉගෙන ගන්න යනවා . පන්සලෙන් ගෑනු ළමයින්ට ඉගෙන ගන්න තහංචි නිසා පිරිමි ළමයෙක් විදියට මෙයා වෙස් වලාගෙන තමයි ඉගෙන ගන්න යන්නේ  . ඉගෙන ගෙන තියෙන්නේ හිටිනාමලුවේ ජෝතිරතන සහ කොරතොට ධර්මාරාම ස්වාමීන් වහන්සේලාගෙන් .

කොරතොට හාමුදුරුවෝ හිරභාරයට නියම වෙනවා . ඊට පස්සේ පන්සලෙන් ලබපු අධ්‍යාපනය නතර වෙනවා . දැන් ගජමන් නෝනා විවාහ වෙන වයසට ඇවිත් ඉන්නේ . ගජමන් නෝනාට ඒ කොරතොට පන්සලේ ඇලපාත කියලා හාමුදුරු කෙනෙක් හිතින් ආදරේ කරනවා . පස්සේ ඒ නිසාම හාමුදුරුවෝ සිවුරු අරිනවා . එතුමාට රත්නපුරේ ඇලපාත ගම සහ මුදලි පට්ටමක් හම්බෙනවා . ගජමන් නෝනා එත් ඇලපාත මුදලි සමග විවාහ වෙන්න කැමති වෙන්නේ නෑ . ගජමන් ආරච්ච්චි ගජමන් නෝනට විවාහයක් කරලා දෙනවා . එත් ගජමන් නෝනා ඇලපාත මුදලි තුමා එක්ක හී..........නියට කනෙක්ෂන් එක තියාගෙන හිටියේ .

ගජමන් නෝනා ඉස්සෙලාම කරකාර බැන්දේ “ මෙරෙන්චිගේ ගාර්දියෙස් ” කියලා එක්කෙනෙක්.මුල කාලේ දෙන්නා හොඳට ඉඳලා පස්සේ කාලෙකදී ගජමන් නෝනගේ කවි ලව් හුටපට ගැන දැනගෙන හිතේ අමාරුවටම ලෙඩවෙලා අන්තිමට ගාර්දියෙස් තීන්දු ගමන් ගොහින්.එතකොට ගජමන් නෝනට එක ළමයෙක් ඉඳලා තියෙනවා.

ගජමන් නෝනා නිකන් ඉඳලා නෑ.දෙවෙනි පාරටත් මගුලක් කරගෙන.කරගෙන කියන්නේ තාත්තා බලෙන්ම කරවලා දීලා.මේ කසාදෙනම් නැගලා ගිහින් තියෙනවා. බැඳලා තියෙන්නේ මුහන්දිරම් කෙනෙක්.
ගජමන් නෝනා ඒ මුහන්දිරම් තුමා එක්ක සෙට් වෙන්න කලින් මුහන්දිරම් තුමා, තමාට  ගජමන් නෝනා කැමතිද බලන්නත් එක්ක මෙන්න මෙහෙම කවියක් එව්වලු.

මුලින් බැඳුනමුත් දැඩි පෙමයක්         හදේ
කෙමෙන් එය නැතිවී නුඹ සිටි නිසා   තදේ
මෙදැන් කියමි කරුණක් දැනගන්ට හොඳේ
නිවන් දකින තුරු මට නුඹ එපා          ලඳේ

ගජමන් නෝනා මුහන්දිරම් උන්නැහේට කැමතිවෙලා හිටපු නිසා මෙහෙම කවියක් තල්පතක ලියලා යැව්වලු.

මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම        හදේ
කෙමෙන් එය දැඩිවි අලි කළු ගලක් ලෙදේ
මෙදැන් ඔබගෙ බස මොන පුදුමයද    වදේ
නිවන් දකින තුරු මා හැර කව්ද      හොඳේ

ඕන්ඔහොම වැඩේ සෙට් වෙලා ගජමන් නෝනා දෙවෙනි පාරටත් මගුල් කෑවා.
ඒ වෙනකොටත් ගජමන් නෝනට කවි ලව් තිබිලා තියෙනවා.ලව් කියලා නැගලා ගිහින් තිබ්බේ ඇලපාත මුදලි එක්ක තිබ්බ ලව.අනිත් ඒවා ගොන් ආතල් වගේ ඒවා. භාෂාත්මක යෙදුම් ඒ කවිවල ගැබ් වෙලා තිබුනා මිස ඒ ලව් සාර්ථක උනේ නම් නෑ . එත් වාසනාවට මුහන්දිරම් උන්නැහේට මොකවත්  මාට්ටු වෙලා නෑ.

මගුලක් කෑවට මේ මුහන්දිරම් උන්නැහේ වල පයයි ගොඩ පයයි වයසක ඉඳලා තියෙන්නේ . කාලයක් යනකොට  මේ මුහන්දිරම් උන්නැහෙත් ලෙඩවෙලා තීන්දු ගමන් යනවා.ගජමන් නෝනා ළමයි හතර දෙනෙක් එක්ක තනි වෙනවා.ජීවිතේ ගොඩක් අමාරු කාලයක් තමා නෝනට මේ ආවේ....

අනේ ඉතින් පිරිමි ජාතියේ  උතුම්කම කියන්නේ , තනිවෙලා ඉන්නවා බලාගෙන ඉන්න බැරි දුකට ගජමන් නෝනට විවාහ යෝජනා ගෙනාවා. කවි කරන්න උපන් හපන්කම් තිබ්බ නෝනට මේ යෝජනා ගේන්නෙත් කවි වලින්ම තමයි.

මේ කවිය ඉන්නම බැරිතැන ගජමන් නෝනට එවලා තියෙන්නේ කරල පැහීගෙන එන හාමුදුරු කෙනෙක්.

