Tuesday, April 23, 2013

ලේ දන්දීමේ කඳවුර



තුණුරුවන් සිහි                     කොට
දෙලොව යහපත                  පිහිටට
ලේ බිඳක්                             දීමට
කරමු ඇරයුම් උතුම්             දනකට

ගෙවෙන දිවි                        කතරේ
විවිධ රෝ දුක් නිතර             පැතිරේ
ගැඹුර දැක                           සසරේ
ලේ බිඳක් දන් දෙමුද            මිතුරේ

අන්තිම පේළියේ කට්ටිය             මෙහෙයන්නේ
බක් මාසයේ විසිඅට ඉරුදින         වැන්නේ
වැල්ලවත්ත බොදු මැදුරට            පැමිණෙන්නේ
පිංවත පිංවතිය ලේ බිඳුවක්          දෙන්නේ

ඔබහට නොහැකිනම් ලේ බිඳුවක්       දෙන්න
තව පිංකමක් ඇත පිං                       පුරවාගන්න
ලේ දන් දෙන අයට උපකාරය           දෙන්න
ඔබ වෙත ඉඩ තිබේ එදිනට             පැමිණෙන්න

https://www.facebook.com/events/128143404043658/

( :D අම්මා ලියු කවි පංතියක් හෙන ගේමක් දී මෙලෙස එඩිට් කලෙමි )





රුවන් වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම්


ගීතය යනු කුමක්ද ?
විශයක්ද ?
හැඟීමක්ද ?
එසේ නැත්නම් භාවනාවක්ද ?
විටෙක සිතෙනුයේ ගීතය කියන්නේ හැඟීම් උත්පාදකයක් කියා නේද ?
ගීතයක් ඇහුවම අපිට ඇතිවෙන්නේ සතුටක්, දුකක්, සොම්නසක්, දොම්නසක්, කණගාටුවක් වගේ හැඟීම් නේද ? හැමෝටම ගොඩක් වෙලාවට ගීතය නිසා ලැබෙන පොදු හැඟීමක්. ඒ පොදු හැඟීම නිසා ඒ ගීතය වටා හැමෝම එකතුවෙනවා නේද ? ඒ අනුව ගත්තම ගීතය හැඟීම් උත්පාදකයක් නේද ?

ගීතයක හැමදේම හැමෝටම එකපාරට අහුවෙනවද ?
එකපාරකින් ගීතයේ සියුම් තැන් ග්‍රහණය වෙනවද ?
අර්ථය වැටහෙනවද ?
නාද අලංකාර තේරෙනවද ?
වාදන භාණ්ඩ කීයක් ප්ලේ වෙනවද තේරුනාද ?
නැද්ද ? එහෙනම් රස වින්දේ කුමක්ද ?
එකපාරක් අසා මේක හොඳ ගීතයක් කියන එක සාධාරණද, නැද්ද ?



ගීතය ෆ්රුට් සැලඩ් එකක්නම් මුලින්ම අපි (පෙරේතකමින්) ඒක කනවෙලාවට ඔක්කගේම රසය දැනෙනවා.ටිකක් කනකොට තියෙන පලතුරු වර්ග ටික තේරෙනවා. තව ටිකක් යනකොට ඔක්කම පලතුරු එකතුවෙලා රස තව වැඩි කරන්න දාපු සීනි, ලුණු, දෙහි රස දැනෙනවා. ඒ වගේම ගීතයත් ඇසිය යුතු වාර ගණනක් තියෙනවා එය නිවැරදිව අවබෝධ කරගන්න කියන ඒකයි මගේ හැඟීම.
පලවෙනි පාර හැමදෙයකම මිශ්‍රණයක්. දෙවෙනි පාර සමහරවිට අර්ථය වෙන්න පුළුවන්, තෙවෙනි පාර වාදනය ගැන, වාදනය ගත්තම ඒ ඒ වාදන භාණ්ඩ වලට වෙන වෙනම ෆෝකස් කරගෙන අහන්න ඕනි. එහෙම අහලා ආයෙත් ගායනය , අර්ථය , වාදනය මේ තුනම එකතු කරලා අහනකොට තේරේවි අර සිනිදු සුදු මුතු තලාවේ වගේ වාදනයෙනුත් දෙන අර්ථයක්.
සමහරවිට තේරේවි ඒ ඒ වාදන භාණ්ඩ ඒ සින්දුවට තෝරලා තියෙන්නේ ඇයි කියලා වගේම ඒ ඒ තැනදීම ගහන්නෙත් ඇයි කියලා. සමහරවිට ඉතිං සමහර සමහර වාදකයන්ට වරදින තැනුත් මීටර් වේවි.
එහෙම ගත්තම ගීතය කියන්නේ සිත ඒකාග්‍ර කරවන භාවනාවක්ද ?

