Wednesday, February 27, 2013

මනමේ හෙලේනා



ලිපියකට යන්න කලින් හැමදාම ලියන දිග හෑලිකරණයට කොමාවක් තබා මෙය හදිසියේ දාන්න හිතුනේ මනමේ නාට්‍යයගැන මේ දිනවලදී මා කියවූ ලිපි නිසාය.
මා හටනම් මනමේ කියූ සැණින් මතකයට එන ගීත දෙකකි.

1. රඟහල දැන් ඇත අඩඅඳුරේ
2. මගෙ රත්තරං හෙලේනා

පළමු ගීය නිරායාසයෙන් මතකයට ඒමේ සාධාරණත්වය ඔබට වැටහුනද, දෙවැනි ගීතය මතක් වියයුත්තේ ඇයි යන්න හුදෙක් මෙහි අදාලත්වය නොදන්නා අය තුල පැනනගින ගැටළුවක් විය යුතුය.

මගේ රත්තරං හෙලේනා ගීතයේ ගායකයන් දෙදෙනෙකුගෙ ගායනක් වුවත් එහි දෙවෙනි ගායකයා ඇත්තටම ගයන්නේ "කව්ද" යන කොටස පමණි. ප්‍රධාන ගායකතෙමේ රෝහණ බැද්දගේයන් යන්න නොදන්නා කෙනෙක් නැති නමුත් දෙවෙනි ගායකයා කියා බොහෝදෙනා සිතන්නේ බන්දුල විජේවීරයි. නමුත් එය වැරදි අතර පළමු ගීත පටිගත කිරීමේදී එම කොටස ගයන්නේ ටී.එම්. ජයරත්නයන්ය.

දෙපානෝ ගීත නාටකය කරන අවදියේ හෙලේනා ගීතය නිර්මාණය වන්නේ හෙලේනා නම් නාට්‍යක් සඳහා බවත් නමුත් පසුව ගුරු මාරුවක් ඈත ප්‍රදේශයකට ලබන රෝහණ බැද්දගේයන්හට නිර්මාණය කරන්නට වන්නේ ගීතය පමණකි. මුලදී ගීතය නාට්‍යයට පුහුණුවන අවස්ථාවේදී කව්ද යන්න ටී එම් ජයරත්නයන් ගයා තිබුනත් පසුව ගීතය ගුවන්විදුලියේ සංගීත පරීක්ෂණ අංශයේ පරීක්ෂණ ගීයක් ලෙස පටිගත කරන විට ඔහු සොයාගන්නට නැතුව සිට ඇත.
පසුව මෙම ආරංචිය ලැබෙන ඔහු දුවගෙනවිත්
"අර මගේ චුට්ටි කෑල්ල මම කියන්න එන්නද ?"
කියා ඇසුවේලු.එසේ ගීතය පටිගත වීය.දැන් ඔබගේ සිතේ තවත් ගැටළුවක් ඇත. ඇයි "කව්ද" යන්න බැද්දගේයන් හට කියන්නටම බැරිවුනේ ?. පහල පිළිතුරු ඇත.

එවකට හින්දුස්තානි සංගීත ආරය දැඩිව මුල් බැසගත් අවධියක මෙම ජන-ගී ආශ්‍රිත නිර්මාණ කරලියට ඒමේදී සැවොම බැද්දගේයන්ට එරෙහිව කටයුතු කර ඇත. එවකට බන්දුල විජේවීරයන්ද බැද්දගේයන් හඳුනන්නේ නැති අතර ඔහුද මේවට විරුද්ධව කටයුතු කළේලු යන්න පැවසුවොත් මාද මෙන්ම ඔබද පුදුමයකට පත්වනු ඇත.
කෙසේ හෝ මෙය ප්‍රචාරය නොකරන අවධියේ ලුෂන් බුලත්සිංහලයන් විසින් කළ සඳැල්ල නැමැති වැඩසටහනේ මෙය වාදනය කරවයි. එයින් ඇවිස්සෙන මෙම ගීතයට විරුද්ධව පෙත්සමක් ගුවන්විදුලියට පැමිණේ.

# බොලඳ රචනයක්
# ශ්‍රැතියට නොගයන්නකි
# එදවස රටේ හිටපු පාලිකාවට සමච්චල් කරපු ගීයකි

වැනි කරුණු හුවා දක්වමින් ඒවා තිබූ පෙත්සමින් සඳහන් වුනේ මෙම ගීතය ප්‍රචාරයට නුසුදුසු බවය.

පෙත්සම විභාගයට ගැනුනි.රිච්වේ තිලකරත්න මහතා මැදිරියේ සිට විභාගය පවත්වයි. නිෂ්පාදකවරයා වූ සේන ගුණසේකර කැඳවයි. කැඳවා අසා ඇත්තේ
"මොකක්ද මේ ගීතය පෙත්සමක් එවල තියෙන්නේ මොකක්ද මේක ?".
"මම දන්නේ නෑ සර්. ඔය ඉතිං බැද්දගේ මහත්තයා අර කෝලම් වලින් අරහෙන් මෙහෙන් අරගෙන හදපු නාද දාලා මේක ලියන්න ඇත්තේ."
යනුවෙන් සේනයන් නිදහසට කරුණු දක්වා ඇත.පසුව
"එහෙනම් සර් මම මේක මකලා දාන්නම්" කියා යන්න සැරසුනුවිට
"ඕක මම ඇහුවේ නෑනේ මොකක්ද කියල, ඕක දානවා මට අහන්න ?"
පසුව ගීතය ඇසු තිලකරත්නයන්
"මොන පිස්සුද මේක හොඳ ගීතයක්නේ, ඔන්න ඔහේ දානවා මේක තැටියක් කපලා හැමදාම ගහනවා"
එමගින් සිංහල අමිල ස්වර්ණමය ගීත එකතුවට බැද්දගේයන් එකතුවේ.

Bertolt Brecht කියන වේදිකා නාට්‍යරචකකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු විසින් වේදිකාවේ සිදුවන දේ මායාවක්ය යන්න හදුන්වා දුන් "දුරස්ථීකරණය", එනම් නළුවන් ප්‍රේක්ෂකයන් මැදින් වේදිකාවට පැමිණ ගොඩවීම යන්නද මෙම ගීතයට සම්බන්ධවේ.
ඒ කෙසේද ?
මෙහි එන කව්ද යන කොටස අසන්න නිර්මාණය කර ඇත්තේ වේදිකාවෙන්ය.
දෑ සමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි යනුවෙන් කියන විට ප්‍රේක්ෂකයන් කව්ද කියා විමසයි. කෙතරම් සුන්දර නිර්මාණයක්ද යන්න මා කිවයුතු නැත. ඔබගේ හිතේ ප්‍රේක්ෂකයන් කව්ද යන්නෙන් අසනවා ගීතය අසන විට දැන් මැවීපෙනේවි.
කෙසේවෙතත් පෙර කී දුරස්ථීකරණය ඔහු හඳුන්වාදීමට පෙර අප රට පැවතී එකක් බව බැද්දගේයන්ගේ මතයයි.තොවිල් පොළවල් වල එසේ ප්‍රේක්ෂකයන් හා සම්බන්ධ වේ.

දැන් කියන්නට යන්නේ මනමේ ගැලපෙන කොටසයි.
එවකට බටනලා වාදකයෙක්ව සිටි බැද්දගේ මහතා මනමේ නාට්‍යයේ බටනලා වයන්නට සිටඇත.
මනමේ කුමරුන් සමග කුමරියගේ ගමන් ලතාව පෙන්වීමට මද්දලයෙන් තාල රිද්මය නැගෙන විට චාල්ස් සිල්වා ගුරුසිංහ ගුරුන්වහන්සේ විසින් බැද්දගේයන් හට
"පුතා මෙහෙම ගහන්න "
කියමින් වාදනයක් ගයා පෙන්වා ඇත.
එය මෙම හෙලේනා ගීතයේ අන්තර් වාදනයයි(interlude).
බැද්දගේයන් සිනාමුසු මුහුණින් යුතුව පවසන්නේ
"මනමේ කුමරියයි කුමාරයයි කැලේ මැද්දෙන් ඔහොම යනකොට ඔය වාදනේ වැදුනා වගේ,
 ඔන්න මමයි මෙයයි(හෙලේනා) යනකොටත් ඒකම වදිනවා" ලෙසය.















දෑ සමන් මලක් වගෙයි
ප්‍රියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගේ
අහිංසකයි රටක් වටියි
කව්ද
මගෙ රත්තරං හෙලේනා

රාජ භෝජන නැත මට දෙන්නට
සිහින් සිනිඳු සළු නැත මට දෙන්නට
ගේදොර  වතු පිටි නැත ගරුසරුවට
යාන්තමට ඇත දිවි රැකගන්නට
කව්ද
මගෙ රත්තරං හෙලේනා

පසු කරමින් මහා කඳුවැටි ඕවිටි
පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි
ගල්මුල්වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි
කව්ද
මගෙ රත්තරං හෙලේනා


උදාර මිනිසුන් උතුම් නිර්මාණ තාමත් නොනැසී අප අතරම ඇත.වර්තමාන කොපි එඩිට් පේස්ට්  පරපුර මෙන්ම තාරකා නවකයන් වටහා ගතයුතු කරුණක් ඇත්තේය. අනුන්ගේ ගීතයක් වේවා, තනුවක් වේවා අරගෙන එය මොඩිෆයි කර තමන්ගේ මෙන් ඉදිරිපත් කරන්නා නිවටයෙකි. ඔවුන්ගේ නිර්මාණ, අත්දැකීම ආදර්ශයට ගෙන ස්වඋත්සාහයෙන් ස්වනිර්මාණයෙන් නැගී සිටින්නා සැබෑ හපනෙකි.

නෙලුම් පිපෙනුයේ මඩේය. එයට උඩට එනතෙක් බාධාය.නමුත් උඩට ඇවිත් පිපුණු කළ ගරු බුහුමන්ය. නමුත් පිපුණු මලේ මඩ තලියක් තිබුනොත් කෙතරම් උඩට ගියත් නෙළුම අවලස්සනය. අද ඇත්තේ බහුතරයක් එසේ පිපුණු මඩතලිය

එපා මැණිකේ සිත පමණක් කිසිවෙකුටත් දෙන්න



ගැහැණිය, වනිතාව, කත, කෙල්ල, කෑල්ල, බඩුව, යුවතිය, ළමාතැනී, ළමාහාමි, මැතිනිය,දේවි, නෝනා, ආර්යාව, ස්ත්‍රීය, මහීලාව,කාන්තාව, නාරි, ගෑණිය,ලිය, ලතාව, ලලනාව යන ආදී විවිධ නාම වලින් හඳුන්වන්නේ එකම සත්ත්ව විශේෂයකි.ඒ ළඳුන්ය.වාසනාවකටමෙන් පිරිමින්ට ඔච්චර සමාන වචන සෙට් එකක් මා දන්නා තරමින් නැත.
පලවෙනි වාක්‍යය කිහිපයෙන්ම අද මාතෘකාව හඳුනාගත් බැඳපු එවුනුත්, නොබැඳපු ඒත් අමාරුවේ වැටී ඇති එවුනුත් කම්පාවට පත්ව සිංදුවා කෙරෙහි අනුකම්පාව උපදවා "අනේ පව් අද කොට්ටෝරුවා කෙහෙල් ගහට අනින්නයි හදන්නේ" කියා සිතුවත්,
අමාරුවේ වැටී නැති, මොකුත් නොදන්නා ඔටුවන් මෙන්ම කොහේට හෝ අන්ඩක් දාගෙන තාමත් අන්ධව සිටින පැණියන් ඉන්ටරෙස්ටින් මාතෘකාවක් ලෙස මෙය දකිනු ඇත.කෙසේ වෙතත් මෙය කියවන ළඳුන්ගෙන් ගුටි කා හෝ කෙහෙල් ගහේ හොට පටලවන් හෝ අදනම් මේ ටික කියන්නම ඕනෑය.