රති රුති ළඳ ලියෙනි අප අසන පැන       කිය
නැතිවිය බාල කාලේ සිට රති            කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු            අවදිය
රති සැප විඳින සැටි මට කියව ළඳ           ලිය

ඉතින් ගජමන් නෝනා දුන්නලු මෙහෙම රිප්ලයි එකක්.

වහා තිබු සළුව උනමින් කර          අහකා
රහා ලෙස අමුතු බොජුනක් බුදින     ලකා
පහා නොව හඬන කොවිලිඳු හඬ    වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස්   කකා

මිරිස් කෑවම අපේ කටවල් වලින් එන ටෝන් එක ගැන වෙන්නැති මේ කියන්නේ.ඔන්න අපිනම් දන්නේ නෑ....
අපි නෙවේ මම මම . මම හරි අහිංසක පොඩි ළමයෙක් .

තව දවසක් කවුද මුදීයන්සේ කෙනෙක් ගජමන් නෝනට මෙහෙම කවියක් එවලා....

රූ බර දිගැසියන් වෙල් මැදට      බසිමිනේ
ආදරයෙන් කරල් මිටි රැගෙන යන  තැනේ
වා සැරයෙන් ඉන ඇඳි වත ඉවත්       උනේ
වානර මුවසේ නැබමුල සුරති ගති   පෙනේ

ඉතින් ගජමන් නෝනා මල පැනලා මෙහෙම රිප්ලයි කවියක් යැව්වලු

කේසර එන්ට පළමුව ගජිදුගෙ          දක්සේ
වේසර හට  උවොත් කුරුලුට වෙයි   දුක්සේ
ඒ  සැර ලියෝ ඇසුවොත් මේ වග     දක්සේ
වානර මුව උලති හම යනතුරු       හොස්සේ


එක මල් කුමාරයෙක් ගජමන් නෝනට සිරාවටම ලව් කරන්න අරගෙන මේ කවිය ලියපු  සෙනෙහෙ කොලේ  පෝස්ට් කරාලු නෝනගේ අතටම.


අවාසනා දුක් දොම්නස්              දුරලන්නම්
මවා නදුන් වන සුර සැප ගෙන      දෙන්නම්
හොවා පෙම් යහන රුති ලෙස    සරසන්නම්
ලොවාසින් හමුවේ දවසක        කැඳවන්නම්

ගජමන් නෝනාට ආයෙත් කසාදයක් කරගන්න ඕනෑකමක් තිබිලා නෑ. මල් කුමාරයට මෙහෙම කවියකින් ගජමන් නෝනා අකමැත්ත කියනවා.

ලොවාසින් හමුවේ කැඳවුව    පතාලා
මුවා වෙලා පහසට සිත         වනාලා
අවාසනා ගෙන ගුණදම්         නසාලා
නොවාසනාවන් තොප වැනි    එකාලා

නෝනා අකමැති උන නිසා මල් කුමාරයට මල පනිනවා. මල පැනලා මේ කවිය එවනවා.

ආසාවක් විමසුවට යමෙකුගේ            ඇතී
රෝසා වෙමින් යකිනිය මෙන් දරුණු  ඇතී
දෝසා පවරතොත් නොතකා තරුණ   ගතී
වේසාවියෙකි ඇය කිසි ගුණ දමක්     නැතී

මේ පාරනම් නෝනටත් සුපිරියටම මල

ආසා කර මෙමට නොව නොකියන   දේට
වේසා කම කියන සුපුරුදු            වරිගේට
මේසා රුදුරු අවගුණ තොප         වැදුවාට
දෝසා පවරපිය තොගේ මහ          ගැනීට

අම්මාව මතක් කරපුගමන්  මල් කුමාරයා එතනින් ශේප් උනාලු.ආයෙත් ගජමන් නෝනට සෙනෙහෙ කොළ එවලා නෑ.

මේ කවි කෙරුවාවෙන් ගජමන් නෝනා සමහරවිට මානසික තෘප්තියක් ලබන්න ඇති.එත් මේ පහල තියෙන  කවි දෙක  කියවපුවම  ගජමන් නෝනා කොච්චර අසරණ තත්වෙක ඉඳලා , ඒ කාලේ කුප්පමේනියාව තියෙන අයගෙන් කොහොම බේරුනාද කියලා හිතා ගන්න පුළුවන්.

මේ කවිය ගජමන් නෝනගේ හංස විලට වහවැටුණු මුදීයන්සේ කෙනෙක් ගජමන් නෝනට එවපු එකක්.

පන්නා පත් තිරිඳු රිවි උදය          වේලක
දෙන්නා සමග ගොස් ඉඳ අරණ    ගාලක
පන්න මදන බිතයෙන් ඉඳ නොවී    සැක
පෙන්නාපන් ලඳේ තුනුවිල         දවාලක

ගජමන් නෝනා මේ කවියෙන් දෙනවා ආයෙත් හංස විල් නෙවේ කපුටු පිහාට්ටක් දිහාවත් හැරෙන්නේ නැතිවෙන්න .

තුනුවිල බලන්නට මුගේ සිත වෙලා දුක
තුනුවිල තලන්නට සිතුනිය       දවාලක
තුනුවිල මැකිල අඹුවගෙවූ        මුලාවක
තුනුවිල බලාපිය අම්මගේ         දවාලක

මේවා මෙහෙම සිද්ද උනාට ගජමන් නෝනත් ටිකක් කැමැත්තෙන් වගේ කවි හුවමාරු කරගෙන තියෙන්නේ ඇලපාත මුදලි තුමා එක්ක. කලින් කිව්වා වගේම උන්නැහේ කලින් මහණවෙලා හිටපු ස්වාමින්වහන්සේ කෙනෙක්. කොරතොට නායක හාමුදුරුවන්ගෙන් කවි සාත්තරේ  ඉගෙනගන්න ගජමන් නෝනා එනකාලේ මේ ඇලපාත මුදලි තුමත් ඒ පන්සලේ ඉඳලා කොහොමහරි ගජමන් නෝනා දැක්කම මල් මල් හැඟුම් පහලවෙලා ඇලපාත හාමුදුරුවෝ සිවුරු අරිනවා ගජමන් නෝනාව සහේට ගන්න. එත් ගජමන් නෝනා කැමතිවෙන්නේ නෑ.