ඔය මොකුත් ඕනි නෑ ගීතය කියන්නේ ගීතයට නෙහ්. කොහොම වුනත් ඔය ගීතයකට අදාළව හැමෝටම මීටර් වෙන්නේ තනුවනේ මුලින්ම. පැහැදිළිවම තනුව මුල්ම තැන ගන්නවා කියලයි මමත් හිතන්නේ. දෙවනුව ගායකයාගෙ ධ්වනි ස්වරූපය.( කටහඬ හා අලංකාරය කියලා හිතමුකෝ ) ඒ වගේම යොදා ගන්න වාද්‍ය භාණ්ඩ.

මේ මම දොඩවන සංගීතමය වාදන භාණ්ඩ වෙනස හොඳටම තේරෙනවා ඔයාලට මෙන්න මේ සිංදුව අහල බලන්න. අමරදේවයන්ගේ සන්නාලියනේ ගීතය.  බලන්න ඒකෙ... ( මේවා මගේ අදහස් ඒ නිසා සමහරවිට වැරදි වෙන්නත් පුළුවන් බව කරුණාවෙන් සලකන්න ඒ වගේම මේ ගීතයේ වර්ෂන් කිහිපයක් තිබේ. එබැවින් ලින්කුවේ දමා ඇති ගීත වර්ෂන් එක හා පහත විස්තරය සසඳන්න )





සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ


මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ


මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

ඔතනදි හිමිදිරි උදය පෙන්වන්න බටනලාව යොදාගෙන තියෙනවා. තබ්ලාවත් වදින ස්වරුපය බලන්න, දැන් මෙතන දරුවෙකුගේ උපතක සතුටක් තියෙන්නේ. එතකොට එතන ඇත්තටම තියෙන්නේ ආදරයක් නේද. දරුවා වෙනුවෙන් උපදින ආදරයක්. එතනට ගැලපෙන්නේ එතකොට දාරක ප්‍රේමය පිළිබිඹු කරන සංගීතයක්. බිලිඳෙක් නිසා වෙන්නැති කෝඩ්ස් (Chords) අල්ලන්නේ "ට්ලින් ට්ලින්" අර Music Box වගේ ටෝන් එකෙන්.(ඔතන ලින්ක් ඒකෙ රූපයට පහලින් තියෙන ඕඩියෝ එක ප්ලේ කරලා බලන්න)

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ


සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ


සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ


මෙතැනදී බට නලාවම යොදාගෙන හැන්දෑව නිරුපනය වෙනවා.තබ්ලාව වෙනස් වුනු හැටි මීටර් වුණාද. දැන් තියෙන්නේ මංගල්‍යයක්. එතනදි වඩාත් මතුවෙලා එන්න ඕනි පාටි එකක ස්වරුපය. ඒ නිසා ලොකු ගෙඩියයි පොඩි ගෙඩියයි එතනදී ඒ ස්වරුපය ගේන තාලයක් ගන්නවා.මෙතනදී කලින් තිබුණු music box ටෝන් එක නෑ.දැන් ඒ වෙනුවට මෙන්න මේ වගේ එකක් යොදාගෙන. ඔය ටෝන්ස් ඔර්ගන් වල තියෙනවා. මගේ එකේ නම් ගහන්නේ ඔය වීඩියෝ එකේ වගේ ගිටාර් එකයි ස්ට්‍රින්ග් එකයි එකතුවෙලා. ඉතිං එතැනින් අපිට හැන්දෑව නිරූපණය වෙනවා.

