Tuesday, February 26, 2013

ඩිඩින් ඩින්ඩි ඩින්



අම්මා කිව්වට කිසිම කැමැත්තකින් නෙවෙයි ඉතිං එදා ගියේ. ජනප්‍රිය බාලිකා පාසලක් කියලා හිතං ඉන්න, අය ඉන්න පාසලක් අසල (පිට්ටනිය පැත්තේ) වංගුවත් එක්ක වීල් එක නවත්තනකොට මෙන්න අපේ එවුන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා. දැන් මොකටද ඉතිං බයවෙන්නේ. මැරෙන්න ගියත් තව එවුන් ඉන්නවනේ. අම්මව යැව්වා ඒ ත්‍රීවීල් එකේම.

කොටා : අඩෝ උඹ කොහොමද බං මෙතන දන්නේ ?
මම : මන්ද බං අම්මා යන්න කිව්වා මම ආවා.උඹ කොහොමද සෙට් වුනේ ?
කොටා : අපේ අක්ක ඇවිත් තියෙයි බං ඉස්සර මේකට.
(ඉතුරුවා අපිට පමණි)

පලවෙනි දවස, කවුරුවත් කොහොමද කියන්න දන්නේ නෑ. ඔන්න ඔහේ ගියා අරුනුයි මමයි මහපාරෙන් දකුණේ උඩට යන්න තිබුණු අතුරු පාරේ. යනකොට තියෙනවා තට්ටු දෙකක ගෙයක්.
“මේකද බං තැන ? “
“ඔව්ලු”.
ඇරියා ගේට්ටුව ගැහුවා බෙල් එක. ටිකක් හිටියා…..ම්හ්ම්…නෑ.
ගැහුවා දෙවෙනි පාරට බෙල් එක. ඒ පාරනම් ඇහිලා, මිස් ඇවිල්ලා දොර ඇරලා
“පංතියටද ආවේ ?”වෙන මොකටද
“ඔව්” කිව්වහම
“ඔතනින් පිටි පස්සට ගිහිං උඩට නගින්න.ගිහිං වාඩිවෙලා ඉන්න.”

ගියා කිව්ව විදියට.ඔහෙ-පලයන් පඩි ටික හදපු බාසා, බාගේ අඩි කෝදුව තියලා පළල අරං පඩි හදල තිබුනේ.අල්ලන්න තිබ්බ අත්වැල බෝතල් පත්තරකාරයෙක් උස්සලද කොහෙද. වැරදිලාවත් කකුල පැටලුනොත් එතනම හබොක්.
වෙලාව හොඳයි කවුරුවත් නෑ අපි සෙට් එක ගිහිං තිබුනේ මුලින්ම.වාඩිවුනෙත් මුල්ම පුටුවල…..ඇයි අවුල වගේද. විහිළුවට වාඩිවුනේ. බෑග් තිබ්බේ පස්සේ ඒවයේ.අපායට ගියත් ප්‍රතිපත්තිගරුකයි.

ටික වෙලාවක් ඔහේ දඟල දඟල ඉන්නකොට එක එක ළඳවල් ඇවිත් වාඩි වෙනවා.දැන් සෙල්ලම් බෑ නොව. වාඩිවෙලා ඉන්න පුරුද්දක් තියෙන උන්ට එතන ඉන්න කියලා අපි බැස්ස මහගිරිදඹේන් පහලට.දැම්මා රටේ ලෝකේ ප්‍රශ්න ගැන කැබිනට් රැස්වීම පාරේ අයිනේ.
ටිකකින් සර් එනවා ෆියිල් කවරයයි, කොළ ටිකයි පොත ටිකයි අතේ තියන් බිම බලාගෙන.තට්ටේ පෑදිලා, පිටිපස්සේ තියෙන කොන්ඩේ පිටි පස්සටම මනාව පීරලා, කණ්නාඩි දෙකත් දාලා උඩු රැවුල පොඩ්ඩයි යටි රැවුල ටිකක් වැඩියෙන් වවලා.
ඔන්න අර පඩි ටික නගිනවා.අපිත් පස්සෙන් ගිහිං වාඩි වුනා. කෙල්ලෝ දකුණේ කොල්ලෝ වමේ.