ගතින් නොබැදුනත් දිවිය පුරා අපි සිනාසෙමු කියලා මේ දෙන්නා කවි හුවමාරු කරමින් ආදරේ කරලා  තියෙනවා කියලා දෙන්නගේ කවි දැක්කම හිතාගන්න පුළුවන්.

ඇලපාත මුදලි

උස්සා කර බලුව දුටුදා සිත            නෙතට
උත්සා කරන වගකුත් නැහැ පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියේ ගේ        තුලට
ඇස්වහ වදිනවද දුටුවම මුණ               මට

ගජමන් නෝනා

සිත පවා නොවන පදරුත් ගෙන දුන්න
සිත පෙමා වසන සරසවි මන   මෙන්න
සිත පෙමා කරන මැතිඳුනි සුප    සන්න  
මම පමා උනයි නොසතුටු නොම වන්න

ඇලපාත මුදලි

කිව් මෙනේ තදිනි දුක්මුසු         විලාපා
ඇයි අනේ කුමට දෙන්නේද    මෙතාපා
වෙයි සෙනේ මසිත නුඹ වෙත  මනාපා
ඇයි පනේ ඔහොම නොකියන් සරූපා

ගජමන් නෝනා

ආදරේ බැරිය ඉවසාගෙන  ඉන්ට
සාගරේ බැරිය පීනා ගොඩ  යන්ට
මේ සැරේ දීපු දුක ඇත දැනගන්ට
ආදරේ මොකද ඔයහැටි  ගෑණුන්ට

මෙන්න මේ වගේ කවි ගොඩක් දෙන්නා හුවමාරු කරගෙන තියෙනවා. ඒවා කියෙව්වම හිතෙන්නේ වෙලාවකට, ගජමන් නෝනා මුදලි තුමාට කැමතියි අකමැතියි වගේ ඉඳලා තියෙනවා කියලා. එත් දෙන්නා එකතු උනේ නැති නිසා අන්තිමට මුදලිතුමා රත්නපුරේ ඇලපාත කියන ගමට ඇවිත් වලව්වක් හදාගෙන කුමාරිහාමි කෙනෙක් මැරී කරලා ජීවත් උනා. අදටත් වලව්වේ පරපුර ජීවත් වෙනවා. එත් කවි ලියන අයනම් නෑ.

ගජමන් නෝනට  අනිත් අය ලව් කරාට, ගජමන් නෝනගෙ හිතට මේ ඉලව් එච්චර වදින්න නැතුව ඇති.මොකද මේ වෙනකොට නෝනගේ තාත්තා ඒ කියන්නේ ගජමන් ආරච්චි අලියෙකුගේ සාහසික පහරකින් පරලෝ සැපත් වෙලා.දෙවෙනි  හස්බන්ඩත් මැරිලා.ලොකු ළමයි හතර දෙනෙකුත් ඉන්නවා. පස්සේ ගජමන් නෝනා තමන්ගේ ළමයින් එක්ක කොළඹ කොල්ලුපිටියේ ටික කාලයකට ඉඳලා තියෙනවා .

පවුල් ජීවිතයක් ගත කරන්න ආයෙත් ගජමන් නෝනා කොහෙත්ම කැමති වෙන්නේ නෑ.එයා උත්සාහ කලේ කාගේ හරි අනුකම්පාවකින් තමාගේ ළමයින්ට හොඳට උගන්නලා කවලා පොවලා ලොකු මහත් කරගන්න. ඒත් ගොඩක් දෙනෙක් සුදානම් උනේ තමන්ගේ මල්ලි පැංචා සනසවා ගන්න ගජමන් නොනගෙ අසරණ කමින් ප්‍රයෝජන ගන්න.

සමහර අය හදවතින්ම උදව් කරා.තව සමහරඅය ගජමන් නෝනට කියලා කවි ලියවාගෙන කීයක් හරි දීල තියෙනවා. සෙත් කවි , වස් කවි ලියලත් සමහර වෙලාවල් වලදී කීයක් හරි හොයාගෙන තියෙනවා. එත් ළමයි ටික හදාගන්න ඒ සල්ලි මදි උන නිසා

“ සඳ මෙන කවා ඇතිකළ ළම පැටවුන්ට
 අද දින පමණ බත නැත උන් රැක ගන්ට “......

කියලා කවි ටිකක් ලියලා ජෝන් ඩොයිලි කියන සුදු මහත්තයට යවනවා.ඩොයිලි මහත්තයාට සිංහල ඉගෙන ගන්නත් ගජමන් නෝනා හෙල්ප් කරපු නිසා අන්තිමේදී නෝනගේ නඩත්තුවට තංගල්ල පැත්තේ ගමක් පිටින්ම නෝනට පවරලා දෙන්න ඩොයිලි  මහත්තයා කටයුතු කරනවා.

මේ ගම එදා ඉඳන් “ නෝනගම “  කියලා හැඳින්වෙනවා.

                                         < මේ ගජමන් නෝනාගේ මාතර ගෙදර >



මෙහෙම ගමක් පිටින් හම්බුනත් නෝනගේ අන්තිම කාලේ ඒත් දුක් විඳිනවා. තමන්ගේ කියලා හරිහමන් තැනක් තිබුනේ නෑ එතුමියට . එතුමිය ඉතාම අමාරුවෙන් මාතර වේරගම්පිට තමන්ගේ වලව්වට එනවා . වලව්ව ගරා වැටිලා තිබුනේ . සලකන්න කියලා හිටියේ අවිවාහක එක පුතෙක් විතරයි . ගරාවැටිලා තිබුණු වේරගම්පිට වලව්වේ දිරච්ච වැල් ඇඳක 1814 දෙසැම්බර් 15 වෙනිදා මාතර යුගයේ මහා කිවිඳිය , ගජමන් නෝනා තමන්ගේ සිතිවිලි සමුදාය තල්පත් අතරම රඳවලා සදහටම දෙනෙත් පියා ගන්නවා .


තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කල අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරින් අවුරුදු මගුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද

උස්සා කර බැලුවෙ දුටුදා සිට නෙතට
උත්සා කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියෙ ගේ තුළට
ඇස්වා වදිනවද දුටුවම මුහුණ මට

වතාවත් සඳෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතා යුර ගමන යයි වටපිට බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා

පුන් සඳ දෝ මිදුලේ කර කැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට නිදන්නේ
රන් කොල දෝ ඔය ළමයා ගොතන්නේ
පින් මදි දෝ මා ලං කර නොගන්නේ


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා..............!

Sunday, May 19, 2013

පියෙකු නොමැති ලොව





ලොවම නිහඬ වෙන වෙලාව එනකන් බලාගෙන ඉන්නේ හිතට වදින සහ වැදුණු ගීතයක් දෙකක් අහලා නිදාගන්න යන්න . ඊයේ අහම්බෙන් වගේ ඕපන් වෙච්ච ෆෝල්ඩර් එකක තිබුණු ගීතයක් අහලා මතකය ඇදිල ගියේ අවුරුදු හතක අටක් හෝ ඊටත් වඩා පරණ අතීතයකට .

මම ගමේ පාසලෙන් නගරයේ ප්‍රසිද්ද පාසලට ඇවිත් අවුරුද්දු දෙකක් විතර යනකොට අපේ පංතියට අලුතෙන් ළමුන් කීප දෙනෙක්ම එකතු උනා . එයාලා පාසලට එන්න ඉඩ කඩ හොයාගෙන තියෙන්නේ විද්‍යාලයීය ක්‍රීඩා පාසලට ළමුන් බඳවා ගන්න අවස්ථාවේ . ඒ නැතුව ඒ පාසලට ළමුන් ඇතුලත් කරන්න ලේසි උනේ නෑ

මෙහෙම ආව අයගෙන් එකෙක් ටිකක් ඇඟපත තියෙන සද්දන්ත එකෙක් . අනිත් කෙනා බොහොම අහිංසක චරිතයක් . තව ගැහැණු ළමුන් දෙදෙනෙකුත් අපේ පංතියට ඒ එක්කෙම ආවා . මගේ කතාව ගොඩ නැගෙන්නේ පූර්වෝක්ත අහිංසක චරිතය වටා .

පාසලට ආව අය එක්ක අපි ඉක්මනටම සුහද උනා . මොකද අපේ අලුත් අය පරණ අය කියලා වෙනසක් තිබ්බේ නෑ. එකම රොත්තට තමයි පිස්සු කෙලින්නේ . එතකොට මම අට වසරේ . මෙයාලත් ආවේ අට වසරට . මෙහෙම කාලයක් යනකොට තමයි මේ මම කියන සහෝදරයාගේ තාත්තා නෑ කියලා අපි දැනගත්තේ .
අපි ඒ ගැන මොකවත්ම ඒකා එක්ක කතාකලේ නෑ . ඒකව තනිකලෙත් නෑ . සෙට් එකට දාගෙන පිට්ටනියේ සෙල්ලම් කරත් , ඉන්ටවල් එකට බත් කෑවත් ඔක්කොටම එකතුකරගත්තා . අපේ පංතියේ ඒ කාලේ මොනිටර් කෙනෙක් හිටියට දවස ගානේ වෙනම මොනිටර් කෙනෙකුත් පත්උනා නාම ලේඛනයේ පිළිවෙලට . එදාට එයා පන්තියේ වැඩ ටික බලලා හැමදාම ඉන්න මොනිටර්ට උදව් වෙන්න ඕන . ඒවගේම උදේට විනාඩි පහක විතර ඉදිරිපත් කිරීමක් පන්තිය ඉස්සරහා කරන්න ඕන . මේ සහෝදරයා පංතිය ඉස්සරහා ඉදිරිපත් කලේ මේ ගීතය .





අපි හැමෝම දැහැනකට සම වැදිලා වගේ අහගෙන හිටියා . කියන්න වචන නෑ ආයේ සුපිරියටම මේ සහෝදරයා ගීතය ගායනා කළා . එදා තමයි අපි දැනගත්තේ මෙයාට ගීත ගායනා කරන්න පුළුවන් කියලා . මම ඉතින් මේ සහෝදරයා එක්ක කතා කලා ටිකක් කොහොමද මචං කියලා පටන් අරගෙන . ඔහු සංගීතය වෙනමම ඉගෙන ගන්නවා කියලා කිව්වා . ඔහොම ඔහොම කතාකරලා හොඳ යාළුකමක් ඇති උනා .

අපි සංගීත පීරියඩ් වලදී එකට වැඩ කළා . පාඩම් කරන වැඩ ගායනය ,වාදන භාණ්ඩ පුහුණුවීම් එහෙම එකට කළා . මෙහෙම කාලයක් ගත්වෙනකොට අපි දහය වසරට ආවා . ඒ 2005 අවුරුද්දේ .
ඒ අවුරුද්දේ අපේ පාසලේ කළා මංගල්‍යය සංවිධානය වෙමින් තිබුනා .ඒ වෙනුවෙන් විවෘත තරඟාවලියක් පැවැත්වුනා විද්‍යාලයීය දක්ෂතම ගායකයා , ගායිකාව සහ වාදකයා තෝරන්න .