ළඳුන් ගැන වාද විවාදයකින් තොරව පිළිගතහැකි එක කරුණක් ඇත. එනම් ලොව ඉතාමත් සංකීර්ණතම දෙය ළඳුන් බවය. එය අපට පෙර මේ ගුස්පී කෑ පඬිවරුන් කියා තිබුනත් මා දන්නා තරමින් හැම එකාම වාගේ ඔය තියරිය අවබෝධ කරගන්නේ ප්‍රැක්ටිකල් කළ පසුවය.

"කතාකිරීම" යන්න සොයාගත්තේ ළඳුන් වියයුතුය.මොකද කියවන්නට උන් තරම් රුසියෝ කොහෙවත් නැති නිසාය.දෙන්නෙක් සෙට්වුනාම ගමක දේවල් කතාකරයි.මුලින්ම හෙමින් පටන් ගන්නා උන් පස්සේ කැකිරි පලන්නේ මහා හඬින්ය.සාමාන්‍යයෙන් ළඳක් දවසකට වචන 21000ක් කතා කරයි පිරිමියෙක්නම් 7000කි.මා දන්නා අයියා කෙනෙක් සිටින්නේය.ඌ ගෙදර එන්නේ මගේ 7000 ඉවරයි කියාගෙනය.ළඳකගෙ දිනකට සාමන්‍යය වචන ප්‍රමාණය 21000ක් වුවත් ඇයට තවත් ළඳක් හමුවුවොත් ඒ 21000 එතනම ඉවරය.වැරදිලාවත් උන් දෙන්නා හම්බවෙන්නේ දිගු කලකට පසුවනම් 21000 කැලේය.

ළඳුන් විවිධ කුලක(කාණ්ඩ/වර්ග) වලට කැඩීම කරන්නට බැරි වැඩකි. මොකද ඒ ඒ ළඳට අවේණික වූ කුමක් හෝ ගතිගුණයක් ඇති බැවිනි. එමනිසා ළඳුන් 50ක් ගතහොත් උන් පනස්දෙනා එකිනෙකට වෙනස් කාණ්ඩ පනහකට අයත්වේ.එදා අපි ගණිතය කරද්දී 1 = 2 යන්න ඔප්පු කලා මට මතකය.(එය එසේ කළ නොහැකි බව පසුව වටහා ගතිමු). එසේ ගණිතයෙන් 1=2 යන්න ඔප්පු කළ හැකිවුවත් කළ නොහැක්කේ ළඳක් තවත් ළඳකට සමාන කිරීමය. අඩුම තරමේ දුව අම්මාටවත් සමාන නොවේ.වන්නේ සෑමවිටම ආසන්න වශයෙන් සමාන වීමය.

ළඳුන් සෑමවිටම පාහේ යමක් දෙස බලනුයේ සාපේක්ෂවය.වීභාග ප්‍රතිපල ආවම අම්මා බනින්නේ "අහවල් ළමයට මෙහෙමයි උඹට මෙහෙමයි" ලෙසය.පෙම්වතිය අකමැති මොනාහරි පෙම්වතා කලොත් කියන්නේ "අහවලාගේ පෙම්වතානම් ඔහොම නෑ" ලෙසය. ආච්චිට බුලත්විට කඩෙන් ගේන්න අමතකවුනොත් කියන්නේ "අහවල් ළමයිනම් මට කවදාවත් ඔහොම කරන්නේ නෑ " ලෙසය.
කෑල්ලට කෝල් කරන්න බැරිවුනොත් කොල්ලට කියන්නේ "ඔයා ඉස්සර තරම් දැන් මට ආදරේ නෑ" ලෙසය.මගුල් ගෙදරකට ගියොත් කියන්නේ "අහවල් මගුල වගේ නෙවේ මේ මගුල" යනුවෙනි.පොලට ගියොත් කියන්නේ "අර කඩේට වඩා මේ කඩේ ගණන්" ගැනය.වැඩිය ඕනි නැත මේ ලිපිය කියවන ළඳුන් දැන් හිතනුයේ "මේ ලිපියට වඩා අර ලිපිය හොඳයි/නරකයි" වශයෙන් විය යුතුය.
ඇල්බට් අයිස්ටයින්ද විවාහ කිහිපයක් කරගත් එනම් ලඳුන් කීපදෙනෙක් ආශ්‍රය කළ පුද්ගලයෙකි. එවන් පුද්ගලයෙකු විසින් සාපේක්ෂතාවාදය සොයාගැනීම දැන් ඔබට පුදුමයක් නොවනු ඇත. තවද බුකියේ මා දුටු කියමනක් තිබුනේය.
"ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත"
මෙය ලියා තිබුණු එකාට අනුවනම් මෙම කියමන කියන්නේ නිව්ටන්ය.මා සිතනා විදිහට මෙය මෙසේ මොඩිෆයි විය යුතුය.
"ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද සාපෙක්ෂවාදයේ පියා මමය"
-නිව්ටන්-



අප පාසලේද විවිධාකාර ළඳුන් සිටියෝය.සමහරුන් කොටය සමහරුන් මහතය සමහරුන් සුදුය සමහරුන් කලුය ඔය පාටදෙක අතර මැද එවුනුත් ඇත.ඔය කොයික වුනත් අපේ ඉස්කෝලේ ටයි එක දැම්මාට පසුව උන් අපේ එක පවුලේ සිස්ටර්ස්ලය.උන් අපිව තුට්ටුවකට මායිම් නොකරනවසේම අපිද එදවස අපේ එවුන්ට වඩා බාලිකා පාසල්වල කෙල්ලන්ව උඩදාගෙන සිටියෙමු.අපේ පාසලේ කෙල්ලන්ගේ අවධානය ගැනීමටනම් හෙළුවෙන් ගියත් මදි සේය.උන් ඒ තරමට කොල්ලන් ගැන දැනගෙන සිටියෝය.එය එසේවුවත් රුවන්පුරේ ඇති අනෙකුත් ප්‍රධාන පෙලේ බාලිකා පාසල් තුනේ සිසුවියන් නම් අපි ගැන හොදටම උනන්දුය. හදීසියේ බෑන්ඩ් එකෙන් සංගීත භාණ්ඩයක් ගෙන ඒමට උන්ගේ ඉස්කෝලයට ගියොතින් එහි ළඳුන් අප දෙස බලන්නේ ලොව පුරුෂ ලිංගයන් ඇති එකම සත්ත්වයින් කිහිපදෙනා උන්ගේ ඉස්කෝලයට ආවා සේ සලකාය.

ඔය කවුරු කෙසේ කීවත් හැමඑකාම පාහේ ළඳුන්ගේ මායමකට දවසක නතු වෙන්නේය."හිත ලස්සන කෙල්ලෙක් තමයි මචං මම බඳින්නේ" කියා පුරසාරම් ගැසුවත් කවුරුවත් රූපෙට කලින් හිත බලපු අවස්ථා ඉතා අල්පය. ළඳුන් පිලිබඳ විශාරදයෙක් වූ අපේ බජාර් එකේ ටික්කා පවසන්නේ "මචං ඕනෑම කෙල්ලෙක් දිහා උඹට ලස්සනට බලන්න පුළුවන්. කෙල්ල කළු වුනත් සුදු වුනත් ඒ කෙල්ල උඹට ලස්සනයි කියල හිතන් බැලුවොත් ලස්සනයි" ලෙසය.ටික්කා ඕක කියනා සෑමවිටම මගේ උත්තරය වුයේ "ඔව් ඉතිං මුල් දවසවලනම් හැම එකාටම එහෙම තමයි" ලෙසය.
ළඳුන්ගේ ලස්සන යන්න අරුම පුදුම දේකි. සමහර කෙල්ලන් දුටු පමණින් ඇස පිනවන අතර ටික දවසක් පිනවීමෙන් උන්ව එපාවෙයි.සමහර එවුන් දුටු ගමන් ඇස පිනවන්නේ නැති වුවත් කලක් යෑමෙන් පසුව සිතෙනුයේ මේ ළඳ තරම් රුවැත්තියක් නැති බවයි.
සාමාන්‍යයෙන් කොල්ලන් දිගට ඇඳ පැළඳ යන ළඳුන් දෙස බැලුවොත් ඒ අවංකවම ඇයගේ ලස්සන බැලීමේ අදහසින් වීමේ සම්භාවිතාවය ඉතා වැඩිය. කොටට අඟපසඟ උලුප්පා පෙනෙන ලෙස අඳිනා ළඳුන් දෙස බලන්නේ අපිරිසිදු හැඟීමකින් වීමේ සම්භාවිතාවද වැඩිය.කෙසේ වෙතත් ළඳුන් කෙසේ ඇන්දත් පිරිමයා තුල සිටින අවිනීත,අශිෂ්ට, සහෝදරියන් අම්මාවරුන් දරුවන් නොහදුනන අමනයා පාලනය කරගැනීම ඔහු සම්පූර්ණයෙන්ම වගකිව යුතු කාරණයකි.

ඉස්සර අපි මැතට පංති ගියේ අවිස්සවේල්ලේය.රත්නපුරේ සිට කොතරම් බස් තිබුනත් අපි උදේ පාන්දරම නැගිට උනන්දුවෙන් ගිය එකම පංතිය ලෙස අම්මාද දන්නේ ඔය පන්තියය.අපි ඔච්චර කැපවුණේ බස් එකට මගින් නඟින, හැමදාම කොටට ඇඳන් නිතඹ, ගල, හංස ජෝඩු උලුප්පා පේන්න අඳින අක්කා කෙනෙක් බලන්නය.සෙනග වැඩිවනවිට පිටිපස්සේ දොර කෙලින්ම ඇති සීට් එකේ ඇතුලට පැමිණ ඈ පිටිපස්ස හැරී (හිටගෙන) ගමන් කරයි.සීට් එකේ වාඩි වී සිටින්නේ පිරිමියෙකු වුවද එකිටනම් කම් නැත. එසේ හැරී යන ඇගේ ඉගිලෙන්නට වෙර දරන හංස පැටව් (පැටව් නොව මහා උන්ය) බලන්නම උදේ පාන්දරම ඇවිත් බසයේ පිටිපස්සේ සීට් එකම අපේ කොල්ලන් බුක් කරයි. පංතියේ කතාබහද ඇගේ ලැම, තිසර පටේ පාට වැනි දේවල්ය.අන්තිමට පංතියේ නිදිය.විභාගෙට ඒ පාර බඩුය.
පසු දිනෙක ඈ සුපුරුදු පරිදි නැග්ගාට පසුව එතන සිටි අයියා කෙනෙක් මෙසේ කිවේය.

අයියා: ඔයාට ලැජ්ජ නැද්ද ඔහොම අඳින්න? මොකක්ද ඔයා ඔය ඇඳන් ඉන්න ඇඳුම? වහන්න
ඕනි ඒවා වැහිලත් නෑ.ඔයිට හොඳයි ඕකත් නැතුව ආවනම්.ඔයාට හරියට රස්නෙද?
හුළං වදින්නද ඕනි ?


අක්කා: ඔයාට මොකටද මගේ ඇඳුම කව්ද ඔයා මගේ ?

අයියා: මටනම් කමක් නෑ.එත් අර පස්සේ ඉන්න පොඩි එවුන් හැමදාම ඕක බලන්න එන්නේ.
උන් අපතවෙනවා ඔයාගේ අසංවරකම නිසා.(කට්ටියම අපි දිහා බලයි)
ගෙදර කවුරුවත් ඔයාට නැද්ද ඕක හරි නෑ කියන්න?
ඊලග දවසේ තුවායක් අරං එන්න බස් එකේ යනකම් විළි වහගන්න.


පහුවදා සිට ඇය ඇන්දේ දිගටය.ඒ අයියා කෙරේ ඇතිවූ ගෞරවයෙන් යුතුව මෙවැනි අයියලාද එදා සිටිය බව සිහීපත් කිරීමට කැමැත්තෙමි.

