Thursday, February 14, 2013

සිනිදු සුදු මුතු තලාවේ



හැමදාම සින්දු වල අර්ථය නැත්නම් එක බිහි වුනු හැටි විතරනේ කතා කලේ.අද පොඩ්ඩක් වෙනස්ම පැත්තක් බලමු.කලින්ම කියන එක හොදයිනේ.පොලවේ පය ගහල නැති ලඳුන් පුරුෂයන් ඉන්නවනම් ලිපියේ මැද කියවන්න එපා.හත්වන ජේදය ඉඳලා දොළහ දක්වා කොටස.

සංගීත සංධ්වනි එහෙම නැත්නම් දෙමළින් Symphony කියල කියන එක අහල තියෙනවා නේද.එහෙම නැත්නම් ඔකෙස්ට්‍රා ( orchestra ) ගැන අහල ඇතිනේ.

ඔයටික කිව්වම මුලින්ම මතක් වෙන්නැතිනේ සංගීත භාණ්ඩ ගොඩක් වටකරන් කෝටු කෑල්ලක් අරං වනන කෙනෙක්,ඊළගට මතක්වෙන්නති කේමදාස ශුරින්ව.ආ….දැන් හිතුව නේද අද කියන්න යන්නේ කේමදාසයන් ගැන කියලා.ඇත්තටම නෑ.
කේමදාසයන්ගේ නිර්මාණ මම තේරුම්ගන්න උත්සහ දරමින් ඉන්නේ.අවබෝධවුනාම දාන්නම්.අද මම කියන්න යන්නේ ඊට වඩා සරල එකක් ගැන.අර්ථකථනය වරදවා වටහාගන්නෙපා.සරල කියන එක සාපේක්ෂයි.මෑත කාලීන ඈත කාලීන ඔය දෙආ-කාලිනම සමහරක් ගීතවලට සාපේක්ෂව මේක ඉතාමත් සංකීර්ණයි.

කොහොමෙන්හරි ඔය සංධ්වනි පිළිබඳව මම මුලකුරු ඉගනගත්තේ ස්කෝලෙන්.ඇත්තටම එතන වාදන භාණ්ඩ පෙරලියක් වගේ විතරක් පෙනුනට ඒ ගහන ඒවායෙන් කතාවක් කියැවෙනවා.ගොඩක් සංධ්වනි බිහිවෙන්නේ තේමාවක් ඇතුව.

ඉස්කෝලේ කිව්වම මතක් වුනේ මගේ යාලුවෙක් හිටියා නම ඉරේශ්.මිනිහ තමයි මුළු ඉස්කෝලෙම ඔක්කමටම තබ්ලා ඩොල්කි අනං මනං ඔක්කම තාල වාද්‍ය භාන්ඩ වාදනය කලේ.මිනිහා කලේ අපිත් එක්ක මැත්ස්.එත් කලා උළලෙත් තබ්ලා උගෙන්.

එතකොට තව මලයෙක් හිටියා දර්ශන කියල (අපේ මල්ලිගේ කල්‍යාණ මිත්‍රයා) ඒකා කලේ වයලින්.බයෝ පොරක්.ඔව් ඔව් මිනිහා තමයි අර සබරගමුවෙන් යලි උපන්නෙමු කියලා පොස්ට් එක කරන්නේ.කතා ඕනි නෑ ඉතින් උන් දෙන්නම ( ඉරේශයයි දර්ශනයයි ) සබරගමුවේ හොදම දෙන්නා.සමස්ථ ලංකාවෙත් ඒ දවස්වල එක ගැහුවේ මෙයාල තමයි (අතිශයෝක්තියක් නොවෙයි).මම ඉතින් ගහන්න දන්නේ කීබෝඩ් සර්පිනා ඔයවගේ ඒවානේ.ඒ දවස්වල සයන්ස් ඩේ එකට බරපැන හොයන්න අපි තුන්දෙනා ආදී රසකලස කියලා ෂෝ එකකුත් කලා.අනේ ඉතින් අපි තුන්දෙනා කිව්වට අපි කලේ සංගීතය සපයපු ඒක විතරයි.අනිත් උන් නිදි මරන් සැරසිලි හැඩතල කලේ.

ඉතින් ඔය ඉරේශයාට කොච්චර තබ්ලා පුලුවන්ද කිව්වොත් ඌ කතාකලෙත් තබ්ලාවෙන්.පොඩි උන්ට වගේම අපිටත් ආතල්ම එක ඒකතමා.හැබැයි වැඩිපුරම පුළුවන් කුණුහරප තමයි.ඒ දවස් වල පුරුදු වුනෙත් ඒවානේ.කවුරුහරි බැන්නොත් මිනිහ පට්ටෙට ගහනවා “පල *ත්තිගේ පුතා” කියලා.ඉස්සර ඕකා හදාගෙන තිබුණු තාලයක් තිබුන.

