Wednesday, February 27, 2013

මනමේ හෙලේනා



ලිපියකට යන්න කලින් හැමදාම ලියන දිග හෑලිකරණයට කොමාවක් තබා මෙය හදිසියේ දාන්න හිතුනේ මනමේ නාට්‍යයගැන මේ දිනවලදී මා කියවූ ලිපි නිසාය.
මා හටනම් මනමේ කියූ සැණින් මතකයට එන ගීත දෙකකි.

1. රඟහල දැන් ඇත අඩඅඳුරේ
2. මගෙ රත්තරං හෙලේනා

පළමු ගීය නිරායාසයෙන් මතකයට ඒමේ සාධාරණත්වය ඔබට වැටහුනද, දෙවැනි ගීතය මතක් වියයුත්තේ ඇයි යන්න හුදෙක් මෙහි අදාලත්වය නොදන්නා අය තුල පැනනගින ගැටළුවක් විය යුතුය.

මගේ රත්තරං හෙලේනා ගීතයේ ගායකයන් දෙදෙනෙකුගෙ ගායනක් වුවත් එහි දෙවෙනි ගායකයා ඇත්තටම ගයන්නේ "කව්ද" යන කොටස පමණි. ප්‍රධාන ගායකතෙමේ රෝහණ බැද්දගේයන් යන්න නොදන්නා කෙනෙක් නැති නමුත් දෙවෙනි ගායකයා කියා බොහෝදෙනා සිතන්නේ බන්දුල විජේවීරයි. නමුත් එය වැරදි අතර පළමු ගීත පටිගත කිරීමේදී එම කොටස ගයන්නේ ටී.එම්. ජයරත්නයන්ය.

දෙපානෝ ගීත නාටකය කරන අවදියේ හෙලේනා ගීතය නිර්මාණය වන්නේ හෙලේනා නම් නාට්‍යක් සඳහා බවත් නමුත් පසුව ගුරු මාරුවක් ඈත ප්‍රදේශයකට ලබන රෝහණ බැද්දගේයන්හට නිර්මාණය කරන්නට වන්නේ ගීතය පමණකි. මුලදී ගීතය නාට්‍යයට පුහුණුවන අවස්ථාවේදී කව්ද යන්න ටී එම් ජයරත්නයන් ගයා තිබුනත් පසුව ගීතය ගුවන්විදුලියේ සංගීත පරීක්ෂණ අංශයේ පරීක්ෂණ ගීයක් ලෙස පටිගත කරන විට ඔහු සොයාගන්නට නැතුව සිට ඇත.
පසුව මෙම ආරංචිය ලැබෙන ඔහු දුවගෙනවිත්
"අර මගේ චුට්ටි කෑල්ල මම කියන්න එන්නද ?"
කියා ඇසුවේලු.එසේ ගීතය පටිගත වීය.දැන් ඔබගේ සිතේ තවත් ගැටළුවක් ඇත. ඇයි "කව්ද" යන්න බැද්දගේයන් හට කියන්නටම බැරිවුනේ ?. පහල පිළිතුරු ඇත.

එවකට හින්දුස්තානි සංගීත ආරය දැඩිව මුල් බැසගත් අවධියක මෙම ජන-ගී ආශ්‍රිත නිර්මාණ කරලියට ඒමේදී සැවොම බැද්දගේයන්ට එරෙහිව කටයුතු කර ඇත. එවකට බන්දුල විජේවීරයන්ද බැද්දගේයන් හඳුනන්නේ නැති අතර ඔහුද මේවට විරුද්ධව කටයුතු කළේලු යන්න පැවසුවොත් මාද මෙන්ම ඔබද පුදුමයකට පත්වනු ඇත.
කෙසේ හෝ මෙය ප්‍රචාරය නොකරන අවධියේ ලුෂන් බුලත්සිංහලයන් විසින් කළ සඳැල්ල නැමැති වැඩසටහනේ මෙය වාදනය කරවයි. එයින් ඇවිස්සෙන මෙම ගීතයට විරුද්ධව පෙත්සමක් ගුවන්විදුලියට පැමිණේ.