ළඳුන් "බඩුව" කිරීම මාද ඇතිපදමට අත්හදා බලා ඇති කාර්යයකි.පහසුවෙන් කොහෙදිත් කළ හැකි මෙයට අවශ්‍ය වන්නේ ළඳක් පමණි.කළ යුත්තේ ටික වෙලාවක් ළඳ දෙස බලා සිටීම පමණි.ඔබ ඇය දෙස බලාසිටින බව දැනුණු වහාම උන්දෑ රඟන්න පටන්ගනී. දැන් අවශ්‍ය වන්නේ නරඹන එක පමණි.ළඟ ඇති කෙල්ල සමග කොමලෙට සිනාසීම, යමක් කියන විට හොඳට රඟමින් දඟලමින් පැවසීම, කීපවරක් ඔබ ඇය දෙස බලා සිටීදැයි බැලීම, ඇස් ගැටුණු විටදී තත්පර කීපයක් බලාගෙන සිටීම, දුරකථනය එබීම, ඇඳුම සකස්කිරීම, දැඟලිලි ස්වභාවය වැඩිවීම වැනි ලක්ෂණ පහල කරයිනම් ඔබ සාර්ථක වී ඇත.එතනින් එහා ගොස් කතාකර නම්බරය ඉල්ලාගැනීමෙන් ඔබ කරගන්නා ගොන්කමට මම වගකියනු නොලැබේ.(කස්ටිය හිතන්න පෙර කීම වැදගත්ය.මම එසේ නම්බර් ඉල්ලානැති ලැජ්ජ බයට හැදුනු එකෙකි)

සමහර ළඳුන් ඇත්තටම දිරිය කාන්තාවන්ය.සමහරුන් තොත්ත කොමල බබාලාය. ඔය කී බබාලාව දාගන්නා එකාටනම් දෙයියන්ගේම පිහිටයි යන්න මගේ හැඟීමය.උන්දලා දන්නේ කොමලෙ පමණි.බතක් මාලුවක් පිසින්න දන්නේ නැත. ගෙයක් දොරක් පිරිසිදුව අතුගා තියාගන්න දන්නේ නැත. රෙද්දක් වලඳක් හෝදන්න දන්නේ නැත. මල් ගහක් මිරිස් ගහක් වවන්න තියා තණකොළ ගහක්වත් උගුල්ලන්න දන්නේ නැත. ඔය කී බබ්බුන් විලිරුදාව කියන එකත් පුලුවන්නම් මිනිහට දී ශේප්වුනත් පුදුමයක් වීමට දෙයක් නැත.
එසේම කොල්ලන් වැනි ළඳුන්ද සිටී.කොල්ලෙක් තව කොල්ලෙක් වැනි කෙල්ලෙක් බැඳීම හා කොල්ලෙක් තවත් කොල්ලෙක් බැඳීමේ වෙනස මට සිතාගන්න බැරිය.ළඳකට උරුම ලාලිත්‍යය, සිනහව, කොමලත්වය,ලජ්ජාව නැති ළඳ මටනම් පරිප්පු නැති හෝටලයකි.එය එසේ කියා පරිප්පු පමණක් ඇති හොටලේකෙනුත් ඇති වැඩක් නැත.
සංගීතයේ ඇති කෝමල ස්වරද (රි,ග,ධ,නි) ශුද්ධ ස්වර අතරට ඉඳහිට යොදා ගැනීමෙන් අමුතු සුන්දරත්වයක් ගෙනදෙයි.එතන වැදගත් වචනය වන්නේ "ඉඳහිට" යන්නයි.

ළඳුන් නොහිටින්නට අද සිංදුවාට පලකරන්න වෙන්නේ පොස්ට් දෙක තුනක් පමණි. මොකද ගීතවලින් 80%කටම ළඳුන් සම්බන්ධව ඇත.ළඳුන් නොසිටින්න බුදුගුණ ගීත,ළමා ගීත,පියවරුන් ගැන ගීත,රණවිරු ගීත හා මිනිසා සුවඳයි මල සේ වැනි ගීත කිහිපයක් පමණක් අපට ඉතිරිවේ.එයිනුත් "අම්මා සඳකි" යන ගීතය ඉවත් කිරීමට සිදුවේ.එම නිසා ළඳුන්ට ගීත වලින්නම් අඩුවක් නැත.

එකී ගීත වල අර්ථාලංකාරය ගැන විමසීමේදී මාගේ දැනීම හැටියට එම ගීත බොහොමයක වීශේෂයෙන් උපමාවන් උපමේයන් යෙදී ඇත්තේය.කෙහෙල් මලත්, තුත්තිරිත් (ඒක මලක් නේද ?) ඇර ඉතුරු මල් සියල්ලම දැන් ළඳුන්ට සමාන කර ඉවරය.ළඳකගේ දෙපතුලේ සිට කෙස් කොන දක්වා කවියන්, ගීත රචකයන්, පොත්පත් රචකයන් උපමාවන් යොදා ඇත්තේය.
සඳට , තාරකාවලට, නා දළු වලට, තුරුලතාවලට, මල්වලට, මල් පෙතිවලට, සැන්දෑ අහසට, පැණි කොමඩු වලට, මුහුදු රැල්ලට, එකී මෙකී නොකී සියලුම වස්තුන් වලට උපමේයන් ලෙස ළඳකගේ මොකක් හෝ ඇත.කොටින්ම ළඳකගේ ශරීර කූඩුවේ උපමාවක් නැති තැනක් නැතිතරම්ය.
අද ගීතයත් ඒ වගේ ගීතයකි.හැබැයි මෙහි උපමාව මූණ සඳ වගේ, නයන තරු වගේ කියන ඕඩිනරි විදියට ඒ කිව්වේ "වගේ" කෑල්ල දාලා නැත. උපමාවන් තියෙන්නේ අමුතුම විදියකට යොදාගෙනය.ගීතය වික්ටර් රත්නායකයන් ගයන සුනිල් ආරියරත්නයන් රචිත "කුරුල්ලන්ට ගී ගයන්න" යන්නයි.

ගීතය ගැන කීමේදී පැහැදිලිවම මෙය ගැමි තරුණයෙකුගේ ආදර බර ඉල්ලීමක් ලෙස කියන්නට පිළිවන.මෙහි ඇති උපමාවන් බලන්න ඒ සියල්ල ගැමි පරිසරයේ කෙනෙකු අත්විඳින දේවල්ය."මැණිකේ" කියන වචනයෙන් තවත් එය ගැමිබර වූවාදෝ කියා මට සිතේ.අනික එම අදහස වඩාත් තීව්ර කරන්නදෝ මන්දා රෝහණ වීරසිංහයන් තනුව අන්තිමට ජන කවියක ආකාරයට සකස්කර තිබේ.හරිම අමුතු විදියක රසයක් දෙන මධුර ගීතයකි.
දැන් ඉතිං ළඳුන් ගැන කියපුවට මද කිපිලා ඉන්න ඇත්තෝ ඉන්නවනම් මේ සුමිහිරි ගීතයට සවන් දීලම සිත නිවාගෙන කොමෙන්ටුව දාන්නකෝ.

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න
නෙලුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැලුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල්පෙති දෙන්න 

ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැලි දෙන්න
ඉරට හඳට එලිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එලන්න ඔබෙ කේරැල දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න

තණ නිල්ලට ඔබෙ දෙපතුල මොලකැටි බව දෙන්න
නල රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජීවත් වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
එපා මැණිකේ සිත පමණක් කිසිවෙකුටත් දෙන්න

එහෙනම් කොමල නොදා සිංදුව රසවිඳින්න.

#################
පසුව ලියමි :

අපිනම් එදා ඒක දැකලා බස් එකෙන් බැහැලා පංතියට ගියා හැබැයි, අපිනම් අර අක්කව බස් එකේම තියලා තමයි බැස්සේ. එත් ඒ සිදුවීම කියවපු සමහර අය ඒ අක්කත් එක්ක තාමත් බස් එකේ යනවා කියලා වැටහෙනවා. කරුණාකරලා ඒ අක්කව ඒ බස් එකේ තියලා ඔයාලා බහින්න.

Tuesday, February 26, 2013

ඩිඩින් ඩින්ඩි ඩින්



අම්මා කිව්වට කිසිම කැමැත්තකින් නෙවෙයි ඉතිං එදා ගියේ. ජනප්‍රිය බාලිකා පාසලක් කියලා හිතං ඉන්න, අය ඉන්න පාසලක් අසල (පිට්ටනිය පැත්තේ) වංගුවත් එක්ක වීල් එක නවත්තනකොට මෙන්න අපේ එවුන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා. දැන් මොකටද ඉතිං බයවෙන්නේ. මැරෙන්න ගියත් තව එවුන් ඉන්නවනේ. අම්මව යැව්වා ඒ ත්‍රීවීල් එකේම.

කොටා : අඩෝ උඹ කොහොමද බං මෙතන දන්නේ ?
මම : මන්ද බං අම්මා යන්න කිව්වා මම ආවා.උඹ කොහොමද සෙට් වුනේ ?
කොටා : අපේ අක්ක ඇවිත් තියෙයි බං ඉස්සර මේකට.
(ඉතුරුවා අපිට පමණි)

පලවෙනි දවස, කවුරුවත් කොහොමද කියන්න දන්නේ නෑ. ඔන්න ඔහේ ගියා අරුනුයි මමයි මහපාරෙන් දකුණේ උඩට යන්න තිබුණු අතුරු පාරේ. යනකොට තියෙනවා තට්ටු දෙකක ගෙයක්.
“මේකද බං තැන ? “
“ඔව්ලු”.
ඇරියා ගේට්ටුව ගැහුවා බෙල් එක. ටිකක් හිටියා…..ම්හ්ම්…නෑ.
ගැහුවා දෙවෙනි පාරට බෙල් එක. ඒ පාරනම් ඇහිලා, මිස් ඇවිල්ලා දොර ඇරලා
“පංතියටද ආවේ ?”වෙන මොකටද
“ඔව්” කිව්වහම
“ඔතනින් පිටි පස්සට ගිහිං උඩට නගින්න.ගිහිං වාඩිවෙලා ඉන්න.”

ගියා කිව්ව විදියට.ඔහෙ-පලයන් පඩි ටික හදපු බාසා, බාගේ අඩි කෝදුව තියලා පළල අරං පඩි හදල තිබුනේ.අල්ලන්න තිබ්බ අත්වැල බෝතල් පත්තරකාරයෙක් උස්සලද කොහෙද. වැරදිලාවත් කකුල පැටලුනොත් එතනම හබොක්.
වෙලාව හොඳයි කවුරුවත් නෑ අපි සෙට් එක ගිහිං තිබුනේ මුලින්ම.වාඩිවුනෙත් මුල්ම පුටුවල…..ඇයි අවුල වගේද. විහිළුවට වාඩිවුනේ. බෑග් තිබ්බේ පස්සේ ඒවයේ.අපායට ගියත් ප්‍රතිපත්තිගරුකයි.

ටික වෙලාවක් ඔහේ දඟල දඟල ඉන්නකොට එක එක ළඳවල් ඇවිත් වාඩි වෙනවා.දැන් සෙල්ලම් බෑ නොව. වාඩිවෙලා ඉන්න පුරුද්දක් තියෙන උන්ට එතන ඉන්න කියලා අපි බැස්ස මහගිරිදඹේන් පහලට.දැම්මා රටේ ලෝකේ ප්‍රශ්න ගැන කැබිනට් රැස්වීම පාරේ අයිනේ.
ටිකකින් සර් එනවා ෆියිල් කවරයයි, කොළ ටිකයි පොත ටිකයි අතේ තියන් බිම බලාගෙන.තට්ටේ පෑදිලා, පිටිපස්සේ තියෙන කොන්ඩේ පිටි පස්සටම මනාව පීරලා, කණ්නාඩි දෙකත් දාලා උඩු රැවුල පොඩ්ඩයි යටි රැවුල ටිකක් වැඩියෙන් වවලා.
ඔන්න අර පඩි ටික නගිනවා.අපිත් පස්සෙන් ගිහිං වාඩි වුනා. කෙල්ලෝ දකුණේ කොල්ලෝ වමේ.