දකින දකින කත ගෙටගෙන 
කතගේ එකට තුන දාගෙන 
කටින් තනක් තදකරගෙන 
ධඃ ! 

ඕක කියල ඒ විදියටම ගහනකොට වටේ ඉන්න පොඩි උන් බඩ අල්ලන් හිනාවෙනවා.රසම වැඩේ මේ තරගවලට පුරුදුවෙනකොට සින්දුව මැදදී හිටපුගමන් තාලෙට ගැලපෙන්න ඕව ගහනවා.දන්න උන් ඉතින් කට තද කරන් හිනා.උන් දිහා බලල මිසාලයි සර්-රයයි බනිනවා.

එකෙත් පට්ටම වැඩේ කියන්නේ එක මිස් කෙනෙක්ට එච්චරම සංගීතේ බෑ.ඒ කිව්වේ දැන් කවුරුහරි අවුට් ගැහුවොත් බනින්නේ වෙන එකෙක්ට.ඉතින් අපිටත් මල ඇයි අර හොදට ගහන පොඩි එකා බොරුවට බැනුම් අහනවනේ.දවසක් සින්දුවක් පුරුදුවෙන අතරේ ඉරේශය ගත්තා බ්‍රේක් එකක් ( ඕක තේරෙන්න සිංහලෙන් කොහොම කියන්නද මන්ද,ගහන් ආපු තාලේ විරාමයක් අරං ආයේ ඒ තාලෙටම එන එක ).ඉතින් ඔය බ්රේක් ගැනිල්ල එක එක වීදිවලට ගන්න පුළුවන්.6/8 යන රිද්මයෙන් එකපාරටම 3/4 රිද්මයකට එනවවගේ ඇවිත් ආයෙත් 6/8 වලට යනවා.තේරුනේ නැති අය එක සුපිරිම පොරවල්ලට විතරක් පුළුවන් දෙයක් කියලා හිතාගන්න.
ඉතින් මේක මිස්ට තේරුනේ නෑ.උන්දෑ බැන්නේ නැතැ මුට.මුටත් මල.තින් තින් ගගා ඉදල බැන්නා නේද විනාඩි දෙකක් විතර.කටින්ද ? නෑ නෑ තබ්ලාවෙන්.
එතන උන්න පොඩි උන් ඔක්කටම බැනපු පද ඔක්කම තේරුණා.උන් හැමෝම මහා හයියෙන් හිනා උනා.ඇයි උන් විතරක් අපිත් බක බක ගාලා හිනා වෙනවා.මිසා ඔන්න අදටත් දන්නේ නෑ කිව්වේ මොකක්ද කියල.උන්දෑට අන්දුන් කුන්දුන්.

ඉතින් ඒ වගේම ඉතිහාසයක් තියෙනවා දර්ශන මලයටත්.ඕකගේ ප්‍රියතම එක තමා ” මොකද *ත්තෝ ?” කියල වයලින් එකෙන් අහන එක.ඌටත් පව් නෑ කියල හොදට කුණුහරප ගහන්න පුළුවන්.පට්ටම වැඩේ මුන් දෙන්න බැනගන්නකොට.මතකවෙනකොට ආයේ ස්කොලේ උන් එක්ක යන්න හිතෙනවා.

ඉතින් මම ඔය කියන් ආවේ වාදන භාණ්ඩ වලටත් කතාකරන්න පුළුවන් කියලා.අපේ පැරණි ගීතවල සංගීතය වගේම ඒ වාද්‍ය භාණ්ඩත් තෝරාගෙන තියෙන්නේ ඒ ඒ ගීතයට අනුරූපවන විදියට.සමහර ගීතවල පමණයි එහෙම යොදාගෙන තියෙන්නේ.ඒ වගේම සංගීතයත් ඒ විදියටම ගැලපෙන්න යොදාගන්නවා.එහෙම සින්දු කීපයක් ඉස්සරහට කියන්නම්කො.