තරඟය අවසානයේ අන්තිමට එකම වයසේ තුන් දෙනෙක් තමයි ප්‍රථම ස්ථාන අරගෙන තිබුනේ . ඒ අතරේ මේ මම කියන සහෝදරයා , තවත් සහෝදරියක් සහ මේ පොස්ට් එක කොටන පුද්ගලයා ඇතුලත්වෙලා තිබුණා .
අපි තුන්දෙනාට වෙන වෙනම ඉදිරිපත්කිරීම් තුනක් කලා මංගල්‍යයේ වෙන්වෙලා තිබුනා . මම තෝරාගත්තේ මේ ගීතය




අර සහෝදරයා තෝරාගත්තේ එයා වෙනුවෙන්ම නිර්මාණය වූ නව නිර්මාණ ගීතයක් . හොඳම ගායිකාව විදියට තේරුණු සහෝදරිය තෝරාගත්තේ ඉතාම සංවේදී ගීතයක් .

2005 පෙබරවාරි හතරවෙනිදා අපේ නගරයේ නිදහස් උත්සවය සඳහා ජාතික ගීය ගායනය හා වාදනය පැවරිලා තිබුනේ අපේ පාසලේ සංගීත අංශයට . ඒ රාජකාරිය ඉවරවෙලා කළා උළෙලට පුහුණුවෙන්න අපි තුන්දෙනා සහ වාදනය ගායනය කරන්න හිටපු හැමෝම අපේ සංගීත මිස්ලගේ ගෙදර ගියා . ඒ මිස්ගේ හස්බන්ඩා සර් සංගීත අධ්‍යාපන අංශයේ ඉහල නිලධාරියෙක් . එතුමාගේ අධීක්ෂණය යටතේ තමයි පුහුණුවීම උනේ . පුහුණුවීම හොඳට කෙරුනා මොකද ප්‍රධාන ආරාධිත අමුත්තා උනේ ජාතික අධ්‍යාපන ආයතනයේ සංගීත අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එඩ්වඩ් ජයකොඩි මහතා නිසාත් එතුමාගේ ගීත කීපයකටත් සංගීතය සපයන්න අපිට ලැබිලා තිබුණු නිසාත් 

එදා ඔන්න ඉස්සෙල්ලාම කට්ටිය මාව ඉස්සරහට දැම්මා . මම ඉතින් මගේ වාදනය (ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්) ඉදිරිපත් කලා . ඒක ශේප් . දැන් අර සහෝදරයාගේ ගීතය ගායනා කෙරුනා . ඒ ගීතයේ ලියවිලා තිබුනේ තාත්තා නැති ළමයෙක් ගැන . මේ සහෝදරයා ඒ ගීතය ඉතාම හැඟුම් බරව එයාගේ හැගීම් යටපත් කරගෙන ගායනා කළා .

ගායිකාවගේ ගීතය ඊට පස්සේ ගායනා කරන්න පටන් ගත්තා . ඒ ගීතයේ ආරම්භක වාදනය ( Introduction ) ආරම්භ කරන්න තිබුනේ මට . මුළු පරිසරයම නිහඬ උනා . වයලීන් එකේ අන්තිම මන්ද්‍ර ස්වරයටම යන්න මේ වාදනය නිර්මාණය වෙලා තිබුනා . ගීතය ගායනා වෙන අතරේ මමත් වයලීන් එක කරගහගෙන ඉන්නකොට තමයි දැක්කේ අර සහෝදරයාගේ ඇස්වල කඳුළු . ටික ටික ඇස්වල දිලිසීම වැඩිවෙනකොට ඒ සහෝදරයා බිම බලා ගන්නවා . ඒවා එහෙමම වෙත්දී අපි අනිත් ගීතත් පුහුණු උනා .

පුහුණුවීම ඉවර වෙනකොට රෑ 11 හෝ 12 විතර . එදා ඒ සර්ලගෙ ගෙදර අපි නැවතුනා . මමයි මේ සහෝදරයයි තව අපේ වයසේ වයලීන් ගහන්න මට සහයවෙන්න ඉන්න සහෝදරයෙකුයි තුන් දෙනාම එක ඇඳක හිටියේ . ටිකක් වෙලා යනකොට එක්කෙනෙක් කතාව පටන් ගත්තා . ඉස්කෝලේ අනංමනං .

ඔහොම ඔහොම යනකොට මේ ගායනා කරන සහෝදරයා එක පාරටම එයාගේ තාත්තා ගැන කියන්න ගත්තා . එයාගේ තාත්තා සබරගමුව මහ සමන් දේවාලයේ මොහොට්ටාල කෙනෙක් . මේ සහෝදරයා ඉස්කෝලෙ එකවසරට භාර දුන්නු දවසේ තමයි තාත්තා මෙලොවින් සමු අරන් තියෙන්නේ . දරුවෝ දෙන්නත් එක්ක තනිඋන අම්මා එයාල වෙනුවෙන් කරපු දේවල් ගොඩක් ඒ සහෝදරයා කිව්වා . අපි මොකුත් නොකියා අහගෙන හිටියා . එයාලට ආර්ථිකය අතින් එච්චරම අග හිඟකම් තිබුනේ නෑ . එත් තාත්තා නැති අඩුව කොහොම මකන්නද . ඒ සහෝදරයා දුකෙන් කතා කලේ, තමා හෙවනක් නැතුව අවුවේ මිරිකෙමින් ජීවිතය ඇදගෙන යන්න දඟලන පුංචි පැළයක් වගේ ජීවත් වෙනවා කියාගෙන .

පොඩිකාලේ එයාව ඉස්කෝලේ එක්ක ගියේ අම්මා . ඒ වගේම එයාගේ හැම දෙයක්ම කලෙත් අම්මා කියල අපිත් එක්ක කිව්වා . සංගීතය ඉගෙන ගන්න එයා අරගෙන තිබ්බ වයලීන් එක දවසක් බස් එකේදී කවුද හොරෙන් අරගෙන ගිහින් තිබුනා . ඒ වගේ දුක්මුසු කතා ගොඩක් අපිට අහන්න ලැබුනා . අපි කතාව වෙන පැත්තකට හරවන්න හැදුවත් මේ සහෝදරයා "අහපන්කෝ අහපන්කෝ" කියා කියා දිගටම කතා කළා .





