අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

ඉස්සර ගීත ආවේ කැසට් පටි වලනේ. කට්ටියට මතක ඇතිනේ. අපි ඕවා අරං සරුංගල් ඇරියා, අම්මලා ආච්චිලා රෙදිවැල් බැන්දා. ඔහේ නිකං ඒ පටි ගස්වල පටලවලා හු...

කැසට් පටි

ඉස්සර ගීත ආවේ කැසට් පටි වලනේ. කට්ටියට මතක ඇතිනේ. අපි ඕවා අරං සරුංගල් ඇරියා, අම්මලා ආච්චිලා රෙදිවැල් බැන්දා. ඔහේ නිකං ඒ පටි ගස්වල පටලවලා හුළඟට පැද්දෙන හැටි බැලුවා. ඔය කැසට් පටියේ පොඩි හරි ඇදයක් තිබුනොත් ඕක ඉතිං දාලා ඉවරයි. ඇයි හෙඩ් එකේ එතෙනවනේ. ඉතිං ඒ පළුදු හරි පොඩි හරි වුනු තැනට එනකොට එලියට අරං පැන්සලකින් කරකවලා ඉස්සරහට යවලා ආයේ දානවා.




ඉස්සර තාත්තා ගෙනාපු කැසට් විශාල සංඛ්‍යාවක් අපේ ගෙදර තිබුනා. නන්දා මාලිනීයන්ගේ, වික්ටර්ගේ, අමරදේවයන්ගේ, ලතා වල්පොලයන්ගේ, මොහිදීන් බෙග් මහත්මයාගේ ඔහොම ඔහොම ගොඩාක් අයගේ වගේම අරාබියේ කැසට් එකකුත් තිබුනා.

ඉතිං ඉස්සර දැන් වාගේ mp3 තිබුනේ නැනේ හොයාගන්න. mp3 එන්නේ තියා කොම්පිටරෙවත් හිතලවත් නෑ ගෙවල් වලට එන්න. ඉතිං මේ හදිසියේ අපිට සින්දුවක් ඕනිනම් එක්කෝ රෙකෝඩ් බාර් එකකින් රෙකොඩ් කරගෙන එන්න ඕනි. නැත්නම් ඉතිං රේඩියෝ එක අහගෙන ඉඳලා සින්දුව යනකොට කැසට් පීස් එක දාලා රෙකෝඩ් එකත් එක්ක ප්ලේ කෑලි දෙක ඇතුලට ඔබන්න ඕනි. ඒ දවස්වල අපි දමාගෙන එහෙම රෙකෝඩ් කරපු සින්දුවක් තිබුනා "පොඩිනළු ඉසිකොමිටා හයි හයි " කියලා.
අහලා බලන්නකෝ ඒ සිංදුවත්!

කාලයක් යද්දී ඔය ටේප් කියවන හෙඩ් එක සවුත්තු වෙනවා. එතකොට ඉතිං සර්ජිකල් ටිකක් පිරිසිදු රෙදි කෑල්ලක ගාලා ඇගිල්ලෙන් හෙඩ් එක පිරිසිදු කරන්න ඕනි.

කැසට් පීස් එක දාලා තිබුනේ ප්ලාස්ටික් පෙට්ටියක. ඔය පෙට්ටියේ දානවා කොලයක්. ඒකෙ මුල ගායකයාගේ ෆොටෝ එක සමග කැසට් එකේ නම. අනිත් පැත්තේ සින්දු ටික සමග ගීත රචකයන්ගේ හා සංගීතඥයන්ගේ නම්.





ඉතිං ඔය කැසට් ආපු මුල්ම දවස්වල ඔය වගේ වැහිවැහලා තිබුනේ නෑ. ඒකයි දෙකයි තිබුනේ.
ඒ දවස්වල කැසට් එකක් කරනවා කියන්නේ පුදුම ගේමක්ලු. සිංදුවේ නම(ටයිටල්), ගීත රචකයාගේ නම, සංගීතඥයාගේ නම ඔක්කම ප්‍රින්ට් වෙලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. අපේ තාත්තත් ඔය වගේ තිබුණු පරණ එකක් අපිට අල්ලන්නවත් නොදී පරිස්සම් කලා ඉස්සර.
ඉතිං ඔය කැසට් එකේ පිටකවරේ ඉස්සර ගහන්නේ සිංගප්පූර් යවලලු. මොකද දැන් වගේ ප්‍රින්ටින් ෂොප් අඩියෙන් අඩිය ඉස්සර නැති නිසා.





