අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

හෙමින් හෙමින් මම ගේකට… තවද ඌරන් සාවුන් වෙඩි තියන්න වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වාගේ හෙමින් හෙමින් මම ගේකට…යන කලට තවද අත්තා මුත්තා පන...

රා බී වෙරි වූ මීයා


හෙමින් හෙමින් මම ගේකට…
තවද ඌරන් සාවුන් වෙඩි තියන්න වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වාගේ
හෙමින් හෙමින් මම ගේකට…යන කලට
තවද අත්තා මුත්තා පනත්තා කිත්තා කිරිකිත්තා සෝඬියා පාඬියා කාලේ මහා උස් කුණාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් කඩන්නා සේ
එකෙක් ඇවිත් දුන්නයි මගේ…පිට මැදට
තවද නැන්දා මාමාලගේ ගෙදර ගොස් හොඳ බතක් මාලුවක් කෑවා සේ
ඒ ගුටි කකා මම පිටවි…යනකලට
තවද නැන්දා මාමා හූරා නෑනා කෙනෙක් එක්ක සංතෝස වේලාවකදී කොක් හඬලා සිනාසෙන්නාක් මෙන්
මංම මටම ඉලඇට නැත…සිනාවට


ටීකා සීපද අහල තියෙනවද ආයුබෝවන්ඩ? මේකත් ඒ වගේ ටීකා සීපදයක්. ඕක ඔහොම කියනකොට ගොනා තණකොළ කකා එන්න හදන්නේ මොන පොල් පැලේටද කියල තේරුනානේ.
පොල් පැලේ තමයි ජන කවිය. එතකොට ගොනා ? ඕන්නැති ඒවා හොයන්නැතුව හිටු.


ඉතිං මේ ජන ගීතය, ජන සංගීතය, ජන කවිය (ඔය තුන, තුනක් හොඳේ) ඔහොම කියනකොට කාවද මතක් වෙන්නේ ?

ජන කවි ගීත වගේම සංගීතය මනාව අධ්‍යනය කරලා ඒක අනාගත පරපුරට දායාද කරන්න ඉමහත් මගඟු මෙහෙවරක් කළ මකුලොලුව මහත්තයද..

එක්කෝ “මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ” කියල ප්‍රෞශයකින්යුත් ගැඹුරු කටහඩකින් හිතේ පතුලටම කතා කරපු ලයනල් රංවලයන්ද

එක්කෝ ගොඩක් වෙලාවට තම්මැට්ටමක් තියාගෙන තවත් බෙර ගහන උදවියත් එක්ක ඇවිත් අපුරු නාදයන් ජනනය කරන ජනනාත් වරකාගොඩද

එක්කෝ සිය පියාගේ අඩි පාරේ යමින් නූතන සමාජයේ හිත්තුල ජන සංගීත බීජයන් වපුරන්නට මහත් වෙහෙසක් දරන සහන් රංවලයන්ද

එක්කෝ…එක්කෝ…එක්කෝ……

ඇති නේද.. ඉතිං එකී මෙකී නොකී තව ගොඩක් අය මතක්වුනානේ. ඔය තරම් පිරිසක් මේ ජන ත්‍රිත්වය(ගීතය,සංගීතය,කවිය) ගැන උනන්දු ඇයි?.පැහැදිලිවම අපේ අනන්‍යතාවය ඒක නිසා.
පිටරටකට ගියොත් ඔයාගෙන් ඇහුවොත් ලංකාවට අවේනික සංගීත මොනාද කියලා ඉරාජ්ගේ “කොත්තු” කියන්නද, වික්ටර් රත්නායකයන්ගේ “හෝපලු වනපෙත” කියන්නද, කාගෙද මන්ද “දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව” කියන්නද නෑනේ. ඒවා අපේ නෙවෙයිනේ.
හිපොප්, රාගධාරී සංගීතය, බයිලා කපිරිඤ්ඤා අපේ කිව්වොත් උන් හිනාවෙයි නිතඹෙන්.