ෆයිල් ටික තියලා. “ආයුබොවන්” කියලා. මුලින්ම කියනවා
“ඔය ඔතන පාරේ ඉන්න එපා මීට පස්සේ. හ්ම්ම්.. වේලාසන ආවනම් මෙතන වාඩිවෙලා වැඩක් කරන්න ඕනි. නැත්නම් මෙතන පොත් තියල තියෙයි කියවන්න ඕනි. වෙනදා මම බෝඩ් එකේ දාලා යනවා වැඩක්.ඒක කරන්න ඕනි. මෙතන ඇවිත් දගලන්න එපා, මට පහල වැඩක් කරගන්න විදියක් නෑ ඔයාලා මහා සද්දෙට දගලනවනේ.මේක පිට්ටනියක් නෙවෙයි.”අපිත් ඒ වෙලාවේ ඉතිං කව්ද දඟලපු උන් කියලා හැමතැනම බැලුවා.අර වාඩිවෙලා හිටපු උන්ද කොහෙද.
සර් ආයෙත් කියනවා
“අනික ගෙදරකට ගියාම බෙල් එක ගහලා ටිකක්වෙලා ඉන්න. ගෙදර කවුරුවත් වෙනම නෑ බෙල් ගහන අය බලන්න.අනික බෙල් එකක් ගැහුවා කියලා ඔක්කම වැඩ නවත්තලා එන්න බෑ. පලවෙනිපාර නාද කරලා ටිකක්වෙලා ඉඳලා ඕනවට වඩා වෙලාව යනවනම් ආයෙත් ගහනවා. ඊට පස්සෙත් නැත්නම් යන්න ඕන.”එදා සර් කිව්වට පස්සේ හිතාගෙන පුරුදු වුනු පුරුද්ද ඇත්තටම මට අදටත් තියෙයි.

සර් කතා කරන්නේ පොඩ්ඩක් අමුතුම විදියකට.ඒ විදිය කියන්නේ කොහොමද බං හරිම අමාරුයි විස්තර කරන්න, එහෙම කතා කරනවා මම දැකලා තියෙන්නේ සර්ව විතරමයි. ඔය ටීවී එකට ආවම බලන්නකෝ.ඇදලා නවත්තලා එහෙම මොනාහරි කියන්නේ. ටිකක් ආඩම්බරයි. කතාව ඇදල පැදලා හෙමින්ම හෙමින් (ඒ කිව්වේ ස්ලෝව්, වොලියුම් අඩු නෙවෙයි). මොකක්හරි කියන්න කලින් හොඳ වටයක් ගහලයි කාරණේට එන්නේ.
සමහරවෙලාවට කියන ගමන් මොනවදෝ දකිනවා හිතින්. පට්ටම ඔය සාහිත්‍යය කියලාදෙන වෙලාවට තමයි.සමහර ඒවා කියන්නේ සද්දේ හෙමින්ම හෙමින් නිකං පහල ඉන්න සර්ගේ මිස්ට ඇහෙයි කියලාද කොහෙද හොරෙන් වගේ කියන්නේ. ඉස්සරහ පෙළේ ඉන්න උන්ට විතරයි ඇහෙන්නේ. උන් ඒවා අහලා හිනා වෙනවා. අපිත් ඇහුනාවගේ හිනා වෙනවා. පස්සේ උන්ගෙන් අහගෙන ආයෙත් හිනාවෙනවා.හහ් ඉස්සරහ උන්ට කොයින්ද එහෙම චාන්ස්.

ඊළගට ඔන්න පංතියේ හැමෝගෙම නම අහනවා. තේරුම දන්නවද අහනවා ? දන්නැති එවුන්ට පොඩි කින්ඩියක් දාලා තේරුම කියනවා. කරුමෙටම එදා කෙල්ලෙක් හිටියා තේරුම අප්සට් වුනු. කෙල්ලගේ නම කියන එක හරි නෑනේ.මොකෝ එයාගේ වරදක් නෙවෙයිනේ. ආවේ සවුත්තු තේරුමක්, හිනාවෙලා ඉතිං තේරුම කියල දුන්නා.