ෆයිල් ටික තියලා. “ආයුබොවන්” කියලා. මුලින්ම කියනවා
“ඔය ඔතන පාරේ ඉන්න එපා මීට පස්සේ. හ්ම්ම්.. වේලාසන ආවනම් මෙතන වාඩිවෙලා වැඩක් කරන්න ඕනි. නැත්නම් මෙතන පොත් තියල තියෙයි කියවන්න ඕනි. වෙනදා මම බෝඩ් එකේ දාලා යනවා වැඩක්.ඒක කරන්න ඕනි. මෙතන ඇවිත් දගලන්න එපා, මට පහල වැඩක් කරගන්න විදියක් නෑ ඔයාලා මහා සද්දෙට දගලනවනේ.මේක පිට්ටනියක් නෙවෙයි.”අපිත් ඒ වෙලාවේ ඉතිං කව්ද දඟලපු උන් කියලා හැමතැනම බැලුවා.අර වාඩිවෙලා හිටපු උන්ද කොහෙද.
සර් ආයෙත් කියනවා
“අනික ගෙදරකට ගියාම බෙල් එක ගහලා ටිකක්වෙලා ඉන්න. ගෙදර කවුරුවත් වෙනම නෑ බෙල් ගහන අය බලන්න.අනික බෙල් එකක් ගැහුවා කියලා ඔක්කම වැඩ නවත්තලා එන්න බෑ. පලවෙනිපාර නාද කරලා ටිකක්වෙලා ඉඳලා ඕනවට වඩා වෙලාව යනවනම් ආයෙත් ගහනවා. ඊට පස්සෙත් නැත්නම් යන්න ඕන.”එදා සර් කිව්වට පස්සේ හිතාගෙන පුරුදු වුනු පුරුද්ද ඇත්තටම මට අදටත් තියෙයි.

සර් කතා කරන්නේ පොඩ්ඩක් අමුතුම විදියකට.ඒ විදිය කියන්නේ කොහොමද බං හරිම අමාරුයි විස්තර කරන්න, එහෙම කතා කරනවා මම දැකලා තියෙන්නේ සර්ව විතරමයි. ඔය ටීවී එකට ආවම බලන්නකෝ.ඇදලා නවත්තලා එහෙම මොනාහරි කියන්නේ. ටිකක් ආඩම්බරයි. කතාව ඇදල පැදලා හෙමින්ම හෙමින් (ඒ කිව්වේ ස්ලෝව්, වොලියුම් අඩු නෙවෙයි). මොකක්හරි කියන්න කලින් හොඳ වටයක් ගහලයි කාරණේට එන්නේ.
සමහරවෙලාවට කියන ගමන් මොනවදෝ දකිනවා හිතින්. පට්ටම ඔය සාහිත්‍යය කියලාදෙන වෙලාවට තමයි.සමහර ඒවා කියන්නේ සද්දේ හෙමින්ම හෙමින් නිකං පහල ඉන්න සර්ගේ මිස්ට ඇහෙයි කියලාද කොහෙද හොරෙන් වගේ කියන්නේ. ඉස්සරහ පෙළේ ඉන්න උන්ට විතරයි ඇහෙන්නේ. උන් ඒවා අහලා හිනා වෙනවා. අපිත් ඇහුනාවගේ හිනා වෙනවා. පස්සේ උන්ගෙන් අහගෙන ආයෙත් හිනාවෙනවා.හහ් ඉස්සරහ උන්ට කොයින්ද එහෙම චාන්ස්.

ඊළගට ඔන්න පංතියේ හැමෝගෙම නම අහනවා. තේරුම දන්නවද අහනවා ? දන්නැති එවුන්ට පොඩි කින්ඩියක් දාලා තේරුම කියනවා. කරුමෙටම එදා කෙල්ලෙක් හිටියා තේරුම අප්සට් වුනු. කෙල්ලගේ නම කියන එක හරි නෑනේ.මොකෝ එයාගේ වරදක් නෙවෙයිනේ. ආවේ සවුත්තු තේරුමක්, හිනාවෙලා ඉතිං තේරුම කියල දුන්නා.

හොඳක් තියෙන්නේ කෙල්ලෝ කියල බලන්නේ නෑ, කියනඑක කියලා දානවා සර්.
දවසක් කෙල්ලෙක් ආවා කොටට ඇඳගෙන. පුටුවේ වාඩිවුණාම ඉතිං තවත් කොටවෙලා. වටේ ඉන්න කොල්ලන්ට හොදි ඕන්නෑලු.අදිනකොට හැඳිමිටේ මොලේ තිබ්බත් දැන් කෙල්ලටත් අවබෝධවෙලා සවුත්තුයි නේද කියලා. අනේ එයා ලේන්සුවෙන් කකුල වහගන්නවා පිංවතුනි. සාදු කියන්න!
සර් ආවා. ටිකක්වෙලා ඔහේ පාඩම කලා, කෙල්ලත් හරිම උනන්දුව සැරෙන් සැරේ ලේන්සුවෙන් ඔක්කම වැහිලද බලනවා. සර් දැක්කා කෙල්ල දිහා බලලා සවුත්තුවට ටිකක්වෙලා හිනාවුනා. පස්සේ කැපුවා නේද දෙහි. ඕක වහගන්නම් මොකටද ඇඳන් ආවේ කියලා පටන් ගත්තා. කියපු ටිකට අපිටත් හිනා. මොනාවුනත් කෙල්ල ගැන හිතලා හැමෝම කට වහන් හිනාවුනේ.පහුවෙනිදා ඉඳලා කෙල්ලෝ ඔක්කම දිගටමයි.වැදගත් දේ ඒ කෙල්ලත් දිගට ඇඳන් පංති ආවා.

මේක වෙන්නේ අපේ මල්ලිලා යනකොට. ඒ දවස්වල ඔය ගෑනු ළමයි අඳිනවා අර එක එක නම් ගහපු ටී ෂර්ට්.බටර්ෆ්ලයි, අයිලන්ඩ්, මිල්ක්, සමහර උන් සක් කියලත් ගහගෙන යනවා. අපි ඉස්සර…..එක්කෝ ඕනි නෑ.
ඉතිං මේ වගේ ළමයෙක් ඇඳගෙන එනවා පංතියට නමක් ගහලා ඇඳුමක්. ගහල තිබුනේ ඩීසල් කියලා. සර් දැකල හිනාවෙලා
 “හ්ම් හ්ම් හ්ම් දැන් මෙතනින් ඩීසල්ද එන්නේ ? “
කියල අහලා.
ඕක අහන හැටි කියල පෙන්නුවම තමා පට්ට. කන්නාඩිය උඩින් ළමය දිහා බලලා, ඩීසල් කියන එක යන්තං හොරෙන් වගේ කියලා.අයියෝ ආතල් එක.
දුක(මෝඩකම) කියන්නේ පහුවෙනිදා ඉඳලා කෙල්ල පංතියේ නෑ.
නෑ නෑ කෙල්ල ගැන නෙවෙයි කළකිරෙන්න ඕනි. එයාගේ දෙමව්පියෝ කොච්චර අනුවණ කමක්ද කලේ කියලා. ළමයාගේ වැරැද්ද හදනවා වෙනුවට ළමයට අනුව වටපිටාව හදනවා. පස්සේ ළමයා නරක්වෙනවා, සමාජෙට උන් අවාම කවුරු කොහොම ඩීසල් ගහගෙන ගියාද කවුරුවත් දන්නේ නෑ.

හිටපු ගමන් සර් කතාත් කියනවා. කාලීන දේවල්, ඒ කිව්වේ ඒ දවස්වල සිදුවෙන සීන්.
මතකේ කස්ටියට රංජන් ? ඔව් ඔව් වන් ෂොට් තමා. එයා ඔය සව්දි ගිය වනිතාවන් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කලානේ. සර් ඒක නිසා ඒ දවස්වල රංජා ගැන පැහැදිලා ගුණ කියනවා.
රංජා කියපු ගමන් අපිට ඒ දවස්වල මතක තිබුනේ හැට්ටයක් ඇඳලා, මල රෑ සන්ග්ලාස් දෙකක් දාගෙන,
“ඩිඩින් ඩින්ඩි ඩින්”
කියලා සවුන්ඩ් එකත් එක්ක, ජිම් බැහැපු, නාකි ඇඟක් එනකොට හැතම්මක් ඈතින් පුපුරණ වාහනයක්…ඩෝන්..!
ඕවා මතක්වෙලා හිනාවෙන්නේ දැන් බිම බලාගෙන හොරෙන්.ඔන්න සර් මනෝපාර දාලා දැහැනකට සම වැදිලා පැත්තකට ඔලුව හරවලා හිතින් සිද්දිය මවාගෙන වගේ කියනවා
“අර කතුන්ට ඉෂ්ට දෙවියෙක් වගේ ඔහු, අසරනවුණු වෙලාවේ_________වගේ ඔහු (තවත් උපමාවක් කිව්වා මතක නෑ),අසරණ වුනාම පෙනී සිටිනවා. ආ…”
අපි දැන් කට තද කරගෙන හිනා. එක පාරට සර් කියපි
“හරියට වන් ෂොට් වගේ” කියලා.
පන්තියම බක බක ගාලා හිනා වෙනවා. උන් ඔක්කටම අර පුපුරණ වාහනේ මතක්වෙලා.
සර්ටත් හිනා.
ඒ දවස්වල ඔය “සිතින් විතරක් පෙම් කරන්නම්” ගීතය ගැනත් හොඳ කිව්වා.තව “යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ” කියලා සර්ම හිනාවෙනවා.හිටපු ගමන් “තාරකාවියේ” කියලා හිනා වෙනවා.එකත් කියන්නේ “තාර, කාවියේ” කියලා.

සර් කවි ලියන්න මාරම කැපවීමක් කරනවා කියලා දැනගත්තේ ටික කාලයක් පංති ගියාම තමයි. හැම ශ්‍රේෂ්ඨ නිර්මාණයක් පිටිපස්සෙම ඒ වෙනුවෙන් කැපවුණු දුක් විඳපු කෙනෙක් ඉන්නවා. ඒකෙ වයිස්වර්සා එකත් සත්‍යයයි කියලා මම විශ්වාස කරනවා.
ඉස්සර සර් කවි ලියන්න වෙනම ඒ ඒ ප්‍රදේශ වලට ගිහිං නැවතිලා එහෙම ඉන්නවලු.එහෙම සමාජ අධ්‍යයනයන් කරනවලු. ඔය වැලහින්නෝ වගේ අඬන ඩ්‍රාමා වල කෙල්ලෝ වගේවත්, ගොන් පාර්ට් දාන කොල්ලෝ වගේවත්, අවර ගීත ගයන ගායක-ගායිකාවෝ වගේවත් ඉතිං ජනප්‍රිය නැති නිසා කරදරයක් නැතුව සාමාන්‍ය මනුස්සයෙක් විදියට ඕනි දිහාවක යන්න පුළුවන්. හිටපු ගමන් හිටලර්ගේ කාලේ වගේ තියෙන බයික් එකෙන් හෙල්මට් එකකුත් දාගෙන ඔය රත්නපුරේ ටවුමේ රවුමක් දානවා දකින්න පුළුවන්. සමහරවෙලාවට ෆුඩ් සිටියේ ඉන්නවා. හිටපු ගමන් කොළඹ බස් එකෙත් ඉන්නවා.