අර ICC සෙරමනි එකට අනිත් හැම රටක්ම උන් උන්ගේ දේශීය දායාදයන් පෙන්නද්දී අපේ උන් රෑට රැහැයියෝ කෑ ගහන හැටි පෙන්නුවා මතක ඇතිනේ. ඔයිට හොඳයි බස් අජිත් ගිහිං “සුදු අරලියා මල” කිව්වනම්. විවිධ සංගීත කලාවන් විවිධ සංගීත හැඩතල අනිවාර්යෙන්ම රටේ තියෙන්න ඕනි. ඒකට මමත් එකඟයි ඔන්න. හැබැයි ගැලපෙන තැනට ගැලපෙන විදියේ ඇණයක් එපෑ ගහන්න.ඕව මොනාද බං ජාතික ගීයේත් භාගයක් කියන උන්නේ අපි නැද්ද.


දැන් ඔය ටීකා සීපද කියන්නේ කොහොමද.ලිව්වනම් කියන හැටිත් කියපං නේ.හිටු කියඤඤං.
උඩ කවියේ තද පාට ටික කවියක පද හතරක්.සරළ කවියක් කියන්නේ කොහොමද ඒ විදියට ඔය පද හතර ගයන්නේ. පැල් කවියක් වගේ. මේ කවියේ මුලින්ම තද කළු අකුරෙන් තියෙන්නේ මුල්ම පදේ පොඩි කොටසක්.එතකොට මුල්ම පදේ කියන විදියට තමයි ඒ කොටසත් ගයන්නේ.
දැන් එක පදයක් කියලා ඉතුරු ටික (ඒ ටිකට හෑල්ල කියලත් කියනවා) වේගෙන් කියවගෙන යනවා.ආයේ ඉතුරු කවි පදය.
මෙන්න මේ වගේ අහලා බලන්නකෝ

මට අම්ම තමා ඔය ටීකා ගැන මුලින්ම ඉගැන්නුවේ.ඉස්සර ඔය ඇසෙම්බිලිය කියල එකක් තිබුනනේ ඉස්කෝලේ.ඕක ඉතිං පංතියෙන් පංතිය භාරව කරන්න ඕනි. හැම පන්තියක්ම තරඟේ හොදම ඇසෙම්බිලි එක උන්ගේ පන්තියේ එක කරන්න. ඉතිං සිංදුද කථාද දන්නැද්ද වැඩ කිඩ ගොඩයි.එත් ඔය පුල් සීරියස් කතා ගේමේ අහගෙන ඉන්න ස්කොලේ උන් ටිකක් අපි යන දවස්වලනම් හිටියේ නෑ. වැඩිය ඕනි නෑ.පංතියේ එකා කරන කතාව පංතියේ උන්ම අහගෙනවත් නෑ. සිංදුවක්නම් තමා හැමෝම යන්තං අහන්නේ.
ඕක අපේ පන්තියටත් ආවම ඉතිං පංතියේ ආත්මගරුත්වය බේරාගෙන පන්තියේ වැඩ කිඩ පෙන්නන්න, විහාර මහා දේවියගෙන් පසුව බිහිවුනු ඒ ආකාරයේ පිරිමි වර්ෂන් එක, ජනකාන්ත, ජනලෝලිත, මනලෝලිත, ලඳුන්-ලොල්-නැති ඒත් ලඳුන්ට-ලොල්-ඇති, නැගී එන පරපුරේ බැසී යන තාරකාව ලෙස කෙත් මිණි කිරුළු පැලඳු “සිංදුවා” ඉදිරිපත්වෙලා ගැයුවේ ටීකා සීපදයක්.ඒක ඇසෙම්බිලි ඉතිහාසයේ පළමු ටීකා සීපදය. පව් නෑ කියල ඒකට ළමයි විතරක් නෙවෙයි ගුරු පවුලේ ඇත්තෝත් හිනා වුනා. ගුරුපවුලේ මහා එකා. ඔව් ඔව් පිනා තමයි. ඔන්න මිනිහත් හොදායි කිව්වා.