අද ගීතයත් එහෙම සංගීතය වඩාත් අර්ථවත් ලෙස යොදාගෙන තිබෙන ගීතයක්.පඳුර වටේ තල තල හිටියා මිසක් කිව්වේ නෑනේ ගීතය.එක්කෝ තව ටිකක් තලලම කියන්නම්.ඉතින් මේ ගීතයක අලංකාරයත් අර්ථයත් වඩාත් දනවන්න යොදාගන්න සංගීත භාණ්ඩය ඒ වගේම ඒකෙන් ගහන නාද මාලාවත් ඉතාමත් වැදගත්.එක්කෝ දැන්ම කියන්නම් සිංදුව. අහල තියෙනවා නේද අමරදේවයන් ගයන “ සිනිඳු සුදු මුතු තලාවේ “ ගීතය ?

මහගම සේකරයන් රචිතව සෝමදාස ඇල්විටිගලයන්ගේ අපුරු නාද මාලාවෙන් පෝෂිතව 1967 තිරගත වෙන සත් සමුදුර චිත්‍රපටියට නිර්මාණය වෙන මේ ගීතය 1968 දී සම්මානත් දිනාගත්තා හොදම චිත්‍රපට පසුබිම් ගීතය වෙනුවෙන්.දැන් කොහොමද සංගීත් සංධ්වනි මේකට සම්බන්ධ වෙන්නේ ?
මේකයි ඇත්තටම මට තේරෙන හැටියට මේකේ සංගීතය විස්තර කිරීමක් මම කරන්නම්.මේක ප්‍රවීනයෙක්ගේ අදහසක් එහෙම නෙවෙයි.කොයිතරම් දුරට නිවැරදිද කියන්න මම දන්නේ නෑ ඉතින්.මට වඩා සංගීත ඥානයක් ඇති ඇත්තෝ සිටිත්නම් කොමෙන්ටුවක් දමා යත්වා !

ගීතය විස්තර කරන්න මම කාලයන් සඳහනක් කරලා තියෙනවා.ඒ කාලයන් ගැලපෙන්නේ පහළින්ම දාල තියෙන ලින්කුවේ ඇති ගීතයට බව කරුණාවෙන් සලකාසිටින්න.
මොකක්ද මේ සංගීතයේ තේරුම කියල බලමු.මේක මියුසික් වචන අඩුකරලා හැමෝටම තේරෙන්න ලියන්න පුළුවන් තරම් උත්සහයක් දරන්නම්.

ගීතය සයුර ගැන කියවෙන්නක්.ගීතයේ ආරම්භයේ මුහුදේ ගැඹුරු ප්‍රදේශයේ තියෙන සුළු චංචල බව පෙන්වීමක් කරනවා.යන්තම් පැද්දී පැද්දී තියෙන මුහුදක් නිරුපනය වෙන්නේ.අපි මුහුදට යනකොට ඇතට මුලින්ම දර්ශයන වෙන්නේ ඒ ටික වගේනේ.මේකට පිරිමි උදවිය පමණක් අත්වැල් ගායනයට යොදාගෙන තිබීමෙන් ඒ මුහුදේ ගැඹුරු බවත් විශාලත්වයත් ගම්භීරතවයත් වගේම මුහුද ලඟදි ඇසෙන “හෝ” හඬත් මනාව පිලිඹිගු වෙනවා.තලාවේ… කියල ඉවර වුනාම එතන යෙදිලා තියෙන “ආකාරය“(ආලප් කොටස) බලන්න මුලින්ම රැල්ල ඉස්සිලා අයෙත් පාත්වෙලා අයෙත් මද එසවීමක් වෙනවා.වයලීන් වලින් මුළු මුහුදේම ඒ ගැඹුරු ප්‍රදේශ වල තියෙන සුළු සෙල්ලීම් නිරුපනය වෙනවා.
01:13 දී ඉදං අපි වැල්ලේ ඇවිදිනවා.පෙන පිඬු පුපුරනවා.කුඩා රැල්ලක් කකුලේ ඇඟිලි තෙමන් යනවා.ඊළගට සිතාර් වලින් ඒ ඇවිදින ඒක පෙන්නනවා.තාලෙට සෙල්ලමෙන් ඇවිදන් යනකොට සමහර රැලි වේගෙන් ඇවිත් දණහිසට වෙනකම් නාවගෙන යනවා.ඒක 1.38 ට යන වයලීන් වලින් නිරුපනය වෙනවා.රැල්ල වැල්ලේ උඩට ඇවිත් අයෙත් පහලට යනවා.මෙහම ඇවිදන් යනකොට ගල් තලාත් හම්බ වෙනවා
1.50 සිට අපි එහෙම ගල් තලාවක යනවා වගේ තබ්ලා යොදාගෙන මවනවා.ගලින් ගලට පනිනවා වගේ.ඊළගට අයෙත් වැල්ලේ.ඊළගට ගීතය..