සර් කාලයක් කොළඹ බස් එකේ යනකොට දකිනවා ගහක් කැඩිලා ඒක අයිනට දාලා තියෙනවා.ගෑනු කෙනෙක් ඒක දර කරනවා. දවසකට එයාට ගෙනියන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් විතරයි අරං යන්නේ. සර් හැමදාම ඕක බලාගෙන යනවා කොළඹ. ටිකෙන් ටික අඩුවෙන දර ගැන, ජීවිතය ගැන, ඒ ගෑනුකෙනා ගැන කවි ටිකක් ලියවෙනවා. ඉස්සර ඔයවගේ විස්තර, කවිය බිහිවෙන්න මුලිකවුණු සිද්ධීන් අපිට කියනවා. මම ඔය කවිටික කියවල තියෙයි. හෙව්වා හෙව්වා හම්බවුනේ නෑ මෙතන දාන්න.

මම පොඩි කාලේ (ඔය පන්තියට යන්න කලින්) අම්ම සර්ට දවසක් කෝල් එකක් දීලා සිංදුවක් ලියල දෙන්න බැරිද අහලා. හඃ හඃ හඃ සර් කාටද, සංගීතය කොහෙන්ද ඉගන ගත්තේ අනන්-මනන් විස්තර අහල අම්මට කිව්වලු මුලින්ම නන්දා මාලිනී හරි, සුනිලයන් හරි, වික්ටර් රත්නයකන් ගාවට හරි යවලා හොඳට සංගීතය උගන්වලා ඉන්දියාවට යවන්න. ඊට පස්සේ එකේ ඉගනගෙන ආවම සිංදුවක් ලියලා දෙන්නම් කියලා.
කොහොමවුනත් සර් ගීත ලියන්න උනන්දුවක් නැති බව කීප සැරයක්ම අපිට කියල තියෙනවා. ලිව්වේ ගීත දෙකයි (මම දන්නා හැටියට). ඒ දෙක අහල නැති කෙනෙක් නෑ කියලා මම හොඳටම දන්නවා.
ඒවායෙන් එකක් තමා හැමෝටම වගේ තේරෙන්න ලියලා තියෙන, නමුත් හැමෝටමවගේ තේරුම් ගෙන අවබෝධ කරගන්න බැරි දෙයක් වුනු තණ්හාව ගැන ලියවුනු ගීතය.

සොර දෙටුවෙක් කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ

අනේ මෙහෙම තණ්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලූ

සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි
අහෝ සැපයි කීවාලූ

- සුනිල් එදිරිසිංහ -

ඊලග ගීතය….


බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සැරසෙව් රාළේ

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ

ඇහැල මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුණා

සප්පායන් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළොවේ කැති ගහලා

කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා
අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනඟ මැද යම යුද්දේ

කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස්බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුණා

- සුනිල් එදිරිසිංහ -

-වීර පුරන් අප්පු චිත්‍රපටය 1978-

මේ වගේ ජාතිය ගැන කැක්කුමක් ඇති කරන ගීත මම දන්නා හැටියට දෙකයි තුනයි තියෙන්නේ. අහද්දී දැනෙනවා මාරම විදියට.

මේකේ බයිනෙත්තුවේ ඉබ්බ කියන්නේ අර සුද්දගේ ඉස්සර තිබුණු බට තුවක්කුවේ ඉස්සරහ තියෙන පිහියට.


ළමයින්ව උඩ විසි කරලා වැටෙනකොට තුවක්කුවේ ඇමුණුවා කියලායි කියලා තියෙන්නේ.
කෙහෙල් කුරුල්ලන් කියන්නේ කුඩා කෙහෙල් පැළ වලට
ඉස්බ කියන්නේ බඹ තිස්පහක දුර
දැන් තේරුම හිතාගන්න පුළුවන්නේ
(තේරුම් හොයන්න උදව්දුන් දර්ශනට ස්තුතිය)

මේ සිංහල ජාතිය ගැන මේ දවස්වල ගොඩක් මතබේද යනවනේ.දැන් ඔය බොදුබල සේනාව ජාතිවාදීන්ලුනේ. කවුරුහරි එහෙම කියනවනම් මම හිතන්නේ එක්කෝ එයා සිංහල නොවන ජාතියක කෙනෙක් නැත්නම් ජාතියක් නැති එකෙක්. ඕකේ දෙවෙනි කට්ටිය නියම නිවටයන්,අධමයන්,ජාතිවාදය හා ජාතිආලය පටලවන් ඉන්න අය. උන් උන්ටම නියම සිංහලු අපිලු කියනවා.පව්! අනුකම්පාවක් ඇතිවෙන්නේ.
හැමෝටම උණ සිංහලකම ගැන කතාකලාම. හාමුදුරුවරු ගිහිං මුස්ලිම්,දෙමළ අයව මැරුවා වගේ කතාව. කවුරුවත් වෙන ජාතියක් මරන්න කියලා නෑනේ. හුදෙක් සිංහලයන්ගේ එකමුතුවක් විතරයි. නැතුව යුද්ධයක් දියත් කරනවා නෙවෙයි. සිංහලයා සිංහලයට උදව් කරනවා. එක ජාතික හැඟීමක් යටතේ එකතුවෙනවා. මුස්ලිම් අයත් එහෙමනේ. ඇයි මේ ඒකට විළි උස්සන් කෑ ගහන්නේ සමහර කට්ටිය. එක අතකට ඕවා ඔහොම තමයි ඉස්සරත් සුද්දට ගොටු අල්ලපු පරයෝ හිටියනේ.
තව කට්ටියක් ඉන්නවා අනිත් අයගේ ජාතික ආලය මනින්න යනවා. මීටරයක් තියන් ඒකට එකෙක්ව අල්ලලා බලලා මූ 10යි මූ 90යි මූ 50යි. කවුරු කොහොම කොච්චර ප්‍රමාණයෙන් කරනවද කියන එකට වඩා වැදගත් වෙන්නේ යන්තමින් හෝ දෙන සහයෝගය අගය කිරීමක්. සමහරවිට එයාට පුළුවන් බුකියේ මොනාහරි ශෙයා කරන්න වෙන්නැති. සමහර අය බැහැලා උද්ගෝෂණ කරනවා, සමහර අය නිහඩව මුදල්මය ආධාර කරලා නිකං ඉන්නවා. සමහරඅය හලාල් ගන්නේ නැතුව ඇති.සමහර අය ලිපි,ගීත,කවි ලියනවත් ඇති.සමහර අය කතා පවත්වනවා ඇති. කොහොමෙන් හරි ඒකවත් කරන එකා වටිනවා අර ජාතියක් නැති එකාට වඩා.
බොදු බල සේනාව කියන්නේ යුධ සේනාවක් නෙවෙයි.එය හුදෙක් බොදු සිංහල ජනතාවගේ බලයේ සේනාවක්. සිංහල ජාතියක එකමුතුවක්. තව ජාතියක් නිගාවට පත් කරන සේනාවක් නෙවෙයි.නමුත් තම ජාතිය වෙනුවෙන් හඬක් නගන සේනාවක්.

ඉතිං මේ සර් ගැනනේ මම කියා කියා හිටියේ. මොකක් හෝ පිනකට මට මේ බුද්ධිමතාගේ ඇසුර සුළු කාලයකට හරි ශිෂ්‍යයෙක් විදියට ලැබුණා.ඒක සමහරවිට හේතු වෙන්න ඇති මාවත් සුභාවිත ගීත වලට, ඒ වගේ හොඳ නිර්මාණ රස විඳින්න යොමු කරවන්න. සර්ගේ දැක්ම, බුද්ධිමත් බව, විචාරවත් බව විග්‍රහාකරන්න තරම් මට විචාර හැකියාවක් නැති බවනම් මං දන්නවා. සර්ගේ කවි කීපයක් සහ සර්ට අදාළ ලින්ක් ටිකක් පහල දාන්නම්.කියවලා ඔබේම බුද්ධි මට්ටම් තුලින් විචාරයක් ගොඩ නගාගන්න.

සිළුමිණ පුන්කලස ලිපියක්
දිවයිනට බුද්ධදාස ගලප්පත්ති ලියු ලිපියක්
සර් එක්ක පුවත් පත් සංවාදයක්
සර්ගේ කවි කිහිපයක එකතුවක්
සර්ගේ ලිපියක්
සර්ගේ කවි කිහිපයක්

ඈ..? මොකක්ද..?
ආ…සර්ගේ නමද!
නම පරාක්‍රම කොඩිතුවක්කු

Thursday, February 14, 2013

සිනිදු සුදු මුතු තලාවේ



හැමදාම සින්දු වල අර්ථය නැත්නම් එක බිහි වුනු හැටි විතරනේ කතා කලේ.අද පොඩ්ඩක් වෙනස්ම පැත්තක් බලමු.කලින්ම කියන එක හොදයිනේ.පොලවේ පය ගහල නැති ලඳුන් පුරුෂයන් ඉන්නවනම් ලිපියේ මැද කියවන්න එපා.හත්වන ජේදය ඉඳලා දොළහ දක්වා කොටස.

සංගීත සංධ්වනි එහෙම නැත්නම් දෙමළින් Symphony කියල කියන එක අහල තියෙනවා නේද.එහෙම නැත්නම් ඔකෙස්ට්‍රා ( orchestra ) ගැන අහල ඇතිනේ.

ඔයටික කිව්වම මුලින්ම මතක් වෙන්නැතිනේ සංගීත භාණ්ඩ ගොඩක් වටකරන් කෝටු කෑල්ලක් අරං වනන කෙනෙක්,ඊළගට මතක්වෙන්නති කේමදාස ශුරින්ව.ආ….දැන් හිතුව නේද අද කියන්න යන්නේ කේමදාසයන් ගැන කියලා.ඇත්තටම නෑ.
කේමදාසයන්ගේ නිර්මාණ මම තේරුම්ගන්න උත්සහ දරමින් ඉන්නේ.අවබෝධවුනාම දාන්නම්.අද මම කියන්න යන්නේ ඊට වඩා සරල එකක් ගැන.අර්ථකථනය වරදවා වටහාගන්නෙපා.සරල කියන එක සාපේක්ෂයි.මෑත කාලීන ඈත කාලීන ඔය දෙආ-කාලිනම සමහරක් ගීතවලට සාපේක්ෂව මේක ඉතාමත් සංකීර්ණයි.

කොහොමෙන්හරි ඔය සංධ්වනි පිළිබඳව මම මුලකුරු ඉගනගත්තේ ස්කෝලෙන්.ඇත්තටම එතන වාදන භාණ්ඩ පෙරලියක් වගේ විතරක් පෙනුනට ඒ ගහන ඒවායෙන් කතාවක් කියැවෙනවා.ගොඩක් සංධ්වනි බිහිවෙන්නේ තේමාවක් ඇතුව.

ඉස්කෝලේ කිව්වම මතක් වුනේ මගේ යාලුවෙක් හිටියා නම ඉරේශ්.මිනිහ තමයි මුළු ඉස්කෝලෙම ඔක්කමටම තබ්ලා ඩොල්කි අනං මනං ඔක්කම තාල වාද්‍ය භාන්ඩ වාදනය කලේ.මිනිහා කලේ අපිත් එක්ක මැත්ස්.එත් කලා උළලෙත් තබ්ලා උගෙන්.

එතකොට තව මලයෙක් හිටියා දර්ශන කියල (අපේ මල්ලිගේ කල්‍යාණ මිත්‍රයා) ඒකා කලේ වයලින්.බයෝ පොරක්.ඔව් ඔව් මිනිහා තමයි අර සබරගමුවෙන් යලි උපන්නෙමු කියලා පොස්ට් එක කරන්නේ.කතා ඕනි නෑ ඉතින් උන් දෙන්නම ( ඉරේශයයි දර්ශනයයි ) සබරගමුවේ හොදම දෙන්නා.සමස්ථ ලංකාවෙත් ඒ දවස්වල එක ගැහුවේ මෙයාල තමයි (අතිශයෝක්තියක් නොවෙයි).මම ඉතින් ගහන්න දන්නේ කීබෝඩ් සර්පිනා ඔයවගේ ඒවානේ.ඒ දවස්වල සයන්ස් ඩේ එකට බරපැන හොයන්න අපි තුන්දෙනා ආදී රසකලස කියලා ෂෝ එකකුත් කලා.අනේ ඉතින් අපි තුන්දෙනා කිව්වට අපි කලේ සංගීතය සපයපු ඒක විතරයි.අනිත් උන් නිදි මරන් සැරසිලි හැඩතල කලේ.