ඉතිං මේ සිද්ධිය, ඒ වගේ කැසට් තිබුණු දවස් වල වෙන සිද්ධියක්. ඒ කිව්වේ ඉංගිරිසියෙන් ඔය කවර් එක ගහන දවස්වල.

බොරැල්ල කනත්තේ ගහක් අසල හිටගෙන සංගීතඥයෙකුයි පද රචකයෙකුයි ලොකු කතා බහක්. ඒ දෙන්නම ඇවිත් හිටියේ ඒ දෙන්නගෙම හිතවතෙකුගේ අවමගුල් උත්සවයකට.

සංගීතඥයා : එහෙනම් හරි නේද ?

ගී පද රචකයා: හරි හරි බං මට දවසක් දෙකක් දීපන් මම දෙන්නම්

සංගීතඥයා: මේක එහෙම කල් යවලා බෑ බං. අනික කැසට් සිංදුවක්, සරල ගී නෙවෙයිනේ.
අනික උඹ මගේ මෙලඩි එකටයි ලියන්නත් ඕනි.


ගී පද රචකයා: හරි බං හරි මම ලියල දෙන්නම්

සංගීතඥයා: හරි උඹට මතකද එදා මම කියපු මෙලඩි එක?

ගී පද රචකයා: මට ඒකනම් මතක නෑ. එත් ඉතින් මම ලියල දෙන්නම් බං.

පස්සේ සංගීතඥයා එයාගේ උඩ සාක්කුවේ තිබුණු කොලයක් අරං එකේ එයාට හිතෙන විදියට ලියා තිබුණු පද තාලෙට කියවනවා. ගී පද රචකයාට හිනා.

"ඔන්න මම ඩමී එක දුන්නා. දැන් බෑ නොකියා මට ඕක ලියලා දීපන් හරිද. මොකද වොයිසින් වලට කල් නෑ"

ඉතිං ඔහොම කල් ගෙවුනට දෙන්නට කතා කරගත්ත විදියට වැඩේ කරන්නම වෙන්නේ නෑ.
දවසින් දවස ගෙවිලා රේකොඩින් එකටත් දිනේ ආවා. ඔන්න ඉතිං කැසට් එකට අදාළ සිංදුත් පටිගත වෙනවා. හැබැයි එක සිංදුවක් ඉතුරුයි.
දැන් ඉතිං රෑත් වෙලා.
මේ මල රෑ මේ සංගීතඥයා යනවා ගීත රචකයාගේ කාමරයට. යන්නේ තව රේකොඩින් එක කරන තැන හිටපු දෙතුන් දෙනෙකුත් එක්ක. කාමරේත් ඇරලාදාලා කවුරුවත් පේන්න නෑ. ඇඳේ බලනවා හ්ම් හ්ම් නෑ. මෙන්න ගීත රචකයා ඉන්නවා මිටි කෑම මේසේ එක අතක් අල්ලගෙන මේසේ යටට වෙලා.(ඇඹරැල්ලා ගෙඩියකුත් මේසේ උඩ තිබුනලු කියනවා)

ගිය දෙතුන්දෙනා වත්තම් කරලා ගීත රචකයව පුටුවේ වාඩි කරවනවා. මිනිහා හොඳටම නිදි. කට්ටියම එකතුවෙලා වද කරලා ගීත රචකයව ඇහැරවනවා.
"මම නිදි බං උඹලට පේන්නේ නැද්ද ?, මට නිදා ගන්න දියන්"
කියලා ගීත රචකයා කිව්වම හැමෝටම හිනා යනවා.
සංගීතඥයා ගීත රචකයාගේ ලඟට ගිහිං හොඳට ඇඟට දැනෙන්න හොඳ වචන දෙකතුනකින් මේ ගීතය නැතිවීම නිසා ඇතිවෙන ප්‍රශ්නය පහදනවා.(ඔව් ඔව් උඹලා දැන් හිතපු විදියට තමා)

සංගීතඥයා දිහා බලපු ගීත රචකයා
"වද නොදී ටියුන් එක කියපං"

සංගීතඥයා වාහනේ තිබුණු ගිටාර් එක අරං තනුව ගයලා පෙන්වනවා.
කොළයක් ගත්ත ගීත රචකයාගේ අත පෑනත් එක්ක කොලේ එහාට මෙහාට කීප පාරක් යනවා.
හැමෝටම පුදුමයි. විනාඩි පහයි, සිංදුව ලියවෙලා ඉවරයි. වැඩේ කෙරුනා.