ඉතිං ඔය ජන සංගීතය නංවාලීමට එදා පමණක් නෙවෙයි වර්තමානයේත් අමිල මෙහෙයක් කරන ගමෙන් උපන් තාමත් ගමේම ඉන්න තවත් උතුම් මිනිසෙක් තමයි රෝහණ බැද්දගේ මහත්මයා.
රෝහණයන්ගේ නම කිව්වගමන් මාමයි බෑණයි මතක් වෙන්නම ඕනි. ඒක දන්නේ නැත්නම් .. මොකටද මගෙ කට.
බැද්දගේයන් ගැන කීමට රසවත් දේවල් බොහොමයක් තියෙනවා.ඒක අපි වෙනම ලිපියකට ඉතුරු කරගමු.මේ ලිපිය ජන ගී ගැන නිසා හැමෝම හිතන්න ඇත්තේ අද ජන ගී ඇසුරෙන් ගීයක් කියයි කියලනේ.ඒකටනම් පුතේ නෑ කියන්නයි වෙන්නේ. ජන ගීය ගැන කිව්වේ බැද්දගේ මහත්තයව ඈද ගන්න ඕනි නිසයි හා මේ දවස්වල ජාතික හැගීමක් ගැන යන මෙව්වා එක නිසයි. මේ ගීය බැලුබැල්මටනම් ජන ගීයක් ඇසුරෙන් නිර්මාණයක් කියන්න අමාරුයි.මගේ දැනුමේ හැටියටනම් ජන ගී නෙවෙයි.


මේ ගීය ලියන්න පාදක වෙච්ච සිදුවීමත් රසවත්. බැද්දගේ මහත්තය තමයි සිංදුව ලියල තියෙන්නේ.ගයන්නෙත් එතුමායි බන්දුල විජේවීරයනුයි.
දවසක් ගම් උදාවේ වැඩකට යන්න කට්ටිය ලකලෑස්ති වෙලා ටවර් හෝල් එකේ ගාව බස් එකට වෙලා ඉන්නවලු.ඔහොම ඉන්නවලු… ඉන්නවලු…
තාමත් ඉන්නවලුද ? නෑ නෑ තාමනම් නෑලු
ඉතිං මේ හිටියට තාම බැද්ද්ගේ මහත්තය නෑලු පේනතෙක් මානෙක.අනේ ඉතිං ඔහොම ඩිංගක් පමාවෙලා ඔන්න එතුමා ආවලු. බස් එකේ වාඩිත් වුනාලු.බස් එකත් යනවලු. ඔන්න ඔහොම කිරුළුපනටත් ආවලු. එතනින් බස් එකට ගොඩවෙන්න හිටියලු තව කළාකරුවෙක් (නම දන්නේ නෑ අප්පා).ඔන්න එයත් එයාගේ පොට්ටනිය අරන් නගිනවාලු බැන බැන.බැලින්නම් මුන්දෑ බනින්නේ මේ සුනංගු වෙච්ච එකටලු. නැගල ඇහුවලු
 “මොකෝ පරක්කුවුනේ.. මම පැය ගානක් තිස්සේ රස්තියාදු වුනානේ..” ඔහොම අරකද මේකද කියලා බනිනවලු. බැද්දගේයන් හ්ම්ම් නෑලු.ඔහේ බිම බලන් ඉන්නවලු.දිගටම බනිනකොට බස් එකේ හිටපු කෙනෙක් කිව්වලු 
“මේ අපේ බැද්දගේ මහත්තය පොඩ්ඩක් පරක්කුවුනානේ ඒකයි”
 