හොඳක් තියෙන්නේ කෙල්ලෝ කියල බලන්නේ නෑ, කියනඑක කියලා දානවා සර්.
දවසක් කෙල්ලෙක් ආවා කොටට ඇඳගෙන. පුටුවේ වාඩිවුණාම ඉතිං තවත් කොටවෙලා. වටේ ඉන්න කොල්ලන්ට හොදි ඕන්නෑලු.අදිනකොට හැඳිමිටේ මොලේ තිබ්බත් දැන් කෙල්ලටත් අවබෝධවෙලා සවුත්තුයි නේද කියලා. අනේ එයා ලේන්සුවෙන් කකුල වහගන්නවා පිංවතුනි. සාදු කියන්න!
සර් ආවා. ටිකක්වෙලා ඔහේ පාඩම කලා, කෙල්ලත් හරිම උනන්දුව සැරෙන් සැරේ ලේන්සුවෙන් ඔක්කම වැහිලද බලනවා. සර් දැක්කා කෙල්ල දිහා බලලා සවුත්තුවට ටිකක්වෙලා හිනාවුනා. පස්සේ කැපුවා නේද දෙහි. ඕක වහගන්නම් මොකටද ඇඳන් ආවේ කියලා පටන් ගත්තා. කියපු ටිකට අපිටත් හිනා. මොනාවුනත් කෙල්ල ගැන හිතලා හැමෝම කට වහන් හිනාවුනේ.පහුවෙනිදා ඉඳලා කෙල්ලෝ ඔක්කම දිගටමයි.වැදගත් දේ ඒ කෙල්ලත් දිගට ඇඳන් පංති ආවා.

මේක වෙන්නේ අපේ මල්ලිලා යනකොට. ඒ දවස්වල ඔය ගෑනු ළමයි අඳිනවා අර එක එක නම් ගහපු ටී ෂර්ට්.බටර්ෆ්ලයි, අයිලන්ඩ්, මිල්ක්, සමහර උන් සක් කියලත් ගහගෙන යනවා. අපි ඉස්සර…..එක්කෝ ඕනි නෑ.
ඉතිං මේ වගේ ළමයෙක් ඇඳගෙන එනවා පංතියට නමක් ගහලා ඇඳුමක්. ගහල තිබුනේ ඩීසල් කියලා. සර් දැකල හිනාවෙලා
 “හ්ම් හ්ම් හ්ම් දැන් මෙතනින් ඩීසල්ද එන්නේ ? “
කියල අහලා.
ඕක අහන හැටි කියල පෙන්නුවම තමා පට්ට. කන්නාඩිය උඩින් ළමය දිහා බලලා, ඩීසල් කියන එක යන්තං හොරෙන් වගේ කියලා.අයියෝ ආතල් එක.
දුක(මෝඩකම) කියන්නේ පහුවෙනිදා ඉඳලා කෙල්ල පංතියේ නෑ.
නෑ නෑ කෙල්ල ගැන නෙවෙයි කළකිරෙන්න ඕනි. එයාගේ දෙමව්පියෝ කොච්චර අනුවණ කමක්ද කලේ කියලා. ළමයාගේ වැරැද්ද හදනවා වෙනුවට ළමයට අනුව වටපිටාව හදනවා. පස්සේ ළමයා නරක්වෙනවා, සමාජෙට උන් අවාම කවුරු කොහොම ඩීසල් ගහගෙන ගියාද කවුරුවත් දන්නේ නෑ.

හිටපු ගමන් සර් කතාත් කියනවා. කාලීන දේවල්, ඒ කිව්වේ ඒ දවස්වල සිදුවෙන සීන්.
මතකේ කස්ටියට රංජන් ? ඔව් ඔව් වන් ෂොට් තමා. එයා ඔය සව්දි ගිය වනිතාවන් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කලානේ. සර් ඒක නිසා ඒ දවස්වල රංජා ගැන පැහැදිලා ගුණ කියනවා.
රංජා කියපු ගමන් අපිට ඒ දවස්වල මතක තිබුනේ හැට්ටයක් ඇඳලා, මල රෑ සන්ග්ලාස් දෙකක් දාගෙන,
“ඩිඩින් ඩින්ඩි ඩින්”
කියලා සවුන්ඩ් එකත් එක්ක, ජිම් බැහැපු, නාකි ඇඟක් එනකොට හැතම්මක් ඈතින් පුපුරණ වාහනයක්…ඩෝන්..!
ඕවා මතක්වෙලා හිනාවෙන්නේ දැන් බිම බලාගෙන හොරෙන්.ඔන්න සර් මනෝපාර දාලා දැහැනකට සම වැදිලා පැත්තකට ඔලුව හරවලා හිතින් සිද්දිය මවාගෙන වගේ කියනවා
“අර කතුන්ට ඉෂ්ට දෙවියෙක් වගේ ඔහු, අසරනවුණු වෙලාවේ_________වගේ ඔහු (තවත් උපමාවක් කිව්වා මතක නෑ),අසරණ වුනාම පෙනී සිටිනවා. ආ…”
අපි දැන් කට තද කරගෙන හිනා. එක පාරට සර් කියපි
“හරියට වන් ෂොට් වගේ” කියලා.
පන්තියම බක බක ගාලා හිනා වෙනවා. උන් ඔක්කටම අර පුපුරණ වාහනේ මතක්වෙලා.
සර්ටත් හිනා.
ඒ දවස්වල ඔය “සිතින් විතරක් පෙම් කරන්නම්” ගීතය ගැනත් හොඳ කිව්වා.තව “යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ” කියලා සර්ම හිනාවෙනවා.හිටපු ගමන් “තාරකාවියේ” කියලා හිනා වෙනවා.එකත් කියන්නේ “තාර, කාවියේ” කියලා.