# බොලඳ රචනයක්
# ශ්‍රැතියට නොගයන්නකි
# එදවස රටේ හිටපු පාලිකාවට සමච්චල් කරපු ගීයකි

වැනි කරුණු හුවා දක්වමින් ඒවා තිබූ පෙත්සමින් සඳහන් වුනේ මෙම ගීතය ප්‍රචාරයට නුසුදුසු බවය.

පෙත්සම විභාගයට ගැනුනි.රිච්වේ තිලකරත්න මහතා මැදිරියේ සිට විභාගය පවත්වයි. නිෂ්පාදකවරයා වූ සේන ගුණසේකර කැඳවයි. කැඳවා අසා ඇත්තේ
"මොකක්ද මේ ගීතය පෙත්සමක් එවල තියෙන්නේ මොකක්ද මේක ?".
"මම දන්නේ නෑ සර්. ඔය ඉතිං බැද්දගේ මහත්තයා අර කෝලම් වලින් අරහෙන් මෙහෙන් අරගෙන හදපු නාද දාලා මේක ලියන්න ඇත්තේ."
යනුවෙන් සේනයන් නිදහසට කරුණු දක්වා ඇත.පසුව
"එහෙනම් සර් මම මේක මකලා දාන්නම්" කියා යන්න සැරසුනුවිට
"ඕක මම ඇහුවේ නෑනේ මොකක්ද කියල, ඕක දානවා මට අහන්න ?"
පසුව ගීතය ඇසු තිලකරත්නයන්
"මොන පිස්සුද මේක හොඳ ගීතයක්නේ, ඔන්න ඔහේ දානවා මේක තැටියක් කපලා හැමදාම ගහනවා"
එමගින් සිංහල අමිල ස්වර්ණමය ගීත එකතුවට බැද්දගේයන් එකතුවේ.

Bertolt Brecht කියන වේදිකා නාට්‍යරචකකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු විසින් වේදිකාවේ සිදුවන දේ මායාවක්ය යන්න හදුන්වා දුන් "දුරස්ථීකරණය", එනම් නළුවන් ප්‍රේක්ෂකයන් මැදින් වේදිකාවට පැමිණ ගොඩවීම යන්නද මෙම ගීතයට සම්බන්ධවේ.
ඒ කෙසේද ?
මෙහි එන කව්ද යන කොටස අසන්න නිර්මාණය කර ඇත්තේ වේදිකාවෙන්ය.
දෑ සමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි යනුවෙන් කියන විට ප්‍රේක්ෂකයන් කව්ද කියා විමසයි. කෙතරම් සුන්දර නිර්මාණයක්ද යන්න මා කිවයුතු නැත. ඔබගේ හිතේ ප්‍රේක්ෂකයන් කව්ද යන්නෙන් අසනවා ගීතය අසන විට දැන් මැවීපෙනේවි.
කෙසේවෙතත් පෙර කී දුරස්ථීකරණය ඔහු හඳුන්වාදීමට පෙර අප රට පැවතී එකක් බව බැද්දගේයන්ගේ මතයයි.තොවිල් පොළවල් වල එසේ ප්‍රේක්ෂකයන් හා සම්බන්ධ වේ.

දැන් කියන්නට යන්නේ මනමේ ගැලපෙන කොටසයි.
එවකට බටනලා වාදකයෙක්ව සිටි බැද්දගේ මහතා මනමේ නාට්‍යයේ බටනලා වයන්නට සිටඇත.
මනමේ කුමරුන් සමග කුමරියගේ ගමන් ලතාව පෙන්වීමට මද්දලයෙන් තාල රිද්මය නැගෙන විට චාල්ස් සිල්වා ගුරුසිංහ ගුරුන්වහන්සේ විසින් බැද්දගේයන් හට
"පුතා මෙහෙම ගහන්න "
කියමින් වාදනයක් ගයා පෙන්වා ඇත.
එය මෙම හෙලේනා ගීතයේ අන්තර් වාදනයයි(interlude).
බැද්දගේයන් සිනාමුසු මුහුණින් යුතුව පවසන්නේ
"මනමේ කුමරියයි කුමාරයයි කැලේ මැද්දෙන් ඔහොම යනකොට ඔය වාදනේ වැදුනා වගේ,
 ඔන්න මමයි මෙයයි(හෙලේනා) යනකොටත් ඒකම වදිනවා" ලෙසය.