ගීතයෙන් පස්සේ ගල්පරවල මුහුදු වතුර හැප්පෙනවා.රල බිඳෙනවා. මුහුදේ අසිරිය මවනවා.

පසුව එන ගීත කොටසින් පස්සේ මුහුදේම තවත් පැත්තක් නිරුපනය වෙනවා.අහස කලුවෙලා රල සැර වෙලා.ප්‍රමාණයෙන් විශාල සැඩ වියරු රළ පහරවල්.රළ පෙරලි පෙරලි එනවා ඉදිරියටම 4.43ඉඳල එහෙම එන රැලක් ඉදිරියට ඇවිත් ඒක බිදී යනහැටි වයලීන් වලින් පෙන්වනවා.
බට නලාව ගහන කොටසෙන් යම් භිය ගතියක් එහෙම නැත්නම් මුහුදේ භයංකාරත්වය වඩාත් හොදින් හිතට වද්දනවා.බුර බුරා නැගී කුරිරු ජල කද දෙරණ සම්පත ගිල ගන්න හැටි අවසානේ වයලීන් වලින් නිරුපනය වෙනවා.ලොකු රැල්ලක් ක්‍රමයෙන් වර්ධනය වෙවී වෙවී ඇඹරී ඇඹරී එවිත් ගොඩබිමට ඇතුල් වෙනවා.

මේකේ රුපරමුපෙලේ නම් මෙහෙම පෙන්නේ නෑ.එත් සංගීතය ඇස් පියන් අහනකොට මැවෙන්නේ ඔයවගේ එකක්.ගීතය සම්බන්ධව කෙසේද කියන්න දන්නේ නෑ එත් සංධ්වනි සම්බන්ධවනම් එක කාරණයක් හොදාකාරවම දන්නවා.ඒ තමයි කවුරුහරි එකේ එක ස්වරයක් විතරක් ගහනවද,ඒකත් ගහන්නේත් තේරුමක් ඇතුව.
ඒ කියන්නේ සන්ධ්වනියේ හැම භාණ්ඩකෙම හැම නාදෙකටම ගහන තැන,ගහන නොට් ඒක,ඒ වගේම ගහන වොලීම් එක,අනුව සම්පුර්ණ අදහස වෙනස් වෙනවා.ඒක ඒ තරම් සංකීර්ණ දෙයක් !

අර මම කියපු දර්ශන මලයන්ඩිය ඔය මුළු ගීතයම තනියම එඩ්වඩ් ජයකොඩියන් ඇතුළු ප්‍රවීනයක් කීපදෙනෙක් ඉදිරියේ නිවාඩු වෙලාවක වාදනය කරලා හැමෝගෙම පැසසුමට ලක්වුනාලු.හිතාගන්න පුළුවන්නේ මොනවගේ පොරක්ද කියල.

සිනිදු සුදු මුතු තලාවේ 
පිපෙන පෙණ පිඩු සිනාසේ 

සැලෙන රළ මත ගිලී ඉපිළී 
ගලන සිතුවිලි මුළා වී 

ගැඹුරු සත් සමුදුර පතුල බිඳ
ඇඹරී ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර බුරා නැඟී කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනී 

මෙන්න ගීතය රසවිඳින්න

පහල වීඩියෝ පටයේ තියෙන්නේ සත්සමුදුර චිත්‍රපටයේ මේ ගීතයේ අවස්ථාව . එම අවස්ථාවේ රංගනයෙන් දෙනවක  හාමිනේ සහ සිරිල්වික්‍රමගේ මහත්මයා සම්භන්ධ වෙනවා . විටින් විට වාදක මණ්ඩලයක් පේනවා නේද ? . එතන ඒ ජාතික ඇඳුමින් සැරසිලා වාදක කණ්ඩායම මෙහෙයවන්නේ එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ( SLBC ) වාදක මණ්ඩලයේ අධ්‍යක්ෂක තනතුර හොබවපු මෙම ගීතයේ සංගීත සංයෝජනය කරපු සෝමදාස ඇල්විටිගල මහා සංගීතවේදියානන් . බලන හැමෝටම ගීතය ගැන මම කියපු කතාව හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි .


එහෙනම් හැමෝටම ධඃ !