කළා මංගල්‍යයේ දිනය උදා උනා . අපි තුන්දෙනාට සහතික සහ කුසලාන ලැබුණා . ඒවා දෙන්න එදා ප්‍රධාන අමුත්තා විදියට ඇවිත් හිටියේ අපි කවුරුත් හඳුනන එඩ්වඩ් ජයකොඩි මහතා සහ චරිතා ප්‍රියදර්ශනී මහත්මිය . ඒවා දීලා අවසානයේ අපේ ඉදිරිපත් කිරීම් තිබුනා .

මගේ සහ අර සහෝදරයාගේ ඉදිරිපත් කිරීම ඉවර උනාට පස්සේ ගායිකාව එයාගේ ගීතය ගායනා කරන්න මුල පිරුවා . වයලීනයේ හා බටනලාවේ දුක්මුසු මන්ද්‍ර හඬ කැටි කරගෙන ගීතය ගායනා වෙනකොට තාත්තා නැති දුක තනිය හිතේ රඳවාගෙන ඉන්න බැරුව මේ සහෝදරයා කඳුළු සලන්න ගත්තා . වාදනය කරන අතරේ අපි හැමෝම ඒ සහෝදරයාගේ කඳුල වෙනුවෙන් හදවතින්ම දුක්වෙමින් ඒ වාදනය සහ ගායනය ඉදිරිපත් කළා .
හරිම සංවේදී වස්ථාවක් උනා ඒක . 


දැන් ඒ සහෝදරයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබාගෙන තියෙනවා .

මේ ඔහු සහ අපි හැමෝම හැඟුම් බර ලෝකෙකට  අරගෙන ගිය අපේ විද්‍යාලයේ දක්ෂතම ගායිකාව තමන්ගේ දස්කම් පෙන්වන්න ගායනා කරපු දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීතය .





පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව 
දූ දරුවන් හිනැහී ඇතිදෝ 
උන්ගේ සිත රැඳී තනිය මකන්නට 
මවුනට කවදා හැකි වේදෝ 

හිරුමඩලක් සේ කිරණ බෙදා දී 
නුගසේවනක් සේ සිසිල සදා දී 
ජීවිතයේ බර උරින් දරා 
පියවරුමයි ලොව මහසයුරක් වී 
පොලොව නිවාලන්නේ 

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා 
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදුවන මවුනට
ඒ විවරණ දෙන්නේ 

ගීතයේ පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී මහතා



තනුව හා සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ මහතා



ගායනය දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය


මේ ගීතය ඇහෙන වාරයක් ගානේ මට මේ සිද්දිය මතක් වෙනවා .
අපි නොහිතන වෙලාවක නොහිතන විදියට සමහර ගීත අපේ මතකය ඈතට අරගෙන යනවා .

Monday, May 13, 2013

සඳක් සදිසි ලඳක් රුවැති ලැසි ගමනින් එන


මේ බ්ලොග් එකේ මම ලියන පලවෙනි පොස්ට් එක මේක . තමන්ගේ අදහස් පල කරන්න හදා ගත්ත බ්ලොග් එකේ මට ඉඩක් ලබා දීම ගැන මම සිංදුවා අයියාට ටැංකියු කරන්න ඕන ඉස්සෙල්ලම .

 ලාබයිඇපල් බ්ලොග් එකේ ඇපල් අයියා කියලා දීපු පාර දිගේ දිගු ගමනක් හොයාගෙන සබරගමුවෙන් යලි උපන්නෙමු කියන මගේ බ්ලොග් එකේ ඉබි ගමනින් ලියන්න පටන් ගත්ත මට අන්තිම පේලිය හඳුන්වලා දීලා මගේ ලිවීම ආලෝකයේ ප්‍රවේගයට ආසන්න කලේ සිංදුවා අයියා බව කිව යුතුය .

සිංදු අහන්න, කියන්න, වගේම ගයන්න පටන් ගත්ත කාලේ ඉඳන්  වැඩි හරියක් අපි කලේ ඒ සිංදුවල තනු වලට වෙනත් වචන ( කුණු හරුප සමග ) ඇතුලත් කරමින් ඉස්කෝලේ සෙට් පිටින් ෆන් ගැනීම . ඒත් ටික කාලයක් යනකොට ජීවිතේ මූණ දෙන්න වෙන නොයෙක් සිද්දීන් නිසා ගීතවල වචන ජීවිතයට කොච්චර ගැලපෙනවාද? නොගැළපෙනවාද? කියලා සසඳන්න අපි පුරුදු උනා . සමහර වෙලාවට එකම ගීතයක් ගැන මම කියන දේ සිංදුවා අයියා කියන්නේ වෙන විදියකට . තවත් කෙනෙක් කියන්නේ අපි දෙදෙනාටම වඩා වෙනස් විදියකට .

සතියකට තිබුණු සංගීත පීරියඩ්  හතරත් , පාසලේ වෙනත් සංගීත වැඩසටහන් වලට සම්භන්ධ වීමෙන් එහිදී දැන හැඳින ගත් අයගෙන් ලබාගත් දැනුමට අමතරව පාසලෙන් පරිබාහිර ගුරුවරුන්ගෙන් ලබාගත් සහ අප දෙදෙනා තනිවම උකහා ගත් මහා සයුරක එක් දිය බිඳකට සමාන වූ සංගීත දැනුම අනුවද අපි ගීත වෙන් කරන්න , රසවිඳින්න පුරුදු උනා .