ඉතින් ඔය ඉරේශයාට කොච්චර තබ්ලා පුලුවන්ද කිව්වොත් ඌ කතාකලෙත් තබ්ලාවෙන්.පොඩි උන්ට වගේම අපිටත් ආතල්ම එක ඒකතමා.හැබැයි වැඩිපුරම පුළුවන් කුණුහරප තමයි.ඒ දවස් වල පුරුදු වුනෙත් ඒවානේ.කවුරුහරි බැන්නොත් මිනිහ පට්ටෙට ගහනවා “පල *ත්තිගේ පුතා” කියලා.ඉස්සර ඕකා හදාගෙන තිබුණු තාලයක් තිබුන.

දකින දකින කත ගෙටගෙන 
කතගේ එකට තුන දාගෙන 
කටින් තනක් තදකරගෙන 
ධඃ ! 

ඕක කියල ඒ විදියටම ගහනකොට වටේ ඉන්න පොඩි උන් බඩ අල්ලන් හිනාවෙනවා.රසම වැඩේ මේ තරගවලට පුරුදුවෙනකොට සින්දුව මැදදී හිටපුගමන් තාලෙට ගැලපෙන්න ඕව ගහනවා.දන්න උන් ඉතින් කට තද කරන් හිනා.උන් දිහා බලල මිසාලයි සර්-රයයි බනිනවා.

එකෙත් පට්ටම වැඩේ කියන්නේ එක මිස් කෙනෙක්ට එච්චරම සංගීතේ බෑ.ඒ කිව්වේ දැන් කවුරුහරි අවුට් ගැහුවොත් බනින්නේ වෙන එකෙක්ට.ඉතින් අපිටත් මල ඇයි අර හොදට ගහන පොඩි එකා බොරුවට බැනුම් අහනවනේ.දවසක් සින්දුවක් පුරුදුවෙන අතරේ ඉරේශය ගත්තා බ්‍රේක් එකක් ( ඕක තේරෙන්න සිංහලෙන් කොහොම කියන්නද මන්ද,ගහන් ආපු තාලේ විරාමයක් අරං ආයේ ඒ තාලෙටම එන එක ).ඉතින් ඔය බ්රේක් ගැනිල්ල එක එක වීදිවලට ගන්න පුළුවන්.6/8 යන රිද්මයෙන් එකපාරටම 3/4 රිද්මයකට එනවවගේ ඇවිත් ආයෙත් 6/8 වලට යනවා.තේරුනේ නැති අය එක සුපිරිම පොරවල්ලට විතරක් පුළුවන් දෙයක් කියලා හිතාගන්න.
ඉතින් මේක මිස්ට තේරුනේ නෑ.උන්දෑ බැන්නේ නැතැ මුට.මුටත් මල.තින් තින් ගගා ඉදල බැන්නා නේද විනාඩි දෙකක් විතර.කටින්ද ? නෑ නෑ තබ්ලාවෙන්.
එතන උන්න පොඩි උන් ඔක්කටම බැනපු පද ඔක්කම තේරුණා.උන් හැමෝම මහා හයියෙන් හිනා උනා.ඇයි උන් විතරක් අපිත් බක බක ගාලා හිනා වෙනවා.මිසා ඔන්න අදටත් දන්නේ නෑ කිව්වේ මොකක්ද කියල.උන්දෑට අන්දුන් කුන්දුන්.

ඉතින් ඒ වගේම ඉතිහාසයක් තියෙනවා දර්ශන මලයටත්.ඕකගේ ප්‍රියතම එක තමා ” මොකද *ත්තෝ ?” කියල වයලින් එකෙන් අහන එක.ඌටත් පව් නෑ කියල හොදට කුණුහරප ගහන්න පුළුවන්.පට්ටම වැඩේ මුන් දෙන්න බැනගන්නකොට.මතකවෙනකොට ආයේ ස්කොලේ උන් එක්ක යන්න හිතෙනවා.

ඉතින් මම ඔය කියන් ආවේ වාදන භාණ්ඩ වලටත් කතාකරන්න පුළුවන් කියලා.අපේ පැරණි ගීතවල සංගීතය වගේම ඒ වාද්‍ය භාණ්ඩත් තෝරාගෙන තියෙන්නේ ඒ ඒ ගීතයට අනුරූපවන විදියට.සමහර ගීතවල පමණයි එහෙම යොදාගෙන තියෙන්නේ.ඒ වගේම සංගීතයත් ඒ විදියටම ගැලපෙන්න යොදාගන්නවා.එහෙම සින්දු කීපයක් ඉස්සරහට කියන්නම්කො.

අද ගීතයත් එහෙම සංගීතය වඩාත් අර්ථවත් ලෙස යොදාගෙන තිබෙන ගීතයක්.පඳුර වටේ තල තල හිටියා මිසක් කිව්වේ නෑනේ ගීතය.එක්කෝ තව ටිකක් තලලම කියන්නම්.ඉතින් මේ ගීතයක අලංකාරයත් අර්ථයත් වඩාත් දනවන්න යොදාගන්න සංගීත භාණ්ඩය ඒ වගේම ඒකෙන් ගහන නාද මාලාවත් ඉතාමත් වැදගත්.එක්කෝ දැන්ම කියන්නම් සිංදුව. අහල තියෙනවා නේද අමරදේවයන් ගයන “ සිනිඳු සුදු මුතු තලාවේ “ ගීතය ?

මහගම සේකරයන් රචිතව සෝමදාස ඇල්විටිගලයන්ගේ අපුරු නාද මාලාවෙන් පෝෂිතව 1967 තිරගත වෙන සත් සමුදුර චිත්‍රපටියට නිර්මාණය වෙන මේ ගීතය 1968 දී සම්මානත් දිනාගත්තා හොදම චිත්‍රපට පසුබිම් ගීතය වෙනුවෙන්.දැන් කොහොමද සංගීත් සංධ්වනි මේකට සම්බන්ධ වෙන්නේ ?
මේකයි ඇත්තටම මට තේරෙන හැටියට මේකේ සංගීතය විස්තර කිරීමක් මම කරන්නම්.මේක ප්‍රවීනයෙක්ගේ අදහසක් එහෙම නෙවෙයි.කොයිතරම් දුරට නිවැරදිද කියන්න මම දන්නේ නෑ ඉතින්.මට වඩා සංගීත ඥානයක් ඇති ඇත්තෝ සිටිත්නම් කොමෙන්ටුවක් දමා යත්වා !

ගීතය විස්තර කරන්න මම කාලයන් සඳහනක් කරලා තියෙනවා.ඒ කාලයන් ගැලපෙන්නේ පහළින්ම දාල තියෙන ලින්කුවේ ඇති ගීතයට බව කරුණාවෙන් සලකාසිටින්න.
මොකක්ද මේ සංගීතයේ තේරුම කියල බලමු.මේක මියුසික් වචන අඩුකරලා හැමෝටම තේරෙන්න ලියන්න පුළුවන් තරම් උත්සහයක් දරන්නම්.

ගීතය සයුර ගැන කියවෙන්නක්.ගීතයේ ආරම්භයේ මුහුදේ ගැඹුරු ප්‍රදේශයේ තියෙන සුළු චංචල බව පෙන්වීමක් කරනවා.යන්තම් පැද්දී පැද්දී තියෙන මුහුදක් නිරුපනය වෙන්නේ.අපි මුහුදට යනකොට ඇතට මුලින්ම දර්ශයන වෙන්නේ ඒ ටික වගේනේ.මේකට පිරිමි උදවිය පමණක් අත්වැල් ගායනයට යොදාගෙන තිබීමෙන් ඒ මුහුදේ ගැඹුරු බවත් විශාලත්වයත් ගම්භීරතවයත් වගේම මුහුද ලඟදි ඇසෙන “හෝ” හඬත් මනාව පිලිඹිගු වෙනවා.තලාවේ… කියල ඉවර වුනාම එතන යෙදිලා තියෙන “ආකාරය“(ආලප් කොටස) බලන්න මුලින්ම රැල්ල ඉස්සිලා අයෙත් පාත්වෙලා අයෙත් මද එසවීමක් වෙනවා.වයලීන් වලින් මුළු මුහුදේම ඒ ගැඹුරු ප්‍රදේශ වල තියෙන සුළු සෙල්ලීම් නිරුපනය වෙනවා.
01:13 දී ඉදං අපි වැල්ලේ ඇවිදිනවා.පෙන පිඬු පුපුරනවා.කුඩා රැල්ලක් කකුලේ ඇඟිලි තෙමන් යනවා.ඊළගට සිතාර් වලින් ඒ ඇවිදින ඒක පෙන්නනවා.තාලෙට සෙල්ලමෙන් ඇවිදන් යනකොට සමහර රැලි වේගෙන් ඇවිත් දණහිසට වෙනකම් නාවගෙන යනවා.ඒක 1.38 ට යන වයලීන් වලින් නිරුපනය වෙනවා.රැල්ල වැල්ලේ උඩට ඇවිත් අයෙත් පහලට යනවා.මෙහම ඇවිදන් යනකොට ගල් තලාත් හම්බ වෙනවා
1.50 සිට අපි එහෙම ගල් තලාවක යනවා වගේ තබ්ලා යොදාගෙන මවනවා.ගලින් ගලට පනිනවා වගේ.ඊළගට අයෙත් වැල්ලේ.ඊළගට ගීතය..

ගීතයෙන් පස්සේ ගල්පරවල මුහුදු වතුර හැප්පෙනවා.රල බිඳෙනවා. මුහුදේ අසිරිය මවනවා.

පසුව එන ගීත කොටසින් පස්සේ මුහුදේම තවත් පැත්තක් නිරුපනය වෙනවා.අහස කලුවෙලා රල සැර වෙලා.ප්‍රමාණයෙන් විශාල සැඩ වියරු රළ පහරවල්.රළ පෙරලි පෙරලි එනවා ඉදිරියටම 4.43ඉඳල එහෙම එන රැලක් ඉදිරියට ඇවිත් ඒක බිදී යනහැටි වයලීන් වලින් පෙන්වනවා.
බට නලාව ගහන කොටසෙන් යම් භිය ගතියක් එහෙම නැත්නම් මුහුදේ භයංකාරත්වය වඩාත් හොදින් හිතට වද්දනවා.බුර බුරා නැගී කුරිරු ජල කද දෙරණ සම්පත ගිල ගන්න හැටි අවසානේ වයලීන් වලින් නිරුපනය වෙනවා.ලොකු රැල්ලක් ක්‍රමයෙන් වර්ධනය වෙවී වෙවී ඇඹරී ඇඹරී එවිත් ගොඩබිමට ඇතුල් වෙනවා.

මේකේ රුපරමුපෙලේ නම් මෙහෙම පෙන්නේ නෑ.එත් සංගීතය ඇස් පියන් අහනකොට මැවෙන්නේ ඔයවගේ එකක්.ගීතය සම්බන්ධව කෙසේද කියන්න දන්නේ නෑ එත් සංධ්වනි සම්බන්ධවනම් එක කාරණයක් හොදාකාරවම දන්නවා.ඒ තමයි කවුරුහරි එකේ එක ස්වරයක් විතරක් ගහනවද,ඒකත් ගහන්නේත් තේරුමක් ඇතුව.
ඒ කියන්නේ සන්ධ්වනියේ හැම භාණ්ඩකෙම හැම නාදෙකටම ගහන තැන,ගහන නොට් ඒක,ඒ වගේම ගහන වොලීම් එක,අනුව සම්පුර්ණ අදහස වෙනස් වෙනවා.ඒක ඒ තරම් සංකීර්ණ දෙයක් !