සර් කවි ලියන්න මාරම කැපවීමක් කරනවා කියලා දැනගත්තේ ටික කාලයක් පංති ගියාම තමයි. හැම ශ්‍රේෂ්ඨ නිර්මාණයක් පිටිපස්සෙම ඒ වෙනුවෙන් කැපවුණු දුක් විඳපු කෙනෙක් ඉන්නවා. ඒකෙ වයිස්වර්සා එකත් සත්‍යයයි කියලා මම විශ්වාස කරනවා.
ඉස්සර සර් කවි ලියන්න වෙනම ඒ ඒ ප්‍රදේශ වලට ගිහිං නැවතිලා එහෙම ඉන්නවලු.එහෙම සමාජ අධ්‍යයනයන් කරනවලු. ඔය වැලහින්නෝ වගේ අඬන ඩ්‍රාමා වල කෙල්ලෝ වගේවත්, ගොන් පාර්ට් දාන කොල්ලෝ වගේවත්, අවර ගීත ගයන ගායක-ගායිකාවෝ වගේවත් ඉතිං ජනප්‍රිය නැති නිසා කරදරයක් නැතුව සාමාන්‍ය මනුස්සයෙක් විදියට ඕනි දිහාවක යන්න පුළුවන්. හිටපු ගමන් හිටලර්ගේ කාලේ වගේ තියෙන බයික් එකෙන් හෙල්මට් එකකුත් දාගෙන ඔය රත්නපුරේ ටවුමේ රවුමක් දානවා දකින්න පුළුවන්. සමහරවෙලාවට ෆුඩ් සිටියේ ඉන්නවා. හිටපු ගමන් කොළඹ බස් එකෙත් ඉන්නවා.

සර් කාලයක් කොළඹ බස් එකේ යනකොට දකිනවා ගහක් කැඩිලා ඒක අයිනට දාලා තියෙනවා.ගෑනු කෙනෙක් ඒක දර කරනවා. දවසකට එයාට ගෙනියන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් විතරයි අරං යන්නේ. සර් හැමදාම ඕක බලාගෙන යනවා කොළඹ. ටිකෙන් ටික අඩුවෙන දර ගැන, ජීවිතය ගැන, ඒ ගෑනුකෙනා ගැන කවි ටිකක් ලියවෙනවා. ඉස්සර ඔයවගේ විස්තර, කවිය බිහිවෙන්න මුලිකවුණු සිද්ධීන් අපිට කියනවා. මම ඔය කවිටික කියවල තියෙයි. හෙව්වා හෙව්වා හම්බවුනේ නෑ මෙතන දාන්න.

මම පොඩි කාලේ (ඔය පන්තියට යන්න කලින්) අම්ම සර්ට දවසක් කෝල් එකක් දීලා සිංදුවක් ලියල දෙන්න බැරිද අහලා. හඃ හඃ හඃ සර් කාටද, සංගීතය කොහෙන්ද ඉගන ගත්තේ අනන්-මනන් විස්තර අහල අම්මට කිව්වලු මුලින්ම නන්දා මාලිනී හරි, සුනිලයන් හරි, වික්ටර් රත්නයකන් ගාවට හරි යවලා හොඳට සංගීතය උගන්වලා ඉන්දියාවට යවන්න. ඊට පස්සේ එකේ ඉගනගෙන ආවම සිංදුවක් ලියලා දෙන්නම් කියලා.
කොහොමවුනත් සර් ගීත ලියන්න උනන්දුවක් නැති බව කීප සැරයක්ම අපිට කියල තියෙනවා. ලිව්වේ ගීත දෙකයි (මම දන්නා හැටියට). ඒ දෙක අහල නැති කෙනෙක් නෑ කියලා මම හොඳටම දන්නවා.
ඒවායෙන් එකක් තමා හැමෝටම වගේ තේරෙන්න ලියලා තියෙන, නමුත් හැමෝටමවගේ තේරුම් ගෙන අවබෝධ කරගන්න බැරි දෙයක් වුනු තණ්හාව ගැන ලියවුනු ගීතය.