මම ඔන්න අද මේ පලවෙනි කතාවෙන් කියන්න යන්නේ බුදුරජානන් වහන්සේගේ එක් ආත්ම භවයක සිදු වුන විශේෂ සිදුවීමක් ගැන . මේ සිදුවීම දැන ගත්තේ මං තුන වසරේ හින්චා කාලේදී . මම ඉස්කෝලේ ලයිබ්‍රී එකෙන් එක එක පොත් උස්සගෙන එනවා කියවන්න . කවුරුහරි පොතක් ගැන කියනවා ඇහුනොත් මම කරන්නේ ලයිබ්‍රී එකෙන් ඒ පොත අරගෙන කියවන එක . මගේ පුංචි අම්මා ඉස්කෝලේ ටීචර් කෙනෙක් නිසා පොත් ගෙදර ගේන එක ගේමක් උනේ නෑ  .

දවසක් මිස් කෙනෙක් ස්ටාෆ් රූම් එකේ කතාවෙනවා ඇහුනා " සූසැට ආභරණ මොනවද කියල හොයා ගන්නේ කොහොමද? " කියලා . තව මිස් කෙනෙක් කිව්වා අර මිස්ට ,  " උම්මග්ග ජාතකේ ඒවා ගැන ටිකක් තියෙනවා " කියලා . මම පුංචිට කිව්වා " අදම පොත අරන් ඕන " කියලා . එදා සිකුරාදා  දවසක් . ගුරුවරුන්ට රෙෆරන්ස් එකේ පොත් ගන්න පුළුවන් සඳුදට ආයෙත් භාර දෙන්න . මම රෙෆරන්ස් එකේ තිබ්බ උම්මග්ග ජාතකය අලුත්ම පොතක් ඇදලා ගත්තා . දැන් ඔන්න ගෙදර ආපු ගමන් නාලා කාලා පොතත් අරං ඇඳට පැනලා පටන් ගත්තා කියවන්න . 3 වසර වෙනකොට අකුරු ටික ඔක්කොම කියල දීලා තියෙන නිසා කියවලා තේරුම් ගන්න අවුලක් උනේ නෑ . හැබැයි සමහර කතා 3 වසරේ ඔලුවකට තේරුම් ගන්න ලොකු වැඩියි කියලා නම් දැන් හිතෙනවා . ඒත් මම ගත්ත පොතේ සරල සිංහල විවරනයක් එක්කම අමාරු වචනවල තේරුමත් එකතු කරලා තිබුනා .



කාලගෝල ප්‍රශ්නය , මණි ප්‍රශ්නය , අෂ්ටවංක මැණිකට නූල අමුණන ප්‍රශ්නය වගේ කතා හිතට හොඳට වැදුනා . ඒ අතරේ තමයි දැක්කේ මහෝෂධ පඬිතුමා හොර රහසේම රාජධානියෙන් පිට වෙලා පලායාමේ සිද්දිය සහ එතුමාට අතරමගදී සිදුවෙන මේ සිදුවීම් මාලාව .

ඔන්න බලන්නකෝ කියවලා .....

එගම දුප්පත්ව සිටි පුරාතන සිටුකුලයෙක “අමරාදේවී” නම් රූපත් මහා පිනැති දුවක් වූවාය. ඈ එදවස හුළුකැන් පිසගෙන පියාණන් සානතැනට යන්නී පණ්ඩිතයන් වඩනා මගට පිළිපන්හ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරිකාව දැක “මෝ තොමෝ මට බිරින්දට සුදුසුයයි සිතූසේක. අමරා දේවියද පණ්ඩිතයන් දැකලා ඉදින් මෙබඳු පුරුෂයෙක් ඇත්නම් වස්තු රැස්කරන්ට පිළිවනැයි සිතූහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ මැගේ සැමියන් ඇති නැති බව නොදනිමි. එපවත් හස්ත මුද්‍රායෙන් විචාරමි. ඉදින් මෙ නුවණැත්තී විනම් එය දැන ගන්නීයයි සිතා දුර සිටම “ඇඟිලි හකුළුවා මිට හළසේක”. ඈත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත, නැත්ත විචාරන්නේයයි දැන “අත්ල විදහාලූහ” පණ්ඩිතයන් වහන්සේ ඈ සරණ නූනබව දැන සමීපයට ගොස් සොඳුර තෙපි කිනම්මු දැයි විචාළේය. ස්වාමීනී ගිය දවස වේවයි දැන් වේවයි මතු දවස වේවයි මුළු ලෝකයෙහි යම් නමෙක් ඇත්නම් මම ඒ නමි”යි කීහ. ඇගේ නම අමරා” බව දැනගත් පණ්ඩිතයන් වහන්සේ සොඳුර කවුරුන්ට කැඳගෙන යව්දැයි විචාළහ. පූර්‍ව දේවතාවන්ට යයි කීහ. පූර්‍ව දේවතාවෝ නම් මව්පියෝය. තොපගේ සිටාණෝ කුමක් කෙරෙත්දැයි විචාළහ. එකක් දෙකක් කෙරෙතියි කීහ. එකක් දෙකක් කිරීම නම් සී සෑමය. තොපගේ පියාණෝ කොතනක සාත්දැයි විචාළසේක. යම් තැනකට එක්වරක් ගිය කෙනෙක් නොඑද්ද එතැනයයි කීහ. 