14 comments :

  1. උඹල වගේ මිනිස්සුන්ගෙ අතරට ගිහින් සංගීතය ගැන කියල දෙන එවුන්ගෙන් තමයි සංගීතයට ලොකු මෙහෙයක් වෙන්නෙ. වෙල් ඩන් පුතා. දිගටම යමු. අන්තිම පේලිය එහෙම අමතක කරනව නෙමෙයි ඕං.
    .
    (තීම් එක ලස්සනයි. පෝස්ට් එක යට ඉඳන් එක පාරටම උඩට යන්න පුලුවන් බට්න් එකක් දාමුද?)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං උකුස්සා .පිස්සුද කොහේ ගියේ නැතත් තෙලස්ට්‍රෝවට එනවා
      එළ මචං ටැංකු අදහසට මම සෙට් කරන්නම් එකක් ළඟදීම :D

      Delete
  2. සියල්ලන්ගේම දැනගැනීම පිණිසයි............!
    සත් සමුදුර චිත්‍ර පටයේ මේ තේමා සංගීත නිර්මාණය කිරීම ගැන කටකතාවක් තියෙනවා.මට දැනගන්න ලැබුන විදියටනම් මෙම සංගීත නිර්මාණ කරලා තියෙන්නේ ඩී.ආර් පීරිස් කියලා ඒ කාලේ කැම්පස් එකේ හිටපු සංගීත අචාර්යවරයෙක්.මේ චිත්‍රපටය නිෂ්පාදනයවන කාලයේ තිබුණු නීති වලට අනුව විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකුට චිත්‍රපටයක සංගීතය නිර්මාණය කරන්න තහනම්.මේ නිසා ඩී ආර් පීරිස් මහතා මෙහි සංගීතය නිර්මාණය කලත් ඔහුට තමාගේ නම යොදන්න හැකියාවක් තිබුනේ නැහැ.
    චිත්‍රපටයේ තේමා වාදනය පටිගත කිරීමට වාදනයෙන් සහයවෙලා තියෙන්නේ ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලය.ඒකෙ සංගීත අධ්‍යක්ෂක වෙලා ඉඳලා තියෙන්නේ සෝමදාස ඇල්විටිගල මහතා.ඒ නිසා චිත්‍රපටයේ සංගීත නිර්මාණය කියලා නම ගිහින් තියෙන්නේ සෝමදාස ඇල්විටිගල මහතාගේ.
    ව්ශ්වාස කරන්න බැරි සහ විශ්වාස කරන්න පුළුවන් දෙපලක්ම මේ ගැන මට කිව්වා.මේකේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සින්දුවාගේ අවධානය යොමු වේවා.

    අපිගැන ලිව්වාට සින්දුවාට මගේ හදපිරි එව්වා එක.... ;) ;) ;) ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයා. ලිපිය කියවන අය මේ කොමෙන්ට් එකත් කියවත්වා !

      Delete
    2. මෙන්න මේ කාරණය ගැන දන්න කවුරුහරි ඉන්නවද ?
      මේක ඉංදියාවේ සිංදුවක ප්‍රභල ආභාෂය අරගෙන හදපු සිංදුවක් කියලත් කටකතාවක් තියෙනවා.
      ඒත් ඒ මොකක්ද original සිංදුව කියල තමයි හොයා ගන්න අමාරු.

      Delete
  3. හැමදෙයක් ගැනම සැලකිලිමත් වෙන පුරුද්දක් තියෙන නිසා මෙහාට එන්න ලැබුනේ එහෙම නොවුනා නම් මිස් වෙනවා. මෙයිට වඩා සාර්ථක විදිහට හින්ට් එකක් දෙනවා නම් හොඳයි යාලුවා. නැත්නම් අනිත් අයට දැනගන්න ක්‍රමයක් නෑනෙව. ඕං මම නම් රෝලට එකතුකර ගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. :D

      Delete
  4. මරු සින්දු... වයලින්ට කුණුහරප කියන්නත් පුලුවන්ද? අහිංසක ළමයෙක් වගේ නේ දැක්කම? :D

    ReplyDelete
    Replies
    1. ඕකව පෙනුමෙන් කීයටවත් නො-මනිනු මැනවි :D

      Delete
    2. මේ මට මේවත් පුළුවන් W-)

      Delete
    3. හඃ හඃ හඃ හඃ
      :)) :)) :))

      Delete
  5. හැකිය .
    අවශ්‍යනම් නව කුණුහරුප නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණයද මැනවින් කල හැකිය.. ;)

    ReplyDelete
  6. මේක නම් උපරිම වටිනවා. කොහොම වරණනා කරන්නද කියල හිතාගන්න බෑ.උඹල මේක මෙහෙම කරන්යන එක මාර වටිනවා... දිගටම කරන්යන්න. තව හොඳ හොඳ ලිපි දාන්න වාසනාව ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. :D ඇතිනේ.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.