සොර දෙටුවෙක් කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ

අනේ මෙහෙම තණ්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලූ

සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි
අහෝ සැපයි කීවාලූ

- සුනිල් එදිරිසිංහ -

ඊලග ගීතය….


බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සැරසෙව් රාළේ

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ

ඇහැල මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුණා

සප්පායන් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළොවේ කැති ගහලා

කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා
අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනඟ මැද යම යුද්දේ

කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස්බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුණා

- සුනිල් එදිරිසිංහ -

-වීර පුරන් අප්පු චිත්‍රපටය 1978-

මේ වගේ ජාතිය ගැන කැක්කුමක් ඇති කරන ගීත මම දන්නා හැටියට දෙකයි තුනයි තියෙන්නේ. අහද්දී දැනෙනවා මාරම විදියට.

මේකේ බයිනෙත්තුවේ ඉබ්බ කියන්නේ අර සුද්දගේ ඉස්සර තිබුණු බට තුවක්කුවේ ඉස්සරහ තියෙන පිහියට.


ළමයින්ව උඩ විසි කරලා වැටෙනකොට තුවක්කුවේ ඇමුණුවා කියලායි කියලා තියෙන්නේ.
කෙහෙල් කුරුල්ලන් කියන්නේ කුඩා කෙහෙල් පැළ වලට
ඉස්බ කියන්නේ බඹ තිස්පහක දුර
දැන් තේරුම හිතාගන්න පුළුවන්නේ
(තේරුම් හොයන්න උදව්දුන් දර්ශනට ස්තුතිය)

මේ සිංහල ජාතිය ගැන මේ දවස්වල ගොඩක් මතබේද යනවනේ.දැන් ඔය බොදුබල සේනාව ජාතිවාදීන්ලුනේ. කවුරුහරි එහෙම කියනවනම් මම හිතන්නේ එක්කෝ එයා සිංහල නොවන ජාතියක කෙනෙක් නැත්නම් ජාතියක් නැති එකෙක්. ඕකේ දෙවෙනි කට්ටිය නියම නිවටයන්,අධමයන්,ජාතිවාදය හා ජාතිආලය පටලවන් ඉන්න අය. උන් උන්ටම නියම සිංහලු අපිලු කියනවා.පව්! අනුකම්පාවක් ඇතිවෙන්නේ.
හැමෝටම උණ සිංහලකම ගැන කතාකලාම. හාමුදුරුවරු ගිහිං මුස්ලිම්,දෙමළ අයව මැරුවා වගේ කතාව. කවුරුවත් වෙන ජාතියක් මරන්න කියලා නෑනේ. හුදෙක් සිංහලයන්ගේ එකමුතුවක් විතරයි. නැතුව යුද්ධයක් දියත් කරනවා නෙවෙයි. සිංහලයා සිංහලයට උදව් කරනවා. එක ජාතික හැඟීමක් යටතේ එකතුවෙනවා. මුස්ලිම් අයත් එහෙමනේ. ඇයි මේ ඒකට විළි උස්සන් කෑ ගහන්නේ සමහර කට්ටිය. එක අතකට ඕවා ඔහොම තමයි ඉස්සරත් සුද්දට ගොටු අල්ලපු පරයෝ හිටියනේ.
තව කට්ටියක් ඉන්නවා අනිත් අයගේ ජාතික ආලය මනින්න යනවා. මීටරයක් තියන් ඒකට එකෙක්ව අල්ලලා බලලා මූ 10යි මූ 90යි මූ 50යි. කවුරු කොහොම කොච්චර ප්‍රමාණයෙන් කරනවද කියන එකට වඩා වැදගත් වෙන්නේ යන්තමින් හෝ දෙන සහයෝගය අගය කිරීමක්. සමහරවිට එයාට පුළුවන් බුකියේ මොනාහරි ශෙයා කරන්න වෙන්නැති. සමහර අය බැහැලා උද්ගෝෂණ කරනවා, සමහර අය නිහඩව මුදල්මය ආධාර කරලා නිකං ඉන්නවා. සමහරඅය හලාල් ගන්නේ නැතුව ඇති.සමහර අය ලිපි,ගීත,කවි ලියනවත් ඇති.සමහර අය කතා පවත්වනවා ඇති. කොහොමෙන් හරි ඒකවත් කරන එකා වටිනවා අර ජාතියක් නැති එකාට වඩා.
බොදු බල සේනාව කියන්නේ යුධ සේනාවක් නෙවෙයි.එය හුදෙක් බොදු සිංහල ජනතාවගේ බලයේ සේනාවක්. සිංහල ජාතියක එකමුතුවක්. තව ජාතියක් නිගාවට පත් කරන සේනාවක් නෙවෙයි.නමුත් තම ජාතිය වෙනුවෙන් හඬක් නගන සේනාවක්.