කියලා.
එතකොට අර පොර අහපිලු
“කව්ද බැද්දගේ කියන්නේ? මොනාද කරලා තියෙන්නේ එයා ?” කියලා.
බැද්දගේයන් ඉවසුවා ඇති කියල හිතවලු…
ගත්තලු එක භාණ්ඩේ අතට..
ගත්තලු දෙක භාණ්ඩේත් අතට..
“එක භාණ්ඩේ” කිව්වේ පොත බං පොත,එතකොට දෙක භාණ්ඩේ කිව්වේ පෑන බං පෑන, අරන් ලිව්වලු පොතේ මොනාද ටිකක්.ඒක තමා පස්සේ ගීයක් වෙන්නේ..
ඒ ගීතය තමයි “රා බී වෙරි වූ මීයා සේ”

මට ඕක කියනකොට මතක් වුනේ කව්ද මන්ද-1 කෙනෙක් මේ ලගදි කුරුලෑවට සිංදුවක් කිව්වනේ.උන්දෑ දවසක් කෝලන් පෙට්ටියේ වැඩසටහනකට ඇවිල්ලා තව ඒ වගේම කව්ද මන්ද-2 එකෙක්ට බැන්නා.ඒ කව්ද මන්ද-2 ත් තවත් වැඩසටහනකදී කව්ද මන්ද-1 ට බැන්නා. මුන් මරාගන්නවා. වර්තමානයේ සහෝදර ශිල්පීන් කියාගන්න අය.
ඒ අතින් නන්දා මලිනීලා,සුනිල් එදිරිසිංහලා,වික්ටර්ලා,රෝහණලා,බැද්දගේලා,බන්දුලලා,… තව කී දෙනෙක්ද.කවදාවත් අනෙක් එකාට මඩ ගහනවා මම දැකල නෑ. එතුමන්ලා සංගීතය නැමැති වතුර එක් කරලා තනපු වැවක් වට කරන් තියෙන පවුරක්.හැමෝම හැමෝගෙම අතින් අල්ලගෙන වැවේ වතුර ටික පරිස්සම් කරනවා.මේ මී හරක් ඒ වැවේ වතුර බොන ගමන් තපුල්ලනවා.අහෝ ඛේදයකි ඉරකි තිතකි !


රා බී වෙරි වූ මීයා සේ
උඬගු දනා කටමැද දොඩනා

ගිය ගිය තැන පුරසාරම් දොඩනා
මට වැඩි කෙනෙකුන් නැත පවසන්නා
නැති සවි බල ඇති සේ හඟවන්නා
කටමැද මිස වෙන නැත කලදේ

තම බැරිකම් සඟවා පසු සිටිනා
සමතුන් වනසන්නට කැත කවනා
ඇති තැන පණ දී නැති තැන බනිනා
මහරජමුත් රවටා වැජඹේ


එහෙනම් ඉතිං බොලාලටත් ඕනිනම් තමන් ගැන සිංදුවක් හදාගන්න කරන්න ඕනි දේ දන්නවනේ…
මම එහෙනම් ගොහිං තව හෑල්ලක් අරං එඤ්ඤං ආයුබෝවන්ඩ !
මම ගාව මේක විතරයි තියෙන්නේ. කොලටි එක අඩුයි අප්පා.හොද එකක් හම්බවුනොත් දාන්නකෝ කවුරුහරි.මෙන්න සිංදුව
මම එහෙනම් ආයෙත් ගොහිං එඤ්ඤං ආයුබෝවන්ඩ !

4 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි මචං

      Delete
  2. :) මරුය... දැන් වෙන්නේ මේකම Copy-Paste කර කර අනික් Post එකටම දාන්න. හැම එකක්ම උපරිමේටම හොද නිසා....

    ReplyDelete
    Replies
    1. මට පොඩ්ඩක් කියූ දෙය කොයිල් කොයිල් වගේය බඩ්ස් ?

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.