අර මම කියපු දර්ශන මලයන්ඩිය ඔය මුළු ගීතයම තනියම එඩ්වඩ් ජයකොඩියන් ඇතුළු ප්‍රවීනයක් කීපදෙනෙක් ඉදිරියේ නිවාඩු වෙලාවක වාදනය කරලා හැමෝගෙම පැසසුමට ලක්වුනාලු.හිතාගන්න පුළුවන්නේ මොනවගේ පොරක්ද කියල.

සිනිදු සුදු මුතු තලාවේ 
පිපෙන පෙණ පිඩු සිනාසේ 

සැලෙන රළ මත ගිලී ඉපිළී 
ගලන සිතුවිලි මුළා වී 

ගැඹුරු සත් සමුදුර පතුල බිඳ
ඇඹරී ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර බුරා නැඟී කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනී 

මෙන්න ගීතය රසවිඳින්න

පහල වීඩියෝ පටයේ තියෙන්නේ සත්සමුදුර චිත්‍රපටයේ මේ ගීතයේ අවස්ථාව . එම අවස්ථාවේ රංගනයෙන් දෙනවක  හාමිනේ සහ සිරිල්වික්‍රමගේ මහත්මයා සම්භන්ධ වෙනවා . විටින් විට වාදක මණ්ඩලයක් පේනවා නේද ? . එතන ඒ ජාතික ඇඳුමින් සැරසිලා වාදක කණ්ඩායම මෙහෙයවන්නේ එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ( SLBC ) වාදක මණ්ඩලයේ අධ්‍යක්ෂක තනතුර හොබවපු මෙම ගීතයේ සංගීත සංයෝජනය කරපු සෝමදාස ඇල්විටිගල මහා සංගීතවේදියානන් . බලන හැමෝටම ගීතය ගැන මම කියපු කතාව හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි .


එහෙනම් හැමෝටම ධඃ !

Monday, February 11, 2013

ඒ මියැසිය අද මා ගයනා විට



මියැසියේ ගී විඳින්නට එන හැමෝටම සමහරවිට මේ බොලොග්ගු ඉට්ටයිල් එක පුරුදු නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මේක පාවිච්චි කරන හැටි නොදන්න අයට කියන්නම්.මේකේ පොස්ට් ඔයාට කැමතිම විදියකට view කරන්න පුළුවන්.ඒකට විවිධ ආකාර ටිකක් ඔය උඩ තියෙන කලුපාට තීරුවේ වම පැත්තේ කෙලවරේ තියෙයි.එතන තියෙන ලිස්ට් එකෙන් කැමති විදියකට පොස්ට් ටික බලන්න හදාගන්න. 

සින්දුවගේ වාද්‍ය වෘන්දයට එකතුවෙලා ගහන ගහන සිංදුව ගැන දැනගන්න ඕනිනම් දකුණු පැත්තේ හැංගිලා තියෙන කළු පෙට්ටියෙන් වාද්‍ය වෘන්දය තෝරාගෙන ඒකට sign වෙන්න.ඒ වගේම එතනින් පහුගිය පොස්ටු ඉක්මනට හොයාගන්නත් පුළුවන්.පොස්ටුව කියවල යනගමන් පහල තියෙන කොමෙන්ටුවක බැනලා හරි ගහලා යනවනම් ඉතිං වටිනවාලු.යමු යමු සින්දුවට.


මව් ගුණ ගීත මෑත කාලීනව බිහිවුනේ ඉතාමත් කුඩා ප්‍රමාණයක්ය
අවාසනාවකට මෙන් මවගේ ගුණද හෑල්ලුවට ලක්වුණු ගීතද ඒ කුඩා ප්‍රමාණය තුල ඇත
නමුදු
වාසනාවකට මෙන් තාමත් මව් ගුණ ගීයක් කියූ සැනින් අප හදවත් තුල රැදෙන්නේ
මෙකල බිහි වූ කසී කබල් ශබ්දයන් නොව
වික්ටර් රත්නායකයන් සුනිල් එදිරිසිංහයන් නන්ද මාලිනියන් වැනි අය ගීතවත් කල ගීතයි
මෙයද එවැනි ගීතයකි.මේ ගීතය නිර්මාණය වුවේ මෙසේය.


සුනිල් එදිරිසිංහයන්ගේත් රෝහණ වීරසිංහයන්ගේත් මෑණිවරුන් මියගියේ සමකලීනවලු
සුනිල් එදිරිසිංහයන්ගේ මවගේ අවමගුලට පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
සුනිල් එදිරිසිංහයන්ගේන් ඇසුවාලු ” ඔබ මව් ගුණ ගීයක් ගයා තිබෙනවාද ? ” කියා
එවිට ඒ වෙනතෙක් මව්ගුණ ගීයක් ගයා නොසිටි
සුනිල් එදිරිසිංහයන්ගේ මුවින් වචන පිට නොවුවත් ඔහුගේ දෑසින් හැගීම් පිටවුනෙලු.
පසුව සතියක පමණ කාලෙකින් සුනිල් එදිරිසිංහයන්ට ඒවා තිබු ගීතය මෙයයි.


මුල් දවසේ මෙම ගීතය පටිගත කර ගැනීමට සුනිල් එදිරිසිංහයන්ටවත් රෝහණ වීරසිංහයන්ටවත් නොහැකි වුනේලු
රෝහණයන් පටිගත කිරීමේ වීදුරු කාමරයේ සිට අඩන අතර
සුනිල් එදිරිසිංහයන් මයික්‍රෆෝනය ඉදිරිපිට සිට කදුළු සලන්නේලු
පසුව පටිගත කිරීම නවතාදමා දෙවැනි දවසක නැවත පටිගත කළේලු
එවන් උදාර මව් ගුණ හැගීමකින් ගයනා වූ ගීතයක් අදනම් කොහෙන් සොයන්නද


මේකේ උවම් කල කියන්නේ උපමා කලා කියන එක , මියැසිය කියන්නේ සංගීතය තාලය වගේ අදහසක් තව මී මැස්සන්ගේ නාදයටත් කියනවා
අනිත්වනම් අමාරු නෑනේ.


දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල 
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ 
අම්මා අම්මා අම්මා 


දෙසවන් සනහා මා නැලවූ ඔබ
මියුරු මියසියේ අරුත කියාදුනි 
ඒ මියැසිය අද මා ගයනා විට 
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත 
අම්මා අම්මා අම්මා 


ඇසට හඩන්නට කඳුලැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි 
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට 
මා සිපගන්නට ඔබ මා ළඟ නැත 
අම්මා අම්මා අම්මා

රා බී වෙරි වූ මීයා



හෙමින් හෙමින් මම ගේකට…
තවද ඌරන් සාවුන් වෙඩි තියන්න වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වාගේ
හෙමින් හෙමින් මම ගේකට…යන කලට
තවද අත්තා මුත්තා පනත්තා කිත්තා කිරිකිත්තා සෝඬියා පාඬියා කාලේ මහා උස් කුණාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් කඩන්නා සේ
එකෙක් ඇවිත් දුන්නයි මගේ…පිට මැදට
තවද නැන්දා මාමාලගේ ගෙදර ගොස් හොඳ බතක් මාලුවක් කෑවා සේ
ඒ ගුටි කකා මම පිටවි…යනකලට
තවද නැන්දා මාමා හූරා නෑනා කෙනෙක් එක්ක සංතෝස වේලාවකදී කොක් හඬලා සිනාසෙන්නාක් මෙන්
මංම මටම ඉලඇට නැත…සිනාවට


ටීකා සීපද අහල තියෙනවද ආයුබෝවන්ඩ? මේකත් ඒ වගේ ටීකා සීපදයක්. ඕක ඔහොම කියනකොට ගොනා තණකොළ කකා එන්න හදන්නේ මොන පොල් පැලේටද කියල තේරුනානේ.
පොල් පැලේ තමයි ජන කවිය. එතකොට ගොනා ? ඕන්නැති ඒවා හොයන්නැතුව හිටු.


ඉතිං මේ ජන ගීතය, ජන සංගීතය, ජන කවිය (ඔය තුන, තුනක් හොඳේ) ඔහොම කියනකොට කාවද මතක් වෙන්නේ ?

ජන කවි ගීත වගේම සංගීතය මනාව අධ්‍යනය කරලා ඒක අනාගත පරපුරට දායාද කරන්න ඉමහත් මගඟු මෙහෙවරක් කළ මකුලොලුව මහත්තයද..

එක්කෝ “මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාළේ” කියල ප්‍රෞශයකින්යුත් ගැඹුරු කටහඩකින් හිතේ පතුලටම කතා කරපු ලයනල් රංවලයන්ද

එක්කෝ ගොඩක් වෙලාවට තම්මැට්ටමක් තියාගෙන තවත් බෙර ගහන උදවියත් එක්ක ඇවිත් අපුරු නාදයන් ජනනය කරන ජනනාත් වරකාගොඩද

එක්කෝ සිය පියාගේ අඩි පාරේ යමින් නූතන සමාජයේ හිත්තුල ජන සංගීත බීජයන් වපුරන්නට මහත් වෙහෙසක් දරන සහන් රංවලයන්ද

එක්කෝ…එක්කෝ…එක්කෝ……

ඇති නේද.. ඉතිං එකී මෙකී නොකී තව ගොඩක් අය මතක්වුනානේ. ඔය තරම් පිරිසක් මේ ජන ත්‍රිත්වය(ගීතය,සංගීතය,කවිය) ගැන උනන්දු ඇයි?.පැහැදිලිවම අපේ අනන්‍යතාවය ඒක නිසා.
පිටරටකට ගියොත් ඔයාගෙන් ඇහුවොත් ලංකාවට අවේනික සංගීත මොනාද කියලා ඉරාජ්ගේ “කොත්තු” කියන්නද, වික්ටර් රත්නායකයන්ගේ “හෝපලු වනපෙත” කියන්නද, කාගෙද මන්ද “දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව” කියන්නද නෑනේ. ඒවා අපේ නෙවෙයිනේ.
හිපොප්, රාගධාරී සංගීතය, බයිලා කපිරිඤ්ඤා අපේ කිව්වොත් උන් හිනාවෙයි නිතඹෙන්.

අර ICC සෙරමනි එකට අනිත් හැම රටක්ම උන් උන්ගේ දේශීය දායාදයන් පෙන්නද්දී අපේ උන් රෑට රැහැයියෝ කෑ ගහන හැටි පෙන්නුවා මතක ඇතිනේ. ඔයිට හොඳයි බස් අජිත් ගිහිං “සුදු අරලියා මල” කිව්වනම්. විවිධ සංගීත කලාවන් විවිධ සංගීත හැඩතල අනිවාර්යෙන්ම රටේ තියෙන්න ඕනි. ඒකට මමත් එකඟයි ඔන්න. හැබැයි ගැලපෙන තැනට ගැලපෙන විදියේ ඇණයක් එපෑ ගහන්න.ඕව මොනාද බං ජාතික ගීයේත් භාගයක් කියන උන්නේ අපි නැද්ද.