සන්නාලියනේ සන්නාලියනේ
සීතල හද එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සලුව වියන්නේ
හීතල සලුව වියන්නේ


කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
කාටද සලුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සලුව වියන්නේ


මේ කොටසට එන්ටර් වෙනකොටම පැහැදිළි වෙනසක් දැනුනා නේද. හොරණෑවට කිට්ටු ටෝන් එකක් (ක්ලැරිනෙට් එකක ටෝන් එකක්ද මන්ද), කලින් සිතාර් එකේ මිඩ්ල් පිච් ගගහා හිටිය එක දැන් ලෝ පිච් ගහන්නේ. සිතාර් ඒකෙ හඬ බර වෙලා, මළ ගෙදරක් වගේ, කෝඩ්ස් වදින්නේ Synth String වලින් වගේ. ඒකෙන් රාත්‍රිය නිරූපණය වෙනවා. කලින් බටනලාවෙන් වැදුණු පාර්ට් දැන් වයලීනයකින් වදින්නේ. එතැනින් මරණයක් බව තව හොඳට නිරූපණය වෙනවා, තහවුරු වෙනවා.(මම නම් හිතන්නේ වයලීන් එකට වැඩිය ඔතනට ගැලපෙන්නේ එස්රාජ් එක).

මම හිතන්නේ මේ ගීතය තමා ඕනි කෙනෙක්ට හොඳටම ලේසියෙන්ම වාදන භාණ්ඩ යොදාගැනීම් වල වෙනස තේරෙන ගීතය. තව ගීත ගොඩක් තියෙයි. හෙමින් හෙමින් ඒවා ගැනත් කියන්නකෝ.

අහල බලන්න මයුරාසන, කඳ සුරුදුනි ඔබේ, සඳුන් කපුරු, ඔය වගේ ගීත වල පේනවනේ දේවාලේ ගීතමය ස්වරුපය මවල තියෙනවා. මල්සර උක් දඬු ගීතයත් මේ වගේ පස්ට ගීතයක්.අර්ථයට ගැලපෙන තනුව, භාණ්ඩ, කටහඬ පාලනය හා අලංකාර.
නන්දා මාලිනීයන්ගේ අහලා බලන්න යොවුන් වසන්තයේ ගීතය. මේ වගේම සංගීතයක් ඒ ගීතයෙනුත් අවබෝධ වේවි.

දැන් මේ අපි කතාකලා වගේ අමරදේවයන් බන්දුල නානායක්කාරවසම් සමග විවේක වේලාවකදී ගීතයක් ගැන කරපු කතාබහක් රෙකෝඩ් කරලා තියෙයි. අපි සිංදුවක් කලානම් නිකමටවත් මේ වගේ හිතනවද බලන්නකෝ.


මාරයි නෙහ් ! අද මම කියන්න ආවේ ඉතිං ඔන්න ඔය ගීතය ගැන තමයි.
ගීතයෙ පද රචනය : මහගම සේකරයන්
තනු නිර්මාණය : පණ්ඩිත් අමරදේවයන්
ගායනය : විශාරද නන්දා මාලිනියන්
 



 රුවන් වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම් 
තුෂාර හාර හා එතී ගලා හැළෙනවා 
පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා

අනෝතප්ත නෙළුම් විලේ 
පාවෙන මල් රේණු වලින් 
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා 
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා

අතුඅග මල් කුමාරියන් 
බිඟු මිණි දැල් සැලෙන හඬින් 
නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා 
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා

රාජ ඉසුරු බරට වටින 
වාසනාව කිරුළු දරන 
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා 
සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා

එහෙනම් අපි නැවත හමුවෙමු !

Friday, April 12, 2013

මැංගිරි ඩිණිකෝ අවුරුදු ආවෝ


ඔන්න ආයේ අවුරුදු වලට කලින් එන එක සීයට සීයක්ම ශුවර් නැති නිසා මම දැන්මම හැමෝටම කිව්වා !
එකසිය විස්සට දෙසිය විස්සක්ම ආයුබෝ වේවා !
ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සැමට කිරියෙන් පැණියෙන් උතුරන සුභ අලුත් අවුරුද්දක් වේවා !


මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ආ.. ආ.. ආ......

වටිනා වීඩියෝ එකක්.