එසේ තැන නම් සොහොනය. සාන්නේ සොහොනක් සමීපයේය. සොඳුර අදම එව්දැයි විචාළසේක. ඉදින් ආවොත් නොඑමි. නාවොත් එමි. කීහ පියා ගඟකින් එතර සාති. ගඟදිය ආවොත් නො එන නියාව කී බව තේරුම්ගෙන එසේදැයි විමසීය. එසේයයි කීහ. ඉක්බිති අමරාදේවී හුළුකැන් පූව මැන. ස්වාමීනි පැවරූහ. පණ්ඩිතයන් වහන්සේ ප්‍රථමයෙන් කළ ආරාධනාව නොඉවසීම අවමඟුලැයි සිතා යහපත බොමියි වඳාලසේක. අමරා දේවිය කැඳ සැලිය ඉසින් බා තැබූහ. පණ්ඩිතයන් වහන්සේ ඉදින් මණ්ඩය නොදෙව අතට පැන් නොදීම කැඳ අතට දිනි නම් මෙතැනම හැරපියා යෙමි’යි සිතූසේක. ඈ මණ්ඩයෙන් පැන් ගෙන අතට දීලා සිස් මණ්ඩය අත නොතබා බිම තබා සැළියේ කැඳ අල්ලා හුළු කැනින් මණ්ඩය පුරාලූහ. ඒ කැඳෙහි හුළු මඳ වූයේය. පණ්ඩිතයන් වහන්සේ කිමෙක්ද? සොඳුර හුළුකැන් ඉතාම බොල්වනැයි වදාළසේක. පැන් නොලද්දේය. ස්වාමීනියි කීහ. තොපගේ කුඹුර පූදිනා අහදිය නොලද්දයි සිතමියි වදාරා හුළු කැන් සියල්ලම පානය කොට අත කට සෝදා 
සොඳුර තොපගේ ගෙට මග කියවයි වදාළසේක. අමරාදේවිය යහපතැයි, ගෙට මග කියන්නී “මේ මග ඔස්සේ ගොස් ඇතුළු ගමට වන්කළ යම් තැනක අත්සුණු තබා විකුණන සල්පිලක්ද ඉන් ඔබ්බට ගියකල යම් අතකින් අනුභව කරත්ද ඒ අත මග යන්ට කියමි........

උම්මග්ග ජාතකය සම්පුර්නෙන්ම කියවලා නැත්නම් මෙතනට කොටන්නකෝ........

ස්වර්නදාස හේරත් මහතා රචනා කරලා



ස්ටැන්ලි එම් ප්‍රනාන්දු මහතාගේ සංගීතයට අනුව

ආචාර්ය දයාරත්න රණතුංග මහතා සහ මහාචාර්ය අමරා රණතුංග මහත්මිය විසින් ගායනා කරන






සඳක් සදිසි ලඳක් රුවැති ලැසි ගමනින් එන 
අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන...// 

මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ 
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ...// 

ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක 
පියා සීසායි මම බත ගෙනයමි හනිකට...// 

සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා 
ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා...// 

පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි 
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි...// 

අමරා දේවී ඔබ අමරා දේවී 
නැණවත් දේවී ඔබ අමරාදේවී.../// 

කියන මේ ගීතයෙන් මහෝෂධ පඬිතුමා සහ අමරා දේවියගේ හමුවීම කෙතරම අපූරුවට මවාපානවද . 3 වසරේදී කියවපු මතකය ආයෙත් අලුත් කලේ මේ ගීතය . ඉතින් උම්මග්ග ජාතකය හොයාගෙන ආයෙත් කියෙව්වා ආසාවට .

බුදු සිරිත විචාරීම අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . ඒත් මේ ගීතයෙන් උම්මග්ග ජාතකයේ තියෙන ඒ සුන්දර හමුවීම සාමන්‍ය ජනතාවට තේරෙන විදියට ප්‍රකාශ වෙනවා .

ඇත්තටම මේක ඉතාම පුදුම සහගත ආදරය ප්‍රකාශ කිරීමක් නේද ?

Thursday, May 9, 2013

වෙනසක් වෙන්නයි හදන්නේ



හැමෝටම කියන්න පොඩි ආරංචියක් තියෙනවා. බ්ලොග් එකේ පොඩි වෙනසක් කරන්නයි හදන්නේ. මේකට පොස්ට් ලියන්න මම කවදත් පොස්ට් වල කියවන වයලීනෝත් මට එකතු වෙනවා. ඒ නිසා අද ඉඳන් කට්ටියට වයලගේයි මගෙයි දෙන්නගෙම පොස්ට් කියවන්න පුළුවන්. වයලත් මියැසියට එකතු වෙන නිසා මේක සිංදුවාගේ මියැසියම වෙන්නේ නෑනේ. ඒ නිසා අපි පොඩ්ඩක් නම වෙනස් කරනවා.

හැමෝටම සිංදු පිටුපස සැඟවුණු කතා දැනගන්න, සිංදු වල තේරුම් දැනගන්න, සංගීතමය අර්ථකතන වටහාගන්න, ඒවා ගැන අදහස් දක්වන්න තර්ක කරන්න රසවිඳින්න අපිත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.
මේක සුභාවිත ගීත විතරක් කියන තැනක් නම් නෙවෙයි ඒ වගේම ජාතකය බලලා සිංදු දාන තැනකුත් නෙවෙයි. රසවිඳින්න පුළුවන් ගීත තියෙයිනම් ඒවාට මෙතන ඉඩකඩ තියෙනවා. ඒ වගේම ලියන භාෂාව, රචනා ශෛයිලය එකකට එකක් වෙනස් වෙන්නත් පුළුවන්. සමහර විටෙක එදිනෙදා සමාජීය දේවල් විවේචනයක් වෙන්නත් පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඉස්සරහට කරගෙන යන්න අදහසින් ඉන්නේ. වෙනස හොඳයිද නැද්ද කියලා කියන්නකෝ ඉදිරියට.
පොස්ට් කියවන වගේම කමෙන්ට් කරන අයට ගොඩක් ස්තුතියි. ඒ කමෙන්ට් කරන්න ගත්ත කාලය ඔබට වටිනවා වගේම අපිට හයියක් වෙන ඒ කමෙන්ට් එක අපිටත් ගොඩක්ම වටිනවා.

එහෙනම් සිංදුවාගේ මියැසිය අද ඉඳලා අපි "මියැසියේ රස කතා" කියලා වෙනස් කරනවා.