සංගීතඥයා : "තරහා වෙන්න එපා බං.අද මේක කලේ නැතොත් හෙට කැසට් එකේ කොලේ
ප්‍රින්ට් කරන්න යවන්න විදියක් නෑ. එකෙන් වැඩේ තවකල් යනවා කැසට්
එකත් පරක්කු වෙනවා, උඹේ නින්ද කැඩුවේ ඒ නිසයි"

ගීතය කෙරෙනවා, කැසට් එකත් එලියට එනවා. පුදුමය කියන්නේ ඒ කැසට් එකෙන් ජනප්‍රියතම ගීතය වෙන්නේ මේ මහා රෑ නිදිමතේ හදිසියේ ලියපු ඒ ගීතය.

සංගීතඥයා: ස්ටැන්ලි පීරිස්



ගීත රචකයා: ප්‍රේමකීර්ති ද අල්විස්



ගායකයා: ටී.එම්.ජයරත්න





හිතින් මා නොසැලී හිදිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිඳීනූ මැනවී


තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක්වේ
නුඹ රැදී දෑසේ


තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ



කට්ටියට මතකනේ මම අර "ආදී රසකළස" කියලා අපි සයන්ස් ඩේ එකට කරපු ෂෝ එකක් ගැන කිව්වා. එකේදී මේ සිංදුව ගායනා කෙරුනා. අපේ ඉස්කෝලේ හිටපු අපිට වඩා අවුරුද්දක් වැඩිමහල් සාලිය කියලා අයියා කෙනෙක් සිංදුව ගැයුවේ. ඕකේ වයලීන් ගහන්නේ දර්ශන මල්ලි !

සවුන්ඩ්ස් වීඩියෝ එච්චර කොලිටි නෑ, ඒත් ඒක එච්චර වැදගත්ද කියල හිතෙනවා මූ වයලීන් එකේ කම්බිවල, අර අස්පනැට්ටේ කෙඳි ගාවනකොට.ඇරත් ඔහොම ගහන්නේ මීට අවුරුදු කීයකට කලින්ද. දැන් ගහනකොට තියෙන රසබව, අත්දැකීම් සහිත බව, පරිණතබව හිතාගන්න පුළුවන්නේ.





තව දෙයක් තියෙයි. මට මුලින්ම දර්ශනව  හම්බවුනේ මුගේ හැකියාව බලන්න, බෑන්ඩ් රූම් එක ඉස්සරහා මමයි ඉරේෂයයි ඉදිරිපිට හිටගෙන ගහපු මේ සිංදුවෙන්.
ගීතය පුදුමාකාර අහඹු දේවල් වල මතකයක්. ඒ අහඹු බව ගීත නිර්මාණය හා සම්බන්ධ අයට වගේම, ඒ ගීත අහපු අහන අපිටත් උරුම දෙයක් .

මන්දා...මගේ ජීවිතයටනම් ගීතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්!

15 comments:

  1. අදත් මම එකලු කියන්නේ

    ReplyDelete
    Replies
    1. එකලුනේ කියන්නේ බොහෝම ස්තුතියි කියලා :)

      Delete
  2. කාලෙකට පස්සෙ කැසට් පීස් එකක් ඇහුව මේ ලඟදි. සෙට් එකේ කැසට් එක තාම වැඩද කියල බලන්න. කාලය මැව් වෙනසක අරුමේ

    ReplyDelete
    Replies
    1. අපේ තියෙන එක එන අවුරුද්දට ගෙදර ගියාම බලන්න ඕන :)

      Delete
  3. අපේ ගෙදරත් තියනවා බන් කැසට් පීස් ටිකක්. ඒවායේ තියෙන්නේ අක්ක හෙම පොඩි කාලේ කියපු සින්දු.තවම හොඳට තියනව. අවුරුද්දට සින්දු ටික අහල පොඩි ෆන් එකක් ගමු ඈ.... :D

    ReplyDelete
    Replies
    1. ගමුදත් අහනවා :) අනිවා සෙට් වෙමු. බොහෝම ස්තුතියි :)

      Delete
  4. මේ සින්දුවේ තේරුම ගෙන TM කියන video එකක් තිබ්බ youtube එකේ. හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සරමේ ! ඔව් ඔව් මමත් ඒක දැක්කා. මම හිතන්නේ බුකියෙද කොහෙද තිබුනේ :)

      Delete
  5. මේක ගැන නම් මොකවත් කියන්නේ නැතිය.
    හඃ හඃ හඃ හඃ

    ReplyDelete
  6. හිතින් මා නොසැලී හිදිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිඳීනූ මැනවී..................

    ආසම සින්දුවක්. දැනෙන එකක් :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බඩ්ස් ! :D

      Delete
  7. සෑහෙන ලස්සන මතක කතාවක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.