දෑ සමන් මලක් වගෙයි
ප්‍රියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගේ
අහිංසකයි රටක් වටියි
කව්ද
මගෙ රත්තරං හෙලේනා

රාජ භෝජන නැත මට දෙන්නට
සිහින් සිනිඳු සළු නැත මට දෙන්නට
ගේදොර  වතු පිටි නැත ගරුසරුවට
යාන්තමට ඇත දිවි රැකගන්නට
කව්ද
මගෙ රත්තරං හෙලේනා

පසු කරමින් මහා කඳුවැටි ඕවිටි
පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි
ගල්මුල්වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි
කව්ද
මගෙ රත්තරං හෙලේනා


උදාර මිනිසුන් උතුම් නිර්මාණ තාමත් නොනැසී අප අතරම ඇත.වර්තමාන කොපි එඩිට් පේස්ට්  පරපුර මෙන්ම තාරකා නවකයන් වටහා ගතයුතු කරුණක් ඇත්තේය. අනුන්ගේ ගීතයක් වේවා, තනුවක් වේවා අරගෙන එය මොඩිෆයි කර තමන්ගේ මෙන් ඉදිරිපත් කරන්නා නිවටයෙකි. ඔවුන්ගේ නිර්මාණ, අත්දැකීම ආදර්ශයට ගෙන ස්වඋත්සාහයෙන් ස්වනිර්මාණයෙන් නැගී සිටින්නා සැබෑ හපනෙකි.

නෙලුම් පිපෙනුයේ මඩේය. එයට උඩට එනතෙක් බාධාය.නමුත් උඩට ඇවිත් පිපුණු කළ ගරු බුහුමන්ය. නමුත් පිපුණු මලේ මඩ තලියක් තිබුනොත් කෙතරම් උඩට ගියත් නෙළුම අවලස්සනය. අද ඇත්තේ බහුතරයක් එසේ පිපුණු මඩතලිය

6 comments :

  1. ඒකට හේතුවක් වෙන්න ඇති හොඳට පිපුන නෙළුම් වැඩිය නොපෙනෙන තැන් වල පිපීම. අන්න ඒකයි උඹට කියන්නේ පත්තරේකටත් ලියපන් කියල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං :D හඃ හඃ පත්තරේ නේද ! :)

      Delete
  2. ගොඩක් ප්‍රිය කරන ගායකයෙක්.. කන්දේ ලන්දේ ගන්ගුලැල්ලේ පේනා තෙක් මානේ.. සින්දුවට අහනකොට ලොකු සතුටකුයි ලොකු දුකකුයි දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. කාලය මැව් වෙනසක අරුමේ. බොහෝම ස්තුතියි

      Delete
  3. ඇත්තටම කොල්ලෝ.... අර වයලින් ළමයත් එක්ක එකතු වෙලා, පත්තරේටවත් ලියන්න. නියම අදහස්. විචාර... කෙහෙල්මල් තොරතුරු තාක්ෂණයක් අස්සේ හිරවෙලා ඉන්නේ නැතිව....

    ReplyDelete
    Replies
    1. කෙහෙල්මල් ? මේවත් අයත් වෙන්නේ ඒ තොරතුරු තාක්‍ෂනේටම තමා බඩ්ස් :p පත්තරේට ලිව්වනම් ආ ඔයා කියවනවද ? නෑනේ :) බොහෝම ස්තුතියි හොඳේ :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.