දැන් ඔය ටීකා සීපද කියන්නේ කොහොමද.ලිව්වනම් කියන හැටිත් කියපං නේ.හිටු කියඤඤං.
උඩ කවියේ තද පාට ටික කවියක පද හතරක්.සරළ කවියක් කියන්නේ කොහොමද ඒ විදියට ඔය පද හතර ගයන්නේ. පැල් කවියක් වගේ. මේ කවියේ මුලින්ම තද කළු අකුරෙන් තියෙන්නේ මුල්ම පදේ පොඩි කොටසක්.එතකොට මුල්ම පදේ කියන විදියට තමයි ඒ කොටසත් ගයන්නේ.
දැන් එක පදයක් කියලා ඉතුරු ටික (ඒ ටිකට හෑල්ල කියලත් කියනවා) වේගෙන් කියවගෙන යනවා.ආයේ ඉතුරු කවි පදය.
මෙන්න මේ වගේ අහලා බලන්නකෝ

මට අම්ම තමා ඔය ටීකා ගැන මුලින්ම ඉගැන්නුවේ.ඉස්සර ඔය ඇසෙම්බිලිය කියල එකක් තිබුනනේ ඉස්කෝලේ.ඕක ඉතිං පංතියෙන් පංතිය භාරව කරන්න ඕනි. හැම පන්තියක්ම තරඟේ හොදම ඇසෙම්බිලි එක උන්ගේ පන්තියේ එක කරන්න. ඉතිං සිංදුද කථාද දන්නැද්ද වැඩ කිඩ ගොඩයි.එත් ඔය පුල් සීරියස් කතා ගේමේ අහගෙන ඉන්න ස්කොලේ උන් ටිකක් අපි යන දවස්වලනම් හිටියේ නෑ. වැඩිය ඕනි නෑ.පංතියේ එකා කරන කතාව පංතියේ උන්ම අහගෙනවත් නෑ. සිංදුවක්නම් තමා හැමෝම යන්තං අහන්නේ.
ඕක අපේ පන්තියටත් ආවම ඉතිං පංතියේ ආත්මගරුත්වය බේරාගෙන පන්තියේ වැඩ කිඩ පෙන්නන්න, විහාර මහා දේවියගෙන් පසුව බිහිවුනු ඒ ආකාරයේ පිරිමි වර්ෂන් එක, ජනකාන්ත, ජනලෝලිත, මනලෝලිත, ලඳුන්-ලොල්-නැති ඒත් ලඳුන්ට-ලොල්-ඇති, නැගී එන පරපුරේ බැසී යන තාරකාව ලෙස කෙත් මිණි කිරුළු පැලඳු “සිංදුවා” ඉදිරිපත්වෙලා ගැයුවේ ටීකා සීපදයක්.ඒක ඇසෙම්බිලි ඉතිහාසයේ පළමු ටීකා සීපදය. පව් නෑ කියල ඒකට ළමයි විතරක් නෙවෙයි ගුරු පවුලේ ඇත්තෝත් හිනා වුනා. ගුරුපවුලේ මහා එකා. ඔව් ඔව් පිනා තමයි. ඔන්න මිනිහත් හොදායි කිව්වා.

ඉතිං ඔය ජන සංගීතය නංවාලීමට එදා පමණක් නෙවෙයි වර්තමානයේත් අමිල මෙහෙයක් කරන ගමෙන් උපන් තාමත් ගමේම ඉන්න තවත් උතුම් මිනිසෙක් තමයි රෝහණ බැද්දගේ මහත්මයා.
රෝහණයන්ගේ නම කිව්වගමන් මාමයි බෑණයි මතක් වෙන්නම ඕනි. ඒක දන්නේ නැත්නම් .. මොකටද මගෙ කට.
බැද්දගේයන් ගැන කීමට රසවත් දේවල් බොහොමයක් තියෙනවා.ඒක අපි වෙනම ලිපියකට ඉතුරු කරගමු.මේ ලිපිය ජන ගී ගැන නිසා හැමෝම හිතන්න ඇත්තේ අද ජන ගී ඇසුරෙන් ගීයක් කියයි කියලනේ.ඒකටනම් පුතේ නෑ කියන්නයි වෙන්නේ. ජන ගීය ගැන කිව්වේ බැද්දගේ මහත්තයව ඈද ගන්න ඕනි නිසයි හා මේ දවස්වල ජාතික හැගීමක් ගැන යන මෙව්වා එක නිසයි. මේ ගීය බැලුබැල්මටනම් ජන ගීයක් ඇසුරෙන් නිර්මාණයක් කියන්න අමාරුයි.මගේ දැනුමේ හැටියටනම් ජන ගී නෙවෙයි.


මේ ගීය ලියන්න පාදක වෙච්ච සිදුවීමත් රසවත්. බැද්දගේ මහත්තය තමයි සිංදුව ලියල තියෙන්නේ.ගයන්නෙත් එතුමායි බන්දුල විජේවීරයනුයි.
දවසක් ගම් උදාවේ වැඩකට යන්න කට්ටිය ලකලෑස්ති වෙලා ටවර් හෝල් එකේ ගාව බස් එකට වෙලා ඉන්නවලු.ඔහොම ඉන්නවලු… ඉන්නවලු…
තාමත් ඉන්නවලුද ? නෑ නෑ තාමනම් නෑලු
ඉතිං මේ හිටියට තාම බැද්ද්ගේ මහත්තය නෑලු පේනතෙක් මානෙක.අනේ ඉතිං ඔහොම ඩිංගක් පමාවෙලා ඔන්න එතුමා ආවලු. බස් එකේ වාඩිත් වුනාලු.බස් එකත් යනවලු. ඔන්න ඔහොම කිරුළුපනටත් ආවලු. එතනින් බස් එකට ගොඩවෙන්න හිටියලු තව කළාකරුවෙක් (නම දන්නේ නෑ අප්පා).ඔන්න එයත් එයාගේ පොට්ටනිය අරන් නගිනවාලු බැන බැන.බැලින්නම් මුන්දෑ බනින්නේ මේ සුනංගු වෙච්ච එකටලු. නැගල ඇහුවලු
 “මොකෝ පරක්කුවුනේ.. මම පැය ගානක් තිස්සේ රස්තියාදු වුනානේ..” ඔහොම අරකද මේකද කියලා බනිනවලු. බැද්දගේයන් හ්ම්ම් නෑලු.ඔහේ බිම බලන් ඉන්නවලු.දිගටම බනිනකොට බස් එකේ හිටපු කෙනෙක් කිව්වලු 
“මේ අපේ බැද්දගේ මහත්තය පොඩ්ඩක් පරක්කුවුනානේ ඒකයි”
 
කියලා.
එතකොට අර පොර අහපිලු
“කව්ද බැද්දගේ කියන්නේ? මොනාද කරලා තියෙන්නේ එයා ?” කියලා.
බැද්දගේයන් ඉවසුවා ඇති කියල හිතවලු…
ගත්තලු එක භාණ්ඩේ අතට..
ගත්තලු දෙක භාණ්ඩේත් අතට..
“එක භාණ්ඩේ” කිව්වේ පොත බං පොත,එතකොට දෙක භාණ්ඩේ කිව්වේ පෑන බං පෑන, අරන් ලිව්වලු පොතේ මොනාද ටිකක්.ඒක තමා පස්සේ ගීයක් වෙන්නේ..
ඒ ගීතය තමයි “රා බී වෙරි වූ මීයා සේ”

මට ඕක කියනකොට මතක් වුනේ කව්ද මන්ද-1 කෙනෙක් මේ ලගදි කුරුලෑවට සිංදුවක් කිව්වනේ.උන්දෑ දවසක් කෝලන් පෙට්ටියේ වැඩසටහනකට ඇවිල්ලා තව ඒ වගේම කව්ද මන්ද-2 එකෙක්ට බැන්නා.ඒ කව්ද මන්ද-2 ත් තවත් වැඩසටහනකදී කව්ද මන්ද-1 ට බැන්නා. මුන් මරාගන්නවා. වර්තමානයේ සහෝදර ශිල්පීන් කියාගන්න අය.
ඒ අතින් නන්දා මලිනීලා,සුනිල් එදිරිසිංහලා,වික්ටර්ලා,රෝහණලා,බැද්දගේලා,බන්දුලලා,… තව කී දෙනෙක්ද.කවදාවත් අනෙක් එකාට මඩ ගහනවා මම දැකල නෑ. එතුමන්ලා සංගීතය නැමැති වතුර එක් කරලා තනපු වැවක් වට කරන් තියෙන පවුරක්.හැමෝම හැමෝගෙම අතින් අල්ලගෙන වැවේ වතුර ටික පරිස්සම් කරනවා.මේ මී හරක් ඒ වැවේ වතුර බොන ගමන් තපුල්ලනවා.අහෝ ඛේදයකි ඉරකි තිතකි !


රා බී වෙරි වූ මීයා සේ
උඬගු දනා කටමැද දොඩනා

ගිය ගිය තැන පුරසාරම් දොඩනා
මට වැඩි කෙනෙකුන් නැත පවසන්නා
නැති සවි බල ඇති සේ හඟවන්නා
කටමැද මිස වෙන නැත කලදේ

තම බැරිකම් සඟවා පසු සිටිනා
සමතුන් වනසන්නට කැත කවනා
ඇති තැන පණ දී නැති තැන බනිනා
මහරජමුත් රවටා වැජඹේ


එහෙනම් ඉතිං බොලාලටත් ඕනිනම් තමන් ගැන සිංදුවක් හදාගන්න කරන්න ඕනි දේ දන්නවනේ…
මම එහෙනම් ගොහිං තව හෑල්ලක් අරං එඤ්ඤං ආයුබෝවන්ඩ !
මම ගාව මේක විතරයි තියෙන්නේ. කොලටි එක අඩුයි අප්පා.හොද එකක් හම්බවුනොත් දාන්නකෝ කවුරුහරි.මෙන්න සිංදුව
මම එහෙනම් ආයෙත් ගොහිං එඤ්ඤං ආයුබෝවන්ඩ !

Saturday, February 9, 2013

ආයුබෝවන්



ආයුබෝවන් කියලා තියෙයිනොව හෙඩිමෙම.කමක් නෑ ආයෙත් ආයුබෝවන් !  

ලාස්ට් රෝවේ කරක් ගගහා හිටිය සිංදුවා උගේම කියල නමෝවිත්තියෙන් පටාන් ගන්න බොලොක්කුවට,එන සෑමදෙනාවම ඒ කිව්වේ, කෙල්ලන්ව ආදරයෙනුත් කොල්ලන්ව සාදරයෙනුත් පිලිගන්නවා.

මේකේ පලවෙන්නේ පැරණි ඉපැරණි ගීත ගැන වගේම වර්තමාන හොඳ ගීත ගැන.ඒවා හැදුනු හැටි ඒවායේ තේරුම් ඒ වගේ විස්තරයක්.සඳ හිරු තරු පවතිනකම් අපි මැරෙන්නේ නැති නිසා හෑලි කියවන්න තව කල් තියෙයි.

මේක මුල්ම පොස්ට් එක නිසා ඉතාම කෙටියෙන ලියනවා. නන්දා මාලිනිය ඇගේ පළමු දරුවා මෙලොවට බිහි කිරීමට ඇයගේ මව සමග කාසල් රෝහලට ගොස් සිය කුළුදුල් දරුවා මෙලොව එලිය දුටු පසුව ඇය නිදාගෙන සිටියදී හදිසියේම මැදියම් රාත්‍රියේ අවදි වෙලා බලනකොට නන්දාවන්ගේ මව පත්තර කොළ දෙකක් එලාගෙන ඇය නිදාසිටි ඇඳ අසල නිදා සිටියාලු.එය දුටු වේලේ සිට නන්දා මාලිනියන්ට නින්ද නොපැමිනියාය ඇය මේ විදින වේදනාවම ඇගේ මවත් විඳින්න ඇතිනේද කියා සිතුනාලු. සනීප වී ආ පසු ඇය ඇගේ සිතේ තිබු මව ගැන ආදරය ගීතයකින් කීමට අදහස් කලාලු ඇයගේ ඒ අදහසට අනුව මහාචර්ය සුනිල් ආරියරත්නයන් මෙම ගීතය රචනා කළේලු.සිංදුව තමයි මට මව් පදවිය

 මට මව් පදවිය ලැබුණු දිනේදී
නු‍ඹේ අගේ මට දැනුනේ
අම්මේ නුඹේ අගේ මට දැනුනේ

ඇතෙක් බරට දායාද නොසෙව්වද
සිප් සයුරේ පර තෙරට නොයැව්වද
මවුකම ලද දා දැරූ දුකම ඇති
නුඹේ නමින් පා දූවිලි වන්නට

උඩට උඩුවියන් මවා නොදුන්නද
සිරුරට මුදු සුව යහන් නොදුන්නද
දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට


 - නන්දා මාලිනිය -