ඉතිං මේ සර් ගැනනේ මම කියා කියා හිටියේ. මොකක් හෝ පිනකට මට මේ බුද්ධිමතාගේ ඇසුර සුළු කාලයකට හරි ශිෂ්‍යයෙක් විදියට ලැබුණා.ඒක සමහරවිට හේතු වෙන්න ඇති මාවත් සුභාවිත ගීත වලට, ඒ වගේ හොඳ නිර්මාණ රස විඳින්න යොමු කරවන්න. සර්ගේ දැක්ම, බුද්ධිමත් බව, විචාරවත් බව විග්‍රහාකරන්න තරම් මට විචාර හැකියාවක් නැති බවනම් මං දන්නවා. සර්ගේ කවි කීපයක් සහ සර්ට අදාළ ලින්ක් ටිකක් පහල දාන්නම්.කියවලා ඔබේම බුද්ධි මට්ටම් තුලින් විචාරයක් ගොඩ නගාගන්න.

සිළුමිණ පුන්කලස ලිපියක්
දිවයිනට බුද්ධදාස ගලප්පත්ති ලියු ලිපියක්
සර් එක්ක පුවත් පත් සංවාදයක්
සර්ගේ කවි කිහිපයක එකතුවක්
සර්ගේ ලිපියක්
සර්ගේ කවි කිහිපයක්

ඈ..? මොකක්ද..?
ආ…සර්ගේ නමද!
නම පරාක්‍රම කොඩිතුවක්කු

13 comments :

  1. ම්ම්ම්... හැඩෙත් වෙනස්.. පාටත් වෙනස්....
    ඉට්ටැයිල් එක නම් එමමයි... එසේමයි... අනර්ඝයි අතිවිශිෂ්ටයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උකුස්සා !

      Delete
  2. මොකද තීම් එක වෙනස් කරලා? ඉක්මනට ලෝඩ් නම් වෙනව. ඒ උනාට කලින් එක තරම් ලස්සන නෑ. :(

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමද. එකේ කියවන්න අමාරුයි මගේ නිසා මේක දැම්මේ මචං. තාම හරි එකක් හිතට වැදුනේ නෑ. ඊයේ පැය ගානක් බලලා බලලා මේක දැම්මේ. මේකෙත් මම හයිලයිට් කරපුවා ලස්සනට පේන්නේ නෑ වගේ. :(
      බලමු තව. ටැංකු අදහසට

      Delete
    2. ඔන්න උඹ කිව්ව නිසා ආයෙත් පරණ එකට ආවා. :D

      Delete
  3. සර්ගෙ නම අහන්න කලින් අර සිංදු දෙක කියවපු ගමන්ම ඇග හිරිවැටිල ගියා සිංදුවෝ.උබ සෑහෙන්න පින් කරල තියනව ඒ වගේ සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං :D
      අනිවාර්යෙන්ම මචං මමත් ඇත්තටම සතුටුවෙනවා සර්ගෙ ඇසුර ලැබීම ගැන.

      Delete
  4. patta macn...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං :D

      Delete
  5. නියමයි සින්දු.....

    ReplyDelete
  6. ඉවසපන් පුතේ .......
    තව ටික දවසකින් කවි හම්බෙයි .....
    y-) y-) y-) y-) y-) y-)

    :P :P :P :P :P :P

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.